එන්නත් දෙකම (2) ලබාගෙන කොරෝනා වැළඳුනු අයට බූස්ටර් මාත්‍රාව මාස 6 කින්

එන්නත් දෙකම (2) ලබාගෙන කොරෝනා වැළඳුනු අයට බූස්ටර් මාත්‍රාව මාස 6 කින්

*********************************************

එන්නත් දෙකම (2) ලබාගෙන කොරෝනා වැළඳුනු අයට බූස්ටර් මාත්‍රාව මාස 6 කින්

(15.12.2021 – 15:59 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම (2) ලබා ගත් පසු කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට ඉන් මාස 6 කට පසු බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට නිර්දේශ කරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයින් 335 දෙනෙකු අද (15) සුවය ලැබීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 5,46,103 දක්වා ඉහළ ගියා.

මේ අතර මෙරට කොරෝනා තත්වය පාලනය සඳහා දැනට පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරි දින 15 දක්වා දීර්ඝ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, උත්සව සමය තුල සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර, කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ බූස්ටර් හෙවත් වර්ධක මාත්‍රාව ලබා ගැනීමෙන් පසු රෝගී තත්ත්වයට පත්වී 44 හැවිරිදි කාන්තාවක මියගිය පුවතක් පොළොන්නරුව – ගිරිතලේ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පොලීසිය සඳහන් කළේ මරණයට නිෂ්චිත හේතුව සොයා ගැනීම සඳහා මියගිය කාන්තාවගේ සිරුර මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණයට යොමුකර ඇති බවයි.

එමෙන්ම, පේරාදෙණිය ප්‍රදේශයේ 65 හැවිරිදි පුද්ගලයෙකු බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමෙන් පසු රෝගී වී මියගොස් තිබෙනවා.

මෙම සිද්ධින් සම්බන්ධයෙන් කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් සිදුකළ හැකි බවයි ෴

+++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 335 ක් සුවය ලබයි

(15.12.2021 – 15:52 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 335 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,46,103 ක් ලෙසටයි. ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 5,76,194 ක් හමුවී ඇති අතර ඉන් 15,430 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. මෙරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 14,661 ක් ෴

+++++++++++++++

තවත් කොරෝනා මරණ 16 ක්

(15.12.2021 – 17:47 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 16 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 14,677 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (14) තහවුරු කරන ලද මෙම මරණ අතර අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තාවී නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර එක් (1) පිරිමියෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු (2) වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 13 ක් වාර්තාවී තිබෙනවා. ඒ පිරිමි 10 ක් සහ කාන්තාවන් 3 ක් වශයෙන්.

මේ අතර මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 5,76,194 ක් හමුවී තිබෙනවා.

ඉන් රෝහල්ගතව හෝ වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 15,430 ක්.

5,46,103 ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා ෴

+++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 588 ක් හඳුනාගැනේ

(15.12.2021 – 18:33 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 588 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,76,782 ක් ලෙසටයි. ඉන් ආසාදිතයන් 16,002 ක් රෝහල්ගතව හෝ වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,46,103 ක්. මෙරටින් කොරෝනා මරණ 14,677 ක් ද වාර්තාවී තිබෙනවා. ඒ අද (15) වාර්තා කළ මරණ 16 ත් සමගින් ෴

+++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 184 ක්

(15.12.2021 – 21:04 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 184 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (15) දිනයේ මෙරටින් මේ වන විට හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 772 ක්. මෙරටින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 5,76,966 ක් හඳූනාගෙන ඇති අතර රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 16,002 ක්. 5,46,103 ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. මෙරට කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 14,677 ක් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

කොටදෙණියාවේ දරුවන් දෙදෙනා (2) අතුරුදන් වී දින 22 ක් – තවමත් තොරතුරක් නැහැ

(15.12.2021 – 20:30 +0530 – hirunews.lk/sinhala)

දින 22 ක් තිස්සේ අතුරුදන් වී සිටින කොටදෙණියාව ප්‍රදේශයේ පිරිමි ළමුන් දෙදෙනා (2) සම්බන්ධයෙන් තවමත් කිසිඳු තොරතුරක් වාර්තා වී නැහැ.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට හිරු ප්‍රවෘත්ති කණ්ඩායමක් අද (15) එම ප්‍රදේශයට ගියා.

කොටදෙණියාව – වත්තේමුල්ල – බාදුරාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 10 සහ 12 වයස්වල පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකු (2) දින 22 ක සිට අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අප පසුගියදා තොරතුරු වාර්තා කළා.

කෙසේ වෙතත් එම දරුවන් දෙදෙනා (2) සම්බන්ධයෙන් තවමත් තොරතුරක් වාර්ථා වී නැහැ.

එවන් පසුබිමක හිරු ප්‍රවෘත්ති කණ්ඩායමක් දරුවන් පදිංචිව සිටි බාදුරාගොඩ ප්‍රදේශයට ළඟා වුණේ මේ පිළිබඳව තවදුරටත් තොරතුරු සොයා බැලීමටයි.

අතුරුදන්වූ දරුවන් අතරින් 12 හැවිරිදි අකිල දේදුණුගේ පවුලේ සහෝදරයින් 9 දෙනෙකු සිටිනවා.

කවීෂ සඳකැලුම් නම් අනෙක් දරුවා අකිලගේ ඥාති සොහොයුරෙක්.

අප කළ විමසීමකදී කොටදෙණියාව පොලිසියේ ප්‍රකාශකයකු සඳහන් කළේ, පරීක්ෂණ කණ්ඩායම් දෙකක් (2) යොදවා මේ වන විට දරුවන් සොයා විශේෂ විමර්ශන සිදුකරමින් සිටින බවයි.

මෙම අතරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දරුවෙකුගේ මව ඇතුළු 50 දෙනෙකුට වැඩි පිරිසකගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

******************************************

විපක්ෂ නායක සජිත්ගෙන් ඉල්ලීමක්

(15.12.2021 – 22:57 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ නව සැසිවාරයේදීත් කාරක සභා සඳහා පෙර සිටි සාමාජිකයින්ම පත්කර පවත්වාගෙන යන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලීමක් කරනවා. ඔහු මේ අදහස් පළ කළේ හම්බන්තොට අරවනමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින්.

******************************************

රාජ්‍යය නොවන සංවිධාන නියාමන ලේකම් කාර්යාලයේ නීතිඥ රාජා ගුණරත්න ඉවත් කිරීමට රාජ්‍යය තාන්ත්‍රික බලපෑම්

(15.12.2021 – 13:22 +0530 – lankaleadnews.com)

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍යය නොවන සංවිධාන නියාමනය සඳහා මුලික වී ක්‍රියා කරණ රාජ්‍යය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යයක්ෂක ජනරාල් නීතිඥ රාජා ගුණරත්න මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා රාජ්‍යය තාන්ත්‍රික මට්ටමෙන් බලපෑම් එල්ලවන බව වාර්තා වේ.

රාජා ගුණරත්න මහතාගේ සේවය ඉහළම රාජ්‍යය බලධාරින් විසින් පත්‍රිකාවක් මගින් දීර්ඝ කිරීමට සූදානම් වන අවස්ථාවේදී මෙලෙස දිගින් දිගටම බලපෑම් එල්ලවන බවද වාර්තා වේ.

රාජා ගුණරත්න මහතාගේ ධූර කාලය 2021 නොවැම්බර් 07 වෙනිදායින් අවසන් වීමට නියමිතව තිබුණු අතර ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා ලබාදුන් ආවරණ ලිපියකට අනුව ඔහුගේ සේවය දිගටම ලබා ගෙන තිබූ බවද වාර්තා වේ.

කෙසේ වුවද ආරක්ෂක ලේකම් කාර්යාලය යටතේ තිබුණු රාජ්‍යය නොවන සංවිධාන නියාමනය කිරීමේ රාජ්‍යය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විදේශ අමාත්‍යාංශය යටතට මාරුවීමත් සමඟ නීතිඥ රාජා ගුණරත්න මහතාගේ සේවය දීර්ඝ කිරීමට ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාව හකුලා ගැනීමටද සිදු වී ඇති බවද රජයේ ආරංචි මාර්ග පවසයි.

මෙම බලපෑම් පිටුපස ප්‍රධාන පෙලේ විදේශ රටක්ද වන බව වාර්තා වේ.

නීතිඥ රාජා ගුණරත්න මහතා විසින් මෙරට ලියාපදිංචි වී ඇති දෙස් විදෙස් රාජ්‍යය නොවන සංවිධාන තිස් දහසම (30,000) නියාමනය කිරීම සඳහා දැනට පවතින පනත කිසිසේත් සුදුසු නොවන බව පෙන්වා දී එම පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට අවශ්‍යය පනත් කෙටුම්පත සකස් කිරීමටද කටයුතු කර තිබුණි.

මෙහිදී රාජා ගුණරත්න මහතා පෙන්වා දී ඇත්තේ විදේශ රාජ්‍යය නොවන සංවිධාන පාලනය කිරීමේ බලයක් මෙරට අධිකරණයට බලයක් නොමැති බවයි. ඔහුගේ මතයට මෙරට ක්‍රියාත්මක රාජ්‍යය නොවන සංවිධාන 33 ක් විරෝධය පළ කර තිබූ බවද වාර්තා වේ.

රාජ්‍යය නොවන සංවිධාන පනත 2004 සිට වෙනස් කිරීමට උත්සහා ගත්තද විවිධ හේතු නිසා එය වැලැක්වී තිබුණි. මේ අතර පාස්කු ප්‍රහාරයෙන් පසු විමර්ශන කටයුතු වල යුදුනු බුද්ධි අංශ වාර්තා කර තිබුණේ හඳුනා ගත් සංවිධාන විසි ගණනක් ඇතුළුව බොහෝ රාජ්‍යය නොවන සංවිධාන කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි. ඒ අනුව රාජ ගුණරත්න මහතා රාජ්‍ය නොවන සංවිධාන පනත් සංශෝධනයට අවශ්‍යය පියවර ගැනීමේදී බුද්ධි අංශ වාර්තාද අවධානයට ගෙන තිබුණි ෴

******************************************

‘ජයත් නැති සුන්දරත් නැති පුංචි බණ්ඩා’ මොකට තියාගෙන ඉන්නවාද මන්ද?- අමාත්‍යය විමල් වීරවංශ

(15.12.2021 – 04:33 +0530 – lankaleadnews.com)

යුගදනවි ගනුදෙනුව, ආණ්ඩුවේ විනිවිදභාවය හා ජීවන වියදම මැයෙන් ඊයේ (14) ඇහැලියගොඩ දී සංවිධාන කෙරුණු මහජන මන්ත්‍රණ සභාවේ දෙවන (2) සැසිවාරය අමතමින් ‘නිව් ෆෝට්‍රස් සමාගම’ට ශ්‍රී ලංකා රජයෙන් අගතියක් සිදුවුවහොත් ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමේ අයිතිය යුගදනවි ගිවිසුම හරහා පිළිගෙන ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා :

“මේ විවෘත ආර්ථික ගමනේ උත්පාත අවදිය පහුකරලා, දැන් ඇවිල්ලා තියෙන්නේ අවපාත අවදියට. දැන් ජනවාරි 18 වෙනිදාට ණය වාරිකවල පළමු කොටස ලෙස ඩොලර් මිලියන 500 ක් ගෙවන්න ඕන. මාසයකට අවශ්‍යය තෙල්වල වියදම ඩොලර් මිලියන 300 කට වඩා වැඩියි. විදේශ සංචිත අගය ඩොලර් බිලියන එකයි දශම ගණනක් තියෙන්නෙ. ඇත්ත ඩොලර් ගනන ඩොලර් මිලියන 700 යි. ඒ ඩොලර් මිලිය්න 700 න් ඩොලර් මිලියන 300 ක් දුන්නොත් තෙල් ගේන්න ඒ ප්‍රමාණය ඩොලර් මිලියන 400 ට බහිනවා.

අපේ පුංචි බණ්ඩා – ‘ජයත් නැති සුන්දරත් නැති’ පුංචි බණ්ඩත් දන්නේ ඒ සාස්තරේ. පුංචි බණ්ඩා ගෙන් නම් මේ රටට ජයවෙලත් නෑ; කිසිම සුන්දරත්වයක් වෙලත් නෑ. පුංචි බණ්ඩා දැක්කත් මෙලෝ වගතුවක් නෑ. මොකට තියාගෙන ඉන්නවා ද කියලා මට නම් තේරෙන්නෙත් නෑ. මොකද? අවුරුදු 20 කට වඩා ඔය පුංචි බණ්ඩා මේ රටේ ආර්ථිකය ඔය කියන ක්‍රමයට අරගෙන ගියා. අටවනවා මොකක් හරි ෂේප්මන්ට් එකක් දානවා, ණයක් ගන්නවා, දෙනවා, උන්නැහේ දන්නවා අර ස්ටාට් වෙන්නේ නැත්නම් වාහනය කම්බි දෙක හරි පූට්ටු කරලා ස්ටාට් කර ගන්න. හැබැයි තෙල් නෑ කියලා එයා දන්නේ නෑ. එහෙම බලනවා නම් මේ අද මුහුණදෙන අර්බුදය මීට අවුරුදු ගාණකට කලින් මේ රටේ නායකයන්ට කියන්න ඕනේ.

යම්කිසි විදියකින් ‘නිව් ෆෝට්‍රස් සමාගම’ට අගතියක් වුණොත් ශ්‍රී ලංකා රජයෙන් ඒ සමාගමට අයිතිය ලබාදීලා තියෙනවා අමෙරිකාව, එංගලන්තය, යුරෝපා සංගමය, වගේ රටවල් හරහා ලංකාවට සම්බාධක පනවන්න. ඒ ගිවිසුමේ එහෙමම තියෙනවා. ඒවා අපි අපේ නිරීක්ෂණවලින් පෙන්වලා තියෙනවා මේක බරපතළ කාරණයක් කියලා. දැන් ඒ පරස්පරතා ගැන සාකච්ඡාව ඇමති මණ්ඩලය තුළත් සිද්ධ වෙනවා. මේකත් මේ රටේ අමාරු වෙලාවක්. ඒ අමාරු වෙලාවේ දී අපිට යන්න වෙන රටක් නෑනේ. අපි මොකෝ අවුල් නම් වෙන කොහේ හරි යන්න ද ? අපිට තියෙන්නේ මේ රට. ඒ නිසා අපට මේ තියුණු අර්බුදය හමුවේ මේ රට හරි මාවතට රැගෙන ඒම සඳහා කර ගහන්න ඕනෑවටත් වඩා පුළුවන්කම තියෙනවා. ඒ යුතුකම වගකීම අපි ඉටුකරනවා කියන සහතිකය තමුන්නාසේලාට දෙනවා.”

+++++++

******************************************

ගෑස් පිපිරිම් ගේම් ඒකක් ; නව සමාගමක් ලඟදීම ? (10.12.2021)

******************************************

කකුල අහිමි මනිශව හැර නොගිය රුසියානු ආදරය (12.12.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *