ගෑස් සිලින්ඩර සහ ලිප් අලෙවිය පහත බසී – භුමිතෙල් ලිප් මිලත් ඉහළට

ගෑස් සිලින්ඩර සහ ලිප් අලෙවිය පහත බසී – භුමිතෙල් ලිප් මිලත් ඉහළට

*********************************************

ගෑස් සිලින්ඩර සහ ලිප් අලෙවිය පහත බසී – භුමිතෙල් ලිප් මිලත් ඉහළට

(02.12.2021 – 19:16 +0530 – hirunews.lk/sinhala)

ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් තමන් සිදුකළ පරීක්ෂණයේ වාර්තාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිළිගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව එම පරීක්ෂණය සිදුකළ බවත්, වෙනත් පාර්ශ්ව සිදු කරන ප්‍රකාශ අදාළ නොවන බවයි කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකදී එහි නියෝජ්‍ය පිරිපහදු කළමනාකරු කේ.ජී.එච්. කෝදාගොඩ මහතා කියා සිටියේ.

ගෑස් ආශ්‍රිත සිදුවීම් වාර්තා වීමෙන් පසු පාරිභෝගික අධිකාරිය වෙළඳපොලෙන් ලබාගත් සාම්පල පරීක්ෂා කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රසායනාගාර වෙත පසුගියදා යොමුකළ අතර, එහිදී හෙලි වී ඇත්තේ මේ වනවිට වෙළඳපලේ අලෙවි වන ගෑස් සිලින්ඩරවල සංයුතියේ ගැටලු පවතින බවයි.

කෙසේ වෙතත්, අදාළ වාර්තාව නොපිළිගන්නා බවත් විදේශ රටක රසායනාගාරයක මෙය පරීක්ෂණයට ලක් කළ යුතු බවත්, ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදී ලිට්රෝ සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා.

මේ අතර, ගෑස් ආශ්‍රිත සිද්ධීන් විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කමිටුවේ සාමාජිකයින් අද (02) පොලීසිය සමග එක්ව බස්නාහිර පළාතේ පිපිරීම් වාර්තා වූ කොට්ටාව, අතුරුගිරිය සහ හංවැල්ල, පාදුක්ක ප්‍රදේශවල නිවෙස් වෙත ගොස් පරීක්ෂා කිරීම් සිදුකළා.

කමිටු සාමාජිකයින් හා පොලිසිය අද (02) එලෙස නිවාස පරීක්ෂා කළද අද (02) දිනයේත් ගෘහස්ථ ගෑස් ආශ්‍රිත අනතුරු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා.

මේ අතර, පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් අද (02) කොළඹ වරායට ගෑස් රැගෙන පැමිණි නෞකාවක සාම්පල ලබා ගැනීම සිදුකර තිබෙනවා.

එය මුද්‍රා තැබීමෙන් අනතුරුව රසායනාගාර පරීක්ෂාවට ලක් කරන බවයි එම අධිකාරියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

ගෑස් ආශ්‍රිත සිදුවීම් හේතුවෙන් තමන්ද බියට පත්වී ඇති බවයි අද (02) පැවති උත්සව කිහිපයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා ප්‍රකාශ කළේ.

ගෑස් ආශ්‍රිත සිදුවීම් වාර්තා වන පසුබිමක මේ වනවිට පිටකොටුව ආශ්‍රිතව භූමිතෙල් උඳුන් අලෙවිය ඉහළ ගොස් ඇති අතර, ගෑස් සිලින්ඩර සහ උඳුන් අලෙවිය පහත වැටී තිබෙනවා.

එසේම, භූමිතෙල් උඳුන්වල මිල ද සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බවයි වෙළඳුන් ප්‍රකාශ කළේ.

******************************************

ගෑස් පුපුරා යෑම ගැන සොයා බලන කමිටුවෙන් ජනතාවට ක්ෂණික පියවරක් ලෙස ලබාදුන් නිර්දේශ

(02.12.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා විසඳුම් සෙවීමේ කමිටුව ක්ෂණික පියවරක් ලෙස ජනතාවට නිර්දේශ ලබා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, නිවසෙහි භාවිත වන අදාළ ගෑස් සම්බන්ධයෙන් ජනතාව ගත යුතු ක්ෂණික පියවර සම්බන්ධයෙන් මෙමගින් දැනුවත් කර ඇති බවයි.

එමෙන්ම, එල්.පී ගෑස් ආශ්‍රිත ගැටලු පවතී නම්, අදාළ අලෙවි නියෝජිත, ළඟම පොලිස් ස්ථානය හෝ පහත සඳහන් හදිසි දුරකථන ඇමතුම් හා සම්බන්ධ වී, ඒ පිළිබඳ දැනුවත් කරන ලෙසටත්, ජනාධිපති මාධ්‍ය අංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව 011 581 1927 හෝ 011 581 1929 යන දුරකථන අංක හා සම්බන්ධ වීමෙන් ජනතාවට සිය ගැටලු නිරාකරණය කරගත හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මාධ්‍ය නිවේදනය : [පිටුව 1][පිටුව 2][පිටුව 3]

******************************************

ප්‍රමිතියකින් තොර සංවර්ධනය නිසා වළල්ලාවිට – පන්නිල ගම්වාසින් අපහසුතාවක

(02.12.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala)

රජයට අයත් වතු සමාගමක ඉඩමක් ප්‍රමිතියකින් තොර ව සංවර්ධනය කිරීම හේතුවෙන් නායයාමේ අවදානමක් මතුව ඇතැයි වළල්ලාවිට, පන්නිල ගම්වාසීන් චෝදනා කරනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ බලධාරීන්ගේ අවධානය මේ දෙස කඩිනමින් යොමුකරන ලෙසයි.

******************************************

හිඟුරු වැව ප්‍රතිසංස්කරණ කටයුතු අවිධිමත් බවට ගම්වාසින්ගෙන් චෝදනා

(02.12.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

අරලගංවිල මහවැලි බී කලාපයට අයත් විජයපුර ගම්මානයේ හිඟුරු වැව ප්‍රතිසංස්කරණ කටයුතු අවිධිමත් බව ගම්වාසින් චෝදනා කරනවා.

වාරිමාර්ග අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ‘වාරි සෞභාග්‍යා’ වැඩසටහන යටතේ වැලිකන්ද මහවැලි කළමනාකාර නේවාසික ව්‍යාපාර කාර්යාල නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම වැව ප්‍රතිසංස්කරණය සඳහා ලබා දී ඇති මුදල රුපියල් ලක්ෂ 50 ක්.

මෙම වැවෙන් ප්‍රදේශවාසී ගොවි ජනතාව ගොවිතැන් කටයුතු සඳහා ජලය ලබා ගන්නා අතර ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව ද සපුරා ගන්නවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, වෙන් කළ මුදල් අවසන් බව පවසමින් වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන කොන්ත්‍රාත්කරුවන් විසින් එම කටයුතු අතරමඟ නවතා දමා ඇති බවයි.

******************************************

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් සංවර්ධනයට අගමැතිගෙන් උපදෙස්

(02.12.2021 – 14:21 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන කිහිපයක් නව වෙළෙඳ ආර්ථික දැක්මක් යටතේ සංවර්ධනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව කොළඹ පාවෙන වෙළෙඳ සංකීර්ණය, ලන්දේසි රෝහල, ගෝල් සෙන්ටර් සහ තුරඟ තරග පිටිය ඇතුළු තවත් ස්ථාන කිහිපයක් මෙලෙස සංවර්ධනය කිරීමට කොළඹ ව්‍යාපාරිකයින්ගේ සංගමය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

දිවයිනට පැමිණෙන සංචාරකයින්ට තොරතුරු සපයන කාර්යාලයක්, පාවෙන වෙළද සංකීර්ණය තුළ විවෘත කිරීමට මෙන්ම අදාළ ආර්ථික මර්මස්ථාන තුළ මාස 6 ක කාලයක් දක්වා ව්‍යාපාර ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි ෴

******************************************

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ පූජ්‍ය පක්ෂයේ හා දේශපාලඥයින්ගේ අදහස්

(02.12.2021 – 14:26 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල මතු වී තිබෙන ගෑස් අර්බුදය හා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පූජ්‍ය පක්ෂය සහ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

******************************************

මෙරට ශ්‍රමිකයන්ට කටාර් රාජ්‍යයේ රැකියා අවස්ථා

(02.12.2021 – 14:59 +0530 – hirunews.lk/sinhala)

මෙරට ශ්‍රමිකයන්ට කටාර් රාජ්‍යයේ රැකියා අවස්ථා ලබා ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ කටාර්හි කම්කරු කටයුතු පිළිබඳ උපලේකම් මොහොමඩ් හසන් සහ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් අතරයි.

කොරෝනා වසංගතයත් සමග අඩපණ වූ ක්ෂේත්‍රයන් යළිත් ආරම්භ කිරිම සඳහා මෙරට ශ්‍රමිකයන්ට වැඩි අවස්ථාවක් ලබාදෙන බවයි එහිදී කටාර්හි කම්කරු කටයුතු පිළිබඳ උපලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ ෴

******************************************

චීනයට ලබාදෙන වරාය සතු ඉඩමක් ගැන මන්ත්‍රී තිස්ස අත්තනායක ගෙන් හෙළිදරව්වක්

(02.12.2021 – 15:41 +0530 – hirunews.lk/sinhala)

වරාය සතු අක්කර 13 ක පමණ භූමිය වත්මන් රජය විසින් චීනයට පැවරීමට සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

අද (02) පැවති පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් හෙතෙම ප්‍රකාශ කළේ, මෙම ඉඩම පවරාදීම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇති බවයි.

මේ අතර, ගෑස් සංයුතිය සම්බන්ධයෙන් මෙරට පරීක්ෂණ සිදු කිරීම සඳහා පර්යේෂණාගාරයක් හැකි ඉක්මනින් ඉදි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අද (02) පාර්ලිමේන්තුවේදී යෝජනා කළා.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ, ගෑස් අනතුරු සම්බන්ධයෙන් ඊයේ (01) රැස් වූ උපදේශක කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බවයි.

******************************************

ලබන වසරේ මුල මෙරට වැඩ පටන් ගන්නා ඉන්දීය අදානි සමාගම

(02.12.2021 – 16:34 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය අදානි සමාගම විසින් කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේ ජනවාරි වනවිට ආරම්භ කිරීමට නියමිත බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා අද (02) පැවැති පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දක්වමින් මේ බව කියා සිටියා ෴

******************************************

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දෙදරයි – සාමාජිකයින් ඉල්ලා අස් වේ

(02.12.2021 – 17:10 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු අද (02) ඉල්ලා අස්වීමේ ලිපි භාර දී තිබෙනවා.

මෙලෙස ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇත්තේ ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල්, ආචාර්ය හර්ෂ සුබසිංහ සහ සංජය කුලතුංග යන අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයින් තිදෙනා (3) යි.

ආයෝජන මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම අධ්‍යක්ෂවරුන් තිදෙනා සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ එහි සභාපතිවරයා වන සංජය මොහොට්ටාලගේ ක්‍රියා කලාපයට විරෝධය දක්වමින්.

පසුගිය වසර 2 කට අධික කාලයක් පුරා ආයෝජන මණ්ඩල සභාපති ධුරය දරන සංජය මොහොට්ටාල එම කාලය තුළ සිදු කළ අත්තනෝමතික ක්‍රියා මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බව සඳහන්.

ආයෝජන මණ්ඩල සභාපතිවරයාට එරෙහිව මේ වන විටත් ආයෝජන මණ්ඩලයේ සේවක සේවිකාවන් 850 දෙනකු පමණ අත්සන් කළ පෙත්සමක් ජනානාධිපතිවරයා වෙත යොමු කිරීමට සූදානම් කර ඇති බවත් වාර්තා වනවා.

ආයෝජන මණ්ඩලයේ සමස්ත සේවක සංඛ්‍යාව 1100 කට ආසන්නයි.

මේ අතර ආයෝජන මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරන්නේ හෙට (03) දිනය තුළ දී බොහෝවිට ආයෝජන මණ්ඩල සභාපති සංජය මොහොට්ටාල සහ අනෙක් සාමාජිකයා වන ජයමින් පැල්පොල දෙදෙනා ද ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවයි ෴

******************************************

සියලුම බීජවල මිල නියාමන කරන්නැයි කෘෂි ඇමතිගෙන් උපදෙස්

(02.12.2021 – 17:43 +0530 – hirunews.lk/sinhala)

ආනයනික බීජ සඳහා ඇතැම් වෙළඳුන් ගොවීන්ගෙන් වැඩි මිලක් අලෙවි කරන බැවින් ඒ සඳහා මිල නියාමනය කරන ලෙසට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ බීජ සභාවට උපදෙස් ලබා දී තිබෙනවා.

ඇතැම් වෙළඳුන් බීජ ග්‍රෑම් 50 ක් රුපියල් 6000 කට ගොවීන්ට අලෙවි කරන බවට මේ වනවිට පැමිණිලි ලැබී ඇති බැවින් ඒ අනුවයි මිල නියාමනය කරන ලෙසට බීජ සභාවට උපදෙස් ලබාදී ඇත්තේ ෴

******************************************

හරක් කටාගේ මූල්‍ය කටයුතු මෙහෙය වූ කාන්තාවක් අත්අඩංගුවට

(02.12.2021 – 17:46 +0530 – hirunews.lk/sinhala)

දැනට ඩුබායිහි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ගේ මූල්‍ය කටයුතු මෙහෙය වූ 29 හැවිරිදි කාන්තාවක් දෙහිවල – නැදිමාල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය සතුව තිබූ රුපියල් මිලියන 2.7 ක මුදලක් සහ සිම්කාඩ්පත් 26 ක් ද සොයා ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ ෴

******************************************

ලබන වසරේ ජල ගාස්තු වැඩි කිරීමක් නැහැ – ජල සම්පාදන ඇමති

(02.12.2021 – 18:03 +0530 – hirunews.lk/sinhala)

ජල සම්පාදන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ ලබන වසරේ ජල ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බවයි ෴

******************************************

පාඨලී ඇතුලු විත්තිකරුවන්ගේ විරෝධතා ප්‍රතික්ෂේපයි – රාජගිරිය අනතුරේ නඩුව විභාගයට ගැනීමට නියෝග

(02.12.2021 – 18:38 +0530 – hirunews.lk/sinhala)

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු තුන් දෙනෙකුට (3) අධිචෝදනා කියවා දීම අද (02) කොළඹ මහාධිකරණයේදී සිදු කෙරුණා.

එමෙන්ම, නඩුව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් නඩුව විභාගයට ගැනීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.

නඩුව අද (02) කැඳවනු ලැබුවේ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හමුවේයි.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට අමතරව ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාරට සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති හා වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩලට එරෙහිව නීතිපතිවරයා විසින් මීට අදාළව අධි චෝදනා ගොනු කර තිබෙනවා.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ යුක්තියේ දෙවඟනගේ දෑස් රෙදි කැබැල්ලකින් බැද තිබුණත්, එම රෙදි කැබැල්ල ගලවා තමන් දෙස යුක්තියේ දෙවගනයේ බැල්ම ලබා ගැනීමට ඇතැම් විත්තිකරුවන් උත්සාහ කරන බවයි.

මෙයත් එවැනිම නඩුවක් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් එහිදී ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ 2016 පෙබරවාරි 28 වනදා පළමු විත්තිකාර හිටපු අමාත්‍යවරයා අපරීක්ෂාකාරි ලෙස පැදවූ ජිප් රථයක් පැමිණිලිකාර තරුණයා ගමන් කළ යතුරුපැදියේ ගැටී ඇති බවයි.

අසල සිටි පුද්ගලයන් විමසූ විට වාහනය තුළ සිටි පුද්ගලයා තමා ඇමතිවරයෙකු බව සඳහන් කළේ යැයි ද පසුව දෙවන (2) විත්තිකරු තමා රථය පැදවූ බව පවසමින් පොලීසියට ඉදිරිපත් වූ බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

ඔහු චෝදනා කළේ විත්තිකරුවන් සමාජ, දේශපාලන සහ නිලබලය උපයෝගි කර ගනිමින් සත්‍යය යටපත් කිරීමට උත්සාහ කළ බවයි.

අනතුරුව විනිසුරුවරයා විත්තිකරුවන් විසින් ගෙන ආ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ අතර, පසුව ඔවුන්ට විවෘත අධිකරණයේදී අධිචෝදනා කියවා දෙනු ලැබුවා.

එම චෝදනාවට තමන් නිවැරදිකරු බවයි විත්තිකරුවන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

ඉන් අනතුරුව සිද්ධියෙන් අනතුරට පත් සංදීප් සම්පත් ගුණවර්ධන තරුණයාගේ පියා අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන්නා.

එහිදී ඔහු කියා සිටියේ තම පුතු සනීප කර දෙන ලෙස අවස්ථා 3 කදී අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ විජේරාමේ පිහිටි ඔහුගේ නිවසටම ගොස් උදව් ඉල්ලා සිටියත් ඊට කිසිදු සහයක් ඔහු පළ නොකළ බවයි.

නඩුව වැඩිදුර විභාගය ජනවාරි මස 11 වනදා දක්වා කල් තැබුණා.

මේ අතර, ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා ලැබ මාස 8 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (02) නියම කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *