“ගෑස් තබා ගැනීම ගෙදර බෝම්බයක් තියෙනවා වගේ” – මන්ත්‍රී අලවතුවල කියයි

“ගෑස් තබා ගැනීම ගෙදර බෝම්බයක් තියෙනවා වගේ” – මන්ත්‍රී අලවතුවල කියයි

*********************************************

“ගෑස් තබා ගැනීම ගෙදර බෝම්බයක් තියෙනවා වගේ” – මන්ත්‍රී අලවතුවල කියයි

(29.11.2021 – 14:21 +0530 – hirunews.lk/sinhala)

රට තුළ මේ වනවිට හටගෙන ඇති ආර්ථික අර්බුදවලට අමතරව ජනතාවට පීඩනයක් එල්ල කර ඇති තවත් ප්‍රශ්නයක් වන්නේ, ගෑස් පුපුරා යෑම බව විපක්ෂයේ විවිධ පාර්ශ්ව චෝදනා කරනවා.

මෙම ගෑස් නිවෙස්වල තබා ගැනීමට පවා ජනතාව ඉතා බියෙන් යුතුව සිටින යුගයක් බවට වර්තමානය පත්ව ඇති අතර, ගෑස් නිවෙසෙහි තබා ගැනීමම හුදු බෝම්බයක් තබා ගැනීමක් හා සමාන බවටයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල ප්‍රකාශ කළේ.

මේ අතර රට පුරා වරින්වර සහ දිනෙන් දින වාර්තා වන ගෑස් කාන්දු වීම් සහ පුපුරා යෑම් සම්බන්ධයෙන් අදත් (29) පක්ෂ විපක්ෂ වේදිකාවේ අදහස් පළ වුණා.

++++++++++

ගෙවුණු සත් වසර තුළ ගෑස් පිපිරීම් 233 ක් වාර්තා වූ බවට ඇමති අලගියවන්න කියයි

(29.11.2021 – 14:47 +0530 – hirunews.lk/sinhala)

ගෑස් නියාමනය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන වශයෙන් නිසි පරිදි එය නියාමනය සිදු කර නොමැති බවටත්, ඒ හේතුවෙන් එහි වගකීම ද නිහතමානීව පිළිගත යුතු බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

අද (29) පැවැති පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් ඔහු සඳහන් කළේ, 2015 සිට මේ දක්වා ලිට්‍රෝ සහ ලාෆ් ගෑස්වල මෙවැනි සිද්ධීන් 233 ක් වාර්තා වී ඇති බවයි.

මේ අතර, ගෑස් පිපිරීම් සහ ගිනි ගැනීම් ඇතුළු සිද්ධි සම්බන්ධයෙන් අදත් (29) මැතිසබය උණුසුම් වුණා.

++++++++++

තවත් ගෑස් ආශ්‍රිත සිදුවීම් කිහිපයක්

(29.11.2021 – 16:28 +0530 – hirunews.lk/sinhala)

හැටන් – මල්ලිඅප්පු ප්‍රදේශයේ ආපනශාලාවක ද අද (29) දහවල් ගෑස් ආශ්‍රිත සිදුවීමක් වාර්තා වී තිබෙනවා.

අදාළ වෙළදසැලෙහි ගෑස් ලිප සහ ගෑස් සිලින්ඩරය සම්බන්ධ කර තිබූ නළය පුපුරා ගොස් ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, හංවැල්ල දිද්දෙනිය ප්‍රදේශයේ නිවසක සවි කර තිබූ ගෑස් ලිප ද ඊයේ (28) රාත්‍රියේ පුපුරා ගොස් ඇති බවට එහි නිවැසියන් කියා සිටියා.

මීට අමතරව පාදුක්ක – අරුක්වත්ත ප්‍රදේශයේ ආපනශාලාවක ද ගෑස් නළය පුපුරා ගොස් ඇති බවට වාර්තා වුණා ෴

++++++++++

ගෑස් ආශ්‍රිත සිදුවීම් ගැන සොයන්න මොරටුව විශ්වවිද්‍යාලයෙන් විශේෂඥ කණ්ඩායමක්

(29.11.2021 – 17:00 +0530 – hirunews.lk/sinhala)

ගෑස් ආශ්‍රිත සිදුවීම් වාර්තාවීමත් සමඟ, දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අහඹු ලෙස ලබා ගත් ගෑස් සිලින්ඩර්වල අන්තර්ගත ගෑස් සංයුතිය පිළිබඳව රසායනාගාර විසින් නිකුත්වුනු පරීක්ෂණ වාර්තා වැඩිදුර විමර්ශන සඳහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබෙනවා.

එහි රසායනික හා ක්‍රියාවලි අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය ශාන්ත වල්පොළගේ මහතා සදහන් කළේ ඒ පිළිබද විමර්ශනය කිරීම සඳහා විශේෂඥයින් පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර ඇති බවයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රසායනාගාරය සහ තවත් පෞද්ගලික අංශයේ රසායනාගාරයක් වෙත කොළඹ ඇතුළු දිස්ත්‍රික් කිහිපයකින් ලබා ගත් ගෑස් සාම්පල යොමු කෙරුණා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විශේෂඥයින්ගේ මතය ඇතුළත් වාර්තාව ඉදිරියේදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත ලබාදෙන බවයි මහාචාර්ය ශාන්ත වල්පොළගේ මහතා කියා සිටියේ.

මේ අතර, අද (29) දිනයේදීත් ප්‍රදේශ කිහිපයකින් ගෑස් ආශ්‍රිත සිදුවීම් වාර්තා වුණා.

හැටන් – මල්ලිඅප්පු ප්‍රදේශයේ ආපනශාලාවක අද (29) දහවල් ගෑස් ආශ්‍රිත සිදුවීමක් වාර්තා වුණේ ගෑස් ලිප සහ සිලින්ඩරය සම්බන්ධ කර තිබූ නළය පුපුරා යාමෙන්.

එමෙන්ම, ඇඹිලිපිටිය, කඳුරගස්ආර මංසන්ධියේ නිවසක ගෑස් ලිපක් ආශ්‍රිතව පිපිරීමක් වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් නිවෙස් හිමියා ඇඹිලිපිටිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

එමෙන්ම, හංවැල්ල, දිද්දෙනිය, පාදුක්ක – අරුක්වත්ත ප්‍රදේශයේ ආපනශාලාවක ද ගෑස් නළය පුපුරා ගොස් ඇති බවට වාර්තා වුණා.

එමෙන්ම, ඊයේ (28) දිනයේදී කෑගල්ල, පුත්තලම – ආරච්චිකට්ටුව, අහංගම, ජාඇළ ප්‍රදේශවලින්ද මෙවැනිම ගෑස් සම්බන්ධ සිදුවීම් වාර්තාවූ අතර, මීට පෙර නිකවැරටිය, වැලිගම, අලව්ව, රත්නපුර, කොළඹ සහ පන්නිපිටිය ප්‍රදේශවලින් ගෑස් ආශ්‍රිත ගිනිගැනීම් වාර්තාවුණා.

මේ අතර, ගෑස්වල ප්‍රමිතිය පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනයෙන් ද විමසීමක් කළා.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ ගෑස්වල සංයුතිය පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් තමන්ට අවසරයක් මෙතෙක් හිමි වී නොමැති බවයි. හිස් ගෑස් සිලින්ඩරයෙහි පමණක් තත්ත්ව පරීක්ෂා කිරීම සිදුකළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර පොලිස්පතිවරයා විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර කාන්දුවීමෙන්, ගිනි ගැනීමෙන් හෝ පුපුරා යාමෙන් සිදුවන අනතුරු සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයන්ට අදාළව සියළු පොලිස් ස්ථාන වෙත උපදෙස් පත්‍රිකාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අනතුරු සම්බන්ධයෙන් මේ වන විටත් පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර එම විමර්ශනයන් විධිමත් ක්‍රමවේදයන් යටතේ සිදුකළ යුතු බවටයි දැනුම් දී ඇත්තේ.

ඒ පිළිබදව අදාළ ගෑස් සමාගම, නියෝජිත ආයතනය, දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බවට ද එමගින් දන්වා තිබෙනවා.

******************************************

යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමට එරෙහි පෙත්සම් සළකා බැලීම ලබන 16 වනදා

(29.11.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ලබන මස (දෙසැම්බර්) 16 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

අදාළ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (29) කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ පෙත්සම් සලකා බැලීම ලබන මස (දෙසැම්බර්) 16 සහ 17 දිනවල සිදු කිරීමටයි.

විරෝධතා තිබේ නම් ඒවා ලබන මස (දෙසැම්බර්) 06 වනදාට පෙර ගොනු කරන ලෙසයි අධිකරණය නීතිපතිවරයාට නියෝග කළේ ෴

******************************************

අදත් (29) ප්‍රදේශ කිහිපයකට වැසි

(29.11.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

දකුණු පළාතට සහ කළුතර දිස්ත්‍රික්කයට අද (29) තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

සෙසු ප්‍රදේශවලට පස්වරු දෙකෙන් (2) පසු වැසි අපේක්ෂා කරන අතර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්මවූ තරමක තද වැසි බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර වාන් දොරටු විවෘත කර තිබූ ජලාශ 26 ක වාන් දොරටු ක්‍රමානුකූලව වසා දමමින් සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ගංවතුර අවදානමක් පැවති දැදුරුඔයේ ද ජල මට්ටම පහත බසිමින් තිබෙන අතර, ඒ හේතුවෙන් එහි වාන් දොරටුද මේ වනවිට වසා දමමින් සිටින බවයි වාර්තා වන්නේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ පැවති අධික වර්ෂාවත් සමඟ වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල කුඹුරු අක්කර 2,000 ක් පමණ ජලයෙන් යට වී පවතින බවයි.

ඊට අමතරව ජලාශ සහ ගංඟා ආශ්‍රිතව ජීවත්වන ජනතාව ඉදිරි පැය 48 තුළත් අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා සඳහන් කළා.

එසේම පැවති අධික වර්ෂාව නිසා මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පොළොන්නරුව – සෝමාවතිය මාර්ගයේ 35 කණුව අසල ප්‍රදේශය ජලයෙන් යටව පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් සෝමාවතිය රජමහා විහාරයට පැමිණෙන බැතිමතුන්ට වැලිකන්ද – සිංහපුර – කාන්දකාඩු මාර්ගය හරහා විහාරස්ථානයට පිවිසීමට හැකියාව පවතිනවා.

මේ අතර දිස්ත්‍රික්ක 8 ක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළා.

******************************************

රට තුළ විදුලි කප්පාදුවකට ඉඩ නැහැ – විෂයභාර ඇමති

(29.11.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

විදේශ විනිමය අර්බුදය හමුවේ රට තුළ විදුලි කප්පාදුවක් සිදු වීමට ඉඩ කඩක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (29) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින්.

මෙම සංවාදයට කතානායකවරයා මෙන්ම සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මැදිහත් වුණා.

අයවැය කාරක සභා අවස්ථා විවාදය 06 වන දිනටත් අද (29) පැවැත්වෙන අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා ෴

******************************************

වැඩිකළ මිලට පාන් සහ ක්‍ෂණික ආහාර අද (29) සිට

(29.11.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

පාන් සහ ක්ෂණික ආහාර අද (29) සිට වැඩිකළ නව මිලට ඇතැම් වෙළෙඳුන් අලෙවි කරද්දී, තවත් වෙළෙඳුන් පිරිසක් පවතින තිරිඟු පිටි තොග අනුව පැරණි මිලට ඒවා අලෙවි කරමින් සිටින බව වාර්තා වනවා.

රුපියල් 17.50 කින් තිරිඟු පිටි මිල වැඩිකිරිමත් සමග අද (29) සිට ක්‍රියාත්මක වන පරිදි පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමටයි ආපණ ශාලා හිමියන්ගේ සංගමය සහ බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ (28) තීරණය කරනු ලැබුවේ.

මිල වැඩි කිරීම හේතුවෙන් සිය බේකරි නිෂ්පාදන අලෙවිය අද (29) දින පහත ගොස් ඇති බවයි වෙළෙඳුන් පවසන්නේ.

******************************************

දිවයිනට පැමිණෙන ගුවන් සේවා සමාගම් සංඛ්‍යාව ඉහළට

(29.11.2021 – 13:31 +0530 – hirunews.lk/sinhala)

ලබන මාසය වනවිට මෙරටට පැමිණෙනගුවන් සේවා සමාගම් සංඛ්‍යාව 25 දක්වා ඉහළ දැමීමට සංචාරක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඊට මැලේසියාව, රුසියාව, පෝලන්තය සහ ඉතාලිය යන රටවල ගුවන් සේවා සමාගම් කිහිපයක්ද ඇතුළත් ෴

******************************************

යාපනය මුහුදු වෙරළට මළ සිරුරු තුනක් (3) ගොඩගසයි

(29.11.2021 – 14:00 +0530 – hirunews.lk/sinhala)

යාපනය මුහුදු වෙරළට ඊයේ (28) දිනයේ තවත් මළ සිරුරක් (1) ගොඩගසා තිබෙනවා.

පෙරේදා (27) දිනයේ ද යාපනය – වැල්වැටිතුරෙයි සහ පේදුරුතුඩුව මුහුදු වෙරළට මෙලෙස මළ සිරුරු දෙකක් (2) ගොඩගසා තිබුණා.

ඊයේ (28) දිනයේ යාපනය – ඩෙල්ෆ්ට් – ඔට්ටප්පනේ ප්‍රදේශයට ගොඩගසා තිබුණු මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් හෙළි වී නොමැති අතර, එය දැඩි ලෙස නරක් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ධීවරයින් පිරිසක් කළ දැනුම් දීමකට අනුව මෙම මළ සිරුර සොයාගෙන තිබෙනවා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඔමික්‍රොන් මෙරටට ඇතුලුවීම වැළැක්වීමට පියවර ගෙන ඇති බව නාමල් කියයි

(29.11.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදය මෙරටට ඇතුලුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (29) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මෙම විකෘති කොවිඩ් ප්‍රභේදය ලොව පුරා රටවල් 15 කින් මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේ සංචරණ සීමා පැනවීමට වඩා විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවයි.

බී-1-1-529 ලෙස නම් කර ඇති මෙම ඔමික්‍රොන් වයිරස් ප්‍රභේදය මේ දක්වා හඳුනාගෙන ඇති රටවල් වන්නේ දකුණු අප්‍රිකාව, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව, ඉතාලිය, ජර්මනිය, බ්‍රිතාන්‍ය, ඊශ්‍රායලය, හොංකොං, බොට්ස්වානා, බෙල්ජියම, චෙක් ජනරජය, නැමීබියාව සහ මොසැම්බික් රාජ්‍යයයි.

මෙලෙස ආසාදිත වූවන් බහුතරයක් අවුරුදු 40 ට අඩු පුද්ගලයින් වන අතර, එම වයිරස් කාණ්ඩය ආසාදිත වූවෙකු මෙතෙක් මියගොස් නැහැ.

එසේම ඔමික්‍රොන් නව ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්තිය ආරම්භවීමත් සමඟ විදෙස් සංචාරකයින්ට තම රටට ඇතුලුවීම හෙට (30) සිට තහනම් කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ප්‍රකාශ කළා.

පෙර සූදානමක් ලෙස මෙම පියවර ගන්නා බවයි ඔහු සඳහන් කළේ ෴

++++++++++++++++

ඔමික්‍රොන් ගැන WHO අනතුරු ඇඟවීමක්

(29.11.2021 – 15:46 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රොන් නව කොවිඩ්-19 වයිරස් ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්ත වීමට ඉඩ ඇති අතර ඉන් දරුණු ප්‍රතිවිපාක ඇති කළ හැකි ඉතා ඉහළ ගෝලිය අවදානමක් මේ වන විට මතු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මේ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය 194 ක් වන තම සාමාජික රටවලින් ඉල්ලා ඇත්තේ සිය රටවල එන්නත්කරණ ක්‍රියාවලියේ ප්‍රමුඛතා හඳුනාගෙන වේගවත් කරන ලෙසයි.

ඒ අනුව අත්‍යවශ්‍ය කණ්ඩායම් හඳුනාගෙන ඔවුන්ගේ එන්නත්කරණ කටයුතු ද කඩිනමින් සම්පූර්ණ කරන්නැයි එම සංවිධානය ලෝකයේ රටවලින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා ෴

+++++++++++++++++

කොරෝනා ආසාදිතයින් 541 ක්

(29.11.2021 – 18:06 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් කොරෝනා අසාදිත පුද්ගලයින් 541 ක් හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසදිත පුද්ගලයින් ගණන 5,63,061 දක්වා ඉහළ යනු ඇති ෴

මෙරටින් කොරෝනා මරණ 23 ක් අද (29) දින තහවුරු කර තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 14,328 දක්වා ඉහළ යනු ඇති ෴

තවත් කොරෝනා ආසාදිතයින් 204 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,63,267 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *