ශ්‍රී ලංකාවෙන් ඔමික්‍රොන් රෝගියෙකු වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් ඔමික්‍රොන් රෝගියෙකු වාර්තා වෙයි

*********************************************

ශ්‍රී ලංකාවෙන් ඔමික්‍රොන් රෝගියෙකු වාර්තා වෙයි

(03.12.2021 – 10:47 +0530 – hirunews.lk/sinhala)

මෙරට ප්‍රථම ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේද ආසාදිතයා අද හඳුනා ගැනුණු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා අද (03) ප්‍රකාශ කළා.

මෙරටින් හඳුනාගැනුණු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ පළමුවැන්නා (1) දකුණු අප්‍රිකාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙක්.

ඔමික්‍රොන් ආසාදිතයෙකු හඳුනා ගැනුන ද ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා කොළඹදී අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

ඊට එක්වෙමින් අදහස් දැක් වූ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා, කියා සිටියේ ඔහුගේ ආශ්‍රිතයින් නිරෝධානයට ලක් කර ඇති බවයි.

මේ අතර දකුණු අප්‍රිකාවෙන් මුල්වරට සොයාගැනුණු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය නැවත ආසාදනය වීමේ හැකියාව ඩෙල්ටා හෝ බීටා ප්‍රභේදවලට සාපේක්ෂ ව තුන් (3) ගුණයක් ඉහළ බව අනාවරණ වී තිබෙනවා.

දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් පිරිසක් මේ බව ප්‍රකාශ කළේ, එරට කොරෝනා වයිරස් දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවයි.

මෙය, ඔමික්‍රොන් ප්‍රභේදය, කොරෝනා ආසාදනය වූ පුද්ගලයෙකු ලබන ප්‍රතිශක්තිය මගහරින බවට ලද පළමු වසංගත රෝග විද්‍යා සාක්ෂිය ලෙස සැලකෙනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වනවිට ලොව රටවල් 30 කට පමණ ව්‍යාප්ත වී ඇති අතර, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් අද (03) ප්‍රථම ඔමික්‍රොන් කොරෝනා ආසාදිතයා හඳුනා ගෙන තිබෙනවා.

අද (03) උදෑසන තහවුරු කරගත් මෙරටින් හමු වූ පළමු ඔමික්‍රෝන් omicron ආසාදිතයා නයිජීරියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයකු බව වාර්තා වනවා.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ මෙම පුද්ගලයා කෝවිඩ්-19 මර්දන එන්නත් ලබා නොගත් පුද්ගලයකු බවයි ෴

++++++++++++++++

ඊයේ (02) දිනයේදී ආසාදිතයින් 738 ක්

(03.12.2021 – 08:43 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (02) දිනයේදී ආසාදිතයින් 738 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,65,471 දක්වා ඉහළ ගියා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙරේදා (01) සිදු වූ බවට ඊයේ (02) තහවුරු කළ කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 27 ක්.

ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,399 ක් ලෙස සටහන් වනවා.

මේ අතර, ඉදිරි සති දෙක තුන (2-3) තුළ ඔමික්‍රොන් ප්‍රභේදයේ හැසිරීම පිළිබඳ පැහැදිලි අදහසක් ලබා ගැනීමට හැකිවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ප්‍රකාශ කළා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ඊයේ (02) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය වැඩිදුරටත් කියා සිටියේ, කුමන ප්‍රභේදයක් හමුවේ වූව ද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම වැදගත් බවයි ෴

+++++++++++++++

දෙවන (2) පරම්පරාවේ කොරෝනා එන්නත් නිපදවීම කඩිනම් කෙරේ

(03.12.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රොන් ඇතුළු නව කොරෝනා ප්‍රභේදවලට එරෙහි ව පුළුල් ආරක්ෂණයක් සලසන දෙවන (2) පරම්පරාවේ කොරෝනා එන්නත් නිපදවීම කඩිනම් කිරීමට පියවර ගැනෙනවා.

වසංගත රෝගවලට එරෙහි එන්නත් සංවර්ධනය කිරීමේ පර්යේෂණ කණ්ඩායම් එකමුතුව මේ සඳහා කටයුතු කරන අතර එහි දී බහුතර ලෝක ජනතාවට දැරිය හැකි මිලකට එන්නතක් ලබාදීමට ද අපේක්ෂිතයි.

ඒ සඳහා බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම මූල්‍යාධාර සපයන අතර, ඔවුන් කොරෝනා ප්‍රභේදවලට එරෙහි එන්නතක් සංවර්ධනය කිරීමට ඩොලර් මිලියන 200 ක දායකත්වයක් සපයා තිබෙනවා.

මේ අතර, ඇමෙරිකානු මොඩර්නා එන්නත් නිෂ්පාදන සමාගම සඳහන් කළේ, ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ඉලක්ක කර ගත් බූස්ටර් හෙවත් වර්ධක එන්නතක් ලබන මාර්තු මාසය වනවිට ඉදිරිපත් කළ හැකි වනු ඇති බවයි ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ගෑස් පිපිරීම් පිළිබඳ ජනපති කමිටුවෙන් පාරිභෝගිකයින්ට උපදෙස්

(03.12.2021 – 08:41 +0530 – hirunews.lk/sinhala)

ගෑස් සිලින්ඩර මිල දී ගැනීමේදී අලෙවි නියෝජිතයා ලවා එම අවස්ථාවේදීම සිලින්ඩරයේ ගෑස් කාන්දුවක් නොමැති බවට තහවුරු කර ගන්නා ලෙසට ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරා යෑම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳව සෙවීමේ ජනාධිපති කමිටුව පවසනවා.

අදාළ කමිටුව විසින් ක්ෂණික සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග මහජනතාව වෙත නිර්දේශ ඉදිරිපත් කළ අතර, එහිදී නිර්දේශ 13 ක් පාරිභෝගික ජනතාව වෙත ඉදිරිපත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

මේ වසරේ ජනවාරි 01 වැනි දා සිට දෙසැම්බර් මස 01 වැනි දා දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් සිලින්ඩර් සම්බන්ධ සිදුවීම් 131 ක් වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන් වැඩි ප්‍රමාණයක් පසුගිය දින කිහිපය තුළ වාර්තා වී ඇති බවයි අදාළ කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එසේම, සිලින්ඩරය සඳහා සවිකරන රෙගියුලේටරයක් සඳහා නිර්දේශිත කාලසීමාව වසර 05 ක් වන අතර, ගෑස් සැපයුම් නළයක නිර්දේශිත කාලසීමාව වන්නේ වසර 02 ක්.

කෙසේ වෙතත්, ගෑස් සම්බන්ධ කිසියම් ගැටලුවක් ඇත්නම් විශේෂ ජනාධිපති කමිටුවට අයත් දුරකතන අංක 011 581 1927 හෝ 011 581 1929 යන අංක වෙත අමතා පාරිභෝගික ජනතාවට ඒ පිළිබඳව දැනුම්දීමේ හැකියාව ද පවතිනවා.

මේ අතර, ගෘහස්ථ ගෑස් සඳහා මේ වනවිටත් ප්‍රමිති සකස් කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, එම ප්‍රමිතීන් බලාත්මක කිරීම සඳහා එම කොමිෂන් සභාවට බලතල නොමැති බවයි ඔහු කියා සිටියේ.

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ පටිපාටිය අනුව එම ප්‍රමිතීන් කෙටුම්පත් කර ඇති අතර, මහජන උපදේශනයකින්ද පසුව මේ වනවිට අවසන් කෙටුම්පත සකස් කර ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ගෑස් සිලින්ඩරවල උපරිම පීඩනය, ප්‍රොපේන් සහ බියුටේන් සංයුතියේ අනුපාත ආදී ගෘහස්ථ සිලින්ඩර භාවිතයේදී පාරිභෝගික ආරක්ෂාවට අදාළ සියලු කොන්දේසි නව ප්‍රමිතීන්ට ඇතුළත්.

මේ අතර, ගෑස් ආශ්‍රිත සිදුවීම් වාර්තා වීමත් සමඟ ඒ සඳහා ඇති ප්‍රමිතිය පිළිබඳව සමාජයේ දැඩි ලෙස කතාබහට ලක්වුණා.

මේ අතර, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වෙන්නප්පුවේ ඊයේ (02) පැවති වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළේ, වරදක් වී ඇත්නම් ගෑස් සමාගම්වලට එරෙහිවද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ෴

******************************************

ගෑස් බෙදාහැරීම අත්හිටවූ හේතුව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමති කියයි

(03.12.2021 – 09:41 +0530 – hirunews.lk/sinhala)

ගෘහස්ථ ගෑස් බෙදාහැරීම සහ අලෙවිය අත්හිටුවීමට නියෝග කළේ එල්.පී. ගෑස් හඳුනාගැනීමේ ගන්ධයක් ඇති කරන රසායනිකය ප්‍රමාණවත් ලෙස නොතිබීම නිසා බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

ඔහු කියා සිටියේ ‘එතිල් මර්කැප්ටන්’ නැමති එම රසායනිකය ඒකක 14 ක් ගෑස් සිලින්ඩරයක අඩංගු විය යුතු වුවත් දැනට පවතින්නේ ඒකක පහක් (5) පමණක් බවයි.

පසුගිය දිනවල ගෑස් ආශ්‍රිත සිදුවීම් රැසක් දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තාවුණා.

එහිදී පාරිභෝගිකයන්ගෙන් එල්ලවූ චෝදනාවක් වූයේ ගෑස් කාන්දු වන බව හඳුනාගැනීමේ ගන්ධයක් එයින් නිකුත් නොවූ බවයි.

දිවයින පුරා ගෑස් බෙදාහැරීම සහ අලෙවිය අත්හිටුවන බව ලිට්රෝ ගෑස් සමාගම ප්‍රකාශ කළා ෴

******************************************

දිවයින පුරා ගෑස් බෙදාහැරීම අත්හිටුවයි ජනපති කමිටුව මුතුරාජවෙල ලිට්රෝ පර්යන්තයට

(03.12.2021 – 12:47 +0530 – hirunews.lk/sinhala)

වහා ම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, එල්.පී. ගෑස් හඳුනාගැනීමේ ගන්ධයක් ඇති කරන රසායනිකය ප්‍රමාණවත් ලෙස නො තිබීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

‘එතිල් මර්කැප්ටන්’ නැමති අදාළ රසායනිකය ඒකක 14 ක් ගෑස් සිලින්ඩරයක අඩංගු විය යුතු වුව ද දැනට පවතින්නේ, ඒකක පහක් (5) පමණක් බවට ද අනාවරණ වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පසුගිය දිනවල ගෑස් ආශ්‍රිත සිදුවීම් රැසක් දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වුණා.

එහිදී පාරිභෝගිකයන්ගෙන් එල්ලවූ චෝදනාවක් වූයේ, ගෑස් කාන්දු වන බව හඳුනාගැනීමේ ගන්ධයක් එයින් නිකුත් නොවූ බවයි.

ඒ අනුව ගෑස් සම්බන්ධයෙන් ප්‍රදේශ රැසකින් පසුගිය දිනවල වාර්තා වූ සිදුවීම් පිළිබඳ විමර්ශන අවසන් කර, තීරණයක් ගන්නා තුරු මෙලෙස ගෑස් බෙදාහැරීම තාවකාලිකව අත්හිටවනු ඇති.

නැවත දැනුම් දෙනතුරු ඊයේ (02) උදෑසන සිට දිවයින පුරා ගෑස් බෙදාහැරීම සහ අලෙවිය අත්හිටවූ බව ලිට්රෝ සමාගමද සඳහන් කළා.

ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පැහැදිළි සහතිකයක් ලැබෙනතුරු මෙම තීරණය ක්‍රියාත්මක බවයි එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ.

ඒ අනුව ගෑස් බෙදාහැරීම සහ අලෙවිය නතර කරන ලෙස ලිට්රෝ සමාගම සිය අලෙවි නියෝජිතයන්ට දැනුම් දී තිබෙනවා.

මේ අතර, ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරා යෑම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳව සෙවීමේ ජනාධිපති කමිටුව මේ වනවිට මුතුරාජවෙල පිහිටි ලිට්රෝ ගෑස් සමාගමේ පර්යන්තය නිරීක්ෂණය කරමින් සිටිනවා.

ඊයේ (02) දිනයේදී කමිටුවේ සාමාජිකයින් පොලිසිය සමග එක්ව බස්නාහිර පළාතේ පිපිරීම් වාර්තා වූ කොට්ටාව, අතුරුගිරිය සහ හංවැල්ල, පාදුක්ක ප්‍රදේශවල නිවෙස් වෙත ගොස් පරීක්ෂා කිරීම්ද සිදු කළා.

එසේම, අදාළ කමිටුව විසින් ක්ෂණික සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග ජනතාව වෙත නිර්දේශ ඉදිරිපත් කළ අතර, එහිදී නිර්දේශ 13 ක් පාරිභෝගික ජනතාව වෙත ඉදිරිපත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

මේ අතර තවත් ප්‍රදේශ කිහිපයකින් ගෑස් ආශ්‍රිත සිදුවීම් සහ අනතුරු තවදුරටත් වාර්තා වී ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

ඒ අනුව කිරුළපන, අම්පාර, මහනුවර – පූජාපිටිය, කන්තලේ, මග්ගොන සහ පොළොන්නරුව යන ප්‍රදේශවලිනුයි එම නවතම ගෑස් ආශ්‍රිත සිදුවීම් වාර්තා වී ඇත්තේ ෴

******************************************

ලංකා ගුරු සේවා සංගම‍යෙන් විශේෂ ප්‍රකාශයක්

(03.12.2021 – 08:34 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුන්ගේ මේ වසරේ විෂය නිර්දේශ සම්පූර්ණයෙන් ආවරණය කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර ඇති නව ලිපිය හේතුවෙන් ගුරුවරුන් සහ සිසුන් දැඩි අපහසුතාවට පත් ව ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.

එහි ලේකම් මහින්ද ජයසිංහ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, අදාළ ලිපියේ සඳහන් වන පරිදි විෂය නිර්දේශ සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බවයි.

මේ අතර, තමන්ට හිමි රුපියල් දසදහසේ (10,000) දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා අධ්‍යාපන සමූපකාර පොදු සේවක සංගමය ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය ඉදිරියේදී තවදුරටත් දැඩි කරන බව එම සංගමයේ සභාපති නන්දන හේවගේ මහතා ප්‍රකාශ කළා.

වර්ජනය ආරම්භ කර අදට (03) දින 17 ක් ගත වූව ද මේ දක්වා කිසිදු සාකච්ඡාවක් ලබා දී නොමැති බවයි ඔහු කියා සිටියේ ෴

******************************************

10 වනදායින් පසු නිදහස් පක්ෂයේ ගමන වෙනස් වෙයි

(03.12.2021 – 08:36 +0530 – hirunews.lk/sinhala)

අයවැය නිවාඩුවෙන් පසු එනම්, ලබන 10 වනදායින් අනතුරුව, රට පුරා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (02) පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර, මේ වතාවට පමණක් සීමා වන පරිදි පැරණි මැතිවරණ ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම යෝග්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී යෝජනා කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ද ඉදිරිපත් කිරීමට යි ඊයේ (02) පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී යෝජනා වී ඇත්තේ ෴

******************************************

තවත් පොල් ගෙඩි මිලියන 1000 ක් කර්මාන්ත සඳහා ලබාදීමට පියවර

(03.12.2021 – 08:52 +0530 – hirunews.lk/sinhala)

කර්මාන්ත සඳහා එකතුවන පොල් ගෙඩි මිලියන 1000 ට අමතරව තවත් පොල් ගෙඩි මිලියන 1000 ක් කර්මාන්ත සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බව පොල් පර්යේෂණ මණ්ඩලය පවසනවා.

එමෙන්ම, ගෘහස්ථ පොල් පරිභෝජනයේදී 30% කට අධික ප්‍රමාණයක් නාස්ති වන අතර, එය අවම කිරීම මගින් පොල් ගෙඩි මිලියන 300 ත් 400 ත් අතර ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

මාතලේ දී මනුෂ්‍ය ඝාතනයක්

(03.12.2021 – 09:21 +0530 – hirunews.lk/sinhala)

මාතලේ – අඹගහමුල බස්නැවතුම්පොළ අසල දී පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ඊයේ (02) අලුයම හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව පහර දීමට ලක් වූ පුද්ගලයා රෝහල්ගත කිරීමට පොලිසිය කටයුතු කළ අතර, එම අවස්ථාව වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනියම් පෙම් සබඳතාවක් මත ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ, 37 හැවිරිදි මාතලේ පහළ කොටස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴

******************************************

ප්‍රවීන රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් අභාවප්‍රාප්ත වෙයි

(03.12.2021 – 09:53 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන වේදිකා නාට්‍ය සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කළක් රෝගාතුරව සිට මියයනවිට ඔහු 62 වන වියේ පසුවුණා.

කොළඹ – ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ වේදිකාවේ දස්කම් දැක්වීමට සමත්වූ අතර, විජය ධර්මශ්‍රී මහතාගේ ‘හිමගිර’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුණා.

‘පුත්‍ර සමාගම’ සහ ‘සුබ සන්ධ්‍යාවක්’ ඇතුලු වේදිකා නාට්‍ය 50 කට අධික සංඛ්‍යාවකට ඔහු සමඟ රංගනයට එක්වූ රත්නා ලාලනී ජයකොඩි මහත්මිය සමඟ විවාහ වූ සම්පත් තෙන්නකෝන් මහතා වේදිකා නාට්‍ය දිවියට වසර 30 ක් ගතවීම නිමිත්තෙන් ‘අභිනයන සම්පත් රත්න රංග භූමිකාව’ නමින් නාට්‍ය උළෙලක්ද පවත්වනු ලැබුවා.

ලුම්බිණි රඟහලේ දී දයාරත්න රටගෙදර මහතාගේ ‘ගුරු ලිපි’ නාට්‍යයෙන් වේදිකාවට පිවිසි ඔහු ඩග්ලස් සිරිවර්ධන මහතාගේ ‘අඹුසැමියෝ’ නාට්‍යයට ද එක්වුණා.

‘හිරු ටී වී’ ඔස්සේ විකාශය වන ‘දිවිතුරා’ ටෙලිනාට්‍යට ද සම්පත් තෙන්නකෝන් මහතා රංගනයෙන් දායක වුණා.

අභාවප්‍රාප්ත වූ සම්පත් තෙන්නකෝන් මහතාගේ දේහය ඔහුගේ පෞද්ගලික ඉල්ලීමක් මත පැය 24 ක් ඇතුළත අවසන් කටයුතු සිදු කරන බව පවුලේ ඥාතින් පවසනවා.

******************************************

සහරාන් සමග සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයෙකු මහනුවරදී අත්අඩංගුවට

(03.12.2021 – 10:01 +0530 – hirunews.lk/sinhala)

‘සහරාන් හෂීම්’ සමඟ සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයෙකු මහනුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මහනුවර ත්‍රස්ත මර්දන විමර්ශන ඒකකය මගින් හිගුල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (02) මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු හම්බන්තොට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අන්තවාදී දේශන ඇතුළත් කඳවුරකට සහභාගි වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ ෴

******************************************

රන්ජන් රාමනායක නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයට

(03.12.2021 – 10:03 +0530 – hirunews.lk/sinhala)

රන්ජන් රාමනායකට එරෙහිව ගොනුකර ඇති දෙවන (2) අපහාස නඩුව ලබන ජනවාරි 24 වැනි දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියම කළා.

ඒ, අදාළ පැමිණිල්ල එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳ වූ අවස්ථාවේදියි.

එම අවස්ථාව සඳහා දැනට සිර දඬුවම් විඳින රන්ජන් රාමනායකද බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

2018 වසරේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රන්ජන් රාමනායක රූපවාහිනී වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශයක් මෙම නඩුව සඳහා මුල් වී තිබෙනවා.

අදාළ වැඩසටහනේ දී සිදු කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් කරන ලද පැමිණිල්ලකට අනුව රන්ජන් රාමනායකට එරෙහි මෙම නඩු විභාගය පැවැත්වෙනවා.

රන්ජන් රාමනායක මේ වනවිටත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිව් (4) වසරක සිර දඬුවමක් විඳිමින් සිටිනවා.

පසුගිය ජනවාරි 12 වන දා ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඔහුට සිර දඬුවම් නියම කළේ මෙරට විනිසුරුවන් බහුතරයක් දූෂිත බවට ඔහු කළ ප්‍රකාශයක් හේතුවෙන් ෴

******************************************

චීන පොහොර සම්බන්ධ අතුරු නියෝගය දීර්ඝ කෙරෙයි

(03.12.2021 – 11:03 +0530 – hirunews.lk/sinhala)

බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් රැගෙන ආ බව කියන චීන සමාගමට හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 23 වන දා දක්වා යළි දීර්ඝ කෙරුණා.

ඒ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සම් අද (03) කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *