2022 නව වසර, ජනතාව ආගම දහමට මුල් තැන දෙමින් පිළිගනී

2022 නව වසර, ජනතාව ආගම දහමට මුල් තැන දෙමින් පිළිගනී

*********************************************

2022 නව වසර, ජනතාව ආගම දහමට මුල් තැන දෙමින් පිළිගනී

(01.01.2022 – 07:59 +0530 – hirunews.lk/sinhala)

2022 නව වසර උදාවත් සමග ශ්‍රී ලංකාවාසී ජනතාව නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා ආගමික සිද්ධස්ථාන කරා පැමිණමින් සිටිනවා.

අනුරාධපුරය, මහනුවර, කතරගම පූජා භූමි ආශ්‍රිතව මේ වන විටත් ජනතාව පැමිණමින් සිටින්නේ ඉමහත් උද්‍යෝගයකින්.

අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු පුදබිම වෙත ජනතාව විශාල වශයෙන් පැමිණෙන බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මහනුවර දළදා මාලිගාව සහ ඓතිහාසික ගැටඹේ රජමහා විහාරස්ථානය වෙත ද මේ වන විට ජනතාව පැමිණෙමින් සිටින්නේ නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහායි ෴

***************************************

ජනපති, අගමැති කතරගම කිරිවෙහෙරේ

(01.01.2022 – 07:51 +0530 – hirunews.lk/sinhala)

නව වසරට ආශීර්වාද ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුද බිමේදී ආගමික වතාවත්වල නිරත වුණා.

කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා සිදු කෙරුණු කප්රුක පූජාවට ගිලන්පස සහ ඖෂධ පූජාවට ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් එහි දී රැස්ව සිටි පිරිස පංච ශීලයෙහි පිහිටුවමින් ආගමික වතාවත් සිදු කර තිබෙනවා.

අනතුරුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මහසෙන් දේවාලය ද වැඳ පුදා ගත් අතර 2021 වසර අවසානය සනිටුහන් කරමින් කිරි වෙහෙර චෛත්‍ය භූමියේ සුදු හඳුන් පැලයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් එහි දී සිදු කෙරුණා.

කතරගම පූජා භූමියේ මල් අලෙවිකරුවන් විසින් ජනාධිපතිවරයාට මල් පිරිනැමීම මෙහි දී සිදු වූ විශේෂ සිදුවීමක් වන අතර රැස් ව සිටි ජනතාව සමඟ ජනාධිපතිවරයා කතාබහක ද නිරත වූණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, කතරගම පුදබිමෙහි වාර්ෂික ව සංවිධානය කරන පිරිත් පිංකම සඳහා සධාතුක ධාතු කරඬුව වැඩමවීම ජනාධිපතිවරයා විසින් සිදු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ෴

***************************************

දස දහසක් (10,000) බස් හැර යයි

(01.01.2022 – 07:55 +0530 – hirunews.lk/sinhala)

බස් රථ සේවකයින් දස දහසක් (10,000) පමණ මේ වනවිට සේවය අතහැර ගොස් ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ, මේ වන විටත් ධාවනය වන්නේ 50% ක පමණ බස් රථ ප්‍රමාණයක් බවයි ෴

***************************************

අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණෙයි

(01.01.2022 – 08:13 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණි බව වාර්තා වෙනවා. අමාත්‍යවරයා ඇමරිකාවේ සංචාරයක නිරත වූයේ, මීට දින කිහිපයකට කලින් ෴

***************************************

ජනාධිපති තනි ගමනක් යනවානම් ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි… මෙහෙම ගියොත් මිනිස්සු පොලුවලින් ගහයි..

(01.01.2022 – 10:00 +0530 – lankacnews.com)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනික වශයෙන් රට සංවර්ධනය කිරීමේදී යන්නේ තනි ගමනක්නම් එතුමා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා රට සංවර්ධනය කිරීමේදී කැබිනට් මණ්ඩලයට සුදුස්සන් පත් කළ යුතු බවත්, රජයේ උසස් තනතුරු වලට නිවැරදි රාජ්‍ය නිලධාරීන් පත් කොට කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ඇතුව ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙනයා යුතු බවත්ය.

වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය සමග ආණ්ඩුවට වසර 5 ක නිල කාලය සම්පූර්ණ කිරීමට නොහැකි ආණ්ඩුව බිඳ වැටෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව පවසන විදුර වික්‍රමනායක මහතා අවුරුදු 5 ට කලින් නැවත පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සිදු වනු ඇතැයි සඳහන් කරයි.

ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාකාරීත්වය හමුවේ ඉදිරියේදී ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ජනතාව ගල් ගසනු ඇතැයි ද ඒ මහතා සඳහන් පැවසීය.

මේ අතර එල්.එන්.ජී සැපයුම සහ එල්.එන්.ජී බලාගාර ඇමරිකානු සමාගමට ලබා දීම සම්බන්ධයෙන් පුද්ගලිකව තමා විරුද්ධ බවත් රාජ්‍ය අමාත්‍ය වික්‍රමනායක මහතා කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට ඒක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

***************************************

01-01-2022

***************************************

31-12-2021

***************************************

01-01-2022

***************************************

දේශීය සිමෙන්ති මිලත් රුපියල් 100 කින් ඉහළට

(01.01.2022 – 08:48 +0530 – hirunews.lk/sinhala)

අද(01) දින සිට දේශීය සිමෙන්ති කොට්ටයක රුපියල් 100 කින් ඉහළ නැංවූ බව, දේශීය සිමෙන්ති නිෂ්පාදකයින් පවසනවා.

ඒ අනුව, දේශීය සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1275 සිට 1375 දක්වා ඉහළ යනු ඇති.

මේ වනවිට ආනයනික සිමෙන්ති කොට්ටයක මිල, දේශීය සිමෙන්ති කොට්ටයකට වඩා රුපියල් 100 කට වැඩි මිලකින් යුක්ත වන අතර, එම මිල සටහන් වන්නේ රුපියල් 1475 ක් ලෙසයි ෴

***************************************

නව වසරේ කිරිබත් ඇණවුම් භාරගැනීම ආපණ ශාලාවලින් ප්‍රතික්ෂේප කරයි

(01.01.2022 – 08:58 +0530 – hirunews.lk/sinhala)

නව වසර උදාවීමත් සමඟ අතීතයේ සිටම ලංකාවාසින් සූදනම් වෙන්නේ, කිරිබත් කැවිලි පෙවිලි ආදියෙන් තම කෑම මේසෙය සරු කරගැනීමට යි.

ලාංකීය සංස්කෘතිය තුළ කිරිබත් යනු, නො බිඳිය හැකි ලෙස තදින් බැඳුණු ආහාරයක්.

නමුත් මෙම වසරේ දී එම තත්ත්වය වෙනස් වූ බවක් පෙනෙන්නට තිබෙනවා.

නව වසර සැමරීම සඳහා කිරිබත් කැවිලි පෙවිලි ලබා ගැනීම සඳහා රජයේ සහ පෞද්ගලික ආයතන ලබා දී ඇති ඇණවුම්, හෝටල් සහ ආපණ ශාලා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබීම මීට හේතුව යි.

පවතින ආහාර අර්බුදය හා ගෑස් හිඟය වැනි කරුණු කාරණා මෙහි මූල බීජය යැ යි සිතිය හැකි යි.

***************************************

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන් ඉවත් වීමේ හේතුව ගැන මහින්දානන්දගෙන් ප්‍රකාශයක්

(01.01.2022 – 09:45 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දක්ෂ අවංක හොඳ නිලධාරීන් රැසක් සිටින නමුදු ඒ අයට වැඩ කරන්න නොදී ඔවුන්ගේ ඔළුව නරක් කරන්නේ බාහිර ව උපදේශකයින් ලෙස පෙනී සිටින යම් යම් පුද්ගලයින් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අවධාරණය කරනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණි දක්ෂ ලේකම්වරුන්ට අමාත්‍යාංශය අතහැර යන්න සිදු වුණේ, මෙම හේතුව නිසා බවට යි අමාත්‍යවරයා පවසන්නේ.

දක්ෂ රාජ්‍ය සේවකයෙකු වූ මහාචාර්ය උදිත් ජයසිංහ ලේකම්වරයා රජයේ හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැමැත්තෙන් කටයුතු කළ නමුත් එය කරන්න ඉඩ නොදී ඔහුව සම්පූර්ණයෙන්ම කනපිට ගැසුවේ, බාහිර බලපෑම් බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙම ඊනියා උපදේශකවරුන් නමැති අදිසි හස්තය ගැන විපරමෙන් සිටිය යුතු බව ද පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයට පත්ව ආ නව ලේකම්වරයා හා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ ඊයේ (31) පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළා.

***************************************

ඊයේ (31) රිය අනතුරුවලින් 6 ක් මරුට

(01.01.2022 – 13:24 +0530 – hirunews.lk/sinhala)

අද (01) පෙරවරු 6 න් අවසන් වූ පැය 24 තුල සිදුවූ රිය අනතුරු වලින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, නව වසර සැමරීමට ජනාකීර්ණ ප්‍රදේශ වල ජනතාව විශාල ලෙස ඒකාරාශී වීම හේතුවෙන් ආරක්ෂාකාරීව රිය ධාවනයට සැලකිලිමත් විය යුතු බවයි.

එමෙන්ම නව වසර සැමරීමට ඒකරාශී වන ජනතාවගේ ආරක්ෂාව සඳහා අදත් (01) දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළා.

මේ අතර, ශ්‍රි ලංකාව තුල අපරාධ රටාවේ වෙනස්වීම් සහ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන බල අපරාධ හෙවත් බරපතල අපරාධ යටතේ ගැනෙන සිද්ධින් පිළිබඳව නව චක්‍රලේඛයක් පොලිස්පතිවරයා විසින් සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සහ ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කර තිබෙනවා.

එහිදී මෙතෙක් බල අපරාධයක් ලෙස සැලකුණු රුපියල් 25,000 ට වැඩි අලාභ රුපියල් 50,000 දක්වා ඉහළ නංවා ඇති අතර, රුපියල් ලක්ෂ 3 කට වැඩි සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම හෝ වංචා කිරීම සංශෝධනය කර ඇත්තේ, රුපියල් පන් ලක්ෂය (5,00,000) ලෙසින්.

රුපියල් 25,000 ට වැඩි වැවිලි ද්‍රව්‍ය, ගව සහ දේපල සොරකම් මෙතෙක් බල අපරාධ ලෙස සැලකුණ ද දැන් එම අගය ඉහළ නංවා ඇත්තේ, රුපියල් 50,000 ක් ලෙසයි.

නව සංශෝධනය අනුව හෙරොයින් ග්‍රෑම් 5 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මෙන්ම, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය, ප්‍රවාහනය හෝ ළඟ තබා ගැනීම බරපතල අපරාධයක් ලෙස සැලකෙනවා ෴

මේ අතර, නව වසරේ ආරම්භය සනිටුහන් වූ ඊයේ (31) රාත්‍රීයේ සිදුවූ ගිණිකෙලි අනතුරුවලින් තුවාල ලැබූ පුද්ගලයින් 4 දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළා.

ඊයේ (31) රාත්‍රියේ පමණක් පුද්ගලයින් 188 දෙනෙකු හදිසි අනතුරු හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇති අතර, ඉන් 82 දෙනෙකු ඇතුළත් කර ගැනීමටයි රෝහල් බලධාරින් පියවර ගෙන ඇත්තේ.

එලෙස ඇතුළත් වූ පුද්ගලයින්ගෙන් 47 දෙනෙකුම මහාමාර්ග අනතුරු වලින් තුවාල ලැබූ පුද්ගලයින් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

(01.01.2022 – 07:47 +0530 – hirunews.lk/sinhala)

උදා වූ 2022 නව වසරේදී රට විවෘතව තබා ගනිමින් සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සඳහා සියලු පුරවැසියන් සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරමින් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කලේ, මෙරටින් හඳුනාගත් නව ඔමික්‍රොන් ආසාදිතයින් හතළිස් එක්දෙනෙකු (41) ගේ ආශ්‍රිතයන් මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

මෙරටින් තවත් ඔමික්‍රොන් ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ඊයේ (31) ප්‍රකාශ කලා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කලේ, ඉන් 7 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණි විදේශිකයන් බවයි.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ථ ඔමික්‍රොන් ආසාදිතයින් සංඛ්‍යාව 49 ක්.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ විනෝදාස්වාදයේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කළ යුතු බවයි.

තවත් කොරෝනා ආසාදිතයන් 499 ක් ඊයේ (31) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,87,245 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,979 ක් දක්වා ඉහළ ගියේ මෙරටින් ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 17 ත් සමගයි ෴

+++++++++++++

පොදු ස්ථානවලට පිවිසීමේ දී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සති දෙකකින් (2) කල් යයි

(01.01.2022 – 13:18 +0530 – hirunews.lk/sinhala)

පොදු ස්ථානවලට ප්‍රවේශ වීමේ දී කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් කාඩ්පත අද (01) සිට අනිවාර්ය කර තිබුණ ද එය බලාත්මක වීමට තවත් සතිදෙක තුනක් (2-3) ගතවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

මේ අතර, අද (01) සිට ලබන 31 වැනි දා තෙක් බලාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඊයේ (31) නිකුත් කෙරුණු අතර, ඒ යටතේ 5 ශ්‍රේණීයේ සිට ඉහළට 50% ක සාමාන්‍ය ධාරිතාවකට යටත්ව උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා අදාළ උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් 50% කට අවසර හිමිව තිබෙන අතර එළිමහන් ස්ථාන විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන්නේ නම් එය වඩාත් උචිත බවයි නව මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ.

ශාලාවන් හී සාමුහික වශයෙන් එක්රැස් වීම් වලදී සාමාන්‍ය ධාරිතාව 50% ක උපරිමයකටත්, පුද්ගලික නිවෙස්වල එක්රැස්වීම්වල දී පුද්ගලයන් 10 ක උපරිමයකට යටත්වත් අවසර හිමිවනවා.

එමෙන්ම, අවමංගල කටයුතු පැය 24 ක් තුළ අවසන් කටයුතු කළ යුතු අතර සහභාගී විය හැකි උපරිමය 30 ක් පමණයි.

මේ අතර, එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම අද (01) සිට ක්‍රියාත්මක බවට මීට පෙර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබුණා.

එම තීරණය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කළ විමසීමක දී අමාත්‍යවරයා කියා සිටියේ, එන්නත් දෙක (2) ම ලබා නොගත් පුද්ගලයින් පොදු ස්ථානවලට ප්‍රවේශවීමට අදාළ නීති රාමුවට දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබී ඇති බවයි ෴

+++++++++++++

කොරෝනා – ඉන්ෆ්ලුවෙන්සා ද්විත්ව ආසාදනයෙන් ෆ්ලොරෝනා

(01.01.2022 – 15:23 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය සහ ඉන්ෆ්ලුවෙන්සාව එක්වර ආසාදනය වීමෙන් ඇතිවන ‘ෆ්ලොරෝනා’ රෝග තත්ත්වය ඇති වූ ගැබිණි කාන්තාවක ඊශ්‍රායලයෙන් හඳුනාගෙන තිබෙනවා.

මෙය එවැනි ප්‍රථම වාර්තාගත සිද්ධිය බවයි ‘ඇරබ් නිවුස්’ ප්‍රවෘත්ති සේවාව සඳහන් කළේ. එමෙන්ම, ඊශ්‍රායලය මේ වනවිට සිය පුරවැසියන්ට කොරෝනා එන්නත් සිව්වන (4) මාත්‍රාව ලබාදීම ආරම්භ කර තිබෙනවා.

03 වන මාත්‍රාව ලබා මාස 04 ක් ගතවූ ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයින්ට එලෙස සිව්වන (4) මාත්‍රාව ලබාගත හැකියි.

මෙලෙස එන්නත්කරණය සාර්ථකව සිදුවූවත් ඊශ්‍රායලයෙන් දෛනික කොරෝනා ආසාදිතයින් 5,000 ක් පමණ තවදුරටත් හඳුනා ගැනෙනවා ෴

+++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 231 දෙනෙකු සුවය ලබයි

(01.01.2022 – 15:31 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 231 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 5,60,725 දක්වා ඉහළ යනු ඇති. දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 11,541 ක් ෴

තවත් කොරෝනා මරණ 16 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 14,995 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 351 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,87,596 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *