දේවස්ථානයට බෝම්බය ගෙනා සැකකරු පැය 72 ක් රදවාගෙන ප්‍රශ්න කෙරේ
*********************************************
දේවස්ථානයට බෝම්බය ගෙනා සැකකරු පැය 72 ක් රදවාගෙන ප්‍රශ්න කෙරේ
(13.01.2022 – 09:01 +0530 – hirunews.lk/sinhala)
බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී පෙරේදා අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර ලබා දී තිබෙනවා.
ඒ, ඔහු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (12) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රධාන සැකකරු ඇතුළු තවත් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම, එම ස්ථානයේ බෝම්බය තැබීමට වයස අවුරුදු 13 ක පිරිමි දරුවෙකු යොදාගෙන ඇති බවයි පොලිස් පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.
පසුව එම දරුවා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී මහේස්ත්‍රාවරිය විසින් එම දරුවාගෙන් ප්‍රකාශයක් ද ලබාගෙන තිබෙනවා.
අධිකරණයෙන් ලබාගත් තීන්දුවක් මත මෙම අත්බෝම්බය ඊයේ (12) පොලිස් විශේෂ කාර්ය බලකාය නිෂ්ක්‍රීය කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ ගිනි කූරු සහ හඳුන්කූරු වැනි ද්‍රව්‍ය ඔතා ගිනි ඇවිලීමකදී පුපුරණ ආකාරයට මෙම බෝම්බය සකස් කර ඇති බවට පරීක්ෂණවල දී අනාවරණ වූ බවයි ෴
+++++++++
බොරැල්ල දේවස්ථානයේ තිබී සොයා ගත් අත්බෝම්බ සිද්ධියට අත්අඩංගුවට ගත් අයෙකු රක්ෂිත බන්ධනාගාරයට
(13.01.2022 – 17:19 +0530 – hirunews.lk/sinhala)
බොරැල්ල බන්ධනාගාරය ඉදිරිපිට ආනන්ද රාජකරුණා මාර්ගයේ පිහිටි සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී ජීව අත්බෝම්භයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඊට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ අද (13) කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ සැකකරු මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
අද (13) දින අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු හෙළිවී තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඉන් තුන් (3) දෙනෙකු මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරන බවත් ඔවුන් සඳහන් කළා ෴
+++++++++
දේවස්ථානයේ අත්බෝම්බය ගැන කාදිනල් හිමිපාණන්ගෙන් හෙළිදරව්වක්
(13.01.2022 – 19:56 +0530 – hirunews.lk/sinhala)
බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ හමුවූ අත්බෝම්බය සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන පරීක්ෂණවල ගැටලු පවතින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (13) ප්‍රකාශ කළා.
කොළඹ අගරදගුරු නිල නිවසේ මාධ්‍ය හමුවක් කැඳවමිනුයි උන්වහන්සේ මෙම කරුණු අනාවරණ කළේ.
උදෑසන සිට සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කරන ලෙස පරීක්ෂණ මෙහෙය වන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියත්, ඔවුන් පස්වරුවේ දර්ශන පමණක් නිරීක්ෂණය කළ බවයි කාදිනල් හිමිපාණන් එහිදී කියා සිටියේ.
පෙරවරුවේ දේවස්ථානයට ඇතුළු වන සැක කටයුතු පුද්ගලයෙකු එහි හැසිරුණු ආකාරය පසුව දේවස්ථානයේ සේවකයෙකු දැක පළා යන අයුරුත් සී.සී.ටී.වී. දර්ශනවල පැහැදිලිව දැක්වෙන බව කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙනත් කතාවක් ගෙතීමේ තත්ත්වයක් පිළිබඳව සැක මතුවන බවයි උන්වහන්සේ සඳහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ඊයේ (12) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය නියෝග කළේ එම පුද්ගලයා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.
+++++++++
බොරැල්ල පල්ලියේ බෝම්බයක් හමුවීමේ සිද්ධියෙදී පොලිසිය කතන්දරයක් නිර්මාණය කිරීමට කටයුතු කරනවා – අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ
(14.01.2022 – 08:33 +0530 – lankaleadnews.com)
ඊයේ (13) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමිනින් අගරදගුරු අතිඋතුම් මැලිකම් කාදිනල් රංජිත් හිමිපාණෝ බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිවැරදි විමර්ශනයක් සිදුකර නැති බව පැවසූහ.
එහිදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් :
“අපේ පල්ලියේ අවුරුදු ගාණක් වැඩකරපු 4 දෙනෙක්ව පොලීසියට කැඳවාගෙන ගියා. පස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශයේ සඳහන් වුණා බෝම්බය තබාගියේ ‘මුනි’ කියන කෙනා කියලා. පොලීසිය අපිට කිව්වේ හවස 3 න් පස්සේ CCTV දර්ශන නැරඹුවාම ඇති කියලා. නමුත් අපි මේ CCTV දර්ශන හොඳින් නැරඹුවා. උදේ වරුවේ සිට. ඒ අනුව අපිට පේනවා.. එදා උදේ 09:52 ට පුද්ගලයෙක් දේවස්ථාන භූමියට ඇතුළුවෙනවා. අපිට පේනවා මේ සිද්ධියේ ඇත්ත හොයාගෙන යනවාට වැඩිය.. කතන්දරයක් ගොතන්නට හදන වැඩක් හැටියට. ඒ නිසා අපි පොලීසියේ මේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අවංකකම නැතිව දේශපාලන ලෝකයේ නායකයන්ට ගැතිකම් කරන්න නොවෙයි පොලීසිය තියෙන්නේ. ඒ නිසා කරුණාකරලා බොරු කරන්න එපා. ඔය යුනිෆෝම් එක ගලවලා දාලා ගෙදර යන්න.” යනුවෙන් පැවසූහ.
මේ අතර සිද්ධිය වූ දිනයේ සී.සී.ටී.වී. දර්ශන සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානය විසින් අද (13) මාධ්‍යයට නිකුත් කර තිබිණි. එම දර්ශනවලට අනුව බෝම්බය තැබූ සැකකරු බෑගයක් අතැතිව 09:52 ට පමණ දේවස්ථානයට ඇතුළු වනු දකින්ට ලැබේ.
බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් ජීව අත්බෝම්බයක් හමුවූයේ පසුගිය 11 වැනිදාය.
බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව සොයාගන්නා ලද එම අත්බෝම්බය පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එදිනම නිෂ්ක්‍රීය කරනු ලැබීය. පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගැනුණු අතර විමර්ශනවලදී හෙළිවූයේ සැකකරුවන් අතර සිටින 56 හැවිරිදි අයෙකු 13 හැවිරිදි දරුවෙකු ලවා අත්බෝම්බය සුරුවම මත තබා තිබූ බවයි. පොලිසිය පවසන්නේ පසුගිය මාස 9 ක කාලයක සිට එම සැකකරු දේවස්ථානයේ නේවාසිකව සිට ඇති බවත් බෝම්බය ඇටවීම සඳහා යොදාගත් ද්‍රව්‍ය ඔහුගේ කාමරයේ තිබී සොයාගැනීමට හැකිවූ බවයි.
+++++++++
කාදිනල් හිමියන්ගේ ප්‍රකාශයට පොලිස් ඇමතිගෙන් ප්‍රතිචාර
(14.01.2022 – 13:36 +0530 – hirunews.lk/sinhala)
බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ හමුවූ අත්බෝම්බය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා එම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අතර, ඊට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරික්ෂණ සිදු වෙමින් පවතින බව, මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් විරසේකර ප්‍රකාශ කළා.
මීරීගම ප්‍රදේශයේ නුංගමුව පොලිස් ස්ථානය විවෘත කිරිමේ අවස්ථාවට ඊයේ (14) එක්වෙමිනුයි, අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
කෙසේ වෙතත් විෂය භාර අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කිරිමට හේතුව වුයේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පොලිස් පරික්ෂණ පිළිබඳව කොළඹ අගරදගුරු නිල නිවසේ ඊයේ (13) මාධ්‍ය හමුවක් කැඳවමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිදු කළ ප්‍රකාශයයි.
++++++++
බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට ප්‍රකාශ 14 ක් සටහන් කර ගැනේ
(14.01.2022 – 14:32 +0530 – hirunews.lk/sinhala)
බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට ප්‍රකාශ 14 ක් සටහන් කරගෙන ඇතැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පවසනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කරමිනුයි ඔහු මේබව කියාසිටියේ.
සියලු සාක්ෂි රැස් කර විශ්ලේෂණය කරමින් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බව පොලිස්පතිවරයා පෙන්වා දෙනවා.
විද්‍යාත්මක, පරිවේෂණීය, තාක්ෂණික සාක්ෂි සහ පුද්ගල සාක්ෂි ඔස්සේත් අදාළ ක්ෂේත්රවල විශේෂඥයන්ගේ සහය ලබාගනිමින් පරීක්ෂණ සිදුකරන අතර පරීක්ෂණ තවමත් මූලික අධියරේ පවතින බවයි සී.ඩී. වික්‍රමරත්න මහතා සඳහන් කළේ.
සියලු සාක්ෂි උපයෝගී කර ගනිමින්, මෙම අත්බෝම්බය දේවස්ථානයට රැගෙන ආ පුද්ගලයා හෝ පුද්ගලයන් කවුරුන් ද යන්න සහ කුමන ප්‍රදේශයක සිට කුමන අරමුණක් මත මෙය රැගෙන ආවේ ද යන්න පිළිබඳව ද විමර්ශන සිදු කරනු ලබනවා.
එමෙන්ම මේ සඳහා කිසියම් පිරිසක් කුමන්ත්‍රණය කර ඇත් ද යන්න සහ ඊට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයන් පිළිබඳව ද විමර්ශණ සිදු කෙරෙන බව පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.
මේ අතර බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී හමුවූ අත්බෝම්බය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශන පිළිබඳව සැකයක් මතුවන බවට කාදිනල් හිමිපාණන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (14) පිළිතුරු ලබා දුන්නා.
අමාත්‍යවරයා පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ විමර්ශනවලට අදාළ සැකකරුවන් බවයි.
බොරැල්ල – සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් හමුව තිබුණේ පසුගිය 11 වැනිදායි.
එම සිද්ධිය සම්බන්ධයෙන් එදිනම සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබුණා.
දේවස්ථානයේ සේවකයෙකු ද එම සැකකරුවන් අතර වනවා.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශන පිළිබඳව සැකයක් මතුවන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ (13) ප්‍රකාශ කළා.
ප්රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ චෝදනා කළේ දේවස්ථානයේ ආරක්ෂක කැමරා දර්ශන පවා පොලිසිය නිසි විමර්ශනයට ලක්කර නොමැති බවයි.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු ලබන 25 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර ඇති අතර, තිදෙනෙකු (3) රඳවා ගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (14) අධිකරණයට දැනුම් දුන්නා.
***************************************
භූ සම්පත් හඳුනා ගැනීම සඳහා නව වැඩපිළිවෙළක්
(13.01.2022 – 10:13 +0530 – hirunews.lk/sinhala)
මෙරට භූ ගර්භයේ ඇති ඛනිජ සම්පත් හඳුනා ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ සඳහා නව තාක්ෂණය සහිත උපකරණ ප්‍රංශයෙන් මිලදී ගැනීමට නියමිත අතර, ඒ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 3.5 ක්.
මෙරට ඇතැම් ස්ථානවල පිහිටා ඇති ඛනිජ සම්පත් හඳුනා ගැනීම සඳහා අධික වියදමක් දැරීමට සිදුවන අතර නව තාක්ෂණය යොදා ගනිමින් එම ගවේෂණ කටයුතු සිදුකිරීමේදී වැය වන පිරිවැය අවම කර ගැනීම මෙම වැඩපිලිවෙලේ අරමුණයි ෴
***************************************
එමිල් රංජන් ගස් – රංගජීව නිදහස්
(13.01.2022 – 10:15 +0530 – hirunews.lk/sinhala)
වැලිකඩ බන්ධනාගාරයේ 2012 වසරේ දී සිදු වූ සිරකරුවන් පිරිසක් අතර කැරැල්ල සම්බන්ධයෙන් වැරදිකරු වූ එවකට වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරී සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් කාන්ත ළමාහේවාට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල අධිකරණය ඊයේ (12) මරණ දඬුවම නියම කළා.
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සියලු චෝදනාවලින් නිදහස් කර නිදහස් කිරීමට යි අධිකරණය නියෝග කළේ.
***************************************
අධ්‍යාපන විද්‍යා පීඨ අනිද්දා (15) ඇරඹීමට උපදෙස්
(13.01.2022 – 11:16 +0530 – hirunews.lk/sinhala)
අධ්‍යාපන විද්‍යා පීඨ අනිද්දා (15) ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව අනිද්දා (15) දිනයේ දී විද්‍යා පීඨ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙන අතර එහි අධ්‍යයන කටයුතු එළඹෙන 18 වන අගහරුවාදා ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අධ්‍යාපන විද්‍යා පීඨ වසා දැමුණු අතර, එය යළි කඩිනමින් ආරම්භ කරන ලෙසයි අමාත්‍යවරයා ඊයේ (12) අමාත්‍යාංශයේ පැවති රැස්වීමක දී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
එමෙන්ම දැනට උසස් පෙළ තාක්ෂණවේදය හදාරන සිසුන්ට එම විෂයන්වල ගුරු පුහුණුව සඳහා ඇතුළත් වීමට නව විද්‍යා පීඨයක් ආරම්භ කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළා ෴
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴