කහ සිලින්ඩර නිල් කරන අලුත් ගෑස් ජාවාරමක් – ලාෆ් සභාපතිගෙන් ලිට්රෝ සභාපතිට චෝදනා

කහ සිලින්ඩර නිල් කරන අලුත් ගෑස් ජාවාරමක් – ලාෆ් සභාපතිගෙන් ලිට්රෝ සභාපතිට චෝදනා

*********************************************

කහ සිලින්ඩර නිල් කරන අලුත් ගෑස් ජාවාරමක් – ලාෆ් සභාපතිගෙන් ලිට්රෝ සභාපතිට චෝදනා

(03.01.2022 – 19:29 +0530 – hirunews.lk/sinhala)

ලාෆ් ගෑස් සිලින්ඩර එකතුකර නිල් පැහැ ගන්වන සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවට ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය අද (03) අනාවරණයක් සිදු කළා.

ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් ලිට්රෝ සමාගමේ සභාපතිවරයා දැනුවත් කළද ඔහු ඒ පිළිබඳ අවධානයක් නොදැක්වූ බවයි.

ඒ අනුව ඉදිරියේදී මීට අදාළව අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමුවන බව ද ලාෆ් ගෑස් සභාපතිවරයා සඳහන් කළා.

මෙරට ගෘහස්ථ ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 80 කට ආසන්න ප්‍රමාණයක් සපයන්නේ ලිට්රෝ සමාගමයි.

ලාෆ් සමාගම විසින් සෙසු සියයට 15 ත් 20 ත් අතර ගෑස් අවශ්‍යතාව සපුරනු ලබනවා.

ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය වැඩිදුරටත් පැවසුවේ දැනට පවතින ඩොලර් ගැටළුවට විසඳුමක් ලබාදී නියමිත පරිදි ණයවර ලිපි විවෘත කර දිය හැකිනම් පැය විසි හතරකින් අවශ්‍ය ගෑස් නිකුත් කළ හැකි බවයි.

මේ අතර තවදුරටත් පවතින ගෑස් හිඟය හේතුවෙන් ගෑස් අලෙවිසැල් අසළ ජනතාව අදත් (03) පෝලිම්වල රැදී සිටියා.

මෙවන් පසුබිමක භූමි තෙල් මිලදී ගැනීම සඳහා ද ජනතාවට සිදුව ඇත්තේ තවදුරටත් පෝලිම්වල රැදී සිටීමටයි.

භූමිතෙල් අවශ්‍යතාවය දිනෙන් දින ඉහළ යාම හමුවේ අවශ්‍ය වුවහොත් ඉදිරියේදී ඒ වෙනුවට ගුවන් යානා ඉන්ධන වෙළඳපොලට නිකුත් කිරීම කෙරෙහි බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ගුවන් යානා ඉන්ධන සහ භූමිතෙල්වල සංයුතියේ කිසිදු වෙනසක් නොමැති අතර, භූමිතෙල් ලෙස ගුවන් යානා ඉන්ධන භාවිත කිරීමේ අවදානමක්ද නොමැති බවයි.

ඉල්ලුම සපුරාගත නොහැකි අවස්ථාවල මීට පෙරද භූමිතෙල් වෙනුවට ගුවන් යානා ඉන්ධන වෙළඳපොලට නිකුත් කර ඇති බවත්, ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළා.

***************************************

සුසිල්ගෙන් – මහින්දානන්දට චෝදනාවක් !

(03.01.2022 – 18:17 +0530 – hirunews.lk/sinhala)

ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බඩු මිල සහ එළවළු මිල පාලනය කිරීමට හැකි බවත්, එය පාලනය කිරීමට මේ වන විට ප්‍රමාද වැඩි බවත්, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

සිය නිවසට අවශ්‍ය එළවළු මිලදී ගැනීම සඳහා දෙල්කඳ පොළ වෙත අද (03) පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, බඩු මිල ඉහළ යාම පාලනය කිරීමට නම් ඒවා ක්‍රියාත්මක වීමට පෙරාතුව සිට නිසි වැඩපිළිවෙළක් සැකසී තිබිය යුතු බවයි.

ගොවි ජනතාවට නිසි කලට පොහොර ලබානොදීම හේතුවෙන් වගා ඵලදාව අඩුවීම සිදුව ඇති අතර, ඊට වගකිව යුත්තා කෘෂිකර්ම ඇමති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම රට තුළ ඇති ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදියා අමාත්‍යවරයාගෙන් විමසීමක් සිදු කළා.

මේ වනවිට රටේ ඩොලර් හිඟයක් පවතින බවත්, ඩොලර් ප්‍රශ්නයට විසඳුම් ලැබිය හැක්කේ ඩොලර් නැති කළ පිරිසගෙන් බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම මෙම ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුවක් නොවන අතර, ආණ්ඩුවේ තීන්දු ගැනීමේදී තමන්ව සහභාගී කර නොගන්නා බවත්, වත්මන් රජය තුළ ‘රිසර්ව්’ හෙවත් අතිරේකයෙකු වශයෙන් තමන්ව බංකුවක් මත වාඩිකරවා ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලෙසින් ලබා දුන්නා.

යළි තීන්දු ගැනීමට වත්මන් රජය මේ වනවිට ප්‍රමාද අතර, වෙන පිරිසකට මේ සම්බන්ධයෙන් තීන්දු ගැනීමට අවකාශය සලසා දී ඇති බව ද රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සිනහමුසු මුහුණින් යුතුව කියා සිටියා.

රට තුළ නිර්මාණය වී ඇති අර්බුදවලට වගකිව යුතු වන්නේ, වත්මන් විෂය භාර අමාත්‍යවරුන් වන අතර, කිසිදු අවස්ථාවකදී හෝ විදේශ ආක්‍රමණයක දී හෝ රට තුළ මෙලෙස කෘෂිකර්මාන්තයට මෙවන් හානියක් සිදුව නොමැති බව ප්‍රකාශ කළ හෙතෙම කියා සිටියේ, වැඩේ සිදු කිරීමට නොහැකි නම්, කළ හැකි පිරිසකට එය ලබාදිය යුතු බවයි.

***************************************

ජනාධිපති සම්බන්ධව අද සිට Facebook වල මේදේ තහනම්

(03.01.2022 – 18:51 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයාට අපහාසාත්මක වන අයුරින් සමාජ ජාලා මාධ්‍ය හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක ප්‍රකාශ නිකුත් කිරීම හා හුවමාරු කිරීමක් සිදුකළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව අවධාරණය කරනවා.

කිසියම් පුද්ගලයෙකු විසින් එය එසේ සිදු කළහොත්, ඔහුට හෝ ඇයට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමේ හැකියාවක් පොලීසියට ඇති බවද ඔහු පැවසුවා.

ජනාධිපතිවරයාට අපහාස වන ලෙස පිරිසක් සිදුකල ප්‍රකාශයක් හුවමාරු කළේ, යයි රහස් පොලිසිය ප්‍රශ්ණ කල බවට කාන්තාවක් මාධ්‍ය හමුවක් පවත්වමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළා.

අදාල කාන්තාව කියා සිටියේ සමාජජාල හරහා හුවමාරු වූ ඡායාරූපයක් තමන් විසින්ද බෙදා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප්‍රකාශ ලබා ගත් බවයි.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ජාල හරහා ජනපති සහ අගමැතිට විරුද්ධව අපහාසාත්මක වන අයුරින් සකස්කළ පෝස්ට් හුවමාරු වන ආකාරය පසුගිය කාල සීමාව තුළ දක්නට ලැබුනා ෴

***************************************

චීන පොහොර නැවට ගෙවීම් කිරීම වළක්වමින් අධිකරණය නිකුත් කර තිබූ වාරණ නියෝගය ඉවතට

(03.01.2022 – 19:12 +0530 – hirunews.lk/sinhala)

බැක්ටීරියා අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට, හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලන ලෙස ඉල්ලා පවරා තිබූ නඩුව අද (03) කොළඹ වාණිජ මහාධිකරණයේදී සමථයට පත්වුණා.

ඒ අනුව මුදල් ගෙවිම වළක්වාලමින් මහජන බැංකුවට එරෙහිව පනවා තිබූ වාරණ නියෝගය විසුරුවා හැරීමට ද කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කළා.

දෙපාර්ශ්වයේ නීතිඥවරු විසින් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් මෙම නඩු කටයුත්ත සමථයට පත් කිරීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සමථ කොන්දේසි වලට අනුව ප්‍රමිතියෙන් යුත් පොහොර සැපයීම වෙනුවෙන් පැමිණිලිකාර කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට එකඟ වී තිබෙනවා.

ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් චීන සමාගම තැන්පත් කර ඇති මුදල් රාජසන්තක කිරීමට ද දෙපාර්ශ්වය අධිකරණය හමුවේ එකඟ වුණා.

ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් ඒවා ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ද පැමිණිලිකාර පාර්ශ්වය සතු වන බව සමථ කොන්දේසිවල සඳහන්.

මේ යටතේ මුලින්ම මෙට්‍රික් ටොන් 90,000 ක් කාබනික පොහොර ලබා ගැනීමට එකඟතාවය පළ වී තිබුණ ද මුල් අදියර යටතේ මෙට්‍රික් ටොන් 20 ක් ලබා ගැනීමට සමථ කොන්දේසි ඔස්සේ පැමිණිලිකාර සමාගම එකඟ වී තිබෙනවා.

කරුණු සලකා බැලූ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා මෙම නඩු කටයුත්ත සමථයට පත් කිරීමට තීන්දු කළා.

***************************************

වගකිවයුත්තන් සිටිය දී ගෙදර මුවහමට තඩිබෑම මෙන් ක්‍රියා සිදු නොකළ යුතුයි – අනුර

(03.01.2022 – 19:04 +0530 – hirunews.lk/sinhala)

මෙරට කෘෂිකර්මාන්තය සහ ගොවි ජනතාව ගැන කිසිදු අවබෝධයක් නොමැති කෘෂි ඇමතිවරයෙකු කෘෂිකර්මය පාලනය කරන අතර, ඒ පිළිබඳව කිසිම දැනුමක් නොමැති අයෙකු රට පාලනය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

වත්මන් රජය විසින් ගොවි ජනතාවට ලබාදෙන ලද නව පොහොර හේතුවෙන් රට පුරා කෘෂි ක්ෂේත්‍රයේ නියැලෙන පිරිසට සිදු වූ හානිය ව්‍යසනයක් බවයි හෙතෙම අද (03) පැවති ජන හමුවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

පොහොර සම්බන්ධයෙන් ගොවි ප්‍රජාව තුළ මේ වනවිට කිසිදු විශ්වාසයක් නැති අතර, මහින්දානන්ද පවසනුයේ, වැලි සහ මඩ අඩංගු පොහොර ගෙන ගොස් ගොවි ජනතාවගේ වගාවට යොදන ලෙස දැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් විමසා සිටියා.

ගොවි ජනතාවගේ අස්වැන්න මහින්දානන්දගේ පරවේණි බූදලයක් නොවන බවත්, හානි වූ ගොයමට ලබාදෙනවා යැයි පැවසූ වන්දිය ද නොගෙවා යාමට මහින්දානන්ද සූදානම් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළා.

මෙවන් තත්ත්වයක් තුළ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මහින්දානන්ද අමාත්‍යවරයාට අවධාරණය කර සිටියේ, ගොවි ජනතාව පීඩාවට පත් කිරීම නිසා යම් දවසක ඔවුන් මෙම සිදුවීමට එරෙහිව පෙරට එන බව මතක තබා ගත යුතු බවයි.

මේ අතර, රටේ පවතින ඉන්ධන සහ ගෑස් අර්බුදය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, ගෑස් සමාගමේ එක් සභාපතිවර‍යෙක් වියත් මගේ සාමාජිකයෙකු බවත්, ගෑස් සමාගම අයත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට බවත්, එම සියල්ලටම වගකිව යුත්තේ ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය බවයි.

එම නිසා වගකිව යුතු ආණ්ඩුවක් සිටියදී ගෙදර මුවහමට තඩිබාන්නක් මෙන් ඇමතිවරු ප්‍රශ්නවලට පහර දීම යෝග්‍ය නොවන බව ඔහු සඳහන් කළා.

***************************************

මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයාව පොලිසියට ඕනෑ කර තිබේ

(03.01.2022 – 19:32 +0530 – hirunews.lk/sinhala)

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය ඉල්ලා පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ ඡායාරූපයේ සිටින පුද්ගලයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගහරිමින් සිටින බව සඳහන් වෙයි.

ඒ අනුව මෙම සැකකරු පිළිබඳව තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත හැකි ඉක්මණින් දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සහකාර අධ්‍යක්ෂ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය : 071 859 2727

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය : 011 234 3333 / 011 234 3334

***************************************

නුවරඑළියේ ගොවීන් යළි අනතුරු අඟවයි – හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂවරයෙකුගෙනුත් අනාවැකියක්

(03.01.2022 – 19:44 +0530 – hirunews.lk/sinhala)

පොහොර, කෘෂි රසායනික, බීජ ඇතුළු අවශ්‍ය දෑ නිසි වේලාවට නොලැබුණහොත් එළවළු වගාව තවදුරටත් අඩපණ වී මැයි මාසය වන විට රටේ දැවැන්ත එළවළු හිඟයක් ඇති විය හැකි බව නුවරඑළිය සහ ඒ අවට ප්‍රදේශවල මහා පරිමාණ මෙන්ම සුළු පරිමාණ එළවළු ගොවීන් පවසනවා.

එළවළු වගා කරන 40,000 ක් පමණ වන ගොවීන්ගෙන් සියයට 30 ක් දැනටමත් සිය වගාවලින් ඉවත් වී ඇති බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම, රසායනික පොහොර ආනයනය කිරීම පෞද්ගලික අංශයට ලබාදීම හේතුවෙන් නුවරඑළියේ එළවළු ගොවීන් සිය වගා කටයුතුවලින් ඉවත්වීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසනවා.

එහි සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි නුවරඑළියේදී අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ වෙළදපළේ රසායනික පොහොරවල මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි.

ඉදිරියේදී එළවළු හිඟයක් ඇති විය හැකි බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂවරයෙකු වූ කේ.බී. ගුණරත්න ද හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

පොහොර නොමැතිවීම හේතුවෙන් දිවයිනේ ගොවීන් තවදුරටත් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.

***************************************

රජයෙන් ජනතාවට විශේෂ ආර්ථික සහන රැසක් !

(03.01.2022 – 21:53 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී රටේ ආර්ථිකයට සහ ජනතාවට වැදගත් සහ සුබදායී වන තීරණ රැසක් ගනු ලැබුවා.

මෙම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණේ, මුදල් අමාත්‍යාංශයේ දීයි.

ඒ අනුව මෙම මස සිට ජනතාවට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහන රැසක් ලබාදීමටයි තීරණය කෙරුණේ.

මෙම නව තීරණ අනුව , රාජ්‍ය සේවකයින්ට මෙම මස සිට වසරක (1) කාලයක් පුරාවට වැටුපට අමතරව අතිරේක මාසික දීමනාවක් ලෙස රුපියල් 5000 ක මුදලක් ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ.

එමෙන්ම මෙම 5000 දීමනාව විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට ද ඔවුන්ගේ වැටුපට එකතු වනු ඇති.

රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා ද රුපියල් 5000 ක දීමනාවක් ලබාදීමටත් මෙහිදී තීරණය කෙරුණු අතර, වතු ප්‍රජාවට සෑම මසකටම තිරිඟු පිටි කිලෝග්‍රෑම් 15 ක් ලබාදෙන අතර, එය ලබාදෙන්නේ එක් කිලෝවක් රුපියල් 80 ක මුදලකට බව ද එහිදී අවධාරණය කෙරුණා.

එමෙන්ම වී කිලෝග්‍රෑමයකට සහතික මිලක් නියම වු අතර, එය රුපියල් 75 ක් යටතේ මිලදී ගැනෙනු ඇති.

නමුත් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ තුළින් කිසිදු අයුරකින් සහල් මිල වැඩි නොවන බවයි.

මේ වන විට වී කිලෝවක් සඳහා රුපියල් 50 ක මුදලක් ගෙවනු ලබන බවත් වැඩිපුර වී කිලෝවක් සඳහා රු. 25 ක් ගෙවීමෙන් ගොවීන්ට අස්වැන්න හිඟකම නිසා ඇතිවන පාඩුව පියවා ගත හැකි බව ද මුදල් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

වී මිල වැඩිකිරීම නිසා කිසිදු අයුරකින් පාරිභෝගිකයාට එම බර පැටවෙන්නේ නැති බවයි මුදල් ඇමතිවරයා මෙහිදී සහතික කර සිටියේ.

මිට අමතරව අපි වවමු – රට නගමු සංකල්පය යටතේ පර්චස් 20 ක ඉඩමක් ඇති පුද්ගලයෙකුට සිය ගෙවත්තේ වගා කටයුතු ඇරඹීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රුපියල් 5000 ක මුදලක් ද පර්චස් 20 සිට අක්කරයට වඩා වැඩි ඉඩමක් හිමි පුද්ගලයෙකුට රුපියල් 10,000 ක මුදලක් ද ලබා දෙන බව ද මුදල් ඇමතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම සමෘද්ධිලාභීන්ට මෙම මස සිට රුපියල් 1000 ක මූල්‍යමය පරිත්‍යාගයක් ද සිදු කෙරෙනවා.

ගෙවතු වගාකරුවන්ට ද රජය යටතේ නව සහනයක් හිමිව ඇති අතර, එය මෙම මස සිට ක්‍රියාත්මක වන බවත්, එය මූල්‍යමය වශයෙන් රුපියල් 5000 ක දීමනාවක්.

මේ අතර අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ සියලු බදු මුදලින් නිදහස් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ තීරණය කර තිබෙනවා.

එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ සඳහා නාමික බද්දක් පමණක් ක්‍රියාත්මක කරමින් මෙම බදු නිදහස ලැබෙනු ඇති.

අර්තාපල්, ලොකු ලූනු, පරිප්පු සහ සීනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අතරට ඇතුළත් බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළා.

ඒ අනුව අද (03) මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනු ඇති.

රට තුළ පවතින අසීමිත ආර්ථික පීඩනය අවම කර, ජනතාවට ආර්ථිකමය නිදහසක් සාක්ෂාත් කර ගැනීම අරමුණු කර ගනිමිනුයි රජය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ දිනවල රටේ සියලුම ක්ෂේත්‍රවල අත්‍යවශ්‍ය ආහාර මෙන්ම භාණ්ඩවල ද මිල ඉහළ යාමක් වාර්තා වූ අතර, ඇතැම් විචාරකයින් සඳහන් කළේ, එය මෙරට තුළ සිදු වූ ප්‍රථම සහ විශාලතම භාණ්ඩ මිල ඉහළ යාමක් බවයි.

මේ පිළිබඳව විවිධ අවස්ථාවලදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පක්ෂ විපක්ෂ වේදිකාවෙන් ද ජනතාව මිරිකෙන ආර්ථික ක්‍රමය පිළිබඳව අදහස් පළ වුණා.

කෙසේවෙතත් ජනතාවට සහනයක් උදාකර දීම අරමුණිනුයි, මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ.

***************************************

රටේ අවුල් කියන්න IMF යන්න සූදානම් – බැසිල්

(03.01.2022 – 23:34 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් රටේ පවතින ඩොලර් අර්බුදයට විසදුම් ලබා නොගන්නා බවට ආණ්ඩුවේ ඇමැතිවරු පසුගිය දිනවල දිගින් දිගටම ප්‍රකාශ කළත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය හමුවක් පැවැත්වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසුවේ ඒ සඳහා වන අනුමැතිය හිමිව ඇති බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් තමන්ට රහසිගත වාර්තාවක් ලබා දී ඇති බවත්, එහි ඇති කරුණු හෙළිදරව් කිරීමට තමන්ට නොහැකි බවත් මුදල් ඇමැතිවරයා මෙහිදී සඳහන් කළා.

මේ අතර ලෝක බැංකුවේ කලාපීය ප්‍රධානියා අද (03) දිනයේදී ජනාධිපතිවරයා සහ තමන් හමු වූ බව ද මුදල් ඇමැතිවරයා අනාවරණය කෙරුණා.

මේ අතර ආධාර ලබාදෙන අනෙකුත් රටවල් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව පිළිගත් මුදල් ඇමැතිවරයා ඒ සාකච්ඡා තවත් ඇමැතිවරුන්ට භාර දී ඇති බව ද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *