රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කෙරෙයි

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කෙරෙයි

*********************************************

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කෙරෙයි

(04.01.2022 – 09:14 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරීමට ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම තීරණය ගෙන ඇත්තේ, ජනාධිපතිවරයා වෙත සතු විශේෂ බලතල උපයෝගී කරගනිමින්.

ඊයේ හවස පැවති කැබිනට් මණ්ඩල හමුවේ දී ජනාධිපතිවරයා සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයෙන් අදහස් පළ කර ඇති බවට යි වාර්තා වන්නේ.

එහි දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ, රජයේ අමාත්‍යවරයෙකු ලෙස තනතුරු දරමින් රජයේ ක්‍රියාමාර්ග විවේච්නය කිරීම සිදු නො කළ යුත්තක් බව යි.

පසුගිය ඉරිදා දෙල්කඳ මහජන පොළට පැමිණි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් එහි දී රූපවාහිනී මාධ්‍ය වාර්තාකරුවන් හමුවේ, අදහස් දක්වමින් රජයේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කළ අතර, කෘෂිකර්ම අමාත්‍යවරයා සහමුලින් ම අසමත් බව එහි දී කියා සිටියා.

+++++++

ත්‍රීරෝද රථයෙන් ගෙදර ගිය ඇමති සුසිල්

(04.01.2022 – 15:34 +0530 – hirunews.lk/sinhala)

හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අද (04) පෙරවරුවේ සිය අමාත්‍යාංශයේ නිල සුඛෝපභෝගී රථය සහ සෙසු භාණ්ඩ යළි භාරදීමෙන් අනතුරුව නිවස බලා පිටත්ව ගොස් තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා අද (04) උදෑසන රාජකාරියට අදාළ සියලු ලිපිලේඛන ආදිය ද භාර දී ත්‍රී රෝද රථයක නැගී නික්ම ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඒ යන අතරවාරයේ දී හෙතෙම මාධ්‍යවේදීන් ඇතුළු සෙසු පිරිසට ‘සුබ අනාගතයක්’ යැයි සුබාශිංසන ද එක් කළා.

සාධාරණ විවේචන ඉවසීමට නොහැකි නම් දේශපාලනය මෙන්ම රට ඉදිරියට ගෙන යාමට ද නොහැකි බව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත වහාම ක්‍රියාත්මක වන පරිදි අද (03) උදෑසන එම ධුරයෙන් ඉවත් කර තිබුණා.

පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වැදුණු ඔහු ඡන්ද 50,321 ක් ලබා ගනිමින් එහි 11 වන ස්ථානයට පත් වූ අතර, පසුගිය 02 වනදා දෙල්කඳ සති පොළට පැමිණ ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ද සිදුකළා.

එවන් පසුබිමකයි ජනාධිපතිවරයා විසින් අද (04) ඔහුව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ.

රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා අද (04) උදෑසන ඉසුරුපායේ පිහිටි සිය අමාත්‍යාංශයට පැමිණ සිටියා.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද ඉසුරුපායේ පිහිටි අමාත්‍යාංශය වෙත පැමිණෙමින් සිටියදී මාධ්‍යවේදීන් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ඉවත්කිරීම සම්බන්ධයෙන් විමසුවා.

අනතුරුව සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා සිය අමාත්‍යාංශයෙන් පිටව ගියේ ත්‍රිරෝද රථයකින්.

+++++++++

සුසිල්ට වඩා ආණ්ඩුවට බැණපු ලන්සාව අස් නොකලේ ඇයි?

(04.01.2022 – 16:35 +0530 – hirunews.lk/sinhala)

රට මුහුණ දී සිටින තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව වැඩපිළිවෙලකට යොමු වී ඇතැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

වත්මන් ආණ්ඩුව සන්ධාන ආණ්ඩුවක් බවත් පාර්ලිමේන්තුවේ ප්‍රබලම තුන්වන (3) පක්ෂය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් ඒ කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩගැනීමට නොහැකි තැනකට වැටී ඇතැයි ඇතැමුන් සිතා සිටිය ද එවැනි තත්ත්වයකට පත්ව නොමැති බව ද මෛත්‍රීපාල සිරිසේන පැවසුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතළ කඩා වැටීමකට ලක්වුණේ 1977 මැතිවරණයේ දී බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා.

“අලුත් අවුරුද්ද ලබලා දවස් 4 යි. මේ අවුරුද්දේ පළවෙනියෙන් නිකුත්වුණ ඡන්ද ප්‍රතිඵලය තමයි … ගිය සෙනසුරාදා සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමතිතුමා පොළේ ගියා හැම සුමානේම යන්නවා වගේ. ඒ වේලාවේ මාධ්‍යවේදීන් එතුමාගෙන් ඇසුවා කොහොමද ආණ්ඩුව කියලා. සුසිල් ප්‍රේම්ජයන්ත් මහත්තයා උත්තරයක් දුන්නා, දීලා ස්වීප් එකකුත් අරගෙන ආණ්ඩුවට ‘හයේ පාරක්’ ගහලා ගෙදර ගියා. පැය 24 ක් යනකොට මම කියපු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වුණා. උදේ ජනාධිපතිතුමා විසින් සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය ධුරයෙන් ඉවත් කළා. මට පේන විදිහට 2022 අවුරුද්ද එක ඇමතිවරයෙක් අස්කිරීමෙන් පමණක් සිදුවන සිදුවීමක් වළක්වාගැනීමට ආණ්ඩුවට නොහැකි වෙයි. ආණ්ඩුව නිවැරදි වුණොත්, ආණ්ඩුව හැදුනොත්, ආණ්ඩුව හරිදේ කරන්න පටන් ගත්තොත් ජනතාවගේ ප්‍රශ්න දුක්වේදනා හඳුනාගත්තොත් ඔය පිපිරීම වළක්වා ගන්න පුළුවන්. පොහොර නැතුව ගොවියා විඳින දුක… මේ රටේ මෑත ඉතිහාසයේ දන්නා පරිදි ඉංග්‍රිසි පාලකයින්ගේ කාලේදීවත් ගොවියාට මෙහෙම වේදනාවක් දුන්නේ නැහැ. ගොවියා සහ කෘෂිකර්මය තලලා පෙළලා, පාගලා, බෙල්ල මිරිකලා නැගිටින්නට බැරිවෙන්න ඉවරම කරලා තියෙන්නේ.

සුසිල්ව අස්කරා පොළේ ගිහින් කියපු කතාවට. ලාන්සා ඇමතිතුමා – ගම්පහ ඔයිටත් දරුණු ප්‍රකාශයක් කරා. එයා ‘හයේ පාරවල්’ දෙකක් (2) ගැහුවා දවස් තුනකට (3) ඉස්සෙල්ලා. හැබැයි ලාන්සාට නෑ ඉල්ලා අස්වීමක්. මම දන්නවා හේතුව ; ලාන්සාට අත තියන්නේ නෑ. ඒ මොකද ? ලාන්සා ඔක්කෝම දන්න මිනිහා. වෙන හේතුවක් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් වැඩපිළිවෙලකට අවතීර්ණ වුණේ විශේෂයෙන්ම රට තියෙන තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා. අපි මේ ආණ්ඩුව හැදුවා. මේ ආණ්ඩුව අපි බලයට පත්කෙරුවා. පොහොට්ටුවේ ජීරණයවෙලා ඉන්න සමහරු කියනවා 69 ලක්ෂය ඒ අයගේම තමා කියලා. නැහැ. 69 ලක්ෂය ඒ අයගේම නෙමෙයි. මේ ආණ්ඩුව සන්ධාන ආණ්ඩුවක්. මේක හදන්න දේශපාලන පක්ෂ 13 ක් එකට එකතු වුණා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය. එතැන ප්‍රබලම පක්ෂය අපි. අද පාර්ලිමේන්තුවේ ප්‍රබලම තුන්වැනි (3) පක්ෂය අපි. සමහර අය හිතනවා අපේම අය මේ පක්ෂය දැන් හුඟාක් වැටිලා ගොඩගන්න බැරි තැනට විනාශවෙලා තියෙන්නේ කියලා. නෑ. අපි එහෙම වැටිලා නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතළ වැටීමකට ලක්වුණේ 1977 මැතිවරණයේ දී. අපි ආසන 8 ට බැස්සා.”

++++++++++

සුසිල් ප්‍රේම්ජයන්ත්ව ඉවත් කල බව තමාද දැනගත්තේ sms එකකින්

(04.01.2022 – 17:29 +0530 – hirunews.lk/sinhala)

සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට බලපෑ හේතු පිලිබද මීලග කැබිනට් මණ්ඩල රැස්වීමේදි හෝ ආණ්ඩු පක්ෂ රැස්වීමේදි දැන ගත හැකි බව අමාත්‍ය ගාමීණි ලොකුගේ පවසනවා.

කැබිනට් මණ්ඩල තීන්දු තීරණ විවේචනය කරන සියළු දෙනා ඉන් ඉවත් විය යුතු බවට ජනාධිපතිවරයා පසුගිය සතියේදී ප්‍රකාශයක් කළ බවයි අමාත්‍යවරයා සිහිපත් කළේ.

ඔහු වැඩි දුරටත් සඳහන් කළේ සුසිල් ප්‍රේම්ජයන්ත්ව ඉවත් කල බව තමාද දැනගත්තේ sms එකකින් බවයි.

අමාත්‍යවරයා අදහස් පළ කලේ කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+++++++++

සුසිල් ඇමතිකමෙන් දොට්ටදැම්ම ඇත්තම හේතුව – ෆේල් තමයි නැතුව මම පාස් කියල කියන්නද? (04.01.2022)

***************************************

බස් ගාස්තු හෙට (05) සිට ඉහළට

(04.01.2022 – 08:03 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සංශෝධිත බස් ගාස්තු හෙට (05) සිට ක්‍රියාත්මක යි.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 17 ක් වන බවයි ජාතික ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.

මීට අමතරව සෙසු බස් ගාස්තු ද 17.44% කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව අන්තර් පළාත් බස් රථ, අර්ධ සුඛෝපභෝගී බස් රථ, අධි සුඛෝපභෝගී බස් රථ සහ අධිවේගී මාර්ගවල අධි සුඛෝපභෝගී බස් රථවල ද ගාස්තු මේ අනුව ඉහළ ගොස් තිබෙනවා ෴

***************************************

දිස්ත්‍රික්ක 15 ක අද (04) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

(04.01.2022 – 08:11 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මස ඩෙංගු ආසාදිතයින් ඉහළ යාමත් සමග අද (04) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අවදානම ඉහළ දිස්ත්‍රික්ක 15 ක් කේන්ද්‍ර කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව අදාළ දිස්ත්‍රික්කවල සෞඛ්‍ය නිලධාරී කාර්යාල 81 ක අද (04) සිට ආරම්භ වන මෙම වැඩසටහන ලබන 10 වන දා දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ගත වූ වසරේ ඩෙංගු ආසාදිතයින් 19,087 ක් වාර්තා වූ අතර මරණ 27 ක් ද සිදු ව තිබෙනවා.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් 5,515 ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

මීට අමතරව දිස්ත්‍රික්ක 4 කින් 1000 ඉක්ම වූ රෝගීන් වාර්තා වී තිබෙනවා ෴

***************************************

වර්ජනයකට යනවා ද නැද්ද – වෛද්‍යවරු අගමැති හමුවෙති

(04.01.2022 – 08:16 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග අද (04) පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව යළි වැඩ වර්ජනයකට යාම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අද (04) දහවල් 11 ට අරලියගහ මන්දිරයේ දී අදාළ සාකච්ඡාව පැවැත්වීමට යි නියමිත ව ඇත්තේ.

ඉල්ලීම් 07 ක් මුල්කර ගනිමින් පසුගිය දා එම සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදු කළ අතර, දින 4 කට පසු පසුගිය 24 වන දා අත්හිටවූවා.

ඉන් අනතුරු ව එම සංගමය අග්‍රාමාත්‍යවරා සමග මෙලෙස සාකච්ඡාවකට එළඹෙන්නේ.

දින 4 ක් පැවති වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් වෙත පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත්වුණා.

වෛද්‍ය මාරු මණ්ඩලවල අනුමැතියකින් තොර ව විශේෂඥ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලයිස්තු සැකසීම, වෛද්‍ය මාරු මණ්ඩලවල අනුමැතියෙන් තොර ව ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ අනුයුක්ත කිරීම් සිදු කිරීම, 2022 වාර්ෂික ස්ථානමාරු ලැයිස්තුව ප්‍රකාශයට පත්නොකිරීම ඇතුළු කරුණු 07 කට විරෝධය පළ කරමිනුයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය දා වර්ජනයක් දියත් කළේ ෴

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජන තීරණය අත්හිටුවයි

(04.01.2022 – 14:18 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග අද (04) පැවති සාකච්ඡාවේදී සිය ගැටලුවලට සාධනීය පිළිතුරු ලැබීම හේතුවෙන් ඉදිරියේදී වර්ජනයකට අවතීර්ණ නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

අරලියගහ මන්දිරයේ අද (04) පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවැත්වුණේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ඉල්ලීමකට අනුවයි ෴

***************************************

චීන පොහොර ගැටලුව විසදෙයි

(04.01.2022 – 08:21 +0530 – hirunews.lk/sinhala)

බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලන ලෙස ඉල්ලා මහජන බැංකුව ඇතුළු පිරිසකට පවරා තිබූ නඩුව කොළඹ වාණිජ මහාධිකරණයේ දී සමථයකට පත් කෙරුණා.

ඒ අනුව මුදල් ගෙවීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය ද විසුරුවා හැරීමට යි කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි නියෝග කළේ.

දෙපාර්ශවයේ නීතිඥවරුන් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් මෙම නඩු කටයුත්ත සමථයකට පත් කිරීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සමථ කොන්දේසිවලට අනුව ප්‍රමිතියෙන් යුත් පොහොර සැපයීම වෙනුවෙන් පැමිණිලිකාර සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට එකග වී තිබෙනවා.

ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නො දෙන්නේ නම්, චීන සමාගම තැන්පත් කර ඇති මුදල් රාජ්‍ය සන්තක කිරීමට ද දෙපාර්ශවය අධිකරණය හමුවේ එකඟ වී ඇති බව සඳහන්.

ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නො දෙන්නේ නම්, ඒවා ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ද පැමිණිලිකාර පාර්ශවය සතු වන බවයි සමථ කොන්දේසිවල සඳහන් වූයේ.

මේ යටතේ ප්‍රථමයෙන් මෙට්‍රික් ටොන් 90,000 ක කාබනික පොහොර ලබා ගැනීමට එකඟතාව පළ වී තිබුණ ද මුල් අදියර යටතේ මෙට්‍රික් ටොන් 20 ක පොහොර ලබා ගැනීමට ද සමථ කොන්දේසි ඔස්සේ පැමිණිලිකාර සමාගම එකඟ වී තිබෙනවා ෴

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ස්පුට්නික් එන්නත ගත් අයට ෆයිසර් මාත්‍රා දෙකක් (2) දෙන්න අවධානය

(04.01.2022 – 07:59 +0530 – hirunews.lk/sinhala)

‘ස්පුට්නික් ෆයිව්’ එන්නත ලබා ගත් පුද්ගලයින්ට ‘ෆයිසර්’ එන්නත් මාත්‍රා දෙකක් (2) ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු ව තිබෙනවා.

ඒ, ‘ස්පුට්නික්’ එන්නත ලබා ගත් පුද්ගලයින් විදේශ රටවල්වලට ඇතුළු කර ගැනීමේ දී පවතින බාධා සැලකිල්ලට ගනිමින්.

තවත් කොරෝනා ආසාදිතයින් 365 දෙනෙකු ඊයේ (03) දිනයේ වාර්තා වූ අතර, මරණ 18 ක් ද ඊයේ (03) දිනයේ තහවුරු කෙරුණා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,88,300 ක් දක්වා ඉහළ ගිය අතර, සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 15,037 ක් ලෙසට යි.

මේ අතර, එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නො මැති අතර, ඉදිරියේ දී ජංගම දුරකතන යෙදුමක් හඳුන්වා දීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කොළඹ දී ඊයේ (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

‘ස්පුට්නික් ෆයිව්’ එන්නත විදේශීය රටවල්වලින් පිළිනොගන්නා බැවින් එම එන්නත ලබා ගත් පුද්ගලයින්ට ‘ෆයිසර්’ එන්නත් මාත්‍රා දෙකක් (2) ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ‘ස්පුට්නික් ෆයිව්’ එන්නත් මාත්‍රා දෙක (2) ම ලබා ගත් පුද්ගලයින්ට ‘ෆයිසර්’ එන්නත් මාත්‍රා දෙක (2) ම ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

කෙසේ වෙතත්, ‘ස්පුට්නික්’ එන්නත ලබා ගත් සියලු පාර්ශවයන්ට කඩිනමින් මෙලෙස එන්නත් ලබා දීමට කටයුතු සූදානම් කර නො මැති අතර, කුමන ආකාරයකින් හෝ විදේශගත වීමට අපේක්ෂා කරන පුද්ගලයෙකුට ‘ස්පුට්නික්’ එන්නත ලබා ගැනීම බාධාවක් වන්නේ නම් ඔවුන් මෙලෙස ‘ෆයිසර්’ එන්නත්කරණයට ලක් කිරීමට යි තීරණය කර ඇත්තේ ෴

+++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 143 ක් සුවය ලබයි

(04.01.2022 – 15:00 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 143 ක් සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයන් ගණන 5,61,271 ක් ෴

තවත් කොරෝනා මරණ 18 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 15,055 ක් ෴

+++++++++++

කොරෝනා ආසාදිතයින් 629 ක්

(04.01.2022 – 19:59 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 629 දෙනෙකු අද (04) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ සමග මෙරටින් වෛරසය ආසාදිතව වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,88,929 ක්.

වෛරසය ආසාදිතව තවමත් සුවය ලබන සංඛ්‍යාව 12,603 ක් වන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 561,271 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *