කොළඹ වරාය නගරයේ මරීනා හෙවත් නිකේතන පර්යන්තය ජනතා අයිතියට

කොළඹ වරාය නගරයේ මරීනා හෙවත් නිකේතන පර්යන්තය ජනතා අයිතියට

*********************************************

කොළඹ වරාය නගරයේ මරීනා හෙවත් නිකේතන පර්යන්තය ජනතා අයිතියට

(09.01.2022 – 13:53 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරයේ මරීනා හෙවත් නිකේතන පර්යන්තය සහ මහජන මංතීරුව අද (09) විවෘත කෙරුණා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ දිවයිනට පැමිණ සිටින චීන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජික, විදේශ අමාත්‍ය වෑන්ග්-යී සහභාගිවූ උත්සවයකදියි.

උත්සවය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ චීනය අතර, රාජතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය නිමිත්තෙන්.

චීන – ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුමේ 70 වන සංවත්සරය ද ඊට සමගාමීව යෙදී තිබෙනවා.

මේ සඳහා සහභාගී වූ චීන විදේශ අමාත්‍ය වෑන්ග්-යී ඇතුළු 18 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ඊයේ (08) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

අද (09) විවෘත කෙරුණු මීටර 500 ක් දිගැති කොළඹ වරාය නගරයේ මහජන මංතීරුව හෙට (10) පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා දිනපතා මහජනතාව සඳහා විවෘතයි.

ඒ සඳහා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පිහිටා ඇති පිවිසුම භාවිත කළ හැකියි.

***************************************

චීන විදේශ ඇමති ජනපති සහ අගමැති හමුවේ – පෝට්සිටියේ විවෘත කිරීම් දෙකක් (2)

(09.01.2022 – 19:54 +0530 – hirunews.lk/sinhala)

සංචාරයක් සඳහා පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජික, විදේශ අමාත්‍ය වෑන්ග්-යී ඇතුළු දූත පිරිස අද (09) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.

ඊයේ (08) රාත්‍රියේ දිවයිනට පැමිණි චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පැය 18 කට ආසන්න කාලයක් මෙරට තුළ රැදී සිටි අතර එම කාලය තුළ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, සහ විදේශ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා සිදුකර තිබුණා.

චීන විදේශ අමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වුණේ අද පෙරවරුවේයි.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

එහිදී කොරෝනා වසංගතයට මුහුණදීමේදී චීනයෙන් ලද ද්‍රව්‍යමය සහ මූල්‍ය ආධාර වෙනුවෙන් ජනාධිපතිවරයා විදේශ අමාත්‍යවරයා වෙත ස්තූතිය පළ කර තිබෙනවා.

දෙරට අතර මිත්‍රත්වය ආවර්ජනය කළ චීන විදේශ අමාත්‍ය වෑන්ග්-යී නැවත වතාවත් මෙරටට පැමිණීමට හැකිවීම පිළිබදව තමා සතුටට පත්වන බවත් සමීප මිත්‍රයෙකු ලෙස චීනයේ සහය සැමවිටම ලබාදෙන බවත් ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර, නව සාමාන්‍යකරණය යටතේ සංචාරකයින් සඳහා රට යළි විවෘත කර ඇති පසුබිමක් තුළ ජෛව බුබුළක් තුළ රදවා ගනිමින් චීන සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට සහය වන ලෙස ජනාධිපතිවරයා චීන විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කොරෝනා වසංගතය හමුවේ ඇති ආර්ථික අර්බුදයට විසදුමක් ලෙස ණය ආපසු ගෙවීම, ප්‍රතිව්‍යුගත කිරීමට ඇති හැකියාව කෙරෙහි අවදානය යොමු කළ හැකි නම් එය විශාල සහනයක් වනු ඇතැයි එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බව සදහන්.

එමෙන්ම චීනයෙන් සිදුකරන ආනයනවලදී සහනදායී වෙළද ණය ක්‍රමයක් ලබා ගැනීමට හැකිවෙතොත් කර්මාන්ත බාධාවකින් තොරව පවත්වා ගැනීමට එය ඉවහල් වනු ඇතැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම, චීන විදේශ අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද හමුවී ද්වි පාර්ශවික සාකච්ඡා සිදුකර තිබුණා.

ඒ, අරලියගහ මන්දිරයේදියි.

මේ අතර, කොළඹ වරාය නගරයේ මරීනා හෙවත් නිකේතන පර්යන්තය සහ මහජන මංතීරුව අද (09) විවෘත කෙරුණා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ දිවයිනට පැමිණ සිටින චීන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජික, විදේශ අමාත්‍ය වෑන්ග්-යී සහභාගිවූ උත්සවයකදියි.

උත්සවය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ චීනය අතර, රාජතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය නිමිත්තෙන්.

චීන – ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුමේ 70 වන සංවත්සරයද ඊට සමගාමීව යෙදී තිබෙනවා.

මේ සඳහා සහභාගි වූ චීන විදේශ අමාත්‍ය වෑන්ග්-යී ඇතුලු 18 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ඊයේ (08) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

අද (09) විවෘත කෙරුණු මීටර 500 ක් දිගැති කොළඹ වරාය නගරයේ මහජන මංතීරුව හෙට (10) සිට පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා දිනපතා මහජනතාව සඳහා විවෘතයි.

ඒ සඳහා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පිහිටා ඇති පිවිසුම භාවිත කළ හැකියි.

***************************************

චීනෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

(09.01.2022 – 15:31 +0530 – hirunews.lk/sinhala)

චීනය සහ ශ්‍රී ලංකාව අතර 65 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍ය හා රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සාමාජික වැන්ග් යී (Wang Yi) සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා.

චීන විදේශ අමාත්‍යවරයාගේ පැමිණීම ගෞරවයෙන් පිළිගත් ජනාධිපතිවරයා දෙරට අතර ඓතිහාසික සමීප සබඳතා මෙහිදී සිහිපත් කරනු ලැබුවා.

කොවිඩ් වසංගතයට මුහුණදීමේ දී චීනයෙන් ලැබුණු ද්‍රව්‍යමය හා මූල්‍ය ආධාර වෙනුවෙන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් ස්තුතිය විදේශ අමාත්‍යවරයා වෙත පිරිනැමුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

දෙරට අතර මිතුදම ආවර්ජනය කළ වැන්ග් යී විදේශ අමාත්‍යවරයා නැවත වතාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිවීම පිළිබඳ තමා සතුටට පත්වන අතර සමීප මිත්‍රයෙකු ලෙස චීනයේ සහාය සෑම විටම ලබාදෙන බව ද සඳහන් කළා.

කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සයිනොෆාම් එන්නත් ලබා දෙමින් දැක්වූ සහයෝගය වෙනුවෙන් ද ජනාධිපතිවරයා චීන රජයට තම කෘතවේදීත්වය පළ කළ අතර, නව සාමාන්‍යකරණය යටතේ සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව විවෘත කර ඇති බව ද මෙහිදී පෙන්වා දුන්නා.

ජෛව බුබුළක් තුළ රඳවා ගනිමින් චීන සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට සහාය වන ලෙසයි ජනාධිපතිවරයා වැන්ග් යී මහතාගෙන් ඉල්ලා සිටියේ.

කොවිඩ් වසංගතය හමුවේ පැනනැගී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කළ හැකි නම් එය මෙරටට විශාල සහනයක් වනු ඇතැයි ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා.

එමෙන්ම චීනයෙන් සිදු කරන ආනයනවලදී සහනදායී වෙළෙඳ ණය ක්‍රමයක් ලබා ගැනීමට හැකි වෙතොත් බාධාවකින් තොරව කර්මාන්ත පවත්වාගෙන යාමට එය ඉවහල් වනු ඇති බවත්, චීනයට පැමිණෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ආරාධනා කළ වැන්ග් යී මහතා එය ඉතා නුදුරු දිනකදීම සිදුවනු ඇතැයි ද සිය විශ්වාසය පළ කළා.

මෙම අවස්ථාවට චීන තානාපති ෂී ෂෙන්හෝං (QI Zhenhong), නියෝජ්‍ය වෙළෙඳ අමාත්‍ය චෙන් කොමින් (QIAN Keming), සහකාර විදේශ අමාත්‍ය වූ චෙංහොන් (WU Jianghao), චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චොන්ග් මෝඕයු (HZHANG Maoyu), විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු නිලධාරින් පිරිසක් ද එක්ව සිටියා ෴

***************************************

ගම්මන්පිලගේ දේශප්‍රේමය ගැන මන්ත්‍රී තිස්ස හෙළි කරයි

(09.01.2022 – 15:14 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය තෙල් ටැංකි 101 පූර්ණ අයිතිය මෙරටට මෙම වසරේ දී ලැබීමට නියමිතව තිබිය දී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් අදාළ තෙල් ටැංකිවලින් 14 ක් ඉන්දීය තෙල් සංස්ථාව වෙත බදු දීමට ක්‍රියා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

මන්ත්‍රීවරයා චෝදනා කළේ, බලශක්ති අමාත්‍යවරයා විසින් මෙම තෙල් ටැංකි යළි අප රටට ලබා ගැනීමට තිබූ අවස්ථාව වසර 50 කට නැති කර දැමූ බවයි.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි 101 න් තෙල් ටැංකි 14 ක පූර්ණ අයිතිය වසර 50 කට ඉන්දියාවට බදු දී ඇති අතර, මෙම ක්‍රියාව මගින් බලශක්ති අමාත්‍යවරයා කිසිසේත්ම දේශප්‍රේමියෙකු නොවන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම මෙම බදු දීමේ ක්‍රියාවෙන් නොනැවතී අමාත්‍යවරයා ප්‍රමුඛ රජය විසින් තෙල් ටැංකි පිහිටි භූමිය ද අදාළ ඉන්දීය සමාගමට පවරා ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මෙම තත්ත්වය මත පෙනී යන්නේ වක්‍රානුකූලව රටේ ත්‍රිකුණාමලය තෙල් ටැංකිවල පූර්ණ අයිතිය භූමි කොටසත් සමගින් ඉන්දියාවට පවරා ඇති බවයි.

***************************************

මහබාගේ සුපිරි වෙළද සංකීර්ණයකින් භාණ්ඩ සොරා ගත් අයෙක් දිවි හානි කර ගනී

(09.01.2022 – 16:28 +0530 – hirunews.lk/sinhala)

රාගම – මහබාගේ ප්‍රදේශයේ සුපිරි වෙළද සංකීර්ණයකින් කුඩා ළමයින් සඳහා භාවිත කරන සුවඳ විලවුන් රැගෙන පළා යමින් සිටි පුද්ගලයෙකු පසුව තියුණු ආයුධයකින් ගෙල කපාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 48 වයසැති මාතලේ උකුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු අද (09) උදෑසන මහබාගේ ප්‍රදේශයේ සුපිරි වෙළද සංකීර්ණයට ඇතුළත් වී එහි තිබූ කුඩා ළමයින් සඳහා භාවිත කරන සුවඳ විලවුන් කිහිපයක් රැගෙන මුදල් නොගෙවා එම ස්ථානයෙන් පිටතට දිව ගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.

එහිදි ත්‍රිරෝද රථ රියදුරෙකු ඔහුව අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී සැකකරු තමා සන්තකයේ තිබූ තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

එම සිද්ධියත් සමග තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු සැකකරු ලුහුබැඳ ගොස් ඇති අතර එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ කිසිවෙකුත් තමා අසළට පැමිණියහොත් ගෙල කපා ගන්නා බවටයි.

කෙසේ වෙතත්, එම පිරිස තවදුරටත් සැකකරු පසුපස ලුහුබැද ගොස් ඇති අතර, සුපිරි වෙළදසැලේ සිට මීටර් 500 ක් පමණ දුරින් ඔහු සිය ගෙල කපාගෙන තිබෙනවා.

මෙම සිද්ධියෙන් ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ ද සුපිරි වෙළදසැලකට ගොස් මෙලෙස භාණ්ඩ සොරාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

සැකකරු ‘දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවෙකු’ වන අතර ‘ඔහුගේ සියළු දේපළ ද විකුණා ඇත්තේ මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා බවටද’ අනාවරණ වී තිබෙනවා.

***************************************

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී අම්බලන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි

(09.01.2022 – 16:42 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන රංගන ශිල්පී ගාමිණී අම්බලන්ගොඩ මිය යන විට 66 වන වියේ පසුවුණා.

ස්වයංජාත, රාජකපුරු, කළුවර ගෙදර හා සරදියල් ආදී නාට්‍ය රැසකටද මොහු රංගනයෙන් දායකත්වය ලබාදුන්නා.

මොහුගේ දේහය මේ වන විට මාතලේ ඇල්කඩුව – තාලිංගාමඩ ප්‍රදේශයේ පිහිටි නිවසේ තැම්පත් කර තිබෙනවා.

***************************************

සා.පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්වය කල් නොදමන බව අධ්‍යාපන ලේකම් කියයි

(09.01.2022 – 17:22 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සහ සාමාන්‍ය පෙළ, විභාගවල දිනයන්හි කිසිදු වෙනසක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා පවසනවා.

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග 2021 වසරේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එය දෙවතාවක් (2) කල් දැමුණා.

කෙසේ වෙතත් යළි සැලසුම් කර පරිදි ශිෂ්‍යත්ව විභාගය මේ මස 22 වන දාත්, උසස් පෙළ විභාගය මෙම වසරේ පෙබරවාරි මස 07 වන දා සිට ආරම්භ කිරීමටත්, අපේක්ෂා කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා කියා සිටියේ.

++++++++

ප්‍රවීන ගායන ශිල්පි ඩෙස්මන්ඩ් සිල්වා දිවි ගමනට සමු දෙයි

(09.01.2022 – 16:48 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා අද (09) අභාවප්‍රාප්ත වුණා.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටින ඔහු මිය යන විට 77 වන වියේ පසුවුණා.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් මොහුගේ අභාවයට හේතුවී ඇති බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ.

බයිලා ලොවේ රජු ලෙස විරුදාවලිය ලත් ඩෙස්මන්ඩ් ද සිල්වා සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සටහනක් ද තැබූ ප්‍රවීන ගායකයෙක්.

වර්තමානයේ අතිශය ජනප්‍රියත්වයට පත් නිල්වන් මුහුදු තීරයේ ගීතයේ මුල් හිමිකරු ද වන මොහු ‘එන්න රට වටේ යන්න මා පියේ’, ‘චූඩ මාණිකේ බලාලා යනවා මේ අපි’, ‘යමං බණ්ඩො වෙසක් බලන්න’, ‘පොල්කටු හැන්දෙ මිට වගේ’ ආදී අතිශය ජනප්‍රිය ගීත රැසක් ගායනා කර තිබෙනවා.

***************************************

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා ආසාදිතයින් 141 ක් සුව අතට

(09.01.2022 – 15:36 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසස ආසාදනය වූ පුද්ගලයින් 141 දෙනෙකු අද (09) දිනයේ දී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට වෛරසය ආසාදනය වී සුවය ලද සමස්ත සංඛ්‍යාව 5,67,077 ක්.

කෙසේවෙතත්,වෛරසය ආසාදනය වී තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 9,042 ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 15,112 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

තවත් කොරෝන මරණ 07 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 15,119 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 436 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,91,667 ක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *