හෙට (10) ලයිට් කපනවද ? – මණ්ඩලයෙන් විශේෂ තීන්දුවක්

හෙට (10) ලයිට් කපනවද ? – මණ්ඩලයෙන් විශේෂ තීන්දුවක්

*********************************************

හෙට (10) ලයිට් කපනවද ? – මණ්ඩලයෙන් විශේෂ තීන්දුවක්

(09.01.2022 – 11:50 +0530 – hirunews.lk/sinhala)

පවතින අර්බුදය හමුවේ අවශ්‍ය ඉන්ධන නොලැබෙන්නේ නම්, පැය දෙකහමාරක (2½) පමණ විදුලි කප්පාදුවක් සිදු කිරීම කෙරෙහි විදුලිබල මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව කප්පාදුව සිදු කරන කාලසීමාව පිළිබඳව මේ වනවිටත් සාකච්ඡා සිදුකර ඇති අතර, ආරංචි මාර්ග සඳහන් කළේ උදෑසන 11 සිට පස්වරු 6 දක්වා පැයක (1) කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිත බවයි.

ඊට අමතරව පස්වරු 6 සිට 9 දක්වා කාලසීමාව තුළ විනාඩි 45 බැගින් අවස්ථා දෙකක (2) දී විදුලිය කප්පාදු කිරීම කෙරෙහි ද අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

යම් හෙයකින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබාදීම සිදු නොකළහොත් බොහෝදුරට ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවිය හැකියි.

එසේම අද (09) සහ හෙට (10) දිනය තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවද විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලිබල මණඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ බලශක්ති අමාත්‍යාංශයට රුපියල් බිලියන 90 ක් පමණ ගෙවීමට නියමිතව ඇති බවයි.

ඉන් රුපියල් බිලියන 10 ක පමණ හෝ මුදලක් කඩිනමින් ගෙවනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශය අපේක්ෂා කරන බව ද සඳහන්.

මෙලෙස බලශක්ති අමාත්‍යාංශයට විශාල මුදලක් ගෙවීමට එක් හේතුවක් ලෙස ඔහු සඳහන් කළේ පාරිභෝගිකයන විසින් නිසි පරිදි විදුලි බිල්පත් නොගෙවීමයි.

ඒ අනුව මේ වනවිට රුපියල් බිලියන 44 ක පමණ මුදලක් පාරිභෝගිකයින්ගෙන් විදුලිබල මණ්ඩලයට අයවීමට නියමිතව තිබෙනවා.

රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, කර්මාන්තශාලා මෙන්ම සාමාන්‍ය ජනතාවගේ විදුලි බිල්පත් ගාස්තු මෙලෙස එකතුවී ඇති බැවින් ඒවා කඩිනමින් ගෙවා දැමීමට පාරිභෝගිකයින් කටයුතු කරන්නේ නම් පවතින තත්වය යම් දුරකට හෝ කළමනාකරණය කරගැනීමට විදුලි බල මණ්ඩලයට හැකියාව පවතින බව ද එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.

මීට අමතරව විදුලිබිල දීර්ඝ කාලයක සිට ඉහළ නොදැමීම නිසා වාර්ෂිකව විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 60 ක පමණ පාඩුවක් ලබන බවයි වාර්තාවන්නේ.

අවසන් වරට 2013 දී විදුලිබිල ඉහළ දමා ඇති අතර, වසර 9 ක් ගතවුව ද ඉන් අනතුරුව මෙතෙක් මිල ඉහළ දැමීමක් සිදුකර නැහැ.

මෙම වසරේදී එක් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 21 ක් වැයවන බවට අපේක්ෂා කෙරෙන අතර, මේ වනවිට පාරිභෝගිකයින්ට ඒකකයක් දෙනු ලබන්නේ රුපියල් 16.65 කටයි.

ඒ අනුව දල වශයෙන් එක් ඒකකයකින් රුපියල් 4 ක් පමණ විදුලිබල මණ්ඩලය පාඩු ලබනවා.

මෙම තත්ත්වය පාලනය කරගැනීමට නම් විදුලිබිල ඉහළ දැමීමක් හෝ රජයෙන් සහනාධාරයක් ලබාදීම අනිවාර්ය බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

දිගින් දිගටම මෙලෙස පාඩු ලැබීම සහ නිසි පරිදි පාරිභෝගිකයින් බිල්පත් නොගෙවීම හේතුවෙන් ඇතිවන ගැටලුකාරී තත්ත්වය නිසා විදුලිබල මණ්ඩලයේ එදිනෙදා කටයුතු සිදු කරගැනීම ද ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී තිබෙනවා.

ඒ අනුව පුනර්ජනනීය බලශක්තිය සඳහා යොමුවීම, ඊට අමතරව පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම ඇතුලු ක්‍රියාවලි රැසක් ඇණහිට ඇති බවයි විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් ඩොලර් අර්බුදය හමුවේ විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා නොදීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගතහොත් ඉදිරියේදී පැය දෙකහමාරක (2½) පමණ විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.

එසේම වාර්ෂිකව රුපියල් බිලියන 60 ක් පමණ පාඩු ලැබීම හේතුවෙන් එය පියවා ගැනීමට නම් තවදුරටත් රජයේ සහනාධාර ලබාගැනීම හෝ විදුලිබිල ඉහළ දැමීමක් සිදු කළ යුතු වනවා ෴

විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසමේ අවසරය

(09.01.2022 – 19:31 +0530 – hirunews.lk/sinhala)

හෙට (10) සිට දෛනිකව විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් හෙට (10) තීරණයක් ගැනීමට නියමිතයි.

කෙසේවෙතත් විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අද (09) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.

තම කොමිසම දුන් අවසරයට අනුව විදුලිබල මණ්ඩලයට හෙට (10) සිට ඕනෑම අවස්ථාවක විදුලි කප්පාදුවකට යාමේ හැකියාව පවතින බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.

***************************************

ජී.එස්.ටී. සහ වැට් බදු එකතු කිරීමට භාණ්ඩාගාරයේ නව ඒකකයක්

(09.01.2022 – 13:01 +0530 – hirunews.lk/sinhala)

මෙවර අයවැයෙන් ප්‍රකාශිත ජී.එස්.ටී. හෙවත් ‘විශේෂ භාණ්ඩ හා සේවා බද්ද’ සහ වැට් හෙවත් ‘අගය එකතු කිරීමේ බද්ද’ එක්රැස් කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ විශේෂ ඒකකයක් පිහිටුවීමට යෝජනා කෙරෙනවා.

මෙතෙක් එවැනි බදු එක්රැස් කිරීම සිදුවූයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින්.

යෝජිත නව ඒකකය භාණ්ඩාගාර ලේකම්වරයා යටතේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයෙකුගේ අධීක්ෂණය යටතේ පිහිටුවීමටයි සැළසුම් කර ඇත්තේ.

ඒ සඳහා අනුයුක්ත කරනු ලබන නිලධාරියා විශේෂ භාණ්ඩ හා සේවා බදු, පරිපාලනය එක්රැස් කිරීම සහ වගවීම සම්බන්ධයෙන් වගකියනු ඇති.

ඔහු විසින් බදු එක්රැස්කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් අවශ්‍ය නිලධාරීන් පිරිසක් යෙදවීමට නියමිතයි.

නව ක්‍රමවේද යටතේ සුරාබදු, රේගු, ගුවන් තොටුපල සහ වරාය බදු එක්රැස් කිරීමේ ක්‍රියාවලියේද වෙනස්කම්වලට හේතුවනු ඇති.

එමෙන්ම මූල්‍ය ආයතන, මෝටර් රථ ආනයන, දුම්කොළ, මත්පැන් ආදී ආදායම් උපදවන ප්‍රධාන ක්‍ෂේත්‍රවල වැට් බදු සියයට 3 කින් ඉහළ නැංවීමට ද යෝජනා කෙරෙනවා.

විශේෂ භාණ්ඩ හා සේවා බද්ද එම ක්‍ෂේත්‍රවලට අමතරව විදුලි සංදේශ, ඔට්ටු තැබීම් සහ විනෝදාස්වාද සේවා ආදියට ද බල පැවැත්වෙනවා.

මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කළ පරිදි භාණ්ඩ හා සේවා බද්ද හඳුන්වාදී ඇත්තේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විවිධ බදුක්‍රමවල සංකීර්ණතා මගහැරීම සහ බදු එක්රැස් කිරීම හා පරිපාලනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින්.

විශේෂ ජී.එස්.ටී. සහ වැට් බදු එක්රැස් කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ නව ඒකකයක් පිහිටුවීමට අදාළ කෙටුම්පත මේ වනවිට ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා ෴

***************************************

පොහොර නොමැතිකමින් ගොවීන් තවදුරටත් දුෂ්කරතාවයේ

(09.01.2022 – 13:05 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර නොමැතිකමින් නිසි අස්වැන්නක් නොලැබීම නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් දුෂ්කරතාවට පත්ව තිබෙනවා.

පොළොන්නරුව – කවුඩුල්ල ගොවිජන ව්‍යාපාරයේ මැදිරිගිරිය – වැලිගම්පුර ගොවි ජනතාව චෝදනා කරන්නේ වී වගාවට රජයෙන් ලබාදුන් කාබනික පොහොර භාවිත කළ ද ඉන් සිය වගාවට හානි වී ඇති බවයි.

එසේම එළවළු වගාවන්ට රසායනික පොහොර නොමැතිකම හේතුවෙන් හානිවී ඇති බවට හපුතලේ – හපුතලේගම – කහඹිලිය ගොවීන් චෝදනා කරනවා.

අම්පාර – උහන – ගලේ ජනපද ව්‍යාපාරයේ ගොවීන් පවසන්නේ කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද වෙළඳපොල තුළ රසායනික පොහොර මිලදී ගැනීමට නොමැති බවයි.

මේ අතර තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් පහත වැටී ඇති බව අප වාර්තාකරු පවසනවා ෴

***************************************

තවත් ගෑස් නැව් දෙකක් (2) සහ පෙට්‍රල් නැවක් (1) දිවයිනට

(09.01.2022 – 13:08 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොලේ ගෑස් හිඟවීමත් සමඟ පාරිභෝගිකයින් දැඩි අපහසුතාවකට ලක්ව ඇති මොහොතක තවත් ගෑස් නැව් දෙකක් (2) දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව අදාළ නෞකා උස්වැටකෙයියාව ප්‍රදේශයේ නැංගුරම් ලා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අදාළ නෞකාවලින් රැගෙන ආ ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් මේ වනවිටත් එහි සාම්පල ලබාගෙන අවසන්. කෙසේ වෙතත් එම ගෑස් මෙතෙක් ගොඩබෑම සිදුකර නැහැ.

මීට අමතරව පෙට්‍රල් රැගත් නෞකාවක් (1) ද දිවයිනට පැමිණ ඇති අතර, එම නෞකාව ද උස්වැටකෙයියාව මුහුදු තීරයේ නැංගුරම් ලා තිබෙනවා ෴

***************************************

යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය 21 වනදා සිට

(09.01.2022 – 13:14 +0530 – hirunews.lk/sinhala)

යාපනය – ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ 12 වන කලාපය මේ මස 21 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වෙනවා.

ඒ සඳහා ‘යාල්පානම් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය’ සමඟ ‘කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය’ මෙන්ම ‘යාපනයේ ඉන්දීය කොන්සල් කාර්යාලය’ ද එක්වනු ඇති.

විශේෂයෙන් යාපනය ප්‍රදේශයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීම සහ නව නිෂ්පාදන උතුරේ ජනතාව වෙත හඳුන්වාදීම මෙමගින් සිදු කෙරෙනවා ෴

***************************************

ප්‍රවීණ සිනමා නළු රොබින් ප්‍රනාන්දුගේ අවසන් කටයුතු අද (09) පස්වරුවේ

(09.01.2022 – 13:41 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ප්‍රවීණ සිනමා නළු රොබින් ප්‍රනාන්දුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (09) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

වසර දෙකකට (2) අධික කාලයක් රෝගාතුරව සිටි ඔහු වයස අවුරුදු 84 ක්ව සිටියදී ඊයේ (08) අභාවප්‍රාප්ත වූයේ මහරගම – නාවින්නේ පිහිටි සිය නිවසේදීයි.

කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ රොබින් ප්‍රනාන්දු සටන් කලාවලින් වර්ණ දිනූ අතර, සිංහල සිනමාවේ ඔහු ප්‍රකට වූයේ සටන් නළුවෙකු ලෙසයි.

බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති රොබින් ප්‍රනාන්දුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (08) රාත්‍රියේ සහ අද පෙරවරුවේ කලාකරුවන් ඇතුලු බොහෝ පිරිසක් පැමිණ සිටි බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

අද (09) පස්වරු පහට (5) ප්‍රවීණ සිනමා නළු රොබින් ප්‍රනාන්දුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදු කෙරෙනවා ෴

***************************************

බදුල්ල – හාලිඇළ දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පනියි

(09.01.2022 – 14:05 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන මාර්ගයේ බදුල්ල සහ හාලිඇළ දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනීමට ලක්ව තිබෙනවා.

ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ පෙරවරු 11:10 ට පමණ බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රිය මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බවයි.

මේ වනවිට එම දුම්රිය පීලිගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ.

***************************************

සභාපතිගේ අණසකට යටවුණු හිනිදුම සම්භාණ්ඩ කම්හල

(09.01.2022 – 14:28 +0530 – hirunews.lk/sinhala)

රට මුහුණ දී සිටින ආර්ථික ගැටලු හමුවේ නව කර්මාන්ත ආරම්භ කිරීම තරමක අභියෝගයක්.

එසේ තිබියදී දැනට පවත්වාගෙන යන කර්මාන්ත සඳහා ද ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ බලපෑම් එල්ල වන්නේ නම් එය කනගාටුදායක තත්ත්වයක්.

එවැනි පුවතක් අපිට වාර්තාවුණේ ගාල්ල ඉමදූව ප්‍රදේශයෙන්.

ගාල්ල ඉමදුව ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම සම්භාණ්ඩ කම්හල ආරම්භ වන්නේ 2008 වර්ෂයේදීයි.

ඒ ‘මහින්ද චින්තන’ වැඩපිළිවෙලට සමගාමීව සුළු පරිමාණ ව්‍යාපාරිකයින් දිරිමත් කිරීමේ අරමුණින්.

කෙසේ නමුත් ඉමදූව ප්‍රාදේශිය සභාවේ සභාපති මෙම කර්මාන්තකරුවන් එම ගොඩනැගිල්ලෙන් ඉවත් කිරීමට උත්සහ කරන බවට ඔවුන් මැසිවිලි නගනවා.

ඔවුන් පවසන්නේ සිය කම්හලට විශාල ඇනවුම් ප්‍රමාණයක් මේ වන විටත් ලැබී ඇති බවයි.

ඒ අනුව ආයතනයේ සුරක්ෂිතභාවය ආරක්ෂා කර දීමෙන් සේවකයින් විශාල පිරිසකට රැකියා අවස්ථා ලබා දීමට හැකියාව පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

අදාළ කර්මාන්ත ශාලාවේ ගැටලුව සම්බන්ධයෙන් ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.

***************************************

පරිසරය වනසන ගාල්ගන්අරාව ඉඩමේ පතල් කැණීම

(09.01.2022 – 14:37 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජනතාව මුහුණ දෙන ඇතැම් ගැටලු පිළිබද බලධාරීන් දැනුම්වත් කිරීම, බිහිරි අලින්ට වී නා වයනවා වැනියි.

එලෙස බලධාරීන් කොතෙකුත් දැනුවත් කළත් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් කලක පටන් සිදුවන පරිසර හානියක් පිළිබඳවයි මේ තොරතුරු.

මේ බලන්ගොඩ, මුත්තෙට්ටුවේගම, ගාල්ගන්අරාව ඉඩමයි, කාලාන්තරයක සිට මෙම ඉඩමෙහි මහා පරිමාණ පතල් කැණීම් සිදු කෙරෙනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මේ හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවන බවටයි.

යන්ත්‍ර සුත්‍ර යොදා මහා පරිමාණව සිදුකරන මෙම පතල් කැනීම් හේතුවෙන් තම කුඹුරු සහ වගා බිම් වෙත ද යාමට නොහැකි වී බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

මෙම පරිසර විනාශය පිළිබඳව බලධාරීන් කොතෙකුත් දැනුවත් කළද මෙතෙක් ඔවුන්ගේ අවධානය ඊට යොමු වී නැහැ.

ගම්වාසින් ඉල්ලා සිටින්නේ කඩිනමින් මේ පිළිබද අවධානය යොමුකොට මෙම පරිසර විනාශය නවතා දෙන ලෙසයි.

***************************************

සංවර්ධනය දුර වූ අනුරපුර – දික්වැවේ වැව් බැම්ම

(09.01.2022 – 14:40 +0530 – hirunews.lk/sinhala)

බලධාරීන්ගේ අවධානය යොමු නොවීමෙන් අනුරාධපුර – ඉහළ දික්වැවේ වැව් බැම්ම කැඩී යාමේ අවදානමක් මතු වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, වැවේ පවතින ජල කාන්දුව පිළිබඳව කොතෙක් දැනුවත් කළත් බලධාරීන්ගෙන් මෙතෙක් ඊට කිසිදු පිළිතුරක් ලැබි නොමැති බවයි.

මේ අනුරාධපුර – ගලෙන්බිදුණුවැව – යකල්ල ගොවිජන සේවා බල ප්‍රදේශයේ, ඉහළ දික්වැව ගම්මානයේ පිහිටි වැවයි.

දැනට වසර හතරකට (4) ආසන්න කාලයකට පෙර මෙම වැවේ බැම්මේ කුඩා ජල කාන්දුවක් හටගෙන තිබූ අතර අද වන විට එය වැව් බැම්ම කඩාගෙන යෑමට තරම් විශාල වී තිබෙනවා.

ගොවීන් පෙන්වා දෙන්නේ මේ වන විට වැව් බැම්මේ කුහර පහකට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය වී ඇති බවයි.

පොහොර අර්බුදය මධ්‍යයේ වුවද, ප්‍රදේශයේ ගොවීන් ඉහළ දික්වැවේ ජලයෙන් කුඹුරු අක්කර 40 ක් පමණ වගාකර ඇති අතර වැව් බැම්ම කඩාගෙන ගියහොත් ඒ සියල්ල ද විනාශයට ලක්වෙනවා.

ඊට අමතරව පවතින අනතුරුදායක තත්ත්වය හමුවේ වැවට පහළින් ඇති පහළ දික්වැව සහ යාය 05 යන ගම්මානවල ජනතාවගේ ජීවිත ද අවදානමට ලක්වන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

බලධාරීන්ගේ අවධානය යොමු නොවුන තැන , වැලි කොට්ට යොදා ගොවීන් වැව් බැම්ම ආරක්ෂා කර ගැනීමට මෙලෙස තාවකලික පිළියම් යොදා තිබෙනවා.

කඩිනමින් මෙම ගැටලුවට විසඳුම් නොලැබුණහොත්, මෙම කන්නයේ වගාකර ඇති කුඹුරු වගාව මෙන්ම, ඉදිරි කන්නය සඳහා අවශ්‍ය ජලය ද අහිමි වන බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *