කොටදෙණියාවේ අභිරහස – විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

කොටදෙණියාවේ අභිරහස – විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

*********************************************

කොටදෙණියාවේ අභිරහස – විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

(01.01.2022 – 22:13 +0530 – hirunews.lk/sinhala)

දින 39 ක් තිස්සේ අතුරුදන්ව සිටින කොටදෙණියාව ප්‍රදේශයේ පිරිමි දරුවන් දෙදෙනා (2) සම්බන්ධයෙන් තවමත් කිසිඳුතොරතුරක් අනාවරණ වී නැහැ.

මෙම අතුරුදන් වීම සම්බන්ධ විමර්ශන මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදී තිබෙනවා.

කොටදෙණියාව – වත්තේමුල්ල – බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දස හැවිරිදි (10) සහ 12 හැවිරිදි මෙම පිරිමි ළමුන් දෙදෙනා (2) අතුරුදන්ව අදට (01) දින 39 ක කාලයක් ගතවී අවසන්.

මෙලෙස අතුරුදන්ව සිටින්නේ ‘අකිල දේදුණු’ නම් දරුවෙක් සහ ‘කවීෂ සඳකැළුම්’ නම් ඔහුගේ ඥාති සොහොයුරෙක්.

කොටදෙණියාව පොලිසිය මගින් විශේෂ විමර්ශන කණ්ඩායම් දෙකක් ඔවුන් සොයා මෙහෙයුම් දියත් කළත් තවමත් කිසිදු තොරතුරක් අනාවරණ වී නැහැ.

අවස්ථා කිහිපයකදී හිරු ප්‍රවෘත්ති විශේෂ කණ්ඩායම් ද එම දරුවන් පදිංචිව සිටි නිවසට ගිය අතර අතුරුදන්ව සිටින ‘අකිල දේදුණු’ නම් දරුවාගේ මව එහිදී දේවාලයක් සම්බන්ධයෙන් මෙලෙස කරුණු හෙළිකළා.

***************************************

අයවැයෙන් යෝජිත බදු සංශෝධන ක්‍රියාත්මක වීම පෙබරවාරි අග හෝ මාර්තු මුල සිට

(01.01.2022 – 20:11 +0530 – hirunews.lk/sinhala)

මෙම වසර සඳහා අයවැයෙන් යෝජනා කල බදු සංශෝධන කිහිපයක් අද (01) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල සඳහන් කළේ එම බදු ක්‍රියාත්මක වන්නේ පෙබරවාරි මස අවසානයේ සිට හෝ මාර්තු මාසයේ මුල සිට බවයි.

පසුගියදා සම්මත වූ අයවැයෙන් යෝජනා කළ එස්.ජී.එස්.ටී. හෙවත් විශේෂ භාණ්ඩ හා සේවා බද්ද අද (01) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූණා.

එමෙන්ම බැංකු හා මූල්‍ය සේවා ආයතන විසින් සේවා සැපයීමේදී අය කළ සියයට 15 ක්ව පැවති අගය එකතු කිරීමේ බද්ද සියයට 3 කින් වැඩි කල අතර එය ද මෙම මාසයේ සිට ක්‍රියාත්මක වීමටයි නියමිතව තිබුණේ.

තවද 2020- 2021 තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 2000 ට වඩා බදු අය කල හැකි ආදායමක් උපයන ලද තැනැත්තන් හෝ සමාගම් මත එක්වරක් පමණක් පැනවෙන සියයට 25 ක අධිභාර බද්ද ද මෙම මස සිට බලාත්මක වීමට අයවැයෙන් යෝජනා කෙරුණා.

කෙසේ වෙතත්, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල සඳහන් කළේ, බදු වෙනස්වීම් නීති කෙටුම්පත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවයි.

එය ලබන 03 වනදා හෝ 04 වනදා රැස්වන කැබිනට් මණ්ඩලයට අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහු කියා සිටියා.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී දින 14 කින් පසු අදාළ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුව වෙත යොමු කිරීමටයි නියමිතව ඇත්තේ.

ඒ අනුව එළඹෙන පෙබරවාරි මස අග හෝ මාර්තු මස මුල සිට මෙම නව බදු සංශෝධන ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළා.

මේ අතර, මෙම වසරේ ජනවාරි 18 දිනට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ගෙවීමට අවශ්‍ය සියලු කටයුතු ද මේ වන විට සූදානම් කර ඇති බවයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

***************************************

මෙරට ජනතාවගේ අයිතිවාසිකම් අවධානමක – විපක්ෂ නායක

(01.01.2022 – 19:56 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුව විසින් මෙරට ජනතාවගේ අයිතිවාසිකම් පැහැරහැර ඇති හෙයින් ජාත්‍යන්තරය විසින් මෙරට අයිතිවාසිකම් සුරක්ෂිත කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ජනදුක විමසන මනුෂ්‍යත්වයේ චාරිකාවට එක්වෙමින් ඔහු මේ අදහස් පළකළේ තිස්සමහාරාමයේ දී. ජන දුක විමසන මනුෂ්‍යත්වයේ චාරිකාව වැඩසටහනේ තවත් අදියරක් පැවැත්වුණේ තිස්සමහාරාම ප්‍රදේශයේදීයි. මෙහිදී විපක්ෂ නායකවරයා රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා ද බෙදාදුන්නා.

***************************************

එක පවුලක් එකතු වෙලා රටම විනාස කරනවා (01.01.2022)

***************************************

ජනාධිපතිට හූ කියන වීඩියෝවක් ‘ෂෙයාර්’ කලා කියා කාන්තාවක් CID ගෙන යයි…

(02.01.2022 – 09:20 +0530 – lankacnews.com)

ජනාධිපතිට හූ තැබූ බව සදහන් සටහනක් සමාජ ජාලයක හුවමාරු කළේ යයි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කර තිබේ.

තම ජංගම දුරකතනයේ දත්ත සියල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් පිටපත් කර ගත් බවත් ඇය සදහන් කලාය.

ජනාධිපතිට අපහාස කිරීම බරපතල වරදක් බවත් ඉදිරියට එවන් දේ නොකරන ලෙසත් තමනට ඔවුන් අවවාද කල බවත් ඇය පැවසුවාය.

එම කාන්තාව මාධ්‍ය හමුවක් පවත්වා මේ බව කියා සිටියාය.

+++++++

පාලකයන්ට හූ කියන ජනතාව CID කැදවනවා.. වහාම ආණ්ඩුව පලවා හැරිය යුතුයි…

(03.01.2022 – 08:40 +0530 – lankacnews.com)

වෑල් මාරු වීමක් නිසා ගෑස් ප්‍රශ්නය තව සති කිහිපයකට විසඳන්න බැරි බව ආණ්ඩුවේ නියෝජිතයින් පවසන බව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඇත්ත වශයෙන්ම මාරු වී ඇත්තේ ගෑස්වල වෑල් නොව, ආණ්ඩුවේ වෑල් බව පැවසීය. එනිසා වහාම කළ යුත්තේ වෑල් මාරු වූ ආණ්ඩුව පලවා හැරීම නොවේදැයි ජනතාවගෙන් විමසා සිටියේය.

ගෑස් ඛේදවාචකය ආරම්භ වුණු දිනයේ සිටම මේ පිළිබඳව සියලු තොරතුරු විපක්ෂය හැටියට සමගි ජන බලවේගය රටට හෙලිදරව් කළ බව කී විපක්ෂ නායකතුමා අදාල විෂයභාර අමාත්‍ය අමාත්‍යවරුන් දෙපළ ඇතුළු මුළු ආණ්ඩුවම එදා ඒ පිළිබඳව උත්තර නොදී පලා ගිය බව ද පැවසීය.

ගෙවල් පුපුරන, කුස්සි ගිනි ගන්න, ජීවිත අහිමි වන බරපතළ බරපතළ ඛේදවාචකයක නිර්මාතෘවරුන් දෙදෙනා වන්නේ විෂයභාර අමාත්‍යවරුන් බව පැවසූ විපක්ෂ නායකතුමා එදා ඔවුන් දෙදෙන බොරු කී බවත් අද ඔවුන් දෙදෙනා වෙනුවෙන් ගෑස් සමාගමේ සභාපතිවරයා බොරු කියන්නට ඉදිරිපත් වී ඇති බවත් පැවසීය.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සම මාධ්‍ය ප්‍රකාශක එස්. එම් මරික්කාර් මහතාගේ කොලොන්නාව ආසනයේ ඡන්ද පොළ නායක නායිකාවන් පත් කිරීමේ අවස්ථාව (02) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ආණ්ඩුවක් පත් වන්නේ ජනතාව ආරක්ෂා කිරීමට බවත් අවාසනාවට ලංකාවේ ආණ්ඩුව ජනතාව නොමරා මරන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.ඒ අනුව ගත් විට වර්තමාන ආණ්ඩුව ජන ඝාතක ආණ්ඩුවක් බව කී ඒ මහතා ජනතාවගේ දුක කඳුල වේදනාව ආණ්ඩුව මායිම් නොකරන බවද පැවසීය.

පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් හරහා මළමිනී මතින් බලයට ආ මේ ආණ්ඩුව කිසිවිටකත් ජනතාවගේ ප්‍රශ්න අබියස සංවේදී වූයේ නැති බව ද ඒ මහතා පැවැසීය.

ජනතාවට දරාගන්නට බැරි පීඩනය අභියස රට කරවන ඇත්තන් ට එරෙහිව ජනතාව තමන්ගේ කෝපය ප්‍රකාශ කරන්නේ කරන්නේ හූ කියමින් බව පැවසූ විපක්ෂ නායකතුමා, ලැජ්ජාවට කරුණ වන්නේ ආණ්ඩුව ඔවුන් පසුපස හඹා ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන්නට තරම් පහත් මට්ටමට වැටීම යයිද පැවසීය ෴

***************************************

චීන පොහොර මකරා කැබිනට්ටුවෙන් රිංගවන්න යයි

(01.01.2022 – 09:03 +0530 – mawbima.lk)

චීන පොහොර ආනයනයට බාධා වන දේශීය ප්‍රමිති නොසලකා හැරිය හැකිසේ සැකසූ එකඟතා ලියැවිල්ලක් අනිද්දා (දෙසැ. 03) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල හමුවේදී සම්මත කර ගැනීමට ආණ්ඩුවේ බලවත් ම දේශපාලකයන් පිරිසක් උත්සාහ ගනිමින් සිටින්නේ යැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘මව්බිම’ට පැවසීය.

කාබනික පොහොර ආනයනය සඳහා දේශීය ප්‍රමිතිය වන එස්.එල්.එස්. 1704 නොසලකා හරිමින් මෙම එකඟතා ලියවිල්ල සම්මත කර ගැනීමට යාම මෙහි බරපතළ ම කරුණ යැයි එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.

ප්‍රමිති නොසලකා හැරීමේ මෙම එකඟතා ලියැවිල්ල චීනයේ ‘ෂින්ඩාවෝ සී වීන් බයෝටෙක්’ පොහොර සමාගමේ වුවමනාව අනුව සිදුවන්නක් යැයි ද එය ද්විපාර්ශ්වික එකඟතාවක් සකස් කිරීමේදී ශ්‍රී ලංකාව සතු ස්වාධිපත්‍ය මුළුමනින් ම උල්ලංඝණය කිරීමක් යැයි ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා අවධාරණය කළේ ය.

සකසා ඇති මෙම එකඟතා ලියැවිල්ලට කැබිනට් අනුමැතිය ලැබුණොත් අහිතකර ව්‍යාධිජනක මෙරටට පැමිණීමට දොරටුව විවෘත වනු ඇතැයි ද එය ඉතාම බිහිසුණු ප්‍රතිඵලයක් කෘෂිකර්ම ක්‍ෂේත්‍රයට උදාකරනු ඇතැයි ද මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී කෘෂි විද්‍යාඥයෝ කිහිපදෙනෙක්ම ‘මව්බිම’ට පැවසූහ.

සමහර විට මෙය මෙරට කෘෂිකර්මාන්තයේ විනාශයේ ආරම්භය විය හැකි බවට ද ඔවුහු අනතුරු අඟවති.

පවතින නීතිමය තත්ත්වය යටතේ මෙවැනි පොහොර ආනයනයකදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසන් අනුමැතිය ඊට අත්‍යවශ්‍ය වේ.

එහෙත් ප්‍රමිති සංශෝධනය කළ එකඟතා ලියැවිල්ලකට කැබිනට් අනුමැතිය ලැබුණහොත් එය ප්‍රශ්නකාරී වනු ඇතැයි එම කෘෂි විද්‍යාඥයෝ ‘මව්බිම’ට වැඩිදුරට ත් අදහස් පළ කළහ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්.එච්.එස්.ඒ. ද සිල්වා මහතා පැවසුවේ එවැනි ලේඛනයක් තමාගේ අතට ලැබී නැති බවයි.

පොහොර ආනයනය සම්බන්ධයෙන් දේශීය ප්‍රමිති වෙනස් කිරීමට විදේශීය සමාගමකට කිසිදු බලයක් නැතැයි කී හෙතෙම එවැනි සංශෝධනයක් කරන්නේ නම් එය විය යුත්තේ දේශීය ආයතන හරහා යැයි ද අවධාරණය කළේ ය.

චීනයෙන් ලංකාවට මීට පෙර පොහොර ආනයනයේදී ප්‍රමිති පරීක්ෂාවේදී විදේශීය සමාගමට ප්‍රධාන බාධාවක් වූයේ මෙම එස්.එල්.එස්. 1704 ප්‍රමිතියයි.

අධිකරණ ඇමැති අලි සබ්‍රි, චීන පොහොර අර්බුදය විසඳීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළේ පසුගිය දෙසාම්බර් 13 වන දා ය. එම පත්‍රිකාවේ සඳහන් වූයේ ‘ශින්ඩාවෝ සී.වීන් බයෝ ටෙක්’ සමාගම නොවැම්බර් 09 වනදා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එම සමාගමේ නීතිඥවරුන් හා නීතිපතිවරයා අතර සාකච්ඡාවක් නොවැම්බර් 02 වන දා පැවැත්වූ බවයි.

කෙසේ වෙතත් එම සාකච්ඡාවේදී සමාගමේ නීතිඥවරුන් ඉදිරිපත් කළ යෝජනාවලට කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරිපත් කළ නිරීක්ෂණ දේශීය පාර්ශ්වයෙන් නොසලකා හැර ඇති බව ද කියැවේ.

ඒ අනුව, මේ වනවිට රජය වෙනුවෙන් පොහොර ආනයනය කරන ‘ලංකා පොහොර සමාගම’ හා ‘කොළඹ කොමර්ෂල් පොහොර සමාගම’ත් කෘෂිකර්ම අමාත්‍යාංශයත් අතර එකඟතා සම්බන්ධයෙන් මතභේදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත්, පසුගිය ‘ඉරිදා මව්බිම’ දේශපාලන සාකච්ඡාවට එක්වෙමින් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අළුත්ගමගේ මහතා පැවැසුවේ පොහොර සම්බන්ධයෙන් වූ සියලු ක්‍රියාවලිය ගැසට්ටුවකින් රාජ්‍ය ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාට භාර දී ඇති බවයි.

පොහොර ආනයනයට අදාළ පොහොර ලේකම් කාර්යාලය සහ ටෙන්ඩර් ක්‍රියාවලිය රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින නමුත් අදාළ අමාත්‍යාංශය ඒ වෙනුවෙන් පෙනී නොසිටීම ප්‍රශ්නයක් බවත් අමාත්‍ය අළුත්ගමගේ වැඩිදුරටත් සඳහන් කළේ ය.

බිඟුන් මේනක ගමගේ

***************************************

අනුර කුමාර සමඟ සජීවී සංවාදය (02.01.2022)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *