පාස්කු ප්‍රහාරය දින 1000 ආසන්නයේ ! සාධාරණය ඉල්ලූ අරගලය දිනාගන්නට සැවොම සීරුවෙන් !

පාස්කු ප්‍රහාරය දින 1000 ආසන්නයේ ! සාධාරණය ඉල්ලූ අරගලය දිනාගන්නට සැවොම සීරුවෙන් !

*********************************************

පාස්කු ප්‍රහාරය දින 1000 ආසන්නයේ ! සාධාරණය ඉල්ලූ අරගලය දිනාගන්නට සැවොම සීරුවෙන් !

(12.01.2022 – 14:01 +0530 – hirunews.lk/sinhala)

මීට අවුරුදු 03 කට පෙර මෙරට ඉතිහාසයේ සිදු වූ ඛේදනීයම සහ අනුවේදනීයම පුවත වාර්තා වන්නට ගත වූයේ ඇහිපිල්ලමක් පියවීමට වඩා අඩු කාල පරාසයක්.

හුස්ම ගන්නා ජීවිත 207 කට අධික ප්‍රමාණයක් ද තවත් 450 කට බරපතළ තුවාල සිදු කරමින් සහ සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වන්නට ගත වූයේ ද නිමේෂයක්.

2019 අප්‍රේල් මස 21 වැනිදින, ලොවට ප්‍රේමය දායාද කළ සිය ශාස්තෘවරයාණන් සිහි කිරීම වෙනුවෙන් උන්වහන්සේගේ දූ පුතුන් දහස් ගණනින් දිවයිනේ නන් දෙසින් විවිධ කිතුණු දිව්‍ය මන්දිර වෙත පිය නැගුවෝය.

දෙවියන් වහන්සේට ඇති ළෙංගතුකමින් උන්වහන්සේගේ දරුවන් හිමිදිරියේ දෙව් මැඳුරේ සිට දේව ගුණ ගයමින්, ගීතිකා ගායනා කළ අතර, සිය ශාස්තෘවරයාණන්ගේ ගුණ සිහි කිරීම ද සිදු කළේ හදවතේ පුරවා ගත් භක්තිය ද සමගින්.

එහෙත් රුදුරු යක්ෂයා හෙවත් සාතන්ගේ කැඳවීම මෙන්ම ඇල්ම බැල්ම වැටෙන්නට ගත වන බවක් හෝ කිසිම නිච්චියක් ඒ ගැන නොදත් කුඩා දරුවන් ද වෛවර්ණිත ඉටිපන්දම් එළි අස්සෙන් දෙවියන් වහන්සේ දෙස බලා සිටියේ අසීමිත ආදරයෙන්.

මෙවන් වටපිටාවක පාපයේ ඇත්තවුන් පමණක් දැන සිටි, ලොවම නො දැන සිටි කිසියම් කුමන්ත්‍රණකාරී සහ භීෂණකාරී අපරාධමය සිදුවීම් දාමයක් ක්‍රියාත්මක වෙමින් තිබුණි.

සූර්යයා නැගි හෝරා එකිනෙක ගෙවෙන්නට පෙර, හරියටම උදෑසන 8 පසු වී විනාඩි කටුව 45 වන විට දිවයිනේ පිහිටා ඇති ප්‍රධාන කතෝලික දේවස්ථාන සහ සුපිරි පෙළේ හෝටල් දෙකකට (2) ද අවාසනාවේ සහ සාතන්ගේ කාල හෝරාව එළඹිණි.

දේව ගීතිකා සහ ආසිරි වැස්සෙන් හිමිදිරියේ සිට ගුවනත දෝවනය කළ දේව මැඳුරු තුළින් ඉන් මොහොතකට පසුව ඇසෙන්නට වූයේ මරණයේ වේදනාවයි.

යක්ෂයාගේ රුදුරු දෙඅත් මැදට සිර වී හුස්ම යදින අහිංසක මිනිසුන් ය.

එදින රටේ ප්‍රධාන පුවත් සිරස්තල වූයේ ‘පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය’ ලෙසිනි.

කෙසේවෙතත්, හෝරාවක් ගෙවෙන්නට පෙර යක්ෂයාගේ බිල්ලට හසු වූ මිනිස් ජීවිත ගණනවත් හරි හැටි තේරුම් ගන්නට නොහැකි තරම් පින්බිමක් වූ කිතුණු දේව මන්දිරවල පොළොව පුපුරා, දෙවියන් ඉදිරියේ රක්ත වර්ණිත ලේ විල් මැද සැතපී, නිහඬ වූ අහිංසක මිනිසුන් ය.

මෙවන් ඛේදජනක සමූල ඝාතනයක් 30 අවුරුදු කුරුරි යුද්ධයකින් පසුව සිදු නොවුණු අතර, කම්පිත ව සිටි වැසියන් සිය ජීවිත දෙවියන් ඉදිරියේ යදින්නට පටන් ගත් අයුරු කැමරා ඇසෙහි ද සටහන් වුණු අයුරු පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව දේවස්ථානවල නිරන්තරයෙන් දකින්න හැකි විය.

වගකිව යුත්තන් නිහඬ ව සිටිමින්, පාපතරයින් නීතියෙ දෙවඟන අබියසට රැගෙන එනවා යැයි අසරණ ජනතාවට පොරොන්දු සිය දහස් ගණනින් දුන්න ද සමූල ඝාතනය සිදු වී දින 1000 ක් මෙම ජනවාරි මස 14 වැනි දිනට සපිරෙද්දී, ඒ පොරොන්දු යථාර්ථයක් වේ යැයි සිහිනෙන්වත් සිතිය හැකි ද ?

බලධාරින්ට ද මෙම පාපතර ක්‍රියාව ඝාතකයින්ට මෙන්ම සුළු කොට තකන කරුණක් වූවා දැයි සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ම මේ වනවිට පැන නැගි ඇති ගැටලුවක්.

දෙවියන් ඉදිරියේ දී ඝාතකයින් විසින් සාතන් නමැති යක්ෂයාට බිලි පූජා ලෙසින් පුද දුන්නේ නිර්දෝෂිකයන් ය. දේශපාලන බලය තර කරගැනීම සඳහා උකසට තැබුවේ අසරණ මිනිසුන් ය.

එය වුවමනා වූවන්ට ලැබිය යුතු භෞතික ලාබ එදින ලැබෙන්නට ඇත.

එහෙත් එදින ලක්මවට අහිමු වූයේ ඇයගේ කුසින් උපන් දරුවන් ය.

ආදරණීය තම ලෙයින් උපන් දරුවන් අහිමි වූයේ මව්පියන්ට ය. දරුවන්ට නැති වූයේ තම දෙමව්පියන් ය. සහෝදරයින්ට තම සහෝදර සහෝදරයින් ද ඥාතීන්ට තම ඥාතීන් ද හිතවතුන්ට තම හිතවතුන් ද අහිමි වූයේ 2019 අප්‍රේල් 21 වැනි භීෂණය පිරි දිනය.

තවමත් නිසි සාධාරණත්වයක් තම ඥාතීන් අහිමි වූවන් වෙනුවෙන් හෝ ශ්‍රී ලංකා ධරණිතලයෙහි නාමයෙන් හෝ මේ වනතෙක් සිදුව නැත.

තුන් (3) වසරක් පුරා දින දහසක් (1000) ගතවන තුරු නීතිය ඉදිරියේ දෙපසට ඇඳෙන කඹයක් කොටස්කරුවෙකු මෙන් පාස්කු ඝාතකයින්ට දඬුවම් ලැබී නැත.

මෙතෙක් කලක් ඒ වින්දිතයන් සඳහා සෑහීමට පත් විය හැකි තරමට සාධාරණත්වයක් ඉටු නොවීම වෙනුවෙනුත්, රටේ මේ වන විට ජනතාව අතිශයින් පීඩා විඳින්නා වූ සාමාජීය, ආර්ථික ප්‍රශ්න වෙනුවෙනුත් දෙවියන් ඉදිරියේ යදින්නට ජාතික මට්ටමේ යාච්ඤා මෙහෙයක් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව විසින් ජනවාරි මස 14 වැනි දින සංවිධානය කර තිබේ.

එදින උදෑසන 10 ට තේවත්ත බැසිලිකා දෙව් මැඳුරේ පාස්කු වින්දිතයින් උදෙසා සාධාරණත්වයේ හඬ අවදි වනු ඇති..!

***************************************

ආහාර භෝග වගා කිරීමේ වැඩපිළිවෙළක් අරඹන්නැ යි ජනපතිගෙන් උපදෙස්

(12.01.2022 – 14:22 +0530 – hirunews.lk/sinhala)

ආහාර හිගයක් සම්බන්ධයෙන් විවිධ පාර්ශව අනතුරු අඟවා ඇති මොහොතක වගා නො කළ සියලු ඉඩම්වල ආහාර භෝග වගා කිරීමේ ගෙවතු වගා වැඩපිළිවෙලක් ආරම්භ කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊට අදාළ උපදෙස් පෙරේදා (10) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ලබාදුන් බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ.

මේ අතර, අම්පාර – ත්‍රිකුණාමලය ඇතුළු තවත් දිස්ත්‍රික්ක 4 ක ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථාන 45 කට කෘෂි යන්ත්‍රෝපකරණ බෙදා දීම ආරම්භ කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රධානත්වයෙන් මෙය ආරම්භ කෙරුණු අතර, ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 65 ක්.

අස්වනු නෙලන යන්ත්‍ර, ට්‍රැක්ටර් ඇතුළු තවත් යන්ත්‍ර මේ යටතේ බෙදාදීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ෴

***************************************

තෙෂාරට හිටපු ලිට්‍රෝ සභාපතිගෙන් කන හරහා මොළයට උපදෙසක් !

(12.01.2022 – 14:49 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පුපුරා යන ගෑස් සම්බන්ධ සිදුවීම්වලට වගකිවයුතු වන්නේ වර්තමාන ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ බව එම සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්ත පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමෙහි සටහන් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, වත්මන් ලිට්‍රෝ සභාපතිවරයාගේ නොහැකියාව සහ නොදැනුවත්කම නිරන්තරයෙන් ම ඔහු ප්‍රදර්ශනය කරමින් සිටින බවයි.

එලෙස හැඟීමට ප්‍රධානතම හේතුවක් ලෙස හිටපු සභාපතිවරයා කියා සිටින්නේ, වගකිවයුතු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක ප්‍රධානියකුගේ කාර්යභාරය නිසියාකාරව තේරුම් ගත්තේ නම්, වසර 150 ක කීර්තිමත් ඉතිහාසයක් ඇති වර්තමාන ලිට්‍රෝ සමාගම සම්බන්ධයෙන් මෙතරම් අප්‍රසාදයක් සහ අවිශ්වාසයක් ජනතාව තුළ ගොඩනැගෙන ආකාරයෙන් කිසිදිනක කටයුතු සිදු නොවන බවයි.

මෙවන් තත්ත්ව්යක් තුළ හිටපු සභාපතිවරයා විසින් වත්මන් සභාපති තෙෂාර ජයසිංහ වෙත චෝදනා කර සිටින්නේ, ඔහුගේ වෘත්තීමය ක්‍රියා කලාපය තුළ වත්මන් ජනාධිපතිවරයා, ආණ්ඩුව සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු සමස්ත රජයම අපහසුවට පත්ව ඇති බවයි.

තෙෂාර ජයසිංහ සභාපතිවරයා ආයතනය තුළ සභාපති ලෙස රැඳෙමින්, විශාල ලාබ ඉපැයූ සමාගමක් ජනතාවගේ විවේචනයට සහ අවිශ්වාස්‍ය ගොඩනැගෙන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් ඔහු ධුරයට පත් වූ දා සිට පසුගිය සය මාසයක් තුළ පාරිභෝගිකයාට හෝ රජයට වාසිදායක මෙන්ම සාධනීය කිසිම දෙයක් ඉටු නොකිරීමෙන් ඔහුගේ ඇති පරිපාලන දුර්වලතාව ද මැනවින් මේ වනවිට ඔප්පු වී ඇති බව ද ෆේස්බුක් හි තැබූ සටහන මගින් පෙන්වා දෙනවා.

දිවංගත හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර විසින් ඔහුගේ ධුර කාලය තුල දී ලිට්‍රෝ සමාගම එල්.පී.ජී. ගෑස් මිල දී ගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලිය 2019 ජුලි මාසයේ දී නිසි අයුරින් ආරම්භ කළ බව ද මතක් කර සිටිනවා.

එම ක්‍රියාවලිය රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා විනිවිදභාවයෙන් යුක්ත අමාත්‍ය මණ්ඩලයක් පත්කොට, ප්‍රසම්පාදන කමිටුව විසින් තීරණය කිරීමකට ද ලක්ව, අවසානයේ අභියාචනා කමිටුවට ද ඉදිරිපත් කොට, 2020 ජනවාරි 30 වැනි දින වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය විසින් එය අනුමත කරනු ලැබූ බව ද හිටපු සභාපති අනිල් කොස්වත්ත වැඩිදුරටත් සිය සටහන මගින් සඳහන් කරනවා.

ආණ්ඩු දෙකක් මගින් ප්‍රසම්පාදන කටයුතු සිදු කොට තීරණය කළ ටෙන්ඩරය සිය පාලන කාලය භාරගෙන සතියක් තුළ ක්‍රියාත්මක කළ බවත්, එහි කොන්දේසි වෙනස් කොට හෝ සංශෝධනය කර ඇත්නම්, ඒ ගැන දෙනු ලබන ඕනෑම දඬුවමකට යටත් වීමට ද තමා සූදානම් බවත් හිටපු ලිටෝ සමාගමේ සභාපතිවරයා පවසනවා.

එහෙත් නිසියාකාරව කරුණු හදාරා අවබෝධ නොකොට, වගකීම් විරහිතව පසුගිය කාලය සම්බන්ධයෙන් සහ පුද්ගලිකව මා සම්බන්ධයෙන් තෙෂාර ජයසිංහ සභාපතිවරයා එල්ල කරනු ලබන චෝදානා ඉතා වගකිමෙන් බැහැර කරන බව සඳහන් කරන අනිල් කොස්තා හිටපු සභාපතිවරයා පෙන්වා දෙන්නේ, තමන් සභාපති ධුරයේ සිටි වසර එකහමාරක කාලය පමණක් නොව, ඊට පෙර සිටි පාලනාධිකාරියේ ද වගකීම තමන් භාර ගන්නා බවයි.

මෙවන් පසුබිමක තමන් යළිත් වරක් වත්මන් ලිටෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහගෙන් ඉල්ලා සිටින්නේ, පසුගිය කාලවකවානුව තුළ සිය බල අධිකාරිය තුළ සමාගම සම්බන්ධයෙන් යම් රුපියලක හෝ වංචාවක්, දූෂණයක් සිදුව ඇත්නම්, තරාතිරම නොබලා ඔහු හෝ ඇයට නීතියට හසුකර දීම ඔහුට පහසු බවත්, ඊට වඩා එය ඔහුගේ ධුරයට පැවරී ඇති වගකීමක් බවයි.

එසේ නොමැතිව තම නොහැකියාව වසන් කර ගැනීමට වෙනත් පාර්ශ්වයන්ගේ නාම ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීම යුක්තිගරුක පරිපාලකයෙකුගේ ලක්ෂණයක් නොවන බව ද හිටපු සභාපති අනිල් කොස්වත්ත සිය ෆේස්බුක් හි දීර්ඝ සටහනක් තබමින් සඳහන් කරනවා.

මේ අතර ආනයනික එල්.පී. ගෑස්, සිලින්ඩර හා ඊට සම්බන්ධ රෙගියුලේටර්, වෑල්, බට නියාමනය කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පැවරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඊට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්සන් කර ඇති අතර, ඒ අනුව මින් ඉදිරියට එල්.පී. ගෑස් ඇතුළු ඊට සම්බන්ධ රෙගියුලේටර්, වෑල්, බට ආනයනය කිරීමේදී ප්‍රමිති ආයතනයේ පරීක්ෂාවට ලක් කර අනුමැතිය ලබා ගත යුතු වනු ඇති.

***************************************

කොළඹ සරසවියේ නව උපකුලපති පුටුවට මහඇදුරෙකු පත් වේ

(12.01.2022 – 15:03 +0530 – hirunews.lk/sinhala)

කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න පත් කර තිබෙනවා.

අද (12) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අදාළ පත් කිරීම සිදු කරනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.

ඒ අනුව මෙම නව උපකුලපති ධුරය මෙම වසරේ අප්‍රේල් 12 වැනි දින සිට බලපැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ.

නව උපකුලපතිවරයා ව්‍යාපාර, ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව, කළමනාකරණ සහ මූල්‍ය පීඨයෙහි ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයෙකු වන අතර, හෙතෙම 1990 වර්ෂයේ දී ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී (විශේෂ උපාධිය, පළමු ගෞරව)සහිතව සමත් වනුයේ ජයවර්ධනපුර වීශ්ව විද්‍යාලයෙන්.

1997 දී ආර්ථික විද්‍යාව විෂය සම්බන්ධයෙන් ජපානයේ නගෝයා විශ්වවිද්‍යාලයෙන් ලබාගත් පශ්චාත් උපාධියකින් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබාගත් තවත් උපාධියකින් ද සමන්විත විද්වතෙක්.

ජපානයේ නගෝයා සරසවියෙන් ම සිය මහාචාර්ය උපාධිය දිනූ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න සරසවි මහැදුරෙකු මෙන්ම දරුවන්ගේ විෂය දැනුම සඳහා විෂයානුබද්ධ කෘති ගණනාවක් ද රචනා කර තිබෙනවා.

ඒ අතර ‘සාර්ව ආර්ථික විද්‍යා ප්‍රවේශය, ප්‍රායෝගික ආර්ථික විද්‍යාව, Values And Diversity Organizational Work Ethicality’ ආදී කෘති ගණනාවක් ද ඇතුළත් ෴

***************************************

අද (12) විදුලි කප්පාදුවක් නැහැ – විදුලිබල අමාත්‍යාංශය කියයි

(12.01.2022 – 15:41 +0530 – hirunews.lk/sinhala)

කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ පිහිටි පෞද්ගලික බලාගාරයේ ඇති වූ දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බැවින් අද (12) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ඊයේ (11) දිනයේ දී දිවයිනේ විවිධ ප්‍රදේශවලට වරින්වර විදුලි කප්පාදුවක් සිදු කෙරුණා.

විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ, විදුලි බලාගාරවල නඩත්තු කටයුතු නිසි පරිදි , නිසි කලට සිදු නොවීම මත මෙවැනි විදුලි කප්පාදු කිරීම්වලට යොමු වීමට සිදුවන බවයි.

කෙසේවෙතත් විදුලි බල අමාත්‍යවරයා පෙරේදා (10) මාධ්‍ය වෙත සඳහන් කළේ, එදින විදුලි කප්පාදුවක් සිදු නොවන බවට තමන් වහකීමෙන් පවසන බවයි.

එහෙත් හාස්‍යජනක අයුරින් එදින පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදු කෙරුණේ, යළි යළිත් විදුලි බල අමාත්‍යවරයාගේ වචන විශ්වාස කිරීමට තෙවතාවක් සිතන තැනට ජනතාව පත් කරමින්.

***************************************

නැවත වාහන ආනයනය කිරීමට අවසර – අජිත් නිවාඩ් කබ්රාල්

(12.01.2022 – 15:46 +0530 – hirunews.lk/sinhala)

රට තුළට විදේශ විනිමය ගලා ඒම ප්‍රකෘති තත්ත්වයට පත්වීමෙන් අනතුරුව නැවත වාහන ආනයනය කිරීමට අවසර දීමට අවස්ථාවක් ලැබෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

වාහන ආනයනය කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මෙම අදහස් පළ කළේ.

ඔහු එහිදී ප්‍රකාශ කළේ වාහන සහ ටයිල් හැර අනෙකුත් සියලු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මේ වනවිට ආනයනය කෙරෙන බවයි.

මේ හරහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටවන බව ද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් නැවත මෙරටට ගෙනදිය හැකි සංචාරක කර්මාන්තය වැනි විෂයයන් හි යළි වර්ධනයත් සමඟ ඉදිරි මාස කිහිපය තුළ ඇතිවන ස්ථාවර බව හරහා යළි රථවාහන ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට හැකියාවක් ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි අජිත් නිවාඩ් කබ්රාල් වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම බරපතල තීරණයක් බවද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.

***************************************

රජයේ වැරදි බදු ප්‍රතිපත්ති මත නොමග ගිය මෙරට ආර්ථිකය

(12.01.2022 – 15:51 +0530 – hirunews.lk/sinhala)

දේශීය ආදායම්, සුරාබදු සහ රේගු දෙපාර්තමේන්තු මගින් විසින් පරිපාලනය කළ බදු, මුදල් අමාත්‍යංශයේ විශේෂ ඒකකයක් යටතට පවරා ගැනීම පිළිබඳ බරපතළ ගැටලුවක් මතුවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති පවසනවා.

එම සමිති චෝදනා කරන්නේ වත්මන් රජයේ වැරදි බදු ප්‍රතිපත්ති හේතුවෙන් 2020 වසරේදී රුපියල් කෝටි 60,000 ක බදු මුදලක් රජයට අහිමි වූ බවයි.

මේ හේතුවෙන් රටට මේ වනවිට අවශ්‍ය කර ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ හෝ ආනයනය කරගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව එම වෘත්තීය සමිති චෝදනා කරනවා.

මෙයට හේතුව වන්නේ රාජ්‍ය ආදායම කඩා වැටීම බවත්, එයට රාජ්‍ය පරිපාලනය වගකිව යුතු බව ද ඔවුන් පෙන්වා දෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *