විදුලිය කැපීම ගැන අමාත්‍යාංශයෙන් අමුතු කතා

විදුලිය කැපීම ගැන අමාත්‍යාංශයෙන් අමුතු කතා

*********************************************

විදුලිය කැපීම ගැන අමාත්‍යාංශයෙන් අමුතු කතා

(12.01.2022 – 21:12 +0530 – hirunews.lk/sinhala)

කැලණිතිස්ස බලාගාර පරිශ්‍රයේ පිහිටි පෞද්ගලික බලාගාරයේ ඇතිවූ දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බැවින් අද (12) දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ඊයේ (11) දිනයේදීද ඔවුන් ප්‍රකාශ කළ නමුත්, රාත්‍රියේ ප්‍රදේශ රැසකට විදුලිය බිඳ වැටී තිබුණා.

එහිදී පැයක (1) පමණක කාලයක් විදුලිය ඇණ හිට තිබූ අතර, ඊට හේතු වී තිබුණේ ජාතික පද්ධතියට විදුලිය සැපයෙන කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ පිහිටි පෞද්ගලික බලාගාරයක ඇතිවූ දෝෂයක්.

කෙසේ වෙතත්, ඊයේ (11) එලෙස ප්‍රකාශ කළත්, විදුලිබල අමාත්‍යාංශය අද (12) පෙරවරුවේ පැවසුවේ ඊට පරස්පර අදහසක්.

එම විදුලි කප්පාදුවට හේතුව කලාප වශයෙන් විදුලිය විසන්ධි කිරීම ඊයේ (11) සිට ආරම්භ කිරීම බවයි ඔවුන් එහිදී සඳහන් කළේ.

ඒ අනුව සෑම දිනකම පස්වරු 05:30 සිට රාත්‍රී 09:30 දක්වා කාලය තුළ පැයක (1) කාලයක් කලාප වශයෙන් විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලිබල අමාත්‍යාංශය අද (12) පෙරවරුවේ ප්‍රකාශ කළා.

එසේම, විදුලිය කප්පාදු කරන බවට අමාත්‍යාංශය අද (12) උදෑසන ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවද විදුලිබල අමාත්‍ය ගාමීණි ලොකුගේ ප්‍රකාශ කළේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.

කෙසේ වෙතත්, ඊයේ (11) රාත්‍රියේ අක්‍රීය වූ පෞද්ගලික බලාගාරයේ දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති පැවසුවේ.

ඒ අනුව අද (12) විදුලිය විසන්ධි නොකරන බව ඔහු සඳහන් කළා.

මේ අතර, නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීයව පවතින ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතිනවා.

එය යළි පද්ධතියට එක් කිරීම සඳහා තවත් දින 10 ක පමණ කාලයක් ගතවනු ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ. අක්‍රීයව පවතින ජනන යන්ත්‍රයේ ධාරිතාවයද මෙගාවොට් 300 ක්.

මේ අතර, කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකදී ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමයේ සභාපති ඒ.ජේ.යූ. නිශාන්ත මෙලෙස විදුලි අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

මේ අතර, මාවුස්සාකැලේ සිට කැනියොන් ජලාශය දක්වා ජලය රැගෙන යන නල පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැනියොන් ජලාශයේ මෙගාවොට් 75 ක විදුලි උත්පාදනය මේ වනවිට සිදුවන්නේ නැහැ.

මේ හේතුවෙන් මාවුස්සාකැලේ ජලාශයේ සොරොව්ව දින 05 ක් තිස්සේ විවෘත කර තැබීමෙන් එම ජලාශයේ ජල ධාරිතාව සීග්‍රයෙන් පහත බැස තිබෙනවා.

මේ අතර, මේ දිනවල සිදුකෙරෙන විදුලි කප්පාදුව හේතුවෙන් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වන බව පවසමින් මහජන අයිතීන් සුරැකීමේ පදනම මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එසේම, කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (12) යළි සලකා බැලුණු අතර, ඒ සම්බන්ධ වැඩිදුර විභාගය ලබන 19 වැනිදා දක්වා කල් තැබුණා.

ඒ අනුව ලබන 19, 20 සහ 21 යන දිනවල එම සලකා බැලීම සිදුකෙරෙනු ඇති.

එසේම, ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සදහා ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ගිවිසුම බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ සහ බෙංගමුවේ නාලක යන හිමිවරුන් මෙම පෙත්සම ඉදිරිපත් කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

***************************************

ඉදිරි වසර 03 තීරණාත්මකයි – අගමැති

(12.01.2022 – 19:53 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි වසර තුන (3) තීරණාත්මක කාලසීමාවක් වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (12) ප්‍රකාශ කළා.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන (2) අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම ඉදිකිරීම් කටයුතු අද ආරම්භ කෙරුණා.

අදියර 3 ක් යටතේ සිදුකෙරෙන නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් 2024 දී අවසන් කිරීමට නියමිතයි.

මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 510 ක් වන අතර වරාය අධිකාරිය ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ඊට යොදවනවා.

ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩුවේ ගෙවුණු වසර දෙක (2) පිළිබඳව සිතමින් කල් ගත කිරීම ඵල රහිත කටයුත්තක් බවයි.

***************************************

රාජ්‍ය ඇමතිවරයෙකුගෙන් අධ්‍යක්ෂ ජනරාල්වරියකට තර්ජන

(12.01.2022 – 20:11 +0530 – hirunews.lk/sinhala)

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරියට රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක විසින් බැණවැදී තර්ජනය කර ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

පසුගියදා පින්නවල අලි අනාථාගාරයේ නිවුන් අලි පැටවුන් දෙදෙනෙකුට (2) ‘නම් තැබීමේ උත්සවය’ සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් ඊට හේතුවී ඇති බව සඳහන්.

අදාළ උත්සවය රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන බවට එහි ආරාධනා පත්‍රයේ සඳහන්ව නොතිබීම නිසා උරණ වී ඇයට රාජ්‍ය අමාත්‍යවරයා විසින් දුරකථනයෙන් බැණවැදී තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ආරාධනා පත්‍රයේ සඳහන්ව තිබී ඇත්තේ වනජිවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම් ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙල හා කැළෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකගේ ආරාධනයෙන්, වනජිවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායකගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුවන බවයි.

එය දුටු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක තමාගේ ප්‍රධානත්වයෙන් එය පවත්වන ලෙස සත්ත්වෝද්‍යාන අධ්‍යක්ෂවරියට දුරකථනයෙන් බැණවැදී තර්ජනය කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙහි විශේෂත්වය වන්නේ පින්නවල අලි අනාථාගාරයේ හස්ථි නාම මංගල්‍යය පසුගිය 11 වනදා පින්නවල පැවැත්වුණත් ඊට රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක හෝ කැබිනට් අමත්‍ය සී.බී. රත්නායක සහභාගි වී නොතිබීමයි.

සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ තමන් රාජකාරි කටයුත්තක් සඳහා පමණක් ඇය සමග දුරකථනයෙන් කතාබහ කළ බවයි ෴

***************************************

පළාත් පාලන ඡන්දය වසරකින් (1) දීර්ඝ කිරීම ගැන විපක්ෂ නායකවරයාගේ අදහස

(12.01.2022 – 20:21 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීම වසරකින් (1) දීර්ඝ කිරීම තුලින් පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව ජනතාව අතරට යාමට පවතින බිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයෙන් හුස්මක් වැඩසටහන යටතේ පේදුරුතුඩුව රෝහල වෙත වෛද්‍ය උපකරණ බෙදා දීමේ අවස්ථාවට අද එක්වෙමින්.

***************************************

මහරගම ප්‍රදේශයේ අතුරුදන් වූ 15 හැවිරිදි දැරිය හමුවෙයි

(12.01.2022 – 20:36 +0530 – hirunews.lk/sinhala)

මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටියදී අතුරුදන් වූ 15 හැවිරිදි දැරිය ව සොයාගෙන තිබෙනවා.

දැරිය පිළිබඳ විස්තර මාධ්‍ය මගින් පළකර තිබූ අතර ඒ බව දැනගැනීමෙන් අනතුරුව දැරිය විසින් සිය මවට දුරකථන ඇමතුමක් දී හමුවීමට පැමිණ තිබෙනවා.

පසුව දැරියගේ මව විසින් පොලීසියට ඒ බව දැනුම්දීමට කටයුතු කර ඇති බව සඳහන්.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැරියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතයි.

මහරගම නාවින්න ප්‍රදේශයේ පදිංචිව සිටියදී එම දැරිය අතුරුදන්ව ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුනා.

එම දැරිය ජනවාරි මස 07 වන දින සිට එලෙස ආගිය අතක් නොමැති බවට වාර්තා වුණා.

එතෙක් සිදුකළ විමර්ශන අනුව අතුරුදන් වූ දැරිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් පොලීසියට අනාවරණය නොවීම නිසා මාධ්‍ය මගින් ඇයගැන තොරතුරු පළ කිරීමට පොලීසිය තීරණය කර කළා.

ඒ අනුව පොලීසිය ඊයේ (11) ඇය පිළිබඳ තොරතුරු මාධ්‍යට ලබාදී තිබුණා ෴

***************************************

ඇමති අමරවීරගේ කුඹුරටත් පොහොර නැහැ

(12.01.2022 – 21:09 +0530 – hirunews.lk/sinhala)

ආනයනික එල්.පී. ගෑස්, සිලින්ඩර හා ඊට සම්බන්ධ රෙගියුලේටර්, වෑල් සහ බට නියාමනය කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පැවරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඊට අත්සන් තබා ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂයි.

අදාල ගැසට් නිවේදනය අනුව මින් ඉදිරියට එල්.පී. ගෑස් ඇතුළු ඊට සම්බන්ධ රෙගියුලේටර්, වෑල්, බට ආනයනය කිරීමේදී ප්‍රමිති ආයතනයේ පරීක්ෂාවට ලක් කර අනුමැතිය ලබා ගත යුතු බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර, අදත් (12) කොළඹ ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශවල ජනතාව ගෑස් ලබාගැනීම සදහා පෝලිම් වලට සිටිනු දක්නට ලැබුනු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

එමෙන්ම, මහනුවර සහ කොළඹ වේල්ලවිදිය ප්‍රදේශවලින්ද ගෑස් සම්බන්ධ සිද්ධීන් අද (12) වාර්තා වී තිබුණා.

මෙවන් පසුබිමක් තුළ පොහොර සම්බන්ධ ගැටලු හේතුවෙන් ද පීඩාවට පත් ගොවිජනතාව තවමත් මැසිවිලි නගමින් සිටිනවා.

තම කුඹුරට ද පොහොර නොලැබුණු බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර අද ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, කාබනික පොහොර ප්‍රචලිත කිරීම සදහා මැදිහත් වීම තුල වසර 32 ක සිය දේශපාලන ජිවිතය විනාශයට පත්වු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.

ඒ, ගොවි සංවිධාන ජාතික බලමණ්ඩලය සමග ඊයේ (11) කෘෂීකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවකට එක්වෙමින්.

***************************************

ජනවාරියේ මේ දක්වා සංචාරකයින් 29,420 ක්

(12.01.2022 – 21:31 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි මාසයේ මේ දක්වා මෙරටට සංචාරකයන් 29,420 ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි සභාපති කිමාලි ප්‍රනාන්දු පැවසුවේ රුසියාව, ඉන්දියාව, යුක්රේනය ඇතුළු රටවල් රැසකින් ජනවාරි මාසයේදී මෙරටට සංචාරකයින් පැමිණ ඇති බවයි.

පසුගිය වසරේ ජනවාරි මාසයේදී මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයින් 1682 ක් පමණයි ෴

***************************************

ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් ශ්‍රේණිගත කිරීම වගකීම් විරහිත බවට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්

(12.01.2022 – 21:44 +0530 – hirunews.lk/sinhala)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ‘CCC+’ සිට ‘CCC’ දක්වා පහත දමා තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව ද නිවේදනයක් නිකුත් කරා.

එහි දැක්වෙන්නේ ජනවාරි 18 වනදා කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය පියවීමට කටයුතු සූදානම් කිරීම මධ්‍යයේ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රේණිගත කිරීම නුසුදුසුය බවයි.

මේ අතර මීට පෙර විදෙස් ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ගැන ෆිච් රේටින්ස් ‘Fitch Ratings’ අනතුරු ඇඟවීමක් සිදු කළා.

ඒ අනුව ‘ෆිච් රේටින්ස්’ විසින් ශ්‍රී ලංකාවේ Long-Term Foreign-Currency Issuer Default Rating (IDR) ශ්‍රේණිගත කිරීම ‘CCC’ සිට ‘CC’ දක්වා පහත දමා තිබුණා.

***************************************

විදුහල්පතිවරුන්ගේ විරෝධතාව

(12.01.2022 – 22:37 +0530 – hirunews.lk/sinhala)

විදුහල්පතිවරුන්ගේ විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල – ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (12) උණුසුම් තත්වයක් හටගත්තා.

විරෝධතාකරුවන් එහිදී චෝදනා කළේ නීතියට පිටින් විදුහල්පති පත්වීම්ලබාදීමේ සූදානමක් ඇති බවටයි.

අද (12) පෙරවරුර් 10 ට පමණ විදුහල්පති සමිති සන්ධානය බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පාගමනින් පැමිණ විරෝධතාවයක නිරත වුණා.

ඒ නියමිත විභාග පටිපාටියකින් තොරව විදුහල්පති පත්වීම් ලබාදීමට විරෝධව පළකරමින්.

අධ්‍යාපන අමාත්‍යංශයේ වගකිවයුතු නිලධාරීන් සමග සාකච්චාවක් ඉල්ලා සිටියත්විරෝධතාකරුවන් අමාත්‍යංශයට ඇතුල්වීමට හැකිවුණේ නැහැ.

පසුව ඔවුන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නියැලුණා.

මේ හේතුවෙන් ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවූ අතර ඇතැම් පිරිස් විරෝධතාකරුවන්ට දෝෂාරෝපණය කලේ මෙලෙසින්.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා ආසාදිතයින් 159 ක් සුව අතට

(12.01.2022 – 15:09 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 159 ක් අද (12) දින පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව, සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව, මෙරට කොරෝනා අසාදිතව සිට සුවය ලැබූ මුළු ගණන 5,67,519 ක් දක්වා ඉහළ යනු ඇති ෴

තවත් කොරෝනා මරණ 14 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 15,163 ක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *