නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග ගෙවුණු පැය 24 තුළ පොලිස් ඇසට හසු වූ සැකකරුවන්

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග ගෙවුණු පැය 24 තුළ පොලිස් ඇසට හසු වූ සැකකරුවන්

*********************************************

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග ගෙවුණු පැය 24 තුළ පොලිස් ඇසට හසු වූ සැකකරුවන්

(09.01.2022 – 07:19 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදු කළ පොලිස් වැටලීම්වලින් විවිධ මත්ද්‍රව්‍ය සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අංශය පවසනවා.

• ඊයේ (08) පෙරවරුවේ ඊරට්ටපෙරියකුලම පොලිස් වසමේ කුරුඳුපිටිය ප්‍රදේශයේ දී පොලීසියට ලද තොරතුරක් මත සිදු කරන ලද සෝදිසි කිරීමක දී හෙරොයින් සමග පිරිමියෙකු සහ කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 63 යි මිලිග්‍රෑම් 87 ක් සොයාගෙන ඇති අතර, ඔවුන් චාවකච්චේරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ. 37 සහ 34 යන වයස් සීමාවල පසුවන ඔවුන් එළඹෙන 11 වැනිදා වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

• එමෙන්ම, මොනරාගල – කුඹුක්කන ප්‍රදේශයේ දී සැක සහිත මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේ දී ප්‍රවාහනය කරමින් තිබූ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොනරාගල පොලිසිය විසින් සිදු කරන ලද මෙම සෝදිසි කිරීමේ දී සැකකරු ප්‍රවාහනය කරමින් තිබූ ගංජා කිලෝග්‍රෑම් 09 යි ග්‍රෑම් 705 ක් සොයා ගැනුණා. ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු 33 හැවිරිදි අයෙකු වන අතර, ඔහු මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට අද (09) ඉදිරිපත් කෙරෙනු ඇති.

• මේ අතර, බොරැල්ල – මැගසින් පාරේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් ග්‍රෑම් 05 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණේ බොරැල්ල පොලීසිය විසින්. ඒ ඊයේ (08) දිනයේදීයි. සැකකරු වයස අවුරුදු 34 ක් වන බොරැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, හෙතෙම අද (09) බොරැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

• එමෙන්ම, ගල්කිස්ස – අත්තිඩිය ප්‍රදේශයේ දී ඊයේ (08) සිදු කළ වැටලීමක දී ගල්කිස්ස පොලිසීය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ, හෙරොයින් ග්‍රෑම් 04 යි මිලිග්‍රෑම් 300 ක් සමගිනුයි. 41 ක් හැවිරිදි පුද්ගලයෙකු වන මොහු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකරු අද (09) පෙරවරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි ෴

***************************************

සියලු සිසුන් සඳහා පාසල් සාමාන්‍ය පරිදි හෙට (10) සිට විවෘතයි

(09.01.2022 – 07:43 +0530 – hirunews.lk/sinhala)

පාසල්වල සියලු ශ්‍රේණි හෙට (10) සිට සාමාන්‍ය පරිදි විවෘත වනවා.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් ආපනශාලා විවෘත කිරීමට තවදුරටත් අවසර හිමි නොවන බවයි.

ඒ අනුව සිසුන් තමන්ට අවශ්‍ය ආහාර පිටතින් රැගෙන ආ යුතු වනවා.

සෞඛ්‍ය නිර්දේශ ලද විගස පාසල් ආපනශාලා විවෘත කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එන්. සිල්වා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේ කිසිදු බියක් නොදක්වා සියලු සිසුන් පාසල් වෙත එවන ලෙසයි.

මේ අතර ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 588 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 591,231 ක් දකවා ඉහළ ගියා.

මේ අතර, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ මෙරටට අවශ්‍ය සමස්ත කොවිඩ් එන්නත් ප්‍රමාණය මේ වන විට ලැබී අවසන් වන බවයි.

මෙරටට ගෙන්වූ ඇස්ට්‍රාසෙනෙකා, මොඩර්නා, ස්පුට්නික්, සයිනොෆාම් හා ෆයිසර් එන්නත් මුළු සංඛ්‍යාව 48,560,424 ක් බව සඳහන්.

***************************************

පුංචි ඡන්දය කල් දමන ගැසට් නිවේදනය ලබන සතියේ

(09.01.2022 – 08:03 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් (1) කල් දැමීමට අදාළ ගැසට් නිවේදනය එළැඹෙන සතියේ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේ රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් පළාත් පාලන මැතිවරණයට අදාළ විෂය පථයන් ඉවත් කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කිරීමට නියමිතව ඇති බවයි.

මැතිවරණය කල් දමන්නේ නම් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතු වන්නේ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා විසිනුයි.

එහෙත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, දැනට ඔහු විදෙස්ගතව පසුවන නිසා, මැතිවරණය කල් දැමීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට ඔහුට හැකියාවක් නොමැති බව සඳහන්.

ඒ අනුව රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉවත් කෙරෙන පළාත් පාලන විෂය පථය වෙනත් අමාත්‍යවරයෙකුගේ විෂය පථයට එක් කර පළමු ගැසට් නිවේදනය නිකුත් කෙරෙනු ඇති.

අනතුරුව එම අමාත්‍යවරයා විසින් පළාත් පාලන මැතිවරණය වසරකින් (1) දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

එළැඹෙන මාර්තු මස 20 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන අතර, වසරකින් කල් දැමුවහොත් එය 2023 වසරේ මාර්තු 20 වැනිදාට පෙර අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුයි.

ඊට හේතුව පළාත් පාලන මැතිවරණයක් කල් දැමීමට විෂය භාර අමාත්‍යවරයාට හැකියාව පවතින්නේ වසරකින් (1) පමණක් වීම හේතුවෙන්.

මේ අතර, ඕනෑම මොහොතක පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මූලික වැඩකටයුතු මේ වනවිටත් සකස් කරමින් පවතින බව මැතිවරණ කොමිසම සඳහන් කළා ෴

***************************************

චීන පොහොර නෞකා යළි ගෙන්වීම ගැන හෙට (10) සාකච්ඡාවක්

(09.01.2022 – 08:17 +0530 – hirunews.lk/sinhala)

චීන පොහොර රැගත් නෞකා යළි මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ලබන සඳුදා (10) පොහොර ලේකම් කාර්යාලය සමග පැවැත්වීමට නියමිත බව කොමර්ෂල් පොහොර සමාගම පවසනවා.

එහි සභාපති මෙත්සිරි විජේගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අධිකරණ නියෝගයට අනුව එම චීන පොහොර ගෙන්වීම සිදු කෙරෙන බවයි.

ඒ අනුව මතභේදාත්මක තත්ත්වයෙන් පසු චීන කාබනික පොහොර රැගත් පළමු (1) නෞකාව ලබන මාර්තු මාසයේදී මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.

ඉන් මෙරටට රැගෙන ඒමට නියමිත චීන පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 8,000 ක්.

මීට පෙර චීනයේ ‘චින්ඩාඕ සීවින් බයෝටෙක්’ සමාගමෙන් ආනයනය කර ‘හිපෝ ස්ප්‍රීට්’ නෞකාවෙන් මෙරටට ගෙන්වූ චීන කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000 ක් පසුගියදා ආපසු හරවා යැවුණා.

ඒ මෙරට ජාතික ශාක නිරෝධායන ආයතනය මගින් ඒවා ප්‍රමිතියෙන් තොර බව නිවේදනය කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව ප්‍රතික්ෂේපිත අදාළ පොහොර නෞකාව වෙනුවෙන් ඩොලර් මිලියන 6.9 ක් හෙවත් රුපියල් ලක්ෂ 14,000 කට අසන්න මුදලක් ගෙවීමට ද මෙරට රජයට සිදුවුණා.

යළි චීන කාබනික පොහොර මෙරටට රැගෙන එන්නේ නම් මෙරට අධිකරණ නියෝගය අනුව එරට තුළ දී රසායනාගාරවලින් නියමිත ප්‍රමිතිය යළි පරීක්ෂා කළ යුතු අතර මෙරටට ලබා ගැනීමට පෙරද ප්‍රමිතිය තහවුරු කළ යුතු වනවා.

ඒ අනුව මෙරට ජාතික ශාක නිරෝධායන ආයතනය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් එම පොහොරවල ප්‍රමිතිය පරීක්ෂා කළ යුතුයි.

එහි සාම්පල ස්විට්සර්ලන්තයේ රසායනාගාර වෙත යවා නියමිත ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ද තීරණය කර ඇති බව කොමර්ෂල් පොහොර සමාගම ප්‍රකාශ කළා.

***************************************

ශ්‍රීලනිපය ප්‍රතිසංවිධානයට විශේෂ වැඩසටහනක්

(09.01.2022 – 08:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා මාස 3 ක විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ පක්ෂයේ ආසන සංවිධායක ධුර සඳහා ඊයේ (08) නව සාමාජිකයන් පත් කිරීමත් සමගයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම විශේෂ වැඩසටහන ආරම්භ කර ඇත්තේ ශක්තිමත් පක්ෂයක් ලෙස නව සන්ධානයක් ගොඩනගා ගනිමින් ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේ අරමුණින්.

පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ සෑම ආසනයකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන කාර්යාලයක් පිහිටුවීමට නව සංවිධායකවරුන්ට උපදෙස් ලබා දී ඇති බවයි ෴

***************************************

විශ්වයේ නෑයන් සොයන අභ්‍යවකාශයේ ‘තුන්වන ඇස’ විවර වෙයි

(09.01.2022 – 08:42 +0530 – hirunews.lk/sinhala)

මිනිස් වාසයට සුදුසු විශ්වයේ ඈත ග්‍රහ ලෝක පිළිබඳව තොරතුරු සෙවීමට අභ්‍යවකාශයට යැවූ විශාලතම මෙන්ම ප්‍රබලතම දුරේක්ෂය එහි දැවැන්ත ඇස දැන් විවර කර තිබෙනවා.

ඒ, ඩොලර් බිලියන 10 ක වියදමින් තැනූ ජේම්ස් වෙබ් දුරේක්ෂය අභ්‍යවකාශයෙන් තොරතුරු ග්‍රහණය කරගන්නා දැවැන්ත දර්පණය ඊයේ (08) විදහාලීමත් සමඟයි.

පසුගිය නත්තල් දා අභ්‍යවකාශගත කෙරුණු මෙම දුරේක්ෂයේ දර්පණය හකුලා තිබූ අතර, මේ වනවිට එය එහි සම්පූර්ණ පළල එනම් මීටර 6.5 ක් දක්වා දිගහැරී ඇති බවයි නාසා ආයතනය ප්‍රකාශ කළේ.

වසර 30 ක් තිස්සේ සංවර්ධනය කෙරුණු මෙම දුරේක්ෂය මගින් විශ්වයේ ආරම්භය පිළිබඳවද තොරතුරු ගවේෂණය කිරීමට නියමිතයි ෴

***************************************

රන් මිල පහළ යයි

(09.01.2022 – 08:49 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළඳපොලේ රන් මිලෙහි පහත වැටීමක් දැන් වාර්තාවන අතර, රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,789 යි ශත 60 ක් ලෙසයි. ඒ අනුව ගතවූ සතියේදී රන් මිලෙහි සියයට දෙකක (2%) පමණ පහත වැටීමක් දක්නට ලැබෙන අතර, මාස දෙකකින් (2) අවම මිල එමඟින් සළකුණු වනවා ෴

***************************************

විරෝධයට මැදි වූ ප්‍රධාන මාර්ගයක ගමනාගමනයට දැඩි බාධා

(09.01.2022 – 09:18 +0530 – hirunews.lk/sinhala)

අද (09) උදෑසන පැවති විරෝධතාවක් හේතුවෙන් හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගය කුඹුක ප්‍රදේශයෙන් අවහිර වුණා.

කුඹුක – බටුවිට ප්‍රධාන මාර්ගය පිළිසකර කර දෙන්නැයි ඉල්ලමිනුයි ඔවුන් මෙලෙස විරෝධතාවක නිරතවූයේ.

පැය දෙකකට (2) ආසන්න කාලයක් පැවති විරෝධතාව හේතුවෙන් හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වී තිබු අතර, පොලීසිය එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුව එක් මංතීරුවක් පමණක් ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.

කෙසේ වෙතත් තවදුරටත් විරෝධතාකරුවන් පොලීසිය සමඟ එම ස්ථානයේ සාකච්ඡා කරමින් සිටින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ ෴

***************************************

බිරිඳගේ පහරදීමෙන් සැමියා මියයයි

(09.01.2022 – 09:43 +0530 – hirunews.lk/sinhala)

කුරුවිට – කැන්දලන්ද ප්‍රදේශයේ දී බිරිඳක විසින් පොරොවකින් පහරදී බරපතල තත්ත්වයෙන් රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 34 හැවිරිදි පුද්ගලයෙකු අද (09) අලුයම් කාලයේ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මියගිය පුද්ගලයා බීමත්ව පැමිණ නිතර නිතර බිරිඳට පහරදීම් සිදුකර ඇති බවත්, එම අවස්ථාවන්හි දී බිරිඳ දරුවන් දෙදෙනා (2) ද රැගෙන අසල්වාසීන්ගේ නිවෙස්වල සැඟවී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

පොලීසිය සඳහන් කරන්නේ ඊයේ (08) රාත්‍රියේ ද බීමත්ව තියුණු ආයුධයක් සහ ඇසිඩ් බෝතලයක් රැගෙන පැමිණි සැමියා, බිරිඳ ඝාතනය කරන බවට තර්ජනය කර ඇති අතර, එහිදී පිටුපසින් පැමිණි බිරිඳ පොරොවකින් පහරදී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් 31 හැවිරිදි බිරිඳ ඝාතනයට භාවිත කළ පොරොව ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

ආදිවාසී නායකයා එක රටක් එක නීතියක් ජනපති කාර්ය සාධක බලකායට අදහස් දෙයි

(09.01.2022 – 11:22 +0530 – hirunews.lk/sinhala)

එක රටක් – එක නීතියක් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය හමුවේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් අදහස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට එම කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සිදුකරන අතරතුර ආදිවාසී නායකයා මෙලෙස අදහස් දක්වා ඇත්තේ සිය ජන කොට්ඨාසය වෙනුවෙන් යෝජනා ද ඉදිරිපත් කරමින්.

ඊයේ (08) දිනයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී වතුකරයේ ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් ගැටලු පිළිබඳව ද සංවිධාන කිහිපයක නියෝජිතයන් එක රටක් එක නීතියක් ජනපති කාර්ය සාධක බලකාය වෙත අදහස් දක්වා සිටියා ෴

***************************************

STF දක්ෂයින් ඉහළ පුටුවලට

(09.01.2022 – 12:35 +0530 – hirunews.lk/sinhala)

ජාතික ආරක්ෂාව රැක ගැනීම සඳහා දැක්වූ විශේෂ කුසලතාවන් මෙන්ම සේවා අවශ්‍යතා මත ‘ප්‍රධාන පොලිස් පරීක්ෂක’ තනතුරේ සිට ‘සහකාර පොලිස් අධිකාරී’ තනතුර දක්වා ‘විශේෂ කාර්යය බලකායේ’ නිලධාරීන් සඳහා උසස් වීම් සිදු කර තිබෙනවා.

පොලිස් දෙපාර්තමේන්තුවේ සහ විශේෂ කාර්ය බලකායේ මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මෙම පත්වීම් සිදු කෙරුණා.

විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිටි 52 කින් සහ නිලධාරිනියන් දෙදෙනෙකු (2) ගෙන් මෙම තෝරා ගැනීම් සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

ඒ අතරින් සියලු දක්ෂතා දක්වා තිබූ නිලධාරීන් අට (8) කට සහ නිලධාරිනියකට (1) මෙම උසස්වීම් ලබා දී තිබෙනවා.

ඒ අනුව ‘ප්‍රධාන පොලිස් පරීක්ෂක’ තනතුරේ සිට ‘සහකාර පොලිස් අධිකාරී’ තනතුරට පත් වූ නිලධාරීන් වන්නේ, ඩී.එස්. කුලසේකර, ඩබ්.ඒ.පී. සම්පත් කුමාර, අයි.එස්. පෙරේරා , ඩබ්.සී.ඒ.එස්. ද සිල්වා, කේ.ජී.ජී.ජී. නිශාන්ත, ඊ.ඒ.එම්. දයාරත්න. කේ.ඩී.ජී.සී. ගුණරත්න. එන්.ඒ.පී.ජී.පී. කුලරත්න යි.

මීට අමතරව එක් කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා.

ඒ එන්.ටී.එන්. කුමාරි නිලධාරිනිය යි ෴

***************************************

ඛනිජ තෙල් අර්බුදයක් මතුවුවහොත් ආර්ථිකය කඩාවැටෙනවා – සජිත්

(09.01.2022 – 12:54 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදි ඛනිජ තෙල් අර්බුදයක් මතු වුවහොත් මුළු රටේම ආර්ථිකය බරපතළ කඩා වැටීමකට ලක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඒ, මන්නාරම – එරුක්කලම්පිඩ්ඩි මහලීර් මුස්ලිම් විද්‍යාලයේ ඊයේ (08) ක්‍රියාත්මක වූ සක්වල අටවන අදියරට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙරට තුළ මන්දපෝෂණ ප්‍රතිශතය වැඩිවීමේ අවදානමක් පවතින බව ජාතික පෝෂණ ප්‍රතිපත්ති අවශ්‍යතාව පවතින බවත්, එය සමගි ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ ඉටු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

***************************************

මහජන බදු මුදල් අපතේ ගිය තෙල්බැද්ද පාලම

(09.01.2022 – 14:43 +0530 – hirunews.lk/sinhala)

ජනතාවගේ යහපත උදෙසා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒවා නිසි ප්‍රමිතියෙන් යුක්තව සිදු කළ යුත්තේ, එවැනි ව්‍යාපෘති සඳහා වැය කෙරෙන්නේ ද ජනතා බදු මුදල් වීම හේතුවෙන්.

එහෙත් නිසි ප්‍රමිතියට එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් අපහසුතාවට පිරිසක් පිළිබඳවයි මේ තොරතුරු.

බදුල්ල, තෙල්බැද්ද වතුයායට පිවිසීමට ඇති ප්‍රධාන මාර්ගයේ පිහිටි පාලමයි මේ.

බස් රථ ඇතුළු රථවාහන විශාල සංඛ්‍යාවක් මෙම මාර්ගයේ ධාවනය වනවා.

මෙම ස්ථානයේ තිබූ පැරණි පාලම ඉතා අවදානම් තත්ත්වයට පත්වීම හේතුවෙන් මෙහි නව පාලමක් ඉදිකෙරෙන්නේ ජනතා බදු මුදල් ද විශාල ප්‍රමාණයක් වැය කරමින්.

කෙසේ වෙතත් නව පාලම ඉදිකර මාස කිහිපයක් යන්නටත් මත්තෙන් එහි එක පැත්තක් ගිලා බැස ඇති ආකාරයයි මේ.

මෙම පසුබිම හමුවේ ප්‍රදේශවාසීන්ට අවදානම් සහිත පැරණි පාලමම නැවතත් භාවිත කිරීමට සිදුව තිබෙනවා.

ආර්ථික ගැටලු රැසකින් ද පීඩා විඳින මෙම ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, සිය ජීවිකාව සරි කර ගැනීම ඇතුළු කාර්තව්‍යයන් රැසකට යොදා ගන්නා මෙම නව පාලම කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *