පදික වේදිකාවේ නවතා තබන රථ වාහන ඉවත් කිරීමේ මෙහෙයුමක්

පදික වේදිකාවේ නවතා තබන රථ වාහන ඉවත් කිරීමේ මෙහෙයුමක්

*********************************************

පදික වේදිකාවේ නවතා තබන රථ වාහන ඉවත් කිරීමේ මෙහෙයුමක්

(08.12.2021 – 10:56 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ඇතුළු තදාසන්න නගරවල රථ වාහන තදබදයක් ඇති වන අයුරින් පදික වේදිකාවේ නතර කර ඇති රථ වාහන ඉවත් කිරීමේ මෙහෙයුමක් අද (08) සිට ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, පදික වේදිකාවෙහි ගමන් කරන ජනතාවට බාධා වන අන්දමින් සහ රථ වාහන තදබදයක් ඇති වන අයුරින් වාහන නතර කරන බවට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

ඒවා සැලකිල්ලට ගනිමින් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කළා.

මෙම මෙහෙයුම මීට පෙර ද ක්‍රියාත්මක වූ අතර කොරෝනා ව්‍යාප්තියත් සමඟ එය තාවකාලිකව නතර කෙරුණා ෴

******************************************

බිරිඳගේ පහරදීමෙන් සැමියා ජීවිතක්ෂයට

(08.12.2021 – 11:45 +0530 – hirunews.lk/sinhala)

නවගමුව – රණාල ප්‍රදේශයේ කාන්තාවක් විසින් තියුණු ආයුධයකින් පහර දී සැමියා ඝාතනය කර තිබෙනවා.

ඊයේ (07) අදාළ පුද්ගලයා බීමතින් නිවසට පැමිණ ඇති අතර, සිදු වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් සැමියා, බිරිඳට පොල් ගෙඩියකින් හිසට පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඉන් කෝපයට පත් බිරිඳ තියුණු ආයුධයකින් සැමියාට පහර දී තිබෙනවා.

අදාළ සිදුවීමෙන් දෙදෙනාම (2) තුවාල ලබා සිටිය දී අසල්වාසීන් විසින් නවගමුව රෝහලට ඇතුළත් කෙරුණා.

පසුව 50 හැවිරිදි අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණු අතර, එහි දී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත්, පසුව සිදුකළ පරීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ, ඔවුන් නීත්‍යානුකූලව විවාහ වී නොමැති බවයි ෴

******************************************

චීන පොහොර නැව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටවෙයි ?

(08.12.2021 – 12:34 +0530 – hirunews.lk/sinhala)

අහිතකර බැක්ටීරියා අඩංගු චීන පොහොර නෞකාව මෙරට මුහුදු සීමාවෙන් පිටව යන බවට අදාළ චීන සමාගම තමන්ට දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අභියාචනාධිකරණයට අද (08) දැනුම් දුන්නා.

ඒ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් මෙම පොහොර නෞකාව මෙරටට පැමිණීමට එරෙහිව ගොනුකළ පෙත්සම අද (08) කැඳ වූ අවස්ථාවේදියි.

අදාළ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (08) විභාග කෙරුණු අතර, මීට පෙර විෂය භාර අමාත්‍යවරයාට අධිකරණය විසින් දැනුම් දෙනු ලැබුවේ, අද (08) දිනට එම නෞකාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදෙන ලෙසයි ෴

******************************************

විදුලි කප්පාදුවක් සිදු නො කරන බව විෂය භාර ඇමති කියයි

(08.12.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේ දී විදුලි කප්පාදුවක් සිදු නො කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා. අද (08) පෙරවරුවේ විදුලි වෘත්තීය සමිති සමඟ පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගත් බවයි බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේ ෴

******************************************

කිරි නිෂ්පාදන ව්‍යාපෘති සඳහා පෝලන්තයේ කැමැත්ත

(08.12.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala)

මෙරට කිරි ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපෘතිවල ආයෝජන අවස්ථා පිළිබඳ ව සොයා බැලීම සඳහා පෝලන්ත ආයෝජකයින් පිරිසක් ඉදිරි දින කිහිපයේ දී මෙරට සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

මෙරට පෝලන්ත තානාපති මහාචාර්ය ඇඩම්ස් බරාකුස්කි, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සමඟ ඊයේ (07) පැවති හමුවක දී තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙරට කෘෂිකර්ම නිෂ්පාදන පෝලන්තයට අපනයනය කිරීම සහ දෙරට අතර කෘෂි නිෂ්පාදන හුවමාරු කර ගැනීම කෙරෙහි ද මෙම හමුවේදී අවධානය යොමු ව තිබෙනවා ෴

******************************************

උඩරට මැණිකේට බිලි වූ එකම පවුලේ තිදෙනා (3)

(08.12.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ගැටී එකම පවුලේ සාමාජිකයින් තිදෙනකු (3) ජීවිතක්ෂයට පත් වී ඇති බව වටවල පොලිසිය පවසනවා.

අද (08) දින පෙරවරු 11:45 ට පමණ මෙම තිදෙනා දුම්රියේ ගැටී ඇත්තේ රොසැල්ල සහ වටවල දුම්රිය ස්ථාන අතර 103 සැතපුම් කණුව අසල දී යි.

මෙලෙස දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් ව ඇත්තේ, පියා , මව සහ පුතු බවට හඳුනාගෙන ඇති අතර, ඔවුන් මස්කෙළිය – සාමිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

දුම්රියේ ගැටී මියගිය වැඩිමහල් පිරිමි පුද්ගලයා ශාන්ත කුමාර් රාජ් (40) නමැති අයෙකු බව ද ඔහුගේ ජාතික හැදුනුම්පතෙන්
මේ වනවිට තහවුරු කරගෙන තිබෙනවා.

උඩරට මැණිකේ දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානයට ළගා වීමට ප්‍රථම එම තිදෙනා (3) රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයින්ගෙන් දුම්රිය ධාවනය වන වේලාවන් අසා රොසැල්ල දුම්රිය ස්ථානයේ සිට වටවල දුම්රිය ස්ථානය දෙසට ඔවුන් ගමන් කළ බව රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයෙකු පොලීසියට සඳහන් කර තිබෙනවා.

මෙම තිදෙනා දුම්රියට පැන සිය දිවි හානි කර ගත්තා ද නැතහොත් දුම්රියේ ගැටි ජීවිතක්ෂයට පත් වුවා ද යන්න පිළිබඳ ව පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ මේ වනවිටත් පරික්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් තිදෙනාගේ (3) සිරුරු එම දුම්රියෙන්ම නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් භාරදීමට එම දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරින් පියවර ගෙන තිබෙනවා.

[සේයාරූ]

******************************************

අවිධිමත් ඉඩම් පවරා ගැනීමක් නිසා ලග්ගල – රාවණාගම ගම්වැසියන් අපහසුතාවක

(08.12.2021 – 14:25 +0530 – hirunews.lk/sinhala)

මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ ඉදිකිරීම සඳහා ලග්ගල ප්‍රදේශයේ විශාල භූමියක් රජයට පවරා ගැනීමත් සමග එහි ජීවත් වූ පවුල් මේ වනවිට අපහසුතා රැසකට මුහුණ පා ඇති බවට ඔවුන් පෙන්වා දෙනවා.

ගම්මුන් ඉල්ලා සිටින්නේ, අඩපණ වී ඇති දරුවන්ගේ පාසල් අධ්‍යාපනය මෙන්ම ජන ජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත් කර දෙන ලෙසයි.

මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ ඉදි කිරීම් සඳහා ලග්ගල ප්‍රදේශයේ විශාල භූමියක් පසුගිය කාලයේ රජයට පවරා ගැනීමත් සමග එහි වාසය කළ ජනතාවට ගැටලු රැසක් මතුව තිබෙනවා.

ඒ එම ව්‍යාපෘති නිසා එම ගම්මාන හුදෙකලා බවට පත් වූ පසුබිමකයි.

ජලාශ දෙක (2) සඳහා යටවුණු ඉඩම්වල ජීවත් ව සිටි ජනතාවට විකල්ප ඉඩම් නිවාස මහවැලියෙන් ලබා දී තිබුණ ද මොරගහකන්ද කළු ගඟ ජලාශ ඉදි වී වසර ගණනාවක් ගත වී ඇතත් පවුල් 20 ක් පමණ ජීවත්වන ගුරුවෙල සහ අතීතයේ සිට රාවණා රජුට නෑකම් කියන රාවණාගම ජනතාව පවසන්නේ, ගම්මානය මේ වනවිට දැන්වීම් පුවරුවට පමණක් සීමා වී ඇති බවයි.

ගම්වාසීන් පෙන්වා දෙන්නේ තමන් වන අලි තර්ජනවලට ද දැඩි ලෙස මුහුණ පා සිටින බවයි.

******************************************

තෙල්, වරාය සහ විදුලිබල වෘත්තීය සමිති විරෝධතාවක

(08.12.2021 – 14:35 +0530 – hirunews.lk/sinhala)

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමට පැවරිමට විරෝධය පළ කරමින් සහ ජාතික සම්පත් විකිණිමට එරෙහිව ඛනිජ තෙල්, වරාය සහ විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති අද (08) දහවල් කොළඹ කොටුව ඉදිරිපිට සිට ජනාධිපති කාර්යාලය දක්වා පාගමනින් පැමිණ විරෝධතාවයක නිරත වුණා.

එහිදී විරෝධතාකරුවන් පිරිසක් ජනාධිපති කාර්යාලයට ඇතුළු විමට උත්සාහ කිරිමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

එහිදී වෘත්තීය සමිති නියෝජිතයින් 6 දෙනෙකුට සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලයෙන් කැඳවීමක් ලැබී තිබුණා ෴

******************************************

ගෑස් කාන්දුව ගැන සොයන ලෙස ඉල්ලමින් රිට් අයදුම්පතක් ගොනු කෙරේ

(08.12.2021 – 14:41 +0530 – hirunews.lk/sinhala)

ගෑස් කාන්දුව සම්බන්ධයෙන් අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ලසන්ත අලගියවන්න, පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සභාපති සහ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ රිට් අයදුම්පතක් ගොනු කර තිබෙනවා ෴

******************************************

ට්විටර් පණිවිඩ පහකින් (5) හෙළිවන ශ්‍රී ලංකා ආර්ථිකයේ නිරුවත

(08.12.2021 – 15:12 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඩොලර් සංචිත ඉතා ශීඝ්‍රයෙන් පහළ වැටෙමින් තිබෙන බව ජේෂ්ඨ ව්‍යාපාරික මාධ්‍යවේදියකු වන ශිහාර් අනීස් අනාවරණය කරනවා.

අවස්ථා පහකදී (5) නිකුත් කෙරෙන මෙම ට්විටර් පණිවිඩ හරහා මෙම මාධ්‍යවේදියා සඳහන් කරන්නේ වත්මන් ප්‍රවණතාව අනුව තවත් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර සහ ඛනිජ තෙල් ගෙන ඒමටත් මුදල් නැති වීමේ අවදානමක් ඇති බවයි.

ශ්‍රී ලංකාවට ලබන ජනවාරියේ ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය වාරිකයක් ගෙවීමට ඇති අතර මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් දිගින් දිගටම පවසන්නේ එම ණය වාරික ගෙවීම ප්‍රමාදයකින් තොරව සිදුකරන බවයි.

කෙසේ වෙතත් මේ වන විට මෙරට ආර්ථිකයේ උද්ගතව ඇති තත්ත්වය අනුව එම ණය වාරික ගෙවීම් ද බරපතළ අවුල් සහගත තත්ත්වයකට වැටී ඇති බවයි ශිහාර් අනීස් අනිත් විශ්ලේෂණය කරන්නේ.

නොවැම්බර් මාසය අවසන් වන විට මෙරට තුළ සංචිත පහළ වැටීම 40.2% විය හැකි බවට පුරෝකථනය කරන ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ නිල සංචිත පහළ වැටීමේ ප්‍රතිශතය ද 30.1% ක් බවයි.

නොවැම්බර් මස මුලදී ඇමරිකානු ඩොලර් බිලියන 2.3 තිබූ මෙරට නිල සංචිත ප්‍රමාණය 1.6 දක්වා පහළ බැස තිබෙනවා.

එමෙන්ම ජනවාරි මාසය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 500 ක ණය වාරිකයක් ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු වන අතර ඒ සඳහා ඒ වනවිට මෙරට මහ බැංකු සතු විදෙස් මුදල් සංචිත ප්‍රමාණය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන එකක් (1) පමණ වනු ඇති බවටයි මෙම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයා පුරෝකතනය කරන්නේ.

මෑතකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිදු කළ ඉන්දීය සංචාරය තුළදී ලාපොරොත්තු වූ ප්‍රමාණයේ මූල්‍යමය සවිමත් භවයක් ලබා ගැනීමට නොහැකි වූ අතර ඉන් මෙරට ආර්ථිකයට එක් වන්නේ ද ඇමරිකානු ඩොලර් මිලියන 400 කට ආසන්න ප්‍රමාණයක්.

මේ අතර මෙරට ආර්ථිකයේ ඉදිරි මාස හය (6) සම්බන්ධයෙන් වන වැඩපිළිවෙළ හෙළි කරමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියා සිටියේ එම කාලය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.7 ක සෘජු විදෙස් ලැබීම් මෙරට ආර්ථිකයට එක්වන බවයි ෴

******************************************

සමරිසි ප්‍රජාවට පොලීසිය සිදු කරන හිරිහැරවලට එරෙහි පෙත්සමක් විභාගයට ගැනීමට අවසර

(08.12.2021 – 16:03 +0530 – hirunews.lk/sinhala)

පොලීසිය විසින් සමරිසි ප්‍රජාවට එරෙහිව සිදු කරන හිරිහැර හා අපහාස වැළැක්වීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (08) අවසර ලබා දුන්නා.

පෙත්සම මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව බැලූ බැල්මටම එහි නඩු නිමිත්තක් පවතින බවටයි සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල තීන්දු කර ඇත්තේ.

ඒ අනුව අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස ද නියෝග කර තිබෙනවා ෴

******************************************

ප්‍රියන්ත කුමාර ඝාතනයට තවත් 8 දෙනෙකු අත්අඩංගුවට

(08.12.2021 – 16:06 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 138 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම සිද්ධියේ දී පන්ජාබ් පොලීසියට අවශ්‍යව සිටි ප්‍රධානතම සැකකරුවෙකු ද ඊයේ (07) අත්අඩංගුවට ගැණුනා.

******************************************

තැන තැන කෙළ ගැසුවොත් වැඩ වරදී

(08.12.2021 – 16:35 +0530 – hirunews.lk/sinhala)

මහාමාර්ග වල තැනින් තැන බුලත් කෙළ ගසන පුද්ගලයන්ට විරුද්ධව අද (08) සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට පොලිසියට දැනුම් දී තිබෙනවා.

පොලිස් ආරක්ෂණ සහ ජනාධිපති කාර්යාලයේ විශේෂ පැවරුම් හා පරිසර අංශයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතා පොලිස් පරිසර ඒකකයට මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

මාර්ග වල තැනින් තැන කෙළ ගැසීමෙන් දැඩි අපවිත්‍ර තාවයක් ඇති වීම මෙන්ම කොරෝනා වයිරස ව්‍යාප්තියද හේතුව නිසා ඒ වෙනුවෙන් නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කරනු ලැබුවා.

දණ්ඩ නීති සංග්‍රහය අනුව එම වරද කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු පැවරීම කළ හැකි බවද පොලිස් අධිකාරිවරයා කියා සිටියා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඔමික්‍රොන්, කොරෝනා එන්නත්වලට ප්‍රතික්‍රියා දක්වන බව හෙළිවෙයි

(08.12.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

දැනට භාවිතයේ පවතින අනුමත කොවිඩ් එන්නත් මගින් කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් නව ප්‍රභේදයට එරෙහිව ආරක්ෂිත ප්‍රතිශක්තීකරණයක් ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද (08) නිවේදනය කළා.

එම සංවිධානයේ වෛද්‍ය මයික් රයන් සඳහන් කළේ, අනෙක් ප්‍රභේදවලට සාපේක්ෂ ව ඔමික්‍රෝන් ප්‍රභේදයට එන්නත මඟ හැර යා හැකි බවට පැහැදිලි සාක්ෂි මෙතෙක් හමු වී නොමැති බවයි.

ඔමික්‍රෝන් නව ප්‍රභේදයට ෆයිසර් එන්නත මඟින් ලබා දෙන ප්‍රතිශක්තීකරණය අර්ධ වශයෙන් මඟ හැර යා හැකි බව දකුණු අප්‍රිකාවේ සිදු කළ සායනික පරීක්ෂණ වලින් හෙළි වූ බව විදෙස් මාධ්‍ය පසුගිය දා වාර්තා කළා.

මේ අතර, කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අන්තෝනියෝ ගුටේරස් ස්වයං නිරෝධායනයට ලක් ව තිබෙනවා.

මේ අතර පවතින තත්ත්වය හමුවේ බෝවන රෝග පිළිබඳ උපදේශන කාරක සභාවේ හදිසි රැස්වීමක් අද (08) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

මේ අතර, පාසල් තුලින් කොරෝනා පොකුරු නිර්මාණය වීමේ තත්වයක් හටගෙන ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ ෴

+++++++++++++++

කොරෝනා ආසාදිතයින් 356 ක් සුවය ලබයි

(08.12.2021 – 14:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 356 දෙනෙකු අද (08) දිනයේදිත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඒ සමග වයිරසය ආසාදිතව මෙරට සුවය ලද සමස්ත සංඛ්‍යාව 5,43,467 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *