පෙරදිග ධාන්‍යාගාරයට සහල් ආනයනය කරන්න ලැජ්ජ නැද්ද මහත්තයෝ ?

පෙරදිග ධාන්‍යාගාරයට සහල් ආනයනය කරන්න ලැජ්ජ නැද්ද මහත්තයෝ ?

*********************************************

පෙරදිග ධාන්‍යාගාරයට සහල් ආනයනය කරන්න ලැජ්ජ නැද්ද මහත්තයෝ ?

(07.01.2022 – 12:12 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සමයේ මෙරට මහත් ආන්දෝලනයකට ලක් වූ චීන පොහොර නැවට අමෙරිකානු ඩොලර් ලක්ෂ 67 ක්, ශ්‍රී ලංකා රජය විසින් අද (07) දිනයේ දී (07) ගෙවා දැමීමට නියමිත යි.

ඒ චීන විදේශ අමාත්‍යවරයා හෙට (08) මෙරට දෙදින නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිත පසුබිමක යි.

පොහොර නැවේ අර්බුදය සමඟ චීන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ද යම් ආතතියකට ලක් වුණා.

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 65 වන සංවත්සර සැමරුම පදනම් කරගනිමින් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී හෙට (ජනවාරි 08) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන්නේ, බිඳුණු සිත් සුවපත් කරගැනීමට ද නැත්නම් තර්ජනයක් ලෙසින් ද යන්න පැහැදිලි නැහැ.

චීන පොහොර නැව පිළිබඳ කතාව මෙලෙස අවසන් වුණත් ඒ හරහා ශ්‍රී ලංකාවට අත්වූ ලැජ්ජා සහගත ඉරණම කෙසේ නම් සාධාරණීකරණය කළ හැකි ද ?

වන්දි නො ගෙවන බවට වූ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ දෙඩූ පුරාජේරු කතා සියල්ල චීන යකඩ සපත්තුවට පෑගී සුනුවිසුනු වී ඇති බව මේ වන විට පසක් වී අවසන් වුව ද ඒ බව රට කරවන බලධාරීන්ට තේරුම් ගොස් ඇත්දැ යි යන්න ගැටලුවක්.

දිගු කලක් තිස්සේ රඟ දැක්වුණු මේ නාටකය අවසානයේ මෙරටට ලැබුණු කාබනික පොහොරකුත් නැතුවා සේ ම, තිබුණු ඩොලර් සංචිත සොච්චමෙන් තවත් ඩොලර් ලක්ෂ 67 ක් අහිමි වීම ශ්‍රී ලංකාවට මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය තවත් තීව්‍ර කරනවා හැර මෙරටට අත්වන සෙතක් නැහැ.

චීන පොහොර නැවේ කථාව කරළියට එන්නේ, පසුගිය වසරේ මැයි මාසයේ දී ශ්‍රී ලංකා රජය විසින් ගත් ආන්දෝලනාත්මක ප්‍රතිපත්ති තීන්දුවක් සමගයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ගොවිතැනට අවශ්‍ය රසායනික පොහොර ආනයනය මුළුමනින්ම නවතා දැමු රජය, මෙරටට අවශ්‍ය කාබනික පොහොර රට තුලදීම නිපදවා හිඟයකින් තොරව ගොවීන්ට ලබාදෙන බවට වහසිබස් දෙඩුවා.

කෙසේ වෙතත් සැළසුම් කළ පරිදි මෙරට තුල කාබනික පොහොර නිෂ්පාදනය ව්‍යාපෘතිය සාර්ථක නොවූයේ ගොවීන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ඒ සදහා ප්‍රාමාණික දැනුමක් නො තිබීම හේතුවෙන්.

ඒ අනුව ‘පොහොර දියව්’ යන සටන් පාඨය මෙරට සතර දෙසින් ඇසෙන්නට වුණේ, ආණ්ඩුවේ ආන්දෝලනාත්මක තීරණයට බරපතල කනේ පහරක් එල්ල කරමින්.

ගොවිබිමෙන් මහපාරට ආ ගොවි ජනතාවගෙන් එල්ල වූ දැඩි බලපෑම් හමුවේ මහ කන්නයේ වී වගාව සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජය තීරණය කලේ සිය දැඩි තීරණය අඩියක් පිටුපසට ගනිමින්.

අගෝස්තු මස 05 දා නිකුත් වූ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව, මුහුදු පැළෑටිවලින් නිපදවන කාබනික පොහොර ‘කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප්’ නම් චීන සමාගමකින් ගෙන්වීමට තීරණය වුණේ ඒ අනුවයි.

ඒ සඳහා රජය විසින් අනුමත කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 63.6 ක්.

චීන පොහොර නැවේ අර්බුදය දිග හැරෙන්නට පටන් ගන්නේ ඉන් අනතුරුව යි.

අගෝස්තු මස 31 දා මෙම කාබනික පොහොර තොගයේ සාම්පල දෙකක් (2) ජාතික පොහොර ලේකම් කාර්යාලය හරහා ජාතික ශාක නිරෝධායන සේවයට ලැබීමෙන් පසු සිදු කෙරුණු පර්යේෂණවලින් එක් සාම්පලයක ‘අර්වීනියා’ සහ ‘බැසිලස්’ යන ගණයන්ගේ ක්ෂුද්‍රජීවීන් බහුල ව සිටින බවට පළමු වරට අණාවරණ වුණා.

කෙසේ වෙතත්, රජයෙන් ආනයනය කළ කාබනික පොහොරවල ක්ෂුද්‍රජීවීන් ඇතැයි පැතිර යන ප්‍රවෘත්ති අසත්‍යක් බවට කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදන නිකුත් කලේ ‘ආනයනික කාබනික පොහොර භාවිත කිරීමට කිසිදු බයක් සැකක් ඇතිකර නොගන්නා’ ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිමින්.

නමුත් මෙරට කෘෂි බාලධාරීන්, චීන සමාගමෙන් ගෙන් වූ පොහොරවල තවත් සාම්පලයක් පරික්ෂා කිරීමෙන් අනතුරු ව ප්‍රකාශ කළේ, අහිතකර ක්ෂුද්‍රජීවීන් සිටින බව යළි තහවුරු වූ බව යි.

ඒ අනුව චීන සමාගමෙන් ගෙන් වූ කාබනික පොහොරවල ක්ෂුද්‍රජීවීන් ඇතැ යි රජය පිළිගත් අතර, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එහි දී ප්‍රකාශ කළේ, පොහොර තොගය රැගෙන මෙරට මුහුදු සීමාවට පැමිණ ඇති ‘හිපෝ ස්ප්‍රීට්’ නැවට කිසි ලෙසකින් මෙරට වරායන් වෙත ඇතුළු වීමට හෝ අදාළ පොහොර තොගය ගොඩබෑම සදහා අවසර ලබා නො දෙන බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජයේ වාර්තා ප්‍රතික්ෂේප කළ අදාළ චීන සමාගම, මෙරටට දැඩිව බලපෑමක් එල්ල කළේ තෙවන (3) පාර්ශ්වයක සහභාගීත්වයෙන් මෙම කාබනික පොහොර තොගයේ සාම්පලවල අහිතකර බැක්ටීරියා ඇත්දැයි තහවුරු කළ යුතු බවට යි.

එසේ නො වන්නේ නම්, ඊට දැඩි ක්‍රියාමර්ග ගන්නා බවටත්, ඔවුන් අවස්ථා කිහිපයකදී මෙරට චීන තානාපති කාර්යාලය හරහා නිවේදන නිකුත් කරමින් ශ්‍රී ලංකාවට තර්ජනද කළා.

අහිතකර බැක්ටීරියා ඇති බවට ලැබුණු වාර්තා හේතුවෙන් මෙම පොහෙර තොගය ශ්‍රී ලංකාවට භාර නොගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කළ නිසා පොහොර මිලදී ගැනීමට විවෘත කළ ණයවර ලිපිවලට අදාල මුදල් ගෙවීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා පොහොර සමාගම හා කොළඔ කොමර්ෂල් පොහොර සමාගම කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩුවක්ද ගොනු කළා.

පෙත්සම්කාර පොහොර සමාගම් එහි දී අධිකරණය හමුවේ කරුණු දක්වමින් රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට ගෙන්වීමේ ටෙන්ඩරය ලබා ගත් වග උත්තරකාර ‘කුවින්ඩාඕ සිවින් බයොටෙක් ගෘප්‍ කොම්පනි’ නමැති චීන සමාගම එම ටෙන්ඩරය ක්‍රියාත්මක කරමින් පොහොර තොගයක් ලංකාවට එවීමට පියවර ගත් බව දැනුම් දී තිබුණා.

ඒ අනුව ජීවානුහරණය කළ කාබනික පොහොර මෙරටට නැව්ගත කිරීමට අවශ්‍යව තිබූණ ද එම කාබනික පොහොරවල ක්ෂුද්‍ර ජීවීන් සිටින බව අදාළ සමාගම නැව් උපදෙස් පත්‍රිකාව මගින් පිළිගෙන ඇතැ යි ඔවුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ජාතික ශාක නිරෝධායන සේවය වෙත වගඋත්තරකාර චීන සමාගම විසින් යවා ඇති පොහොර නියදිය පරීක්ෂා කිරීමේ දී එහි ඇතැම් පොහොර කොටස්වල හානිකර බැක්ටීරියා ඇතුළු ජීවින් සිටින බව තහවුරු වී ඇතැයි ද සඳහන් කළ එම සමාගම් මේ තත්ත්වය මත වගඋත්තරකාර චීන සමාගම ටෙන්ඩරයේ පිළිගෙන තිබූ කරුණු සම්පූර්ණ කොට නැතැයි ද චෝදනා කළා.

ඒ අනුව අදාළ චීන සමාගම වෙනුවෙන් නිකුත් කොට ඇති ණයවර ලිපියට අනුව කිසිදු මුදලක් එම සමාගමට, එහි දේශීය නියෝජිත ආයතනය වෙත හෝ මහජන බැංකුව වෙත ගෙවීම් හෝ ලබා ගැනීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැ යි එම සමාගම අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

ඒ අනුව මෙම පොහොර තොගයට මුදල් ගෙවීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය පසුගිය ඹක්තෝම්බර් මාසයේදී චීන ‘කුවින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප්’ සමාගමට එහි දේශීය නියේජිත සමාගමට සහ මහජන බැංකුවට වාරණ නියෝගයක් ද නිකුත් කෙරුණා.

මෙම ගනුදෙනුව සදහා විවෘත කර තිබූ ණයවර ලිපිවල කොන්දේසි උල්ලංඝනය කර ඇතැයි පවසමින් මෙරට මහජන බැංකුව අසාධු ලේඛන ගත කිරීමටද චීනයේ වාණිජ අමාත්‍යංශය පියවර ගනු ලැබුවේ මීට එකට එක කිරීමක් ලෙස යි.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නවත නැවතත් අවස්ථා ගණනාවක දී ම අවධාරණය කළේ, පොහොර නැවට කිසිදු හේතුවක් මත මුදල් නො ගෙවන බවයි.

මෙවැනි වාතාවරණයක් යටතේ අදාළ පොහොර තොගය රැගෙන පැමිණි ‘හිපෝ ස්පිරිට්’ නෞකාව දින 70 ක් මෙරට මුහුදු සීමාවේ රැදී සිටීමෙන් අනතුරු ව නියැදි ලබා ගැනීම හා බේරුම්කරණය සදහා පසුගිය දෙසැම්බර් 04 වැනි දා සිංගප්පූරුව බලා පිටත් ව ගියා.

චීන සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඇති කරගෙන තිබූ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති අර්බුදකාරී තත්ත්වය දෙපාර්ශ්වයටම එකඟවිය හැකි වාණිජ කොන්දේසි මත සමථයකට පත් කර ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබා දුන්නේ මේ අතර වාරයේ යි.

ඒ අනුව නඩුව අවසන් වරට කැඳ වූ අවස්ථාවේ දෙපාර්ශවයේ නීතිඥවරුන් විසින් කොළඹ වානිජ මහාධිකරණය ඉදිරියේ පවත්වාගෙන ගිය මෙම නඩු කටයුත්ත සමථයට පත් කිරීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම කරුණු සලකා බැලූ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා මෙම නඩු කටයුත්ත සමථයට පත් කිරීමට තීන්දු කළා.

ඒ අනුව මුදල් ගෙවිම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය ද විසුරුවා හරිනු ලැබුවා.

සමථ කොන්දේසිවලට අනුව ප්‍රමිතියෙන් යුත් පොහොර සැපයීම වෙනුවෙන් පැමිණිලිකාර කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට එකඟ වුණා.

ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නො දෙන්නේ නම්, චීන සමාගම තැන්පත් කර ඇති මුදල් රාජසන්තක කිරීමට ද දෙපාර්ශවය අධිකරණය හමුවේ එකඟ වුණා.

එමෙන්ම පොහොර අදාල පිලිවිතරයන්ට නො මැති නම් ඒවා ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ද පැමිණිලිකාර පාර්ශ්වය සතු වන බව සමථ කොන්දේසී වල සඳහන්.

ඇමෙරිකානු ඩොලර් මිලයන 6.7 ක් ‘කුවින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප්’ සමාගමට අද ගෙවනු ලබන්නේ ඒ අනුවයි.

කෙසේ වෙතත් පොහොර නැවට මුදල් ගෙවූවද වගාබිමට හෝ මෙරට ගොවියාට ඉන් කිසිදු සෙතක් අත් වී නොමැති අතර, පොහොර නොමැති වීම හේතුවෙන් දිනෙන් දින විනාශ වෙන වගාබිම් දෙස බලමින් ඔවුන් මෙරට කෘෂි බලධාරීන්ට සාප කරමින් සිටිනවා.

ඉදිරියේ දී රට තුල ප්‍රමාණවත් නිෂ්පාදනයක් නොමැති වීම හේතුවෙන් ආහාර හිඟයක් ඇති විය හැකි බව ප්‍රාමාණික බුද්ධිමතුන් අදහස් පළකර සිටි අතර එම ස්ථාවරයම දැරූ විෂයේ ප්‍රවීණයෙක් ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ මහාචාර්ය උදිත් ජයසිංහට අවසන සිදු වූයේ අමාත්‍යාංශයට සමු දී යළි විශ්වවිද්‍යාලය වෙත යෑමටයි.

නිසි කලට පොහොර නොදී නිසි සැලසුමකින් තොරව 100% කාබනික පොහොර වගා සංග්‍රාමයක් දියත් කිරීම හරහා මඩ සෝදා ගත් කල රජකමටත් සුදුසුකම් දැරූ මෙරට ගොවියා අන්ත අසරණ කළ කෘෂිකර්ම ඇමති දැන් කියන්නේ, හිඟයක් ඇති වුව හොත් ආහාර ඇති රටවලින් ආහාර ගෙන එන බවයි.

කුඹුරු නැති සිංගප්පූරුවේ ජනතාව බඩගින්නේ සිටින්නේ දැයි ජනතාවගෙන් ප්‍රශ්න කරන කෘෂි ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ශ්‍රීමතානන්ගෙන් අපිට අහන්නට ඇත්තේ, “පෙරදිග ධාන්‍යාගාරයට සහල් ආනයනය කරන්නට ලැජ්ජ නැද්ද මහත්තයෝ” යනුවෙනු යි.

***************************************

පාස්කු නඩුවලින් නිදොස් කරන්නැයි ඉල්ලා මෛත්‍රී කළ ඉල්ලීම ඉවතට

(07.01.2022 – 12:31 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවේ ඇති අඩුපාඩු සම්බන්ධයෙන් විවේචන එල්ල කිරීමත් සමඟ රජයේ සිටින තම පක්ෂයේ අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ද ඉදිරියේදී සුසිල් ප්‍රේමජයන්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට අත්වූ ඉරණමට මුහුණ දීමට සිදුවනු ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් දිසා සමුළුවට අද (07) එක්වෙමින්.

මේ අතර, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති නඩු විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කර තමන්ව එම චෝදනාවලින් නිදහස් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය අද (07) ප්‍රතික්ෂේප කළා.

අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවේ හිටපු ජනාධිපතිවරයා ගොනු කළ මෝසමක් කොළඹ අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා සලකා බැලූ අවස්ථාවේදීයි ෴

***************************************

සිගිරිය ගැන හිරු ප්‍රවෘත්තිය ඵල දරයි

(07.01.2022 – 13:06 +0530 – hirunews.lk/sinhala)

ලෝක උරුම සීගිරිය නව නගරයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සති දෙකක් (2) ඇතුලත අවසන් කරන ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආගමික හා කලා කටයුතු අධ්‍යක්ෂ පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් එම ආයතනයට දැනුම් දී තිබෙනවා.

ඒ, දෙස් විදෙස් සංචාරකයින්ගෙන් මුදල් අයකළද අවම සනීපාරක්ෂක පහසුකම් හෝ නොමැති ලෝක උරුම සීගිරිය නව නගරය පිළිබඳව අප මීට දින දෙකකට ඉහතදී හිරු ප්‍රවෘත්ති තුළින් කළ අනාවරණයෙන් අනතුරුවයි.

එහිදී අප පෙන්වා දුන්නේ, මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙහි පැමිණෙන දේශීය සංචාරකයෙකුගෙන් රුපියල් 100 ක් මෙන්ම විදේශීය සංචාරකයෙකුගෙන් ඩොලර් 30 ක මුදලක් අය කළ ද ඔවුන් සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බවයි.

මේ වනවිට මඩ ගොහොරුවක් බවට පත්ව ඇති සිගිරිය නව නගරයේ රථ ගාල සඳහාද දඹුල්ල ප්‍රාදේශීය සභාව මුදල් අයකරන බව ද අප එහිදී පෙන්වා දුන්නා.

එසේම හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප පෙන්වා දුන්නේ, සීගිරිය නව නගරය සුනඛයන්ගේ රජදහනක් බවට පත්ව ඇති බවයි.

එම පුවත සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය මේ වන විට යොමු වී තිබෙනවා.

ඒ අනුව, මෙම ගැටළුව පිළිබඳ සොයා බැලීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ – ආගමික හා කළා කටයුතු අංශයේ අධ්‍යක්ෂ පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සීගිරිය ප්‍රදේශයට වැඩම කළා.

ඒ අප හෙළි කළ පුවත පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අවධානය යොමුවීමෙන් පසු ලබා දුන් උපදෙස් අනුවයි.

මෙහිදී පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් උපදෙස් දුන්නේ දඹුල්ල ප්‍රාදේශීය සභාව, මධ්‍යම සංස්කෘතික අරමුදල හා එක්ව කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර සීගිරිය නව නගරයේ යටිතල පහසුකම් සංවර්ධනය කරන ලෙසයි.

***************************************

මණ්ඩලය, සංස්ථාවෙන් දැවිතෙල් සහ ඩීසල් ඉල්ලයි

(07.01.2022 – 13:15 +0530 – hirunews.lk/sinhala)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් අවශ්‍ය දැවිතෙල් සහ ඩීසල් ඉල්ලුමට ප්‍රමාණවත් පරිදි ලබාදෙන්නේ නම් විදුලිය සැපයුම, කප්පාදුවකින් තොරව පවත්වාගෙන යා හැකි බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග කියා සිටියේ, එසේ වුවහොත් දැනට භාවිතයට නොගන්නා විදුලි ජනන යන්ත්‍ර හරහා මෙරට විදුලි ඉල්ලුම සපුරාලිය හැකි බවයි.

කැළණි තිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් සහ කුකුළේගඟ ව්‍යාපෘතියේ යන්ත්‍ර දෙකක් (2) අක්‍රියවීම හේතුවෙන් ඊයේ (06) පස්වරුවේ දිවයින පුරා ප්‍රදේශ රැසකට වරින්වර විදුලිය බිඳවැටීම් සිදුවුණා.

ඒ, මෙගාවොට් 2,600 ක් ව පවතින ජාතික විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට අපොහොසත්වීම හේතුවෙන්.

මේ වනවිට මෙගාවොට් 300 ක් ජාතික පද්ධතියට මුදාහැරෙන නොරොච්චෝලේ බලාගාරයේ එක් (1) ජනන යන්ත්‍රයක්ද නඩත්තු තත්වයේ පවතින අතර, එම කටයුතු තවමත් අවසන්ව නැහැ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දමා ඇති පසුබිම තුළ මෙරට තාප බලාගාර සඳහා අවශ්‍ය දැවි තෙල් සම්බන්ධයෙන් අර්බුදයක් මතුවිය හැකි බවට හිරු ප්‍රවෘත්ති පෙරේදා (05) පළමුවරට අනාවරණ කළා.

මෙරට විදුලි අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් (1/3) සපුරනු ලබන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ සහ පෞද්ගලික ඩීසල් තාප බලාගාරවලින් වන අතර, අප පෙන්වා දුන්නේ එම බලාගාරවල පවතින ඉන්ධන ප්‍රමාණවත් වන්නේ දින කිහිපයක් සඳහා පමණක් බවයි.

එවැනි පසුබිමක කැළණිතිස්ස බලාගාරයේ සහ කුකුළේ ගඟ ව්‍යාපෘතියේ ජනන යන්ත්‍ර ඊයේ (06) ආපදාවට ලක්වූ අතර, කුකුළේ ගඟ ව්‍යාපෘතියේ ජනන යන්ත්‍රය මේ වනවිට යථා තත්වයට පත් කර තිබෙනවා.

අද (07) පස්වරුව වනවිට කැළණිතිස්ස බලාගාරයේ අක්‍රියවූ ජනන යන්ත්‍රයද යථා තත්වයට පත් කිරීමට අපේක්ෂා කෙරෙන බවයි, ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

කෙසේ වෙතත් දැනට භාවිතයට නොගන්නා විදුලි ජනන යන්ත්‍ර යොදාගනිමින් විදුලිය අඛන්ඩව ලබාදීමට මේ වනවිට දැවිතෙල් සහ ඩීසල් ප්‍රමාණවත්ව නොමැතිවීමද ගැටළුවක් වී ඇති බව, විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග කියා සිටියා.

මේ අතර, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය සඳහා වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර අත්සන් කිරීමෙන් අධිකරණයට යෑමේ බාධා මතුව ඇති බව, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ, රාජගිරියේ ඊයේ (06) පැවති සමුළුවකට එක්වෙමින්.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ (06) කියා සිටියේ, ලබන 10 වනදා නව ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් පසු 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

එමෙන්ම එය ලබන අඟහරුවාදා (11) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වෙබ් අඩවියේ එය පළ කිරීමටද නියමිතයි.

+++++++++++

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දීය සමාගමකට පැවරීමට අදාළ ගිවිසුම බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(07.01.2022 – 13:47 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකිවලින් කොටසක් ඉන්දීය සමාගමකට පැවරීමට අදාළ ගිවිසුම බල රහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඒ ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් විසින්.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්තය සංවර්ධනය සඳහා වන ගිවිසුමට ඊයේ (06) අත්සන් තැබුණා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ව්‍යාපාර කටයුතු සඳහා තෙල් ටැංකි 24ක් වෙන් කෙරෙන අතර, ලංකා අයි. ඕ. සී. සමාගම දැනට භාවිතයට ගනිමින් පවතින පහළ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 14ම ඒ සඳහා තවදුරටත් වෙන් කෙරෙනවා.

එමෙන්ම ඉතිරි තෙල් ටැංකි 61 ඒකාබද්ධව සංවර්ධනය කෙරෙන්නේ ටි්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම මගින්.

එහි සියයට 51 ක කොටස් ඛනිජ තෙල් සංස්ථාවට හිමිවන අතර, සියයට 49 ක කොටස් හිමිවන්නේ ලංකා අයි.ඕ.සී සමාගමටයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *