අද (23) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ටිකට් නිකුත්කිරීම නවතින ලකුණු ?

අද (23) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ටිකට් නිකුත්කිරීම නවතින ලකුණු ?

*********************************************

අද (23) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ටිකට් නිකුත්කිරීම නවතින ලකුණු ?

(23.12.2021 – 13:36 +0530 – sinhala.adaderana.lk)

අද (23) මධ්‍යම රාත්‍රී 12 න් පසු දුම්රිය සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ සියලු කටයුතු අත්හිටුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසයි.

විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා ඒ බව සඳහන් කළේය.

“දින දෙකකට පෙර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී එතුමන් දුම්රිය සාමාන්‍යාධිකාරවරයාට දැනුම්දුන්නා කඩිනමින් අපේ ප්‍රශ්න විසඳන්න කියලා. ඊයේ (22) දිනයේදී දුම්රිය සාමාන්‍යාධිකාරවරයා සමග පැවැති සාකච්ඡාවකදී කිසිදු යහපත් ප්‍රතිචාර ලැබුණේ නැහැ.”

“විශේෂයෙන්ම අපේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ නොවිසඳුන ගැටලු සියල්ලම ඒ තත්ත්වයේ පවතින මට්ටමක තිබෙන්නේ. ඔහු කිසිදු විසඳුමක් දෙන මට්ටමක නැහැ. මගීන් සඳහා වන පහසුකම්ද දුම්රිය සංඥාවල දෝෂවත් නිවැරදි කරන්න වැනි කිසිදු දේකට ඔහු එකඟ නැහැ. ඔහුට වෙන විකල්ප ක්‍රියාමාර්ගක් නැහැ. දුම්රිය පාර්සල් ප්‍රවාහන කටයුතුවලින් අපි ඊයේ මධ්‍යම රාත්‍රී 12 න් පසු ඉවත් වෙලාතියෙනවා.”

“පාර්සල් ප්‍රවාහන දුම්රිය 50% පමණ අවලංගු වෙලා තියෙන මොහොතත මේ උත්සව සමයේ අපේ ජනතාවගේ පාර්සල් ප්‍රවාහන අඩාලවෙලා තියෙනවා. ඒකට වගකියන්න දුම්රිය ස්ථානාධිපතිවරුන්ට බැහැ. ඒ නිසා අපි පාර්සල් භාරගැනීමෙන් ඊයේ (22) මධ්‍යම රාත්‍රියෙන් පසු ඉවත් වුණා. ඒ සමගම මේ සති අන්තයේ අපි බලාපොරොත්තු වෙනවා විශාල මගීන් ප්‍රමාණයක් ගම්බිම් බලා යන්නට සූදානම්වන මේ මොහොතක. ඔවුන්ට අවශ්‍ය දුම්රිය ප්‍රමාණය යොදවන්නට යෝජනා කරද්දිත්, රට සාමාන්‍යකරන වෙලා තියෙද්දි දුම්රිය සාමාන්‍යකරණය වෙලා නැහැ.”

“දුම්රිය අසාමන්‍යකරණය වෙලා තියෙනවා. සම්මත දුම්රිය ප්‍රමාණයවත් ධාවනය කරගන්න නොහැකිව විශේෂ දුම්රිය දෙකක් (2) යොදවලා විහිලුවක් කරන්න හදන එකේ මගීන් අවදානමකට දාන්න බැහැ. ඒ නිසා අපි අද (23) මධ්‍යම රාත්‍රියේ 12 න් පසුව වෙන්කළ ආසන එහෙමත් නැතිනම් නගරාන්තර සිඝ්‍රගාමී දුම්රියන්යට ආසන වෙන්කිරීමෙන් හැර සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සියල්ල අත්හිටුවනවා. මොකද අපිට ප්‍රවේශපත්‍රයක් මගීන්ට දීලා ඔවුන් දුම්රියේ එල්ලිලා යන්න, දුම්රියේ නැගලා යන්නට බැරිවෙන තත්ත්වයකට පත්කරන්න බැහැ.”

“මේකට විසඳුමක් දෙනතෙක් අපි දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද (23) රාත්‍රී 12 ට අත්හිටුවනවා. ඒ සමගම මේවාට විසඳුම් ලැබුණේ නැතිනම් මේ යන ක්‍රමවේදයට විරෝධතාවය දැක්වීමට අපේ අවසාන තීන්දුව වන 26 වනදා මධ්‍යම රාත්‍රී 12 ට අපි අඛණ්ඩ දැවැන්ත වැඩ වර්ජනයකට යනවා. සියලු දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලක කාර්යාලවල දුම්රිය ස්ථානාධිපතිවරුන් සියල්ල එළියට බැහැලා අපි කටයුතු කරන්න සූදානම් වෙනවා. මෙයින් මගීන්ට අපහසුතාවයක් වුණොත් මේකේ වගකීම දුම්රිය සාමාන්‍යාධිකාරවරයා ඇතුළු පාලනාධිකාරිය භාරගන්න ඕනේ.”

******************************************

විසඳුම් ඉල්ලා ජවිපෙ මහමඟට

(23.12.2021 – 19:51 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල වැඩි කිරීම, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාම සහ පොහොර ගැටලුව සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද (23) දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක උද්ඝෝෂණවල නිරත වුණා.

ඒ අනුව මහරගම, කිරිබත්ගොඩ, රත්නපුර, කෑගල්ල, සෙවනගල, දඹුල්ල, විල්ගමුව, වලපනේ, අනුරාධපුර සහ ගිණිගත්හේන යන ප්‍රදේශවල විරෝධතා පැවැත්වීමට යි ඔවුන් කටයුතු කර තිබුණේ.

එම විරෝධතා සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරන වෘත්තීය සමිති ද එක්ව සිටියා ෴

******************************************

සිනමා කර්මාන්තකරුවන්ට අවශ්‍ය ණය පහසුකම්

(23.12.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala)

සිනමාව කර්මාන්තයක් බවට පත්කිරීමෙන් පසු ණය පහසුකම් ලබාගැනීම ඇතුළු එම ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබදව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර විශේෂ සාකච්ජාවක් පවත්වා තිබෙනවා.

මෙරට සිනමා කර්මාන්තකරුවන්ට අවශ්‍ය ණය පහසුකම් ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබදව එහිදි දීර්ඝ වශයෙන් සාකච්ජාවට බඳුන් වී ඇති බව සඳහන්.

මීට අමතර ව, සුපිරි වෙළදසැල් ජාලය කේන්ද්‍ර කරගනිමින් ප්‍රේක්ෂකයන් සියයකට එකවර චිත්‍රපට නැරඹිය හැකි ‘මිනි තියෙටර්’ ක්‍රමවේදයක් හදුන්වා දීම සම්බන්ධයෙන්ද සාකච්ජාවට බදුන්වී තිබෙනවා ෴

******************************************

පොහොර නො මැති වීමෙන් ගොවියෝ අපහසුතාවක

(23.12.2021 – 21:52 +0530 – hirunews.lk/sinhala)

පොහොර නො මැති වීමෙන් වී, බඩඉරිඟු ඇතුළු භෝග රැසක මහා කන්නයේ අස්වනු අඩුවනු ඇතැයි ගොවි ජනතාව පවසනවා.

වගාවන් සඳහා අවශ්‍ය පොහොර නො මැති වීමෙන් ප්‍රදේශ රැසක ගොවීන් තවදුරටත් අපහසුතාවට පත් ව සිටිනවා.

******************************************

ආහාර හිඟයක් ඇති විය හැකි බවට මහින්ද අමරවීරගෙන් ප්‍රකාශයක්

(23.12.2021 – 22:11 +0530 – hirunews.lk/sinhala)

පොහොර අර්බුදය හමුවේ ඉදිරියේදී අනිවාර්යයෙන්ම ආහාර හිඟයක් ඇති විය හැකි බව හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයෙකු වන මහින්ද අමරවීර මහතා ද පවසනවා.

කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසන්නේ, කිසිදු ආහාර හිඟයක් ඇති නො වන බවයි.

******************************************

අත්‍යයවශ්‍යය ආහාර වලට දුන්නු බදු සහන වංචා කළ කූඨ ව්‍යාපාරිකයන්ගෙන් ඒවා අයකරගෙන දුපතුන්ට සහන ලබා දෙන්න – ජානිපෙ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර

(24.12.2021 – 06:39 +0530 – lankaleadnews.com)

සීනි, තිරිඟු පිටි, කිරි පිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන් සඳහා රජය ලබා දුන් බදු සහනවල වාසිය පාරිභෝගිකයාට ලබා දීමට වහා එම භාණ්ඩ සඳහා මිල පාලනයක් ඇති කරන ලෙසත් ලබා දුන් එකී බදු සහනයේ වාසිය ගසාකෑ ජාවාරම්කරුවන්ගෙන් එම මුදල් යළි අය කරගෙන සමෘද්ධි සහනාධාරය දෙගුණ කරන ලෙසත් ජානිපෙ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ජයන්ත සමරවීර මහතා මේ අදහස් පළ කළේ අද (23) පිටකෝට්ටේ පිහිටි ‘ජාතික නිදහස් පෙරමුණේ’ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය :

“අද අපි කොයි කවුරුත් දන්නවා අපේ රටේ ජනයා දරා ගත නොහැකි උසුලන්න බැරි ජීවන බරකින් තැලී පොඩිවී මිරිකී ජීවත් වන බව. තුන්වේල කාපු මිනිස්සු දෙවේලට, දෙවේල කාපු මිනිස්සු එක වේලට තමන්ගෙ ජීවිතේ හකුළාගෙන තියෙනවා. මේ තත්ත්වයෙන් පාරිභෝගික ජනයා ගලවාගැනීම පිණිස අපේ රජය එක වෙලාවක ඇතැම් පාරිභෝගික භාණ්ඩ සඳහා, විශේෂයෙන් ආනයනික පාරිභෝගික භාණ්ඩ සඳහා බදු සහන ලබාදුන්නා. අපි කවුරුත් දන්නවා මේ බදු සහන ලබාදීමේදී ආණ්ඩුවේ උවමනාව වුණේ එහි වාසිය ජනතාවට පෙරළා ලබාදීම. බදු සහනයේ වාසිය ජනතාවට ලැබෙයි කියන විශ්වාසය මත තමයි ආණ්ඩුව එහෙම කෙරුවේ. නමුත්, දැන් වෙලා තියෙන්නේ බදු සහන වාසිය පාරිභෝගික ජනතාවට ලැබෙනවා වෙනුවට, මේ ජීවන බරින් මිරිකී සිටින කෝටි දෙකකට අධික ජනතාවට ලැබෙනවා වෙනුවට ජාවාරම්කාර අතලොස්සක් අතට පත්වීම.

අපි දන්නවා අපේ රටේ සීනි කිලෝවක මිල රුපියල් 85 ට තිබුණා 2020 ඔක්තෝබර් මාසෙ වෙනකොට. ඒ වෙලාවෙ ඉන්දියාවෙ සීනි මිල අඩු වුණා. කවුරුත් දන්නවා අපි වැඩියෙන්ම සීනි ආනයනය කරන්නෙ ඉන්දියාවෙන්. ඉන්දියාවෙ ඩොලර් ශත 40 ට තිබුණ සීනි මිල ඩොලර් ශත 30 වුණ වෙලාවේ, එහෙම තත්ත්වයක් වෙළෙඳපොළ තුළ පවතිද්දි මෙරට සීනි ආනයනකරුවො කියනවා, සීනි 85 ට දෙන්න හැකියාවක් නැහැයි කියලා. මේ වෙලාවෙ ආණ්ඩුව එතෙක් රුපියල් 50 කට තිබුණ ආනයන බද්ද කිලෝ එකකට ශත 25 දක්වා අඩු කරනවා. ඒ කියන්නෙ එක සීනි කිලෝ එකකට රුපියල් හතළිස්නවයයි ශත හැත්තෑපහක (49.75) බදු සහනයක්. මේකෙන් බලාපොරොත්තු වුනේ රුපියල් 85 ක මුදල ඒ ආකාරයටම පවත්වාගැනීම.

හැබැයි, මොකක්ද වුණේ? මේ බදු සහනය අවුරුද්දකට සම්පූර්ණයෙන් රුපියල් මිලියන 15,000 ක්. අවුරුද්දකට ලංකාවට සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් (5,00,000) ආනයනය කරනවා. දැන් ආණ්ඩුව අතහැරපු මේ බදුවල වටිනාකම ජනතාව වෙත ගලා ආවාද ? නැහැ. සාමාන්‍යයෙන් රටේ සමෘද්ධි ආධාර දෙන්න අවුරුද්දකට යන්නෙත් මිලියන 15,000 යි. ඒ වාසිය ජනතාවට ආවානම් අපිට සීනි රුපියල් 85 ට ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් කීයද සීනි කිලෝ එකක්. සතොස සුදු සීනි කිලෝ එකක් රුපියල් 130 යි. පෞද්ගලික අංශයේ සුදු සීනි කිලෝ එකක් රුපියල් 140 යි. බදු සහනයක් දුන්නා 85 ට ගන්න. දැන් ගන්න වෙලා තියෙන්නෙ 140 ට. බදු සහනෙ වාසිය ගත්තෙ කවුද ? වෙළෙන්දා.

ආහාර සඳහා අවශ්‍ය කරන තෙල් වර්ග සඳහා කිලෝ එකට රුපියල් 170 ක බදු සහනයක් දීලා තියනවා. නමුත් මිල අඩුවීමක් වෙලා නැහැ. ඒකෙන් රජය අතහැරපු බදු ආදායම රුපියල් මිලියන 20,000 ක්.

ඒ වගේම සහල් කිලෝ එකකට දැන් දීලා තියෙනවා රුපියල් 64 ක බදු සහනයක්. පාරිභෝගිකයන්ට ලාබෙට හාල් ලැබෙනවද ? නැහැ. ලංකාවට මාස තුනකට (3) හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් (5,00,000) විතර සාමාන්‍යයෙන් ඕනෙ. ඒ කියන්නෙ මාස තුනකට (3) රජයට අහිමි වන බදු ආදායම, පාරිභෝගිකයන්ට සහන සැලසීම පිණිස රජය අතහැරපු බදු ආදායම රුපියල් මිලියන තුන්දහස් දෙසීයක් (3200). පාරිභෝගිකයන්ට ඒ වාසිය ඇවිල්ල තියෙනවාද? නැහැ.

ඒ විතරක් නොවෙයි, ආනයනික තිරිඟු පිටි කිලෝ එකකට රුපියල් 28 ක මුදලක් බදුවලින් අඩු කරලා දැම්මා. සාමාන්‍යයෙන් ඒ හරහා රටට අහිමි වෙනවා, රුපියල් මිලියන පන්දහස් හතළිහක් (5,040) .

මේ මොකක්ද වෙන්නේ? පාරිභෝගිකයාගෙ ජීවන බර සැහැල්ලු කිරීම සඳහා රජය ලබාදෙන බදු සහනවල සහනය පාරිභෝගිකයන්ට ලැබෙනවා වෙනුවට, ඒ වාසිය ජාවාරම්කාරයන් පිරිසක් අතට යන එක.

සීනි ආනයනකරුවන්ට සීනි කිලෝ එකකට (1) රුපියල් හතළිස්නවයයි ශත හැත්තෑපහක (49.75) බදු සහනයක් දෙද්දි, ඒ වනවිටත් වරායෙ ගුදම්වල සීනි තිබුණා කිලෝ ලක්ෂ ගාණක්. ඒ විතරක් නොවෙයි, තවත් සීනි නැව් වරායට ළඟාවෙලා තිබුණා. සීනි තොගයක් නැව්වල, සීනි තොගයක් ගුදම්වල. එහෙම තියෙද්දි තමයි රුපියල් පනහෙ (50/-) බද්ද ශත විසිපහට (-/25) අඩු කෙරුවේ. ඒ වෙනකොට මුළු අවුරුද්දටම ඇති වෙන්න සීනි ගෙන්නලා. තාම තියෙන්නෙ ඒ සීනි. බදු සහනෙ අරගෙන දැන් රුපියල් එකසිය හතළිහට (140) විකුණනවා. ජාවාරම්කාරයන්ගෙ මඩිය තරවෙනවා. රජයට අහිමි වුණු බදු ආදායම රුපියල් මිලියන 15,000 යි.

මහබැංකු වංචාවෙනුත් අහිමි වුණා කියන්නෙ රුපියල් මිලියන 12,000 යි. බදු සහනයක් දෙද්දි ඒත් එක්කම එන දේ තමයි මිල පාලනය. දැන් මොකද වෙලා තියෙන්නේ? බදු සහන දෙන ගමන් මිල පාලනය අත අරිනවා. වෙළෙඳපොළ තුළ පාවෙන්න අරිනවා. ඔහේ පාවෙන්න අරිනවා නම් බදු සහන දෙන්න ඕන නෑනෙ. බදු සහනත් දීලා ජනතාවට සීනි වැඩි මිලට කන්න වෙලා. බදු සහනත් දීලා ජනතාවට හාල් වැඩි මිලට කන්න වෙලා.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරි පනත අනුව මිල පාලනය කරන්න පුළුවන්. පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයෙන්, මුදල් අමාත්‍යාංශයෙන් අපි ඉල්ලීමක් කරනවා, ‘අන්ත අසරණභාවයට පත්වෙලා ඉන්න, කුස අකුලාගෙන ඉන්න පාරිභෝගිකයාට සහනයක් ගේන්න නම් මිල පාලනය වහා ගේන්න. නොමැරී මැරෙමින් ඉන්න මිනිස්සු වෙනුවෙන්, බදු සහන දෙන භාණ්ඩ වෙනුවෙන්, සීනි, කිරිපිටි, හාල් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙනුවෙන් මිල පාලනය ඇති කරන්න. පාරිභෝගික ආරක්ෂණ විධිවිධාන අනුව වහාම මිල පාලනයක් ගේන්න. මේ බදු සහනවල වාසිය ජාවාරම්කාරයන් අතට පත් නොකර ජනතාවට දෙන්න.

ඊළඟට අපි ඉල්ලනවා, මේ ‘සීනි බදු වංචාව’ – මේක පොඩි එකක් නොවෙයි – මේක සාක්කුවට දාගත්ත වංචාකාරයන් ගෙන් මේක අයකරගන්න. එහෙම කරලා ඒකෙන් සමෘද්ධි ආධාර වැඩි කරන්න 2022 ට.”

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

******************************************

ආහාර හිඟයක් ඇති නො වන බව කෘෂිකර්ම ඇමති කියයි

(24.12.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම නිලධාරීන්ගෙන් ලැබෙන තොරතුරුවලට අනුව මහ කන්නයේ වී අස්වැන්න අඩු වන්නේ 25% ක් හෝ 30% ක් බැවින් රට තුළ ආහාර හිඟයක් ඇති නො වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

දිවයින පුරා සේවය කරන කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරුන්, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරු ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (23) කොළඹ දී විශේෂ වැඩමුළුවක් පැවැත්වුණා.

එහි දී දිවයින පුරා මහ කන්නයේ වගා කර ඇති කුඹුරු ඉඩම් පිළිබඳ තොරතුරු එක්රැස් කර ඇති අතර, සෑ ම දිස්ත්‍රික්කයක ම කුඹුරු ඉඩම් 90% ක් හෝ 95% ක් වගා කර ඇති බවයි එහි දී අනාවරණ වී ඇත්තේ.

එහෙත්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශය සමඟ ඊයේ (23) විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ, අනිවාර්යයෙන් රට තුළ ආහාර හිඟයක් ඇති විය හැකි බවයි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද රට තුළ ආහාර හිඟයක් ඇතිවිය හැකි බව ඊයේ (23) ප්‍රකාශ කළා.

******************************************

මඩකලපුව මුහුදේ සැරිසැරූ වැලි නෞකාවේ රහස හෙළි වෙයි

(24.12.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව මුහුදු සීමාවේ නතර කර තිබූ ටග් යාත්‍රාවෙන් කිසිදු කැණීමක් හෝ ජාවාරමක් සිදු කර නො මැති බවත් අවශ්‍ය තෙල් ප්‍රමාණය නො මැති වීම හේතුවෙන් එය එම මුහුදු සීමාවේ නවතා තිබූ බවත් වරාය පාලක හෙවත් ‘හාබර් මාස්ටර්’ පවසනවා.

හුණුගල් රැගත් නෞකාවක් මඩකලපුව මුහුදු සීමාවේ නතර කර ඇති බවට පසුගිය දා ඇතැම් වාර්තා අනාවරණ කර තිබුණා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වරාය පාලකවරයාගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ, ඩුබායි සිට චිතගොන් දක්වා ගමන් කරන හුණුගල් රැගත් ටග් යාත්‍රාවක් මඩකලපුව මුහුදු සීමාවේ දී ඉන්ධන නොමැති වීම හේතුවෙන් නැංගුරම් ලා ඇති බවයි.

එම ටග් යාත්‍රාව ත්‍රිකුණාමලය දක්වා ගමන් කිරීමට නියමිත ව තිබී ඇත්තේ, ඉන්ධන ලබා ගැනීම සඳහායී.

එහෙත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් ත්‍රිකුණාමලයට ගමන් කිරීමට නොහැකි වී ඇති බැවින් එය මඩකලපුවේ නැංගුරම් ලෑමට සිදු ව ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ වනවිට ඊට මඩකලපුවේ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කිරීමට අවශ්‍ය ඉන්ධන ලබාදීමට කටයුතු කළ බවත්, අදාළ ටග් යාත්‍රාවෙන් මෙරට වැලි කැණීමක් සිදු නොකළ බව ද ඔහු අවධාරණය කළා ෴

******************************************

වෛද්‍ය වර්ජනය ගැන තීන්දුවක් අද (24) පෙරවරුවේ

(24.12.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ ද නැද් ද යන්න අද (24) පෙරවරු 10 ට පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේ දී තීරණය කරන බව එම සංගමය පවසනවා.

එහි මධ්‍යම කාරක සභික වෛද්‍ය රුවන් ජයසූරිය හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ, සිය ඉල්ලීම්වලට සෞඛ්‍ය අමාත්‍යංශය ලිපියක් මඟින් යොමු කර ඇති විසඳුම් යෝජනාවලිය ඇගයීමට ලක් කර අදාළ තීරණයට එළඹෙන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (24) සිව් වැනි (4) දිනටත් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන්නේ, වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තු සැකසීම ඇතුළු ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින්.

කෙසේ වෙතත්, වර්ජනය හේතුවෙන් ඊයේ (23) දිනයේත් රෝහල් වෙත පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත් වුණා.

මේ අතර, සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමයට අයත් ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් අද (24) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට නියමිත යි.

ඒ බටහිර සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මාස 3 ක් පුරා ලබා දුන් රුපියල් 7,500 ක කොරෝනා විශේෂ මාසික දීමනාව ආයූර්වේද සෞඛ්‍ය සේවකයින්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින්.

ඒ අනුව ආයුර්වේද සෞඛ්‍ය සේවකයින් අද (24) පෙරවරු 10 ට නාවින්න ආයූර්වේද දෙපාර්තමේන්තුව ඉදිරිපිටදීත් පස්වරු 3 ට සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදීත් විරෝධතාවල නිරත වීමට ද නියමිතයි.

මේ අතර ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරීවලින් ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබෙනවා.

උසස්වීම් ගැටලු, මඟීන්ගේ පහසුකම් පිළිබඳ ගැටලු සහ සංඥා ක්‍රම පිළිබඳ ගැටලු මුල් කර ගනිමින් එම සංගමය මීට පෙර ආරම්භ කළ පාර්සල් භාරගැනීමෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ද තවදුරටත් ක්‍රියාත්මකයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *