ඇත්ත කතා කළ නිසා දුකක් නෑ – සුසිල් ප්‍රේම්ජයන්ත්

ඇත්ත කතා කළ නිසා දුකක් නෑ – සුසිල් ප්‍රේම්ජයන්ත්

*********************************************

ඇත්ත කතා කළ නිසා දුකක් නෑ – සුසිල් ප්‍රේම්ජයන්ත්

(05.01.2022 – 09:29 +0530 – hirunews.lk/sinhala)

ජනතාව වෙනුවෙන් ඇත්ත කතා කළ විට ඇමතිකම් අහිමි වුණාට දුකක් නෑ යනුවෙන්, පසුගිය දා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපුණු සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

රජයේ වැරැදි ප්‍රතිපත්ති සහ තීන්දු තීරණ පෙන්වා දෙන අයට කිසිවක් නො විමසා දඬුවම් දෙනවා නම්, එවැනි දේ සඳහා තීන්දුව ජනතාව විසින් දෙනෙ ලැබෙතැ යි යනුවෙන් ද ඔහු සඳහන් කළා.

ඉකුත් දා නුගේගොඩ දෙල්කඳ පොළට එළවළු මිල දී ගැනීමට ගිය අවස්ථාවේ දී එහි සිටි විද්‍යුත් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට දුන් පිළිතුරු සම්බන්ධයෙනු යි සිටපු අමාත්‍යවරයා බරපතළ ලෙස සාකඡාවට බඳුන් වුණේ.

ගුරු ගැටලු, පොහොර, ගෑස්, පොහොර නැව්, සහල් මේ ආදී සෑම අර්බුදයකට ම හේතුව, ආණ්ඩුව වැරැදි මාවතක ගමන් කිරීම බව සදහන් කළා හිටපු අමාත්‍යවරයා, ඒ සෑ ම එකකින් ම පීඩවට පත් වුණේ රටේ දුප්පත් ජනතාව බව ද පවසා සිටියා.

“අපි මැතිවරණ ජයග්‍රහණයේ දී ගෝඨාභය රාජපක්‍ෂ හා මහින්ද රාජපක්‍ෂ දෙපල වෙනුවෙන් කැපවුණා. 2000 දී චන්ද්‍රිකා ආණ්ඩුවේ පළමුවෙන් ම මට ලැබුණේ අධ්‍යාපන ඇමැති පදවිය යි. මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ මැතිවරණ 11 ක අප කටයුතු කළා. එතුමාගේ නාමයෝජනා 3 කට අත්සන් කළේ මමයි. ඒ විතරක් නොවෙයි, මහින්ද ජනාධිපතිතුමාගේ රජයේ ඉතා වැදගත් ඇමැති පදවිවල කටයුතු කෙරුවා” යනුවෙන් ද සුසිල් ප්‍රේම්ජයන්ත් ප්‍රකාශ කළා.

තමා වසර 40 ක පමණ කාලයක සිට එළවළු මිල දී ගැනීමට යන්නේ, දෙල්කඳ පොළට බවත් එළවළු මිල ගණන් අධික වී තිබුණු මොහොතක දී මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට තමා දුන්නේ ඉතා සාධාරණ පිළිතුරක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

රාජ්‍ය අමාත්‍ය ධුරය අහිමි වීමෙන් පසු ව සිය සුපුරුදු නීති වෘත්තියේ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙන බව යි හිටපු අමාත්‍යවරයා අවසන් වශයෙන් සඳහන් කළේ.

***************************************

ගත වූ වසරේදී ළමා හිංසන පැමිණිලි 3000 ක්

(05.01.2022 – 09:27 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේදී ළමයින් හිංසනයට ලක්වීම සම්බන්ධයෙන් පැමිණිලි 3373 ක් තමන් වෙත වාර්තාවී ඇති බව, ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා.

ඉන් 598 ක් වයස අවුරුදු 5 ට අඩු දරුවන් හිංසනයට ලක් කිරීමේ සිද්ධීන් වීම විශේෂත්වයක්.

එම පිරිස අතරින්ද 252 කු ගැහැණු දරුවන්.

හිංසනයට ලක්වූ දරුවන් අතරින් 1,342 කු පියා අතින්ද, 718 දෙනෙකු මව අතින්ද හිංසනයට ලක්ව ඇති බවයි, ජාතික ළමාරක්ෂක අධිකාරිය සඳහන් කරන්නේ.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අතින් හිංසනයට ලක්වීමේ සිද්ධීන් සංඛ්‍යාව 98 ක්.

2015 වසරේ සිට 2020 දක්වා කාලය තුළ ජාතික ළමා රක්ෂක අධිකාරියට ළමා හිංසන පිළිබඳ පැමිණිලි 16,395 ක් වාර්තා වී තිබුණා.

ඒ අනුව, ගත වූ වසර හයක (6) කාලය තුළ වාර්තා වූ මුළු සිද්ධීන් සංඛ්‍යාව 19,768 ක් ෴

***************************************

කොස්ගොඩ නදුන්ගේ සමීපතමයෙකු කේරල ගංජා සමඟ අත් අඩංගුවට

(05.01.2022 – 10:12 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කොස්ගොඩ පොලිස් වසමේ ශ්‍රී ඥාන විමල මංසන්ධිය අසල දී වැටලීමක් සිදු කර තිබෙනවා.

එහි දී ‘කොස්ගොඩ නදුන්’ගේ සමීපතයෙකු කේරල ගංජා ග්‍රැමි 08 යි මිලිග්‍රැමි 200 ක් සන්තකයේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

අත් අඩංගුවට ගෙන ඇත්තේ, කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයෙක්.

වැඩිදුර විමර්ශන කටයුතු කොස්ගොඩ පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති ෴

***************************************

යතුරු පැදි අනතුරකින් මන්ත්‍රීවරියක් මරුට

(05.01.2022 – 10:30 +0530 – hirunews.lk/sinhala)

මීපේ – ඉංගිරිය මාර්ගයේ පාදුක්ක අංගම්පිටිය උළුකැටිය ප්‍රදේශයේ දී යතුරැපැදියක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (04) සවස සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇතැ යි පාදුක්ක පොලිසිය පවසනවා.

මෙලස මිය ගොස් ඇත්තේ, පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක බව කියන බී.එච්.එස්. ජයන්ති නමැති විවාහක කාන්තාවක්.

අනතුරට ලක් වූ යතුරැපැදිය ඉංගිරිය දෙස සිට මීපේ දෙසටත් ලොරි රථය මීපේ දෙස සිට හඳපාන්ගොඩ දෙසටත් ධාවනය කරමින් තිබිය දී මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

යතුරැපැදියේ ගමන්ගත් කාන්තාවට නින්ද යාම නිසාවෙන් මෙම අනතුර සිදු ව ඇති බවට මෙතෙක් සිදු කළ මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇති බව ද පොලිසිය පවසනවා.

මිය ගිය කාන්තාව පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක වන අතර, ඇය බදුරලිය ශ්‍රී ජිනරතන මාවත පදිංචි ව සිටි බවට යි වාර්තා වන්නේ.

මිය ගිය කාන්තාවගේ දේහය පාදුක්ක ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු පාදුක්ක පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු අද (05) දින අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත යි.

***************************************

විදේශ මුදල් තැන්පතු රුපියල්වලට පරිවර්තනය කිරීමට නියෝග කර නැහැ – මහබැංකු අධිපති

(05.01.2022 – 10:34 +0530 – hirunews.lk/sinhala)

ගනුදෙනුකරුවන්ගේ විදේශ මුදල් තැන්පතු රුපියල්වලට පරිවර්තනය කරන ලෙසට මහබැංකුව මෙරට බැංකුවලට නියෝග කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහබැංකු අධිපතිවරයා සදහන් කළේ, එවැනි ප්‍රකාශ රජය අපහසුතාවයට පත් කිරීම සදහා සංවිධානාත්මකව සිදු කරන බවයි.

කෙසේ වෙතත්, මෙරට වාණිජ බැංකුවල අනේවාසික හා නේවාසික විදේශ මුදල් තැන්පතු ගිණුම් පවත්වාගෙන යන ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වල ඇති තැන්පතු මුදලින් 25% ක් දේශීය මුදල්වලට හුවමාරු කරන ලෙසට මහබැංකුව දැනුම් දී ඇති බවට වාර්තා මීට පෙර ද පළ වුණා.

මේ අතර, ඩොලර් හිඟය නිසා ණයවර ලිපි විවෘත කිරීමට නො හැකි වීම හේතුවෙන් ඖෂධ ආනයනයට ද බලපෑම් එල්ල වී තිබෙනවා.

රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න සදහන් කළේ, මේ හේතුවෙන් ඉදිරියේ දී රට තුළ ඖෂධ හිඟයක් ද ඇති විය හැකි බවයි.

මේ අතර, ඩොලර් හිඟය හේතුවෙන් ණය පදනම මත ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් අර්තාපල් සහ ලොකුලූනු ආනයනය කළ ව්‍යාපාරිකයින් දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වනවා ෴

***************************************

බය වෙන්න එපා ! අපි ණය ගෙවලා පෙන්වන්නම් – බැසිල්

(05.01.2022 – 10:54 +0530 – hirunews.lk/sinhala)

මෙම වර්ෂය සඳහා ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 1,38,000 ක (ඇමරිකානු ඩොලර් බිලියන 6.9) ණය මුදලක් ගෙවීමට තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

එම ණය මුදල විධිමත් ව ගෙවීම සඳහා වත්මන් ආන්ඩුවට හැකියා ව පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

මෙතෙක් ගෙවීමට තිබූ ණය වාරිකයන් ද නිසි ආකාරයට කිසිදු ගැටලුවකින් තොර ව ගෙවා තිබෙන බව සඳහන් කරන අමාත්‍යවරයා, ඉදිරියටත් එම ප්‍රතිපත්තිය ම අනුගමනය කරන බව යි ප්‍රකාශ කළේ.

ණය ගෙවන අතරවාරයේ ද ජනතාව වෙනුවෙන් සහන ලබාදීමත් සංවර්ධන කටයුතු ද අඛණ්ඩ ව පවත්වාගෙන යාමත් පිළිවෙළකට සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

***************************************

ජනපති මහනුවරට

(05.01.2022 – 11:03 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට ටික වේලාවකට පෙර මහනුවරට පැමිණි බව වාර්තා වනවා.

ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකකින් (2) මහනුවර පොලිස් ක්‍රීඩාංගනය වෙත පැමිණි බවයි, අප වාර්තාකරු පවසන්නේ.

අද (05) පෙරවරු 10:15 ට මහනුවර පොලිස් ක්‍රීඩංගනයට පැමිනි ජනාධිපතිවරයා ඉන් අන්තුරුව මහනුවර දළදා මාලිගාව වැඳපුදා ගැනීම සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපතිවරයා අද (05) දින මහනුවර ජනාධිපති මන්දිරයේ රැඳී සිටීමට නියමිත අතර මල්වතු, අස්ගිරි මහ නායක හිමිවරුන් සහ අනුනායක හිමිවරුන් ද මෙම ගමනේ දී හමුවීමට නියමිත බවයි, වාර්තා වන්නේ ෴

***************************************

රට ගොඩනැඟීමට නම් අනාගතවාදී සැලසුම් අවශ්‍ය බවට විපක්ෂ නායකගෙන් පණිවිඩයක්

(05.01.2022 – 11:26 +0530 – hirunews.lk/sinhala)

රටක් ගොඩනැඟීම සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී අතිශයින්ම සංවේදී අවශ්‍යතා පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව පවසන විපක්ෂ නායකතවරයා, එසේ නො වූ විට ඇති වන්නේ ඛේදවාචකයක් යැයි සඳහන් කරනවා.

ජීවිත රැසක් අහිමි කළ කින්නියා පාලම් පාරු අනතුරට හේතු වූ කින්නියා පාලම ඉදිකිරීමේ කටයුතු තවමත් එක ම තැන බව පැවසූ විපක්ෂ නායකවරයා, එය ‘විසි වැනි සංශෝධනයේ පාලමක්’ යයි ද පවසනවා.

කින්නියා කුරන්ජන්කර්නි කළපුවේ පාලම් පාරු අනතුරට ලක් ව ජීවිතක්ෂයට පත්වූ සහ අනතුරට ලක් වූ පවුල් සඳහා මූල්‍ය ආධාර ලබා දීමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) සිදු වුණා.

ඒ අවස්ථාවට සම්බන්ධ වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ‘සක්වල වැඩසටහන’, ‘සමගි ජනබලවේගයෙන් හුස්මක්’ වැඩසටහන ඇතුළු වැඩසටහන් රැසක් දියත් කරමින් සිටින අතරතුර මේ අවස්ථාවට එක් වී තිබුණා.

***************************************

ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ ක්‍රිකට් පිටියට සමුදෙයි

(05.01.2022 – 12:12 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පසුගිය සඳුදා (03) බාර දී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

ක්‍රිකට් ආරංචි මාර්ගවලට අනුව භානුක රාජපක්ෂ සිය විශ්‍රාම යාමේ ලිපියේ සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දී ඇති නවතම ශාරීරික යෝග්‍යතා ප්‍රමිතීන් සමඟ තව දුරටත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තමාට නොහැකි වනු ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ගෙන් සිදු කළ විමසීමක දී ඔහු කියා සිටියේ, තමා හට තාමත් එවැනි ලිපියක් භානුක රාජපක්ෂගෙන් ලැබී නො මැති බවයි.

ක්‍රීඩකයන්ගේ යෝග්‍යතා සහ විඳදරා ගැනීමේ මට්ටම් තීරණය කිරීම සඳහා පවත්වන යෝ-යෝ පරීක්ෂණය වෙනුවට කිලෝමීටර් 2 ධාවන පරීක්ෂණය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත හදුන්වා දුන්නේ, පසුගිය වසරේ (2021) මුල් කාර්තුවේදීයි.

ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ ඉල්ලීමකට අනුව ගෙන ආ මෙම පරීක්ෂණය තුළ දී මිනිත්තු 8.35 ක කාලයක් තුළ ක්‍රීඩකයින් කිලෝ මීටර 2 ක දුර ප්‍රමාණය හමාර කළ යුතු ව තිබුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව දැන් පෙන්වා දෙන්නේ, ජාතික ක්‍රීඩකයින් මිනිත්තු 8.10 තුළ කිලෝමීටර් 2 ධාවනය අවසන් කළ යුතු බවට යි.

නව සංශෝධනවලට අනුව, මිනිත්තු 8.35 සීමාව තුළ ධාවනය හමාර කරන ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා සුදුසුකම් ලබන නමුත් එම ක්‍රීඩකයින් අපේක්ෂිත ඉලක්කයට ළඟා වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික කොන්ත්‍රාත්තු ගාස්තුවෙන් ප්‍රතිශතයක් රඳවා ගැනීමටත් යෝජනා වී තිබෙනවා ෴

++++++++

ක්‍රිකට් පිටියට සමු දෙන්නට සැරසෙන භානුකට මාලිංගගෙන් ඇරයුමක්

(05.01.2022 – 13:42 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය ගැන නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටිනවා.

ඒ සිය ට්විටර් ගිනුම හරහා භානුක රාජපක්ශ වෙත පණිවිඩයක් යොමු කරමින්,
“ජාත්‍යන්තර මට්ටමින් ඔබේ රට නියෝජනය කිරීම පහසු කාර්යයක් නො වන අතර ක්‍රීඩකයින් සෑම විට ම අභියෝග රැසකට මුහුණ දෙයි. භානුක රාජපක්ශට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට තවත් බොහෝ දේ ලබා දීමට ඇති බව මම සැබවින්ම විශ්වාස කරන අතර, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමේ ඔහුගේ තීරණය නැවත සලකා බලන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටිමි”
යනුවෙන් මාලිංග සිය ට්වීටර් පණිවිඩයේ සඳහන් කර තිබුණා.

භානුක රාජපක්ෂ මේ සතිය මුල දී (03) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩවෙන් විශ්‍රාම යාමේ සිය සූදානම පිළිබඳ දන්වන ලිපිය භාර දී තිබුණා.

එම ලිපියේ භානුක දන්වා තිබුණේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දී ඇති නවතම ශාරීරික යෝග්‍යතා ප්‍රමිතීන් සමඟින් තමාට තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නො හැකි බවයි.

මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන්නා ප්‍රකාශ කළේ, භානුකට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනූවෙන් තවත් බොහෝ දේ ලබා දීමට ඇති බව තමන් විශ්වාස කරන බව යි ෴

***************************************

කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය සමග සිව් දෙනෙකු (4) අත්අඩංගුවට

(05.01.2022 – 13:17 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටියකට (1,00,00,000) අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි (1) ග්‍රෑම් 20 ක් සුඛෝපභෝගී කුලී රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු (4) අඟුලාන මංසන්ධියේදී අද (05) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මොරටුව පොලීසිය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ත්‍රිකුණාමල වරායේ සේවයේ නියුතු පුද්ගලයෙකු ද සිටින බවයි, වාර්තා වන්නේ.

වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටල් දෙකක (2) වෙනත් පුද්ගලයින්ගේ නමින් කාමර වෙන්කරවාගෙන සැකකරුවන් මෙම ජාවාරම සිදුකර තිබෙනවා.

මන්නාරම ප්‍රදේශයෙන් ගෙන්වා ගන්නා එම මත්ද්‍රව්‍ය මොවුන් විසින් මොරටුව, පානදුර, රත්මලාන, දෙහිවල-ගල්කිස්ස, පිළියන්දල යන ප්‍රදේශවලට බෙදා හැර ඇති බව පොලීසිය සදහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තුන් දෙනෙකු (3) ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් සැකකරු (1) පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

***************************************

සහල් පෝලිම් ගැන සංගම්වලින් අනතුරු ඇගවීම්

(05.01.2022 – 13:16 +0530 – hirunews.lk/sinhala)

වෙළෙඳපොළේ යළි සහල් මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

නාඩු සහල් කිලෝවක් රුපියල් 170 දක්වාත්, සම්බා කිලෝවක් රුපියල් 190 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කළේ. එහි සභාපති මුදිත පෙරේරා කියා සිටියේ, ඉදිරියේ දී වෙළදපොළේ සහල් හිඟයක් ද මතු විය හැකි බවයි ෴

***************************************

හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවා දකුණු පළාතේ වර්ජනයක

(05.01.2022 – 13:23 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් 7 ක් මුල් කර ගනිමින් හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය වෘත්තිකයින් ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් දකුණු පළාතේ රෝහල් තුළ දියත් කර ඇති වර්ජනය හේතුවෙන් බාහිර රෝගී අංශවල ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි ජනතාව අපහසුතාවට ලක්ව තිබෙනවා.

අද (05) උදෑසන 7 ට ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් ඖෂධ නිකුත් කිරීම, රසායනාගාර පරීක්ෂණ කටයුතු ඇතුළු සේවා කිහිපයක් ම ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *