තවමත් ඉවර නොවුණු ගෑස් පෝලිම්

තවමත් ඉවර නොවුණු ගෑස් පෝලිම්

*********************************************

තවමත් ඉවර නොවුණු ගෑස් පෝලිම්

(11.01.2022 – 14:40 +0530 – hirunews.lk/sinhala)

ගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් රටේ ඇතිවූ ගෑස් හිඟය මේ වනවිට තරමක් දුරට පහව ගොස් ඇතත් තවමත් ඇතැම් ප්‍රදේශවලට ප්‍රමාණවත් ගෑස් තොග ලැබී නැහැ.

ඒ හේතුවෙන් අදත් ජනතාව ගෑස් ලබා ගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටින ආකාරය දක්නට ලැබුණා.

මෙරට තුළ ඩොලර් සංචිතවල ඇති වූ හිඟයත් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් මතු වූ අතර, ගෘහස්ථ ගෑස් සිලින්ඩර ද, හිඟයක් මතුවීමට ද එය ප්‍රධාන හේතුවක් වුණා.

කෙසේවෙතත්, එම ගැටලුව තවත් තීව්‍ර වුණේ, ගෑස් සමාගම් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ ඇති සංයුතිය වෙනස් කර වෙළඳපොළට නිකුත් කිරිමත් සමගයි.

සංයුතියේ ඇතිවූ වෙනසත් සමග පීඩනය වෙනස් වීමෙන් ගෑස් ආශ්‍රිත පිපිරීම්, ගිනි ගැනීම් දිවයින පුරා විවිධ ස්ථානවලින් වාර්තා විමට පටන් ගත්තේ ඒ අනුවයි.

ජනතාවගෙන් එල්ල වූණු දැඩි විරෝධයත් සමඟ සංයුතිය වෙනස් කළ ගෑස් සිලින්ඩර් වෙළඳපොලෙන් ඉවත් කිරීමට ගෑස් සමාගම්වලට සිදු වූ අතර ඉන් වෙළඳපොලේ දැඩි ගෑස් හිඟයක් නිර්මාණය වුණා.

පසුගිය සති කිහිපයේදීම ගෑස් ලබා ගැනීම සඳහා ජනතාව දිගු පෝලීම්වල රැඳී සිටි අතර එය තවමත් සම්පූර්ණයෙන්ම පහව ගොස් නැහැ.

කෙසේවෙතත්, දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මේ වනවිට අවශ්‍ය තරම් ගෑස් තොග ලැබෙමින් පවතින බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

නමුත් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල තවමත් ගෑස් මිල දී ගැනිම සඳහා දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

මේ අතර, ගෑස් අවශ්‍ය ජනතාව වෙනුවෙන් මුදලට පෝලීම්වල රැඳී සිටින පිරිසක් සම්බන්ධයෙන් පිටකොටුව අලුත්කඩේ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

කොළඹ ජනාකීර්ණ ප්‍රදේශවල ජනතාව බොහෝමයක් මේ වනවිට භූමිතෙල් පරිභෝජනයට යොමු වී තිබෙන්නේ පවතින ගෑස් හිඟය හමුවේයි.

කෙසේවෙතත්, භූමිතෙල් සඳහාද ඇති පෝලිම්වල අඩුවක් තවමත් දක්නට නැහැ.

***************************************

කාබනික පොහොර මිලට ගැනීමට කැබිනට්ටුවෙ අවසරය

(11.01.2022 – 14:38 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන යල කන්නය සඳහා දේශීය කාබනික පොහොර මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට දන්වා ඇත්තේ දේශීය පොහොර සමාගම් දෙක (2) හරහා මෙම මිලදී ගැනීම් සිදු කරන බවයි.

මේ අතර කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් කළේ, පසුගිය වසරේදී මහත් ආන්දෝලනයට තුඩු දුන් චීන පොහොර සමාගමේ නෞකා කිහිපයක් ලබන මාර්තු සහ අප්‍රේල් මාසවලදී මෙරටට පැමිණෙන අතර එම පොහොර යොදාගනිමින් ඉදිරි යල කන්නයේ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර පොහොර නොමැතිකමින් එළවලු ගොවීන් මේ වනවිට පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.

තමන් අස්වනු විකුණාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි වැලිමඩ ප්‍රදේශයේ රාබු වගා කළ ගොවීන් පෙන්වා දෙන්නේ.

වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේ බඩඉරිඟු වගා කළ ගොවීන්ද පෙන්වා දෙන්නේ, රසායනික පොහොර නොමැතිව සිය වගාවන් විනාශ වී ඇති බවයි.

මේ අතර යල මහ දෙකන්නයේම අක්කර විසිපන්දහසක් (25,000) පමණ වගා කටයුතු සිදු කරන මහවැලි සී කලාපයේ ගොවීන් මෙවර කාබනික පොහොර සහ රසායනික පොහොර යොදා සිදුකළ වී වගාවන්වල වෙනස මෙලෙස පෙන්වා දුන්නා.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කවුඩුල්ල වැවේ වාන් දොරටු විවෘත කර ඇතත් වගාවට අවශ්‍ය පොහොර නොමැතිව එම ගොවීන් ද පත්ව ඇත්තේ අසීරුතාවකටයි.

පොළොන්නරුව ඇළහැර ගොවීන් ද පොහොර නොමැතිව තමන් පත්ව ඇති පීඩාවට සාධාරණයක් වශයෙන් වන්දි ඉල්ලා උද්ඝෝෂණයක නිරත වුණා.

***************************************

රේසිං පාපැදි තරඟය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම අමාත්‍ය ජොන්ස්ටන්ගේ ප්‍රධානත්වයෙන්

(11.01.2022 – 14:44 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා පාපැදි සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන රේසිං පාපැදි තරඟය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රධානත්වයෙන් ඊයේ (10) දින මාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවතුණා.

මෙම පාපැදි සවාරිය ජනවාරි මස 14 වන දින මීරිගම අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසලින් ආරම්භ වී අධිවේගී මාර්ගය ඔස්සේ යග්ගපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානය දක්වා ගොස් එතනින් නැවත හරවා නැවතත් එම මාර්ගය ඔස්සේ මීරිගම අන්තර් හුවමාරුව අසලින් තරගය නිමා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා පාපැදි සංගමයේ බලපත්‍රලාභී රේසිං පාපැදි ක්‍රීඩකයන් 125 දෙනෙකුට අධික ප්‍රමාණයක් මෙම තරගයට සහභාගි වූ අතර, තරඟය වයස අවුරුදු 19 න් පහළ කනිෂ්ඨ ලෙස හා විවෘත සුපිරි කාණ්ඩය සහ කාන්තා තරගයක් වශයෙන් තරඟ පැවැත්වීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

කාන්තා පාපැදි තරගාවලියේ ප්‍රථම, දෙවන, තෙවන, සිව්වන හා පස්වන ස්ථානය දක්වා ජයග්‍රාහකයින්ට මුදලින් රුපියල් පනස්දහසක්, තිස්දහසක්, විසිපන්දහසක් හා විසිදාහක් බැගින් පිරිනැමීමට සංවිධායකයින් තීරණය කර ඇති බවත්, කනිෂ්ඨ සහ විවෘත සුපිරි පිරිමි පාපැදි තරගාවලියෙන් ප්‍රථම, දෙවන සහ තෙවන ජයග්‍රහනය සඳහා මුදලින් රුපියල් ලක්ෂයක්, හැත්තෑ පන්දහසක්, හා පනස් දහසක් බැගින්ද හතරවන ස්ථානයේ සිට දස වන ස්ථානය දක්වා ජයග්‍රාහකයින්ට මුදලින් තෑගි පිරිනැමීමටත් සංවිධායකයින් තීරණය කර ඇති බවයි, වාර්තා වන්නේ.

එම මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු :

“අද මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යතුමා විසින් කර කරන ලද ඉල්ලීමට අනුව තමයි පාපැදි සම්මේලනය මේ සඳහා අවසර ලබා දීලා තියෙන්නෙ. අධිවේගී මාර්ගය එදා විවෘත කරන අවස්ථාවේදී එවකට සිටි පස්වන ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍ය අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා එම ප්‍රදේශවල සිටි සාමාන්‍ය ජනතාවට අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර එය දැක දැක බලා ගැනීම සඳහා දින කිහිපයක් විවෘත කර සාමාන්‍ය ජනතාවට එය නැරඹීමට අවස්ථාව උදාකර දුන්නා. ඒ වගේම පාපැදි සවාරියක් පැවැත්වීම සඳහා ඒ සඳහා අවසර ලබාදෙන ලෙස අප ගෙන් ඉල්ලීමක් කරන ලදි. එතුමාට මං මේ අවස්ථාවේදී විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා, මේ සම්බන්ධයෙන් සියලු සම්බන්ධීකරණ කටයුතු කර දීලා මෙහෙම පාපැදි සවාරිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීම පිළිබඳව. මේක පාපැදි ශූරයන්ට අනගි අවස්ථාවක් හැටියට මම දකිනවා. අධිවේගී මාර්ගයක ජාත්‍යන්තර අත්දැකීම් ලබාගෙන ක්‍රීඩා කරන්න ලැබීම පිළිබඳව. අධිවේගී මාර්ගය මේ මස 15 වැනිදා සවස 4 ට අතිගරු ජනාධිපතිතුමා ගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන්නේ නියමිතයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් අපි විවෘත කරනවා. මේ අවස්ථාවේදී මාධ්‍යයට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා කාන්තා පාපැදි සවාරියක් පැවැත්වීමට මතක් කිරීම පිළිබඳව” ෴

***************************************

තුවාල ලැබු වනඅලියාට ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රතිකාර

(11.01.2022 – 14:57 +0530 – hirunews.lk/sinhala)

ආණමඩුව – නැගෙනහිර පාලියාගම ප්‍රදෙශයේ දී හක්කපටස් ආහාරය ගැනීමෙන් තුවාල ලබා සිටින අවුරුදු හයක (6) අලිපැටවෙකුට ප්‍රදේශවාසීන් විසින් ප්‍රතිකාර කිරීමට කටයුතු කළා.

මේ අතර ඊයේ (10) රාත්‍රියේ මනම්පිටිය ප්‍රදේශයේ වෙල් යායකට පැමිණි වනඅලියෙකු අද (11) උදෑසන විටත් මෙලෙස ගොයම් ආහාරයට ගමින් සිටි අතර අනතුරුව මනම්පිටිය වනජීවි නිලධාරීන් පැමිණ වනඅලියා රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කළා ෴

***************************************

ඩෙස්මන් ද සිල්වා නමින් අරමුදලක්

(11.01.2022 – 15:01 +0530 – hirunews.lk/sinhala)

මීට දින දෙකකට පෙර සිය දිවිගමනට සමුදුන් ප්‍රවීණ වේගරිද්ම ගායක ඩෙස්මන් ද සිල්වා නමින් අරමුදලක් පිහිටුවා මෙම දුෂ්කර අවස්ථාවේ සහනයක් අවශ්‍ය කලාකරුවන්ට පිහිට වීමට අදහස් කර සිටින බව ඩෙස්මන් ද සිල්වාගේ බිරිඳ වන ෆිලිස් ද සිල්වා ප්‍රකාශ කරනවා.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචිව සිටින ගායක ඩෙස්මන් ද සිල්වා ගේ පවුලේ ඥාතීන් මෙම අභාවය පිලිබඳ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සිය සැමියා රෝගාතුර වූ අවස්ථාවේ ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා දැඩි සටනක නිරත වූ ඔස්ට්‍රේලියානු රෝහල් කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වන බවයි.

එමෙන්ම ඔහුගේ වියෝව වෙනුවෙන් ශෝක වන රසිකයින්ගෙන් ඇය ඉල්ලා සිටින්නේ තමන් ඉදිරියේදී ස්ථාපිත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඩෙස්මන් ද සිල්වා අනුස්මරණ අරමුදලට සහයෝගය ලබා දෙන ලෙසයි.

ඒ හරහා මෙම දුෂ්කර අවස්ථාවේ අපහසුතාවයන්ට පත් ව සිටින කලා කලාකරුවන්ට සහ අඩු වූ ආදායම්ලාභී පවුල්වල දරු දැරියන්ට උපකාර කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඇය සඳහන් කරනවා.

එම නිවේදනයේ ඇය වැඩි දුරටත් සඳහන් කරන්නේ අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන් සංගීත කලා ක්ෂේත්‍රයෙන් ඉහලට ගෙන යෑම සිය සැමියාගේ එක් බලාපොරොත්තුවක් ව තිබූ බවයි.

මෙම වැඩ පිළිවෙළ හරහා ඩෙස්මන් ද සිල්වාගේ එම බලාපොරොත්තුවත් සම්පූර්ණ කර ගැනීම ඇයගේ එක් පරමාර්ථයක් බවයි ෆිලිස් ද සිල්වා සඳහන් කරන්නේ ෴

***************************************

මූල්‍ය කටයුත්තකට ගිය පුද්ගලයෙක් අතුරුදන් වෙයි

(11.01.2022 – 15:01 +0530 – hirunews.lk/sinhala)

වැලිමඩ – පුරන්වෙල පදිංචි 37 හැවිරිදි දෙදරු පියෙකු පසුගිය 29 දා සිට අතුරුදන්ව ඇති බවට වාර්තා වනවා. මෙසේ අතුරුදන්ව ඇත්තේ නුවරඑළිය ප්‍ර දේශයේ මූල්‍ය ආයතනයක සේවය කරන සංජීව ජගත් ප්‍රනාන්දු නමැති පුද්ගලයෙක් වන අතර ඔහු මූල්‍ය කටයුත්තකට හැටන් – ලිදුල ප්‍රදේශයට ගොස් සිටිය දී අතුරුදහන්ව ඇති බවයි නිවැසියන් පවසන්නේ.

***************************************

සකුරායි ගුවන් සමාගමේ ප්‍රධානීන් දෙදෙනා (2) රිමාන්ඩ්

(11.01.2022 – 15:37 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගත් සකුරායි ගුවන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන ඉංජිනේරුවා මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ සැකකරුවන් අද (11) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

මෙම ගුවන් සමාගමට අයත් යානා දෙකක් (2) පසුගියදා පයාගල සහ කිඹුලාපිටිය යන ප්‍රදේශවලට හදිසියේ ගොඩබෑම් සිදුකළා.

කිඹුලාපිටිය ප්‍රදේශයේ සිදුකළ ගොඩබෑමේදී යානයේ සිටි විදේශිකයන් දෙදෙනා (2) සහ ගුවන් නියමුවන් ද තුවාල ලබා රෝහල් ගත කෙරුණු අතර, සිදුකළ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ, මෙම යානාවල ඉන්ධන පරීක්ෂා කිරීම් නොසැළකිලිමත්ව සිදුකර ඇති බවයි ෴

***************************************

මෙම දැරිය දුටුවාද ?

(11.01.2022 – 15:58 +0530 – hirunews.lk/sinhala)

දින පහක (5) සිට ආගිය අතක් නොමැති මහරගම නාවින්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක ගැහැනු දරුවකු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනවා.

මෙම දැරිය පසුගිය 07 වන දා සිට ආගිය අතක් නොමැති බවට මහරගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මතයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් මෙතෙක් සිදුකරන ලද විමර්ශන වල දී අතුරුදන් වූ ගැහැණු ළමයා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය කරගැනීමට හැකිවී නැහැ.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ මහරගම නාවින්න ප්‍රදේශයේ පදිංචි ‘නේහා කෞමදී හේරත්’ නැමැති අඩි පහයි අඟල් තුනක් පමණ උසැති ගැහැනු දරුවෙක්.

ඇය අතුරුදන් වන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් ලෙස සඳහන් වන්නේ කොළ පැහැති ටී ෂර්ට් එකක් සහ කළු පැහැති ලොකු කලිසමක්.

මෙම දැරිය පිළිබඳ යම්කිසි තොරතුරක් වෙතොත් මහරගම පොලිස් ස්ථානාධිපති 071 859 1645 අංකයට හෝ මහරගම පොලිස් ස්ථානය 011 285 0222 හෝ 011 285 0700 අංක වලට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍යය ප්‍රකාශක කාර්යාලය දැනුම් දෙනවා.

***************************************

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

(11.01.2022 – 16:11 +0530 – hirunews.lk/sinhala)

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය අද ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

ඒ වසා දමා ඇති විශ්වවිද්‍යාල සියල්ලම සම්පූර්ණයෙන් විවෘත කරන ලෙසට සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්. එහිදී ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකු සමග විරෝධතාකරුවන් 5 දෙනෙකුට සාකච්ඡාවක් හිමිවුණා ෴

***************************************

‘හස්ති නාම මංගල්‍යය’

(11.01.2022 – 16:21 +0530 – hirunews.lk/sinhala)

දිගු කලකට පසු පින්නවල අලි අනාථාගාරයේ අලුත උපන් හස්තීන් තිදෙනා (3) ගේ නම් තැබීමේ මහෝත්සවය අද (11) දින පැවැත්වුනා.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් මධ්‍යයේ නිවුන් පැටවුන් දෙදෙනා (2) ට ‘දිසා’ සහ ‘සජ්ජන’ යන නම් සහ තවත් පැටවෙකුට ‘නීලමනී’ ලෙස මෙහිදී නම් තැබුවා.

හස්තීන්ගේ උප්පැන්න සහතිකවල නම් සඳහන් කිරීම, හස්තීන්ගේ නම් සඳහන් සමරු ඵලක විවෘත කිරීම සහ මී පැණි වලින් එම හස්තීන්ගේ ඉඳුල් කටගෑම සහ මව් ඇතින්නට පෝෂණීය කිරිබත් හා පලතුරු ලබාදීම යන චාරිත්‍ර මෙහිදී සිදු කෙරුනා.

මෙම අවස්ථාව සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය, මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේතුමා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියා ෴

***************************************

හිටපු ජනපති තමන්ට බලපෑම් කරා – රවී කරුණානායක

(11.01.2022 – 16:42 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනපති දුරයේ සිටින සමයේ තමන්ට කළ බලපෑම් පිළිබඳව හිටපු අමාත්‍ය රවී කරුණානායක අද (11) විශේෂ හෙළිදරුව්වක් කළා.

ඒ මාධ්‍ය හමුවක් පවත්වමින්.

***************************************

මෙරට ඉන්දියන් ජාතික සිරකරුවන් දෙදෙනෙකු (2) යළි ඉන්දියවටම භාර දෙයි

(11.01.2022 – 16:58 +0530 – hirunews.lk/sinhala)

සාක් කලාපිය සිරකරුවන් මාරු කිරිමේ පදනම යටතේ ඉන්දියන් ජාතික සිරකරුවන් දෙදෙනෙකු (2) ඉන්දියන් රජයට භාර දිමට, අධිකරණ අමාත්‍යාංශ අතිරේක ලේකම් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වෙත දන්වා තිබෙනවා.

මෙම සිරකරුවන් දෙදෙනා (2) ගෙන් එක් අයෙකු, විෂ වර්ග අබිං සහ ඹෟෂධ පනත යටතේ සන්තකයේ තබා ගැනිම , ජාවාරම් කිරිම හා ආනයනය යන චෝදනාවලට වරදකරු වී මිගමුව මහාධිකරණය මගින් එක් එක් චෝදනායට ජිවිතාන්ත සිර දඩුවම් 03 ක් ලබා ඇති බවට සදහන්.

ඒ අනුව, මෙම සිරකරු වසර 12 කට ආසන්න කාලයක් බන්ධනාගාරයේ දඩුවම් විදිමින් සිටි අයෙක්.

දෙවෙනි (2) සිරකරු අන්තරාදායක ඹෘෂධ ආඥා පනතේ චෝදනා ගණණාවකට වරදකරු වි එක් එක් චෝදනාවන්ට ජිවිතාන්ත සිර දඩුවම් 03 ක් ලබා දී, සිර දඩුවම් විදිමින් දැනට වසර 06 කට ආසන්න කාලයක් බන්ධනාගාර ගත වි සිටි අයෙක් බවට වාර්තා වනවා.

ඒ අනුව, ඒකි සිරකරුවන් දෙදෙනා මෙම 12 හා 13 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත බන්ධනාගාර නිලධාරින්ගේ විශේෂ ආරක්ෂාව යටතේ රැගෙන ගොස් ඉන්දියන් පොලිස් නිලධාරින් වෙත භාර දිමට කටයුතු කරනු ඇති ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *