දිනෙන් දින උග්‍ර වන පොහොර අවුල

දිනෙන් දින උග්‍ර වන පොහොර අවුල

*********************************************

දිනෙන් දින උග්‍ර වන පොහොර අවුල

(12.01.2022 – 15:55 +0530 – hirunews.lk/sinhala)

පොහොර සඳහා අධික මිලක් ගෙවීමට සිදුවීමෙන් තමන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව පොළොන්නරුව – ඇළහැර ප්‍රදේශයේ වී ගොවීන් පවසනවා.

මේ අතර, ගොවීන් බොහෝදෙනා ඉල්ලා සිටින්නේ පොහොර නොමැතිව විනාශ වූ තම වගාවන්ට සාධාරණ වන්දියක් ලබාදෙන ලෙසයි.

පොළොන්නරුව – මින්නේරිය ගොවිජනපද ව්‍යාපාරයට අයත් හිගුරක්ගොඩ, යුදගනාව ප්‍රදේශයේ මෙවර මහ කන්නය යටතේ වගා කරන ලද වී වගාවන් සඳහා රජය විසින් ලබා දෙන ලද කාබනික පොහොර භාවිත කළත් එම වී වගාවන් විනාශ වෙමින් පවතින බව ගොවි ජනතාව පවසනවා.

ඔවුන් පවසන්නේ ඉදිරියේදී ප්‍රමාණවත් අස්වැන්නක් බලාපොරොත්තු විය නොහැකි බවයි.

මේ අතර පොළොන්නරුව – ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ වී වගා කරන ගොවීන් පිරිසක් පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා දේව කන්නලව්වක නිරත වුණා.

පොළොන්නරුව ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ජයසිරිපුර ගම්මානයේ ගොවීන්ද පෙන්වා දෙන්නේ අවශ්‍ය පොහොර නොමැතිවීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි.

බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයක වට්ටක්කා ගොවීන් ද පවසන්නේ මෙවර අක්කර සිය ගණනක් වගා නොකර ඇතහැර දමා ඇති බවයි.

වැටකොළු ගොවීන් ද පොහොර නොමැතිකමින් ගැටලු රැසකට මුහුණ පා සිටිනවා.

ගාල්ල ප්‍රදේශයේ වී ගොවීන් ද පවසන්නේ පොහොර නොමැතිවීම හේතුවෙන් මෙවර වගා කටයුතු අසාර්ථක වූ බවයි.

තවත් ප්‍රදේශ රැසක ගොවීන් අවශ්‍ය පොහොර නොමැතිව ගැටලු රැසකට මුහණ පා සිටිනවා.

***************************************

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය පැවරීමට එරෙහිව තවත් පෙත්සමක්

(12.01.2022 – 16:06 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සදහා ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ගිවිසුම බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ සහ බෙංගමුවේ නාලක යන හිමිවරුන් මෙම පෙත්සම ඉදිරිපත් කළ බවයි, හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, එහි සභාපතිවරයා, ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් පුද්ගලික සමාගම, විගණකාධිපති, ලංකා අයි.ඕ.සී. සමාගම, ආරක්ෂක ලේකම් ඇතුළු 47 දෙනෙකු නම් කර තිබෙනවා.

මීට අදාළව ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වක්මුල්ලේ උදිත හිමියන් විසින්ද ඉකුත් දා පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.

***************************************

අවසන් මොහොත තෙක් අරගල කරනවා – මන්ත්‍රී ෂාන්

(12.01.2022 – 16:21 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ආණ්ඩුවෙන් ඉවත් වීම හෝ තවදුරටත් රැඳී සිටීම සම්බන්ධයෙන් කිසිදු බෙදීමක් හටගෙන නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා පවසනවා.

අද (12) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ, තම පක්ෂයේ ද සහයෝගයෙන් පිහිටුවා ගත් ආණ්ඩුව තුළ පක්ෂයක් ලෙස එකඟ විය නොහැකි යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ නම්, ඒ වෙනුවෙන් දිගින් දිගටම අවසන් මොහොත තෙක් පෙනී සිටීමට කටයුතු කරන බවයි.

නමුත් එම ක්‍රියාවලිය එලෙස සිදු නොවන්නේ නම්, ජන හඬට කන් දී, දේශපාලන තීන්දුවක් පක්ෂයක් ලෙසින් ගැනීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුබට නොවන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

***************************************

ග්‍රේගරි වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරිමේ ව්‍යාපෘතියක්

(12.01.2022 – 16:59 +0530 – hirunews.lk/sinhala)

නුවරඑලිය ග්‍රේගරි වැවේ ජලය මත පාවෙන සහ තැන්පත් වි ඇති ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු කැලි කසල වැවෙන් ඉවත් කිරිමේ වැඩසටහනක්, නුවරඑලිය පොලිස් ජිවිත ආරක්ෂක ඒකකයේ නිලධාරින්ගේ මැදිහත් විමෙන් සිදු කෙරුණා.

නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි මුලිකත්වයෙන් සහ නුවරඑලිය මහ නගර සභාවේ නිලධාරින්, නුවරඑලිය පොලිස් ජිවිත ආරක්ෂක ඒකකයේ නිලධාරින්, නුවරඑලිය ග්‍රේගරි වැවේ බොට්ටු හිමිකරුවන්, බොට්ටු පැදිකරුවන් එක්වයි, අද (12) දින දවසපුරා ග්‍රේගරි වැවේ ශ්‍රමදාන කටයුත්ත සිදු කරනු ලැබුවේ.

පසුගිය දා නුවරඑලියට පැමිණි දේශිය සංචාරකයන් විසින් සහ නුවරඑලිය නගරයේ ඇතැම් ව්‍යාපාරිකයන් විසින් වැවට ජලය ගලා බසිනා ඇල මාර්ග වලට බැහැර කරන ලද ප්ලාස්ටික් පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය, නුවරඑලිය ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු වර්ෂාවත් සමග එම අපද්‍රව්‍ය වැවට ගලාගෙනවිත්, ජලයේ පාවෙමින් සහ තැන්පත් වි ඇති බවයි, ග්‍රේගරි වැවේ ශ්‍රමදාන කටයුත්තට එක් වු පොලිස් ජිවිත ආරක්ෂක ඒකකයේ නිලධාරින් කියා සිටියේ.

ප්ලාස්ටික් පොලිතින්, ඝන අපද්‍රව්‍ය වලට අමතරව මත්පැන්සැල් වලින් ඉවත් කරනු ලැබු කුඩා මත්පැන් බොතල් විශාල ප්‍රමාණයක් වැවට ගලාගෙන විත් තැන්පත් වි තිබු බවත්, එම බෝතල්ද වැවෙන් ඉවත් කල බවත්, පොලිස් ජිවිත ආරක්ෂක ඒකකයේ නිලධාරින් පවසනවා.

***************************************

පාස්කු ප්‍රහාරයේ නඩුව මාර්තු 03 වනදාට කල් යයි

(12.01.2022 – 17:04 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට අදාළව නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති, නඩුව මාර්තු මස 03 වන දා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබෙනවා.

ඒ අදාළ නඩුව දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ නවුෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකු වෙත එම නඩුවෙන් චෝදනා එල්ල කර තිබෙනවා ෴

***************************************

ඉදිරි දින සඳහා ආසන වෙන් කිරීමේ කටයුතුවලින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉවතට

(12.01.2022 – 17:10 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දින වෙනුවෙන් කලින් ආසන වෙන් කිරීමේ කාර්යයන් අද (12) දින සිට සිදු නොකරන බව, දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළා.

ඒ අනුව, දෛනිකව ධාවනය වන දුම්රිය සඳහා පමණක් ආසන වෙන් කිරීමේ කටයුතු සිදුකරන බවයි, එම සංගමය නිවේදනය කළේ.

දුර ගමන් සේවා දුම්රිය ධාවනය නිසි ලෙස ආරම්භ කිරීමට බලධාරින් අපොහොසත් වීම හමුවේ දුම්රිය මගින් පත්වන අපහසුතාවය සලකා බලා මෙම තීරණයට එළඹි බව, දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

බත් පාර්සලයෙන් මතු වූ හෙරොයින්

(12.01.2022 – 17:47 +0530 – hirunews.lk/sinhala)

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැකකරුවෙකු බැලිමට පැමිණි ඥාතියෙකු විසින් සැකකරු වෙත ලබා දිමට රැගෙන එන ලද බත් පාර්සලයේ හාල්මැස්සන් ව්‍යංජනයේ ඉතා සුක්ෂම ලෙස හෙරොයින් සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී එදින රාජකාරියේ යෙදි සිටි බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරිණියන් විසින් ඉතා උපක්‍රමශිලීව හදුනාගත් අවස්ථාවේදී සැකකරු පලා යාමට උත්සහ කර තිබෙනවා.

එම අවස්ථාවේදී ක්ෂණීකව ක්‍රියාත්මක වු නිළධාරින් විසින් එම පුද්ගලයා ලුහුබැද ගොසිනුයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ.

මෙම තහනම් ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයා සහ අදාල තහනම් ද්‍රව්‍ය ද සමග ඉදිරි නිතිමය කටයුතු ගැනිම සදහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දි ඇති අතර, සිදුවිම සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මුලස්ථානය ප්‍රකාශ කළා ෴

***************************************

බොරැල්ල දේවස්ථානයක තිබී සොයාගත් ජීව අත්බෝම්බය සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් එළියට

(12.01.2022 – 18:02 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (11) සවස බොරැල්ල සියළු ශාන්තුවරයින්ගේ දේවස්ථානය තිබී හමු වූ බෝම්බය අටවා ඇත්තේ වසර 16 ක පමණ කාලයක් එහි සේවය කළ සේවකයකු විසින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පවසනවා.

ඔහු කියා සිටින්නේ මෙම බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් සිව් (4) දෙනෙකු අත් අඩංගුවට ගෙන ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවයි.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකරන මෙම ප්‍රශ්න කිරීම් වලදී හෙලිවී ඇත්තේ අදාළ දේවස්ථානයේ වසර 16 ට ආසන්න කාලයක් සේවය කළ මෙම පුද්ගලයා මෙම අත්බෝම්බය ගිණිකූරු සහ හඳුන්කූරු භාවිත කරමින් රබර් පටි වලින් එම ගිණිකූරු සහ හදුන්කූරු බෝම්බය වටා ඔතා ගිනි ගන්නා විට පුපුරා යන ආකාරයට අටවා ඇති බවයි.

එමෙන්ම එම බෝම්බය අල්තාරය අසල සැඟවීමට දේවස්ථානයට නිතර යන එන වයස අවුරුදු 13 ක ළමයෙකු ද හවුල් කරගෙන ඇති බව මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි කරගෙන තිබෙනවා.

අදාල දරුවාද මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය භාරයට ගෙන ඔහු අලුත්කඩේ අංක 2 මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඔහුගේ ප්‍රකාශයක් මහේස්ත්‍රාත්වරිය වෙත ලබාදීමට කටයුතු කර තිබෙණවා.

මෙහිදී මෙම සැකකරු කුමන අරමුණක් මත මෙම බෝම්බය දේවස්ථානය තුළ තැබුවාද යන්න පිළිබඳව දීර්ඝව විමර්ශන කරන අතර ඔහුට මෙම අත්බෝම්බය ලැබුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් සහ එම අත් බෝම්බය එම ස්ථානයෙන් තැබීම සඳහා තවත් කවුරුන් හෝ පිරිසක් උදව් උපකාර කළේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙනවා.

එමෙන්ම මෙම අත් බෝම්බය SFG 87 වර්ගයේ බෝම්බයක් බවට මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා;.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානය කොළඹ අපරාධ කොට්ඨාශය එක්ව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

***************************************

27 කට මරු කැඳවූ වැලිකඩ බන්ධනාගාර සිද්ධියේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ

(12.01.2022 – 18:31 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 8 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 10 කට අධික කාලයක් පුරා පැවති නඩු විභාගය අවසානයේ තීන්දුව අද (12) ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව මෙම සිද්ධිය හටගත් අවස්ථාවේ වැලිකඩ බන්ධනාගාර අධිකාරී ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවාට මරණ දඩුවම නියම කෙරුණු අතර මෙම සිද්ධියේදී වැලිකඩ බන්ධනාගාරයට පිවිසි එවක පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස්කොට නිදහස් කෙරුණා.

බොරැල්ල වැලිකඩ බන්ධනාගාරය අවට ප්‍රදේශය යුද පිටියක් කරමින් ඇවිලී ගිය කලබලකාරී තත්වය හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි බරපතල වැරදි සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක්වූ 27 දෙනෙකු මරණයට පත්වුණා.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී සාක්ෂි සම්පිණ්ඩනය කර ගැනීමට හැකිවූයේ පුද්ගල මරණ 8 ක් සම්බන්ධයෙන් පමණයි.

ඒ අනුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නඩු ගොනු කෙරුණේ පුද්ගල මරණ 8 ක් සම්බන්ධයෙන්.

2012 වසරේ නොවැම්බර් මස 9 වනදා සිදුවූ මෙම ඝාතන සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වූ එමිල් රංජන් ළමාහේවාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබුවා.

පසුගිය හයවනදා (06) මෙම නඩුවේ තීන්දුව ලබාදීමට නියමිතව තිබුණත් එය අද (12) දිනය දක්වා කල් දැමීමටයි ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ.

නඩුව එදින කැඳවූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ගිහාන් කුලතුංග දැනුම් දුන්නේ මෙම නඩු තීන්දුව සූදානම් කර ගැනීමට නොහැකි වූ හෙයින් එය ප්‍රකාශයට පත් කිරීම මෙලෙස කල් තබන බවයි.

***************************************

ගාල්ල මුහුදෙත් කිඹුලන්

(12.01.2022 – 19:00 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල සමුද්‍ර මාවතේ ජා කොටුවැල්ල ධිවර බෝට්ටු අංගණය අසල මුහුදේ කිඹුලන් කිහිප දෙනෙකු සැරිසරන බව ධිවරයෝ පවසනවා.

ධීවරයන් පැවසුවේ අඩි පහළොවක් පමණ දිග කිඹුලන් තිදෙනකු (3) මෙලෙස මුහුදේ ගැවසෙන අයුරු තමන් දුටු බවයි.

මේ සම්බන්ධයෙන් නාවික හමුදාව සහ පොලිසිය දැනුවත් කිරීමට තමන් පියවර ගත් බවද ධීවරයෝ පැවසුවා.

මේ සම්බන්ධයෙන් හික්කඩුව වනජීවී කාර්යාලයෙන් විමසු විට මේ සම්බන්ධව තමන් දැනුවත් කර ඇති බවත් මුහුදේ සිටින බවට පැවසෙන කිඹුලන් පිළිබඳව සොයා බැලිම සඳහා තම නිලධාරී කණ්ඩායමක් යෙදවිමට පියවර ගත් බවත් ගාල්ල දිස්ත්‍රික් වනජිවි නිලධාරින් සඳහන් කළා.

අධික වැසි දිනවල මෙන්ම කිඹුලන්ගේ අභිජනන සමයේද කිඹුලන් මෙසේ මුහුදට පැමිණෙන බවද හික්කඩුව වනජිවි උද්‍යාන භාරකරු උත්පල අදාරංග පැවසුවා ෴

***************************************

ආණ්ඩුවෙන් යනවා නම් යන්න, තැන් තැන් වල කියවන්න එපා – නාමල්ගෙන් ශ්‍රීලනිපයට තද කතාවක්

(12.01.2022 – 19:14 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවේ ක්‍රියාකලාපය හා එකඟවිය නොහැකි නම් තැන් තැන් වල ආණ්ඩුව විවේචනය නොකර අවශ්‍ය නම් ආණ්ඩුවෙන් ඉවත්ව යන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තේරී පත්වූයේ සන්ධානයක් ලෙසින් පැමිණ ජනතාවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති හේතුවෙන් බවත් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ජනතාව සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ එම තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇත්නම් සිදු කළ යුතුව ඇත්තේ ඒවා පක්ෂ නායක රැස්වීම් වලදී සහ ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡා කිරීම බවයි.

එසේ නොමැතිව තැන තැන ආණ්ඩුව විවේචනය කරමින් ආණ්ඩුව තුළම සිටිමින් එහි සියලු වරප්‍රසාද විඳිමින් කාලය ගෙවීම නොකළ යුත්තක් බව ඔහු අවධාරණය කරනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයාවරයා :

“ඕනෑම මැතිවරණයකට පොදුජන පෙරමුණ සූදානම්. මාධ්‍යයේ මම දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නායකයින් නොයෙක් මත ප්‍රකාශ කරනවා. ඉතින් මම හින්නේ තැන තැන කියවන්නේ නැතිව පක්ෂනායක රැස්වීමේ කියලා ගියොත් හොඳයි, ජනතාව අපහසුතාවයට පත් කරන්න ඕනේ නැහැනේ. ජනතාව එදා ඔවුන්ටත් ඡන්දය දුන්නේ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරනවා. රාජ්‍ය අමාත්‍යවරු ඉන්නවා. ඒ වගේම ආණ්ඩුව නියෝජනය කරනවා. මේ ආණ්ඩුවේ හැම තීරණයකට ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වගකියන්න ඕනේ සහ සන්ධානය වගකියන්න ඕනේ. ආණ්ඩුවක් විදියට සාමුහික වගකීමක් තියෙනවා. යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රතිපත්ති හරියන්නේ නැත්නම්, ඒ අය ඉල්ලන්නේ, වෙන ප්‍රතිපත්ති නම් තැන් තැන්වල කියවන්නේ නැතුව පක්ෂ නායක රැස්වීමේ දී කියලා ගෞරවාන්විතව එළියට ගියා නම් හොඳයි.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *