ඉහළ ගිය බස් ගාස්තුව අද (05) සිට බලගැන්වේ

ඉහළ ගිය බස් ගාස්තුව අද (05) සිට බලගැන්වේ

*********************************************

ඉහළ ගිය බස් ගාස්තුව අද (05) සිට බලගැන්වේ

(05.01.2022 – 21:46 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළයාමත් සමඟ සංශෝධනය කරන ලද බස් ගාස්තුව අද (05) සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 17 ක් වන අතර සෙසු බස් ගාස්තු සියයට 17 කින් ඉහළ දැමුණා.

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ඉන්ධන සහනාධාරයක් ලබාදිය නොහැකි නම් අනිවාර්යෙන්ම බස් ගාස්තු ඉහළ නැංවිය යුතු බවට බස් සංගම් කළ ඉල්ලීම අනුව ප්‍රවාහන බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් පසු බස් ගාස්තු ඉහළ නැංවීමට තීරණය කෙරුණේ මීට දින කිහිපයකට පෙරාතුවයි.

අවම බස් ගාස්තුව රුපියල් 14 සිට රුපියල් 17 දක්වා ඉහළ නැංවීමට සහ සෙසු බස් ගාස්තු සියයට 17. 44 කින් ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොම්ෂන් සභාවේ අනුමැතිය හිමිවුණේ ඒ අනුවයි.

ඉහළ දැමූ බස් ගාස්තුව අද (05) සිට ක්‍රියාත්මක අතර මේ යටතේ අන්තර් පළාත් බස් රථ, අර්ධ සුඛෝපභෝගී බස් රථ, අධි සුඛෝපභෝගී බස් රථ සහ අධිවේගී මාර්ගවල අධි සුඛෝපභෝගී බස් රථවල ගාස්තු ද අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවෙනු ඇති.

නව බස් ගාස්තුව අද (05) සිට ක්‍රියාත්මක වූ අතර, මගී ජනතාව ඒ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා.

පෞද්ගලික බස් ගාස්තුවට සාපේක්ෂව ශ්‍රී ලංකා ගමනා ගමනා මණ්ඩලයේ බස් ගාස්තු ද ඉහළ දැමුණා.

මේ අතර කොන්දොස්තරවරයකු නොමැතිව මගීන්ට කාඩ් පතක් මගින් බස් ගාස්තුව ගෙවීමට හැකි වන පරිදි ගමනා ගමන සේවා ලබා දීමට අදාළව අලුතින් හදුන්වා දෙන ‘ටච් ඇන්ඩ් ගෝ’ ක්‍රමය ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් මෙලෙස පරීක්ෂා කෙරුණා.

මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන්නේ පෞද්ගලික බස් හිමියන්ගේ ඉල්ලීමක් මතයි ෴

***************************************

ආහාර හිඟ වුණොත්, රටින් ගේනවා ! – මහින්දානන්ද

(05.01.2022 – 21:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ආහාර හිඟයක් ඇතිවුවහොත් ඊට පිළියම් ලෙස විදෙස් රටවලින් ආහාර ආනයනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

මේ අතර, රජයේ අනුවණ තීරණ හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට ආණ්ඩුව කොන්දේසි විරහිතව වන්දි ලබා දිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න පවසනවා.

පොහෙර නොමැතිව වගා හානි වීම හේතුවෙන් ප්‍රදේශ රැසක ගොවි ජනතාව තවදුරටත් පත්ව සිටින්නේ දැඩී පීඩාවකටයි.

රජය කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමත් සමඟ ගොවීන් මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී සිටින්නේ කාබනික හෝ රසායනික පොහොර කිසිවක් සපයාගත නොහැකි වීමෙන්.

මෙම තත්තවයත් සමග ඉදිරියේදී දැඩි ආහාර හිඟයක් ද ඇතිවීමේ අවදානමක් ඇති බවට බොහෝ කෘෂි විශේෂඥයින් අනතුරු අඟවන පසුබිමක මෙරට වැඩි වශයෙන් වී වගාකරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් සිය වගාවන් නිසරු වීමෙන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.

රජය මගින් ලබා දුන් කාබනික පොහොර යෙදුව ද වී වගාව අසාර්ථක බවටයි පොළොන්නරුව – තඹලවැව ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීන් චෝදනා කරන්නේ.

මේ අතර වී සඳහා රුපියල් 75 ක සහතික මිලක් ලබා දෙන බවට මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද ගොවීන් මෙලෙස විරෝධය පළ කළා.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ වගා හානි වූ සියලු දෙනාට ආණ්ඩුව කොන්දේසි විරහිතව වන්දි ලබා දියයුතු බවයි.

මෙවන් පසුබිමක වෙළෙඳපොලේ යළි සහල් මිලද සිග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

නාඩු සහල් කිලෝවක් රුපියල් 170 ක් දක්වාත්, සම්බා කිලෝවක් රුපියල් 190 ක් දක්වාත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 240 ක් දක්වාත් ඉහළ ගොස් ඇති බවයි එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ.

මීට පෙර සහල් සඳහා පාලන මිලක් පනවා තිබුණේ කීරි සම්බා කිලෝ ග්‍රෑම් 1 ක් සඳහා රුපියල් 125 ක්, සුදු/රතු සම්බා කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 103 ක්, සුදු/රතු නාඩු වාෂ්පයෙන් තැම්බූ කිලෝ ග්‍රෑම් 1 ක් රුපියල් 98 ක් සහ සුදු/රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 1 ක් රුපියල් 95 ක් ලෙසයි.

කෙසේවෙතත් අදාළ පාලන මිල පසුගිය නොවැම්බර් මාසයේදී ඉවත් කිරීමටයි රජය කටයුතු කළේ.

ඒ අනුව මෙලෙස වරින් වර සහල් මිල ගණන් ඉහළයාම සම්බන්ධයෙන් පාරිභෝගිකයින් දැක්වූයේ මෙවන් අදහසක්.

මේ අතර, පහතරට එළවළු වගා කරන ගොවීන් ද පොහොර නොමැතිවීම හේතුවෙන් පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.

මේ එම ප්‍රදේශවල පිපිඤ්ඤා, කරවිල සහ වැටකොළු වගාවට අද අත්ව ඇති ඉරණමයි.

එමෙන්ම උඩරට බෝංචි ගොවීන් ද වගාකරුවන් ද සිය වගාවන් සඳහා රසායනික පොහොර නොමැතිව දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

මේ අතර තම වගා හානි සඳහා වගකිවයුත්තන්ට දඬුවම් ලබා දෙන්නැයි නියාගම – අමරගම වෙල්යායේදී ඊයේ (04) රාත්‍රී දේව කන්නලව්වක් ද පැවැත්වුණේ මෙලෙසින්.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඔමික්‍රොන් ගැන අනතුරු ඇඟවීමක්

(05.01.2022 – 07:31 +0530 – hirunews.lk/sinhala)

පොදු ස්ථාන වෙත ඇතුළු වීමට එන්නත්කරණ කාඩිපත අනිවාර්ය කිරීම සඳහා වන තාක්ෂණික කටයුතු මේ වනවිට සිදු කෙරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

මේ අතර ඉදිරි සති කිහිපයේ රට තුල ඔමික්‍රොන් ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ.

තවත් කොරෝනා ආසාදිතයන් 629 දෙනෙකු ඊයේ (04) වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,88,929 දක්වා ඉහළ ගියා.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 12,603 ක්.

නව මරණ 18 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 15,055 ක් ලෙසයි.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ, මේ වනවිට රට තුල ඔමික්‍රෝන් ආසාදිතයන් වාර්තා වීමේ ඉහළ යාමක් නිරීක්ෂණය වන බවයි.

එමෙන්ම ඔමික්‍රොන් ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ මෙරට රෝහල් ධාරිතාවය ඉක්මවා යන විශාල ආසාදිතයන් සංඛ්‍යාවක් ඉදිරියේ දී වාර්තා වීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, පවතින තත්වය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ද ආසාදිතයන් බවට පත් වුවහොත් සෞඛ්‍ය අංශ වල කාර්යක්ෂමතාව පහළ බැසීමේ දැඩි අවදානමක් පවතින බවයි.

මේ අතර ඇස්ට්‍රාසෙනෙකා හෝ ෆයිසර් මාත්‍රා 2 ක් පමණක් ලබා ගැනීම මගින් ඔමික්‍රොන් ප්‍රභේදය මගින් ඇති කරන ආසාදන වැළැක්වීමට ඇති හැකියාව ඉතා අඩු බව මහා බ්‍රිතාන්‍යයේ සිදුකල අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා 2 ක් ලබා ගත් අයෙකුට වර්ධක මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබා දීමෙන් වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණයේ කාර්යක්ෂමතාවය 70% ක් දක්වා ඉහළ නැංවිය හැකි බවයි එම අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත්තේ.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කළේ, එම අධ්‍යයනයට අනුව එලෙස බූස්ටර් මාත්‍රාවක් දක්වා එන්නත් මාත්‍රා 3 ක් ලබා ගැනීම තුළින් කොරෝනා රෝග තත්වය දරුණු වීම වලක්වා ගැනීමට හැකි වන බවයි.

මේ අතර පොදු ස්ථාන වෙත ඇතුළු වීමට එන්නත්කරණ කාඩිපත අනිවාර්ය කිරීම සඳහා වන තාක්ෂණික කටයුතු මේ වන විට සිදු කෙරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ (04) පැවති සාකච්ඡාවක දී ඔහු කියා සිටියේ, ඊට අදාළ කේතය සහ යෙදවුම ජංගම දුරකතන යෙදුමක් ඔස්සේ ලබා දීමට සැලසුම් කෙරෙන බවයි.

රට තුළ එන්නත්කරණය අනිවාර්ය කිරීමට නෛතික හැකියාවක් නො මැති වුව ද පොදු ස්ථානවලට ඇතුළු වීම සඳහා එන්නත්කරණ කාඩිපත අනිවාර්‍ය කිරීමට නීතිමය හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළ ෴

+++++++++++

හිටපු සෞඛ්‍ය ඇමතිට කොරෝනා

(05.01.2022 – 09:51 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්නට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

මේ බව තහවුරු වී ඇත්තේ, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් (rapid antigen) පරීක්ෂණයක් හරහා යි.

මේ අනුව දොස්තර රාජිත සේනාරත්න නිවෙස් නිරෝධායනයට යොමු කර ඇති අතර, ඔහුට වෛද්‍ය අධීක්ෂණය ‍‍යටතේ අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බව යි වාර්තා වන්නේ.

එමෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය දිනක කිහිපය තුළ දී සමීප ව ඇසුරු කළ පුද්ගලයින් ගණනාවක් ද මේ වන විට නිවෙස් නිරෝධායනයට ලක් කර ඇති බවටත් වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අප සිදු කළ සොයා බැලීමක දී දැනගන්නට ලැබුනේ දොස්තර රාජිත සේනාරත්න ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමින් ඇති බවයි.

+++++++++++

කොවිඩ් අවදානම වෙනස් වීමක් ගැන වෛද්‍ය හේමන්ත හේරත් ගෙන් ප්‍රකාශයක්

(05.01.2022 – 13:21 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ, පසුගිය දිනවලට සාපේක්ෂව ඊයේ (04) දිනයේ කොරෝනා ආසාදිතයින් ඉහළ ගොස් ඇති බවයි.

වෛරසය ව්‍යාප්ත වීමේ පාලනයක් පැවතිය ද එය යළි ප්‍රති ප්‍රහාර එල්ල කළ හැකි බව හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ද වන පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ, පරිසර අමාත්‍යාංශයේ අද (05) පැවති වැඩසටහනකට එක්වෙමින්.

මේ අතර, හිටපු සෞඛ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට කොරෝනා ආසාදනය වී තිබෙනවා ෴

+++++++++++

ලබන සඳුදා (10) සිට පාසැල් පවත්වන ආකාරයේ වෙනසක්

(05.01.2022 – 14:43 +0530 – hirunews.lk/sinhala)

ලබන සඳුදා (10) සිට දිවයිනේ සියලු පාසල්වල පළමු වසරේ සිට 13 වැනි වසර දක්වා අධ්‍යාපන කටයුතු සාමාන්‍ය ක්‍රමවේදය යටතේ පවත්වාගෙන යාමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් අධ්‍යාපන ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

රට පුරා පැතිර ගිය කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙතෙක් පාසැල් පැවැත්වුණේ, කොවිඩ්-19 නව සාමාන්‍යකරණ තත්ත්වයන් යටතේ යි.

ඒ අනුව පන්ති කාමරවල පහසුකම් ලබාදිය යුතු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් සීමාවන් පැනවී තිබුණා.

මේ හේතුවෙන් සිසු දරු දැරියන් විශාල සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන බොහෝ පාසැල් පවත්වනු ලැබුවේ, කණ්ඩායම් ක්‍රමයට යි.

නව තත්ත්වයන් යටතේ ලබන සඳුදා (10) සිට එම සියලු සීමාවන් අහෝසි වනු ඇති.

කෙසේ වෙතත්, කොවිඩ්-19 සඳහා වන මූලික සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වන මුහුණු ආවරණ පැළඳීම , නිරන්තරයෙන් දෑත් පිරිසිදු කර ගැනීම, හැකි සෑම අවස්ථාවක දී ම දුරස්ථභාවය රඳවා ගැනීම ආදී කරුණුවලට තවදුරටත් දැඩිව අනුගත විය යුතු බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

+++++++

වයස අවුරුදු 12 – 15 අතර දරුවන් සදහා කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදීම ලබන සිකුරදා (07)දින ආරම්භ කරනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහිදී එම දරුවන් සඳහා එක් කොවිඩ් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙම දරුවන්ට ලබාදෙන්නේ එක් (1) එන්නත් මාත්‍රාවක් පමණයි.

මෙම වැඩපිළිවෙලට සමගාමීව බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා නොගත් ගුරුවරුන්ට ද එම එන්නත ලබාගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ ෴

+++++++

මෙරට ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිතයින් යම් මට්ටමකට ඉහළ යාමත් සමඟ අවදානම අවම කර ගැනීම සඳහා එන්නත් ලබා ගැනීම වැදගත් බවයි රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සරත් ලේකම්වසම් ප්‍රකාශ කළේ.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ලබන සඳුදා (10) සිට සාමාන්‍ය පරිදි පාසල් වලට සිසුන් ගෙන්වීමට අවසර ලබාදුන් බවයි.

අවුරුදු 12 ත් 15 ත් අතර, වයස්වල පසුවන ළමුන් සඳහා එන්නත්කරණය අනිද්දා (07) ආරම්භ වනවා.

එමෙන්ම, කොරෝනා වසංගතය හේතුවෙන් මේ දක්වා කොටස් වශයෙන් හෝ සතියකට දින කිහිපයක් සිසුන් ගෙන්වා අධ්‍යයන කටයුතු සිදු කෙරුණු අතර, ලබන සඳුදා (10) සිට සාමාන්‍ය පරිදි සිසුන් පාසල් වෙත ගෙන්වීමට අවසර ලබාදුන් බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ.

+++++++

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 141 දෙනෙකු අද (05) දිනයේදි පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, වෛරසය ආසාදිතව සිට මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව 5,61,412 ක්.

කෙසේ වෙතත් වෛරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 12,462 ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 15,055 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

+++++++

මේ වසරේ ගත වූ දින 5 තුළ ඩෙංගු රෝගීන් 1227 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එමෙන්ම, පළමු වතාවට තුන්වන වෛරස් කාණ්ඩයේ ඩෙංගු රෝගීන් ද මේ වනවිට මෙරටින් හමුවන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි විශේෂඥ ප්‍රජා වෛද්‍ය අනෝජා වීරසිංහ සඳහන් කළේ ෴

+++++++++++

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහට කොරෝනා

(05.01.2022 – 17:21 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා. ආරංචි මාර්ග සඳහන් කරන්නේ එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයක නිරතවන අතරතුර ඒ මහතා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි ෴

+++++++++++

කොවිඩ් පාලනයේදී ශ්‍රී ලංකාව කොරියානු ජාතිකයින්ට ලබා දුන් සහාය පැසසුමට

(05.01.2022 – 18:20 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යසනයේ දී ශ්‍රී ලංකාව නිසි කළමනාකරණයකින් යුතුව එය මනාව පාලනය කර ගැනීමට සමත්ව ඇති බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජින් ජියිඕං (Woonjin Jeong) පවසනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් අතර ද යහපත් ප්‍රතිචාර ඉහළ මට්ටම්කින් යුතුව පවතින බවයි හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

ඒ අද (05) පෙරවරුවේ කොරියානු තානාපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවේ දී යි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන කොරියානු ජාතිකයින්ට ද කිසිදු වෙනසකින් තොරව එන්නත්කරණය ලබාදීම විශාල ප්‍රශංසාවකට ලක් කළ කොරියානු තානාපතිවරයා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ රජයට ද පැසසුම් ලබා දුන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මෙවන් තත්ත්වයක් තුළ සෙසු රාජ්‍යයන්වලින් ද ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනය කිරීමේ වැඩපිළිවෙළ ඇගයීමට ලක් විය යුතු බව ද හෙතෙම ප්‍රකාශ කළා.

මෙම අවස්ථාවේ දී අදහස් පළ කළ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ එළඹෙන ජනවාරි මස 29 වැනි දින සිට මෙරට ජනතාව එන්නත්කරණයට ලක් කිරීම ආරම්භ කර වසරක් (1) සපිරෙන බවයි.

එමෙන්ම මෙම එන්නත්කරණ ක්‍රියාවලිය තුළ රට අභ්‍යන්තරයේ කොවිඩ් ව්‍යාප්තිය අවම මට්ටමක රඳවා ගැනීමට ද හැකියාවක් ලැබී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා ෴

+++++++++++

කොරෝනා මරණ 10 ක්

(05.01.2022 – 20:21 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි මස 04 වැනි දින එනම් ඊයේ දින මෙරට සිදු වූ කොරෝනා මරණ 10 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (05) දිනයේ දී තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,065 ක්.

එමෙන්ම වෛරසය ආසාදිතයින් 5,88,929 දෙනෙකු මෙතෙක් වසංගත රෝග විද්‍යා අංශය විසින් තහවුරු කර ඇති අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 12,462 ක් ෴

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 550 දෙනෙකු අද (05) දිනයේදී හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,89,479 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *