ගෑස් මගඩිය රජයේ නොහැකියාවේ ප්‍රතිඵලයක් – සජිත් ප්‍රේමදාස

ගෑස් මගඩිය රජයේ නොහැකියාවේ ප්‍රතිඵලයක් – සජිත් ප්‍රේමදාස

*********************************************

ගෑස් මගඩිය රජයේ නොහැකියාවේ ප්‍රතිඵලයක් – සජිත් ප්‍රේමදාස

(08.12.2021 – 17:12 +0530 – hirunews.lk/sinhala)

රටේ තිබෙන්නේ ‘පාරිභෝගික සේවා අධිකාරිය’ ද, එහෙමත් නැත්නම් ‘සමාගම් සේවා අධිකාරිය’ දැයි යන ප්‍රශ්නය මතුව ඇති බවත් පාරිභෝගිකයා රැක ගන්නට තිබෙන ආයතනය සමාගම් රැකගැනීමේ තැනට පත්ව ඇති බව විපක්ෂ නායක පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළේ ‘සසුනට අරුණ’ සංකල්පය මත ඉදි කල දහම්පාසැල් ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

පාරිභෝගික සේවා කටයුතු අමාත්‍යවරයා සමාගම් සේවා කටයුතු අමාත්‍යවරයා බවට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා මුළු ආණ්ඩුවම එකතුවී රටේ ජනතාව අන්දවමින් සිටින බවද සඳහන් කළා.

පසුගිය දිනවල ගෑස් ආශ්‍රිත පිපිරීම් 458 කට වැඩි ප්‍රමාණයක් සිදු වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒවා සාමාන්‍ය පිපිරීම බවට විෂය භාර අමාත්‍යවරයා පැවසීම හාස්‍යයක් බවද විපක්ෂ නායකතුමා පැවසුවා ෴

ගෑස් අනතුරු ගැන අපරාධ විමර්ශනයක් ඉල්ලා ඇති පෙත්සම හෙටම (09) සලකා බැලීමට අධිකරණය තීරණය කරයි

(08.12.2021 – 20:28 +0530 – hirunews.lk/sinhala)

ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගැටලුවලට මෙතෙක් නිශ්චිත අවසන් විද්‍යාත්මක තීන්දුවක් ලැබී නොමැති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේදී අද (08) අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගැටලු සියයට සියයක් නිවැරදි වී ඇති බවට සහතිකයක් ලබාදිය නොහැකි බවයි.

මේ අතර, නිවෙස්වල සහ වෙළෙඳසැල්වල ඇති පසුගිය 04 වැනිදාට පෙර බෙදා හරින ලද මුද්‍රා ඉවත් නොකළ, සියලු‍ම ගෑස් සිලින්ඩර් යළි ලබා ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම්වලට නියෝග කළා.

ඒ අනුව, ලිට්‍රෝ සමාගම සිය අලෙවි නියෝජිතයින්ට දැනුම්දී ඇත්තේ යළි භාරදෙන මුද්‍රා ඉවත් නොකල ගෑස් සිලින්ඩර සඳහා නව මුද්‍රාව සහිත ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලබා දෙන ලෙසයි.

කෙසේ වෙතත්, ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය සඳහන් කළේ, පාරිභෝගික අධිකාරියේ අදාළ නියෝගය තමන්ට මෙතෙක් ලැබී නොමැති බවයි.

පාර්ලිමේන්තුවේදීද අද (08) මේ සම්බන්ධයෙන් අදහස් පළ වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර එහිදී දැක්වූ අදහසයි මේ.

මේ අතර, අදත් (08) ප්‍රදේශ කිහිපයකින්ම ගෑස් ආශ්‍රිත අනතුරු වාර්තා වුණා.

එසේම, ගෑස් ආශ්‍රිත අනතුරු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව කිරුළපන, වත්තල, කඳාන සහ ජාඇල යන ප්‍රදේශවල අනතුරු සිදුවූ නිවෙස් අද (08) පරීක්ෂාවට ලක් කළා.

ඊට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ද එක්ව සිටියා.

මේ අතර, නිසි ප්‍රමිතියෙන් තොර ගෑස් මෙරටට ගෙන්වීම හේතුවෙන් ඇති වූ අනතුරුදායක සිද්ධි සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇතුළු 4 දෙනෙකුට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු විසින්. ඊට අදාළව පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔහු එමගින් ඉල්ලා ඇත්තේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද විමර්ශනයට ලක්විය යුතු බවයි පෙත්සමෙන් පෙන්වා දෙන්නේ.

මෙම රීට් පෙත්සම සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ හෙට (09) සලකා බැලීමට ද නියමිතයි.

******************************************

ජනපති හා බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් අතර හමුවක්

(08.12.2021 – 16:43 +0530 – hirunews.lk/sinhala)

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (බිම්ස්ටෙක්) සංවිධානයේ මහලේකම් ටෙන්සින් ලෙක්ප්හෙල් (Tenzin Lekphell) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා.

ඒ අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී යි.

පසුගිය වසරේ නොවැම්බර් 06 වන දින බිම්ස්ටෙක් මහලේකම් ලෙස පත් වූ ලෙක්ප්හෙල් මහතාගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙයයි.

2018 – 2020 කාලසීමාව සඳහා බිම්ස්ටෙක්හි සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි වූ අතර, එම කාලසීමාවේ දීත් ආරම්භක සාමාජිකයෙකු ලෙසත්, බිමිස්ටෙක් සංවිධානය සඳහා ශ්‍රී ලංකාව දැක්වූ දායකත්වය මහලේකම් ටෙන්සින් විසින් ඇගයීමට ද ලක් කරනු ලැබුවා.

බිම්ස්ටෙක් සංවිධානය හරහා ගොඩනගන කලාපීය සහයෝගීතාව වඩා ඵලදායී විය යුතු බවත්, එමෙන්ම කලාපයේ වෙසෙන ජනතාවට එහි ප්‍රතිලාභ සෘජුවම ලබාදිය හැකි අයුරින් සාමාජික රටවල් සහ මහලේකම් කාර්යාලය සමග කැපවීමෙන්
ක්‍රියා කරන බවත් ජනාධිපතිවරයා මහලේකම්වරයා සමග ප්‍රකාශ කළා.

කොවිඩ් වසංගතය හේතුවෙන් නියමිත කාලපරිච්ඡේදය තුළ පැවැත්වීමට නොහැකි වූ පස්වන බිම්ස්ටෙක් සමුළුව ලබන වසරේ මුල් කාර්තුව තුළ පැවැත්වීමට හැකි වෙනු ඇති බවයි ජනාධිපතිවරයා මෙම හමුවේ දී වැඩිදුරටත් කියා සිටියේ ෴

******************************************

ඉන්දීය ඉහළම හමුදා ප්‍රධානියා හෙලිකොප්ටර් යානා අනතුරකින් මරුට

(08.12.2021 – 18:35 +0530 – hirunews.lk/sinhala)

දකුණු ඉන්දීය තමිල්නාඩු නිල්ගිරි කඳු පන්තිය ආසන්නයේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරක් හේතුවෙන් ඉන්දීය යුද හමුදාවේ පළමු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම හෙලිකොප්ටර් යානාවේ ජෙනරාල් බිපින් රාවට් ගේ පවුලේ සාමාජිකයින් ඇතුළු දාහතර (14) දෙනෙකු ගමන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරු හේතුවෙන් යානාවේ සිටි දහතුන් දෙනෙකු (13) මිය ගොස් ඇති බවට තහවුරු වී ඇති අතර එක් (1) පුද්ගලයෙකු බරපතල පිළිස්සුම් තුවාල සහිතව ප්‍රතිකාර ලබනවා.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවට් MI-17V5 හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටියදී මෙලෙස කුනූර් නගරය ආසන්නයේදී අනතුරට ලක් වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තමිල්නාඩු වන අමාත්‍ය කේ. රාමචන්ද්‍රන් පැවසුවේ වහාම මුදාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර තුවාල ලැබූවන් දරුණු පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කර ඇති බවයි ෴

+++++++

******************************************

අස්ගිරි මහා නා හිමි පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට තුති පුදයි

(08.12.2021 – 19:02 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සිකුරාදා (03) පකිස්ථානයේ සියල්කොට් හිදී අමානුෂික ලෙස ඝාතනය කළ ශ්‍රි ලාංකිකයකු වන ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ මරණය සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

මෙම ලිපියෙන් අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමිපාණන් සඳහන් කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ගත් කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව තමන් පැහැදුණු බවයි.

ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අස්ගිරි මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත යොමුකල ලිපියේ, වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කර තිබෙනවා. (*)

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ මෙම ක්‍රියා කලාපය ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ඇති දීර්ඝ කාලීන සුහද සහ මිත්‍රශීලී සබඳතාව තවදුරටත් ශක්තිමත් කරන බව උන්වහන්සේ මෙම ලිපිය හරහා වැඩිදුරටත් පවසනවා.

• ලිපිය : [පිටුව 1][පිටුව 2]

+++++++

(*) කොතරම් හෝ දරුණු අපරාධකරුවෙකුට දඬුවම් නියමකිරීම / ලබාදීම බුදු දහමෙන් අනුමත වන්නේ නැත. අපරාධකරුවෙකුට දඬුවම්කිරීම සඳහා තමන් දායකවන්නේ නම්, තමන්ගේ දායකත්වයේ ප්‍රමාණයට අනුරූපව තමන්ට අකුසල කර්ම රැස්වෙන බවත් එම අකුසල කර්මවලට අදාල දුක් විපාක මෙලොවදී හෝ පරලොවදී තමන්ට විඳීමට සිදුවන බවත් බුදු දහමෙන් කියැවේ. මිනිසෙකුට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලාසිටින්නා බෞද්ධ භික්ෂුවක් නොවේ. – අමරසර

******************************************

යුගදනවි ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක්

(08.12.2021 – 19:54 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය – යුගදනවි තාප විදුලි බලාගාරය සම්බන්ධයෙන් ‘ෆෝට්‍රස් එනර්ජි ඇමෙරිකානු සමාගම’ සමග ඇති කර ගත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝගයක් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අද (08) කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.

ඒ අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට විදුලිබල අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුව මෙතෙක් ඉටු නොවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රශ්න කිරීමත් සමගින්.

කර්මාන්ත, වෙළෙඳ අමාත්‍යාංශය සහ තවත් රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ අද (08) කාරක සභා අවස්ථාවේදී විවාදයට ලක්වුණා.

******************************************

යහපාලන සමයේ මූල්‍ය වංචාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

(08.12.2021 – 19:56 +0530 – hirunews.lk/sinhala)

මහාමාර්ග අමාත්‍යාංශයට අයත් ආයතනයක් වන අධිවේගී මාර්ග ප්‍රවාහන පෞද්ගලික සමාගමේ යහපාලන රජය සමයේ සිදු වූ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ, එම පෞද්ගලික සමාගමේ වත්මන් සභාපතිවරයා විසින්.

අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීම සඳහා පැමිණි අධිවේගී මාර්ග ප්‍රවාහන පුද්ගලික සමාගමේ සභාපති කැළුම් ජයසුමන කියා සිටියේ 2015 වසරේ සිට 2018 වර්ෂය දක්වා කාලය තුල රුපියල් මිලියන 99 කට වැඩි මුදලක් සිය සමාගමට අහිමිව ඇති බවයි.

******************************************

චීන පොහොර නැව යනවා – ඇමති අධිකරණයට දන්වයි

(08.12.2021 – 20:01 +0530 – hirunews.lk/sinhala)

අහිතකර බැක්ටීරියා අඩංගු පොහොර නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටව යන බව පොහොර සමාගම තමන්ට දන්වා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අභියාචනාධිකරණයට දන්වා තිබෙනවා ෴

******************************************

“මට සමාවෙන්න ප්‍රියන්ත.. මම මගේ උපරිමයෙන් උත්සාහ කළා..”

(08.12.2021 – 20:02 +0530 – hirunews.lk/sinhala)

“මට සමාවෙන්න ප්‍රියන්ත.. මම මගේ උපරිමයෙන් උත්සාහ කළා..”

පාකිස්ථානයේ සියල්කොට්හිදී මිලේච්ඡ අන්තවාදී ප්‍රහාරයක් හමුවේ ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ දෙණ, කඩවත ගනේමුල්ලේ නිවසේ තැන්පත් කරන ඡායාරූපයක් සිය ට්ටිටර් ගිණුම ඔස්සේ පළ කරමින්, ‘මලික් අද්නාන්’ ඉහත වැකිය සටහන් කර තිබුණා.

එම වැකිය සහ ‘මලික් අද්නාන්’ අතර ඇත්තේ, වෙන් කළ නොහැකි සබඳතාවක්. සාහසකයින් පිරිසක් ප්‍රියන්ත කුමාර මහතාව වට කරගෙන පහර දෙද්දි, තනි ‘මලික් අද්නාන්’ එම ප්‍රහාරයන්ට එරෙහිව ඔහුට කළ හැකි සියලු ප්‍රතිවිරෝධතාවන් දක්වනවා.

කෙසේ වෙතත්, එම ප්‍රතිවිරෝධය මෙම උමතු අන්තවාදීන්ගේ සැහැසිකම් නවතාලන්නට ප්‍රමාණවත් වූයේ නැහැ.

සිය ජීවිතය අනතුරේ හෙළමින්, තවකෙකුගේ හුස්ම පොද රැකගන්නට ‘අද්නාන්’ කළ සටන තවත් සුළු වේලාවකින් ලොව පුරා පැතිර යනවා.

නොමිනිසුන් අතර සිය මිනිසත්කම විදහා දැක්වූ මේ පාකිස්ථානුවාගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාව නෙත ගැටෙන පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්, ඔහුට පාකිස්ථාන පුරවැසියෙකුට පිරිනැමෙන ඉහළම සිවිල් සම්මානය වන, ‘තම්හා ඊ සුජාත්’ හෙවත් ‘මම සුජාත පාකිස්ථානුවෙක්’ යන සම්මානය පිරිනැමීමට තීරණය කරනවා.

ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රියන්ත කුමාර මහතාගේ ඡායාරූපයක් පළ කරමින්, තවමත් පසුතැවෙන්නෙ ඒ ලතෙත් ශ්‍රේෂ්ඨ පාකිස්ථානුවා යි ෴

+++++++

******************************************

අනිද්දා (10) පාකිස්ථානයේ හෙළා දැකීමේ දිනයක්

(08.12.2021 – 20:32 +0530 – hirunews.lk/sinhala)

පාකිස්තානයේ සියල්කෝට් හිදී අන්තවාදීන් විසින් අමානුෂික ලෙස ඝාතනය කළ ප්‍රියන්ත කුමාර දියවඩනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගනේමුල්ල – පොල්හේන පොදු සුසාන භූමියේදී අද (08) පස්වරුවේ සිදු කෙරුණා.

එම අවස්ථාවට ආගමික නායකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, ඔහු සිහිපත් කිරීම සහ ඝාතනය හෙලා දැකීම වෙනුවෙන් අනිද්දා (10) දිනය විශේෂ හෙළා දැකීමේ දිනයක් ලෙස පාකිස්තානය තුළ ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එසේම, ඝාතනයට සම්බන්ධ වූ තවත් පුද්ගලයින් 08 දෙනෙකු අද (08) අත්අඩංගුවට ගත් බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 140 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර 34 දෙනෙකු ප්‍රධාන සැකකරුවන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

මේ අතර, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ද පිටු 68 ක විශේෂ වාර්තාවක් නිකුත් කරමින් පාකිස්තානයේ ක්‍රියාත්මක වර්තමානයට උචිත නොවන නීති වෙනස් කරන ලෙස නිර්දේශ කර තිබුණා.

******************************************

තෙවැනි ඇසක සටහන් වූ වාරියපොළ රිය අනතුර

(08.12.2021 – 23:15 +0530 – hirunews.lk/sinhala)

පා පැදියක ගමන් කළ පුද්ගලයෙකු අපරික්ෂාකාරී ලෙස මාර්ගය හරහා හැරවීමට උත්සාහ කිරීමේදී වාරියපොළ – අවුලේගම, සංඝබෝධී විද්‍යාලය අසල දී යතුරුපැදියක ගැටී අනතුරට ලක්වන ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා මරණ 28 ක්

(08.12.2021 – 18:54 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරසය ආසාදන වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අද (08) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ සමග මෙරට සිදු වූ සම සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,533 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ ෴

කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයින් 572 දෙදෙනකු අද (08) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙර්ටින් වාර්තා වන සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 5,69,743 ක් දක්වා ඉහළ යනු ඇති ෴

කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයින් 185 දෙනෙකු අද (08) දිනයේ දී හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (08) දිනට පමණක් හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 757 ක්. එම ආසාදිතයින් 757 දෙනාත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,69,928 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *