සියල්ලන් හැඬවූ ප්‍රියන්ත කුමාර මහතාගේ අවසන් ගමන

සියල්ලන් හැඬවූ ප්‍රියන්ත කුමාර මහතාගේ අවසන් ගමන

*********************************************

සියල්ලන් හැඬවූ ප්‍රියන්ත කුමාර මහතාගේ අවසන් ගමන

(08.12.2021 – 17:42 +0530 – sinhala.adaderana.lk)

පාකිස්තානයේ සියල්කොට්හි ක්‍රීඩා ඇඟලුම් කම්හලක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර මහතාට එම කම්හලේ දැඩි ආගමික මතධාරී සේවකයින් පිරිසක් පහරදී ඝාතනය කර සිරුර ද පුළුස්සා දැමුවේ පසුගිය සිකුරාදාය.

පෙරේදා (06) දිවයිනට රැගෙන පැමිණි ප්‍රියන්ත මහතාගේ දේහයේ අවශේෂ ගනේමුල්ල කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ ඔහුගේ නිවසේ තැන්පත් කෙරුණි.

කථානායකවරයා, මැතිඇමතිවරුන් හා පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් අද (08) උදෑසන ප්‍රියන්ත මහතාට අවසන් ගෞරව දැක්වීමට පැමිණ තිබුණි.

පවුලේ ඥාතීන් හා ප්‍රදේශවාසීන්ගේද සහභාගිත්වයෙන් අවමංගල්‍ය චාරිත්‍ර හා මතක වස්ත්‍ර පූජාව අද (08) පස්වරුවේ සිදුකෙරුණි.

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ශෝක පණිවුඩ ද එහිදී ඉදිරිපත් කෙරුණි.

පසුව අවමංගල්‍ය පෙරහැර ගනේමුල්ල පොල්හේන සුසාන භූමිය දක්වා පැමිණි අතර භූමදාන කටයුතු එහිදී සිදුවිය.

******************************************

දෙමව්පියන් යටතට ගත් පාසල් භූමියේ ගොඩනැගිල්ල

(08.12.2021 – 19:33 +0530 – sinhala.adaderana.lk)

ගාල්ල මහමෝදර සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය තුළ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය සඳහා වෙන්කර තිබූ ගොඩනැගිල්ල ඉබි යතුරු කඩාදමා මව්පියන් විසින් ළමුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා සූදානම් කර තිබුණි.

මව්පියන් පවසන්නේ මාස ගණනාවක සිට එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට දැනුම් දී තිබූ බවය.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ නියෝජියන් ඉන් ඉවත් නොවීම හේතුවෙන් දෙමව්පියන් එක්වී මෙම පියවර ගෙන තිබුණි.

******************************************

මුදල් වංචාකළ විදේශ රැකියා ඒජන්සි හිමිකරු අත්අඩංගුවට‍

(08.12.2021 – 16:56 +0530 – sinhala.adaderana.lk)

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කළ කම්කරු බලපත්‍රය අවභාවිතා කරමින් මුදල් වංචා කළ විදේශ රැකිය නියෝජිත ආයතන හිමිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයාව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර විදේශ ගමන් තහනමක්ද පනවා ඇත.

එම නියෝජිත ආයතන හිමියා තම කම්කරු බලපත්‍රය ඇටෝනි බලපත්‍රයක් මගින් වෙනත් බාහිර පුද්ගලයෙකුට පවරා තිබේ.

වෙනත් බාහිර පුද්ගලයෙකු යොදවා විදේශ රැකියා ලබාදෙන බව පවසමින් තරුණ තරුණියන්ගෙන් රුපියල් හැට ලක්ෂයකට (60,00,000) අධික මුදලක් අදාළ සැකකරු විසින් ලබාගෙන තිබේ.

මුදල් ගෙවූ පුද්ගලයින් විදේශගත නොකිරීම හේතුවෙන් මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කර ඇති අතර, මේ වන විට පැමිණිලි 41 ක් අදාළ සැකකරුට එරෙහිව ලැබී ඇත.

පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට යොමුකර තිබේ ෴

******************************************

හෝටල්, අවන්හල් සහ වාසස්ථානවලට සහන දෙන්න කැබිනට් පත්‍රිකා දෙකක් (2)

(08.12.2021 – 13:40 +0530 – sinhala.adaderana.lk)

සංචාරක හෝටල්, අවන්හල් සහ වාසස්ථානවලින් පළාත් පාලන ආයතන විසින් අයකරනු ලබන බදු මුදල් සංශෝධනය කිරීමට සහ විදුලි බිල්පත් සහනය තවදුරටත් ලබාදීම සදහා විශේෂ කැබිනට් පත්‍රිකා දෙකක් (2) ඉදිරිපත් කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ පළාත් පාලන ආයතන බදු මුදල් සංශෝධන කැබිනට් පත්‍රිකාව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමතිවරයා සමග ඒකාබද්ධව ඉදිරිපත් කරන බවය.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටලයක්, ආපනශාලාවක් හෝ නවාතැන්පොළකින් පූර්ව වර්ශයේ සම්පූර්ණ පිරිවැටුමෙන් 1% ක උපරිමයකට යටත්ව බලපත්‍ර ගාස්තුවක් අයකිරිමට පළාත් පාලන ආයතනවලට බලය පැවරී තිබේ.

මේ නිසා වාර්ෂිකව සිය ආදායමෙන් සැලකිය යුතු මුදලක් පළාත් පාලන ආයතනවලට ගෙවීමට එම ආයතනවලට සිදුවී ඇත.

මීට අමතරව අදාළ ආයතන මගින් අනෙකුත් බදු හා කසළ එකතු කිරීමේ බදු මුදල් ද පළාත් පාලන ආයතනවලට ගෙවනු ලබන අතර මේ තත්ත්වය ද සැලකිල්ලට ගනිමින් එම බදු මුදල සංශෝධනය කිරිමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේය.

මීට අමතරව ලංකා විදුලිබල මණ්ඩලය මගින් සංචාරක හෝටල්, ආපනශාලා, වාසස්ථාන වෙත ලබා දි ඇති විදුලිබිල්පත් සහනය තවදුරටත් දීර්ඝ කිරිම සම්බන්ධයෙන් ද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව 2020 මාර්තු 01 වෙනිදා සිට 2021 පෙබරවාරි 28 දින දක්වා ලබා දී තිබු විදුලි බිල් සහනය මේ වසර අවසන් වනතුරු දීර්ඝ කිරීමටත්, වැඩි ඉල්ලුමක් පවතින අවස්ථාවල දී හෝටල් කර්මාන්තයේ විදුලි ඒකකයක මිල අනෙකුත් කර්මාන්ත හා සමාන වන පරිදි සැකසීමටත් යෝජනා කර තිබේ.

ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල්, ආපනශාලා හා වාසස්ථාන සදහා 2020 මාර්තු මාසයේ සිට 2021 දෙසැම්බර් මස 31 වන දින දක්වා දැනට ගෙවීම් කර නොමැති සියලු හිඟ සමුච්චිත විදුලි බිල්පත් ලබන වසරේ 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සමාන වාරික 36 කින් ගෙවිමේ සහනය ලබාදිමට යෝජනා කරන අතර එම කාලය අවසන් වනතුරු විදුලිය විසන්ධි නොකරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා සදහන් කරයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ අදාළ කැබිනට් පත්‍රිකා දෙක ඉතා ඉක්මණින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බවය.

මේ වසරේ ජනවාරි මාසයේ සිට දෙසැම්බර් 05 වෙනිදා දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 115,190 ක් වන අතර දෙසැම්බර් 01 වෙනිදා සිට 05 වෙනිදා දක්වා මුල් දින 05 තුළ පමණක් සංචාරකයන් 10,201 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, කසකස්ථානය, ඇමෙරිකාව, ප්‍රංශය, මාලදිවයින හා ස්පාඤ්ඤය වැනි රටවලින් මෙම සංචාරකයන් පැමිණ ඇති බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටී ෴

******************************************

ඔන්ලයින් ආදායම් බලපත්‍ර තවමත් වැඩ නැහැ

(09.12.2021 – 07:26 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා රථ වාහන ආදායම් බලපත්‍ර ඔන්ලයින් හරහා ලබා ගැනීමේ ක්‍රමවේදය නැවතත් සම්පූර්ණයෙන් ම බිඳ වැටී තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලවලින් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ, එම පද්ධතිය වෙත පිවිසෙන පරිශීලකයින් සංඛ්‍යාව ඉහළ යාම නිසා මෙම තත්ත්වය මතු ව ඇති බවයි.

කෙසේ වෙතත්, තාක්ෂණික අංශ එය යථා තත්වයට පත් කිරීමේ කටයුතුවල අඛණ්ඩව නිරත වන බව එම කාර්යාල සඳහන් කළා. මෙම තත්ත්වය ඇති වී සති දෙකකට (2) වැඩි කාලයක් ගතව තිබුණත් මෙතෙක් එය සකස් කිරීමට හැකියාව ලැබී නැහැ.

මීට පෙර දිනකට වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට 30,000 ක් පමණ පද්ධතියට පිවිසෙන අතර මේ වනවිට එම සංඛ්‍යාව 60,000 දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔහු කියා සිටියා ෴

******************************************

කිරිපිටි ආනයනය යළි අර්බුදයක

(09.12.2021 – 07:32 +0530 – hirunews.lk/sinhala)

ඩොලර් අර්බුදය හමුවේ කිරිපිටි ආනයනය කිරීම යළිත් ගැටලු සහගත තත්ත්වයකට පත් ව තිබෙනවා.

කිරිපිටි ආනයනකරුවන් සඳහන් කළේ, ඩොලර් හිඟය හේතුවෙන් පසුගිය ජනවාරි මාසයේ කිරිපිටි ආනයනය කිරීමට අදාළ මුදල් මෙතෙක් විදේශීය සමාගම්වලට ගෙවීමට නො හැකි වී ඇති බවයි.

ඒ අනුව කිරිපිටි ආනයනයට අවශ්‍ය ඩොලර් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ද ඉල්ලීමක් කර ඇති බව ඔවුන් සඳහන් කළා.

මේ අතර, ඩොලර් අර්බුදය හමුවේ ආනයනික කිරිපිටි සමාගම් පසුගිය ඔක්තෝම්බර් 09 වැනි දා සිට කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල සටහන් වූයේ රුපියල් 1,195 ක් ලෙසයි.

ග්‍රෑම් හාරසියයේ (400) කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100 කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල රුපියල් 480 ක් ලෙස සටහන් වුණා ෴

******************************************

ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය ඇතුළු ආයතන 03 ක් මානව හිමිකම් කොමිසමට

(09.12.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala)

ගෑස් ප්‍රශ්නය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවල නොසැලකිල්ල පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු කළ පැමිණිලිවලට අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අද (09) කැඳවා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට පෙරවරු 11 ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි දැනුම් දී ඇත්තේ.

සෙසු වෙළඳ භාණ්ඩ මෙන්ම ගෑස් සිලින්ඩරවල ද ඇසුරුම් කළ දිනය සහ අන්තර්ගතය සටහන් කරන ලෙස ඉල්ලා ගොනුකළ පැමිණිලි දෙකක් (2) මෙහි දී කැඳවීමට නියමිතයි.

මේ අතර ගෑස් අනතුරු පිලිබඳ පුවත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තවදුරටත් වාර්තා වනවා.

මෙවන් පසුබිමක පසුගිය 04 වැනි දාට පෙර බෙදා හරින ලද මුද්‍රා ඉවත් නො කළ සියලු‍ ගෑස් සිලින්ඩර් යළි ලබා ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගෑස් සමාගම්වලට කළ නියෝගයත් සමග පාරිභෝගිකයන් ගෑස් සිලින්ඩර රැගෙන අලෙවි මාධ්‍යස්ථාන වෙත පැමිණ තිබුණා.

ඒ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි ගෑස් අලෙවිකරුවන් සඳහන් කළේ ෴

******************************************

හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද (09) සිට වැඩ අරඹයි

(09.12.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

‘හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ’ කටයුතු අද (09) සිට ආරම්භ වනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අතර ඊයේ (08) පැවති සාකච්ඡාවකදීයි මේ බව අනාවරණය කෙරුණේ ෴

******************************************

වත්තේගම ළමා නිවාසයකින් පළා ගිය 5 දෙනාගෙන් තිදෙනෙකු (3) හමුවෙයි

(09.12.2021 – 08:36 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – වත්තේගම – මීගම්මන ප්‍රදේශයේ පුනරුත්ථාපන ළමා නිවාසයකින් පළා ගිය ගැහැණු ළමයින් පස් දෙනා (5) ගෙන් 3 දෙනෙකු මේ වනවිට සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ඔවුන් සිය නිවෙස් වෙත ගොස් සිටිය දී මෙලෙස සොයා ගත් බවයි.

පසු ව පොලිසියට පැමිණ භාර වීමෙන් අනතුරුව වෙනත් ළමා නිවාසයක් වෙත යොමු කර තිබෙනවා.

අනෙක් ළමයින් දෙදෙනා (2) ද සිය නිවෙස් වෙත හෝ ඥාති නිවෙස් වෙත ගොස් ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

අදාළ ළමයින් පස් දෙනා (5) පසුගිය 07 වැනි දා පළා ගොස් තිබුණේ, ළමා නිවාසය ආසන්නයේ පිහිටි පාසලකට යොමුකර සිටියදියි.

මොවුන් අවුරුදු 16 ත් 18 ත් අතර වයස්වල පසුවනවා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොවිඩ් රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීමක්

(08.12.2021 – 11:50 +0530 – sinhala.adaderana.lk)

පසුගිය සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවල වාර්තා වු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සමග සංසන්දනය කරන විට පසුගිය සති කිහිපයේ පැහැදිලි ලෙසම කොවිඩ් රෝගීන්ගේ ක්‍රමානුකූල වැඩිවීමක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.

‘අද දෙරණ BIG FOCUS’ වැඩසටහන සමග එක්වෙමින් පවුල් වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ, සභාපති, විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කර සිටියේ, මේ වන විට නිවෙස්ගත ප්‍රතිකාර සේවය ඔස්සේ රෝගීන් 4,295 ක් සක්‍රීයව සිටින බවය.

දෙසැම්බර් මස 07 වන දා පැය 24 ක කාලය තුළ දී රෝගීන් 524 ක් අලුතින් ලියාපදිංචි වී ඇතැයි ද ඇය සඳහන් කළාය.

“නිවෙස්ගත ප්‍රතිකාර සේවාවේදී අපිට රෝහල්ගත කිරීමට සිදුවන රෝගීන් සංඛ්‍යාව ඉතාම අවම ප්‍රතිශතයක් තියෙන්නේ 1.5 ක් වගේ. 7 වෙනිදා දවසේ දී 1,998 ක් විතරයි අපි රෝහල්ගත කරලා තියෙන්නේ. සාර්ථකව ප්‍රතිකාර කරලා මුදාහැරලා තියෙනවා මේ පද්ධතියෙන් 1,14,531 ක්. සුවිශේෂි තත්ත්වය වන්නේ, අපි ප්‍රතිකාර වැඩිහිටියන්ට, දරුවන් අවුරුදු 2 සිට 15 දක්වා සහ ගර්භණී මාතාවන් කළලයට සති 24 ක් හෝ අඩු. ඒ අය ගත්තහම අපි ඇත්තටම 14,355 ක් දරුවන්ට ප්‍රතිකාර දීලා තියෙනවා. ගර්භණී මාතාවන් 365 දෙනෙකුට දීලා තියෙනවා ප්‍රතිකාර. 7 වෙනිදා මුළු ලංකාවෙන්ම ඇතුළත් වෙලා තියෙන්නේ අලුත් රෝගීන් 11,555 ක් නිවෙස්ගත රෝගීන් ඉන්නේ එයින් 4,295 ක් පමණයි.”

ඔමික්‍රෝන් ආසාදිත කාන්තාව එන්නත්කරණය ට යොමු වී නැත්තේ, පවුලේ තිබු රෝගී තත්ත්වයක් මත ඇතුවූ මිත්‍යා විශ්වාසයක් නිසා යැයි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කළාය.

ප්‍රශ්නය – පීසීආර් එකක් පොසිටිව් වෙච්ච කෙනෙක් කොහොම ද ලුණාව හොස්පිට්ල් එකට ගිහිල්ලා දවස් දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත ගෙදර යන්න නිර්දේශ කරන්නේ ?

“එයාට ඇත්තටම කිසිම රෝග ලක්ෂණයක් තිබිලා නෑ. මේ කොරෝනා වයිරස් රෝගයේ දී සියයට 80 කට ම ඇත්තටම රෝග ලක්ෂණ මතුවෙන්නේ නෑ. හැබැයි ඒ අය රෝගය ගැන දැනගෙන ගෙදරට වෙලා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් අනුව ජීවත්වෙන කොට රෝගයේ කිසිම සංකූලතාවයක් නොවී රෝග ලක්ෂණ මතුනොවී ඉතා පහසුවෙන් එම රෝගය සුවවෙනවා. වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය අවශ්‍ය උපදෙස් ඇයට ලබලා දීලා තියෙනවා. එතකොට එයාට යන්න පුළුවන්. කිසිම රෝගී ලක්ෂණයක් ඇයට තිබුණේ නෑ. රෝගියා ඉල්ලලා තියෙනවා එයාට යන්න ඕනේ කියලා හැමවෙලාවෙම. අපි වෛද්‍ය විද්‍යාවේ සාරධර්ම අනුව අපි රෝගියා යමක් ඉල්ලුවිට ඒ අනුව කටයුතු කරන්න බැඳිලා තියෙනවා. නිරෝධායන නීති එක්ක එය පොඩි පොඩි වෙනස්කම් වෙලා තියෙනවා. නමුත් රෝගියාගේ දැඩි ඉල්ලීම මත එයාට වෙනම නිවසක් තියෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා ඒ අනුව එයාට පහසුවෙන් ජීවත්වෙන්න අවස්ථාව සලසන එක වෛද්‍යවරුන්ගේ කාර්යභාරයක්.”

ප්‍රශ්නය – දැන් ගෙදර දරුවෙක් පොසිටිව් වෙනවා මොන වෙලාවක හරි. හිතනවා තමන්ට රෝග කාරක තත්ත්වයන් තියෙනවා කියලා. ලොකු ගැටීමක් සිදුවෙන්නේ නෑ නිවසේ ඉන්න දෙමාපියන් එක්ක. එන්නත අරගෙන නෑ තවමත්. ඒ අවස්ථාවේ ගිහින් දෙමාපියන් එන්නත ලබාගැනීම ප්‍රමාණවත් ද ?

“දරුවෙක් පොසිටිව් වුණාම ඇත්තටම රෝග ලක්ෂණ දෙමාපියන්ට මතුවෙන්න කලින් තියෙන්න පුළුවන්. හැම වෙලාවෙම දරුවෙක් පොසිටිව් වුණාම ගෙදර සිටින අනෙක් අය රෝග ලක්ෂණ නෑ කියලා පරීක්ෂණයකින් තහවුරු කරගත යුතුයි. නැත්නම් රෝගය බෝකරන වාහකයන් වෙන්න පුළුවන්. ඒ බව තහවුරු වුණොත් ඔවුන්ට පුළුවන් ඒ අවස්ථාවේ දීම එන්නත ලබාගන්න කටයුතු කරන්න. හැබැයි දෙන්න ඕනේ පණිවුඩය තමා පුළුවන් හැකි ඉක්මනින් එන්නත ලබාගන්න කියලා. මිත්‍යා මත සමාජ මාධ්‍ය ඔස්සේ සංචරණය වෙනවා. බොහෝ අය ඒවා ඇත්ත කියලා හිතනවා. ඒක නෙමෙයි ඇත්ත. මේ තියෙන සංකූලතා සමග ජීවිත අවධානම අඩුකරගන්න නොවරදීම හා ඔමික්‍රෝන් වයිරසයෙන් බේරීමටත් ඇත්තටම ලෝකයේ මේ වන විට පර්යේෂණ කරගෙන යනවා. දැනට තියෙන දත්ත අනුව ඔමික්‍රෝන් වයිසරයටත් තාමත් තියෙනවා, මේ වයිරසයට එරෙහි එන්නත්වලින් ආරක්ෂාවක් “

******************************************

What are some photos that can make you stop trusting your vision?

Can you trust your eyes? Apparently not.

Take your business card or any other straight object and put it on your screen on the top part of the circles as a reference to realise they actually do not move at all!

Our brain builds reality by interpretation, so how objective can we be in our judgment?

Can you see the circle moving direction and changing size?

They are actually not!

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *