අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වන (5) මහළෙන් පැන්න කාන්තාව ගැන තවත් තොරතුරු රැසක් එළියට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වන (5) මහළෙන් පැන්න කාන්තාව ගැන තවත් තොරතුරු රැසක් එළියට

*********************************************

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වන (5) මහළෙන් පැන්න කාන්තාව ගැන තවත් තොරතුරු රැසක් එළියට

(11.01.2022 – 17:30 +0530 – hirunews.lk/sinhala)

අද (11) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වන (5) මහළෙන් පැන දිවි හානි කරගත් කාන්තාව පිළිබඳ තවත් තොරතුරු රැසක් හෙළි වී තිබෙනවා.

බරපතළ තුවාල ලැබූ මෙම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි ජීවිතක්ෂයට පත්වූයේ.

මෙලෙස මියගොස් ඇත්තෙ, පන්නිපිටිය, නියඳගල ප්‍රදේශයේ පදිංචි ‘අප්සරා මැණිකේ’ නම් 46 හැවිරිදි කාන්තාවක්.

කූඨ ලේඛන සකස් කර, රුපියල් අටකෝටි තිස්තුන් ලක්ෂ හතළිස් දහසක (8,33,40,000) මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඊයේ (10) දහවල් මෙම කාන්තාව කලුබෝවිල ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අනතුරුව අද (11) දින මෙම කාන්තාව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා, අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවේ රඳවා සිටියදී අද අලුයම (11) වැසිකිළි යාමේ අවශ්‍යතාවයක් පවසා ඒ සඳහා රැගෙන ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ ඇය, එහි කවුළුවකින් බිමට පැන ඇති බවයි පොලිස් මූස්ථානය පවසන්නේ.

මෙහිදී ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරිනියන් විසින් රාජකාරි අතපසු කිරීමක් සිදු කළාද යන්න සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන පවත්වනවා.

කෙසේ වෙතත්, සාමාන්‍ය පුද්ගලයින් භාවිතා කරන වැසිකිළි තිබියදී, මෙම කාන්තාව සහකාර පොලිස් අධිකාරිවරුන් සඳහා වෙන් කරන ලද වැසිකිළියකට යොමු කර ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

++++++

***************************************

අද (11) දිවයිනේ කිසිදු ස්ථානයකට විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැහැ

(11.01.2022 – 17:23 +0530 – hirunews.lk/sinhala)

අද (11) දිවයිනේ කිසිදු ස්ථානයකට විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

මේ අතර මේ මාසය අවසානය දක්වා රාත්‍රී කාලයේදි විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (10) ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසදුම් සෙවීමට කටයුතු කළ යුතු බවි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළේ.

විදුලි කප්පාදුවක් පිළිබදව පැන නැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ (10) පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

මෙරට සතු ගල් අගුරු සංචිත විදුලි අර්බුදයකට ඉඩ නොදී කළමනාකරණය කර ගැනීමට ප්‍රමාණවත් අතර, ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලි උත්පාදනය කළමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුවකට යාමෙන් වැළකිය හැකි බවටයි නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත්, මේ මාසය අවසානය දක්වා රාත්‍රී කාලයේදි විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බවයි සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි එම්.ආර්. රණතුංග ප්‍රකාශ කළේ.

මේ අතර, කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම් පිළිබද වැඩිදුර කරුණු සලකා බැලීම හෙට තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (10) නියම කළා.

එම පෙත්සම් වලට පක්ෂව දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කර ඇති විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා කරුණු ඉදිරිපත් කළ බවයි අධිකරණ වාර්තාකරු සදහන් කළේ ෴

***************************************

ඇමති බන්දුල මේ වසර පුරා සහල් කිලෝව රුපියල් සීයට (100) දීමට සැරසෙයි

(11.01.2022 – 17:43 +0530 – hirunews.lk/sinhala)

කුමන තත්වයක් යටතේ වුවත් මෙම වසර පුරාම නාඩු සහල් කිලෝවක් රුපියල් 100 ට අඩුවෙනුත්, සුපිරි සම්බා සහල් කිලෝවක් රුපියල් 130 ට අඩුවෙනුත් පවත්වාගෙන යන බවට සහතික වන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

වෙළෙඳ අමාත්‍යංශයේදී අද (11) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඇමතිවරයා මෙ බව පැවසුවා.

මෙම මිළ ගණන් යටතේ සතොස හා සමූපකාර, කිව් ෂොප් ඇතුළු රාජ්‍ය අළෙවි ජාලය මගින් පාරිභෝගික ජනතාවට ලබා ගැනීමට හැකි බවද සඳහන් කළ ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේ ඊයේ දිනයේදී නාඩු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් හා සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට කැබිනට් අනුමැතිය ලබා දුන් බවයි.

කැකුළු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් හෝ වැඩි ප්‍රමාණයක් බුරුමයෙන් ආනයනය කිරීමට බුරුම රජය සමග ගිවිසුමක් අත්සන් කර ඇති බවත් එම සහල් තොග ලබන මාසය වනවිට මෙරටට ලැබෙනු ඇතයිද හෙතෙම සඳහන් ‍කළා.

මෙයට අමතරව පුද්ගලික අංශයටත් සහල් ආනයනය කිරීමට මුදල් ඇමතිවරයා හා මහ බැංකුව සමග සාකච්ඡා කර ඉඩ ප්‍රස්ථාව සලසා ඇති බවත්, පෞද්ගලික අංශය ආනයනය කරන සහල් දේශිය සහල් සමග කවලම් කීරිම, දේශීය වෙළෙඳ පොළට නිකුත් නොකිරීම පිළීබඳව පාරිභෝගික අධීකාරීයට පැමිණිලි ලැබී ඇති බැවින් එම කටයුතු වැළැක්වීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ඉන්දියාවෙන් නාඩු සහ සුපිරි සම්බා සහල් ආනයනය කිරීමට සියලු අවබෝධතා ගිවිසුම් අත්සන් කර ණයවර ලිපි නිකුත් කරන බවත් ඔහු කියා සිටියා.

මෙම තත්ත්වය යටතේ කෘතීම ලෙස අසාධාරණ ලෙස සහල් මිළ වැඩි කිරිමේ සැළැස්මක් මොනම හේතුවක් නිසාවත් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවත්, නාඩු සහල් කිලෝවක් රුපියල් 100 ට වැඩි නොවීමට ඉඩ නොතබන බවත්, කුමන තත්වයක් යටතේ වුවද මේ වසර පුරා නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 105 ට අඩුවෙන් තබා ගැනීමට පුළුවන් තරම් උත්සාහා කරනා බවත් ඔහු සඳහන් කළා.

සිංහල අලුත් අවුරුද්ද වන විට සහල් කිලෝවක් රු. 300 ට වැඩි වන බවට සහල් වෙළෙඳ පොළ මාෆියාව විසින් මතවාදයක් ඇතිකර තිබෙන බවත් මෙම වැඩ වැඩපිළිවෙල යටතේ එම මතවාදය පුස්සක් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

***************************************

බොරැල්ලෙන් අත්බෝම්බයක් සොයා ගැනේ

(11.01.2022 – 18:17 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා.

මේ සම්බන්දයෙන් සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

සිද්දිය සම්බන්දයෙන් බොරැල්ල පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

***************************************

අභියාචනාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකු (2) නඩු විභාගයකින් ඉවත්වෙයි

(11.01.2022 – 18:26 +0530 – hirunews.lk/sinhala)

වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තු මුදාහරින ලෙස ශ්‍රී ලංකා තොරතුරු කොමිසම නිකුත් කළ නියෝගයකට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයක් සළකා බැලීමෙන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු (2) අද ඉවත්වුණා.

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සහ නියෝජ්‍ය මහ ලේකම් කේ.ඒ. රෝහණධීර මෙම අභියාචනා ඉදිරිපත් කර තිබූ අතර, ඒවා අද (11) සළකා බැලුනු අවස්ථාවේ රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් කියා සිටියේ පෙත්සම් සළකා බැලීමෙන් තමන් ඉවත්වන බවයි.

මාධ්‍යවේදියෙකු ඇතුලු පිරිසක් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ තොරතුරු කොමිසම වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදුන් මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් මුදාහරින ලෙස තමන් වෙත නියම කර ඇති බවයි පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් සඳහන් කර ඇත්තේ ෴

***************************************

මාස 6 ක් නිදා සිටි පොලිස් බලධාරින් අවදි කළ හිරු අනාවරණය – පොලිස් ඇමති පරීක්ෂණ නියෝගය සිදු කර ඇත්තේ, ජුලි 26 !

(11.01.2022 – 18:32 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුමේ දී බීමත් රියදුරෙකු මුදා හැරීමට පොලීසියට බලපෑම් සිදු කිරීමේ සිදුවීම, මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, එම සිදුවීම 2021.07.07 වැනි දින සිදුවූවක් බවයි.

මෙම වීඩියෝව ගැඹුරින් විමර්ශනය කළ විට දැක්වෙන්නෙ අදාළ සිදුවීම, 2021 ජූලි මස 06 වැනි දින අලුයම 01:14 ට සිදුවූවක් බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය, සරත් වීරසේකර විසින්, පොලිස්පතිවරයාට 2021.07.26 වැනි දින ලිපියක් ද යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත්, අද (11) නැවත වරක් අදාළ ලිපියට අනුව ගත් ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු විමසා වාර්තා කරන ලෙසත්, ඉමදූව අධිවේගී මාර්ග පොලිස් ස්ථානාධිපතිට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, මහජන ආරක්ෂක අමාත්‍ය රියාල් අද්මිරාල් අමාත්‍ය සරත් වීරසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත, ලිඛිතව උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරස්පර තොරතුරු ඇතුළත් නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කරන, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ, ඉමදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ ඇති වූ මෙම සිදුවීම 2021 ජූනි මස 04 වැනි දින සිදුවූවක් බවයි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් සිද්ධියට අදාළ වූ නිලධාරියා සම්බන්ධයෙන් ගත් විනය ක්‍රියාමාර්ග පිළිබඳ කිසිදු තොරතුරක් එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නෙ නැහැ.

අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කර, එහිදී අදාළ නිලධාරියා විනය විරෝධී ක්‍රියාවක් කර ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ, අදාළ ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කරමින්, එම විමර්ශන වාර්තාව අදාළ අංශ වෙත මේ වන විට යොමු කර ඇති බවයි.

කෙසේ වෙතත්, එම වාර්තාව යොමු කළ දිනයක් මෙම නිවේදනයේ සටහන් වන්නෙ නැහැ.

නීතිය රකින්නට කාකි ඇඳුම් ඇඟලා සිටින, උසස් නිලධාරින් තමන්ගේ පහළ මට්ටමේ සිටින නිලධාරින්ට නීතිය නවන ලෙස පරුෂ වචනයෙන් බැන වදිමින් කටයුතු කරද්දී, ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස, විෂය භාර අමාත්‍යවරයා ලිපියක් පවා යොමු කර තිබියදී, මෙම සිද්ධියට නිසි පියවර ගැනීමට මෙතරම් කලක් ගතවූයේ ඇයි ?

මෙම වීඩියෝව අද (11) දින හිරු ප්‍රවෘත්ති, යූටියුබ් නාලිකාව හරහා මුදා හැරීමත් සමඟ නැවත මේ කෙරෙහි අවධානය යොමු වුවද, මෙම සිද්ධිය සම්බන්ධයෙන්, පොලිස් දෙපාර්තමේන්තුවේ ඇල්මැරුණු ක්‍රියාකලාපය හරහා එහි විනය හා පරිපාලන කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් මතු වන්නෙ බරපතල ගැටලුවක් නොවේද ?

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *