හම්බන්තොට සිමෙන්ති කර්මාන්තශාලාවක ඉන්දීය ජාතිකයින් 43 කට කොරෝනා

හම්බන්තොට සිමෙන්ති කර්මාන්තශාලාවක ඉන්දීය ජාතිකයින් 43 කට කොරෝනා

*********************************************

හම්බන්තොට සිමෙන්ති කර්මාන්තශාලාවක ඉන්දීය ජාතිකයින් 43 කට කොරෝනා

(18.11.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට ආයෝජන කලාපයේ ඉදිකරගෙන යනු ලබන සිමෙන්ති කර්මාන්තශාලාවක සේවය කරන ඉන්දියානු ජාතිකයින් 43 කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එහි සේවකයින් 50 දෙනෙකුට සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලදී ආසාදිතයින් 43 දෙනෙකු හමු වී ඇති අතර, ඔවුන් හම්බන්තොට මහරෝහලට යොමු කළ බවයි දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා සඳහන් කළේ.

මෙම කර්මාන්තශාලාවේ ශ්‍රී ලාංකිකයින් 780 දෙනෙකු සහ ඉන්දීය ජාතිකයින් 480 දෙනෙකු සේවය කරනවා.

+++++++++++++++++++++++++

ආසාදිතයින් 372 ක් පූර්ණ සුවය ලබයි

(18.11.2021 – 14:47 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් 372 දෙනෙකු අද (18) දිනයේදීත් පූර්ණ සුවය ලබා තිබෙනවා. ඒ සමග මෙරටින් වයිරසය ආසාදිතව සුවය ලද මුළු පුද්ගලයින් සංඛ්‍යාව 5,25,560 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.

එමෙන්ම මේ වනවිටත් වයිරසය ආසාදිතව රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 14,105 ක්.

සිදුව ඇති මුළු මරණ සංඛ්‍යාව ද 14,057 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

කොරෝනා වයිරසය ආසාදිතව තවත් පුද්ගලයින් 15 දෙනෙකු අද (18) දිනයේදීත් ජීවිතක්ෂයට පත්ව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,072 ක් දක්වා ඉහළ යනු ඇති ෴

කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 518 දෙනෙකු අද (18) දිනයේදීත් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ සමග මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5,54,240 ක් දක්වා ඉහළ ගොස් ඇත ෴

තවත් කොරෝනා ආසාදිතයින් 219 දෙනෙකු අද (18) දිනයට හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මේ වනවිට අද (18) දිනට පමණක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 737ක්. ඒ සමග මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,54,459 ක් දක්වා ඉහළ යනු ඇති ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

මහනුවර දන්ත ධාතුන්වහන්සේ – දළදා මාලිගාව – සඳහිරු සෑය – රුවන්වැලි සෑය – මහනුවර ප්‍රදේශයේ නිවෙස්වල වැඩසිටි සර්වඥ ධාතුන්වහන්සේලා ගැන – 18.11.2021 දින සිට දින 21 ක් ඇතුලත දෙවියන් විසින් සිදුවන විශ්මිත සිදුවීම් ගැන ඇතුගල්පුර ලසිත මහතා ගෙන් අනාවැකියක් !

+++++++

දළදා මාලිගාවේ ඉඩම් කොල්ලය – විකුණලා සල්ලිත් බහිරවයෝ ගිලලා (14.10.2021)

******************************************

මත්පෙති විකුණු ඖෂධ අලෙවිකරුට වැඩ වරදියි

(18.11.2021 – 18:16 +0530 – hirunews.lk/sinhala)

හබරාදුව නගරයේ ආයුර්වේද ඖෂධ අලෙවි කරන වෙළෙඳසැලක නීතිවිරෝධී ලෙස අලෙවි කිරිමට සුදානම් කර තිබූ, මත්පෙති පැකට් දහසකට (1000) අධික ප්‍රමාණයක් වෙළෙඳසැල් හිමිකරු සමග අද (18) පස්වරුවේ හබරාදූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරාදුව කටුකුරුන්ද පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්.

දක්ෂිණ නාවික හමුදා කඳවුරේ බුද්ධි නිලධාරින්ට ලද තොරතුරක් අනුව මෙම වැටලිම සිදුකර ඇති අතර, සැකකරු හෙට (19) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

ප්‍රවීණ නළු කමල් අද්දරාරච්චිගෙන් කාරුණික ආයාචනයක් !

(18.11.2021 – 19:38 +0530 – hirunews.lk/sinhala)

මෙරට ප්‍රවීණ රංගන ශිල්පි කමල් අද්දරාරච්චි මහතා විසින් සිය සහෘද ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

සිය මුහුණුපොත හරහා සටහනක් තබමින් ඔහු කියා ඇත්තේ, තම නිවසේ සුරතලට ඇති කරන සුනඛ සුරතලා අතුරුදන් වී ඇති බවයි.

මෙම සත්ත්වයා ඊයේ (17) සවස තුනට (03:00) පමණ සිය නිවස පිහිටා ඇති පිටකෝට්ටේ – බැද්දගාන ප්‍රදේශයෙන් නිදැල්ලේ පිටව ගොස් ඇති අතර, ඉන්පසු තම සුරතල් සුනඛයා යළි නිවසට නොආ බව ද හෙතෙම තැබූ සටහනේ ඇතුළත්.

තමන් මෙන්ම පවුලේ පිරිස ද එම සත්ත්වයාට ආමන්ත්‍රණය කරනුයේ, ‘ටෙරී’ යන නමින් වන අතර, මෙම සුරතල් සුනඛයා ඉතාමත් හීලෑ වූ, කා සමග වුවත් මිත්‍රශීලී වන, හොඳින් වැඩුණු ලා දුඹුරු පැහැති සමක් සහිත ලැබ්‍රොඩෝර් වර්ගයේ සත්ත්වයෙකු බව හෙතෙම පවසනවා.

මේ වනවිට වයස අවුරුදු 4 ක් පමණ වන මෙම සත්ත්වයාව සුරතලයට හදාවඩාගන්නා හෙයින් කිසිදිනෙක කූඩු කර ඇති නොකල බවයි ඔහු ඉතාමත් සංවේදීව කියා සිටින්නේ.

තම සුරතලා මේ වනවිටත් කවුරුන් හෝ සන්තකයේ රඳවා ගෙන ඇත්නම්, කමල් අද්දරාරච්චි මහතා සිය සුරතලා වෙනුවෙන් ඔහුගෙන් හෝ ඇයගෙන් කාරුණික ඉල්ලීමක් ද කරනවා.

‘ටෙරී නමැති තම සුරතලාව කිසිදිනෙක කූඩු කර හදාවඩා නොගන්න; නිසි වේලාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න’ ඒ ඔහුගේ කාරුණික ඉල්ලීමයි.

කෙසේවෙතත්, තම සුරතල් සුනඛයා ගැන යම්කිසි තොරතුරක් වේ නම්, හැකි ඉක්මනින් තමා වෙත දුරකතන ඇමතුමක් ලබාදීමට කාරුණික වන ලෙසයි ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරාරච්චි මහතා සිය මුහුණුපොත හරහා තැබූ සංවේදී සටහනේ සඳහන් කර ඇත්තේ.

තම ‘ටෙරී’ ගැන යම් තොරතුරක් වෙතොත්, 076 776 5614 යන දුරකතන අංකය වෙත අමතා දැනුම්දෙන ලෙස ද හෙතෙම කාරුණිකව ආයාචනය කර සිටිනවා ෴

පසුගිය දිනයේ දී රංගන ශිල්පී කමල් අද්දරාරච්චි සිය ‘ටෙරී’ නමැති සුරතල් බල්ලා නැති වී ඇති බව සමාජ මාධ්‍යයට පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියා.

අද දින (19) එම අතරමං වූ සුරතල් බල්ලා සොයාගෙන තිබෙනවා ෴

******************************************

ආණ්ඩුව සමග ඩීල් නැතැයි බදියුදීන් කියයි

(18.11.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවත් සමඟ තමන්ට කිසිදු ඩීල් එකක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසනවා.

අකුරණ ප්‍රදේශයේ අද (18) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.

******************************************

ගෑස් නැවක් කොළඹට ළගා වේ – පෙට්‍රල් නැව රාත්‍රියේ – ඩීසල් නැවක් හෙට (19)

(18.11.2021 – 20:19 +0530 – hirunews.lk/sinhala)

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000 ක් රැගත් නෞකාවක් සහ ගෑස් මෙට්‍රික් ටොන් 2500 ක් රැගත් නෞකාවක් අද (18) කොළඹට ළගා වුණා.

කෙසේ වෙතත්, අදත් (18) රට පුරා පිරවුම්හල් අසල ඉන්ධන සහ ගෑස් ලබා ගැනීම සඳහා ජනතාව, පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා.

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් ද පෙරේදා (16) දිනයේ ද මෙරටට ළගා වු අතර, තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් හෙට (19) මෙරටට ළගා වීමට නියමිතයි.

මේ අතර, ගෑස් මෙට්‍රික් ටොන් 2500 ක් රැගත් නෞකාවක් ද අද (18) දිවයිනට ළගා වුණා ෴

******************************************

වසර 3 කට පසු වැඩිම එළවළු මිල දැන්

(18.11.2021 – 20:24 +0530 – hirunews.lk/sinhala)

2018 වසරෙන් පසු ඇතැම් එලවළු වර්ගවල වැඩිම මිල දැන් වාර්තා වන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසනවා.

පවතින වර්ෂාපතනය මෙන්ම, දිලීර නාශක හිඟය ද මිල ඉහළ යාමට හේතුවක් වී ඇති බව එහි ආහාර පද්ධති සහ අලෙවි පර්යේෂණ අංශයේ අංශ ප්‍රධානී නාලක විජේසූරිය මහතා සඳහන් කළා.

මේ වනවිට බෝංචි, තක්කාලි, මාළු මිරිස් කිලෝවක් රුපියල් 400 ත් 500 ත් අතර මිලකට මිලකට අලෙවි වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එහෙත් බීට්රූට්, වට්ටක්කා, පිපිඤ්ඤා, පතෝල සහ බණ්ඩක්කා වැනි එළවළු වර්ගවල මිල පහළ අගයක් ගෙන තිබෙනවා.

******************************************

සේවා අංශයේ වර්ධනයක්

(18.11.2021 – 20:26 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මාසයේදී මෙරට සේවා අංශය තවදුරටත් වර්ධනය වී ඇති බව මහබැංකු වාර්තා පෙන්වා දෙනවා.

මූල්‍ය සේවා, ප්‍රවාහන, අධ්‍යාපන, රක්ෂණ, වෘත්තීය සේවා, දේපල වෙළඳාම් සහ විදුලි සංදේශ යන අංශවල මෙහිදී පැහැදිලි වර්ධනයක් සිදුව ඇති බව සඳහන් ෴

******************************************

කොවිඩ් මෙරටට අහිමි කළ ආදායම් බදු මුදල ගැන හෙළිදරව්වක් !

(18.11.2021 – 21:51 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරටට රුපියල් බිලියන 100 ක පමණ ආදායම් බදු මුදලක් අහිමි වූ බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්.එම්.ඩබ්ලිව්.සී. බණ්ඩාර මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ 2019 වසරේ අගභාගයේදී සිදු කළ බදු සංශෝධනය ද මෙරට රාජ්‍ය ආදායම අඩු කිරීමට සැලකිය යුතු බලපෑමක් එල්ල කළ බවයි.

******************************************

සිර මැදිරියේදී මියගිය පුද්ගලයාගේ සිරුර භාරගැනීම බිරිඳ ප්‍රතික්ෂේප කරයි

(18.11.2021 – 23:11 +0530 – hirunews.lk/sinhala)

පවුල් ආරවුල් පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෙන සිටියදී, පනාමුර පොලිසියේ සිර මැදිරිය තුළ දී මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, ඔහුගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.

එමෙන්ම අදාළ පුද්ගලයාගේ සිරුර භාර ගැනීම ද බිරිඳ විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ, අදාළ සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයෙකු වන අතර, ඔහු මීට පෙර ද අවස්ථා දෙකකදී පවුල් ආරවුල් හේතුවෙන් සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති බවයි ෴

******************************************

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර ව්‍යාජ ලෙස යළි මුද්‍රණය කිරීමේ ජාවාරමක්

(19.11.2021 – 07:16 +0530 – hirunews.lk/sinhala)

රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වන ලිඛිත පරීක්ෂණය ඉදිරියේදී විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවත්වන විභාගය අඛණ්ඩව පවත්වාගෙන යන අතරතුර ඊට අමතරව, වසරකට වරක් දිවයින පුරා විභාග මධ්‍යස්ථානවලදී පොදු ලිඛිත පරීක්ෂණයක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන සේවාලාභීන්ගේ පහසුව සඳහා එවැනි පොදු විභාගයක් පැවැත්වීමට තීරණය කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් සඳහන් කළා.

වයස අවුරුදු 17 සම්පූර්ණ වූ ඕනෑ ම අයෙකුට එම විභාගය සඳහා පෙනී සිටිය හැකි අතර, රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව හිමිවන්නේ අවුරුදු 18 සම්පූර්ණ වූ පසුව බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කර අලෙවි කළ සැකකරුවන් 03 දෙනෙකු කොළඹ – ආදුරුප්පුවීදිය, වත්තල සහ දෙහිවල ප්‍රදේශවලදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර ලබාගෙන පසුව ඒවායේ තොරතුරු මකා ව්‍යාජ රියදුරු බලපත්‍ර ඉල්ලුම් කරන පුද්ගලයින්ට අලෙවි කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නීතිවිරෝධීව එක් කාඩ්පතක් ලබාගෙන ඇත්තේ රුපියල් 1500 ක මුදලකටයි.

සකස් කරන ව්‍යාජ රියදුරු බලපත්‍ර රුපියල් 13,000කට අලෙවි කර ඇති බව සඳහන්.

සැකකරුවන් සතුව තිබී කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර 361ක් ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර 50ක් ඇතුළු උපකරණ රැසක්ද පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළා.

******************************************

ඩෙංගු රෝගය යළි ඉහළ යෑමේ අවදානමක්

(19.11.2021 – 07:18 +0530 – hirunews.lk/sinhala)

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු උණ වැළඳී නේවාසික ව ප්‍රතිකාර ලබන දරුවන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසනවා.

ඔහු කියා සිටියේ, මේ වනවිට ඩෙංගු උණ වැළඳුණු ළමයින් 24 දෙනෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ තවදුරටත් ඩෙංගු රෝගීන්ගේ ඉහළ යා හැකි බැවින් රෝග ලක්ෂණ පෙන්නුම් කළ වහා ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා ඉල්ලීමක් කරනවා.

මේ අතර, මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 16,174 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

ඉන් රෝගීන් 47.4% ක් ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *