කටුනායක ගුවන් තොටුපලේ දැඩි කලබලකාරි තත්ත්වයක්

කටුනායක ගුවන් තොටුපලේ දැඩි කලබලකාරි තත්ත්වයක්

*********************************************

කටුනායක ගුවන් තොටුපලේ දැඩි කලබලකාරි තත්ත්වයක්

(10.01.2022 – 12:17 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත පැන යාමට තැත් කළ ජාතිකත්වය හදුනා නොගත් විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන විට ඔහු එයින් මිදී පැන දුවන්නට වූයෙන් ගුවන් තොටුපලේ දැඩි කලබලකාරි තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

අදාළ විදේශිකයා මෙරට ආගමන විගමන හා පොලිස් අත්අඩංගුවෙන් බේරී පලා යාම සඳහා ගුවන්තොටුපල වහලයට ගොඩ වී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා කමාන්ඩෝ භටයින් සහ ගුවන්තොටුපල ආරක්ෂක නිලධාරීන් මෙන්ම කටුනායක පොලිසියේ නිලධාරීන් ද එක්ව මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

අද (10) අලුයම සිදුවූ මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයා ඇතැම් විට වෙනත් රටක බන්ධනාගාරයකින් පලා යන පුද්ගලයකු හෝ යම්කිසි විශේෂ සේවාවක් – විශේෂ පුහුණුවක් ලැබූ පුද්ගලයෙකු විය හැකියි බවට මෙරට ආරක්ෂක අංශ සැක සැක කරනවා.

සුදු හම සහිත හැඩි දැඩි විදේශිකයෙක් වන මොහු අද (10) අලුයම 02:45 ට අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත යෑම සදහා එතිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි – 265 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම සැකකටයුතු විදේශිකයා ගුවන් ප්‍රවේශ පත්‍රය ද ලබා ගැනීමෙන් අනතුරුව, විගමන කවුළුව වෙත පැමිණ ඉදිරිපත් කළ ෂීෂෙල්ස් ජාතික ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, එය දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත තාක්ෂණික පරීක්ෂණ සදහා යොමු කර තිබෙනවා.

මෙම සැකකටයුතු විදේශිකයාගෙන් ආගමන විගමන නිලධාරීන් ප්‍රශ්න කරමින් සිටිය දී ඔහු එකවරම පුටුවෙන් නැගිට පිටවීමේ පර්යන්තය ඔස්සේ දිව යන්නට වූ බවයි වාර්තා වන්නේ.

ඔහු පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව යමින්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් මඟ හරිමින් ආරක්ෂක වැටවල් උඩින් පනිමින්, දිව යන්නට මොහුට ගත වී තිබුණේ ඉතා කෙටි කාලයක් පමනක් බවයි වාර්තා වන්නේ.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිව් දෙනෙකු (4) සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද මොහු පිටුපස ලුහුබදිමින් සිටියදී මෙම විදේශිකයා එකවරම අසල ඇති තාප්පයකට නැග එයින් ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ වහළයට නැග ඒ මත සැඟවී තිබෙනවා.

ගුවන් තොටුපළ ආරක්ෂක කැමරා නිරීක්ෂණය කරමින් සිටි ගුවන් හමුදාව වහාම මොහු සැගවී සිටි ස්ථානය වෙත ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිසක් යොමු කිරීමට පියවර ගත්තා.

එවිට මෙම විදේශිකයා වහළය මත දිව ගොස් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන මාර්ගයට පැන ගුවන් තොටුපළෙන් පිටතට පළා යෑමට සූදානම් වූ අතර මේ වනවිට මෙම ත්‍රාසජනක ක්‍රියාවලියට පැයක (1) පමණ කාළයක් ගත වී තිබුනා.

කෙසේ වෙතත් මහත් පරිශ්‍රමයකින් පසුව අද (10) අලුයම 02:15 ට පමණ මෙම හදුනා නොගත් විදේශිකයා ගුවන් තොටුපළ පිටතට යාමේ දොරටුව අසළ දී අත් අඩංගුවට ගැනීමට ගුවන් තොටුපළ ආරක්ෂක නිල නිලධාරීන් සහ ගුවන් හමුදා කමාන්ඩෝ භටයින් සමත් වුණා.

මෙම විදේශිකයාගේ ගෙල ප්‍රදේශයේ 4693 ලෙස සදහන් අංකයක් පච්ච කොටා තිබුණු අතර මොහු විදේශික බන්ධනාගාරයකින් පළා යන පුද්ගලයෙකු, විදේශීය රටකට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු හෝ කිසියම් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලියක සාමාජිකයකු විය හැකි බවට ගුවන් තොටුපළ ආරක්ෂක අංශ සැක පහළ කරනවා.

අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා ෴

+++++++++

හිමිදිරියේ ගුවන් තොටුපලේ යකා නටා ඇත්තේ පෝලන්ත ජාතිකයෙක්

(10.01.2022 – 17:43 +0530 – hirunews.lk/sinhala)

අද (10) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දැඩි කලබලයක් ඇති කළ අනන්‍යතාවක් හෙළිකර ගැනීමට නොහැකිවූ පුද්ගලයා පෝලන්ත ජාතිකයෙකු බව අනාවරණය කරගෙන තිබෙනවා.

එහිදී සිදුකළ විමර්ෂණ කටයුතු වලින් අනතුරුවයි සීෂෙල්ස් ජාතික ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් මෙරටින් ප්‍රංශයේ පැරිස් වෙත යාමට උත්සාහ දැරූ පුද්ගලයා පෝලන්ත ජාතිකයකු බවට තහවුරු කර කර ගෙන ඇත්තේ.

අත් අඩංගුවට ගත් මෙම පෝලන්ත ජාතිකයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

***************************************

තවත් ආනයනික ලිට්රෝ ගෑස් තොගයක් ගොඩබෑමට අවසර

(10.01.2022 – 13:03 +0530 – hirunews.lk/sinhala)

නියමිත ප්‍රමිතිය තහවුරු වීමත් සමග ලිට්රෝ සමාගම මෙරටට ගෙන්වූ ගෑස් නෞකා දෙකෙන් (2) එක් (1) නැවක පවතින ගෑස් ගොඩබෑම සඳහා අවසර හිමි වී තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, අනෙක් නෞකාවේ සාම්පල වාර්තා මෙතෙක් නිකුත් වී නොමැති බවයි.

එසේම ලබන සතිය වන විට ලාෆ් සමාගමට අයත් ගෑස් නෞකාවක් (1) ද දිවයිනට පැමිණිමට නියමිත ව තිබෙනවා.

මේ අතර, ගෑස් මිලදී ගැනීම සඳහා දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව අදත් (10) පෝලිම්වල රැදී සිටිනවා.

එහි දී ඔවුන් චෝදනා කළේ, පෝලිම්වල සිටින ඇතැමුන් ගෑස් මිල දී ගෙන පසුව ඒවා වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවන බවයි.

පවතින තත්ත්වය හමුවේ වෙළඳපොලේ වළං මිලද ඉහළ ගොස් ඇති බවද වාර්තා වෙනවා.

තවදුරටත් බොහෝ දෙනා භූමිතෙල් භාවිතය කෙරෙහි ද යොමු වී ඇත්තේ පවතින ගෑස් අර්බුදය හමුවේයි.

මේ අතර, මේ වසර තුළ ආහාර ආනයනය 35% කින් නතර කර රට තුළ නිෂ්පාදනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ, බෝපේ – පෝද්දල පැවති උත්සවයකට එක්වෙමින්.

***************************************

විදුලි කප්පාදුව ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

(10.01.2022 – 13:06 +0530 – hirunews.lk/sinhala)

විදුලි කප්පාදුව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම පිළිබඳ විශේෂ සාකච්ජාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙනවා.

ඊට විදුලිබල, බලශක්ති, සුනිත්‍ය බලශක්ති, ප්‍රවාහන ඇතුළු විෂය පථයන් කිහිපයකට සම්බන්ධ අමාත්‍යවරුන් මෙන්ම එම අමාත්‍යාංශ වල ලේකම්වරුන් සහ උසස් නිළධාරීන් ද එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

මෙහිදී විදුලි සැපයුම සම්බන්ධයෙන් දැනට උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව පුළුල්ව සාකච්ජා කිරීමෙන් අනතුරුව එම තීරණ අද (10) පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නම් එය කොපමණ කාලසීමාවක් සඳහා ද, යන්න අමාත්‍ය මණ්ඩල හමුවෙන් පසු ප්‍රකාශයට පත් කිරීමට සැළසුම් කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ යම් හෙයකින් අද (10) පැවත්වෙන සාකච්ජාවේදී ණය පදනම මත තවදුරටත් ඉන්ධන ලබාදීමට තෙල් සංස්ථාව එකඟ වුවහොත් අඛණ්ඩ විදුලි සැපයුම පිළිබඳ යම් සහතිකයක් ලබාදිය හැකි බවයි.

කරුණු කිහිපයක් හේතුවෙන් විදුලි සැපයුම අඛන්ඩව පවත්වාගෙන යාම අර්බුදයක් බවට පත්වී තිබෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ණය පදනම මත තවදුරටත් විදුලිබල මණ්ඩලයට සැපයීම ප්‍රතික්ෂේප කර ඇති අතර ආදායම් අවම වීම හේතුවෙන් මුදල් පියවිය නොහැකි බව විදුලිබල මණ්ඩලයද දැනුම් දී තිබෙනවා.

මෙම තත්ත්වය මත යුගදනවි, කැළණිතිස්ස සහ තවත් පෞද්ගලික බලගාරයක් ඇතුළුව බලාගාර කිහිපයක මෙගාවෙට් 200 ට වැඩි විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.

එමෙන්ම ණයවර ලිපි නිකුත් කිරීම සඳහා ඩොලර් නිදහස් නොකිරීමෙන් නොරොච්චෝලේ තාප බලගාරයට අවශ්‍ය ගල් අගුරු ටෙන්ඩර් සඳහා සැපයුම්කරුවන් ඉදිරිපත් නොවීමෙන් ද උද්ගතව ඇත්තේ අර්බුදකාරි තත්ත්වයක්. නොරොච්චෝලෙ බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට සැපයෙන සමස්ත විදුලි ජනනය මෙගාවොට් 900 ක් වන අතර දැනටමත් එහි යන්ත්‍රයක් අක්‍රීය කර ඇත්තේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.

පසුගිය කාලසීමාව තුළ පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් උපරිම මට්ටමක පැවති ජල විදුලි උත්පාදනයද දිනෙන් දින අවම මට්ටමකට පත් වෙමින් පැවතීම අඛණ්ඩ විදුලි සැපයුම අවිනිශ්චිත තත්ත්වයකට පවත්වීමට තවත් හේතුවක්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පක්ෂ කාර්යාලයේ අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ සඳහන් කළේ දැනට විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි.

මේ අතර අද (10) පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවට ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 200 ක් ලබාදෙන්නැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් ඉල්ලීමක් කිරීමට නියමිතයි. ඉදිරි මාසයක කාලසිමාවක් සඳහා ඉන්ධන ආනයනයට ඩොලර් මිලියන 350 ක් පමණ වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇත්තේ ඩොලර් මිලියන 150 ක ප්‍රමාණයක්.

***************************************

මීළඟ ආණ්ඩුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් – මහින්ද අමරවීර

(10.01.2022 – 13:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන පිරිස් සමඟ ඉදිරියේදී නව ආණ්ඩුවක් ඉදිරියේදී ගොඩ නගන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ, නිදහස් පක්ෂ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරිමේ අවස්ථාව අද (10) දින එක්වෙමින්.

ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මුලස්ථානයේ මෙය ස්ථාපිත කර ඇති අතර, මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ, නිදහස් සන්ධානය විසින් මීළඟ ආණ්ඩුව පිහිටුවන බවයි.

***************************************

කොරෝනා නීති කැඩූ ශ්‍රී ලාංකිකයෙකුට ඉතාලියේදී දඩයක්

(10.01.2022 – 13:17 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු පාසල් අද (10) දින සිට සාමාන්‍ය පරිදි යළි ආරම්භ කෙරුණු අතර, සිසුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවති බව ගුරු විදුහල්පතිවරුන් ප්‍රකාශ කළා.

කොරෝනා වසංගත තත්වයත් සමඟ 2020 වසරේ මාර්තු 12 වන දා පාසල් වසා දැමීමත් සමඟ අදියර කිහිපයක් යටතේ සිසුන් පාසල් වෙත ගෙන්වීම සිදු කෙරුණා.

මේ අතර, කොරෝනා නීති කඩ කළ ශ්‍රී ලාංකිකයෙකුට ඉතාලියේදී යූරෝ 500 ත් 5000 ක් අතර දඩ මුදලක් (?) නියම කිරීමේ පුවතක් වාර්තා වනවා.

ඉතාලියේ විශේෂ වාර්තාකරු නුවන් දඹගේ ප්‍රකාශ කළේ, ඉතාලියේ බස් නැවතුම්පලක කොරෝනා ආසාදනය වී සිටීම හේතුවෙන් අදාළ පුද්ගලයාට මෙලෙස දඩ පැනවීම සිදුකර ඇති බවයි ෴

***************************************

ගෑස් ගැටලු හමුවේ පාරම්පරික මැටි කර්මාන්තකරුවන්ට සුබ කාලයක්

(10.01.2022 – 14:19 +0530 – hirunews.lk/sinhala)

ගෑස් ආශ්‍රිත පිපිරීම් හේතුවෙන් මෙරට විශාල පිරිසක් දැඩි අපහසුතාවට ලක්වූ බව නොරහසක්.

කෙසේ වෙතත්, එම අර්බුදය හේතුවෙන් ආර්ථික වාසි හිමිවූ පිරිසක් පිළිබඳ වාර්තා වෙනවා.

කුරුණෑගල, ඉබ්බාගමුව, තිත්තවැල්ල යන ප්‍රදේශ පාරම්පරික මැටි කර්මාන්තයට ප්‍රසිද්ධියක් උසුලන්නේ දීර්ඝ කාලයක සිට යි.

මැටි ආශ්‍රිත නිෂ්පාදන අලෙවියෙන් දිවි සරි කරගන්නා මෙම කර්මාන්තකරුවන්ට පසුගිය සමයේ දැඩි පීඩාකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවූයේ, කොවිඩ්ව සංගතය ඇතුළු තත්ත්වයන් හමුවේ සිය නිෂ්පාදන නිසි ලෙස අලෙවි කර ගත නො හැකි වීමෙන්.

කෙසේ වෙතත්, එම තත්ත්වය මගහැරී මේ වනවිට මොවුන්ගේ කලදවස සරු වී තිබෙනවා.

***************************************

ආණ්ඩුව රටේ ජනතාවට නිර්මාණය කරල තියෙන්නෙ අපායක් – සජිත් ප්‍රේමදාස

(10.01.2022 – 14:23 +0530 – hirunews.lk/sinhala)

රටේ ජනතාවට ආණ්ඩුව විසින් නැවතත් පෝලිම් යුගයක් උදාකර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සිය උතුරු පළාත් සංචාරය අතරතුර යාපනයේදී විපක්ෂනායකවරයා මෙම අදහස් පළ කළා.

***************************************

ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ආයතන හතරක (4) සභාපතිවරුන්ට යන්න කියයි

(10.01.2022 – 14:34 +0530 – hirunews.lk/sinhala)

මහාමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින මග නැගුම හා යන්ත්‍රෝපකරණ සමාගම, මාර්ග සංවර්ධන අධිකාරිය, මග නැගුම උපදේශන සමාගම සහ අධිවේගී මාර්ග ප්‍රවාහන සමාගම යන ආයතන වල සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට එම ධුරයන්ගෙන් වහාම ඉවත් වන ලෙස, ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු දැනුම් දී තිබෙනවා.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අදාල ආයතන ප්‍රධානීන්ට මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ, පසුගිය සතියේදී යි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති මහාමාර්ග අමාත්‍යංශ මාධ්‍ය ඒකකයෙන් සිදු කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු කියා සිටියේ, මෙම තනතුරු මාරුව මීට පෙර සිදු කිරීමට නියමිතව තිබූ දෙයක් බවයි.

ඒ අනුව, එම අමාත්‍යංශය යටතේ පවතින මග නැගුම හා යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපති චමින්ද අතලුවගේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද බස්නායක, මග නැගුම උපදේශන සමාගමේ සභාපතිවරයා සහ අධිවේගී මාර්ග ප්‍රවාහන සමාගමේ සභාපති කැලුම් ජයසුමන ඇතුලු එම ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් එම තම තනතුරුවලින් ඉවත්ව වීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *