කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (08) පැය 16 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (08) පැය 16 ක ජල කප්පාදුවක්

*********************************************

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (08) පැය 16 ක ජල කප්පාදුවක්

(07.01.2022 – 13:09 +0530 – hirunews.lk/sinhala)

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (08) පෙරවරු 8 සිට රාත්‍රී 12 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

ඊට අමතරව මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ සහ කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට මෙන්ම රත්මලානට ද මෙම කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේ.

***************************************

කොටදෙණියාවේ දරුවන් දෙදෙනා (2) අද (07) වෛද්‍ය පරීක්ෂණයකට

(07.01.2022 – 13:26 +0530 – hirunews.lk/sinhala)

මාස එකහමාරක් (1½) තිස්සේ, අතුරුදන්ව සිට හමු වූ කොටදෙණියාව ප්‍රදේශයේ බාලවයස්කාර පිරිමි ළමයින් දෙදෙනා (2), වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත අද (07) ඉදිරිපත් කිරීමට නියමිත යි.

ඉන් අනතුරු ව ඔවුන් ලබන සඳුදා (10) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව පරීක්ෂණ සිදු කරන උසස් පොලිස් නිලධාරිනියක් සඳහන් කළා.

පසුගිය වසරේ (2021) නොවැම්බර් 23 වන දා සිට අතුරුදන් වූ මෙම දරුවන් දෙදෙනා (2) මීරිගම නගරයේ වෙළඳසැළක සිටියදී එහි හිමිකාරිනිය විසින් හඳුනාගෙන ඊයේ (06) පෙරවරුවේ මීරිගම පොලිසිය වෙත භාර කෙරුණා.

එහිදී අදාළ දරුවන් පොලිසියට ප්‍රකාශ කර තිබුණේ, මව ඇතුළු නිවැසියන් පහර දීම නිසා තමන් නිවසින් පලා ආ බවයි.

කෙසේ වෙතත් අදාළ ළමයින් දෙදෙනා (2) පොලිසිය වෙත භාර කළ කාන්තාව මෙන්ම ඇගේ සැමියාගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

මීට අමතර ව ළමයින් දෙදෙනා (2) සැරිසැරූ ස්ථානවල විවිධ පුද්ගලයන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගත් බව යි පොලිසිය සඳහන් කළේ.

***************************************

රටේ ඉදිරි ගමන වෙනුවෙන් මැති ඇමතිවරුන්ගේ හැසිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

(07.01.2022 – 13:30 +0530 – hirunews.lk/sinhala)

රටේ ඉදිරි ගමන වෙනුවෙන් මැති ඇමතිවරු සියලු දෙනා කණ්ඩායමක් ලෙස වැඩ කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් එක් පියවරක් යථාර්ථයක් බවට පත් කරමින් පාසල් දහසක් (1000) ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහන අද (07) පෙරවරුවේ ආරම්භ කරමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

එහි සමාරම්භය සනිටුහන් කරමින් මොනරාගල – සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීම අද (07) සිදු කෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

අනාගතයට ගැළපෙන කුසලතාවන්ගෙන් පිරිපුන් දරු පරපුරක් බිහි කිරීම සඳහා අධ්‍යාපන පද්ධතිය තුළ ප්‍රතිපත්තිමය තීරණ සහ ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් මේ වනවිටත් සිදු කෙරෙමින් පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

මේ වන විට පවතින ජාතික පාසල් සංඛ්‍යාව 374 ක් වන අතර, එය සමස්ත පාසල් සංඛ්‍යාවෙන් 3.6% ක්.

ජාත්‍යන්තරව පිළිගත් නිර්ණායකයන් සැලකිල්ලට ගෙන විද්‍යාත්මක ක්‍රමවේදයකින් තෝරාගත් පාසල් ජාතික පාසල් බවට පත් කිරීමට මෙහිදී පියවර ගෙන තිබෙනවා.

පාසලෙන් හෝ විශ්වවිද්‍යාලයෙන් පිටව යන විට හැකියාවක් සහිත දරුවෙකු බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම ‘සෞභාග්‍යයේ දැක්ම’ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් ඉටු කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.

සෑම දරුවෙකුටම තොරතුරු තාක්ෂණ දැනුම ලබා දී තාක්ෂණයෙන් පිරිපුන් ශ්‍රම බලකායක් ලෙස ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කටයුතු ඉදිරි කෙටි කාලය තුළ සිදු කෙරෙන බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එමෙන්ම රටේ වත්මන් තත්ත්වය සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව අදහස් පළ කල ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, රටක ඉදිරි ගමන වෙනුවෙන් මැති ඇමතිවරු මන්ත්‍රීවරු, සියලු දෙනා එකට එක්ව කණ්ඩායමක් ලෙස වැඩකිරීමේ අවශ්‍යතාව යි.

සිදුවන පසුබෑම් සඳහා කණ්ඩායමක් ලෙස මුහුණ දීම සාමූහික වගකීමක් වන අතර, එසේ නොකර අඩුපාඩුකම් පිළිබඳ පමණක් විවේචන කරනවා නම් එය අදාළ පුද්ගලයාගේ අකාර්යක්ෂමතාව බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ.

කොවිඩ් හේතුවෙන් අහිමි වූ වසර දෙක (2) ගැන නොසිතා තමා පොරොන්දු වූ වගකීම් ඉදිරි තෙවසර (3) තුළ ඉටු කිරීමට කැපවන බව බවට පොරොන්දු වූ හෙතෙම, සෑම මන්ත්‍රීවරයෙකුටම කැබිනට් අමාත්‍ය ධුරයක් බලාපොරොත්තුවෙන් සිටිය ද, ව්‍යවස්ථානුකූලව ලබාදිය හැකි කැබිනට් අමාත්‍ය ධුර 30 ට අමතරව කිසිඳු අමාත්‍ය ධුරයක් ලබාදීමටත්, එතුළින් ජනතාවට දුන් පොරොන්දු කඩ කිරීමට තමන් අකමැති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ජනතාව වෙනුවෙන් ගන්නා තීරණවලදී සහාය වීම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ යුතුකමක් බව හෙතෙම පැවසීය.

තීරණ ගැනීමේ දී නිලධාරීන් සලකා බැලිය යුත්තේ ‘වැඩකළ හැක්කේ කෙසේ දැයි’ කියා මිස ‘චක්‍රලේඛ මගින් වැඩක් කළ නොහැක්කේ කෙසේ දැයි’කියා නොවන බව ජනාධිපති ප්‍රකාශ කළා.

ඉදිරි වසර තුන සඳහා සම්පූර්ණ සහාය ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ සියලු දෙනාගෙන් මෙහිදී විශේෂ ඉල්ලීමක් කළා.

ජනතාව වෙනුවෙන් වූ ශක්තිමත් රාජ්‍ය සේවයක් ඇති කිරීමට ඉදිරියේ දී තමා රාජ්‍ය ආයතනවලට පෞද්ගලිකව පැමිණෙන අතර ‘ගම සමග පිළිසඳර’ වැඩසටහන යළි අරඹා ජනතා අපේක්ෂාවන් කඩිනමින් ඉටු කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටියා.

***************************************

අදත් (07) ගෑස් ආශ්‍රිත සිදුවීම් විවිධ ප්‍රදේශවලින්

(07.01.2022 – 13:34 +0530 – hirunews.lk/sinhala)

අදත් (07) දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තාවුණා.

මොරගහහේන – ගෝනපොළ ප්‍රදේශයේ නිවසක ගෑස් උඳුනක් පුපුරා ගොස් තිබුණේ ගෙහිමි කාන්තාව ආහාර පිසීමෙන් සුළු වේලාවකට පසුවයි.

ගම්පොල – පුපුරැස්ස ඩේසන් වත්ත ප්‍රදේශයේ නිවසකද ගෑස් උඳුනක් පුපුරා ගොස් තිබෙනවා.

මේ අතර, වෙළඳපොළේ පවතින ගෑස් හිඟය හේතුවෙන් ගෑස් අලෙවි නියෝජිත ආයතන ආශ්‍රිතව තවදුරටත් දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

කෙසේ නමුත්, වත්තල – උස්වැටකෙයියාව – තල්දියවත්ත මුහුදු තීරයේ නැංඟු‍රම්ලා ඇති ගෑස් නෞකාවෙන් ගෑස් පොම්ප කිරීම අද (07) ආරම්භ කෙරුණා.

***************************************

චීන පොහොර නැවට ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ක වන්දියක්

(07.01.2022 – 14:13 +0530 – hirunews.lk/sinhala)

චීන පොහොර නැවට ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ක මුදලක් මීට ටික වෙලාවකට පෙර මහජන බැංකුව විසින් මුදා හැර ඇති බව වාර්තා වෙනවා.

ඒ අදාළ නැවෙන් මෙරටට රැගෙන ආ කාබනික පොහොර අදාළ පිළිවිතරයන්ට නොමැති බවට චෝදනා කරමින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මතු වූ අර්බුදය සමථයකට පත් කරගැනීම සඳාහා යි.

මෙම පොහොර තොගය රැගත් ‘හිපෝ ස්පිරිට්’ නෞකාව දින 70 කට ආසන්න කාලයක් මෙරට මුහුදු සීමාවේ රැඳී සිටීමෙන් අනතුරු ව සිංගප්පූරුව වෙත ගමන් කළේ, ජාත්‍යන්තර බේරුම්කරණ ක්‍රියාවලියකට යොමු වීම සඳහා යි.

මේ සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණයෙන් පනවා තිබූ නඩුව දෙපාර්ශවයේ ම එකඟතාව මත බේරුම්කරණ පදනම යටතේ ඉල්ලා අස්කර ගැනුණේ, අදාළ චීන කාබනික පොහොර සමාගමට ඇමරිකානු ඩොලර් ඩොලර් මිලියන 6.7 ක් ගෙවීමේ එකඟතාව මත යි.

කෙසේ වෙතත් මහජන බැංකුවේ ප්‍රධාන විධායකවරයා මීට ටික වෙකලාවකට පෙර සඳහන් කළේ, අදාළ සමාගම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ක වන්දි මුදලක් ගෙවූ බව යි.

මේ අතර මින්නේරිය ප්‍රදේශයේ ගොවීන් පොහොර නොමැතිවීම හේතුවෙන් මුහුණදෙන දුෂ්කරතාවයන් පිළිබඳව සොයා බැලීම සඳහා පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් ඇතුලු පිරිසක් අද (07) එම ප්‍රදේශයේ චාරිකාවක නිරත වුණා.

***************************************

අගමැති කුරුණෑගලට

(07.01.2022 – 14:28 +0530 – hirunews.lk/sinhala)

අභියෝග හමුවේ වුවත් තමන් අද කැප වන්නේ දරුවන් වෙනුවෙන් දියුණු රටක් නිර්මාණය කිරීමට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අගමැතිවරයා මේ අදහස් පල කළේ, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සවය අමතමින්.

***************************************

මීගමුව – කුරණ දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියාවක් නිසා අසල මාර්ගයේ වාහන ගමනාගමනය නතර කෙරේ

(07.01.2022 – 14:51 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ සහ මීගමුව දුම්රිය ස්ථානය අතර කුරණ දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඒ අසල මාර්ගයේ වාහන ගමනාගමනය නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව හෙට (08) උදෑසන 8 සිට අනිද්දා (09) රාත්‍රී 8 දක්වා පැය 36 ක කාලයක් වාහන ගමනාගමනය සඳහා එම මාර්ගය වසා තැබෙනු ඇති ෴

***************************************

අද (07) පස්වරුවේ සහ රාත්‍රියේ ප්‍රදේශ කිහිපයකට විදුලිය කැපේ

(07.01.2022 – 15:56 +0530 – hirunews.lk/sinhala)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවි තෙල් ලබා නොදීම හේතුවෙන් අද (07) රාත්‍රියේත් ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ පස්වරු 05:30 සිට රාත්‍රී 09:30 අතර කාලය තුල පැයක (1) කාලයක් ප්‍රදේශ රැසකට මෙලෙස විදුලිය විසන්ධි කරන බවයි.

කැළණිතිස්ස විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් සහ කුකුළේ ගඟ ව්‍යාපෘතියේ ජනන යන්ත්‍ර දෙකක් (2) අක්‍රීය වීම හේතුවෙන් ඊයේ (06) පස්වරුවේ හදිසියේම දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි කෙරුණා.

ඊයේ (06) දිනයේම කුකුළේ ගඟ ව්‍යාපෘතියේ ජනන යන්ත්‍ර දෙක (2) යථා තත්වයට පත් කළ අතර, කැළණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රය ද අද (07) පස්වරුවේ යථා තත්වයට පත් කළා.

කෙසේ වෙතත් දැවිතෙල් නොමැති වීම හේතුවෙන් අද (07) පස්වරුවේත් ප්‍රදේශ වරින්වර ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවයි ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටියේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසාදමා ඇති පසුබිමක, මෙරට තාප බලාගාර සඳහා අවශ්‍ය දැවි තෙල් ලබා ගැනීම සම්බන්ධයෙන් අර්බුදයක් මතුවිය හැකි බවට හිරු ප්‍රවෘත්ති පෙරේදා පළමු වරට අණාවරණ කළා.

මෙරට විදුලි අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් (1/3) සපුරනු ලබන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ සහ පෞද්ගලික ඩීසල් තාප බලාගාර වලින් වන අතර අප පෙන්වා දුන්නේ එම බලාගාරවල ඇති ඉන්ධන ප්‍රමාණවත් වන්නේ දින කිහිපයක් සඳහා පමණක් බවයි.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මගින් බලාගාර සඳහා අවශ්‍ය දැවිතෙල් හා ඩීසල් ලබා දීම පසුගිය දින කිහිපය තුලම සිදු කර නැහැ.

රුපියල් බිලියන 48 ක මුදලක් විදුලිබල මණ්ඩලය විසින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති අතර දැවි තෙල් හා ඩීසල් ලබා දීමට නම් රුපියල් බිලියන 18 ක මුදලක් කඩිනමින් ගෙවන ලෙසයි සංස්ථාව දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලයේ ඉල්ලුම අනුව දැවිතෙල් හා ඩීසල් ලබා දෙන්නේ නම් කප්පාදුවකින් තොරව විදුලිය ලබා දිය හැකි බවයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග කියා සිටියේ ෴

***************************************

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මියන්මාරයෙන් මිලදී ගනී

(07.01.2022 – 16:33 +0530 – hirunews.lk/sinhala)

ආරක්ෂිත තොගයක් ලෙස පවත්වාගෙන යාමට වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මියන්මාරයෙන් මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුම වෙළඳ අමාත්‍යාංශය සහ මියන්මාර නිලධාරීන් අතර අත්සන් තබා ඇති බවයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ.

මේ අතර ගෑස්, භූමිතෙල් සහ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා දිවයිනේ ප්‍රදේශ රැසක තවදුරටත් දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

එවන් පසුබිමක සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන කියා සිටියේ තිරිඟු‍ පිටි හිඟය හේතුවෙන් ඉදිරියේදී පාන් පෝලිම් ද ඇති විය හැකි බවයි.

මේ අතර, ගෑස් ආශ්‍රිත සිද්ධීන් තවදුරටත් වාර්තා වනවා.

මොරගහහේන, ගෝනපොළ ප්‍රදේශයේ නිවසක ගෑස් උඳුනක් පුපුරා ගොස් තිබුණේ ගෙහිමි කාන්තාව ආහාර පිසීමෙන් මද වේලාවකට පසුවයි.

ගම්පොල – පුපුරැස්ස – ඩේසන්වත්ත ප්‍රදේශයේ නිවසකත් ගෑස් ලිපක් පුපුරා ගොස් තිබුණා.

එසේම, ගෑස් ආශ්‍රිත අනතුරුවලදී පාරිභෝගිකයන්ට රුපියල් මිලියනයක රක්ෂණාවරණ පහසුකමක් හිමිවන බවත් 1311 අංකය ඇමතීමෙන් පාරිභෝගිකයින්ට එම රක්ෂණ පහසුකම ලබාගත් හැකි බවත් ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ හිරු ප්‍රවෘත්ති සමඟ ඊයේ (06) ප්‍රකාශ කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *