බොරැල්ල දේවස්ථානයක තිබී හමු වූ අත්බෝම්බ සිද්ධියේ ප්‍රධාන සැකකරු හඳුනාගැනේ

බොරැල්ල දේවස්ථානයක තිබී හමු වූ අත්බෝම්බ සිද්ධියේ ප්‍රධාන සැකකරු හඳුනාගැනේ

*********************************************

බොරැල්ල දේවස්ථානයක තිබී හමු වූ අත්බෝම්බ සිද්ධියේ ප්‍රධාන සැකකරු හඳුනාගැනේ

(12.01.2022 – 09:10 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල – වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් තුන්දෙනා (3) ගෙන් එක් (1) අයෙකු එහි ප්‍රධාන සැකකරු බවට හඳුනාගෙන තිබෙනවා.

ඔහු මරදාන – දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ වන විටත් පොලීසිය ඔහුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ (11) පස්වරුවේ බොරැල්ල සියළු ශාන්තූවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබියදී මෙම අත්බෝම්බය සොයා ගත් අතර එම අවස්ථාවේදී ඒ අවට රැදී සිටි පුද්ගලයින් තුන්දෙනෙකු (3) සැකපිට අත්අඩංගුවට ගත්තා ෴

***************************************

20 දා තෙක් විදුලිය විසන්දි විය හැකි බවට වෛද්‍ය රමේෂ් පතිරණ ගෙන් ප්‍රකාශයක්

(12.01.2022 – 09:09 +0530 – hirunews.lk/sinhala)

බලාගාර ආශ්‍රිත ව සිදු වී ඇති ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ජනවාරි 20 වැනි දා තෙක් යම් යම් අවස්ථාවල දී විදුලිය බිඳවැටීමක් සිදු විය හැකි බවට වැවිලි අමාත්‍ය සහ සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

නොරොච්චෝල බලාගාරයේ විදුලි ජනක යන්ත්‍රයක් අක්‍රිය වී ඇති බැවින් එය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා දින දහයක (10) කාලයක් ගතවන බව ද අමාත්‍යවරයා අවධාරණය කරනවා.

***************************************

මොණරාගල – කහම්බාන හේන් ගොවීන්ගේ සිද්ධියක් සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක්

(12.01.2022 – 09:13 +0530 – hirunews.lk/sinhala)

මොණරාගල – කහම්බාන ප්‍රදේශයේදී හේන් ගොවිතැනට බිම් සකස් කිරීමට ගිය පුද්ගලයන් පිරිසක් වන සංරක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

එම පිරිස බිම් සකස් කරමින් සිටියදී සියඹලාණ්ඩුව වන සංරක්ෂණ නිලධාරීන් පිරිසක් මෙලෙස එම ස්ථානයට පැමිණ තිබෙනවා.

පසුව බිම් සකස් කිරීම නීතිවිරෝධී බව පවසමින් එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මුදා හැර ඇත්තේ ගම්වාසීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේයි ෴

***************************************

සහල් මිල ස්ථාවරව පවත්වා ගැනීමේ බලය අමාත්‍ය බන්දුලට

(12.01.2022 – 09:52 +0530 – hirunews.lk/sinhala)

වෙළෙඳපොළ සහල් මිල ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ඕනෑම පියවරක් ගන්නා ලෙසට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධනට විශේෂ අවසරයක් ලබා දී තිබෙනවා.

සිංහල අලුත් අවුරුද්ද වන විට සහල් කිලෝවක් රුපියල් 300 දක්වා වැඩි වන බවට ‘සහල් වෙළෙඳපොළ මාෆියාව’ විසින් මතවාදයක් ඇතිකර ඒ මතවාදය ස්ථාපිත කර පාරිභෝගික ජනතාව ඉතා විශාල ලෙස පීඩාවට පත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවට පැහැදිලිව පෙනෙන්නට තිබෙන බැවින් එම තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තමාට මෙසේ බලය දුන් බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පෙරේදා (10 දා) රැස් වූ අවස්ථාවේ දී මෙම විශේෂ අවසරය තමාට ලබා දුන් බව යි ඊයේ (11 දා) පැවැති මාධ්‍ය හමුවක දී වෙළෙඳ ඇමැතිවරයා සඳහන් කළේ.

කුමන තත්ත්වයක් යටතේ වුවත් මෙම වසර පුරා නාඩු සහල් කිලෝවක් රුපියල් 100 ට අඩුවෙනුත්, සුපිරි සම්බා සහල් කිලෝවක් රුපියල් 130 ට අඩුවෙනුත් පවත්වාගෙන යන බවට සහතික වන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

***************************************

මෙම වසරේ සියයට 5.5 ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂාවෙන්

(12.01.2022 – 10:10 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ සියයට 5.5 ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් (12) පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙරට ආර්ථිකය බංකොලොත් වී ඇති බවට ඇතැමුන් සිදු කරන ප්‍රකාශවල සත්‍යතාවක් නොමැති බවයි.

මේ දිනවල රට පුරා දැඩි ආන්දෝලනාත්මක මාතෘකාවකට තුඩු දී ඇති ඩොලර් හිඟ වීම සහ විදේශ සංචිත අඩුවීම, රන් සංචිත අවම වීම හා ආර්ථික උද්ධමනයක් ඇතිවීමේ අවදානම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළ අතර, ඒවා වෙන වෙනම ගෙන හැර දක්වමින් ඔහු කියා සිටියේ එවන් තත්ත්වයක් උද්ගතව නොමැති බවයි.

ණය නියමිත දිනට ගෙවා අවසන් කරනවා – මහබැංකු අධිපති

(12.01.2022 – 11:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව විසින් ගෙවීමට ඇති ණය නියමිත දිනට ගෙවා අවසන් කරන බව, මහබැංකු අධිපති පවසනවා.

එහිදී, මුළු ණයම ගෙවීමට සැකසුම් කරන බවයි, ඔහු කියා සිටියේ.

මාර්තු අවසානයේදී ඉදිරි මාස 09 සදහා නව වැඩසටහනක් ප්‍රකාශ‍යට පත් කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවා.

***************************************

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ඉදිකිරීම් කටයුතු ඇරඹේ

(12.01.2022 – 11:02 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරිම් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ ආරම්භ කෙරුණා.

ආගමික වතාවත්වලින් අනතුරු ව ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ සංඥාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කළේ, රතු පැහැති කොඩියක් ඉහළට එසවීමෙන්.

ඉදිකිරීම් කටයුතු සඳහා වරාය අධිකාරිය අමෙරිකානු ඩොලර් මිලියන 510 ක ආයෝජනයක් සිදු කරනු ලබන අතර, ඉන් ඩොලර් මිලියන 300 ක ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුව ලබා දී තිබෙනවා.

මෙහි ඉදිකිරීම් කටයුතු 2024 ජුනි 04 වැනි දා අවසන් කිරිමට යි සැලසුම් කර ඇත්තේ.

නැගෙනහිර ජැටිය මීට පෙර ඉන්දියානු සමාගමකට බදුදීමට යෝජනා වී තිබු අතර වරාය වෘත්තිය සමිතිවල විරෝධය හේතුවෙන් එම තීරණය අත්හැර දැමීමට රජයට සිදු වුණා.

පසු ව නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරිම වරාය අධිකාරිය වෙත පැවරුණු අතර කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම ඉන්දියාවට ලබාදීමටයි පියවර ගැනුණේ.

***************************************

යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම විමසීම කල් තැබේ

(12.01.2022 – 11:28 +0530 – hirunews.lk/sinhala)

කෙරවළපිටිය – යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහි පෙත්සම් විභාගය කල් දැමීමට අධිකරණය අද (12) පෙරවරුවේ තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම පෙත්සම සලකා බැලීම ජනවාරි මස 19 වැනි දින තෙක් මෙලෙස කල් දමා ඇති බවයි වාර්තා වන්නේ.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයෙන් 51% කොටස් ඇමෙරිකානු සමාගමකට විකිණීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරුණු අතර, එය මුදල් අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කෙරුණු බව එම වාර්තාවේ දැක්වෙනවා.

එම බලාගාරයේ කොටස්වලින් 23.9% ක් ඇති සේවක අර්ථසාධක අරමුදල තම කොටස් මෙරිකානු සමාගමකට පැවරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මහා භාණ්ඩාගාරය සතු ව ඇති කොටස් 51% මෙසේ පැවරීම සඳහා රජය අනුමැතිය ඉල්ලා සිටියා.

ඒ අනුව කෙරවළපිටිය යුගදනවි බලාගාරය හිමි ‘වෙස්ට් කෝස්ට් පවර්’ සමාගමේ 40% ක කොටස් හිමිකරගැනීම සඳහා අදාළ නීතිමය ගිවිසුම අත්සන් කෙරුණේ අමෙරිකාවේ ‘නිව් ෆෝට්‍රෙස් එනර්ජි’ (New Fortress Energy) සමාගම විසින් 2021 වසරේ දෙසැම්බර් මස 21 වැනි දිනයි.

ඒ සමගම නව එල්.එන්.ජී. පර්යන්තයක් ඉදිකිරීමේ අයිතිය ද එම සමාගමට හිමිවන බවට එමගින් නිවේදනය කෙරුණා.

එම පර්යන්තය 2023 වනවිට ඉදිකර අවසන්වීමට නියමිතයි.

එසේම කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය සඳහා ආයෝජනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ විදුලි බලාගාර සඳහා ගෑස් සැපයීමට ද එම ගිවිසුම අනුව තමන්ට හැකියාව ලැබෙන බවයි ‘නිව් ෆෝට්‍රෙස් එනර්ජි’ සමාගම සඳහන් කළේ.

මෙම විදුලි බලාගාරයේ විදුලි බල නිපැයුම් හැකියාව මෙගාවොට් 310 ක් ෴

***************************************

විදුහල්පතිවරුන්ගේ විරෝධතාව නිසා කොට්ටාව – බොරැල්ල ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

(12.01.2022 – 11:46 +0530 – hirunews.lk/sinhala)

විදුහල්පතිවරුන්ගේ විරෝධතාවක් හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මාර්ගය බත්තරමුල්ල – පැලවත්ත මංසන්ධියෙන් මේ වන විට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.

ඔවුන් අද (12) පෙරවරුවේ එම ස්ථානයට පැමිණ විරෝධතාවක නිරත වූයේ, බදවා ගැනීමේ ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ෴

***************************************

ආණ්ඩුව ණය උගුලෙන් ගැලවෙන්න ගත යුතු වැදගත් ම තීරණය ගැන සජිත් පහදයි

(12.01.2022 – 13:24 +0530 – hirunews.lk/sinhala)

නව ආණ්ඩුවක් පත් වී මාස 24 ක් ගත වන විට මේ රටට මේ වනවිට සිදුව ඇති විනාසය දැවැන්ත ඛේදවාචකයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, විපක්ෂ නායකවරයා පැවසුවේ, රට ආර්ථිකමය වශයෙන් වැටී ඇති ආගාධයෙන් යළි ගොඩඒමට හැකියාවක් ඇති බවත්, එය එසේ සිදුවීමට නම්, අනිවාර් යයෙන්ම හිත මිතුරන් ගැන ඥාතීන් ගැන නොසිතා රට ගැන සිතා තීන්දු තීරණ ගැනීම සිදු කළ යුතු බවයි.

එවිට රට මුහුණ පා ඇති ණය උගුලෙන් ද මිදීමට හැකියාවක් ලැබෙන බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

මෙම තීන්දු අතර රජය ගත යුතු වැදගත් ම තීන්දුව වන්නේ , ඉල්ලා අස් වී ආණ්ඩුව කළ හැකි පිරිසකට එය භාර දී ගෙදර යෑම බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා.

***************************************

මෛත්‍රීගෙන් රවීට පිළිතුරු

(12.01.2022 – 13:31 +0530 – hirunews.lk/sinhala)

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඊයේ (11) සිදු කළ චෝදනා සම්බන්ධයෙන් තමන් දැනුවත් නොවූ බැවින්, ඒ පිළිබද සොයා බැලීමට කටයුතු කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (12) සංවිධානය කර තිබු තෛපොංගල් දින සැමරුම් වැඩසටහනක දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

ඊයේ (11) මාධ්‍ය හමුවක් කැදවමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක හිටපු ජනාධිපතිවරයා වෙත චෝදනා කරමින් යහපාලන ආණ්ඩු සමයේ සිදු වූ බව කියන වංචා රැසක් පිළිබදව අනාවරණයක් සිදු කළා ෴

***************************************

කොහුවල ගුවන් පාලමේ මුල්ගල තැබීම හංගේරියානු විදේශ ඇමතිගේ ප්‍රධානත්වයෙන්

(12.01.2022 – 13:36 +0530 – hirunews.lk/sinhala)

කොහුවල මංසන්ධියේ පවතින රථවාහන තදබදයට පිළියමක් ලෙස හංගේරියානු ආධාර යටතේ ඉදිවන නව ගුවන් පාලම සඳහා මුල් ගල තැබීම අද (12) සිදු කෙරෙනවා. ඒ, මෙරටට පැමිණ සිටින හංගේරියානු විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍ය පීටර් සියාටෝගේ ප්‍රධානත්වයෙන් ෴

***************************************

අධිකරණ නියෝග මත එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 05 දෙනෙකු මුදා හැරේ

(12.01.2022 – 13:52 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 5 දෙනෙකු අධිකරණ නියෝග මත මුදාහැර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම රැඳවියන් කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි බවයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ තීරණය මත මෙම හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් නිදහස් කර ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

පාසල් නිල ඇඳුම් වලින් 68% ක් කලාප වලට යැවේ

(12.01.2022 – 14:20 +0530 – hirunews.lk/sinhala)

දරුවන්ගේ නිල ඇදුම් සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණයෙන් 68% මේ වන විටත් කලාප කාර්යාල වෙත නිකුත් කර අවසන් බව, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසනවා.

අද(12) දින අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක දී පසුගිය දා පුවත්පතක පාසල් නිල ඇදුම් රෙදි බෙදා දීම සම්බන්ධයෙන් පල වූ සාවද්‍ය පුවතකට අදාලව අදහස් පලකරමින්, රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

කුමන අභියෝග පැවතිය ද අතිගරු ජනාධිපතිතුමන්ගෙත්, අගමැතිතුමන්ගෙත් මග පෙන්වීමෙන් ජනතාවාදී රජයක් ලෙස දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය සියලු පහසුකම් සපයන බවත්, මෙවර අයවැයෙන් 7.51% ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට කටයුතු කිරීම තුලින්ම එය පසක් වන බවත්, ඔහු ප්‍රකාශ කළ සිටියා.

එමෙන්ම, පසුගිය වර්ෂ දෙකේදී (2) පාසල් නොපැවැත්වූව ද ලක්ෂ 45 ක් වන පාසල් දරුවන්ට නිල ඇදුම් පාසල් පෙල පොත් හා පාවහන් වවුචර්පත් ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා විසින් සඳහන් කළා.

මෙම වර්ෂයට අවශ්‍ය රෙදි මීටර 12,694,000 න් (එක්කෝටි විසිහය ලක්ෂ අනූ හතරදාහයි) 68% මේ වන විටත් කලාප කාර්යාල වෙත නිකුත් කර ඇති බවත්, ඉතිරි නිල ඇදුම් රෙදි ප්‍රමාණය මෙම මස 31 වන විට කලාප කාර්යාල වලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත්, එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම වෘත්තීය සංගම් වල ඇතැම් නියෝජිතයින් දරුවන්, ගුරුවරුන් පිලිබඳ සඳහන් කරමින් පටු දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කල ද එවැනි පටු අරමුණු සාක්ශාත් කර ගැනීමට ඉඩ නොතබන බව, ප්‍රකාශ කල රාජ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු මාධ්‍ය ආයතන ලෙස පුවත් පල කිරීමට ප්‍රථම ඒ පිලිබඳව නිවැරැදි කරුණු සොයා බලා වගකීමෙන් වාර්තා කරණයේ නිරතවන ලෙස ද වැඩිදුරටත් අදහස් දක්වමින් ඉල්ලා සිටියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *