රට පුරා සියලු පාසල් අද (10) සිට සාමාන්‍ය පරිදි

රට පුරා සියලු පාසල් අද (10) සිට සාමාන්‍ය පරිදි

*********************************************

රට පුරා සියලු පාසල් අද (10) සිට සාමාන්‍ය පරිදි

(10.01.2022 – 07:54 +0530 – hirunews.lk/sinhala)

රට පුරා සියලු පාසල් අද (10) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

මෙතෙක් කාණ්ඩ වශයෙන් සිසුන් කැඳවීම සිදු කළ අතර, මෙලෙස සාමාන්‍ය පරිදි පාසල්වල අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ වසරක (1) පමණ කාලයකට පසුවයි.

මේ අතර රට පුරා පාසල් බොහොමයක සිසුන්ට අදත් (10) කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර තම දරුවන් පාසල්වලට එවීමේ දී උපරිම ලෙස සෞඛ්‍ය ක්‍රම අනුගමනය කිරීම වැදගත් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළා.

***************************************

වරාය නගරයේ වරාය මංතීරුව අද (10) සිට ජනතාවට

(10.01.2022 – 08:13 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරයේ මහජන මංතීරුව අද (10) සිට දිනපතා ජනතාව සඳහා විවෘත ව පවතිනවා.

ඒ අනුව එය, පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා ජනතාව සඳහා විවෘතව පවතින අතර ඒ සඳහා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පිහිටා ඇති පිවිසුම භාවිත කළ හැකියි.

කොළඹ වරාය නගරයේ මරීනා හෙවත් නිකේතන පර්යන්තය සහ මහජන මංතීරුව ඊයේ (09) විවෘත කෙරුණා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ දිවයිනට පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජික, විදේශ අමාත්‍ය වෑන්ග් – යී සහභාගි වූ උත්සවයකදි යි ෴

***************************************

ඇයි අපි ව කරපිංචා ගාණට දාන්නේ ? – මෛත්‍රීපාල සිරිසේන

(10.01.2022 – 10:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දුන් පොරොන්දු කිසිවක් ඉටු නො කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් ඡන්දෙන් පසු තම මන්ත්‍රීවරුන් කරපිංචා හපයක් සේ විසිකර දැමූ බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අත්සන් කෙරුණු ගිවිසුමේ කොන්දේසි කිසිවක් අද වන තුරු ඉටු කර නැතැයි ද යනුවෙන් ද ඔහු සඳහන් කළා.

ඔහු මෙසේ පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින්.

අද රට ම අවුල් වී ඇති බවත් මෙහෙම ආහාර අහේනියක් මැතිනියගේ කාලෙදිවත් නො තිබූ බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

***************************************

කපු මහතෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් පැහැරගෙන ගිය හතරක් (4) අත්අඩංගුවට

(10.01.2022 – 10:13 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය – කුඩාඔය ප්‍රදේශයේ දේවාලයකට කඩාවැදී, එහි සිටි කපු මහතා සහ ඔහුගේ බිරිඳ හා දරුවන් පැහැරගෙන රුපියල් ලක්ෂ හතහමාරක (7½) මුදලක් ද කොල්ලකෑ පුද්ගලයින් හතරදෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සැකකරුවන් ඊයේ (09) දින අත්අඩංගුවට ගෙන ඇත්තේ, පැහැරගැනීමට යොදාගත් බවට සැක කෙරෙන මෝටර් රථ දෙකක් (2) ද සමඟයි.

සැකකරුවන් වීරවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ත් 40 ත් අතර පසුවන්නන්.

***************************************

ටිපර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු තුවාල ලබයි

(10.01.2022 – 10:17 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ පට්ටිතිඩාල් ප්‍රදේශයේදි බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් 27 දෙනෙකු තුවාල රෝහල් ගත කර තිබෙනවා.

මුතූර් රෝහලට ඇතුළත් කළ ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

ත්‍රිකුණාමලය සිට අම්පාර බලා ධාවනය වූ බස් රථයක්ල ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

තුවාල ලැබූවන් අතර බස් සහ ටිපර් රථවල රියදුරන්ද වනවා ෴

***************************************

අනතුරු දෙකකින් (2) පුද්ගලයින් දෙදෙනෙකු (2) මරුට

(10.01.2022 – 10:18 +0530 – hirunews.lk/sinhala)

ගාල්ලේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ බරවකුඹුක දෙසට ධාවනය වූ ටිපර් රථයක් අනතුරට ලක්වීමෙන් එහි රියදුරු මියගොස් තිබෙනවා.

රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකිවී එය, ආරක්ෂක වැටේ ගැටී ඊයේ (09) පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.

මීට අමතරව, හලාවත – බංගදෙණිය – ආණමඩුව මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පාපැදියක ගැටී සිදුවූ අනතුරකින් පාපැදිකරු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක් ෴

***************************************

විපක්ෂ වීර කතා කුඩු කළා – ගම්මන්පිල

(10.01.2022 – 10:26 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් 2003 ගිවිසුම අනුව ටැංකි 99 ම ඉන්දියාවට දී තිබිය දී විරෝධය පළ නො කළ පිරිස් නව ගිවිසුමෙන් ටැංකි 99 න් 85 ක්ම ලංකාවේ පාලනයට නතුකරගත් විට ඊට විරෝධය පළ කරන්නේ ඇයි දැ යි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ඉකුත් 08 වැනි දා බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් හා එක්වෙමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ පැවසුවා :

“ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය අස්සන් තැබුණු ගිවිසුමට හුඹස් බියක්, විරෝධයක් මතුවෙමින් පවතින බව පේනවා. ඔවුන් නඟන තර්කවලට අප මේ වන විට උත්තර දී තිබුණත් නැවත වතාවක් ඒවාට උත්තර දීමට සිදු වෙනවා.

දෙවැනි ලෝක යුද සමයේ දී හැරුණු විට පසුගිය වසර සීයට (100) ම කිසි ම අවස්ථාවක ප්‍රයෝජනයට නො ගෙන දිරාපත් වීමට ඉඩහැර තිබුණු තෙල් ටැංකි සංකීර්ණය අපේ රටේ ප්‍රයෝජනයට ගන්නා විට විරුද්ධ වෙන්නේ ඇයි. අපේ නිලධාරීන්ට තෙල් ටැංකි සංකීර්ණයට ඇතුළු වෙන්න ඉඩ නො දුන්නාට විරුද්ධ නොවුණු අය එතැන ජාතික කොඩිය ඔසවනවාට විරුද්ධ වෙන්නේ ඇයි. මේ පෙන්වන්නේ දේශප්‍රේමයද නැතිනම් ඉන්දියානු ප්‍රේමයද කියන ප්‍රශ්නය අපට මතුවෙනවා. වැඩ කාගේ ද වුණත් මුදල් කාගේ ද කියන ප්‍රශ්නය අපට මතු වෙනවා.

ජවිපෙ සහ සමගි ජන බලවේගයේ විරෝධයට ඇහුම්කන් දීමට පෙර 2021 ජනවාරි 04 දා ඒ පක්ෂ නියෝජිතයන් සමඟ ‘දෙරණ වාදපිටියේ’දී මම කළ විවාදය නරඹන මෙන් මම මේ රටේ ජනතාවට ආරාධනා කරනවා. ඒ වගේම මීට විරුද්ධව කතා කරන වෘත්තීය සමිති නායකයන්ට ඇහුම්කන්දීමට පෙර ඔවුන් සමඟ මම 2021 ඔක්තෝබර් 14 දා ‘හිරු බලයේ’දී කළ විවාදය නරඹන මෙන් මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පාළු ගෙවල්වල වළං බිඳිනවා වාගේ තනියම කියන වීර කතා සියල්ලම අපි විවාදවලදී කුඩුපට්ටම් කළා.

හැමදාම එකම බොරුව කියන විපක්ෂය තවත් වසර දෙකකින් (2) ලංකාවට හිමි වෙන්න තිබුණු තෙල් ටැංකි 14 ක් ආණ්ඩුව විසින් වසර 50 කට ඉන්දියාවට දුන්නා කියනවා. ඊයේ ඔය බොරුව කිව්වේ තිස්ස අත්තනායක මන්ත්‍රිතුමා. 2021 ඔක්තෝබර් 06 වැනිදා කබීර් හෂීම් සහ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරුන් ඔය බොරුව පාර්ලිමේන්තුවේදී කිව්වාම මම ඒක තිබෙන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියා අභියෝග කළා. අද වන තුරු ඒක ඉදිරිපත් කරන්න ඒ අය අසමත් වෙලා තිබෙනවා. ඉදිරිපත් කළේ නෑ නෙවෙයි ඉදිරිපත් කරන්න බැහැ. මොකද එහෙම තිබෙන ගිවිසුමක් නැති හන්දා. ඒ ඉදිරිපත් කරන්න එහෙම ගිවිසුමක් නැති නිසා. මම කතා කරන්නේ ලිඛිත සාක්ෂි ඇතිව.

ජාතික සම්පත් සුරැකීමේ තෙල්, වරාය සහ විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මේ ගිවිසුමට එරෙහිව උද්ඝෝෂණයක් කරනවා කියා ආරංචියි. මම නැඟෙනහිර ජැටිය බේරා ගැනීමේ සටනේදීත් ‘නිව් ෆෝට්‍රස් එනර්ජි’ විරෝධී සටනේදීත් මම ඒ අය සමඟ සිටියා. මම ඒ අයගේ සටන් සඟයෙක්. විපක්ෂය වපුරන බොරු මත උද්ඝෝෂණ කරන්නේ නැතුව මාව හමුවෙලා ලිපිලේඛන පරීක්ෂා කරලා ඇත්ත දැනගෙන උද්ඝෝෂණ කරන්න කියා මම ඒ අයට ආරාධනා කරනවා.”

***************************************

කෙරවලපිටිය ගිවිසුමට එරෙහි පෙත්සම් විභාගයේ තුන්වන (3) දිනය ආරම්භ වෙයි

(10.01.2022 – 10:59 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් අද (10) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තුන්වන (3) දිනටත් විභාග කිරීම ආරම්භ වුණා.

අදාළ පෙත්සම් විභාගය අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලු‍විහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච (5) පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි විභාග කෙරෙන්නේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, කෙරවලපිටිය යුගදනවි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස් වලින් සියයට 40 ක් වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවයි ෴

***************************************

මහා භාණ්ඩාගාරයට රුපියල් කෝටි 75 ක්

(10.01.2022 – 11:12 +0530 – hirunews.lk/sinhala)

ඉතිහාසයේ පළමු වරට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව රුපියල් කෝටි 75 ක් මහා භාණ්ඩාගාරයට උපයා දී තිබෙනවා.

ලොව පුරා පැතිර ගිය කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් ලෝකයේ දැවැන්ත ආර්ථිකයන් හිමි රටවල් පවා අද වන විට බරපතළ ආර්ථික අභියෝගයන්ට මුහුණ දෙමින් සිටිනවා.

එවන් තත්ත්වයක් පවතිද්දී මෙරට මහා භාණ්ඩාගාරයට මින්පෙර ආදායම් උපදවා නොදුන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පසුගිය කාලසීමාව තුළ සුවිශේෂී මෙහෙවරක් ඉටු කරමින් රුපියල් මිලියන 750 කට ආසන්න මුදලක් මහා භාණ්ඩාගාරයට උපයා දීමට සමත් වී තිබෙනවා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කමිෂන් සභාව කොමිෂන් සභාව මෙම මුදල් උපයා ගෙන ඇත්තේ, රජය සතු ඉඩම් දිගුකාලීන බදු ක්‍රමය යටතේ පවරා දීමෙන් ලද බදු ආදායමෙන් සහ ඉඩම් විකිනීමෙන් ලද ආදායම් හරහායි.

ජනතාවට වඩාත් සමීපතම රාජ්‍ය ආයතනයක් ලෙස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව තමන්ට හිමි බිම්කඩෙහි සැබෑ අයිතිය තහවුරු කිරීමේ වදගත් කාර්යභාරය ඉටු කරන රාජ්‍ය ආයතනයක්.

මෙම කොමිෂන් සභාව මගින් අලුතින්ම ක්‍රියාත්මක කරන ලද ‘ඔප්පුව ගෙදරටම’ ජාතික වැඩසටහන හරහා වසර ගණනාවක් තම ඉඩම් අයිතිය නොමැතිකමින් දුක්විදි ජනතාවට මහත් සෙතක් සිදු වී තිබෙනවා.

මීට අමතරව ජනාධිපතිවරයාගේ වස විසෙන් තොර කෘෂි ආර්ථිකයක් ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙළට අත්‍යවශ්‍ය කාරණාවක් වූ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ද ඉඩම් අමාත්‍ය එස්.එම් . චන්ද්‍රසේනගේ හා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහගේ මග පෙන්වීම යටතේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සමත් වී තිබෙනවා.

එම ව්‍යාපෘතිය වෙනුවෙන් ද තවත් රුපියල් මිලියන 350 ක මුදලක් ඉඩම් අමාත්‍යාංශය වෙත ලබා දීමටත් ඔවුන් සමත් වී තිබෙනවා ෴

***************************************

තොග තිබියදීත් නොරොච්චෝලෙට ගල්අඟුරු ගොඩබායි

(10.01.2022 – 11:51 +0530 – hirunews.lk/sinhala)

ගබඩාවල ගල් අඟුරු ප්‍රමාණවත් තරම් තිබෙද්දී නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු රැගෙනවිත් ඇති බව, ශ්‍රී ලංකා විදුලි තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරි සංගමයේ සභාපති ඒ.ජී.යූ. නිශාන්ත පවසනවා.

දැනට පවතින ගල් අඟුරු තවත් මාස තුනක් (3) සඳහා ප්‍රමාණවත් ව තිබිය දී දූෂිත දේශපාලඥයින්, කූඨ ව්‍යාපාරිකයින් හා අවස්ථාවාදී වෘත්තිකයින් මෙසේ අවිධිමත් හදිසි විදුලි මිල් දී ගැනීම්වලට පෙළඹී ඇති බවට ඔහු චෝදනා කරනවා.

පසුගිය අප්‍රේල් මාසයේ හදිසි විදුලි මිල දී ගැනීමේ ගිවිසුම් තුනක් (3) අවලංගු කර ඇති බවත් එම ගිවිසුම් නැවත ගිවිසුම්ගත කිරීම සඳහා සූක්ෂ්ම අයුරින් විදුලි අර්බුදයක් නිර්මාණය කරමින් පවතින බවත් ඒ.යූ.ජී. නිශාන්ත අවධාරණය කළා ෴

***************************************

කෙරවලපිටිය ගිවිසුමට එරෙහි පෙත්සම් විභාගයේ තුන්වැනි (3) දිනය ඇරඹෙයි

(10.01.2022 – 12:56 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තුන්වන (3) දිනටත් විභාග කිරීම ආරම්භ වුණා.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

අද (10) දින පෙත්සම්වලට පක්ෂව දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කළ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා කරුණු ඉදිරිපත් කිරීම සිදු කළා.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, කෙරවලපිටිය යුගදනවි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස් වලින් 40% ක් වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නො වන බවයි.

***************************************

භාවිත කළ ජල බෝතලයකට සතොසෙන් රුපියල් 10 ක් අද (10) සිට

(10.01.2022 – 12:59 +0530 – hirunews.lk/sinhala)

ලංකා සතොස හරහා පානීය ජල බෝතලයක් රුපියල් 35 කට අලෙවි කිරීම අද (10) දින සිට ක්‍රියාත්මක වනවා.

එලෙස අලෙවි කරන ජල බෝතලයක් භාවිත කර නැවත ලබාදුනහොත් රුපියල් 10 ක වාසියක් පාරිභෝගිකයෙකුට ලබාදීමට සැළසුම් කර ඇති බවයි, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

පරිසරයට එක්වන ප්ලාස්ටික් ප්‍රමාණය අඩු කිරීමට දායකත්වය සැපයීම මෙහි අරමුණ බව අමාත්‍යවරයා කියා සිටියා ෴

***************************************

පසුගිය වසරේ දී ආනයන වියදම ඩොලර් බිලියන 5.5 කින් ඉහළට

(10.01.2022 – 13:00 +0530 – hirunews.lk/sinhala)

ආනයන සීමා කර තිබුණ ද ගත වූ 2021 වසරේ දී මෙරට ආනයන වියදම ඩොලර් බිලියන 21.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2020 වසරේ දි මෙරට ආනයන වියදම ඩොලර් බිලියන 16.1 ක් වූ අතර, 2019 වසරේ දී එය ඩොලර් බිලියන 19.9 ක්.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කළේ, ඒ අනුව 2020 වසරට සාපේක්ෂ ව මෙරට ආනයන වියදම ඉහළ ගොස් ඇති බවයි.

එය, ඩොලර් බිලියන 5.5 ක ඉහළ යාමක්.

මහ බැංකු අධිපතිවරයා මෙම ට්විටර් පණිවුඩය නිකුත් කර ඇත්තේ, මේ වසරේ ජනවාරි 22 වන දා කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්වය බැඳුම්කර පියවීම පිළිබඳ සහතිකයක් ලබාදෙමින්.

මෙහි දී ඔහු සඳහන් කර ඇත්තේ, මෙම ණය බැඳුම්කර ගෙවීමට නොහැකි වන බවට දොස් නැගූ පුද්ගලයන් දැන් ඒවා නොගෙවන ලෙස ඉල්ලා සිටීම හාස්‍යජනක බවයි.

‘ෆිච් රේටින්ග්ස්’ ජාත්‍යන්තර විගණන ආයතනය සඳහන් කරන පරිදි මේ වසරේ ශ්‍රී ලංකාවට ණය සේවාකරණය සඳහා අවශ්‍ය විදේශ මුදල් ප්‍රමාණය, පසුගිය වසරේ නොවැම්බරය අවසානයේ මෙරට පැවති මුළු විදේශ සංචිතය මෙන් 430% කට සමාන බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *