තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවි තෙල් මෙට්‍රික් ටොන් පන් දහසක් (5000)

තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවි තෙල් මෙට්‍රික් ටොන් පන් දහසක් (5000)

*********************************************

තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවි තෙල් මෙට්‍රික් ටොන් පන් දහසක් (5000)

(08.01.2022 – 07:25 +0530 – hirunews.lk/sinhala)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට අද (08) දිනයේ දී දැවි තෙල් මෙටි්‍රක් ටොන් පන් දහසක් (5000) ලබා දීමට නියමිතයි.

විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, සපුගස්කන්ද සහ වරාය තුල බත්තලක රැඳවූ විදුලි බලාගාරය වෙත මෙම දැවිතෙල් මෙට්‍රික් ටොන් 2,500 බැගින් ලබා දීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වූ බවයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවි තෙල් ලබා නොදීම හේතුවෙන් විදුලිබල මණ්ඩලය ඊයේ (07) රාත්‍රියේත් ප්‍රදේශ රැසකට විදුලිය අත්හිටවනු ලැබුවා.

ඊයේ (07) පස්වරු 05:30 සිට රාත්‍රී 09:30 අතර කාලය තුල පැයක (1) කාලයක් ප්‍රදේශ රැසකට මෙලෙස විදුලිය විසන්ධිව පැවතුණා.

කැළණිතිස්ස විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් (1) සහ කුකුළේ ගඟ ව්‍යාපෘතියේ ජනන යන්ත්‍ර දෙකක් (2) අක්‍රීය වීම හේතුවෙන් පෙරේදා (06) පස්වරුවේ හදිසියේම දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි කෙරුණා.

පෙරේදා (06) දිනයේම කුකුළේ ගඟ ව්‍යාපෘතියේ ජනන යන්ත්‍ර දෙක (2) යථා තත්වයට පත් කළ අතර, කැළණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රය ද ඊයේ (07) පස්වරුවේ යථා තත්වයට පත්කර තිබෙනවා.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මගින් බලාගාර සඳහා අවශ්‍ය දැවිතෙල් හා ඩීසල් ලබා දීම පසුගිය දින කිහිපය තුලම සිදු කර නැහැ.

රුපියල් බිලියන 48 ක මුදලක් විදුලිබල මණ්ඩලය විසින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති අතර දැවි තෙල් හා ඩීසල් ලබා දීමට නම් රුපියල් බිලියන 18 ක මුදලක් කඩිනමින් ගෙවන ලෙසයි සංස්ථාව දැනුම් දී ඇත්තේ.

මේ අතර අද (08) දිනයේදී විදුලි කප්පාදුවක් සිදු වන්නේද පිළිබඳව පස්වරුවේ දී දැනුම් දෙන බවයි විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

දුෂ්කරතා ඉවත් කිරීමට සූදානම් – අගමැති

(08.01.2022 – 07:31 +0530 – hirunews.lk/sinhala)

ජනතාව මුහුණ දෙන දුෂ්කරතා ක්‍රමයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, කුරුණෑගල – මාවතගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

***************************************

චීන විදේශ ඇමති අද (08) දිවයිනට

(08.01.2022 – 07:38 +0530 – hirunews.lk/sinhala)

චීනයේ විදේශ අමාත්‍ය වෑන්ග් – යී ඇතුළු දූත පිරිසක් අද (08) ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

චීන – ශ්‍රී ලංකා රාජාතාන්ත්‍රික සබඳතාවල 65 වන සමරු වැඩසටහන් දියත් කිරීම එම සංචාරයේ එක් අරමුණක්.

චීන ආයෝජන සඳහා වැදගත් වන දිවයින පුරා පෞද්ගලික අංශයේ ව්‍යාපෘති පිළිබඳවද ඔහු අවධානය යොමුකරනු ඇතැයි අපේක්ෂිතයි.

බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින්ද මෙරට චීන ආයෝජන ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡා වට රැසක්ම මේ වනවිට පවත්වා තිබෙනවා.

චීන විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර මෙරට චීන තානාපති චී ෂෙනොන්, උතුරුකරය ඇතුලු දිවයින පුරා සංචාරයන්හි නිරත වුණා.

චීන විදේශ අමාත්‍ය වෑන්ග් – යී දිවයිනට පැමිණෙන්නේ අප්‍රිකානු අඟ ප්‍රදේශයේ සහ මාලදිවයිනේ සංචාරයකින් අනතුරුව යි ෴

***************************************

රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගම‍යෙන් ඉල්ලීමක්

(08.01.2022 – 08:27 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය පත්කිරීම් සහ ස්ථාන මාරු සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලෙස රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටිනවා.

එම කටයුතු වෘත්තීය සමිති නායකයන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීමට ද කටයුතු කළ යුතු බවයි එම සංගමයේ සභාපති වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ සඳහන් කළේ ෴

***************************************

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ තවත් පුරුකක් හබරාදුවේ දී කොටුවේ

(08.01.2022 – 09:13 +0530 – hirunews.lk/sinhala)

මුහුදු මාර්ගයෙන් මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් පුද්ගලයෙකු හබරාදූව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, කඩුවෙල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් හබරාදූව ප්‍රදේශයේ සංචාරක නිකේතනයක සිදු කළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු සතුව තිබී පිස්තෝලයක්, හෙරොයින් ග්‍රෑම් 17 ක්, වෑන් රථයක්, ලොරි රථයක්, යතුරුපැදියක්, මුදලින් රුපියල් 56,500 ක් සහ ජංගම දුරකථනයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබුණා.

පසුව ඔහු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

පසුගියදා රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයකට (1,40,00,000) ආසන්න මුදලක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් තංගල්ල සහ සීනිමෝදර ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා (2) ගෙන් ලබාගත් තොරතුරු මතයි මෙම වැටලීම ඊයේ (07) සිදුකර තිබුණේ.

මෙම සැකකරුවන් සමඟ සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයන් නව (9) දෙනෙකු සම්බන්ධයෙන් ද පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ තිබෙනවා.

ඊයේ (07) අත්අඩංගුවට ගත් 59 හැවිරිදි සැකකරු සහ පසුගිය පස්වනදා (05) අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදෙනු ලැබුවා.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම බහුදින ධීවර යාත්‍රා උපයෝගි කරගනිමින් සිදුකරන බවටයි මේ වනවිට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ ෴

***************************************

ශ්‍රී ලාංකික ධීවරයින් ගමන් ගත් යාත්‍රාවක් පෙරළී අයෙක් අතුරුදන්

(08.01.2022 – 10:15 +0530 – hirunews.lk/sinhala)

මාලදිවයින් මුහුදු තීරයේ දී මෙරට ධීවරයින් ගමන් ගත් යාත්‍රාවක් පෙරලීමෙන් එක් (1) අයෙකු අතුරුදන් වී පස් (5) දෙනෙකු බේරාගෙන ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

මෙම ධීවරයින්ගේ යාත්‍රාව පෙරලීමට ලක්වන අවස්ථාවේ දී ඒ අසල යාත්‍රා කරමින් තිබූ නෞකාවක් විසින් එහි සිටි ධීවරයින් 5 දෙනෙකු බේරා ගෙන තිබෙනවා.

ඒ බව මාලදිවයිනේ නාවික සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින් තමන්ට දැනුම් දුන් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා කියා සිටියේ.

මසකට පෙර දියඹට ගිය සිය යාත්‍රාවේ සිටින ධීවරයින් පසුගිය පළමුවනදා (01) යින් පසු තමන් සමග දුරකථන සම්බන්ධතා පවත්වා නොමැති බැවින් ඒ පිලිබඳව පරීක්ෂණයක් කරන ලෙසට ඉල්ලා යාත්‍රාවේ හිමිකරු බේරුවල පොලීසියට පසුගිය පස්වන දා (05) පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඉන් පසු බේරුවල වෙරළාරක්ෂක නාවික නිලධාරින් සිදු කළ පරීක්ෂණයකට අනුව යි මේ පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇත්තේ ෴

***************************************

වනඅලියෙකු ඝාතනය කළ සැකකරුවෙකු ගිනිඅවියක් සමග අත්අඩංගුවට

(08.01.2022 – 10:16 +0530 – hirunews.lk/sinhala)

කිරින්ද – කොරගහඋල්පත ප්‍රදේශයේ දී වනඅලියෙකු ඝාතනය කළ සැකකරුවෙකු ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිතුල්පව්ව යෝධ කන්ඩිය මාර්ගයේ බොරලුවල අසල දී වනඅලියෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ පසුගිය 06 වනදායි.

ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ තංගල්ල කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරින් අදාළ සැකකරු ටී-56 ගිනි අවියක් (1) සහ පතොරොම් 7 ක් සමග ඊයේ (07) අත්අඩංගුවට ගනු ලැබුවා.

මොහු 39 හැවිරිදි තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

***************************************

මියන්මාරයෙන් සහල් ටොන් ලක්ෂයක් ගෙන ඒමට සැලසුම්

(08.01.2022 – 10:31 +0530 – hirunews.lk/sinhala)

මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් (1,00,000) මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ සඳහා මියන්මාරය සමඟ අවබෝධතා ගිවිසුමකට ඊයේ (07) අත්සන් තබා තිබෙනවා.

මෙරට සහල් අතිරික්තය පවත්වාගෙන යෑම සඳහා වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධනගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක යි.

ඉදිරියේ දී මෙරට ජනතාවට සහල් කිලෝවක් රුපියල් 100 ට අඩු මුදලකට ලබා දිම මෙහි අරමුන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

***************************************

පසුගිය වසරේ දී සංචාරකයන් 1,94,000 ක් ශ්‍රී ලංකාවට

(08.01.2022 – 11:12 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 2021 වසරේ දී විදෙස් සංචාරකයන් 1,94,495 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

2018 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් මිලියන 2.3 හා සසඳන විට එය, කැපී පෙනෙන පහත වැටීමක්.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හමුවේ ගුවන්තොටුපල වසා දැමීමට පෙර 2019 වසරේ දෙසැම්බරයේ සංචාරකයන් 2,41,663 ක් දිවයිනට පැමිණි අතර, 2020 ජනවාරි මාසයේ සංචාරකයන් 2,28,000 ක් සහ පෙබරවාරියේ 27,000 ක් ශ්‍රී ලංකාවට පැමිණියා.

2020 වසරේ දිවයිනට පැමිණි මුළු සංචාරකයන් සංඛ්‍යාව 57,311 ක්.

කෙසේ නමුත් මේ වසරේ දී විදෙස් සංචාරකයන් මිලියන 2.5 ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටයි සැළසුම් කෙරෙන්නේ.

පසුගිය 2021 වසරේ දිවයිනට වැඩිම සංචාරකයන් පිරිසක් එනම්, 56,268 ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.

රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ යුක්රේනයෙන් ඊළඟට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ තිබෙනවා.

කොරෝනා වසංගතයට පෙර මෙරටට දෙවනුව වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි චීනයෙන් 2021 වසරේ පැමිණ ඇත්තේ සංචාරකයන් 2,417 දෙනෙකු පමණයි ෴

***************************************

රොබින් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

(08.01.2022 – 13:00 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන සිනමා නළු රොබින් ප්‍රනාන්දු වයස අවුරුදු 84 ක්ව සිටිය දී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මහරගම – වත්තේගෙදර පිහිටි සිය නිවසේ දී අද (08) උදෑසන ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ මහතා වසර දෙකකට ආසන්න කාලයක් පාකින්සන් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලැබුවා.

ඔහු 1964 වසරේ දී සිනමාවට පිවිසුණේ චණ්ඩියා චිත්‍රපටයෙන්. එහෙත් මුල්වරට ප්‍රදර්ශනය කෙරුණු ඔහු රඟපෑ චිත්‍රපටය වන්නේ ධීවරයෝ චිත්‍රපටයයි.

කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ‘පට්ටියගේ රොබින් ස්ටීවන් ප්‍රනාන්දු’ සටන්කලා වලින් වර්ණ දිනූ අතර, සිංහල සිනමාවේ ඔහු ප්‍රකට වූයේ සටන් නළුවෙකු ලෙසයි.

සැබෑ සිදුවීම් පදනම් කරගනිමින් සුරදූතියෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රොබින් ප්‍රනාන්දුගේ අවසන් අධ්‍යක්ෂණය ‘නින්ජා – ශ්‍රී ලංකා’ චිත්‍රපටයයි.

බයිසිකල් හොරා, කවුද හරි, ඔහොම හොඳද, රන් ඔන්චිල්ලා, බිඳුණු හදවත්, හාරලක්ෂය, හිතක පිපිණු මල්, ලොකුම හිනාව, සිංගප්පූරු චාලි, අපරාධය හා දඬුවම, සිහසුන, ජීවන ගංඟා, සිකුරු ලියා, සිරිපාල සහ රන් මැණිකා, වීරපුරන් අප්පු, අපේක්ෂා, සංඛපාලි, බඹා කෙටූ හැටි, ලොකු තාත්තා, විසිදැල, දඩබිම, සුසීමා, මහරජ අජාසත් ඇතුලු සිනමා නිර්මාණ 93 ක සිය කුසලතා විදහා දැක්වීමට රොබින් ප්‍රනාන්දු සමත්වුණා.

‘ඉරබටු තරුවෙන් පුංචි තිරයට පිවිසුණු ඔහු, සෙක්කුගෙදර, උරුමය සොයා ආදී ටෙලි වෘතාන්ත රැසකට ම රංගනයෙන් දායක වී තිබෙනවා.

අභාවප්‍රාප්ත සිනමා නළු රොබින් ප්‍රනාන්දුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.

සිංහල සිනමාවේ සටන් කලාවට මනා පෞරුෂයක් ගෙන ආ හෙළ සිනමාවේ සෙන්පතියානනි ඔබට නිවන් සුව !

+++++++

https://www.youtube.com/watch?v=T7FLtJ6CCXY

***************************************

අද (08) සහ හෙට (09) විදුලි කප්පාදුවක් නැහැ

(08.01.2022 – 13:01 +0530 – hirunews.lk/sinhala)

අද (08) සහ හෙට (09) දිනවල විදුලි කප්පාදුවක් සිදු නො කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, විදුලි ජනනයට අවශ්‍ය දැවි තෙල් මෙට්‍රික් ටොන් 2,000 ක් පමණ මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ලබාදී ඇති බවයි.

ඒ, සපුගස්කන්ද බලාගාරයට සහ කොළඹ වරායේ බත්තල බලාගාරයට දැවිතෙල් මෙට්‍රික් ටොන් දහස බැගින්.

එවන් පසුබිමක් තුළ සති අන්තයේ විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් මෙතෙක් මතුවී නොමැති බවයි විදුලිබල මණ්ඩලය කියා සිටියේ.

දැවිතෙල් සහ ඩීසල් තොග සම්බන්ධයෙන් හෙට (09) දිනයේ දී යළි සමාලෝචනයක් සිදු කිරීමට පියවර ගන්නා බව ද ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

***************************************

පෙරේදා (06) හදිසි විදුලි බිඳ වැටීම ගැන ලංකා විදුලිබල මණ්ඩලය මඟින් විමර්ශනයක්

(08.01.2022 – 13:23 +0530 – hirunews.lk/sinhala)

කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් (1) සහ කුකුළේ ගඟ ව්‍යාපෘතියේ ජනන යන්ත්‍ර දෙකක් (2) අක්‍රීය වීම හේතුවෙන් පෙරේදා පස්වරුවේ හදිසියේම දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි කෙරුණා.

මෙම ජනන යන්ත්‍ර අක්‍රියවීමටද දැවිතෙල් සහ ඩීසල් අවම මට්ටමක පැවතීම හේතු වී ඇත්ද යන්න සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය මගින් විමර්ශනයක්ද ආරම්භ කළා.

මේ අතර කැළණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් (1) සහ කුකුළේගඟ ව්‍යාපෘතියේ ජනන යන්ත්‍ර දෙකක් (2) අක්‍රියවීමත් සමඟ මතු වී ඇති තත්වය පිළිබඳව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මාධ්‍ය වෙත අද (08) පැහැදිළි කිරීමක් කළා.

එමෙන්ම විදුලි තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමයේ සභාපති ඒ.ජී.යූ. නිශාන්ත මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, නොරොච්චෝලේ ලක් විජය විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර ක්‍රියාත්මක වන තෙක් මෙවැනි හදිසි විදුලි බිඳ වැටීම් සිදුවිය හැකි බවයි.

***************************************

ආණ්ඩුවට සැලසුම් නැතැයි මෛත්‍රීපාල කියයි

(08.01.2022 – 13:28 +0530 – hirunews.lk/sinhala)

රට ගොඩගැනීම සඳහා ආණ්ඩුවට ප්‍රමාණවත් සැලසුමක් නො මැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ, ‘රට එදා, අද සහ හෙට පන්නරය’ නමින් වෙන්නප්පුව – දුම්මලදෙණිය ප්‍රදේශයේ දී නිදහස් පක්ෂය සංවිධාන කළ අධ්‍යාපනික වැඩසටහනක් අමතමින්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *