පොහොර වලටත් මිල පාලනයක් එන ලකුණු

පොහොර වලටත් මිල පාලනයක් එන ලකුණු

චීන විදේශ ඇමති ලංකාවට

ඊයේ (07) කොවිඩ් ආසාදිතයන් 588 ක්

මාධ්‍යවේදීන්ටත් බූස්ටර් එන්නත

තවත් කොරෝනා ආසාදිතයන් 176 ක් සුවය ලබය

මෙරටට අවශ්‍ය කොරෝනා එන්නත් සියල්ල හෙට (09) වනවිට ලැබී අවසන්

ආර්ථිකයේ තිබෙන ඇත්ත අභියෝගය තේරුම් ගෙන ඊට සරිලන ලෙස වෙනස් විය යුතුයි – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

*********************************************

පොහොරවලටත් මිල පාලනයක් එන ලකුණු

(08.01.2022 – 19:07 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර සඳහා ඉදිරියේදී පාලන මිලක් පැනවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත්, වගාවන්ට අවශ්‍ය පොහොර නොමැති වීම සහ පවතින පොහොර වල මිල ඉහළ යාම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවට දිවයිනේ විවිධ ප්‍රදේශ වල ගොවීන් තවදුරටත් මැසිවිලි නගනවා.

එමෙන්ම, මහවිලච්චිය ප්‍රදේශයේ ගොවීන් ඊයේ (07) රාත්‍රියේ මහවිලච්චිය මහ වැව සතර මහා දේවාලය අසල දේව කන්නලව්වක් ද සිදු කලේ පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින්.

ඊට හිටපු අමාත්‍ය පී හැරිසන් ඇතුලු සමගි ජන බලවේගයේ දේශපාලඥයින්ද කිහිපදෙනෙකුද එක්ව සිටියා.

මේ අතර චීන පොහොර මෙට්‍රික් ටොන් 8,000 ක් රැගත් නව නෞකාවක් ලබන මාර්තු මාසයේදී පමණ මෙරටට ලඟා වීමට නියමිත බව කොමර්ෂල් පොහොර සමාගම ප්‍රකාශ කළා.

එහි සභාපති මෙත්සිරි විජේගුණවර්ධන හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ රසායනාගාර පරීක්ෂණ මගින් ප්‍රමිතිය තහවුරු කිරීමෙන් පසු එම පොහොර ලබා ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යී දෙදින නිල සංචාරයක් සඳහා අද (08) රාත්‍රියේදී මෙරටට පැමිණීමට නියමිතයි.

චීන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන සමරු වැඩසටහන් දියත් කිරීම එම සංචාරයේ අරමුණක් ෴

***************************************

චීන විදේශ ඇමති ලංකාවට

(08.01.2022 – 20:28 +0530 – hirunews.lk/sinhala)

චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියා.

චීන – ශ්‍රී ලංකා රාජාතාන්ත්‍රික සබඳතාවල 65 වන සමරු වැඩසටහන් දියත් කිරීම මෙම සංචාරයේ එක් අරමුණක් වනවා.

චීන ආයෝජන සඳහා වැදගත් වන දිවයින පුරා පෞද්ගලික අංශයේ ව්‍යාපෘති පිළිබඳවද ඔහු අවධානය යොමුකරනු ඇතැයි අපේක්ෂිතයි.

බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින්ද මෙරට චීන ආයෝජන ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡා වට රැසක්ම මේ වනවිට පවත්වා තිබෙනවා.

චීන විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර මෙරට චීන තානාපති චී ෂෙනොන්, උතුරුකරය ඇතුලු දිවයින පුරා සංචාරයන්හි නිරත වුණා.

චීන විදේශ අමාත්‍ය වෑන්ග් – යී දිවයිනට පැමිණියේ අප්‍රිකානු අඟ ප්‍රදේශයේ සහ මාලදිවයිනේ සංචාරයකින් අනතුරුව යි.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඊයේ (07) කොවිඩ් ආසාදිතයන් 588 ක්

(08.01.2022 – 07:29 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (07) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 588 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,90,651 ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම කොරෝනා මරණ 16 ක්ද ඊයේ (07) වාර්තා වුණා.

නව ප්‍රභේදයන්වල රෝගීන් වාර්තා වීම ඉදිරියේදී වැඩිවුව හොත් නිවෙස්ගත නිරෝධායනය හා ප්‍රතිකාර ක්‍රමයම යොදා ගැනීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එහි තෘතීයක වෛද්‍ය සේවා අංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය අයන්ති කරුණාරත්න මේ බව කියා සිටියේ, ඊයේ (07) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.

එමෙන්ම ඊයේ (07) දිනයේදී කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ 5,203 දෙනෙකු සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඊයේ (07) කෝටි තිහ (30,00,00,000) ඉක්මවූ අතර, මරණ සංඛ්‍යාවද මේ වනවිට පනස් පන් ලක්ෂයකට (55,00,000) ආසන්න වී තිබෙනවා ෴

+++++++++++

මාධ්‍යවේදීන්ටත් බූස්ටර් එන්නත

(08.01.2022 – 13:16 +0530 – hirunews.lk/sinhala)

මාධ්‍යවේදීන් වෙනුවෙන් බූස්ටර් මාත්‍රාව ලබාදීම අද (08) ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී ආරම්භ කෙරුණා.

මිත්‍යාවන්ට නොරැවටී කොරෝනා තුන්වැනි (3) මාත්‍රාව ලබාගන්නා ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සියල්ලන් ගෙන් ඉල්ලීමක් කළා.

ඔහු මේ බව සඳහන් කළේ, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී ජනමාධ්‍යවේදීන් සඳහා තුන්වැනි (3) එන්නත් මාත්‍රාව ලබා ගැනීමේ අවස්ථාවට අද එක්වෙමින්.

මේ වනවිට මෙරට පුද්ගලයන් 42,76,400 දෙනෙකුට කොරෝනා එන්නත් තුන්වැනි (3) මාත්‍රාව හෙවත් ‘වර්ධක මාත්‍රාව’ ලබා දී තිබෙනවා.

+++++++++++

මේ අතර, විදේශයන් හි සිට පැමිණෙන සියල්ලන්ට අනිවාර්යයෙන් දින හතක (7) නිරෝධායනයක් හඳුන්වාදීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව විදේශයන් හි සිට පැමිණෙන සියල්ලන් නිවෙස්වල නිරෝධායනයට යොමු කෙරෙන අතර, අටවන (8) දිනයේ දී කොරෝනා පරීක්ෂණයකට ද ලක් කෙරෙනු ඇති.

මොවුන් ඉන්දියාවට පැමිණීමට පැය 72 කට පෙර ද කොරෝනා පරීක්ෂණයකින් ආසාදිතයෙකු නො වන බව තහවුරු කළ යුතුයි.

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය හේතුවෙන් ඉන්දියාවේ නැවතත් කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම නව පියවර හඳුන්වාදීමට හේතුවයි.

එම නව පියවර ලබන අඟහරුවාදා (11) සිට ක්‍රියාත්මක වනු ඇති.

ගත වූ පැය විසි හතර (24) තුළ ද ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 1,41,986 ක් වාර්තා වූ අතර, මරණ 285 ක්ද එම කාලය තුළ සිදු ව තිබෙනවා.

++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 176 ක් සුවය ලබය

(08.01.2022 – 15:48 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 176 ක් සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයන් ගණන 5,66,936 ක් ෴

තවත් කොරෝනා මරණ 13 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝන මරණ ගණන 15,112 ක් ෴

++++++++++++

මෙරටට අවශ්‍ය කොරෝනා එන්නත් සියල්ල හෙට (09) වනවිට ලැබී අවසන්

(08.01.2022 – 17:04 +0530 – hirunews.lk/sinhala)

හෙට (09) දිනය වනවිට මෙරටට අවශ්‍ය සමස්ත කොවිඩ් එන්නත් ප්‍රමාණය සහ බූස්ටර් එන්නත ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලැබී අවසන් වන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මෙරටට ගෙන්වූ ඇස්ට්‍රාසෙනෙකා, මොඩර්නා, ස්පුට්නික්, සයිනොෆාම් සහ ෆයිසර් එන්නත් මුළු සංඛ්‍යාව 4,85,60,424 ක් බවයි.

ඉන් එන්නත් මිලියන 6.8 ක් ලැබී ඇත්තේ ආධාර ලෙසයි.

මෙහිදී එක් එන්නත් මාත්‍රාවක් සඳහා ඩොලර් 5 සිට ඩොලර් 7.5 ක වියදමක් දරා ඇති බව ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියා සිටියා ෴

***************************************

ආර්ථිකයේ තිබෙන ඇත්ත අභියෝගය තේරුම් ගෙන ඊට සරිලන ලෙස වෙනස් විය යුතුයි – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

(09.01.2022 – 11:35 +0530 – lankaleadnews.com)

අප එදිනෙදා වියදම් පියවා ගැනීමට පවා විදේශ රටවලින් ණය ගන්නා රටක් බවට පත්ව ඇති බවත් මෑත ඉතිහාසය පුරා මෙරට ආර්ථිකය මෙහෙයවූ කිසිවෙකුත් ඒ ගමන තුළ විදේශ විනිමය අර්බුදයකට මුහුණදීමට සිදුවන දිනයක් උදා වේ යැයි නොසිතූ බවත් පෙන්වාදුන් කර්මාන්ත අමාත්‍ය වීරවංශ මහතා මෙරට ආර්ථිකයේ තිබෙන ඇත්ත අභියෝගය තේරුම්ගෙන ඒ අභියෝගයට සරිලන ලෙස වෙනස් වීමට හැකි වුවහොත් පමණක් රට හමුවේ වන සෙසු අභියෝග ද ජය ගත හැකි වනු ඇතැයි සඳහන් කරයි.

අද (08) මහනුවර ‘කැන්ඩි සිටි සෙන්ටර්’ හි පැවති ‘මධ්‍යම හා ඌව පළාත් සඳහා වන වෙළඳ සංසදය හා වෙළෙඳපොළ 2022’ සමාරම්භක උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා :

“ඌව සහ මධ්‍යම පළාත් කේන්ද්‍ර කරගෙන වසර 04 ක් පුරා දිගහැරුණු ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය බලගැන්වීමේ ක්‍රියාන්විතයක අවසාන අදියරේ මෙහෙයුමකට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට ඇරයුම් කිරීම පිළිබඳව සංවිධායක මණ්ඩලයට මගේ කෘතවේදිත්වය පළ කිරීමට කැමතියි.

සෑහෙන ජයග්‍රහණයක්

ලොවම දැඩි අභියෝග රැසකට මුහුණ පා ඇති මොහොතකයි ශ්‍රී ලංකාවේ අපි මේ අයුරින් මුණගැසෙන්නේ. වසංගතයට පෙර පැවති ලෝකයට වඩා වෙනස් ලෝකයක් තමයි අද අප ඉදිරිපිට නිර්මාණය වී තිබෙන්නේ. ලෝකය පුරාම රටවල රාජ්‍ය පාලනයන්ට මෙම වසංගත අභියෝගයෙන් මිදීමට සටන් කිරීමට සිදුව තිබුණා. අපත් රජයක් විදියට අන් සියලු අභියෝග ජය ගැනීමට සටන් වදිනවාට වඩා වැඩි ප්‍රමුඛතාවක් ලබා දී සටන් වැදුණේ කොවිඩ් වසංගතයෙන් මිඳීමටයි. එම සටනේ සෑහෙන ජයග්‍රහණයක් ලබාගෙන ඇති නිසයි අපට මේ විදිහට ශාලාවක එකතු වෙලා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අමතන්න, ඔවුන්ගේ නිෂ්පාදන සඳහා වෙළෙඳ පොළක් පවත්වන්න අද හැකි වෙලා තිබෙන්නේ.

හිත ඇත්නම් පත කුඩාද ?

දුප්පත්කම කියන එක අපි ඇතැම්විට විශ්වාස කරන්නේ ආර්ථික විද්‍යා මිනුම් දඬුවලින් පමණයි. ආර්ථික විද්‍යා මිනුම් දඬුවලට අනුව ඒක පුද්ගල ආදායම ඇසුරෙන් එක්තරා අංකයක් තිබෙනවා, ඒ අංකයට වඩා ආදායම අඩු නම් ඒ අයව සලකනවා දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින කොටස් විදිහට. දුප්පත්කම තිබෙන්නේ ආර්ථික විද්‍යා සංඛ්‍යාත්මක කරුණු දැක්වීමක් ඇතුළෙ පමණක් නොවෙයි, අපේ හිත ඇතුළේ, අපි හිතන විදිහ ඇතුළේ, අපේ හිත මෙහෙයවාගන්න අපට තිබෙන හයිය ඇතුළේ, එය තිබෙනවා. අපේ පැරැන්නන් පැවසූ ප්‍රස්ථාව පිරුළු අතරෙ මගේ හිතේ වඩාත්ම බලවත් ලෙස රැඳුණු ප්‍රස්ථාව පිරුළ තමයි ‘හිත ඇත්නම් පත කුඩාද?’යන්න. හිත ඇත්නම් පත කුඩාද?, කියා අපේ පැරැන්නන් ඇසුවේ හිතාගන්න බැරි දේවල් ඒ අයට හිතන්න පුළුවන් වුණු හින්දා. අපි කවුරුවත් අසා නැහැ දාගැබක් අසලදී අකුණක් ගසා මියගිය මිනිසකු ගැන. යම් දාගැබක් ඉදිකරනු ලබන්නේ එවැනි අනතුරක් සිදු වීමට ඇති අවදානම වැළැක්වීමේ තාක්ෂණයක් සහිතව යි. එහෙම කළේ බලවත්ව කල්පනා කරපු, හිත ඇත්නම් පත කුඩා ද, කියා විමසූ මිනිස්සු.

දුප්පත්කම හිතින් පරදවමු!

අද තරුණ පිරිස පමණක් නොවෙයි වැඩිහිටියන් ද සමාජ මාධ්‍ය තුළ ප්‍රතිචාර දැක්වීම් සිදු කරනවා. කල්පනා කරලා බලන්න, ලෝකයේ පළමුවෙන්ම කලා කෘතියක් දිහා බලලා ඒ ගැන ප්‍රතිචාර දැක්වීමට ඉඩක් හදලා දුන්නේ කවුද? සීගිරියේ නිර්මාණ ශිල්පීන්. ඒ නිසා තමයි කිසිදු භේදයකින් තොරව කුලහීන, ප්‍රභූ සියලුදෙනාගේ ප්‍රතිචාර සහිත කැටපත් පවුරක් නිර්මාණය වූයේ. ඒ නිසා මෙහිදී වැදගත්ම දෙය තමයි දුප්පත්කම හිතින් පරද්දන එක. හිත දුප්පත් නම් සාක්කුවෙ කොච්චර සල්ලි තිබුණත් එයාට නැගිටින්න බැහැ. සාක්කුවේ සතයක් නැතත් හිත ශක්තිමත් නම් ඔහුට හෝ ඇයට නැගිටින්න පුළුවන්. යුරෝපා සංගමයේ ආධාර මතින් වසර 04 ක් පුරා දිගහැරුණු මේ ක්‍රියාන්විතයේදී මේ සම්පත්දායකයන්ට පුළුවන්කමක් නැහැ ව්‍යවසායකයාගේ හිතට හයිය දෙන්න. ඔවුනට පුළුවන් හිත හයිය මිනිස්සුන්ට එතනින් එහාට යන්න උදව් කරන්න.

හිත හයිය මිනිස්සුන්ගේ ක්‍රියාන්විතයක්

අපේ පැරැන්නන් කිසිදා හිතින් දුප්පත් වුණේ නැහැ. එදා අපේ රටේ තිබුණු ‘ආසියාතික නිෂ්පාදන රටාව’ කියන නිෂ්පාදන ක්‍රමය යටතේ සෑම මිනිසෙකුටම ස්වයංපෝෂිත ජීවන රටාවක් තිබුණා. ඒ නිසා තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් තේ වගාව ආරම්භ කරන විට තේ වතුවල වැඩට යන්න මේ රටේ මිනිස්සු හිටියේ නැත්තෙ. ඒ කියන්නේ සූරා කන්න අතිරික්ත ශ්‍රමයක් තිබුණේ නැහැ. සෑම අයෙකුටම ජීවනෝපාය මාර්ගයක් තිබුණා. හිත හයිය, ඒ හිතෙන් ධනය උපදවන මාර්ග ගැන හිතන්න පුළුවන් මිනිස්සු, ඒ වගේම ස්වභාවධර්මයා ලබා දී ඇති දෙයින් ජයග්‍රහණ ගෙන එන්න පුළුවන් මිනිස්සු යන සියලුදෙනාගෙන් සැදුම්ලත් ක්‍රියාන්විතයක් දියත් වන ප්‍රමාණයට තමයි අපේ රට අද මුහුණ දී ඇති බොහෝ ගැටළුවලට අපට උත්තර සොයා ගන්න පුළුවන් වෙන්නේ.

මට පෙර අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යතුමන් විදේශ විනිමය අර්බුදය පිළිබඳව කතා කළා. අද අපි විදේශ රටවලින් ණය අරගෙන අපේ එදිනෙදා වියදම් පවා පියවා ගැනීමට පුරුදු වූ රටක්. රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 10 සිට ලක්ෂ 15 ට ඉහළ දමනවා, නමුත් ඔවුනට වැටුප් ගෙවීමට රටේ ආදායම මදි. ඒ නිසා ණයට අරගෙන ඔවුනට පඩි ගෙවන තත්ත්වයට අපේ රටේ ආර්ථිකය ගතවූ ඉතිහාසය තුළ පවත්වාගෙන ආවා. ඒ මුළු ඉතිහාසය පුරාම අපේ රටේ ආර්ථිකය මෙහෙයවපු කවුරුත් සිතුවේ නැහැ, ‘අපට මේ විදේශ විනිමය අර්බුදයට මුහුණදීමට සිදුවන දවසක් උදා වේවි’, කියා. ඒ පාලකයන් කල්පනා කළේ නැහැ ‘ඒ දවස උදා වන එක වළක්වන්න ඕනේ’ කියා. කොවිඩ් තත්ත්වය විසින් ඒ දවස අපට කලින් උදා කරලා දීලා තිබෙනවා. කොවිඩ් තත්ත්වය ආවත් නාවත් ඉක්මනින් හෝ ප්‍රමාද වී හෝ ඒ අර්බුදයට මේ රටට මුහුණදීමට සිදුවෙනවා. ඒක වළක්වන්න බැහැ. කොවිඩ් තත්ත්වය ඒ අර්බුදය වඩාත් තීව්‍ර කරලා තිබෙනවා. අපි අද යථාර්ථය පිළිගන්න ඕනෙ. අපි හැමෝම සමගියෙන් එකතු වෙලා, ආර්ථිකයේ තිබෙන ඇත්ත අභියෝගය තේරුම් අරන් ඒ අභියෝගයට සරිලන විදිහට වෙනස් වෙන්න පුළුවන් වුණොත් විතරයි රටක් හැටියට අපට සෙසු අභියෝග ජය ගත හැකි වෙන්නේ.

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන ක්‍රියාන්විතය බලගැන්වීමෙන් පමණයි අපට එක් පැත්තකින් ආනයන ආදේශක නිෂ්පාදන මේ රටේ බිහි කිරීමට හැකි වන්නේ. අනෙක් පැත්තෙන් කුඩාවට පටන් ගන්නා නිෂ්පාදකයා විදේශ වෙළදපොළ කරා රැගෙන යාමට හැකි වෙන්නේ. යුරෝපා සංගමයෙන් ලැබුණු ආධාර නිසි පරිදි කළමනාකරණය කරමින් වසර 04 ක් පුරා දියත් කළ මේ ඒකාබද්ධ ව්‍යාපෘතිය මගින් එක් පැත්තකින් මධ්‍යම හා ඌව පළාත් දෙකෙහි ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයා බලගැන්වීමටත් අනෙක් පැත්තෙන් එම නිෂ්පාදකයා වෙනුවෙන් වැඩකරන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය වැනි රාජ්‍ය ආයතනවල ඵලදායිතාව ඉහළ නංවන්නත් දැක්වූ දායකත්වය පිළිබඳ එම ව්‍යාපෘතිය මෙහෙයවූ ආයතනවලට මාගේ ගෞරවය සහ ප්‍රසාදය පළකර සිටිනවා. අවසන් වශයෙන් ‘හිතෙන් දුප්පත්කම පරද්දලා, රටට අවශ්‍ය ජයග්‍රාහී අනාගතය ගොඩනගන්න අපි සියලුදෙනාම ඇපකැප වෙමු!’ යි කියා ආරාධනා කරමින් ඔබ සැමට ජය පතනවා.

මෙම අවස්ථාවට සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු, යුරෝපා සංගමයේ නියෝජිතවරිය ඇතුළු ඉහත ව්‍යාපෘතියට සම්පත් දායකත්වය සැපයූ සංවිධානවල නියෝජිතයෝ ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය.
2022.01.08

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *