ගෑස් පිපිරීම් පසුපස කුමන්ත්‍රණයක් තිබෙනවා – ජොන්ස්ටන්

ගෑස් පිපිරීම් පසුපස කුමන්ත්‍රණයක් තිබෙනවා – ජොන්ස්ටන්

*********************************************

ගෑස් පිපිරීම් පසුපස කුමන්ත්‍රණයක් තිබෙනවා – ජොන්ස්ටන්

(06.01.2022 – 17:54 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ගෑස් පිපිරීමේ සිදුවීම් වාර්තා වුව ද, කිසිදිනෙක කොළඹ 07 න් ගෑස් පුපුරා යාමේ සිද්ධීන් වාර්තා නොවන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, උතුරු පළාතේ හෝ මහනුවර සහ කුරුණෑගල ආදී ප්‍රදේශවල මෙවැනි ගෑස් පිපිරීමේ සිද්ධීන් අනාවරණ වී නොමැති අතර, මෙම ගෑස් පිපිරීම් පසුපස කිසියම් කුමන්ත්‍රණයක් තිබේ දැයි යන්න මේ වන විට සැකයක් මතුව ඇති බවයි.

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ පැවති අතර, එම උත්සවයට එක්වෙමිනුයි, අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

එමෙන්ම මෙම නව වසර ධනාත්මක චින්තනයෙන් යුතුව ඉදිරියට යා යුතු බවත්, පසුගිය වසරවලදී කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ අර්බුද ගණනාවටම මෙවර විසඳුම් සොයා කඩිනමින් නිසි වැඩපිළිවෙළක් සකස් කරගත යුතු බවත් අමාත්‍යවරයා පැමිණ සිටි පිරිස අමතමින් ප්‍රකාශ කළා.

රට තුළ විදේශ සංචිත අඩු වීමක් සිදුව ඇති බැවින්, භාණ්ඩ මිල ඉහළ යාමකට ජනතාව මුහුණ දී ඇති අතර, සිදුව ඇති ගෑස් පිපිරීම් සම්බන්ධ ජනාධිපතිවරයා විසින් ඉතා සූක්ෂ්ම අයුරින් මේ වනවිට පරීක්ෂණයක් සිදු කර ඇති බවත් මහාමාර්ග අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

පසුගිය කාල වකවානුවේ දී ඇනහිටි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ක්‍රමවත් ව මෙම වසරේ දී සිදු කිරීමට රජය විසින් සියලුම ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරියේ දී ගෑස් ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් ලැබී ජනතාවගේ ජීවන බර අවම මට්ටමකට රැගෙන ඒම සිය රජයේ අපේක්ෂාව බවයි.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

මේ අතර, සෑම ලිට්රෝ ගෑස් සිලින්ඩරයකටම අදාලව රුපියල් මිලියනයක (10,00,000) රක්ෂණාවරණයක් පාරිභෝගිකයන්ට හිමිවන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කළේ 1311 අංකය ඇමතීමෙන් පාරිභෝගිකයන්ට ඒ සදහා අවශ්‍ය කටයුතු සිදුකරගත හැකි බවයි.

අප මේ සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගමේ හිමිකාරීත්වය හොබවන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් විමසීමක් කළා.

එහි සභාපති විජිත හේරත් ප්‍රකාශ කළේ මීට මාසයකට පමණ ඉහතදී ලිට්‍රෝ සමාගම විසින් ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් නව රක්ෂණාවරණයක් ලබාගෙන ඇති බවයි.

ගෑස් අනතුරු සඳහා ලිට්‍රෝ සමාගමේ නිර්දේශය පරිදී වන්දි ලබා දීමට කටයුතු කරන බව රක්ෂණ සංස්ථාව ප්‍රකාශ කළා.

නමුත් ඒ සඳහා අදාල පිපිරීම සෘජුවම ගෑස් නිෂ්පාදනයේදී සිදුවූ දෝෂයකින්ම සිදුවූ බවට තහවුරු කළ යුතු වනවා.

මේ අතර, ගෑස් ආශ්‍රිත පිපිරීමක් හේතුවෙන් පිලිස්සුම් තුවාල ලැබූ කාන්තාවකගේ සැමියෙක් අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කළා.

මේ අතර, තවමත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වනවා.

අද (06) දිනයේදී මන්නාරම – දරවාන්කුලම් ප්‍රදේශයේ නිවසක සිදුවූ ගෑස් ආශ්‍රිත සිදුවීමකින් නිවස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වුණා.

එසේම, ත්‍රිකුණාමලය – සාම්පූර් හි නවරත්නපුරම් ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් පුපුරා ගොස් ඇත්තේ ආහාර පිසිමින් සිටින විටදීයි.

මේ අතර, පසුගිය 03 වෙනිදා කොළඹ තරු පන්තියේ හෝටලයක මුළුතැන්ගෙයි ඇතිවූ පිපිරීමට හේතුව ගෑස් කාන්දු වීමක් බව පොලිසිය අද (06) තහවුරු කළා.

***************************************

චීන පොහොර සමාගමට හෙට (07) ඩොලර් මිලියන 6.7 ක්

(06.01.2022 – 18:13 +0530 – hirunews.lk/sinhala)

මහභේදයට ලක්වූ චීන පොහොර නැව අයත් සමාගමට මහජන බැංකුව විසින් හෙට (07) දිනයේ ඇමරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.

බැක්ටීරියා අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට, හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලන ලෙස ඉල්ලා පවරා තිබූ නඩුව පසුගිය 3 වනදා කොළඹ වාණිජ මහාධිකරණයේදී සමථයට පත්වුණා.

ඒ අනුව මුදල් ගෙවිම වළක්වාලමින් මහජන බැංකුවට එරෙහිව පනවා තිබූ වාරණ නියෝගය විසුරුවා හැරීමටයි කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කළේ.

දෙපාර්ශ්වයේ නීතිඥවරු විසින් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් මෙම නඩු කටයුත්ත සමථයට පත් කිරීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සමථ කොන්දේසි වලට අනුව ප්‍රමිතියෙන් යුත් පොහොර සැපයීම වෙනුවෙන් පැමිණිලිකාර කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට එකඟ වුණා.

ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් චීන සමාගම තැන්පත් කර ඇති මුදල් රාජසන්තක කිරීමට ද දෙපාර්ශවය අධිකරණය හමුවේ එකඟ වුණා.

ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් ඒවා ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ද පැමිණිලිකාර පාර්ශ්වය සතු වන බව සමථ කොන්දේසි වල සඳහන්.

මේ යටතේ මුලින්ම මෙට්‍රික් ටොන් 90,000 ක් කාබනික පොහොර ලබා ගැනීමට එකඟතාවය පළ වී තිබුණ ද මුල් අදියර යටතේ මෙට්‍රික් ටොන් 20 ක් ලබාගැනීමට සමථ කොන්දේසි ඔස්සේ පැමිණිලිකාර සමාගම එකඟ වී තිබෙනවා.

කරුණු සලකා බැලූ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා එදින මෙම නඩු කටයුත්ත සමථයට පත් කිරීමට තීන්දු කළා.

මේ අතර ශ්‍රී ලංකාවේ ආහාර හිඟයක් ඇතිවුවහොත් ඊට පිළියම් ලෙස විදෙස් රටවලින් ආහාර ආනයනය කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා ප්‍රකාශ කළේ.

මේ අතර, රජයේ අනුවණ තීරණ හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට ආණ්ඩුව කොන්දේසි විරහිතව වන්දි ලබා දිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළා.

පොහොර නොමැතිව වගා හානි වීම හේතුවෙන් ප්‍රදේශ රැසක ගොවි ජනතාව තවදුරටත් පත්ව සිටින්නේ දැඩී පීඩාවකටයි.

රජය කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමත් සමඟ ගොවීන් මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී සිටින්නේ කාබනික හෝ රසායනික පොහොර කිසිවක් සපයා ගත නොහැකි වීමෙන්.

මෙම තත්තවයත් සමග ඉදිරියේදී දැඩි ආහාර හිඟයක් ද ඇතිවීමේ අවදානමක් ඇති බවට බොහෝ කෘෂි විශේෂඥයින් අනතුරු අඟවන පසුබිමක මෙරට වැඩි වශයෙන් වී වගාකරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් සිය වගාවන් නිසරු වීමෙන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා ෴

***************************************

කෘෂිකර්ම ඇමතිට ගොවීන්ගෙන් පිළිතුරු – සහල් හිඟයක් ගැනත් අනතුරු ඇඟවීම්

(06.01.2022 – 20:10 +0530 – hirunews.lk/sinhala)

වී කිලෝවක් රුපියල් 75 කට මිලදී ගැනීමේ කටයුතු රජය ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුව ද එම මිලට හෝ ලබාදීමට වී තොග තමන් සන්තකයේ නොමැති බව ගොවීන් පවසනවා.

මේ අතර, යල කන්නයේ මිලදී ගත් වී තොග මේ වන විට අවසන් ඇති බවයි වී අලෙවි මණ්ඩලයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.

කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (05) සඳහන් කළේ වී කිලෝග්‍රෑමයක් රුපියල් 75 කට මිලදී ගැනීම ආරම්භ කර ඇති බවයි.

මේ අතර මහ කන්නයේ වී අස්වනු නෙළීම ජනවාරි 15 වනදායින් පසු ආරම්භ කෙරෙන අතර ඒ අනුව එම අස්වනු මිලදී ගැනීමට සූදානම් බව වී අලෙවි මණ්ඩලය ප්‍රකාශකර තිබෙනවා.

මේ අතර සහල් නිෂ්පාදකයින් අනතුරු අඟවන්නේ නිසි කලට වී අස්වනු නොලැබීම නිසා ඉදිරියේදී සහල් මිලදී ගැනීම සඳහාද ජනතාවට පෝලිම්වල රැඳී සිටීමට සිදුවිය හැකි බවයි.

නිසි කලට අස්වනු නොලැබී යාම නිසා ඉදිරියේදී සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුවන බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කළා.

එහි සභාපති මුදිත් පෙරේරා කියාසිටියේ සහල් නිෂ්පාදනයට අවශ්‍ය වී ප්‍රමාණවත් පරිදි මෙතෙක් නොලැබෙන බවයි.

ලබන පෙබරවාරි මස අවසානය වන විට ශ්‍රී ලංකාව තුල විශාල සහල් හිඟයක් ඇතිවනු ඇතැයි ඔහු අනතුරු අඟවනවා.

කිරිපිටි සහ ගෑස්වලට මෙන් සහල් ලබා ගැනීමට ද පෝලිම්වල රැඳී සිටීමට ජනතාවට සිදුවනු ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8 ක් 10 ක් පමණ ආනයනය කිරීමට රජයට ඇමරිකානු ඩොලර් මිලියන 450 කට ආසන්න මුදලක් වැයවනු ඇතැයි ද ඔහු පෙන්වා දුන්නා.

මේ අතර, චීන පොහොර නෞකාව සඳහා ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදල මහජන බැංකුව විසින් හෙට (07) දිනයේ ගෙවීමට නියමිත බවත් වාර්තා වුණා.

මේ අතර පොහොර නොමැතිව ගොවීන් අසීරුතාවට පත්වීමේ සිද්ධි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තවදුරටත් වාර්තා වනවා.

මේ අතර, සේරුවිලදී පැවති රැස්වීමක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේ රසායනික පොහොර තහනම් කිරීමේදී වගා විනාශයන් සඳහා වන්දි ලබාදෙන බව මුලින් පැවසූ කෘෂිකර්ම අමාත්‍යවරයා මේවන විට ගොවි ජනතාවට වන්දි ලබාදීම වෙනුවෙන් කොන්දේසි දමමින් සිටින බවටයි.

***************************************

කොළඹ සහ අවට ප්‍රදේශ කිහිපයකට විදුලි බිඳවැටීමක්

(06.01.2022 – 20:14 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකට විදුලි බිඳවැටීමක් සිදුව තිබෙනවා.

කැළණිතිස්ස විදුලිබලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වීම මීට හේතුව බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ සාමානාධිකාරීවරයා කියාසිටියේ.

ඒ අනුව මහරගම සහ කෝට්ටේ ඇතුලු ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණහිට ඇති බව වාර්තා වනවා ෴

***************************************

වැටුණු ආර්ථිකය ගැන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ගැටේ

(06.01.2022 – 21:24 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුව වනාහි රටේ ජීවත් වන ගොවි ජනතාව දැඩි අසීරුතාවට ලක් කරමින්, ඔවුන්ට පොහොර ඉල්ලා පාරට බැසීමට ඉඩ සැලැස්වූ රජයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසනවා.

අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, රුපියල් 5000 ක් වැනි මූල්‍යාධාරයක් ලැබීමට නම් ගොවි ජනතාවට ගෙවතු වගාවට යොමුවන ලෙසට රජය විසින් දැනුම් දී ඇති බවයි.

මෙම ක්‍රියාවලිය මෙලෙස සිදු වුවහොත්, පවුල් පාලනය පමණක් රටට ඉතිරි වනු ඇති බවට ද හෙතෙම සඳහන් කළා.

මේ අතර, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි අද (06) පැවති මාධ්‍ය හමුවකදී රට තුළ උද්ගතව පවතින විදේශ සංචිත අඩුවීම සහ ඩොලර් හිඟය සම්බන්ධයෙන් ද අදහස් පළ කරනු ලැබුවා.

මන්ත්‍රීවරයා කියා සිටියේ,සිය රජයට මුදල් මුද්‍රණය කිරීම හැර ආර්ථිකය ගොඩගැනීමට වෙනත් විකල්පයක් නැතැ‍යි සිතීම මෙන් ජනතාව රැවටිය හැකි ඇස් බැන්දුමක් ඔවුන් ඉදිරියේ සිදු කළ නොහැකි බවයි.

***************************************

නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු ජනවාරි 12 ඇරඹෙයි

(06.01.2022 – 22:57 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු ජනවාරි 12 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ මෙම සංවර්ධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් මූලික ප්‍රතිපාදන ලෙස ඩොලර් මිලියන 510 ක් යොදවන බවයි.

ඒ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300 ක ණය මුදලක් ලබාගැනීමට නියමිත අතර 2024 වසරේ මැද භාගය වන විට නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් අවසන් කිරීමටයි නියමිතව ඇත්තේ ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කෙරෙන, නීති සම්පාදනය කර අවසන්

(06.01.2022 – 07:28 +0530 – hirunews.lk/sinhala)

පොදු ස්ථානවලට ප්‍රවේශ වීමට එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට අදාළ නීති සම්පාදන කටයුතු අවසන් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.

මේ අතර ඊයේ (05) දිනයේ මෙරටින් ආසාදිතයින් 550 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

නව ආසාදිතයන් 550 දෙනා සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වූණේ 5,89,479 ක් ලෙසයි.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 13,002 ක් වනවා.

නව මරණ 10 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15,065 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, මේ වනවිට මෙරට සියලු ප්‍රදේශවලින් ඔමික්‍රෝන් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ (05) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ, පවතින තත්ත්වය හමුවේ බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමට සියලු පුරවැසියන් යුහුසුලුව කටයුතු කළ යුතු බවයි.

එම එන්නත මගින් විවිධ සංකූලතා ඇති වන බවට පල වන වාර්තා මෙතෙක් විද්‍යාත්මකව සනාථ වී නො මැති බව ද ඔහු ප්‍රකාශ කළා.

++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 145 ක් සුවය ලබයි

(06.01.2022 – 15:08 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 145 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,61,557 ක් ලෙසටයි.

මෙරටින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 5,89,479 ක් හමුවී තිබෙනවා.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 12,857 ක්. මෙරටින් කොරෝනා මරණ 15,065 ක් වාර්තාවී තිබෙනවා ෴

+++++++++

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 18 ක්

(06.01.2022 – 18:17 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 18 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (05) තහවුරු කර ඇති මෙම මරණ ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15,083 ක් ලෙසටයි.

ඊයේ (05) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 6 ක් සහ පිරිමින් 12 ක් වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් ඊයේ (05) තහවුරු කර නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 5 ක් වාර්තාවී ඇති අතර ඒ පිරිමි පුද්ගලයන් 5 දෙනෙක්.

අවුරුදු 60 ට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි 7 ක් සහ කාන්තාවන් 6 ක් මියගිය පිරිසට අයත්.

මේ අතර ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 5,89,479 ක් හඳුනාගෙන තිබෙනවා.

ඉන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 12,857 ක්.

5,61,557 ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *