කොටදෙණියාවෙන් අතුරුදන් වූ ළමුන් දෙදෙනා (2) මීරිගමින් හමුවූ හැටි හෙළිවෙයි

කොටදෙණියාවෙන් අතුරුදන් වූ ළමුන් දෙදෙනා (2) මීරිගමින් හමුවූ හැටි හෙළිවෙයි

*********************************************

කොටදෙණියාවෙන් අතුරුදන් වූ ළමුන් දෙදෙනා (2) මීරිගමින් හමුවූ හැටි හෙළිවෙයි

(06.01.2022 – 17:18 +0530 – hirunews.lk/sinhala)

කොටදෙණියාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ කුඩා ළමුන් දෙදෙනා (2) මීරිගම නගරයේදී හමුවී ඇත්තේ ඊයේ (05) රාත්‍රී ආහාර ලබාගැනීම සඳහා වෙළඳසැලක් වෙත පැමිණි අවස්ථාවේදී බවට හෙළිවී තිබෙනවා.

එම වෙළඳසැලේ කාන්තාව විසින් මෙම ළමුන් දෙදෙනා (2) නිවසට කැඳවාගෙන ගොස් ආහාරපාන ලබාදී තොරතුරු විමසීමක් කර අද (06) උදෑසන මීරිගම පොලිසියට භාරදී තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ මෙම ළමුන් කොටදෙණියාව පොලිස් වසමේදී අතුරුදන් වූ ළමුන් දෙදෙනා (2) බවටයි.

පසුව වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් කොටදෙණියාව පොලිසියට භාරදී තිබෙනවා.

කොටදෙණියාව පොලිස් වසමේ බාඳූරාගොඩ ප්‍රදේශයේ පදිංචි ඥාති සොහොයුරන් වන අවුරුදු 10 සහ 12 වයස්වල පසුවන ළමුන් දෙදෙනා (2) අතුරුදන්ව ඇති බවට පසුගිය නොවැම්බර් මස 23 වනදායි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ.

අනතුරුව ඔවුන් සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පැතූ අතර ළමුන් දෙදෙනාගේ (2) ඡායාරූප ද ප්‍රසිද්ධියට පත් කෙරුණා.

දින 43 කට පසුවයි අනතුරුව ඔවුන් හමුවුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය සහ කොටදෙණියාව පොලීසීය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, දරුවන් දෙදෙනා (2) අතුරුදන්ව සිටි කාලය තුල ඔවුන් රැදී සිටි ස්ථාන සහ අතුරුදන් වූ ආකාරය අනාවරණ කර ගැනීම සඳහා සම්බන්ධයෙන් අදාළ විමර්ශන ක්‍රියාත්මක බවයි.

පොලීසිය මොවුන්ගේ ඡායාරූප සහ තොරතුරු අවස්ථා දෙකකදී (2) මාධ්‍ය වෙත නිකුත් කළ ද කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙන් මෙහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබුවා.

දරුවන්ගේ මවගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඇය ද පරස්පර ප්‍රකාශ නිකුත් කර තිබුණා ෴

+++++

මීරිගමින් හමුවූ කොටදෙණියාවේ දරුවන් නිවසට යාම ප්‍රතික්ෂේප කරයි

(06.01.2022 – 19:46 +0530 – hirunews.lk/sinhala)

තමන් නිවසින් පළාගියේ මව ඇතුළු නිවැසියන් පහරදීම නිසා බව අතුරුදන්ව සිට මීරිගම නගරයේ රැදී සිටියදී සොයා ගනු ලැබූ කොටදෙණියාව – වත්තේමුල්ල, බඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනා (2) පාපොච්චාරණය කර තිබෙනවා.

තම බාල සොහොයුරා රැක බලා නොගැනීම හේතුවෙන් මව මෙලෙස පහරදෙන බවයි එම දරුවන් පොලීසියට සඳහන් කර ඇත්තේ.

ඇතැම් අවස්ථාවලදී පවුලේ ඥාතීන් මෙම දරුවන්ගේ පාසල් ගමනට ද බාධා එල්ල කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

අවුරුදු 10 සහ 12 යන වයස්වල පසුවන මෙම දරුවන් අතුරුදන්වී දින 43 කට පසු අද (06) සොයා ගනු ලැබුවේ මීරිගම නගරයේ වෙළඳසැලක හිමිකාරිනියක් මොවුන් සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුවයි.

ආහාරයට යමක් ඉල්ලා මොවුන් ඊයේ (05) මෙම වෙළඳසැලට පැමිණ ඇති අතර, පසුව වෙළඳසැල හිමි කාන්තාව, දරුවන්ට රාත්‍රියේ කාලයේ සිය නිවසේ ගත කිරීමට අවස්ථාව සලසා දීමෙන් පසු අද (06) උදෑසන මේ පිළිබඳව පොලීසිය දැනුවත් කර තිබෙනවා.

ළමුන් දෙදෙනා (2) පොලිසියට ප්‍රකාශ ඇත්තේ තමන්ට මව ඇතුළු නිවැසියන් අවස්ථා කිහිපයකදි පහරදිම හේතුවෙන් නිවෙසින් පළා ගිය බවයි. මේ නිසා යළි නිවෙස වෙත යාම ප්‍රතික්ෂේප කරන බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.

දරුවන් දින ගණනාවක් මීගමුව ප්‍රදේශයේ රන් ආභරණ අලෙවිසැලක සිටි බවට සිදු කළ ප්‍රශ්න කිරිම් වලදි අනාවරණය වී තිබෙනවා. පසුව මෙම දරුවන් දෙදෙනා (2) මීරිගම නගරයට බස් රථයකින් පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ දරුවන් දෙදෙනා (2) සොයා ගැනීමෙන් පසු මීරිගම පොලිසියට රැගෙන එනු ලැබුවා.

එහිදී මෙම දරුවන් තවදුරටත් සඳහන් කළේ තමන්ව ඊයේ (05) රාත්‍රියේ රඳවා ගෙන සිටි කාන්තාව සමඟ රැදි සිටිමට කැමති බවයි.

කෙසේ වෙතත්, ළමයින් දෙදෙනා (2) මෙපමණ කාලයක් රැදී සිටි ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ආවරණය කර ගැනිම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය සහ කොටදෙණියාව පොලීසීය සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ.

මේ වනවිට දරුවන් දින හතලිහක් (40) පුරාවට රැදී සිටි මීගමුව රන් ආභරණ අලෙවිසැල පරීක්ෂා කිරීමට පොලිස් කණ්ඩායමක් එහි ගොස් තිබෙනවා.

***************************************

වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු ක්ෂේත්‍රයේ දියුණුවට දකුණු කොරියාවේ සහාය

(06.01.2022 – 16:13 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු ක්ෂේත්‍රයේ මුල පිරීම් සඳහා පුළුල් සහායක් ලබාදීමට තම රජය සැලකිලිමත් වන බව දකුණු කොරියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය යූ ඉයුන්හයි ප්‍රකාශ කර තිබෙනවා.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සෝල් නුවර හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කළේ 2023 උසස් පෙළ විභාගය සඳහා කොරියානු භාෂාව විෂයක් ලෙස සම්මත වී ඇති බවයි.

විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා කොරියානු ජනරජයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා වන යූ ඉයුන්-හයි සමඟ සෝල් නුවර දී සාකච්ඡා පවත්වා තිබෙනවා.

දෙරට අතර පවත්නා පුළුල් ආර්ථික සහයෝගීතාව පිළිබඳව මෙහිදී සඳහන් කළ අතර, විශේෂයෙන්ම කොයිකා (KOICA) සහ කොරියානු ජනරජයේ එක්සිම් (EXIM) බැංකුව විසින් මෙහෙයවනු ලබන විදේශ සංවර්ධන ආධාර පිළිබඳව අමාත්‍ය ජී.එල්. පීරිස් අවධාරණය කළ බවයි විදේශ අමාත්‍යංශය කියාසිටියේ.

මෙම වැඩසටහන් තුළින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රතිලාභ පිළිබඳව ද ඔහු සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

දකුණු කොරියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් 22,000 ක පිරිස පිළිබඳව සඳහන් කරමින් විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව තුළ කොරියානු භාෂා ප්‍රවීණතාවය ඉලක්ක කරගත් ඉගෙනුම් පාඨමාලාවල ඇති ජනප්‍රියත්වය පිළිබඳව සඳහන් කරනු ලැබුවා.

2023 වර්ෂයේ පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා කොරියානු භාෂාව විෂයයක් ලෙස සම්මත වී ඇති බවද ඔහු ප්‍රකාශ කළ බවයි විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු ක්ෂේත්‍රයේ මුලපිරීම් සඳහා පුළුල් සහයක් ලබා දීම සම්බන්ධයෙන් කොරියානු ජනරජය සැලකිලිමත් වන බව විදේශ අමාත්‍යවරයාට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය යූ ඉයුන්-හයි සඳහන් කළා ෴

***************************************

මෛත්‍රී පාලනය මිනිස්සුන්ට අමතක නැ – පියල් නිශාන්ත

(06.01.2022 – 16:17 +0530 – hirunews.lk/sinhala)

පවතින දේශපාලන තත්ත්වය සහ විවිධ අර්බුද සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් (06) අදහස් පළ කළා.

එහිදී ඇල්ලේ ගුණවංස හිමි පැවසුවේ, මේ තරම් පීඩා ගෙන දුන් කාලයක් කිසිදා උදා වී නොමැති බවත් දේශපාලනඥයින්ට බලය පිළිබඳ ගැටලු පැවතියත් ජනතාවට පවතින්නේ ජීවත් වීමේ ප්‍රශ්නයක් බවයි.

මෛත්‍රී පාලනය ජනතාවට අමතක වි නොමැති බවත් රටේ ජනතාව මැරිලා ඉපදිලා නොමැති බවත් විනයක් සහිතව පැවැත්මක් පවතින බව‍යි, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත අදහස් දක්වමින් පැවසුවේ.

අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක කියා සිටියේ, වැඩි කල් නොගොස් අලුත් ආණ්ඩුවක් පත් කර ගැනීමට හා අලුත් ගමනක් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

***************************************

මුල් දින හතරට (4) සංචාරකයින් 11,380 ක් දිවයිනට

(06.01.2022 – 16:16 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ ගත වූ දින 4 තුල පමණක් සංචාකරයින් 11,380 ක් මෙරටට පැමිණ තිබෙනවා.

ඒ අනුව, වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර, ඉන්දියාව, යුක්රේනය, ජර්මනිය, මාලදිවයින, එංගලන්තය, කසකස්ථානය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ පෝලන්තය යන රටවලින් ද සැලකිය යුතු සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළා ෴

***************************************

මහනුවර ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ ජනපති නිරීක්ෂණයට

(06.01.2022 – 16:18 +0530 – hirunews.lk/sinhala)

වසර 400 කට වඩා ඉපැරණි මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ දී සිර මැදිරියක් හා පසුකාලීනව රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ගොඩනැඟිල්ල නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගෙන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේයි සංවර්ධනය කෙරුණේ.

ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සියල්ල මුල් වකවානුවේ පැවති වලව්වේ පෞරාණික සැලැස්මට හානියක් නොවන පරිදි සිදු කර තිබෙනවා.

ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් නිම කරන ලෙසටයි අද (06) පස්වරුවේ එම එහි ගිය ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.

දියවඩන නිලමේ නිලංග දෑල ද මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (06) පෙරවරුවේ ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාමයට සහ මල්වතු විහාරයට පැමිණ අනුනාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළමුව පැමිණියේ මල්වතු මහා විහාරය වෙතයි.

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා.

ජනාධිපතිවරයා ජනතා අපේක්ෂාවන් ඉටු කරනු ඇති බවට මහා සංඝ රත්නය විශ්වාසය පළ කරන බව එහිදී අනුනාහිමියන් පවසා තිබෙනවා.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් ද බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක ද නිරත වුණා.

අනතුරුව ජනාධිපතිවරයා ගැටඹේ රාජෝපවනාරාමයට පැමිණ පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

***************************************

කැළි කසළ අක්‍රමවත් ලෙස බැහැර කිරීම හේතුවෙන් බකමූණ ජනතාවට ගැටලු රැසක්

(06.01.2022 – 16:29 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්වී යන්තමින් හිස එසවීමට උත්සාහ දරන පොලොන්නරුව, ඇලහැර, බකමූණ ප්‍රදේශයේ ජනතාවට මේ දිනවල තවත් ගැටළුවකට මුහුණ පෑමට සිදුව තිබෙනවා.

ඒ බකමූණ නගරයේ එක්රැස්වන කැළි කසල අක්‍රමවත් ලෙස බැහැර කිරීම හේතුවෙන්.

***************************************

ලක් මව රනිල් සැරසූ ෂෙනුකිගේ කළකිරීම

(06.01.2022 – 16:46 +0530 – hirunews.lk/sinhala)

‘ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත’ යන කියමනට අභියෝග කළ ක්‍රීඩිකාවක් අපට හමුවුණේ නිමාවූ ආසියානු සවි එසවීමේ තරගාවලියේදී.

මේ තරගාවලියේදී ඇයට හැකියාව ලැබුණා කිලෝග්‍රෑම් 47 බර පන්තියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 4 ක් දිනා දෙන්නට.

වෙන කවුරුත් නෙමෙයි ඇය ෂෙනුකි දිෂල්‍යා.

***************************************

රාජකාරියට එහා ගිය නිල ඇඳුම යට සැඟවුණු මනුස්සකම

(06.01.2022 – 16:57 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරින් සිදු කරන රාජකාරිය එහි ප්‍රමාණය, කොතෙක් වුවද ඔවුන් අතින් සිදුවන කුඩා වැරැද්දක් වුවද උලුප්පා දක්වමින් ඒවා දරුණු ලෙස විවේචනය කිරීම අප සමාජයේ පුරුද්දක්.

නිල ඇඳුමලා ගත් බොහෝ අනෙක් නිලධාරින්ට වඩා පොලිස් නිලධාරින් ඉලක්ක කර මෙම විවේචන එල්ල වන්නෙ, රටේ නීතිය හා සාමය පවත්වා ගැනීමට ඔවුන් නිරන්තරයෙන් සිවිල් ජනයා සමඟ ගැටෙන නිසාවෙන්.

මේ නිසාම, අපේ රටේ සිවිල් ජන සමාජය තුළ පොලිස් නිලධාරින් ඔවුන්ගේ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් ඇත්තේ දැඩි සෘණාත්මක ආකල්පයක්.

බොහෝ විට නිල ඇඳුම් ලාගත්තද ඔවුනුත් අප සමාජයේම කොටසක් බව, අප විසින්ම අමතක කර දමන්නේ ඒ සඳහා අවශ්‍ය කරන අඩුම කුඩුම අදාළ නිල ඇඳුම්ලාගත්තන් විසිනුත් සපයන නිසාවෙන්.

නමුත්, මේ නිල ඇඳුම තුළ සැඟවී ඇති මනුස්සකම ඉස්මතු වන සෑම අවස්ථාවකම එය නොවළහා පැසසුමට ලක් කිරීමටත් අප සමාජය පසුබට වන්නෙ නැහැ.

මේ, වීඩියෝව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වන්නෙ එම දර්ශන මාලාවේ සිටින නිල ඇඳුම්ලාගත් පොලිස් නිලධාරින්ට තුති මල් පුද කරමින්.

පොළොන්නරුව – මඩකලපුව මාර්ගයේ පොළොන්නරුව නගර ආසන්නයේ, හදිසි අවස්ථාවක් සටහන් කෙරෙන ද්විත්ව සංඥා පහන් දල්වාගෙන වේගයෙන් ගමන් කරන ත්‍රිරෝද රථයකට සහය දක්වන මේ පොලිස් නිලධාරින් දෙදෙනා එතැනදී ඉදිරියෙන් තබන්නේ ඔවුන්ගේ හදවත් තුළ ඇති මනුෂ්‍යත්වයයි.

අධික වේගයෙන් තමන් පසු කර යන ත්‍රිරෝද රථයේ ඇති හදිසිය සොයා බලනා මේ නිලධාරින් දෙදෙනා (2) වහා එය වටහාගෙන ඔවුන් විසින් සිදු කළ යුතු රාජකාරිය කිරීමට පෙළඹෙනවා.

අදාළ ත්‍රීරෝද රථයට මඟ පෙන්වමින් ඔවුන් පෙර මඟ ගන්නෙ ප්‍රභූ රථයකට පෙර ගමන් කරනවාට වඩා අභිමානයෙන් විය හැකියි.

***************************************

සිරවී ඇති අත්‍යාවශ්‍ය බහාලුම් මුදා ගැනීමට අවශ්‍ය ඩොලර් හෙට (07) සිට නිකුත් කෙරේ

(06.01.2022 – 17:00 +0530 – hirunews.lk/sinhala)

ඩොලර් ගැටලුව හේතුවෙන් කොළඹ වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු බහාලුම් දහසකට (1000) වැඩි ප්‍රමාණය මුදා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් මහබැංකුව වෙත ලබාදී තිබෙනවා.

ආනයනකරුවන්ගේ භාණ්ඩ විස්තර ඇතුළත් වාර්තාවක් ඒ අනුව මහබැංකුව වෙත අද භාර දුන් බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ.

මීට අදාළව වෙළඳ අමාත්‍යවරයා සහ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අතර සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර එහිදී ආනයනකරුවන්ට අවශ්‍ය ඩොලර් හෙට (07) දින නිකුත් කිරීමට තීරණය වූ බව එම අමාත්‍යාංශය සඳහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *