කුණු ලූණු හොඳ ලූණුවලට කලවම් කිරීමේ ජාවාරමක් දඹුල්ලෙන්

කුණු ලූණු හොඳ ලූණුවලට කලවම් කිරීමේ ජාවාරමක් දඹුල්ලෙන්

*********************************************

කුණු ලූණු හොඳ ලූණුවලට කලවම් කිරීමේ ජාවාරමක් දඹුල්ලෙන්

(11.01.2022 – 10:20 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ ලොකු ලූණු කිලෝග්‍රෑම් 5000 කට අධික තොගයක් ඊයේ (10) දින දඹුල්ල මහ නගර සභාව විසින් සිදු කරන ලද සෝදිසි කිරීමකදී සොයාගෙන තිබෙනවා.

ඒ දඹුල්ල – ඉබ්බන්කටුව ප්‍රදේශයෙන්.

මෙම මහා පරිමාණයෙන් පවත්වාගෙන යන ලොකු ලූණු ගබඩාව ජනාවසයෙන් තොර වූ පෙදෙසක පිහිටා ඇති අතර, එහි විදේශ රටවලින් ආනයනය කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූණු තොගයක් තිබූ බවටයි හඳුනාගෙන ඇත්තේ.

එහි කාන්තාවන් යොදවා නරක් වූ ලොකු ලූණු සමග පරිභෝජනයට සුදුසු ලූණු කලවම් කරවීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

ඒ අනුවයි දඹුල්ල මහ නගර සභාව, මහජන සෞඛ්‍ය පරීක්ෂවකරුන් සමග අදාළ තොග ගබඩාව වැටලීමට පියවර ගෙන ඇත්තේ.

මෙම ගබඩාව ඉතාමත් සුක්ෂ්ම අයුරින් සම්පූර්ණයෙන්ම පිටතට නොපෙනෙන පරිදි ආවරණය කර ගේට්ටු දමා වසා දමා තිබී ඇති අතර, සෞඛ්‍ය අංශවල නියමයෙන් අදාළ ස්ථානයේ සේවකයින් කැඳවා ගබඩාවට ඇතුලු වීමේදී දැකගත හැකිව ඇත්තේ, එහි නුසුදුසු ලූණු කලවම් කිරීමේ ජාවාරමේ නියැලෙන කාන්තාවන් පිරිසක්.

මෙම නුසුදුසු ලූණු තොගය විදුලි පංකා භාවිත කරමින් වේළා ගැනීමේ අයුරු ද මෙම අවස්ථාවේ දී වැටලීම සිදු කළ නිලධාරින්ට දැකගත හැකි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, මෙම ලූණු තොගය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටා ඇති අතරමැදි වෙළෙන්දෙකුට අයත් බවයි.

කෙසේවෙතත් සේවකයින්ගෙන් සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත මෙම මිනිස් පරිභෝජනයට නුසුදුසු ලූණු තොගය වෙළෙඳපොලට ගෙන ගොස් පාරිභෝගිකයින්ට අලෙවි කිරීමට කටයුතු කරන බවට ද හෙළි ව තිබෙනවා.

ඒ අනුව , අදාළ නුසුදුසු ලූණු තොගය නගර සභාවේ කසල අංගනයට ගෙන ගොස් විනාශ කිරීමට පියවර ගන්නා ලෙසට නියෝග කෙරුණු අතර, සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මහනගර සභාව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් විසින් වාර්තාවක් ද කැඳවීමට නියමිතයි.

***************************************

අලුත් සන්ධානයකින් ආණ්ඩුවක් හදන්න සූදානම් – මෛත්‍රීපාල සිරිසේන

(11.01.2022 – 10:17 +0530 – hirunews.lk/sinhala)

පුළුල් ජාතික වැඩපිළිවෙලක් සහිත නව සන්ධානයකින් අනාගතයේ ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඊයේ (10) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටු වීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.

ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම හා ප්‍රබලතම පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන බව, හිටපු ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

ඉදිරියේදී තම පක්ෂය පුළුල් ජාතික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන බවත්, එම වැඩපිළිවෙල හා එක් වන අය සමඟ අනාගතයේදී ආණ්ඩුවක් පිහිටුවන බවත්, ඔහු එහිදී පැවසුවා.

අලුත් සන්ධානයක් හදනවාද යනුවෙන් මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධීපතිවරයා කියා සිටියේ, “බොහෝ විට අලුත් එකක් තමයි හදන්න වෙන්නේ, පරණ ඒවා ‘එක්ස්පයර්’ නේ” යනුවෙන්.

තම පක්ෂයට අවශ්‍ය මැතිවරණ බවත්, තමන් මැතිවරණ කල් දැමීමට විරුද්ධ බවත්, හිටපු ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ දී වැඩි දුරටත් ප්‍රකාශ කළා.

***************************************

සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පතක්

(11.01.2022 – 10:24 +0530 – hirunews.lk/sinhala)

සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත, කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා 2020 ඔක්තෝබර් මස 19 වැනි දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දි අනුමැතිය ලැබී තිබුණා.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කර ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිශ්කාශනය ලැබුණු බව වාර්තා වෙනවා.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරු ව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදි‍රිප ත් කිරීමටත් කෘෂි ඇමති විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව යි සඳහන් වෙන්නේ ෴

***************************************

මිය ගිය වන අලියෙකුගේ සිරුරක් නාඋල – මොරගොල්ලෙන් හමුවෙයි

(11.01.2022 – 11:00 +0530 – hirunews.lk/sinhala)

දින තුනකට (3) පමණ පෙර මිය ගිය වන අලියෙකුගේ සිරුරක් හමුවී ඇති බව, වනජීවි දෙපාර්තමේන්තුව පවසනවා.

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මොරගොල්ල ග්‍රාම නිලධාරි වසමේ මොරගහකන්ද රක්ෂිත කලාපයට මායිම්වයි, මිය ගිය වන අලියාගේ සිරුර හමුවී තිබෙන්නේ.

වයස අවුරුදු 20 ක් පමණ වන මෙම වන අලියා උසින් අඩි හයක් (6) පමණ වන බව වනජීවි දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

මල සිරැර පවතින ප්‍රදේශය පුරා අධික දුර්ගන්ධයක් වහනය වී ඇති අතර, දින ගණනක් ගතවීම හේතුවෙන් සිරුර ඉදිමී තිබෙනවා.

සිරුරෙහි තුවාල කිහිපයක් ද දක්නට ලැබෙන අතර, සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂනය සිදුකිරිමට නියමිතයි.

***************************************

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් ආනයනය කෙරේ

(11.01.2022 – 11:30 +0530 – hirunews.lk/sinhala)

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව, නාඩු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2 ක් සහ සම්බා අදේශක සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් (1) මෙලෙස ආනයනය කරනු ඇති.

සාධාරණ මිලට සහල් ලබාදීම මෙහි අරමුණ වී තිබෙනවා. මේ අතර, සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මේ සඳහා නීතිපතිවරයාගේ ද අවසරය ලැබී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සදහන් කළේ ෴

***************************************

ජනාධිපතිවරයා සිදු කරන ප්‍රතිපත්ති ප්‍රකාශයට කල් තැබීමේ විවාදයක්

(11.01.2022 – 11:36 +0530 – hirunews.lk/sinhala)

9 වන පාර්ලිමේන්තුවේ දෙවන (2) සැසි වාරය ආරම්භ කරමින් ලබන 18 වන දා ජනාධිපතිවරයා ඉදිරිපත් කරන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට අද (11) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

ඒ අනුව ලබන 19 සහ 20 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වීමටයි කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළව කල් තැබීමේ විවාදයක් ඉල්ලා තිබුණා ෴

***************************************

දුරදිග ගිය සේවක ආරවුලෙන් පානදුර – මොරටුව සිට පිටකොටුව දක්වා දිවෙන බස්රථ රියදුරන් වර්ජනයේ

(11.01.2022 – 08:21 +0530 – hirunews.lk/sinhala)

පානදුර – මොරටුව සිට පිටකොටුව දක්වා දිවෙන බස්රථ රියදුරන් අද (11) වැඩ වර්ජනයක නිරත වුණා.

ඒ දුර පළාත් බස් රථ සඳහා අතරමග දී මගීන් නංවා ගැනීම හේතුවෙන් තම ආදායම පහළ වැටී ඇති බව පවසමින්.

මේ අතර මෙම බස් රථ ගැටලුව හේතුවෙන් දුර ගමන් සේවා බස් රථයකට දෙහිවල ප්‍රදේශයේ දී කළුතෙල් ප්‍රහාරයක් එල්ල කරන ආකාරය දැක්වෙන් වීඩියෝවක් ද සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන දුර පළාත් බස් රථ රියදුරන් විසින් අතරමග දී මගීන් නංවා ගැනීම හේතුවෙන් තමන්ගේ ආදායම පහත වැටී ඇති බවයි පානදුර – පිටකොටුව, මොරටුව – පිටකොටුව බස් රථ රියදුරන් පවසන්නේ.

දුර පළාත් බස් රථ රියදුරන්ට නියමිත බස් නැවතුම්පොළවල් පිළිබඳ දැනුවත් කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ පැවති සාකච්ඡාවෙන් ද නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් ඊයේ (10) දිනයේ දී පානදුර, මොරටුව බස් රථ රියදුරන් එම ස්ථානයේ විරෝධතාවක ද නිරත වුණා.

එම බස්රථ සේවකයින් අද (11) බස් රථ ධාවනයෙන් ඉවත් වූයේ ද එම ගැටලුව මුල්කර ගනිමිනුයි.

කෙසේවෙතත්, මෙම වර්ජනය හේතුවෙන් ජනතාව අද (11) දැඩි අපහසුතාවට පත්වුණා.

මේ අතර දුර ගමන් සේවා බස් රථයකට ඊයේ (10) දෙහිවල ප්‍රදේශයේදී කළුතෙල් ප්‍රහාරයක් එල්ල කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

එම සිද්ධියට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු (2) මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

***************************************

ගත වූ වසරේ අලි – මිනිස් ගැටුම ගැන පසුවිපරමක්

(11.01.2022 – 08:38 +0530 – hirunews.lk/sinhala)

අලි – මිනිස් ගැටුම් හේතුවෙන් ගත වූ වසරේ පුද්ගලයින් 127 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අලි 360 ක් ද ගත වූ වසරේ මිය ගොස් ඇති බවයි.

ස්වභාවිකව සිදු වන මරණ, දුම්රියේ ගැටීමෙන් හෝ වෙනත් සිද්ධීන් හරහා මිය යන අලින් ද ඊට ඇතුළත්.

සාමාන්‍යයෙන් වසරකට 50% කට වැඩි වන අලි සංඛ්‍යාවක් මිය යන්නේ, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ඒ අනුව ගත වූ වසරේ 200 කට ආසන්න අලි සංඛ්‍යාවක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

හක්කපටස් භාවිත කිරීම, වෙඩි තැබීම්, විදුලි රැහැන් භාවිතා කිරීම් ඇතුළු හිතාමතා මිනිසුන් සිදු කරන ක්‍රියාකාරකම් මීට හේතු වී තිබුණා.

වනජීවි රැකවරණ, අලි වැට හා අගල් ඉදිකිරීම් ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් සකස් කිරීම සඳහා වන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස විමලවීර දිසානායක කටයුතු කරනවා.

ඔහු එම ධුරයට පත්වීමෙන් පසු අලි මිනිස් ගැටුම්වලින් මියගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 300 කට ආසන්නයි.

වන අලි 600 කට ආසන්න සංඛ්‍යාවක් ද අදාළ කාලය තුළ මියගොස් තිබෙනවා ෴

***************************************

Black List වූ මහජන බැංකුව චීනෙන් යළි එළියට ගනියි

(11.01.2022 – 11:52 +0530 – hirunews.lk/sinhala)

අසාදු ලේඛනගත වූ මහජන බැංකුව චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් එම අසාදු ලේඛනයෙන් ඉවත් කර ඇති බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනයෙන් ඉවත් කර ඇති බවට අද (11) දිනයේ නිවේදනය කෙරුණා.

මෙලෙස මහජන බැංකුව චීනය විසින් අසාදු ලේඛනගත කරනු ලැබුවේ පසුගිය දා මහත් අර්බුදයකට සහ ආන්දෝලනයකට තුඩු දුන් චීන පොහොර නැව සම්බන්ධයෙන් පැන නැගි ණයවර ලිපි පිළිබඳ ගැටලුවක් සම්බන්ධයෙනුයි.

දෙපාර්ශ්වයක් අතර පැවති ගිවිසුම් කඩ කරමින් ණයවර ලිපියකට අදාළව ගෙවීම් සිදු නොකිරීම නිසා මහජන බැංකුව අසාදු ලේඛනගත කළ බව 2021 වසරේ ඔක්තෝම්බර් මස 29 වැනි දින ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කළා.

නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය සඳහන් කළේ, තානාපති කාර්යාලයේ ආර්ථික සහ වෙළෙඳ කාර්යාලය විසින් අදාළ පියවර ගනු ලැබූ බවයි.

මෙම තීරණය අනුව ශ්‍රී ලංකාව සමග සිදු කරන ජාත්‍යන්තර ගනුදෙනුවලදී මහජන බැංකුව විසින් නිකුත් කරන ණයවර ලිපි පිළිගැනීමෙන් වළකින ලෙසත්, අවදානම පාලනය කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙසත්, සියලුම චීන ව්‍යවසායකයින්ට දැනුම් දීමට චීන තානාපති කාර්යාලය විසින් පියවර ගනු ලැබුවා.

පොහොර ගනුදෙනුවට අදාළව දෙපාර්ශ්වය අතර ඇතිකරගත් එකඟතා මත මෑතකදී විවෘත කළ ණයවර ලිපියට අදාළව ගෙවීම් කරන ලෙස චීනයේ ‘චින්දාඕ සීවිං බයෝටෙක්’ සමාගම මහජන බැංකුවෙන් ඉල්ලා ඇති බවයි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

ව්‍යාපාරික නීතිරීති සහ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්තීන්ට අනුව මහජන බැංකුව ක්‍රියා නොකිරීම නිසා මෙම ණයවර ලිපියට අදාළ ගෙවීම් නොකිරීමෙන් චීන සමාගමට බරපතළ පාඩුවක් සිදුව ඇතැයි චීන තානාපති කාර්යාලය පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් චීන සමාගම එවූ පොහොර සාම්පල 2 ක අහිතකර බැක්ටීරියා හමුවීම හේතුවෙන් මෙම පොහොර තොගය මිලදී නොගැනීමට ශ්‍රී ලංකාව තීරණය කෙරුණ ද, ඊට අදාළව රජයේ පොහොර සමාගම් දෙක කොළඹ වාණිජ මහාධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ චීන සමාගමට ණයවර ලිපිවල සඳහන් මුදල් ගෙවීමෙන් වළකින ලෙස අතුරු නියෝගයක් ද නිකුත් කෙරුණා.

එහෙත් අවසානයේ දී අදාළ චීන පොහොර නැවට සහ සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ක මුදලක් ගෙවීමටයි වාණිජ මහාධිකරණය විසින් ගත් අවසන් තීන්දුවේ දැක්වුණේ.

මෙම ගෙවීම් අවසන් වීමෙන් පසුවයි මෙලෙස මහජන බැංකුව චීනය විසින් අසාදු ලේඛනයෙන් ඉවත් කර ඇති බවට අද දිනයේ දී නිවේදනය කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *