විදේශයන් හි දූත කාර්යාල වසා දැමීම ගැන පැහැදිලි කිරීමක්

විදේශයන් හි දූත කාර්යාල වසා දැමීම ගැන පැහැදිලි කිරීමක්

*********************************************

විදේශයන් හි දූත කාර්යාල වසා දැමීම ගැන පැහැදිලි කිරීමක්

(27.12.2021 – 18:43 +0530 – hirunews.lk/sinhala)

තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල කාර්යාල සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව නයිජීරියාවේ අබුජා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, සයිප්‍රස් හි නිකෝසියා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය යන දූත කාර්යාල තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව විදේශ අමාත්‍යංශය පවසනවා.

එම කාර්යාල තුන 2021 දෙසැම්බර් 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි තාවකාලිකව වසා දැමීමට විදේශ අමාත්‍යංශය ‘දැඩි සැලකිලිමත් බවින් යුක්තව තීරණය කළ’ බව එම නිවේදනයේ දැක්වෙනවා.

‘අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත් වූ මෙම තීරණය, විදේශ අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල සහ දූත කාර්යාල ජාලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද ක්‍රියාවලියක කොටසකි. ගෝලීය වසංගතය හේතුවෙන් එල්ල වී ඇති බරපතල ආර්ථික අභියෝග හමුවේ ද්විපාර්ශ්වික සබඳතා ඵලදායී ලෙස පවත්වාගෙන යාම තහවුරු කරමින්, රටට අවශ්‍ය විදේශ සංචිත සුරක්ෂිත කිරීම සහ විදේශයන් හි ශ්‍රී ලංකා දූත මණ්ඩල/දූත කාර්යාල නඩත්තු කිරීම සඳහා වැය කෙරෙන වියදම් අවම කර ගැනීමේ අරමුණින් මෙම ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කෙරේ’ යනුවෙන්ද එම නිවේදනයේ සඳහන්.

එම සම්පූර්ණ නිවේදනය : [පිටුව 1][පිටුව 2]

******************************************

බඩු මිල ඉහළ ගිහින් තියෙනවා – එස්.එම්. චන්ද්‍රසේන

(27.12.2021 – 17:34 +0530 – hirunews.lk/sinhala)

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් අදත් (27) අදහස් කිහිපයක් ම පළ කළා.

එහි දී මහාචාර්‍ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, රට තුළ බරපතළ ගණයේ අර්බුදයක් පවතිද්දී වගකිව යුත්තන් විදේශ රටවල සංචාරය කිරීම නුසුදුසු බව යි.

එමෙන් ම මාධ්‍යවේදින් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සඳහන් කළේ, බඩු මිල ඉහළ ගොස් ඇති බව නො පෙනීමට තරම් තමා ළදරුවෙකු නො වෙන බව යි.

******************************************

පිළියන්දල ව්‍යාපාරික ස්ථානයක ගින්නක්

(27.12.2021 – 18:27 +0530 – hirunews.lk/sinhala)

පිළියන්දල දොලේ කනත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන යන වාහන ෆයිබර් අමතර කොටස් නිෂ්පාදන ආයතනයක හටගත් ගින්නකින් දෙමහල් ගොඩනැගිල්ලට සහ ෆයිබර් කොටස් විශාල ප්‍රමාණයකට අලාභහානි ඇතැයි පිලියන්දල පොලීසිය පවසනවා.

සිද්ධිය සැලවීමත් සමගින් පිලියන්දල පොලිසිය, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවන රථ තුනක් (3) ගෙන්වා ප්‍රදේශවාසීන්ගේ ද සහාය ලබාගෙන පැයක පමණ කාලයකදී අවට ප්‍රදේශ වලට ගින්න පැතිරීම වැළැක්වීමට ක්‍රියා කර තිබෙනවා.

ගින්නෙන් ඉහළ මහලේ මුළුමනින්ම ගිනි ගෙන දැවී ඇති අතර, වාහන ෆයිබර් අමතර කොටස් විශාල ප්‍රමාණයක් සහ ගෘහ භාණ්ඩ කිහිපයක් ද විනාශ වී තිබෙනවා.

ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර , නිෂ්පාදන කටයුතු සඳහා නිවසෙන් පිටතට විදුලි රැහැනක් ඇද විදුලි බලය ලබා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ඇතිවූ විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරනවා ෴

******************************************

පොහොර ලේකම් කාර්යාලයෙන් ගොවීන්ට දැනුම්දීමක්

(27.12.2021 – 19:03 +0530 – hirunews.lk/sinhala)

දේශීය කාබනික දියර පොහොර පිළිබද විශ්වාසයක් හෝ අවශ්‍යතාවයක් නොමැති නම් ඒවා නැවත ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත භාරදිය හැකි බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ ප්‍රකාශ කළා.

කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ එම දියර පොහොර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් යුත් තාක්ෂණික කමිටුවකින් නිර්දේශ යටතේ පිළිගත් රසායනාගාර මගින් පරීක්ෂා කර, මිලදී ගත් ඒවා බවයි.

කෙසේ වෙතත්, ගොවීන් චෝදනා කරන්නේ දේශීයව නිපදවු කාබනික දියර පොහොර ප්‍රමිතියෙන් තොර බවටයි. රජය විසින් ලබාදුන් දියර පොහොර හේතුවෙන් සුනඛයින්ගෙන්ද සිය වගාවන් ආරක්ෂා කර ගැනීමට සිදුව ඇති බවයි ගොවීන් වැඩිදුරටත් චෝදනා කරන්නේ.

මේ අතර, තේ දළු සදහා සාධාරණ මිලක් සහ පොහොර සහනාධාරය ලබාදෙන ලෙස ඉල්ලා යටිනුවර – දන්තුරේ නගරයේදි කුඩා තේ වතු හිමියන් අද (27) උද්ඝෝෂණයක නිරත වුණා.

මේ අතර, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් තනතුරෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කෘෂීකර්ම ආයතනයේ විධායක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එමගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ ආහාර, කෘෂි ආර්ථීක විද්‍යාව සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබද විශේෂඥ තත්ත්වය ප්‍රදානය කර ඇති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ වැනි කුසලතා සහිත වෘත්තිකයෙකු හදිසියේ ඉවත්කිරීම තුලින් මෙරට සියලුම වෘත්තිකයන්ගේ වෘත්තිය ගරුත්වයට හානියක් සිදුවන බවයි.

******************************************

කොස්, පොලොස්, කෙසෙල්මුව සහ බතල මිලත් ඉහලට

(27.12.2021 – 19:06 +0530 – hirunews.lk/sinhala)

වෙළදපොළේ මේ වන විට ඉහළ ගොස් ඇති එළවළු වර්ග වලට සාපේක්ෂව අඩු මිලට පැවති කොස්, පොලොස්, කෙසෙල්මුව සහ බතල මිල ගණන් ද මේ වන විට සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මීට පෙර රුපියල් 20 ත්, 40 ත් අතර අගයක පැවති ගැට පොළොස් කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 100 දක්වාත්, කොස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

මීට අමතරව කෙසෙල් මුව කිලෝවක් ද රුපියල් 150 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ අගයක පවතින අතර ග්‍රාමීයව සපයා ගත හැකි කොස්, පොළොස්, බතල, චව්චව්, අඹ, කැකිරි වැනි ආහාර සඳහා වැඩි ඉල්ලුමක් පවතින්නේ අනෙකුත් එළවළු වර්ගවල මිල ඉහළ යාම හේතුවෙන් ෴

******************************************

මහබැංකුව වාණිජ බැංකුවල ඩොලර්වලින් සියයට 25 ක් ඉල්ලයි

(27.12.2021 – 19:17 +0530 – hirunews.lk/sinhala)

ගනුදෙනුකරුවන් විසින් වාණිජ බැංකුවලින් මාරු කරන ඩොලර් විනිමයෙන් සියයට 25 ක් මහබැංකුව වෙත අලෙවි කළ යුතු බවට මහබැංකු අධිපතිවරයා විසින් සියළුම වාණිජ බැංකු වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මීට පෙර එලෙස වාණිජ බැංකු මගින් මහ බැංකුව වෙත අලෙවි කළ යුතු වූයේ එලෙස ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන ඩොලර්වලින් සියයට 10 ක් පමණයි.

මේ අතර, මහබැංකුව විසින් බලපත්‍රලාභී සියළුම වාණිජ බැංකු සහ විශේෂිත බැංකු සඳහා අය කරන වාර්ෂික ගාස්තුව ද ලබන වසරේ සිට ඉහළ නංවා තිබෙනවා ෴

******************************************

හූ හඬ මැද පලාගිය මුද්‍රණ සංස්ථා සභාපති

(27.12.2021 – 19:50 +0530 – hirunews.lk/sinhala)

නත්නල් දිනට පෙර දිනයේ (24) තමන්ට ප්‍රසාද දීමනා ලබා නොදුන් බවට පවසමින් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සේවකයින් පිරිසක් ආයතනයේ සභාපතිවරයාට විරෝධය පෑමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්වයක් හට ගත් ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය යේ සංසරණය වනවා.

එම වීඩියෝව පහතින් :

******************************************

එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීම සඳහා අවසර

(27.12.2021 – 21:31 +0530 – hirunews.lk/sinhala)

එළිමහන් සංගීත සංදර්ශණ පැවැත්වීම සඳහා අවසර ලබාදීමට කටයුතු කරන ලෙස පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න විසින් ජේෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත අද (27) දිනයේදී උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව එම එළිමහන් සංගීත සංදර්ශණ පැවැත්වීම සඳහා අවසර ලබාදීමට කටයුතු කරන ලෙසයි පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ.

මේ අනුව සඳුදා, අඟහරුවාදා සහ බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සවස 6 සිට රාත්‍රී 10 දක්වා කාලය තුලදී එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර හිමිවනවා.

සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල සවස 6 සිට අලුයම 1 දක්වා ද ඉරිදා දිනවලදී සවස 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා එළිමහන් සංගීත සංදර්ශන පැවත්වීමට අවසර හිමිවනු ඇති ෴

******************************************

මෙරට රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය හෙට ඇරඹේ

(27.12.2021 – 20:21 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය හෙට (28) පස්වරුවේ නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙම ව්‍යාපෘතිය ජයිකා (JICA) මූල්‍ය හා තාක්ෂණික ආධාර ඇතිව ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සැලසුම් කොට මෙහෙයවනු ලබයි.

ලොවපුරා වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතින ප්‍රවණතාවයට අනුගත වීමත් නාස්තිය පිටුදැකීමත් මෙහි මූලික අරමුණ වී තිබේ.

මේ ඔස්සේ රූපවාහිනී සංඥා දුර්වලතා ඉවත් කිරීම හේතුවෙන් සුපැහැදිලි දසුන් සහිත වැඩසටහන් නැරඹීමේ හැකියාව ලැබෙනු ඇති.

මේ අතර ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙමගින් බහු රූපවාහිනී ඇන්ටනා ඉවත් කර එක් ඇන්ටනාවකින් සියලු රූපවාහිනී නාලිකා ග්‍රහණය කරගැනීමට හැකියාව ලැබීමත් ඩිජිටල්කරණයේ තවත් වාසියක් බවය ෴

******************************************

හරිත කෘෂිකර්මාන්තය ට නිලධාරීන්ගේ සහාය ලැබුණේ නෑ – ජනපති

(27.12.2021 – 19:42 +0530 – sinhala.adaderana.lk)

හරිත කෘෂිකර්මාන්තයක් සඳහා තමන් ආරම්භ කළ වැඩපිළිවෙළට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අවශ්‍ය සහාය නොලැබුණු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, පුවත්පත් කර්තෘවරුන් සමග අද (27) පැවති සාකච්ඡාවේදීය.

ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ සිය ධුර කාලයෙන් පළමු වසර දෙක (2) කොවිඩ් වසංගතය වෙනුවෙන්ම කැපකිරීමට සිදුවුව ද තමා භාරගත් සියලු වගකීම් ඉතිරි වසර තුනේදී (3) ඉටුකරන බවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පුවත්පත් කතෘවරුන් අතර හමුව අද (27) පැවැත්වූණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

රට තුළ පවතින වත්මන් තත්ත්වයන් පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

වත්මන් පොහොර ගැටලුව පිළිබඳ පුවත්පත් කතෘවරුන් කළ විමසීමේදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් තමන් ආරම්භ කළ වැඩපිළිවෙලට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් නිසි සහයෝගයක් නොලැබුණ බවය.

හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ගොවීන් මානසිකව සුදානම් කිරීමේ වගකීම එම නිලධාරීන් අතින් නිසි පරිදි ඉටුනොවූ බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

තමා බලයට පත්වන විට මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 7.3 ක් තිබූ බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

නමුත් කොව්ඩ් අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තය, අපනයන ක්ෂේත්‍රය බිඳවැටීම තුළ ඇති වු විදේශ ප්‍රේෂණ අඩුවීම එම විදෙස් සංචිත පහළ බැසීම සඳහා දැඩි බලපෑමක් කළ බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ශක්තිමත් විදෙස් සංචිත ඇති සංවර්ධිත රාජ්‍යක ආර්ථිකයට කොවිඩ් නිසා ඇති වන බලපෑමට වඩා ශ්‍රී ලංකාව තුළ මතුවූ තත්ත්වය වෙනස් බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

නමුත් තත්ත්වය හැකි තරම් පාලනය කර ගැනීම සඳහා ආනයන නතර කිරීම ඇතළු පියවර රැසක් ගත් බවත්, ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

බොහෝදෙනා කතාබහට ලක්නොකළත් ආනයන සීමාකිරීම් හමුවේ ගම්මිරිස් ගොවියන්ගේ ආදායම ඉහළ යාම, කහ වගාකරුවන්ට හොඳ මිලක් ලැබීම, එතනෝල් ආනයනය නතර කිරීම නිසා මෙරට උක් ගොවීන්ගේ ආදායම ඉහළ යාම වැනි ධනාත්මක කරුණු රැසක් ද සිදුවූ බව ජනාධිපතිවරයා පැවසුවේය.

එමෙන්ම තමා ධුරය ආරම්භ කළ පසු විදේශ ණය ලබාගනිමින් කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ නොකළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැංවීම රටේ ප්‍රමුඛ අවශ්‍යතාවක් වූවත් ඊට ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රමාණවත් සහයක් නොලැබෙන බවත්, ජනාධිපතිවරයා කියාසිටියේය.

ඇතැම් රාජ්‍ය ආයතනවලට ලේකම්වරු, සභාපතිවරු පත්කිරීමේදී උගත්කම මෙන්ම දේශපාලන ධාරාව පිළිබඳ අවබෝධයක් ඇති සමතුලිත පිරිසක් පත්කිරීම වැදගත් බව ජනාධිපතිවරයා පැවසුවේය.

ඔහු සඳහන් කළේ තමා පත්කළ ඇතැම් නිලධාරීන් උගත්කම අතින් පරිපුර්ණ වුවත් රාජකාරී කිරීමේදී යම් දුරස්ථභාවයක් දක්නට ලැබෙන බවය.

කෙසේ වෙතත් කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සිය ධුරකාලයේ මුල් වසර දෙකම (2) වැය වුවද ඉතිරි වසර තුනේදී (3) ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු සියලු වගකීම් ඉටුකරන බව ජනාධිපතිවරයා පුවත්පත් කතෘවරුන් හමුවේ කියා සිටියේය.

******************************************

අධ්‍යයන කටයුතු ආරම්භය ගැන ජපුර සරසවියෙන් නිවේදනයක්

(27.12.2021 – 17:09 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ නව අධ්‍යයන වර්ෂය 2022 ජනවාරි මස 01 වන දා ආරම්භ වන බවය.

2020 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල මත එම විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයට ලියාපදිංචි වී ඇති නවක සිසුන් සඳහා නම්නීකරණ වැඩසටහන ජනවාරි මස 01 වනදා සහ 02 වනදා යන දිනයන්හි මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වේ.

ඒ සඳහා අවශ්‍ය තොරතුරු http://fhss.sjp.sc.lk යන පීඨ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

සියලුම වසරවල සිසුන් සඳහා දේශන 2022 ජනවාරි මස 03 වනදා සිටි ආරම්භ කිරීමට නියමිත බව ද එම නිවේදනයේ දැක්වේ ෴

******************************************

ජීවිතයක් අහිමි කළ අනතුර

(27.12.2021 – 15:01 +0530 – sinhala.adaderana.lk)

කන්තලේ, මොල්ලිපොතාන ප්‍රදේශයේ දී මාරක රිය අනතුරක් සිදුව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

ත්‍රිකුණාමලය සිට මැදිරිගිරිය දක්වා ගමන්ගත් සිමෙන්ති ලොරියක් හා මාතලේ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කරමින් තිබු ඩොලමයිට් පටවාගත් ලොරි රථයක් මුහුණට මුහුණට ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

අනතුරින් සිමෙන්ති ලොරියේ රියදුරු එම ස්ථානයේ දීම මියගොස් ඇත.

අනෙක් ලොරි රථයේ රියදුරු තඹලගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ත්‍රිකුණාමලය මහ රෝහලට මාරු කර යවා තිබේ.

අනතුර අද (27) අලුයම 05:45 ට පමණ සිදුව ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ ගාල්ල, වලල්ලාවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

******************************************

යතුරුපැදි සොරකම – CCTV

(27.12.2021 – 14:02 +0530 – sinhala.adaderana.lk)

මිනුවන්ගොඩ දෙවලපොළ ප්‍රදේශයේ වෙළෙඳසැලක් අසල නවතා තිබූ යතුරුපැදියක් පුද්ගලයෙකු සොරාගන්නා අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.

යතුරුපැදිය නිවස ඉදිරිපිට නවතා තිබූ අතර, කිහිපවතාවක් මාර්ගයේ ඒ මේ අත ගමන් ගත් පුද්ගලයෙක් එක්වරම යතුරුපැදිය පණගන්වා ගෙන එම ස්ථානයෙන් පළා යයි.

සැකකරු සොයා මිනුවන්ගොඩ පොලීසිය මගින් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *