සකුරායි ගුවන් සමාගමේ ප්‍රධානියා ඇතුළු පිරිසක් CID අත්අඩංගුවට

සකුරායි ගුවන් සමාගමේ ප්‍රධානියා ඇතුළු පිරිසක් CID අත්අඩංගුවට

*********************************************

සකුරායි ගුවන් සමාගමේ ප්‍රධානියා ඇතුළු පිරිසක් CID අත්අඩංගුවට

(10.01.2022 – 19:22 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දා හදිසි ගොඩබෑම්වලට ලක් වූ සකුරායි ගුවන් සේවයට අයත් ගුවන් යානා සම්බන්ධයෙන්, අදාළ සමාගමේ කළමනාකරු, අධ්‍යක්ෂ සහ ප්‍රධාන ඉංජිනේරුවරයා අද (10) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටුනායක – කිඹුලාපිටිය වෙල් යායකට සැහැල්ලු ගුවන් යානයක් සිදු කළ හදිසි ගොඩබෑම, ගුවන් නියමුවන් දෙදෙනකුට (2) තුවාල සිදු කිරීම සහ විදේශීය මගින් රැගෙන යාමේදී ඔවුන්ට තුවාල සිදු කිරීම සම්බන්ධයෙනුයි.

මේ අනුව, නැවත දැනුම්දෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි සකුරායි ඒවියේෂන් ලිමිටඩ් විසින් සිදු කරන සියලුම ගුවන් යානා මෙහෙයුම් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අත්හිටුවා ඇති බවට ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක විසින් නිවේදනයක් නිකුත් කළේ, පසුගිය දෙසැම්බර් මස 27 වැනි දිනයි.

සතියකට අඩු කාලයකදී සකුරායි ඒවියේෂන් සමාගමට අයත් සැහැල්ලු ගුවන් යානා දෙකක් (2) එන්ජිමේ දෝෂ සහ කාර්මික දෝෂ හේතුවෙන් මෙලෙස හදිසි ගොඩබෑම් සිදු කෙරුණා.

සමාගමට අයත් සෙස්නා 172 වර්ගයේ යානයක් කිඹුලාපිටිය ප්‍රදේශයේ වෙල්යායකට හදිසි ගොඩබෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එදිනදී (27) විශේෂ පරීක්ෂණයක් ආරම්භ කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් නියමුවන් දෙදෙනෙකු (2) සහ මගීන් දෙදෙනෙකු (2) එහි සිට ඇති අතර, අනතුරෙන් තුවාල ලැබූ ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණා.

මේ අයුරින් සකුරායි පෞද්ගලික ගුවන් සේවයට අයත් තවත් ගුවන් යානයක් දෙසැම්බර් 22 වන දින පයාගල වෙරළට ද හදිසි ගොඩබෑමක් සිදු කරනු ලැබුවා.

අභ්‍යාසලාභී ගුවන් නියමුවන් දෙදෙනකු (2) විසින් මෙහෙයවනු ලැබූ එම යානයේ එන්ජිමේ ඇති වූ දෝෂයක් හේතුවෙනුයි එම යානය ද මෙලෙස ගොඩබෑමකට ලක් කෙරුණේ.

***************************************

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය

(10.01.2022 – 17:57 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආර්ථික ප්‍රවර්ධනය වෙනුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාදෙන බව එහි උප සභාපති ෂික්සිත් චෙන් (Shixin Chen) පවසනවා.

උප සභාපතිවරයා මේ බව සඳහන් කළේ, අද (10) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී යි.

ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව දැනට මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල සාර්ථකත්වය ෂික්සිත් චෙන් විසින් ඇගයීමට ලක් කෙරුණු අතර, රාජ්‍ය සංස්ථා කිහිපයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව අපේක්ෂා කරන බව ද උපසභාපතිවරයා මෙහිදී සඳහන් කළා.

ආසියානු සංවර්ධන බැංකුව මෙම වසර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 786 ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කර ඇති අතර, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සංඛ්‍යාව 27 ක්.

ආසියානු සංවර්ධන බැංකුවෙහි වාර්ෂික සම්මේලනය රටවල් 68 ක නියෝජනයෙන් ලබන මැයි මස 02 සිට 05 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය තීරණය කර තිබෙනවා.

ඊට සමගාමීව ව්‍යාපාරික සමුළු ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

දේශීය සහ විදේශීය නියෝජිතයන් 5,000 ක පමණ පිරිසක් ඊට සහභාගී වනු ඇති බවට ද අපේක්ෂා කෙරෙනවා.

මෙම සමුළුව ‘පශ්චාත් කොවිඩ්-19 ලෝකය සඳහා කාලගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන හරිත ආර්ථිකයක්’ යන තේමාව ඔස්සේ පැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකාව කොවිඩ්-19 එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීම, රජයේ සෞඛ්‍ය යාන්ත්‍රණයෙහි සංවිධානාත්මක බව ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපතිවරයාගේ ඇගයීමට ලක් වුණා.

එමෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් සහාය වෙනුවෙන් ද රජයේ සහ ජනතාවගේ කෘතවේදීත්වය හිමි වන බව ද මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අවධාරණය කරනු ලැබුවා ෴

***************************************

ආණ්ඩුව තුළ ආණ්ඩු බැහැ – පොහොට්ටුවේ සභාපති

(10.01.2022 – 20:06 +0530 – hirunews.lk/sinhala)

එක ආණ්ඩුවක් තුල ආණ්ඩු තුන හතරක් පැවතිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැදවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ ආණ්ඩුව තුල සිටිමින් විපක්ෂයේ කාර්යභාරය සිදු කිරීමට කිසිවෙකුටත් නොහැකි බවයි.

***************************************

ගෑස් වින්දිතයන් සංවිධානගත වෙයි – සමාගම්වලටත් අනතුරු ඇඟවීමක්

(10.01.2022 – 20:11 +0530 – hirunews.lk/sinhala)

ලිට්‍රෝ සමාගම ගෙන්වූ ගෑස් නෞකා දෙකෙන් (2) එකක (1) ගෑස් සාම්පල නියමිත ප්‍රමිතියට අනුකූලවීම නිසා එම ගෑස් ගොඩබෑමට කටයුතු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළා.

කෙසේවෙතත්, අනෙක් ගෑස් නෞකාවේ ප්‍රමිතිය සම්බන්ධ වාර්තා මෙතෙක් ලැබී නැහැ.

මේ අතර, ගෑස් ලබා ගැනීම සඳහා දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව අදත් (10) පෝලිම්වල රැඳි සිටිනු දක්නට ලැබුණා.

වෙළෙඳපොළේ තවදුරටත් පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම ආනයනය කළ ගෑස් රැගත් තවත් නෞකා 2 ක් ඊයේ (09) දිවයිනට පැමිණ තිබුණා.

අදාළ නෞකා දෙක (2) උස්වැටකෙයියාව ප්‍රදේශයේ නැංගුරම්ලා ඇති අතර, එම ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් ඊයේ (09) එහි සාම්පල ලබාගෙන තිබුණා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමක දී සඳහන් කළේ, එක් නෞකාවක ගෑස් ප්‍රමිතියට අනුකූල බවට තහවුරු වීම නිසා ගොඩබෑම ආරම්භ කර ඇති බවයි.

මේ අතර, ලාෆ්ස් සමාගම සඳහන් කළේ, ඔවුන් ආනයනය කළ ගෑස් නෞකාවක් ලබන සතියේ මෙරටට ළඟාවීමට නියමිත බවයි.

මේ අතර බණ්ඩාරගම උඳුගොඩ ප්‍රදේශයේ නිවසකට රැගෙන ආ ගෑස් සිලින්ඩරයකට රෙගියුලේටරය සවි කිරීමත් සමග ගෑස් කාන්දුවීමක් ආරම්භ වී තිබුණේ මෙවැනි හඩක් නිකුත් කරමින්.

මෙම ගෑස් සිලින්ඩරය මීට දින 10 කට පමණ පෙර මිලදී ගත් බව නිවැසියන් සඳහන් කළා.

මේ අතර තවදුරටත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා.

මේ අතර ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනි ගැනීම් හේතුවෙන් ජීවිත හා දේපල හානිවුවන් එක්ව පිහිටුවාගත් ‘සමස්ත ලංකා පාරිභෝගික එකමුතුව’ නම් සංවිධානය අද (10) පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්නත අලගියවන්න හමු වී සංදේශයක් භාරදීමට කටයුතු කළා.

ගෑස් ආශ්‍රිත අනතුරු සිදු වුව ද තවදුරටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා.

කොළඹ – මාළිගාවත්ත ප්‍රදේශයේ ද ගෑස් ලබා ගැනීම සඳහා ජනතාව අද (10) අලුයම සිට මෙලෙස පෝලිම්වල රැඳී සිටියා.

මේ අතර, බත්තරමුල්ල – පැලවත්ත ප්‍රදේශයේ ගෑස් පෝලිමක පාසල් සිසුන් ද රැඳී සිටිනු මෙලෙස දක්නට ලැබුණා.

මේ අතර මීගමුව ප්‍රදේශයේ ගෑස් අලෙවිසලක ගෑස් සිලින්ඩර අලෙවි නොකර වැඩි මිලට නිවෙස්වලට බෙදාහැරීමට කටයුතු කර ඇති බවට එම ප්‍රදේශයේ පාරිභෝගිකයින් චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් අප වාර්තාකරු සිදුකළ සොයා බැලීමේදී අනාවරණ වූයේ අලෙවිසල තුළ මුද්‍රා ඉවත් නොකළ ගෑස් සිලින්ඩර මෙලෙස ගබඩා කර ඇති බවයි.

පවතින ගෑස් අර්බුදය හමුවේ නාගරිකව වෙසෙන බොහෝ දෙනා භූමිතෙල් භාවිතය කෙරෙහි යොමුව ඇති අයුරු පසුගිය දිනවල දක්නට ලැබුණා.

ඒ අනුව අද (10) පෙරවරුවේ ද භූමිතෙල් ලබා ගැනීම සඳහා ඉන්ධන අලෙවිසැල් අසල ජනතාව මෙලෙස පෝලිම්වල රැඳී සිටියා.

***************************************

දිවයිනේ එක් එක් ප්‍රදේශවලට විදුලිය කැපෙන විදිය මෙන්න

(10.01.2022 – 18:45 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ එක් එක් ප්‍රදේශවලට විදුලිය කප්පාදු කරන සැළසුම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මීට අදාල නිවේදනය ඔවුන් නිකුත් කර තිබෙනවා එම නිවේදනය පහතින් :

++++++++

විදුලිය කැපීමේ අවදානම මේ මස අවසන් වන තුරු – විසදුම් සොයන්නැයි, ජනපතිගෙන් උපදෙස්

(10.01.2022 – 20:12 +0530 – hirunews.lk/sinhala)

මේ මාසය අවසානය දක්වා රාත්‍රී කාලයේදි විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

කෙසේ වෙතත්, ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසදුම් සෙවීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළා.

විදුලි කප්පාදුවක් පිළිබදව පැන නැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

මෙරට සතු ගල් අගුරු සංචිත විදුලි අර්බුදයකට ඉඩ නොදී කළමනාකරණය කර ගැනීමට ප්‍රමාණවත් අතර, ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලි උත්පාදනය කළමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුවකට යාමෙන් වැළකිය හැකි බවටයි නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත්, මේ මාසය අවසානය දක්වා රාති්‍රී කාලයේදි විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බවයි සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි එම්.ආර්. රණතුංග ප්‍රකාශ කළේ.

මේ අතර, බගවන්තලාව ප්‍රදේශයට අද දිනයේ විදුලිය විසන්ධි වී තිබූ බව අප වාර්තාකරු කියා සිටියා.

මේ අතර, කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම් පිළිබද වැඩිදුර කරුණු සලකා බැලීම අනිද්දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

එම පෙත්සම් වලට පක්ෂව දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කර ඇති විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා කරුණු ඉදිරිපත් කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.

එසේම යුගදනවි කොටස් මිලදී ගත් නිව් ෆෝට්‍රස් එනර්ජී නැමති අමරිකානු සමාගම සම්බන්ධයෙන් ද බරපතල ගැටලු රාශියක් මතුව ඇති බව පෙන්වා දෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම සමාගම නිව්යෝර්ක් කොටස් වෙළදපොලේ ලියාපදිංචි සමාගමක් ලෙස එහි ලේඛනවල දක්වා තිබුන ද එය අසත්‍යයක් බවයි.

කෙසේ වෙතත්, පෙත්සම් වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ප්‍රකාශ කර ඇත්තේ අදාල ගිවිසුම නීත්‍යානුකූල අයුරින් සිදුකර ඇති බවයි.

පෙත්සම් පිළිබදව වැඩිදුර කරුණු සලකා බැලීම අනිද්දා තෙක් කල්තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබෙනවා.

***************************************

යළි යළිත් සංශෝධනය වන අමාත්‍යාංශ ගැසට්ටුව

(10.01.2022 – 21:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිළිවෙලින් 44 (1), 45 (1) සහ 47 (1) (අ), (ආ) ව්‍යවස්ථාවන්ට අනුකූලව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2020 අගෝස්තු මස 09 වැනි දිනැති අංක 2187/27 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය වරින්වර සංශෝධනය කරන ලදුව, එය අද (10) දින සිට ක්‍රියාත්මක වන පරිදි තවදුරටත් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් පහත ගැසට් නිවේදනය ප්‍රකාරව සංශෝධනය වනු ඇති.

***************************************

ජංගම දූරකථන කොල්ලයේ යෙදුණු අයියා – මලෝ නීතියේ රැහැනට

(10.01.2022 – 21:36 +0530 – hirunews.lk/sinhala)

මාර්ගයේ ගමන් ගන්නා කාන්තාවන්ගේ ජංගම දුරකථන පැහැර ගැනීමේ නිරත වූ මිනුවන්ගොඩ දාගොන්න ප්‍රදේශයේ පදිංචි සහෝදරයන් දෙදෙනෙකු (2) එලෙස පැහැරගත් ජංගම දුරකථන 61 ක් ද සමඟින් පෑලියගොඩ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

***************************************

පාස්පෝර්ට් හදන අය ගැන ජෝන්ස්ටන්ගෙන් හෙළිදරව්වක්

(10.01.2022 – 22:35 +0530 – hirunews.lk/sinhala)

පෝලිම් ගැසී පාස්පෝර්ට් හදන අය ගැන ආමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද (10) විශේෂ හෙළිදරව්වක් කළා. ඒ අද පැවති උත්සවයකදී.

***************************************

චීනයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 25.5 ක මූල්‍ය පරිත්‍යාගයක්

(10.01.2022 – 23:00 +0530 – hirunews.lk/sinhala)

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ගේ මෙරට සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රදානයක් සිදුකිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් සඳහා දායකත්වය ලබාදීමට එකඟ වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබුනා.

එහිදී ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 25.5 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීම ඇතුළු ව්‍යාපෘති 4 ක් සිදුකිරීමට චීන විදේශ අමාත්‍ය වැන්ග් යී එකඟ වී තිබෙනවා.

එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ BMICH අලුත්වැඩියාව, වකුගඩු රෝගීන් හඳුනාගැනීම පහසු කිරීමේ උපාංග සහිත ගිලන් රථ සැපයීම, කොළඹ සිටින අඩු ආදායම්ලාභීන් සඳහා අඩු ආදායම් ලාභීන් සඳහා නිවාස ඒකක 1996 ක් ඉදිකිරීම පිළිබඳ ගිවිසුම් ඒ අතර වන බවයි ෴

***************************************

පළාත් පාලන සභිකයින්ගේ නිල කාලය සංශෝධනය වේ – ගැසට්ටුවකුත් එළියට

(10.01.2022 – 23:38 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ආයතනවල සභිකයන්ගේ නිල කාලය සංශෝධනයට ලක් කරමින් අද (10) රාත්‍රියේදී ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම සභිකයින්ගේ නිල කාලය 2023 මාර්තු මස 19 වැනි දින දක්වා සංශෝධිත ගැසට් පත්‍රය අනුව දිගු වනු ඇති.

මෙම නව සංශෝධිත ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *