පාසල් වාර අවසන් කිරීම ගැන අතිවිශේෂ නිවේදනයක්

පාසල් වාර අවසන් කිරීම ගැන අතිවිශේෂ නිවේදනයක්

*********************************************

පාසල් වාර අවසන් කිරීම ගැන අතිවිශේෂ නිවේදනයක්

(27.11.2021 – 16:00 +0530 – hirunews.lk/sinhala)

2021 වර්ෂයට අදාළව පාසල් විභාග පැවැත්වෙන දින හා මෙම වසර සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතිවිශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2021 වර්ෂයට අදාළව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 වසරේ ජනවාරි 22 වැනි දින පැවැත්වීමට දින නියම කර ඇති බව වාර්තා වනවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 වසරේ පෙබරවාරි 07 වැනි දින සිට මාර්තු මස 05 වැනි දින තෙක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ මැයි මස 23 සිට ජුනි මස 01 වැනි දින තෙක්.

පාසල් විවෘත කිරීමෙන් පසු 10 සහ 11 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගතයන් සම්බන්ධ මාර්ගෝපදේශ ලබාදීම පිළිබඳ නිකුත් කර ඇති අංක ED/01/44/01/01-2 හා 2021 නොවැම්බර් මස 09 වැනි දිනැති ලිපිය මෙම නිවේදනය මගින් අවලංගු කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරනවා.

ඒ අනුව උක්ත පාසල් විභාග පැවැත්වෙන ශ්‍රේණිවලට අදාළ විෂය නිර්දේශ ආවරණය සඳහා ප්‍රමාණවත් කාලයක් පවතින බැවින්, එම විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට කටයුතු කළ යුතු බවයි අධ්‍යාපන අමත්‍යාංශය විසින් අදාළ පාසල් ගුරුවරුන්ට අවධාරණය කර සිටින්නේ.

මේ අතර, 2022 වර්ෂය සඳහා නව පාසල් ආරම්භය දිවයිනේ සියලුම පාසල් සඳහා විශේෂ නිවේදනයක් ද මේ සමග අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2021 වසරේ එළැඹෙන නත්තල් සමය වෙනුවෙන් දිවයිනේ සියලුම පාසල් සඳහා නත්තල් නිවාඩු දිනය ලෙස දක්වා ඇත්තේ, 2021 දෙසැම්බර් මස 23 වැනි දිනයි.

නත්තල් නිවාඩුවෙන් පසු යළි පාසල් ඇරඹෙන්නේ, දෙසැම්බර් මස 27 වැනි දිනයි.

2021 උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා 2022 පෙබරවාරි මස 03 වැනි දින සියලුම පාසල් සඳහා නිවාඩු හිමි වන අතර, එහෙත් මෙම උසස් පෙළ විභාග කටයුතු පැවැත්වීමේ දී දිවයිනේ පිහිටි කිසිදු ප්‍රාථමික ශ්‍රේණියක් සඳහා නිවාඩු ලබා නොදීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

2022 මාර්තු මස 07 වැනි දින අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් අනතුරුව පාසල් නැවත ආරම්භ කෙරෙනු ඇති.

එමෙන්ම දිවයිනේ සියලුම සිංහල හා ද්‍රවිඩ පාසල් සඳහා ද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එනම් 2021 වර්ෂය සඳහා සිංහල හා ද්‍රවිඩ පාසල් සඳහා පාසල් වාරය අවසන් කෙරෙනුයේ 2022 අප්‍රේල් මස 08 වැනි දින වන අතර, එහිදී 2022 අප්‍රේල් මස 09 සිට 2022 අප්‍රේල් මස 17 තෙක් නිවාඩු සමය පාසල් දරුවන් හට හිමිවනවා.

2022 වර්ෂයේ සිංහල හා ද්‍රවිඩ පාසල් සඳහා නව පාසල් වාරය ඇරඹෙන්නේ 2022 අප්‍රේල් මස 18 දින බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

දිවයිනේ පිහිටි සියලුම මුස්ලිම් පාසල්වල 2021 වර්ෂයට අදාළව පාසල් වාරයන් අවසන් කිරීම 2022 අප්‍රේල් මස 01 වනි දින සිදු කෙරෙන අතර, 2022 අප්‍රේල් 02 සිට මැයි මස 03 තෙක් එම පාසල් සඳහා හිමි රාමසාන් උත්සවයට නිවාඩු ලැබෙනු ඇති.

2022 වර්ෂය සඳහා මුස්ලිම් පාසල් සඳහා නව පාසල් වාරය ඇරඹෙන්නේ, 2022 මැයි 04 දින බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙහිදී 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසු සිසුවියන්ගේ අධ්‍යයන වර්ෂය 2022 අප්‍රේල් මස 18 දිනෙන් අවසන් වීමට ද නියමිතයි.

එසේ වුව ද එම දරුවන් සඳහා සම්මන්ත්‍රණ හෝ වෙනත් විකල්ප ක්‍රම මගින් වැඩිදුර විෂය කරුණු ඉගැන්වීම හෝ පුනරීක්ෂණ පැවැත්වීම සඳහා කටයුතු කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය පාසල්වල විදුහල්පතිවරු ප්‍රමුඛ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

2022 වර්ෂයේ පාසල් වාර සටහන ඉදිරියේදී නිකුත් කෙරෙන අතර, මෙම දිනවකවානු පිළිබඳ පැන නගින ඕනෑම ගැටලුවක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ තීරණය අවසන් තීරණය වන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අතිවිශේෂ නිවේදනය : [පිටුව 1][පිටුව 2]

******************************************

වෛද්‍ය නිලධාරි සංගමයේ විවේචන පිළිබඳ මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ප්‍රකාශයක්

(27.11.2021 – 13:54 +0530 – hirunews.lk/sinhala)

හෙද නිලධාරීන් සඳහා ඉදිරි අයවැයෙන් ලබාදීමට යෝජිත රුපියල් 10,000 දීමනාවට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදු කරන විවේචන හෙළාදකින බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ, කොළඹ දී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

******************************************

ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දීම ප්‍රතිඵලදායකයි – ගම්මන්පිල

(27.11.2021 – 14:06 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේ (2022) පෙබරවාරි මාසය දක්වා හිඟයකින් තොරව මහජනතාවට ඉන්ධන ලබාදිය හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් පවතින බවයි හිරු ප්‍රවෘත්ති සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේ.

******************************************

තහනම් වල් නාශක තොගයක් සමග දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(27.11.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala)

තහනම් වල් නාශක ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) අනුරාධපුර – තලාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෑන් රථයකින් එම වල් නාශක ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අනුරාධපුර කඳවුරේ නිලධාරින් සහ ගුවන් හමුදා බුද්ධි ඒකකයේ නිලධාරින් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පැල්මඩුල්ල හා අවිස්සාවේල්ල යන ප්‍රදේශවල පදිංචි 35 සහ 43 හැවිරිදි වයස් වල පසුවන්නන්.

මොවුන් සන්තකයේ තිබූ තහනම් වල් නාශක පැකට් 980 ක් සහ ලීටර් හතරේ (4) වල් නාශක කෑන් 24 ක් මෙහිදී සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළා ෴

******************************************

මෙරටට ආයෝජන ගලා ඒමට නාගරික සංවර්ධන අධිකාරියෙන් නව සැලසුම්

(27.11.2021 – 14:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා වෙනුවෙන් විදෙස් ආයෝජකයන් ශ්‍රී ලංකාවට යොමු කරවීම සඳහා රට තුළ ඇති ආයෝජන අවස්ථා පුළුල් කළ හැකි ආකාරය පිළිබඳව සොයා බැලීමේ විධිමත් ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ඇරඹීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කර තිබෙනවා.

පසුගිය 25 වන දින නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම අනුව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ ආයෝජන සංසදය 2021’ සාකච්ඡාමය වැඩසටහනේදීයි, මෙම තොරතුරු අනාවරණය කෙරුණේ.

ඇමෙරිකානු ඩොලර් බිලියන 5.26 ක ඍජු විදේශ ආයෝජනයක් ඉලක්ක කරගනිමින් 2021 – 2023 වසරවල් සඳහා මෙම නව සැලසුම් සකස් කර ඇති අතර, ඒ රට තුළ දැනට ක්‍රියාත්මක වන හඳුනාගත් ව්‍යාපෘති 45 ක් මූලික කර ගනිමින්.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉහත ව්‍යාපෘති හඳුනාගෙන ඇති අතර, එම ව්‍යාපෘති මිශ්‍ර සංවර්ධනය, නේවාසික කුළුණු සංවර්ධනය, ආගන්තුක සත්කාර , විවේක සංවර්ධනය, කාර්යාල කුළුණු සංවර්ධනය, ලොජිස්ටික් හබ් සංවර්ධනය සහ බහුමහල් රථගාල් සංවර්ධනය යන කාණ්ඩ යටතේ වර්ග කර තිබෙනවා.

රට තුළ සෑම පෙදෙසකටම ව්‍යාප්ත වී පවතින මෙම ව්‍යාපෘති විදෙස් ආයෝජන අවස්ථා කෙරෙහි සැලකිය යුතු තත්ත්වයක බලපෑමක් ඇති කරනු ඇති බවටයි නාගරික සංවර්ධන අමාත්‍යාංශය සිය විශ්වාසය පළ කරන්නේ.

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික් සීමාව තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 4.2 කින් ආයෝජනය කෙරෙන ව්‍යාපෘතියක්.

නේවාසික කුළුණු සංවර්ධනය නාගරික සංවර්ධන අධිකාරියේ ආයෝජනයෙන් ක්‍රියාත්මක වන අතර, එහි සමස්ත ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 346 ක් වන අතර, ඇමෙරිකානු ඩොලර් මිලියන 424 ක ආයෝජනයක් මත ක්‍රියාත්මක කෙරෙන ආගන්තුක සත්කාරයන් සහ විවේක සංවර්ධනය ද දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන නව ව්‍යාපෘතියක් වන බවයි අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

නාගරික සංවර්ධන අධිකාරියෙන් තවත් ආයෝජනයක් වන ඇමෙරිකානු ඩොලර් මිලියන 65 කින් නිම කෙරෙන කාර්යාල කුළුණු සංවර්ධනය ද මේ යටතේ ඇති තවත් ආයෝජන සැලසුමක්.

මෙම සැලසුම් අනුව ආයෝජන ශ්‍රී ලංකාවට ගලා ඒමටත්, ආයෝජකයන්ගේ පැමිණීමක් සිදුවන හෙයින් අත්‍යවශ්‍ය සියලු පද්ධති සහ පහසුකම් දිවයින වටා ඇති වරායන්, වනාන්තර, ගුවන් තොටුපලවල්, කොළඹ නගරයේ මාර්ග සංවර්ධනයත් සම්පූර්ණයෙන් වැඩිදියුණු කිරීම ද මෙහිදී සිදුවනවා.

මෙම අවස්ථාව සඳහා නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසක් එක්ව සිටියා ෴

******************************************

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16 කට සායනික මහාචාර්ය පදවි

(27.11.2021 – 15:17 +0530 – hirunews.lk/sinhala)

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16 දෙනෙකුට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සායනික මහාචාර්ය පදවි පිරිනමා තිබෙනවා.

ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේදී ඊයේ (26) පැවති ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 54 වැනි වාර්ෂික සමුළුවේදීයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් වන මහාචාර්ය ඩබ්ලිව්.අයි. අමරසිංහ, එරන්දි සමරකෝන්, එම්. සදානන්දන්, එස්.එල්.එෆ්. අක්බාර්, එස්.කේ. රණරාජා, සනත් ලැන්රොල්, එස්.බී. ඒකනායක, ගෞරි සෙන්තිල්නාදන් යන මහත්මමහත්මීන් එහිදී සායනික මහාචාර්ය පදවි ලබා තිබෙනවා.

එම පදවිය ලද සෙසු විශේෂඥ වෛද්‍යවරුන් වන්නේ එස්. ශිවසුමිත්‍රන්, රාජි සීතාම්බපිල්ලේ, දර්ශන ද සිල්වා, එම්.එන්. ජිෆ්රි, ටී. කටොට්ගජන්, ක්‍රිෂාන් සිල්වා, නිශේන්ද්‍ර කරුණාරත්න සහ එච්.එම්.ජේ.එම්. හේරත් යන මහත්මමහත්මීන් ෴

******************************************

දහම් පාසල් ආරම්භය හෙට (28) සිට

(27.11.2021 – 17:10 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව හෙට (28) සිට දහම් පාසල් යළි විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය ඉරිදා දහම් පාසල් පරිශ්‍ර ඒ වෙනුවෙන් පිරිසිදු කරන ලෙස ද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දී තිබුණා.

එසේම, දහම් පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දෙමව්පියන් සහ අනෙකුත් අදාල පාර්ශව සමඟ සාකච්ඡා කර සුදුසු වැඩපිලිවෙලක් සකස් කර ගන්නා ලෙස දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවල ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා වෙත ද උපදෙස් ලබාදී ඇති බව සඳහන් ෴

******************************************

පාඩු ලබන රාජ්‍ය ආයතන 32 ක් ගැන හෙළි වේ

(27.11.2021 – 18:52 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ බරපතළ ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතන සංඛ්‍යාව 32 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා.

මෙම ආයතනවලින් බහුතයක් පාඩු ලැබීමට හේතුවී ඇත්තේ එම ආයන වලට සිදුවූයේ යැයි කියන දූෂණ අක්‍රමිකතා සහ කාර්යසාධනයේ අඩුපාඩු බව විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මින් වැඩිම පාඩු ලබන රාජ්‍ය ආයතන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය හඳුනාගෙන තිබෙන අතර, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නිතිගත සංස්ථාව සහ ලංකා සතොස යන ආයතන ද බරපතළ ලෙස පාඩු ලබන ආයතන අතර ඇති බව සඳහන් ෴

******************************************

ගෑස් ගැන වාර්තාවක් මොරටුව සරසවියට – තවත් දිස්ත්‍රික්ක 7 කින් සාම්පල

(27.11.2021 – 19:11 +0530 – hirunews.lk/sinhala)

ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් වාර්තාවීමත් සමග සිලින්ඩරවල ප්‍රමිතිය හා සංයුතිය පරීක්ෂා කිරීමට තවත් දිස්ත්‍රික්ක 7 කින් හෙට (28) සාම්පල් ලබා ගෙන ප්‍රමිති ආයතනය වෙත යොමුකරන බව පාරිභෝගික කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

අද (27) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සංයුතිය පරීක්ෂා කිරීම සඳහා ඛනිජ තෙල් සංස්ථාවට යොමුකළ ගෑස් සාම්පල් දෙකෙන් (2) එකක් (1) පිළිබඳ වාර්තාව මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනාගාර විද්‍යා අංශ ප්‍රධානියා වෙත යොමුකළ බවයි.

මේ අතර, ගත වූ දින කිහිපය තුල ගෑස් කාන්දු ආශ්‍රිතව ඇති වු ගිනි ගැනීම් සිද්ධීන් රත්නපුර, අලව්ව, වැලිගම, පන්නිපිටිය සහ කොළඹ තුරග තරග පිටිය අසල අවන්හලකින් වාර්තා වීමත් සමග සිලින්ඩරවල අන්තර්ගත සංයුතිය සම්බන්ධයෙන් සමාජය තුල වැඩි කතාබහක් ඇතිවුණා.

පාරිභෝගික ජනතාව ද මේ වනවිට පසුවන්නේ ඒ පිළිබඳව යම් සැකයකින් සහ බියකින්.

ජනතාව තුල පවතින මෙම ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය ඊයේ(26) පියවර ගත්තේ කොළඹ ප්‍රදේශයේ වෙළඳපොලේ අලෙවියට තිබූ ගෑස් සිලින්ඩර සාම්පල් රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි.

මේ අතර, රාජ්‍ය අමාත්‍යවරයා අද (27) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ගෑස් ටැංකි පුපුරා යාමක් සිදුව නොමැති බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ අනෙකුත් ආයතනවල මතය අනුව සඳහන් කළ හැකි බවයි.

******************************************

ඉන්ධන මිල ස්ථායිකරණය ප්‍රායෝගික නැහැ – ඛනිජ තෙල් වෘත්තීය සමිති

(27.11.2021 – 19:22 +0530 – hirunews.lk/sinhala)

පවතින ණය බර අනුව ඉන්ධන සඳහා මිල ස්ථායිකරන අරමුදලක් ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගික හැකියාවක් නොමැති බව ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මේ බව ප්‍රකාශ කළේ, ඉන්ධන මිල සූත්‍රය යළි ක්‍රියාත්මක කිරීම වාසි දායක බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ(26) දින සිදු කල ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින්.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකදී ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත කියා සිටියේ, නැවත රට තුල මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට එකගතාවයක් පල නොකරන බවයි.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදයේ අවදානම නිසා ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් තරගය අවලංගු කරයි

(27.11.2021 – 15:08 +0530 – hirunews.lk/sinhala)

දකුණු අප්‍රිකානු කලාපයේ පැතිර යන නව කොරෝනා ප්‍රභේදය වන ඔමික්‍රොන් ආසාදනය වීමේ අවදානම හේතුවෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

අද (27) හරාරේ නුවරදී ආරම්භ වීමට නියමිතව තිබු ශ්‍රී ලංකා, බටහිර ඉන්දීය කොදෙව් තරගය අවලංගු කිරීමෙන් පසුව තරගාවලිය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා පැවති සාකච්ඡාවේදී එම තීරණයට එළඹ ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.

කෙසේ නමුත්, තායිලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර තරගය මෙන්ම, පාකිස්ථානය සහ සිම්බාබ්වේ අතර තරගය අද (27) නියමිත පරිදි පවත්වා තිබෙනවා.

කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සියල්ල තවදුරටත් සිම්බාබ්වේ රාජ්‍යයේ රැඳී සිටින අතර, තරග සංචාරය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් තුන් දෙනෙකු ද කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැණුනා ෴

+++++++++++++++

නතර කළ ගුවන්තොටුපල ක්ෂණික පී.සී.ආර්. කරන ලෙස ඉල්ලීමක්

(27.11.2021 – 19:00 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ප්‍රභේදය මෙරටට ඇතුළු වීම වැළැක්වීම සඳහා මේ වනවිට නවතා දමා ඇති ගුවන්තොටුපල පරිශ්‍රයේ ක්ෂණික පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේ ක්‍රියාවලිය යළි කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළා. ඒ කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකදීයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *