වඳ සැත්කම් කළා යැ යි චෝදනා ලැබූ දොස්තර සාෆි ව හිඟ වැටුප් සහිත ව සේවයේ පිහිටුවයි

වඳ සැත්කම් කළා යැ යි චෝදනා ලැබූ දොස්තර සාෆි ව හිඟ වැටුප් සහිත ව සේවයේ පිහිටුවයි

*********************************************

වඳ සැත්කම් කළා යැ යි චෝදනා ලැබූ දොස්තර සාෆි ව හිඟ වැටුප් සහිත ව සේවයේ පිහිටුවයි

(16.12.2021 – 13:46 +0530 – hirunews.lk/sinhala)

ගැබිනි කාන්තාවන් දහසකට (1000) අධික සංඛ්‍යාවකට වද සැත්කම් කිරීමේ චෝදනාව යටතේ අනිවාර්‍ය නිවාඩු යවා තිබූ කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය එස්.එස්.එස්. සාෆි සහබ්දින් හට අනිවාර්‍ය නිවාඩු ගන්වා තිබූ කාලය තුළ ලැබිය යුතු ව තිබූ හිඟ වැටුප් ගෙවීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් දන්වා තිබෙනවා.

කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් දන්වා ඇත්තේ, ඔහු ආයතන සංග්‍රහයේ පටිපාටින් අනු ව නැවත සේවයේ පිහිටුවීමටත් කටයුතු කරන ලෙස යි.

පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට ලක් වූ මොහොමඩ් සාෆි සහබ්දින් වෛද්‍යවරයා මෙම චෝදනා හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයන්ට පවා ලක් වුණා.

කෙසේවෙතත් මේ සම්බන්ධ ව පැවති අවසන් නඩු වාරයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අධිකරණය හමුවේ දන්වා සිටියේ, වෛද්‍යවරයාට එරෙහි ව නැගෙන චෝදනා සනාත කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නො මැති බව යි.

චෝදනා ලත් වෛද්‍ය ෂාෆිට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැටුප් ගෙවා ඇති බවට අනාවරණය වේ

(16.12.2021 – 15:35 +0530 – hirunews.lk/sinhala)

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක් වූ කුරුණෑගල මහ රෝහලේදී මව්වරුන් දහසකට (1000) ආසන්න පිරිසක් වඳභාවයට ලක් කළැයි චෝදනා ලැබූ වෛද්‍ය සාෆි ශෙහාබ්දීන්ට හිඟ වැටුප් සහිතව වැටුප් ගෙවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කුරුණෑගල රෝහල් අධ්‍යක්‍ෂවරයා වෙත නියෝග කර ඇතැයි නීතිඥ චානක අබේවික්‍රම මහතා සඳහන් කළා.

ඊයේ (15 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීයි නීතිඥවරයා මේ බව ප්‍රකාශ කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ‘දේශප්‍රේමී ජාතික පෙරමුණේ’ මධ්‍ය මණ්ඩල සභික නීතිඥ චානක අබේවික්‍රම මහතා වැඩිදුරටත් කියා සිටියේ, ෂාෆි ෂෙහාබ්දීන් වෛද්‍යවරයා විසින් මවුවරුන් හාරදහසක් (4000) වඳභාවයට පත්කළ බවට චෝදනා එල්ල වී, මාධ්‍ය වාර්තා පළ වී තිබූ බවයි.

මෙම මාධ්‍ය වාර්තාවලින් පසුව කුරුණෑගල හා ඒ අවට මව්වරුන් දහස් ගණනින් වැළ නොකැඩී කුරුණෑගල රෝහල වෙත පැමිණිලි ඉදිරිපත් කළ බව ද ඔහු සඳහන් කළා.

මෙම සිද්ධියට සැකකරුවකු ලෙසයි ෂාෆි ෂෙහාබ්දින් වෛද්‍යවරයා අධිකරණය විසින් නම් කර තිබුණේ.

අදාළ වෛද්‍යවරයාට එරෙහිව එල්ල වූ පළමු චෝදනාව වන්නේ මුදල් විශුද්ධිකරණය චෝදනා වන අතර, ඊට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පරීක්‍ෂණ පවත්වා මොහු අයථා ලෙස මුදල් උපයා ඒ මුදල් පාස්කු ප්‍රහාරය වැනි අන්තවාදී ක්‍රියා සඳහා යොදවා ඇත්දැයි සොයා බැලූ බවයි නීතිඥවරයා කියා සිටියේ.

සාෆි අත්අඩංගුවට ගෙන මෙම කාරණා හෙළිදරව් වෙද්දී, ඇතිවුණු තත්ත්වය වන්නේ, මව්වරු හාරදහසක් (4000) වඳභාවයට පත්කළා යනුවෙන් ප්‍රසිද්ධ පුවත්පතක ප්‍රමුඛ පුවත ලෙස වාර්තා කර තිබීමයි.

එම ප්‍රදේශයේදී මොහුගේ සිසේරියන් සැත්කම්වලට භාජනය වූ මව්වරුන් වැල නොකැඩී කුරුණෑගල මහ රෝහලට පැමිණියේ, ඒ තමන්ගේ ඊළඟ දරුවා නොලැබෙන බවට පවසමින්.

පෙර දරුවා සිසේරියන් සැත්කමෙන් බිහි වූ බවත්, ඒ සැත්කම් සිදු කළේ සාෆි වෛද්‍යවරයා බවත් ඔවුන් ප්‍රකාශ කළා.

මෙවැනි බරපතළ අපරාධ සිද්ධියක් රජයේ සේවකයකු අතින් සිදු වුවහොත් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු වන්නේ, ඔහුගේ සේවය අත්හිටුවීමයි.

එහෙත්, මෙතෙක් ලැබී ඇති තොරතුරු අනුව සාෆිගේ සේවය අත්හිටවුවා නොමැති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව සනාථ කර ඇත්තේ.

මෙහිදී සිදු කර ඇත්තේ වෛද්‍ය සාෆි අනිවාර්ය නිවාඩු යැවීම පමණක් බව ද එහි සඳහන්.

සාමාන්‍ය රාජ්‍ය සේවකයකු අතින් වූ සුළු වරදක් සම්බන්ධයෙන් වුවත් මීට වඩා දැඩි පියවර ගනු ලබන මෙරට රාජ්‍ය සේවයේ නීතිය තුළ, සිංහල මවුවරුන් පමණක් ඉලක්ක කර ගනිමින් සිසේරියන් සැත්කම් කරපු වෛද්‍යවරයා පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කර තිබියදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඔහුට දී ඇති දඬුවම හුදු වරප්‍රසාදයක් ලෙස හුවා දක්වමින් නීතිඥවරයා පවසනුයේ, අදාළ පුද්ගලයාට ලබා දුන් උපරිම දඬුවම වනාහි අනිවාර්ය නිවාඩු යැවීම පමණක් බවයි.

මෙහි ප්‍රතිඵලය නම්, අදාළ පුද්ගලයාට හිමි සියලු වැටුප් ලබාදෙමින්, එය අදාළ පරිදි ගෙවීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් රෝහල් අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙනවා.

මේ සම්බන්ධ තොරතුරු රෝහල් අධ්‍යක්‍ෂවරයා සතුව ඇති අතර, මෙම ක්‍රියාව නීතිවිරෝධී බවයි වාර්තා වන්නේ.

අදාල පුද්ගලයා ජාතික අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙක් වන අතර, මේ තැනැත්තාගේ සේවය වහාම අත්හිටුවා වැටුප් ගෙවීම ද නතර කළ යුතු බවයි නීතිඥ අබේවික්‍රම මහතා සඳහන් කළේ.

ආයතන සංග්‍රහයේ 30 වැනි වගන්තියේ පැහැදිලිව සඳහන් කර ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නෙකුට කටයුතු කළ යුතු ආකාරය බව ද පවසන නීතිඥවරයා, අපරාධයක චෝදනා ලැබූවෙක් සහ වර්ග ඝාතකයෙක් ලෙස චෝදනා ලැබූ මොහු වෛද්‍ය සාෆි ශෙහාබ්දීන්ට ආයතන සංග්‍රහයේ ඇති පරිදි නිසි අයුරින් කටයුතු කරන ලෙස නීතිඥ චානක අබේවික්‍රම අධිකරණයෙන් ඉල්ලා සිටියා ෴

******************************************

නන්තල් ගස් සහ මල් අලෙවිකරුවන් අසීරුතාවක

(16.12.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන නත්තල් සමය සඳහා නත්තල් ගස්වලට සහ මල්වලට ඉහල ඉල්ලුමක් පැවතිය ද ඊට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මල් අලෙවිකරුවන් ප්‍රකාශ කළා.

ප්‍රවාහන ගාස්තු වැඩිවීම ඇතුළු රටේ පවතින තත්ත්වය හමුවේ සිය වෙළදාම අර්බුදයකට පත්ව ඇති බවයි ඔවුන් සඳහන් කළේ ෴

******************************************

බලධාරින්ගේ දෑස් විවර නොවුණු පෙරියකුලම මාවත

(16.12.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

වසර 30 කට ආසන්න කාලයක් කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදු නොවූ තිරප්පනේ – පෙරියකුලම ගම්මානයට ප්‍රවිශ්ට වන මාර්ගය සකසා දෙන්නැයි ඉල්ලා ගම්වැසියන් විරෝධතාවක නිතර වුණා.

ඔවුන් මැසිවිලි නගන්නේ මාර්ගය අබලන්වීමෙන් සිය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තුලානේ පෙරියකුලම ගම්මානයයි මේ.

මෙම ගම්මානයට ප්‍රවිශ්ට වන සිවලාකුලම සිට ගලෙන්බිඳුනුවැව දක්වා දිවෙන මාර්ගය මේ වනවිට දැඩි ලෙස අබලන්වී ඇත්තේ ජනජීවිතයට දැඩි බාධා එල්ල කරමින්.

එමෙන්ම මාවතවැව, පඩිකිටිවැව, පුලියන්කුලම, යන ගම්මානවල වැසියන්ට ද මෙම මාර්ගය අබලන් වීමෙන් සෘජු බලපෑම් එල්ල වී තිබෙනවා.

ගම්වැසියන් චෝදනා කරන්නේ වසර 30 කට ආසන්න කාලයක් කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොවීමෙන් මේ වනවිට මාර්ගයේ ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.

මේ හේතුවෙන් සිය බෝග අස්වැන්න හා තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට ආසන්න නගරය වෙත පවා යාමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.

මේ හේතුවෙන් සිය මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි ඉල්ලා ගම්වැසියන් විරෝධතාවක ද නිරත වුණා.

******************************************

අභාවයට යන පහළ හපුවිද ලාක්ෂා කර්මාන්තය

(16.12.2021 – 14:21 +0530 – hirunews.lk/sinhala)

විස්මිත නිර්මාණ බිහි කිරීමට උපන් හපන් පුද්ගලයින් රැසක් සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම ප්‍රචලිතයි.

එහෙත් බලධාරීන්ගේ නිසි අවධානය හිමි නොවීමෙන් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති මාතලේ රත්තොට පහළ හපුවිද ගම්මානයේ ජනතාව මුහුණ දෙන ගැටලුව පිළිබඳවයි මේ විමසා බැලීම.

මේ මාතලේ – රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ‘පහළ හපුවිද’ ගම්මානයයි.

මෙහි බහුතරයකගේ ජීවනෝපාය බවට අත්යන්ත්‍ර කර්මාන්තය පත්ව තිබෙනවා.

නිර්මාණකරණයේ උපන් හපන්කම් ඇති කලාකරුවන් වෙසෙන මෙම ගම්මානයෙන් ලාක්ෂා කර්මාන්තය, පිත්තල කර්මාන්තයේ මෙන්ම කැටයම් වර්ග යනාදි නිර්මාණවලට පණ පොවා ඇති අයුරුයි මේ.

කෙසේවෙතත්, සිය නිර්මාණ සඳහා නිසි වටිනාකමක් නොමැතිවීම ඇතුලු කරුණු හේතුවෙන් පවුල් 300 ක් – 400 ක් පමණ නිරත වූ මෙම කර්මාන්තයේ මේ වනවිට නියැලී සිටින්නේ පවුල් 30-40 ක් වැනි අඩු ප්‍රමාණයක්.

තම කර්මාන්තය සඳහා අවශ්‍ය තඹ, ඇලුමිනියම්, පිත්තල මෙන්ම ඇසිඩ් වැනි අමුද්‍රව්‍ය තමන්ට ප්‍රමාණවත් ලෙස නොලැබීම ද මෙම කර්මාන්තයේ බිඳ වැටීමට තවත් ප්‍රධාන හේතුවක් බවට ඔවුන් මැසිවිල් නඟනවා.

හස්ත කර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් රාජ්‍ය මට්ටමින් යම් යම් තීරණ ගත්ත ද එම තීරණ ක්‍රියාත්මක නොවන බවයි ඔවුන් පවසන්නේ.

වෙළෙඳ ප්‍රදර්ශන සඳහා පමණක් තම නිර්මාණ ලබා ගත්ත ද තම කර්මාන්තය නගාසිටුවීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැති බව මෙම කර්මාන්තකරුවන්ගේ චෝදනාවයි.

දේශීය අනන්‍යතාවය තහවුරු කෙරෙන හස්ත කර්මාන්තය මෙරටින් තුරන්වීමට ඉඩ නොදී රැක ගැනීමට කටයුතු කිරීම මෙරට බලධාරීන් සතු වගකීමක් නොවන්නේද?

******************************************

වැඩබලන මුදල් ඇමති ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් පත් කෙරේ

(16.12.2021 – 14:29 +0530 – hirunews.lk/sinhala)

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් පත් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල ප්‍රකාශ කළා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දැනට විදෙස්ගතව සංචාරයක නිරතවී සිටින බැවිනුයි මහාචාර්ය ජී.එල්. පීරිස් වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස පත් කර ඇත්තේ ෴

******************************************

ගිනිකොණ දිග ගැඹුරු මුහුදේ ධීවර හා නාවික කටයුතුවලින් වළකින්නැයි දැනුම්දීමක්

(16.12.2021 – 14:58 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට ගිනිකොණ දෙසින් ගැඹුරු මුහුදු ප්‍රදේශවල පවතින තද සුළං තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ වන විට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින ධීවර හා නාවික ප්‍රජාව ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසයි, එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවති පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති අතර, මේ වන විට එය දිවයිනට ගිනිකොණ දිශාවෙන් ස්ථානගතව පවතිනවා.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 සහ 70 දක්වා වැඩි විය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්වයක්

(16.12.2021 – 16:44 +0530 – hirunews.lk/sinhala)

හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වර කියවීම අතරතුර උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

සමගි ජන බලවේගයේ බලය හිමි සභාවේ සභාපතිවරයා විසින් අයවැය යෝජනාව ඉදිරිපත් කළ අතර ඔවුන්ට බහුතර බලයක් නොමැති බැවින් විපක්ෂය විසින් ඡන්ද විමසීමක් ඉල්ලා තිබෙනවා.

එහිදී සභාපතිවරයා විසින් ඡන්ද විමසීඹක් ලබා නොදුන් බැවින් සභාව තුළ ගුටිබැට හුවමාරුවක් සිදුවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරුව ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය ද නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් සාධාරණයක් ඉල්ලා පොලිසියේ පැමිණිලි ගොනුකර තිබෙනවා.

******************************************

මාවනැල්ල බුදුපිළිම නඩුවේ විත්තිකරුවන් 16 දෙනාට අධි චෝදනා කියවයි

(16.12.2021 – 17:00 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි කිරිමේ සිද්ධියට අදාළ නඩුව කෑගල්ල මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද (16) කැඳවනු ලැබුවා.

එහි දී සියලු විත්තිකරුවන් 16 දෙනාට අධිචෝදනා කියවා දෙනු ලැබූ අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ද ලබාදුන් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

විත්තිකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදු කරන ලද අතර, අධි චෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ද ඉදිරිපත් වී තිබෙනවා.

ඒ අනුව, කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ජගත්. ඒ. කහඳගමගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊට අදාළ නියෝගය ඉදිරි දිනක දී ප්‍රකාශයට පත් කිරීමට නියෝග කළා.

නඩුව වැඩිදුර විභාගය ලබන වසරේ පෙබරවාරි මස 23 වැනි දිනට කල් තැබුවා ෴

******************************************

තොරතුරු සෙවීමේ යානය සූර්යයාට ළඟාවෙයි

(16.12.2021 – 18:13 +0530 – hirunews.lk/sinhala)

අභ්‍යාවකාශ ගමන්වල ඉතිහාසගත වන නව පිටුවක් පෙරලීමට නාසා ආයතනය සමත්ව තිබෙනවා.

ඒ සූර්යයාගේ පිටත වායුගෝලය තරණය කිරීමට නාසා ආයතනය යැවූ රොබෝ යානයක් සමත් වීමත් සමගයි.

මෙය සිදුව ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ 28 වනදා වන අතර එහි දත්ත නාසා ආයතනයට ලැබී ඇත්තේ මෑතකදීයි.

ඒ අනුවයි මෙම ඉතිහාසගත වන සිදුවීම ඔවුන් හෙළිකර ඇත්තේ.

මෙම යානය මගින් සූර්යයාගේ නව සොයා ගැනීම් රැසක් රැගෙන එනු ඇති බවට නාසා ආයතනය විශ්වාසය පළකරනවා.

සූර්යයාගේ පිටත වායුගෝලයේ දැඩි තාපයට සහ විකිරණවලට ඔරොත්තු දෙමින් සූර්යයා ක්‍රියා කරන ආකාරය පිළිබඳ මෙම යානය අවබෝධයක් ලබාගෙන ඇතැයි ද නාසා ආයතනය ප්‍රකාශ කළා.

Parker Solar Probe නම් මෙම යානය හිරු ගවේෂණයට යොමු කළ පළමු යානය ලෙසටයි ඉතිහාසගත වන්නේ.

නාසා ආයතනය විසින් මෙම යානය සූර්යයා වෙත යොමුකරවනු ලැබුවේ 2018 වසරේදී වන අතර එය පැයට කිලෝමීටර් 50,000 ක එනම් පැයට සැතපුම් 3,20,000 ක පමණ වේගයෙන් ගමන් කර සූර්යයා වෙත ළගාවී තිබෙනවා.

ඉතා ඝණ තාප පලිහක් යොදවා ඇති යානය වේගයෙන් සූර්යයා වෙත සමීප වී ඉතා ඉක්මනින් දත්ත ලබාගෙන ඉන් පිටව යාම සිදුකරන බව සඳහන්.

සූර්යයාගේ අභිරහස් මෙන්ම එම ප්‍රදේශයේ සුළං තත්වයේ අභිරහස් විසඳා ගැනීමේ විද්‍යාත්මක මෙහෙයුමක් ලෙසට නාසා ආයතනය මෙය හඳුන්වා දෙනවා.

එමෙන්ම එය ඍජුව අධ්‍යයනය කිරීම සඳහා සූර්යාගේ සිට සැතපුම් මිලියන 4 ක පමණ දුරින් කක්ෂගත වන අද්විතීය සූර්ය නිරීක්ෂණාගාරයක් ලෙසටයි නාසා ආයතනය මෙම යානය නම්කර ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *