ගෑස් මගඩිය : රාජපක්ෂලා මැරෙන්නෙ පනුවො ගහලා (16.12.2021)

ගෑස් මගඩිය : රාජපක්ෂලා මැරෙන්නෙ පනුවො ගහලා (16.12.2021)

*********************************************

+++++++++

16-12-2021

******************************************

කිලිනොච්චියේ පතුරම් හමුවූ ඉඩමෙන් ටී.56 උණ්ඩ 1,87,559 ක් සොයාගැනේ – කැණීම් කටයුතු අවසන්

(16.12.2021 – 20:16 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය කෝරක්කන්කටු ප්‍රදේශයේ ඉඩමකින් හමුවූ පතුරම් ප්‍රමාණ්‍ය 187,559 ක් බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

එම ප්‍රදේශයේ ගෙවත්තක ඉදිකිරීමක් වෙනුවෙන් වළක් කැපීමේදී පතුරම් පෙට්ටි දෙකක් (2) තිබී හමුවූයේ පසුගිය 13 වැනිදායි.

අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රිය අංශය ඊයේ (15) සහ අද (16) දිනවල සිදුකළ කැණීම්වලින් මෙම පතුරම් තොගය සොයාගෙන තිබෙනවා.

පතුරම් බහාලන පෙට්ටියක් තුළ ටී.56 පතුරම් 750 බැගින් පවතින අතර එවැනි පෙට්ටි 145 ක් තුල ටි.56 පතුරම් 1,08,750 ක තොගයක් පැවති බවයි අනාවරණ වී ඇත්තේ.

අදාළ වල තුල බහාලුම් නොමැතිව තිබූ තවත් ටී.56 පතුරම් 78,809 ක් සොයාගත් බව ද පොලිසිය සඳහන් කළා.

එමෙන්ම එහි තිබී එම්.පී.එම්.ජී. පතුරම් 2400 ක් එම්.16 පතුරම් 800 ක් ද හමුවී තිබෙනවා.

යුද්ධය පැවති සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යළි ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් සඟවා ගිය පතුරම් තොගයක් මෙලෙස හමුවන්නට ඇති බවටයි ආරක්ෂක අංශ සැක පළකරන්නේ.

යුද සමයේ එම ස්ථානය අවි ගබඩාවක් වශයෙන් පවත්වාගෙන යන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර කැණීම් කටයුතු අද (16) අවසන් කර තිබෙනවා.

කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රිය අංශය විසින් අදාළ පතුරම් තොගය විනාශ කිරීමට නියමිතයි.

******************************************

මහ මග අසරණ වූ යුවළට ‘හිරු’ අනාවරණයෙන් පසු හිසට සෙවණක්

(16.12.2021 – 20:23 +0530 – hirunews.lk/sinhala)

හිසට සෙවනක් නොමැතිව මහ මඟ දිවි ගෙවූ යුවළකට ‘හිරු’ අනාවරණයෙන් පසු තමන්ගේම නිවසක ජීවත් වීමේ අවස්ථාව උදාවී තිබෙනවා.

ඒ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා විසින් ඔවුන් වෙත ඉඩමක් පරිත්‍යාග කිරීමට පොරොන්දු වීමත් සමඟයි.

දිනකට දෙනොදාහක් ගමන් ගන්නා කටුගස්තොට පාලම යට සැඟවුණු කඳුලු කථාව ‘හිරු ප්‍රවෘත්ති’ ඔස්සේ අප රට හමුවේ තැබුවේ මේ අසරණ යුවලට සරණක් අවැසි නිසයි.

වසර තුනකට (3) අධික කාලයක් අව්වත් වැස්සත් සමඟ පොර බැඳි රිචඩ් සහ සිත්ති යුවලට අවශ්‍ය වී තිබූ එකම රැකවරණය හිසට සෙවනක්.

අගහිගකම් මැද දිවිගෙවන මේ යුවළ අදටත් ජීවිතය ගෙවන්නේ දැඩි සෙනෙහසින්.

ඔවුන්ගේ ගැටළුව ගැන අප ඊයේ (15) හිරු මධ්‍යහ්න ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණ කළේ ඔවුන් වෙනුවෙන් නිවසක් තනා දීමේ අරමුණින්.

මෙම අනාවරණයෙන් පැය 24 ක් ගත වීමටත් මත්තේන් රිචඩ් සහ සිත්ති යුවල වෙනුවෙන් නව නිවසක් ඉදි කිරීම සඳහා ඉඩමක් ලබා දීමට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා ඉදිරිපත් වුණා.

වසර තුනක් (3) පුරා කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමු නොවූ මේ මිනිසුන්ට ඔවුන්ගේම නිවසක බලාපොරොත්තු දැල්වීමත් සමඟ හඬ අවධි කළා.

******************************************

උසස් පෙළ විභාග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

(16.12.2021 – 21:02 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි 07 වනදා සඳුදා ආරම්භ වන උසස් පෙළ විභාගය අවසන් වන්නේ මාර්තු මස 04 වනදා සෙනසුරාදා යි.

අධ්‍යන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය – 2021(2022)- කාලසටහන
බාගත කරන්න : [ඉංග්‍රීසී][සිංහල][දෙමළ]

+ https://www.doenets.lk/

******************************************

මහනුවර සිසුවියක් පේරාදෙණිය කලු පාලමෙන් මහවැලි ගඟට පනී

(16.12.2021 – 22:41 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරණ සිසුවියක් පේරාදෙණිය කලු පාලම අසළින් මහවැලි ගඟට පැනීමෙන් පසු අතුරුදන් වී තිබෙනවා.

මේ අතර අද (16) පස්වරුවේ තවත් තරුණ යුවලක් මහියංගන පාලමෙන් මහවැලි ගඟට පැන අතුරුදන් වී ඇති අතර ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නැහැ.

මහනුවර ප්‍රදේශයේ පදිංචි අදාළ සිසුවිය බැඩ්මින්ටන් පුහුණුව සඳහා ඉකුත් 9 වැනිදා ඇයගේ පියා විසින් මෝටර් රථයෙන් පාසලට ඇරලවා තිබුණා.

පියා පිටව යනවාත් සමග දැරියද පාසලින් පිටතට පැමිණෙන අයුරු ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරුව ඇය කළුපාලම අසළට පැමිණ ඇත්තේ සිය පෙම්වතා බවට පැවසෙන තරුණයා හමුවීම සඳහායි.

එම තරුණයාගේ දුරකතනයෙන් වෙනත් තරුණියකට යවන ලද කෙටි පණිවුඩ කිහිපයක් දුටු සිසුවිය පාලමෙන් ගඟට පැන ඇති බවයි මුලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

සිද්ධියෙන් බියට පත්වූ පෙම්වතා ඒ පිළිබඳ කිසිවෙකුට නොදන්වා සිය නිවසට වී සිට ඇති බව පොලිසියට සිදුකළ පාපොච්චාරණයේ සදහන් කර තිබෙනවා.

පොලිස් ජීවිතාරක්ෂක අංශයේ නිලධාරීන් කණ්ඩායමක් කළු පාලම අසළ මහවැලි ගඟ පරීක්ෂාවට ලක් කලද සිසුවිය ගැන කිසිදු තොරතුරුක් අනාවරණ කර ගැනීමට මේ දක්වා හැකියාව ලැබී නැහැ.

මේ අතර දින 23 ක් අතුරුදන් වී සිටින කොටදෙණියාව ප්‍රදේශයේ පිරිමි ළමුන් දෙදෙනා (2) සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා ළමා ආරක්ෂණ අධිකාරිය අද (16) පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම එක් දරුවෙකුගේ මව ඇතුළු 50 දෙනෙකුට වැඩි පිරිසකගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

මේ අතර පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි මවක් හිරු ප්‍රවෘත්ති අංශය අමතමින් සඳහන් කළේ අතුරුදන්වී ඇති එක් දරුවෙකු තමාගේ බවයි.

******************************************

මෙරට අන්තවාදී ආගමික සංවිධාන වහා තහනම් කළ යුතු බව ඥානසාර හිමි කියයි

(16.12.2021 – 23:07 +0530 – hirunews.lk/sinhala)

මෙරට ක්‍රියාත්මක අන්තවාදී ආගමික සංවිධාන වහා තහනම් කළ යුතු බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

අද (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ තමන් සභාපතිත්වය දරණ ‘එක රටක් එක නීතියක් සඳහාවන ජනාධිපති කාර්ය සාධක බලකාය’ සම්බන්ධයෙන්ද අදහස් පළ කළා.

******************************************

නීති නොතකා ධාවනය කළ රියදුරාට වැඩ වැරදෙයි – පොලිස් නිලධාරියාට තුවාල

(17.12.2021 – 06:25 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුව ප්‍රධාන වීදියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පිටකොටුව පොලිසියට අනුයුක්ත රථවාහන පොලිස් නිලධාරියෙක් මීටර හැත්තෑවක් (70) පමණ යතුරු පැදියක එල්ලී ගොස් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් පිළිබඳව වාර්තා වනවා.

පිටකොටුව ප්‍රධාන වීදියේ රථවාහන නවතා තැබිය නොහැකි ස්ථානයක නවතා තිබූ යතුරු පැදියක් සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියා දැඩි විමසිල්ලෙන් පසු වී තිබෙනවා.

එහි හිමිකරු පිළිබඳව ඒ අවට සිටි අයගෙන් විපරම් කළ ද ඒ පිළිබඳව නිශ්චිත තොරතුරක් ඔහුට හමු වී නැහැ.

කෙසේ වෙතත් පැයකට පමණ පසුව පැමිණි යතුරු පැදියේ හිමිකරු එය පණගන්වා එම ස්ථානයෙන් පළා යාමට උත්සාහ දරා තිබෙනවා.

එම අවස්තාවේදී අදාළ පොලිස් නිලධාරියා පැමිණ ඔහු සිදු කළ වරද සම්බන්ධයෙන් රාජකාරි කටයුතු කිරීමට සූදානම් වන අවස්ථාවේ යතුරුපැදිකරු පළා යෑමට උත්සාහ දරා තිබෙනවා.

එහිදී සැකකාර යතුරුපැදිකරු අල්ලා ගැනීමට පොලිස් නිලධාරියා උත්සාහ කළ අවස්ථාවේදී ඔහු මහමඟ ඇදගෙන යමින් යතුරුපැදිය පළා යෑමටයි උත්සාහ කර ඇත්තේ.

කෙසේ වෙතත් මීටර් 70 ක පමණ දුරක් පොලිස් නිලධාරියා ඇදගෙන ගිය මෙම සැකකටයුතු යතුරුපැදිය තවත් ත්‍රීරෝද රථයක ගැටී පෙරළී යනවා.

එහිදී කොටුව ප්‍රධාන වීදියේ සිටි පුද්ගලයින් පැමිණ අදාළ යතුරු පැදිකරු හට පලායාමට අවස්ථාව ලබා නොදී ඔහුව පොලිස් අත්අඩංගුවට ගැනීමට උපකාර කරන අයුරු දැක්වෙන සී.සී.ටී.වී. දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

මේ සිද්ධියෙන් රථ වාහන පොලිස් නිලධාරියාට බරපතළ තුවාල සිදු වී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පිටකොටුව පොලිසිය විසින් සිදු කරනවා.

******************************************

ලිට්‍රෝ ගෑස් සාම්පල නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බවට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ගෙන් ප්‍රකාශයක්

(17.12.2021 – 06:37 +0530 – hirunews.lk/sinhala)

මීට දින හතරකට (4) පෙර දිවයිනට පැමිණි ගෑස් නෞකාවේ අඩංගු ගෑස් සාම්පලවල ගැටලුවක් පවතින බව පාරිභෝගික කටයුතු අමාත්‍ය ලසන්ත අලගියවන්න ඊයේ (16) රාත්‍රියේ විකාශය වූ ‘හිරු ටී වී බලය’ වැඩසටහනට එක්වෙමින් පිළිගත්තා.

මෙම නව ගෑස් සංචිතය අඩංගු නෞකාවේ සාම්පල පිළිබද රසායනාගාර පරීක්ෂණ වාර්තාව ප්‍රමිති ආයතනය වෙත ලබා දුන් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළා.

එම අධිකාරිය සඳහන් කළේ, වාර්තාව සම්බන්ධයෙන් අවසන් තිරණයක් ගන්නා තෙක් එම නෞකාවේ ද ගෑස් තොග නිදහස් කිරීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි.

පසුගිය සෙනසුරා දා මෙරටට පැමිණි ප්‍රමිතියෙන් තොර ගෑස් අඩංගු නෞකාවේ ගෑස් ගොඩබෑමෙන් වලකින ලෙස පාරිභෝගික සේවා අධිකාරිය ලිට්රෝ සමාගමට නිල වශයෙන් දැනුම් දී තිබුණ ද අදාළ ගෑස් නෞකාව තවදුරටත් උස්වැටකෙයියාව මුහුදු තීරයේ නැංඟු‍රම් ලා තිබෙනවා.

+++++++++

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා මර්දන එන්නත් ගැනීම අනිවාර්ය කර නීති හෝ රෙගුලාසි පනවා නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

(16.12.2021 – 20:31 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දන එන්නත් ලබාගැනීම අනිවාර්ය කරමින් නීතියක් හෝ රෙගුලාසියක් පනවා නැතැ යි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

කොරෝනා එන්නත අනිවාර්ය කිරීමට ගෙන ඇති තීරණය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් බවට තීරණය කරන්න යැයි ඉල්ලමින් වෛද්‍යවරියක ඇතුළු තිදෙනකු විසින් ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අද (16) කැඳවූ අවස්ථාවේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ විවේකා සිරිවර්ධන මේ බව කියා සිටියා.

එස්.තුරෙයිරාජා, ශිරාන්න ගුණරත්න, අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි මෙම පෙත්සම කැඳවනු ලැබුවේ.

වෛද්‍ය ධරණී රාජසිංහම්, රංජිත් සේනානි සෙනෙවිරත්න, නිර්මලාල් හරින් ප්‍රනාන්දු යන පිරිස විසින් මේ පෙත්සම ගොනුකර තිබූ අතර, එහි වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමතිවරයා, රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු පිරිසක් නම්කර තිබුණා.

නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ, එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රකාශ කිරීමේ බලධාරියා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බවයි.

කොවිඩ් මර්දන එන්නත අනිවාර්යයෙන් ම ලබා ගත යුතු බවට තීරණය කර ඇති බව,පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කේ. කනග්ඊශ්වරන් කියා සිටියා.

කොවිඩ් එන්නත අනිවාර්යය කරන නීතියක් පාර්ලිමේන්තුව මගින් සම්මත කර නොමැති බව පෙන්වා දුන් හෙතෙම සදහන් කළේ, එම එන්නත අනිවාර්යයෙන්ම ලබා ගැනීමට බලපෑම් කිරීම නීතිවිරෝධී බව යි.

එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 14(1) සහ 14(1) යන විධිවිධාන මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවත් ඔහු සඳහන් කළා.

පෙත්සම පිලිබද වැඩි දුර කරුණු සලකා බැලීම ජනවාරි මස 11 වැනිදාට කල් තැබුණා ෴

++++++++++++++

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 240 ක්

(16.12.2021 – 22:23 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 240 ක් හඳුනාගෙන තිබෙනවා.

විදේශගතව සිට පැමිණි තුන්දෙනෙකු (3) ද සමගින් අද (16) දිනයේ මෙරටින් හඳුනා ගැනුණු සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 758 ක්.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,77,724 ක් දක්වා ඉහළ යනවා.

හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 16,528 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති ආසාදිතයන් ගණන 5,46,498 ක්. මෙරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 14,698 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *