කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ගෑස් පිපිරීමක්

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ගෑස් පිපිරීමක්

*********************************************

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ගෑස් පිපිරීමක්

(05.01.2022 – 13:26 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක මුළුතැන්ගෙයි සිදු වූ ගෑස් ආශ්‍රිත අනතුරකින් එහි සේවකයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මුළුතැන්ගෙට ගෑස් සපයන නළයක සිදු වූ කාන්දුවක් හේතුවෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.

එමෙන්ම අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක ගෑස් ආශ්‍රිත පිපිරීමක් වාර්තා වූ අතර කොට්ටාව ප්‍රදේශයේ වෙළඳසැලකින් මිල දී ගත් ගෑස් සිලින්ඩරයකින් අධික ලෙස ගෑස් කාන්දු වන බව වාර්තා වුණා.

මේ අතර වෙළඳපොළ තුළ ප්‍රමාණවත් සැපයුමක් නොමැති වීමෙන් තවදුරටත් ගෑස්පෝළිම් දක්නට ලැබෙනවා.

අම්බලන්ගොඩ නගරයේ පිහිටි ලිට්රෝ සමාගමට අයත් අලෙවිසැලක අද (05) අලුයම සිට දිගු පෝළිම් දක්නට ලැබූ බව අප වාර්තාකරු සඳහන් කළා.

උදෑසන 9 ට පමණ එම ස්ථානයට ගෑස් සිලින්ඩර රැගත් ලොරියක් පැමිණ ඇති අතර එහි දී ඇති වූ උණුසුම්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා මැදිහත් වීමට පොලිසියට සිදු වුණා.

ලිට්රෝ සමාගමට අයත් මෙට්‍රික් ටොන් 3700 ක් අඩංගු ගෑස් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇති අතර පාරිභෝගික අධිකාරියේ මැදිහත් වීමෙන් එහි සංයුතිය පරීක්ෂා කිරීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ, සිය සමාගමට අයත් ගෑස් නෞකාවක් ද හම්බන්තොට වරායට අද (05) ළඟා වන බවයි.

තොග ලැබුණ ද සිය සමාගමට උපරිම ධාරිතාවයකින් ගෑස් සැපයීම සිදුකළ නො හැකි බව ඔහු සදහන් කළා.

ණයවර ලිපි නිකුත් කිරීමේ දී මතුව ඇති ඩොලර් අර්බුදය ඊට හේතු වී ඇති බවයි ලාෆ් සමාගමේ සභාපතිවරයා පෙන්වා දුන්නේ.

***************************************

මේ වසරේ සංචාරක ඉලක්කය මිලියන 2.3 ක්

(05.01.2022 – 13:24 +0530 – hirunews.lk/sinhala)

මෙම වසර තුළ මෙරටට සංචාරකයින් මිලියන 2.3 ක් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බව, සංචාරක අමාත්‍යාංශය පවසනවා.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ අඩාල වූ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි, එම අමාත්‍යාංශය සදහන් කළේ.

පසුගිය වසරේදී මෙරටට සංචාරකයින් 1,94,495 ක් පැමිණි අතර ඉන් 56,000 ක් පැමිණියේ ඉන්දියාවෙන් ෴

***************************************

රැකියා විරහිත උපාධිධාරීන් කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවක

(05.01.2022 – 13:29 +0530 – hirunews.lk/sinhala)

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද (05) දින කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

ඒ, වයස අවුරුදු 35 ඉක්මවූ උපාධිධාරීන්ට රැකියා ලබා දීම ප්‍රතික්ෂේප කරමින් රජය මගින් පනවා ඇතැයි කියන වයස් සීමා කොන්දේසියට විරෝධය පල කරමින්.

එමෙන්ම සංවර්ධන නිලධාරී සේවා සංගමය ද බත්තරමුල්ල – පැලවත්ත – ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා.

එහි ප්‍රධාන ලේකම් චන්දන සූරිය ආරච්චි කියා සිටියේ, වයස් සීමා කොන්දේසිය යටතේ වයස අවුරුදු 35 ඉක්මවූ උපාධිධාරීන්, ගුරු පුරප්පාඩු සඳහා බඳවා නොගැනීම ඇතුලු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙම උද්ඝෝෂණය පවත්වන බවයි ෴

***************************************

මහබැංකු අධිපතිගෙන් යළි ට්විටර් පණිවුඩයක්

(05.01.2022 – 14:00 +0530 – hirunews.lk/sinhala)

ලබන 18 වන දාට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය පියවීම සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදල වෙන් කර ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.

මේ අතර, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහබැංකු අධිපතිවරයා සදහන් කළේ ගනුදෙනුකරුවන්ගේ විදේශ මුදල් තැන්පතු රුපියල්වලට පරිවර්තනය කරන ලෙසට මහබැංකුව මෙරට බැංකු වලට නියෝග කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවයි.

එවැනි ප්‍රකාශ රජය අපහසුතාවයට පත් කිරීම සදහා සංවිධානාත්මකව සිදුකරන බව ද ඔහු සඳහන් කළා.

මේ අතර, රාජ්‍ය මෙන්ම පෞද්ගලික බැංකුවලින් ඩොලර් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැදී සිටීමට සිදුව ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

දැනට අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් බහාලුම් 1700 ක් පමණ කොළඹ වරායේ සිරවී ඇත්තේ ඩොලර් නොමැතිවීම හේතුවෙන්.

මේ වනවිට වෙළඳපලේ සහල් මිල ඉහළ ගොස් ඇති අතර, නාඩු සහල් කිලෝවක් රුපියල් 170 සහ සම්බා කිලෝවක් රුපියල් 190 දක්වා මිල ඉහළ ගොස් ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය කියා සිටියා ෴

***************************************

පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙකු මරුට

(05.01.2022 – 14:04 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙනවා.

අද (05) දින මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කල්මුණේ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් කලීම් නැමති 42 හැවිරිදි සැකකරුවෙක්.

මොහුගේ මරණය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා ෴

***************************************

දිනේෂ්ගේ කනට කර විමල් කිව්වේ මොකක් ද ?

(05.01.2022 – 14:34 +0530 – hirunews.lk/sinhala)

රට මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා විරුද්ධ පක්ෂයේ සිටින උදවිය පවා එකතු කරගත යුතු මොහොතක තමන් සමඟ සිටින ජනතා අය අහිමි කර නො ගත යුතු බව අමාත්‍ය විමල් වීරවංශය පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ, රට මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා සියලු පාර්ශ්ව සමඟ ජාතික සම්මුතියක් ඇති කර ගෙන පුළුල් එකමුතුවකින් කටයුතු කළ යුතු සමය එළඹ ඇති බවයි.

මේ වනවිට රට මුහුණ පා ඇති තත්ත්වය එක් අමාත්‍යවරයෙකුගේ හෝ දෙදෙනකුගේ අසමත්කමක් ලෙස ලඝු කොට නො ගන්නා ලෙසත් රටේ තත්ත්වය ඊට වඩා පුළුල් ලෙස ගෙන විග්‍රහ කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සුසිල් ප්‍රේම් ජයන්ත් රාජ්‍ය අමාත්‍යවරයා එම තනතුරෙන් නෙරපා හැරීමට පෙර ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල රැස්වීමේ දී යම් යම් දේ සාකච්ඡා වූ බවයි.

කර්මාන්ත අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, මාලබේ පිරිමි විද්‍යාලයේ තාක්ෂණ පීඨ විද්‍යා තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ වැඩකටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙම අවස්ථාවට, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද එක්ව සිටියා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ තාක්ෂණ අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් යටතේ, ඉදිකෙරෙන මෙම තෙමහල් ගොඩනැගිල්ල ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 53 ක් ද, අධ්‍යාපන කටයුතු සඳහා වන තාක්ෂණ උපකරණ සඳහා රුපියල් මිලියන 35 ක් ද වැය කිරීමට නියමිත යි.

***************************************

කෆීර් ප්‍රහාරක ජෙට් බලඝණය සිය 26 වන සංවත්සරය සමරයි

(05.01.2022 – 14:58 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 10 කෆීර් ජෙට් යානා බලඝණය අද (05) දින සිය 26 වෙනි සංවත්සරය ඉතා අභිමානවත් අයුරින් සමරනු ලබනවා.

‘වැලි කතරේ සිංහ පෝතකයා’ නමින් විරුදාවලිය ලත් කෆීර් ප්‍රහාරක ජෙට් යානාවන්ගෙන් සමන්විත වූ අංක 10 බලඝණය 1996 වසරේ ජනවාරි මස 05 වන දින ඊශ්‍රායලයේ නිෂ්පාදිත කෆීර් ප්‍රහාරක ජෙට් යානාවන් 06 කින් සහ වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහාතා ද ඇතුළුව ගුවන් නියමුවන් 04 දෙනෙකු, ඉංජිනේරු නිලධාරින් 04 දෙනෙකු හා කාර්මික ශිල්පීන් 70 දෙනෙකු සහිත කාර්ය මණඩලයකින් ආරම්භ කර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය අංශය පැවසුවේ.

පසුව 2000 වර්ෂයේදී ගුවන් යානා 09 ක් අලුතින් එකතුවීමත් සමග බළඝණය තව තවත් ශක්තිමත් වීම සිදු වුණා.

වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මෙම බලඝණයේ ගුවන් නියමුවකු, ගුවන් නියමු උපදේශකයකු මෙන්ම අණදෙන නිලධාරිවරයා වශයෙන් ද කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම මාතෘභූමියේ ඒකීයභාවය සුරක්‍ෂිත කරලනු වස් සිය වගකීම්සහගත යුතුකම ඉටු කරලීම උදෙසා වර්ෂ ගණනාවක් මුළුල්ලේ අතිශයින්ම වැදගත් වූ ප්‍රහාරක මෙහෙයුම් රාශියක් සිදු කිරීමට සක්‍රීය දායකත්වය මෙම බලඝණය වෙත ලබා දී තිබෙනවා.

වර්ෂ 2009 මාර්තු මස 08 වැනි දින එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් දශක 03 කට අධික කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදය තුරන් කිරීමට ලබා දුන් අද්විතීය දායකත්වය වෙනුවෙන් අංක 10 ප්‍රහාරක බලඝණයට ජනාධිපති වර්ණ ප්‍රදානය කර තිබෙනවා.

මෙම බලඝණය ආරම්භ වූ 1996 වසරේ සිටම මාතෘභූමියෙන් ත්‍රස්තවාදය තුරන් කරලීම උදෙසා සහෝදර හමුදාවන්ගේ චිත්ත ධෛර්යය වඩවමින් යුද භූමියේ මහඟු කාර්යභාරයක් ඉටු කරන ලද බලඝණයක්.

1996 වසරේ සිට ගුවන් හමුදා සක්‍රීය සේවයට එක් වූ මෙම කෆීර් යානා 2006 වසරේ ආරම්භ වූ අවසන් මානුෂීය මෙහෙයුමේ අවසානය දක්වා අඛණ්ඩ වූ සේවයක් ලබාදෙමින් සිය වගකීම මාතෘභූමිය වෙනුවෙන් ඉටු කරලීමට ඇප කැප වුණා.

මෙම බලගණය සිය යානා යොදා ගනිමින් ඉතා සියුම් භූමිගත ත්‍රස්තවාදී ඉලක්කයන් වෙත අතිසාර්ථක අන්දමින් ප්‍රහාර එල්ල කිරීමේ සුවිශේෂී හැකියාවෙන් උපරිම ඵල නෙලා ගනිමින් 1996 වසරේ සිට 2009 වසර දක්වා ප්‍රහාරක මෙහෙයුම් 2500කට අධික ප්‍රමාණයක් සිදුකොට තිබෙනවා.

ගුවන් හා ගොඩබිම් කාර්යය මණ්ඩලයේ කැපවීම මත අංක 10 ප්‍රහාරක බළඝණය අනාගතයේදී ද කිසිදු කලාපීය ගුවන් හමුදාවකට නොදෙවෙනි හැකියාවක් සහිතව හා උසස් පුහුණුව ලත් පිරිස් සමගින් තම සේවය අප මව්බිම සදහා ලබාදීමට නිරතුරුව ඇප කැප වී ක්‍රියා කරනු ලබන බව ද ගුවන් හමුදාව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්.

***************************************

‘වැලිපැන්නේ ජෝසා’ගේ ගෝලයෙකු වන ‘බොන්දුපිටියේ බ්ලැකා’ පොලීසියට කොටුවෙයි

(05.01.2022 – 15:21 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කරුවකු වන ‘වැලිපැන්නේ ජෝසා’ ගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනකු (2) හොරයින් මත්කුඩු තොගයක් සහ ජාවාරමෙන් උපයා ගත් මුදල් ද සමඟ අලුත්ගම බොන්දුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ‘බොන්දුපිටියේ බ්ලැකා’ නමැත්තාද වන බව පොලීසිය සඳහන් කරයි.

‘බ්ලැකා’ නමැති සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්තාවෙදී ඔහු සන්තකයේ තිබී හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 240 ක් සහ රුපියල් 23,000 ද අනෙක් සැකකරු සන්තකයේ තිබී හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 8 මිලිග්‍රෑම් 260 මෙන්ම රුපියල් 65,000 ක මුදලක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා (2) විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව අලුත්ගම පොලිසියේ ස්ථානාධිපති වරයා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට (2) එරෙහිව අධිකරණ කීපයකම විවිධ නඩු පවතින බව පොලිසිය පවසනවා.

මෙම සැකකරුවන් අද (05) කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

ග්‍රෑන්ඩ්පාස් හි තරුණයා ඝාතනයට 6 ක් අත්අඩංගුවට

(05.01.2022 – 16:01 +0530 – hirunews.lk/sinhala)

ග්‍රෑන්ඩ්පාස් – සේදවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 17 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා අනිද්දා (07) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරුවන් සියලු දෙනා බාල වයස්කරුවන් බව අධිකරණය හමුවේ අනාවරණය වීම හේතුවෙන් ඔවුන් මාකොළ ප්‍රදේශයේ පිහිටි ළමා රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලෙසටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා නියෝග කර ඇත්තේ.

එසේම සැකකරුවන් එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ආවරණය කර ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කෙරුණා.

ටික්ටොක් වීඩියෝ සමාජ මාධ්‍යයට මුදා හැරීමට වැඩි ප්‍රියතාවයක් දැක්වූ මිය ගිය තරුණයා පෙරේදා (03) මෙලෙස ඝාතනයට ලක්වුණේ ග්‍රෑන්ඩ්පාස් – හේනමුල්ල පාර ප්‍රදේශයේදීයි.

***************************************

අනාගතයේදී රට ගොඩනැගීමට කිසිඳු පක්ෂයකට හැකියාවක් නැහැ – අනුර කුමාර දිසානායක

(05.01.2022 – 16:11 +0530 – hirunews.lk/sinhala)

නිදහසින් පසු රටේ පාලන බලය හෙබවූ කිසිඳු පක්ෂයකට අනාගතයේදීවත් රට ගොඩනැගීමට හැකියාවක් නොමැති බව, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. කුරුණෑගල පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

***************************************

මෙරටට එවන සෑම ඩොලරයකටම රුපියල් 240 ක් ලබාදෙන්නැයි නිමල්ගෙන් යෝජනාවක්

(05.01.2022 – 16:25 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ගිණුම්වල ඇති විදේශ මුදල් රුපියල්වලට පරිවර්තනය කරන ලෙස මහ බැංකුව මෙරට බැංකුවලට උපදෙස් දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

මේ අතර, විදෙස් ශ්‍රමිකයන් මෙරටට එවන සෑම ඩොලරයකටම රුපියල් 240 ක් ලබාදීමට යෝජනා කරන බවයි, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ.

***************************************

30 හැවිරිදි පියාට ජීවිතය අහිමි කළ කර්මාන්තශාලා අනතුර

(05.01.2022 – 16:28 +0530 – hirunews.lk/sinhala)

මිල්ලනිය පරගස්තොට ටයර් නිෂ්පාදන ආයතනයක් තුළදී නිෂ්පාදන භාණ්ඩ යන්ත්‍රයක් තුළට ගෙනයාම සඳහා භාවිතා කරන විදුලි සෝපානයට හිස සිරවීමෙන් පුද්ගලයෙක් එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලීසිය පවසනවා.

අනතුරින් මියගොස් ඇත්තේ මොරන්තුඩුව තරුණ සේවා මාවතේ පදිංචිව සිටි නිලූක තනූජ ද සිල්වා නමැති 30 හැවිරිදි එක් දරු පියෙක්.

මියගිය පුද්ගලයා තවත් සේවකයන් පිරිසක් සමඟ ටයර් නිෂ්පාදන යන්ත්‍රයේ සේවය කරමින් සිටියදී මෙම හදිසි අනතුර වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

අනතුර හේතුවෙන් හිසට සිදු වූ බරපතළ තුවාල සහිතව හොරණ මූලික රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවා.

මළ සිරුර හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුව පශ්චාත් හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි ෴

***************************************

මේ මොහොතේ ජනතාවට අවශ්‍ය අන්දන ආණ්ඩුවක් නෙවෙයි – සජිත්

(05.01.2022 – 21:50 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට මේ මොහොතේ අවශ්‍ය ජනතාව අන්දන විකල්පයක් නොව රටට වැඩ කරන ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පසුගියදා කින්නියා ප්‍රදේශයේ පාරු අනතුර සිදු වු ස්ථානය නීරික්ෂණයට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළා.

මෙහිදී ජීවිත අටක් අහිමි කරමින් පසුගියදා කින්නියා ප්‍රදේශයේ සිදු වු පාරු අනතුර සිදු වු ස්ථානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා.

එහිදි කින්නියා පාලම් අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ සහ අනතුරට ලක්වූ පවුල් සඳහා මූල්‍ය ආධාර ලබා දීමක් ද විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *