කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (08) පෙරවරු 8 සිට රාත්‍රී 12 දක්වා පැය 16 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (08) පෙරවරු 8 සිට රාත්‍රී 12 දක්වා පැය 16 ක ජල කප්පාදුවක්

*********************************************

කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (08) පෙරවරු 8 සිට රාත්‍රී 12 දක්වා පැය 16 ක ජල කප්පාදුවක්

(06.01.2022 – 10:47 +0530 – hirunews.lk/sinhala)

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (08) පෙරවරු 8 සිට රාත්‍රී 12 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

ඊට අමතරව මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ සහ කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට මෙන්ම රත්මලානට ද මෙම කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේ ෴

***************************************

මීරිගමින් හමුවූ කොටදෙණියාවේ දරුවන් දෙදෙනා (2) ගැන වැඩිදුර විමර්ශන ඇරඹේ

(06.01.2022 – 14:16 +0530 – hirunews.lk/sinhala)

දින 43 කට පසු අද මීරිගම නගරයේ දී සොයා ගත් කොටදෙණියාව – වත්තේමුල්ල – බාදුරාගොඩ ප්‍රදේශයෙන් අතුරුදන්වූ පිරිමි ළමයින් දෙදෙනාගේ (2) සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය සහ කොටදෙණියාව පොලීසීය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, දරුවන් දෙදෙනා (2) අතුරුදන්ව සිටි කාලය තුල ඔවුන් රැදී සිටි ස්ථාන සහ අතුරුදන් වූ ආකාරය අනාවරණ කර ගැනීම සඳහා සම්බන්ධයෙන් අදාළ විමර්ශන ක්‍රියාත්මක බවයි.

ඥාති සොහොයුරන් වන අවුරුදු 10 සහ 12 යන වයස්වල පසුවන මෙම ළමයින් පසුගිය වසරේ නොවැම්බර් මස 23 වනදා සිට අතුරුදන්ව තිබූ අතර, ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා කොටදෙණියාව පොලීසියට භාරදීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

කොටදෙණියාව – වත්තේමුල්ල – බාදුරාගොඩ ප්‍රදේශයෙන් අතුරුදන්වූ පිරිමි ළමයින් දෙදෙනා දින 43 කට පසු අද මීරිගම නගරයේ දී සොයා ගැණුනා.

හිරු වාර්තාකරු සඳහන් කළේ, මොවුන් නගරයේ වෙළඳසැලක සිටියදී සොයා ගත් බවයි.

ඥාති සොහොයුරන් වන අවුරුදු 10 සහ 12 යන වයස්වල පසුවන මෙම ළමයින් පසුගිය වසරේ නොවැම්බර් මස 23 වනදා සිට අතුරුදන්ව ඇති බවට ලද තොරතුරකට අනුවයි පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළේ.

පොලීසිය මොවුන්ගේ ඡායාරූප සහ තොරතුරු අවස්ථා දෙකකදී මාධ්‍ය වෙත නිකුත් කළ ද කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙන් මෙහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබුවා.

දරුවන්ගේ මවගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඇය ද පරස්පර ප්‍රකාශ නිකුත් කළ අතර, අතුරුදන්වූ ආකාරය පිළිබඳව අනාවරණ කර ගැනීම සඳහා මෙම ළමයින් මේ වනවිට කොටදෙණියාව පොලීසියට රැගෙන එමින් සිටින බවයි අප වාර්තාකරු කියා සිටියේ.

***************************************

නිතර ඇරීමට වැසීමට යෑමෙන් සපුගස්කන්ද පිරිපහදුව අවදානමක බවට හෙළිදරව්වක්

(06.01.2022 – 12:11 +0530 – hirunews.lk/sinhala)

වසර 40 ක් පුරාවට අඛණ්ඩ ව සිදු කරගෙන පැමිණ් සපුගස්කන්ද තෙල් පිරිපහදුව, මේ ආකාරයට නිතර නිතර ඇරීමට වැසීමට යෑමෙන් මහත් අර්බුද රැසකට හේතුවක් විය හැකි බව ඛනිජ තෙල් සංස්ථා හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි වැඩබලන පාලන හිටපු වැඩබලන සභාපති සිරිල් සුදුවැල්ල ප්‍රකාශ කරනවා

සපුගස්කන්ද තෙල් පිරිපහදුව පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනු යි ඔහු මේ බව හෙළි කළේ.

සපුගස්කන්ද පිරිපහදුව දිනකට බැරල් 50,000 ධාරිතාවකින් යුත් පිරිපහදුවක් වන අතර, එහි සැකැස්ම ඇත්තේ, නො කඩවා අවම වසර දෙකක් (2) වත් ක්‍රියාත්මක කිරීම සඳහා යැ යි ඔහු එහි දී පැවසුවා.

එමෙන්ම පිරිපහදුව මඟින් ඛනිජ තෙල් සෘජුව රැගෙන ඒමට වඩා විශාල ලාභ ගැනීමට හැකි බවත් ඔහු ප්‍රකාශ කළා.

ලොව අනික් පිරිපහදුවලට සාපේක්ෂ ව සපුගස්කන්ද පිරිපහදුව යනු, ඒකක රාශියක් තිබෙන පුහුණු මධ්‍යස්ථානයක් බව අවධාරණය කළ ඔහු, ඒ හරහා පුහුණු කරන ඉන්ජිනේරුවන්ට විදේශීය ඉල්ලුම විශාල බවත් සඳහන් කරනවා.

අලියෙක් වැට්ටුවොත් නැගිට්ටවන්න අසීරු වෙන්නේ යම් සේ ද සපුගස්කන්ද පිරිපහදුව ද මෙසේ නිතර ඇරීමට වැසීමට යෑමෙන් බරපතළ අර්බුද රැසකට මුහුණ දීමට සිදු වන බව හිටපු වැඩබලන සභාපති සිරිල් සුදුවැල්ල අවසාන වශයෙන් ප්‍රකාශ කළා ෴

***************************************

තරු හෝටල්වල ගෑස් වෙනුවට දර

(06.01.2022 – 13:05 +0530 – hirunews.lk/sinhala)

සෑම ලිට්රෝ ගෑස් සිලින්ඩරයකටම අදාළව රුපියල් මිලියනක (10,00,000) රක්ෂණාවරණයක් පාරිභෝගිකයන්ට හිමි වන බව එම ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පවසනවා.

එමෙන්ම, ගෑස් හිඟකම හේතුවෙන් බොහෝ තරු පන්තියේ හෝටල්වල ආහාර පිසීම සඳහා දර භාවිතා කරන බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

තැන තැන සිදුවන ගෑස් ආශ්‍රිත අනතුරු තවමත් අවසන් වී නැහැ.

පසුගිය දින කිහිපය තුළම එවැනි සිද්ධීන් ගණනාවක් වාර්තා වූ අතර, ඊයේ (05) දිනයේ ද ත්‍රිකුණාමලය – නවරත්නපුරම් ප්‍රදේශයේ ගෑස් සිලින්ඩරයක් පුපුරා ගොස් තිබුණේ, ආහාර පිළියෙල කරමින් සිටියදියි.

ගෑස් හිඟකම හේතුවෙන් අලෙවි නියෝජිත ආයතන ඉදිරිපිට අද (06) පෙරවරුවේත් දිගු පෝලිම්වල ජනතාව රැදී සිටින අයුරු අප වාර්තාකරුවන් නිරීක්ෂණය කර තිබුණා.

මේ අතර, ගෑස් ආශ්‍රිත පිපිරීම් හා ගෑස් හිගකම හේතුවෙන් දිවයිනේ පුරා කුඩා ප්‍රමාණයේ හෝටල් සියයට 20 ක් පමණ වැසී ගොස් තිබෙනවා.

තරු පන්තියේ හෝටල්වල සූපවේදීන්, විකල්ප ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කර ඇති අතර, කෑම පිසීමට දර භාවිත කිරීම ප්‍රධාන විකල්පයක්.

එමෙන්ම භූමි තෙල් ද යොදා ගනු ලබන බවයි වෘත්තීය සූපවේදීන්ගේ සංගමයේ සභාපති දිල්රුක්ෂාන් දාබරේ කියා සිටියේ.

පාරිභෝගිකයෙකු මිලදී ගනු ලබන සෑම ගෑස් සිලින්ඩරයකටම රුපියල් මිලියනයක රක්ෂණාවරණයක් හිමිවන බැවින් අනතුරකට මුහුණ දුන් පිරිසට එය ඉල්ලුම් කළ හැකි බවයි හිරු ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වූ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ සඳහන් කළේ ෴

+

වවුල් අපද්‍රව්‍ය යොදා ගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කරයි

(06.01.2022 – 13:08 +0530 – hirunews.lk/sinhala)

වවුල් අපද්‍රව්‍ය යොදා ගනිමින් කාබනික පොහොර නිෂ්පාදන කරන ගිනිගත්හේන, ලක්ෂපාන ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු (2) පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

ලක්ෂපාන ප්‍රදේශයේ වසර 40 ක වැඩි කාලයක් විදුලිබල මණ්ඩලය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කැනිම් සිදුකර අත්හැර දැමූ උමං සහ ගල් ලෙන්වල ජීවත් වන වවුලන්ගේ අපද්‍රව්‍ය එක්රැස් කරමින් මෙම කාබනික පෙහොර නිෂ්පාදනය කරන බවයි ඔවුන් කියා සිටියේ.

මේ අතර, බෙලිඅත්ත ප්‍රදේශයේ වී ගොවීන් චෝදනා කළේ, නිසි පොහොර යෙදවීමට නො හැකි වීම නිසා වී වගාව විනාශ වී ඇති බවයි.

එමෙන්ම, තේ වගාවන්ට ද පොහොර නො මැති වීම නිසා දලු අස්වැන්න ලබා ගැනීමට නො හැකි වී ඇති බවයි ගාල්ල ප්‍රදේශයේ තේ ගොවීන් සඳහන් කළේ.

මේ අතර මෙරට කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට නම් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බව කෘෂි ව්‍යවසායක ජාතික එකමුතුවේ සභාපති පුෂ්පකුමාර වික්‍රමසිංහ සඳහන් කළේ, ගාල්ලේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

***************************************

බාල කොහු අමුද්‍රව්‍ය භාවිතා කරන්නන් සොයා පරීක්ෂණ

(06.01.2022 – 13:10 +0530 – hirunews.lk/sinhala)

කොහුබත් ඇතුළු කොහු ආශ්‍රිත නිෂ්පාදනවලට බාල අමුද්‍රව්‍ය එක් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයා හරහා සියළුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බව, පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ කියා සිටියේ, මෙම තත්ත්වය මෙරට අපනයනය කරන කොහුබත් ඇතුළු කොහු ආශ්‍රිත නිෂ්පාදනවලට අහිතකර අන්දමින් බලපා ඇති බවයි ෴

***************************************

‘ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් පෞද්ගලික සමාගම’ පිළිබද රෙජිස්ට්‍රාර් ජනරාල්ට ලිපියක්

(06.01.2022 – 13:24 +0530 – hirunews.lk/sinhala)

අලුතින් ලියාපදිංචි කළ ‘ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් පෞද්ගලික සමාගම’ ඈවර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, ඛනිජ තෙල් නීතිගත සංථාව යටතේ මෙවැනි පෞද්ගලික සමාගමක් පිහිටුවීම ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනතට පටහැනි බවයි ෴

***************************************

පුටු මාරුවට මම කැමැති නෑ, තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වීම දී ගෙදර යයි

(06.01.2022 – 14:04 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මීට ටික වේලාවකට පෙර එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.

ඉන් අනතුරුව රූපවාහිනි සංස්ථාවේ සේවකයින් අමතමින් කෙටි ප්‍රකාශයක් කළ සභාපතිවරයා ඔහුගේ කාර්යාලය සහ නිල රථය බාර දී අද (06) දහවල් 12:30 ට පමණ රූපවාහිනී සංස්ථා පරිශ්‍රයෙන් පිටව ගොස් තිබෙනවා.

රාජ්‍ය මාධ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ ඉහළ නිලතල වෙනස් කිරීමේ තීරණයක් රජය විසින් ගත් අතර ඒ අනුව යි රූපවාහිනි සංස්ථා සභාපතිවරයා මාරු කිරීමට තීරණය කෙරුණේ.

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස නම් කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ සභාපතිවරුන් දෙදෙනාට මීට පෙර දැනුම් දී තිබුණේ සිය තනතුරු මාරු කරගන්නා ලෙසයි.

ඒ අනුව රූපවාහිනි සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සභාපතිවරයා ලෙසත් එම මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන රූපවාහිනි සංස්ථා සභාපතිවරයා ලෙසත් පත් කිරීමට නියමිත ව තිබුණා.

නමුත් රූපවාහිනි සංස්ථා සභාපති ධුරයෙන් අද (06) දින නික්ම ගිය රෙජිනෝල්ඩ් කුරේ පවසා ඇත්තේ, එවන් පුටු මාරුවකට තමන්ගේ කිසිදු කැමැත්තක් නො මැති බවයි ෴

***************************************

ගෑස් ආශ්‍රිත පිපිරීම් ගැන මානව හිමිකම් කොමිසමේ වාර්තාව 12 වැනි දා ජනපතිට

(06.01.2022 – 14:25 +0530 – hirunews.lk/sinhala)

ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ද ඇතුලු නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගනිමින් සකස් කළ වාර්තාව ලබන 12 වනදා ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිත බව එම කොමිසමේ කොමසාරිස් නිමල් කරුණාසිරි පවසනවා.

ඔහු කියා සිටියේ, එහිදී විධිමත්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව නිසි පැහැදිලි කිරීමක් සහිතව අදාළ වාර්තාව නිකුත් කරන බවයි.

එමෙන්ම, අදාළ වාර්තාව සකස් කිරීම සඳහා සති දෙකක (2) පමණ කාලයක් තොරතුරු රැස් කළ බව ද මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නිමල් කරුණාසිරි ප්‍රකාශ කළා ෴

***************************************

වෙළෙඳපොළේ ප්‍රමාණවත් පරිදි ගෑස් නොතිබීම හේතුවෙන් දිගු පෝලිම් වල පීඩා විදින ජනතාව

(06.01.2022 – 14:44 +0530 – hirunews.lk/sinhala)

වෙළෙඳපොළේ ප්‍රමාණවත් පරිදි ගෑස් නොතිබීම හේතුවෙන් ගෑස් අලෙවි නියෝජිත ආයතන ආශ්‍රිතව ජනතාව තවමත් දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබෙනවා.

මේ අතර, ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ වෙළෙඳපොළේ ඇති ගෑස් හිඟය හේතුවෙන් ජනතාව භූමිතෙල් භාවිතයට යොමුවීම හේතු කොට ගෙන භූමිතෙල් මිලදී ගැනීමටද ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනවා.

ගෑස් නොමැතිව ඇතැම් ප්‍රදේශවල ආපන ශාලා වසාදමා ඇති ආකාරයද දක්නට ලැබෙන අතර, වෙළෙඳුන් පෙන්වා දුන්නේ සිය ආපන ශාලා පවත්වාගෙන යාම අසීරුවී ඇති බවයි ෴

***************************************

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

(06.01.2022 – 15:02 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන ජලාශ 18 ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව, මහවැලි ගඟ, මල්වතු ඔය සහ මඩකලපුව – මුන්දෙනිආරු ගංගාව භාවිත කිරීමේදි වඩාත් සැලකිලිමත් වන ලෙසයි දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම, අද (06) පස්වරු 3 ට පමණ කවුඩුල්ල ජලාශයේ වාන්දොරටු දෙකක් (2) විවෘත කිරීමට සැලසුම් කර ඇති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

***************************************

විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

(06.01.2022 – 15:04 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය නිලධාරින් අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමේ චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරිගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම චක්‍රලේඛයට අනුව, විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම මේ මස පළමුවනදා (01) සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව, එදින හෝ හෝ ඊට පසුදිනක විශ්‍රාම ගැනීමේ අපේක්ෂාවෙන් නිලධාරියෙකු විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගෙන ඇත්නම්, එලෙස ලබාගෙන ඇති විශ්‍රාම පූර්ව කාලයට අදාළ දින ගණන එම නිලධාරියා ඉදිරියේදී විශ්‍රාම ගන්නා අවස්ථාවේ ලබා ගන්නා විශ්‍රාම පූර්ව නිවාඩුවලින් අඩු කළ යුතු වනවා.

එමෙන්ම, මේ මස පළමුවනදා (01) සිට ඉදිරි කාලයක විශ්‍රාම ලබා ගැනීමට අයදුම් කළ, දැනටමත් විශ්‍රාම ගැනීම සඳහා අනුමත කළ නිලධාරින්ට ද සිය කැමැත්ත මත තවදුරටත් ඉදිරි කාලසීමාව සඳහා සේවය කළ හැකි බවයි මෙම චක්‍රලේඛයේ දැක්වෙන්නේ.

එවැනි අවස්ථාවක එම නිලධාරින් තමා විසින් විශ්‍රාම ගන්වන ලෙස කළ ඉල්ලීම අවලංගු කරන ලෙස ලිඛිත ඉල්ලීමක් දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත ඉදිරිපත් කළ යුතු වනවා.

චක්‍රලේඛය : [පිටුව 1][පිටුව 2]

***************************************

පොහොර නොලැබීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ගොවීන් දැඩි දුෂ්කරතාවක

(06.01.2022 – 15:38 +0530 – hirunews.lk/sinhala)

පොහොර ගැටලුව හේතුවෙන් නිසි කලට වී අස්වනු නොලැබීම නිසා ඉදිරියේදී සහල් මිලදී ගැනීම සඳහාද ජනතාවට පෝලිම්වල රැඳී සිටීමට සිදුවිය හැකි බව, සහල් නිෂ්පාදකයින් පවසනවා.

මේ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීන් ඉල්ලා සිටින්නේ විනාශ වූ තම වගාවන් වෙනුවෙන් රජයෙන් නිසි වන්දියක් ලබාදෙන ලෙසයි.

මහ කන්නය වෙනුවෙන් හම්බන්තොට රන්න ප්‍රදේශයේ වී වගාකළ අක්කර 150 ක පමණ කුඹුරු යායට රසායනික පොහොර මෙතෙක් නොලැබීම හේතුවෙන්, ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.

ඔවුන් චෝදනා කරන්නේ මාස දෙකක් පමණ ඉක්මවා ඇති තම වී වගාවට නිසි පෝෂණයක් නොලැබීම හේතුවෙන් මේවන විට ගොයම කහ පැහැගැන්වී ඇති බවයි.

***************************************

ගජමුතු ඉස්සූ පුද්ගලයින් දෙදෙනකු STF අත්අඩංගුවට

(06.01.2022 – 15:57 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි පහකට (5,00,00,000) අධික වටිනාකමකින් යුත් ගජමුතු සන්තකයේ තබාගෙන, ඒවා අලෙවි කිරීමට ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනකු (2) විශේෂ කාර්ය බලකායේ දෙවන (2) කඳවුර භාර අණදෙන නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (05) පෙරවරුවේ අම්පාර – බුද්ධංගල ආදාහනාගාරය අසල සිදු කළ වැටලීමක දී යි.

මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරුවන් අඹකොටේ සහ රන්සෑගොඩ යන ප්‍රදේශවල පදිංචි 39 – 40 යන වයස් සීමාවල පසුවන්නන්.

එහිදී විශේෂ කාර්ය බලකාය භාරයට ගත් ගජමුතුවල බර ප්‍රමාණය වෙන වෙනම ග්‍රෑම් 84 යි මිලිග්‍රෑම් 778 ක්, ග්‍රෑම් 61 යි මිලිග්‍රෑම් 627 ක් සහ ග්‍රෑම් 06 හි මිලිග්‍රෑම් 445 කින් යුත් බරකින් සමන්විතයි.

මෙම ගජමුතු සැකකරුවන් විසින් ලබාගෙන ඇත්තේ, යාල, කුමන සහ උඩවලව ආදී රක්ෂිතවලින් වන අතර, ඔවුන් එය ලබා ගැනීමට එම වනෝද්‍යාන තුළට ඇතුල් වී වනඇතුන් ඝාතනය කර ඇත් දළ ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට සැකකරුවන් අම්පාර පොලිස් ස්ථානය විශේෂ කාර් ය බලකාය විසින් භාර දී ඇත්තේ, ඔවුන් සතු මෝටර් රථයක් ද සමගින් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *