පොලිස්පතිගේ නියෝග, අධිකරණ නියෝග ද අභිබවා යෑමක් – සජබේ මහලේකම් කියයි

පොලිස්පතිගේ නියෝග, අධිකරණ නියෝග ද අභිබවා යෑමක් – සජබේ මහලේකම් කියයි

*********************************************

පොලිස්පතිගේ නියෝග, අධිකරණ නියෝග ද අභිබවා යෑමක් – සජබේ මහලේකම් කියයි

(16.11.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගය අද (16) පස්වරුවේ කොළඹ දී පැවැත්වීමට සංවිධානය කළ, විරෝධතාව පිළිබඳව පොලිස්පතිවරයා විසින් පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරු, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත යොමු කර ඇති නියෝග සම්බන්ධයෙන් තම පක්ෂය අවධානය දැඩිව යොමු කර ඇති බව පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස්වලට මුවා වී පොලිස්පතිවරයා නිකුත් කොට ඇති උපදෙස් ආණ්ඩුවේ දේශපාලනික අවශ්‍යතාව මත සිදු කර ඇති බවයි.

පොලිස්පතිවරයාගේ නියෝග ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික කොට ඇති භාෂණයේ නිදහස හා රැස්වීමේ නිදහස පිළිබඳ වූ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ වනවිට අධිකරණ ගණනාවකින් මෙම උද්ඝෝෂණය සඳහා පොලීසිය ඉල්ලා සිටි වාරණ නියෝග ප්‍රතික්ෂේප කර ඇති මොහොතේ පොලිස්පතිවරයාගේ නියෝග අධිකරණ නියෝග ද අභිබවා යෑමක් බව ද මහලේකම්වරයා පෙන්වා දෙනවා.

වසංගත මර්දනයට නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබියදී පවා පොලිස් කොට්ඨාස මට්ටමින් මාර්ග බාධක පැනවීමට උපදෙස් නොදුන් පොලිස්පතිවරයා මේ මොහොතේ එවැනි නියෝහගයක් පැනවීම හුදෙක් දේශපාලනික අවශ්‍යතාවක් මත සිදු කරන්නක් බවයි පෙන්වා දෙන්නේ.

එමෙන්ම වාහනවල ගමන් ගන්නා පුද්ගල නාමලේඛන සැකසීම, ඡායාරූප ගැනීම ආදී පුද්ගල පෞද්ගලිකත්වය පවා අභියෝගයට ලක් කිරීමට පොලීසියට නියෝග දීම මෙන්ම අදාළ නියෝග අනුව පියවර ගන්නා නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද තම පක්ෂය වන සමගි ජන බලවේගය ඉදිරියේදී කටයුතු කරන බව එම පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

+++++++++++++

සමගි ජනබලවේගයේ විරෝධතාව හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්

(16.11.2021 – 14:32 +0530 – hirunews.lk/sinhala)

ජීවන වියදම ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් සමගි ජනබලවේගය සංවිධාන කර ඇති විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් කොළඹ මාකස් ප්‍රනාන්දු මාවත, නෙළුම් පොකුණ සහ කොල්ලුපිටිය අවට ඇතුළු මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා.

හිරු වාර්තාකරුවන් සඳහන් කලේ මීට ටික වේලාවකට පෙර විපක්ෂ නායක කාර්යාලය අසලින් එම විරෝධතාව ආරම්භ වූ බවයි.

කෙසේ වෙතත්, මෙම විරෝධතා තහනම් කරන්නැයි ඉල්ලා පොලීසිය අධිකරණ කිහිපයකින් නියෝග ඉල්ලා සිටි අතර, බොහෝ අධිකරණ එම ඉල්ලීම් ඊයේ (15) ප්‍රතික්ෂේප කළ අතර, ඇතැම් අධිකරණ පොලිසිය කරනු ලැබූ ඉල්ලීම පිළිගෙන විරෝධතා පැවැත්වීම තහනම් කර තිබුණා.

මේ අතර, සමගි ජන බලවේගය කොළඹදී ආරම්භ කර ඇති විරෝධතාවය පාලනය කිරීම සඳහා සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ පොලීසියේ රාජකාරියට බාධා කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි ෴

+++++++++++++++

ආණ්ඩුවට එරෙහි සමගි ජන බලවේගයේ විරෝධය

(16.11.2021 – 18:39 +0530 – hirunews.lk/sinhala)

ජීවන වියදම ඉහළයාම ඇතුලු කරුණු කිහිපයක් මුල්කරගනිමින් සමගි ජන බලවේගය අද (16) සංවිධාන කර තිබූ විරෝධතා පාගමන පස්වරු 3 ට පමණ ආරම්භ කෙරුණේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලය අසලින්.

පසුව පාගමනින් පැමිණි විරෝධතාකරුවන් කොල්ලුපිටිය මංසන්ධිය ඔස්සේ පැමිණ ගාලුමුවදොර ක්‍රිඩාංගණය දෙසට ගමන් කළා.

විරෝධතා පාගමන පැවැත්වෙන අතරතුර කොළඹ කොල්ලුපිටිය ආශ්‍රිත මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක්ද හටගෙන තිබුණා.

මේ අතර දිවයිනපුරා පොලිස් ස්ථාන මගින් අද (16) උදාසන සිට විශේෂ මාර්ග බාධක යොදා බස්රථ පරික්ෂාකිරීමට පියවර ගෙන තිබුණා.

මේ අතර සමගි ජන බලවේගයේ ආධාරකරුවන් විරෝධතාවට සහභාගීවීම සදහා කොළඹ බලා පැමිණි බස්රථ ආපසු හරවා යැවීමට පොලිසිය අද (16) උදෑසන සිට කටයුතු කළා.

ඒ දිවයිනේ සියලුම පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ මාර්ග බාධකද යොදා ගනිමින්.

කොළඹ බලා පැමිණීමට නොහැකිවූ සමගි ජන බලවේගයේ ආධාරකරුවන් දිවයිනේ ප්‍රදේශ රැසක කාණ්ඩායම් වශයෙන් විරෝධතාවල නිරතවූ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ ෴

++++++++++++++++

සමගි ජනබලවේගයේ විරෝධතාව ගාලු මුවදොරින් නවතී

(16.11.2021 – 19:28 +0530 – hirunews.lk/sinhala)

ජීවන වියදම ඉහළ යාම ඇතුලු ගැටලු කිහිපයක් මුල් කර ගෙන සමගි ජන බලවේගය සංවිධානය කල විරෝධතා පාගමන අද (16) කොළඹදී පැවැත්වුනා.

ඒ එම පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

ප්‍රධාන විරෝධතා පාගමනට අමතරව දිවයිනේ ප්‍රදේශ කිහිපයක ද ඔවුන් උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා.

මීට පෙර විරෝධතා රැලිය හයිඩ්පිටියේ දි පැවැත්වෙන බව සමගි ජනබලවේගය ප්‍රකාශ කළ අතර එවැනි තත්ත්වයක් තුල පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ කොළඹදී විරෝධතාව පැවැත්වීම වලක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එහිදී ඇතැම් අධිකරණ විරෝධතා වළක්වමින් ද කොළඹ අංක 5 මහේස්ත්‍රාක් අධිකරණය ඇතුළු තවත් අධිකරණ කිහිපයක් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එම විරෝධතාවය පැවැත්වීමට අවසර ලබාදෙමින් ද නියෝගයන් නිකුත් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන්කලේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පැමිණිල්ලක් මත අදාළ විරෝධතාවය පාලනය කරන ලෙසට සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දුන් බවයි.

මේ අතර, විවිධ ප්‍රදේශ වල සිට බස් රථ වලට විරෝධතාකරුවන් නංවාගෙන ඒමේදී සංවිධායකයන් විසින් ඔවුන්ට උපදෙස් ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් වන වීඩියෝවක් ද සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.

අනුරාධපුර, පොළොන්නරුව, හම්බන්තොට, අම්පාර, කුරුණෑගල, හල්දුම්මුල්ල, තිස්සමහාරාමය, බදුල්ල සහ මහනුවර ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිට විරෝධතාකරුවන් රැගත් බස් රථ කොළඹට පැමිණෙන අතරතුර පොලිස් මාර්ග බාධක වලදී ඒවා පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්වයන් හටගත්තා.

කෙසේ වෙතත්, කොළඹ සර් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලය අසලින් අද (16) පස්වරු 2 ට පමණ ආරම්භ කල සමගි ජන බලවේගයේ විරෝධතා පාගමන පිත්තල මංසන්ධිය, කොල්ලුපිටිය හරහා ගාලු මුවදොර ආසන්නයට ළගා වුණා. එහිදී රථ වාහන තදබදයක් ද හටගත් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

විරෝධතා පාගමන කොළඹ ගාලු මුවදොර ආසන්නයට පැමිණීමෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදහස් පළ කරමින් කියා සිටියේ රට තුල මේ වනවිට පෝලිම් යුගයක් නිර්මාණය වී ඇති බවයි.

++++++++++++++++

සමගි ජන බලවේගයේ උද්ඝෝෂණය සංවිධානය කර පුද්ගලයින්ට වැඩ වරදින ලකුණු

(16.11.2021 – 21:43 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගයේ උද්ඝෝෂණය සංවිධානය කර සියලු පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

******************************************

යූරියා පොහොර මිටියක් රුපියල් 6,500 යි

(16.11.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

යූරියා පොහොර කිලෝ 50 ක මිටියක් ලබාදීම සඳහා රජය රුපියල් 6500 ක මුදලක් අය කරන බවට බඩඉරිඟු ගොවීන් චෝදනා කරනවා.

ගලෙන්බිඳුණුවැව – හොරොව්පතාන සහ කහටගස්දිගිලිය ප්‍රදේශවල ගොවීන් සඳහන්කළේ නිසි ලෙස පොහොර යොදා නොමැතිව වගා කර ඇති තම බඩඉරිඟු වගාව සඳහා පොහොර ලබාදීමට මෙලෙස මිලක් අය කිරීම අසාධාරණ බවයි ෴

******************************************

බැසිල්ගේ කටින් පැන්න මහ බැංකු සංචිතයේ ඇත්ත කතාව

(16.11.2021 – 14:23 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුව සතුව අතීතයේ පටන්ම පැවති ශුද්ධ වත්කම් සෑම විටම පැවතියේ ණය මුදල් හරහා තරකරගත් ශුද්ධ වත්කම් වශයෙන් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

මුදල් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ඊයේ (15) හිරු රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ‘සලකුණ’ සංවාදාත්මක දේශපාලන වැඩසටහන හා එක් වෙමින්.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය සංචිත පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ, පැවති රජයන් බොහොමයක් විවිධ මූල්‍ය මූලාශ්‍ර ඔස්සේ ලබා ගන්නා ණය මුදල් යෙදවීම හරහා මෙරට ශුද්ධ වත්කම් හා විදෙස් මූල්‍ය සංචිත ශක්තිමත් කිරීමට පියවර ගත් බවයි.

පැහැදිලිව කියන්න ඕනේ මෙච්චර කලක් අපේ ‘රිසව්ස්’ තිබුණයි කියන ප්‍රමාණයත් අපේ ණය.

ඒ කියන්නේ ගිය ආණ්ඩු කාලේ ණය අරගෙන රිසව්ස් වලට දැම්මා, ඒ කියන්නේ මම හරියට උදාහරණයක් කියන්නම්, රජයේ සේවකයෙක් ඉන්නවා ඔබතුමා vehicle හරි මොකක් හරි ණයක් ගන්නවා, ගත්තහම ඒකට පොලිය අඩුයි, ඔයා ඒක (ණය මුදල) අරගෙන ගිහිල්ලා බැංකුවක හරි වෙන තැනක ෆිනෑන්ස් කොම්පැනියක fix deposit එකක් දානවා හැබැයි ඒ සල්ලි ඔයාගේ fix deposit එකක් කියලා පෙනුනට ඒක තව තැනකට ණයක්.

ඉතිං ඒ වගේ අපි bond වලින් විවිධ ක්‍රම වලින් මේ රිසව්ස් වගයක් දාලා තිබුණා, එතකොට අපි මේ ආණ්ඩුව ආපු වෙලාවෙ ඉඳලා ප්‍රතිපත්තියක් විදිහට අර ණය අරගෙන රිසව්ස්වල තිබිච්ච ඒවා අපි ගෙව්වා.

තව ඉදිරියටත් දැන් ජනවාරිවල දැන් පන්සීයක් ගෙවනවා ජූලිවල තව දාහක් ගෙවනවා ඒ ගෙවන කොට අපේ රිසව්ස් අඩු වෙන්න පුලුවන්.

නමුත් ඒ හා සමානව අපේ ණයත් අඩුවෙනවා.

******************************************

රත්නපුර නගරයේ වෙළඳසැලක ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් කාන්තාවකට බරපතල තුවාල

(16.11.2021 – 17:17 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර මධ්‍යම බස් නැවතුම්පොලේ පිහිටා තිබූ බේකරි නිෂ්පාදන අලෙවිසැලක ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කලේ පිපිරීමෙන් වෙළඳසැලකට ද දැඩි අලාභ හානි සිදුව ඇති බවයි. මීට අමතරව, තවත් කිහිපදෙනෙකු සුළු පිලිස්සුම් තුවාල ලබා ඇති බවටයි වාර්තා වන්නේ ෴

******************************************

රථ වාහන වැරදි සම්බන්ධ දඩ මුදල් ගෙවීම ONLINE තාක්ෂණය ඔස්සේ

(16.11.2021 – 18:14 +0530 – hirunews.lk/sinhala)

රථ වාහන වැරදි සම්බන්ධ දඩ මුදල් ගෙවීම ONLINE තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට නීති අණ පනත් සකස් කිරීම සදහා වන විශේෂ සාකච්ඡාවක් අද (16) දින අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

රථ වාහන වැරදි සම්බන්ධව දඩ මුදල් ගෙවීමේදී දැනට පවතින ක්‍රමවේදය පිළිබදව අධ්‍යනය කර නව ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබදව මෙහිදී අවධානය යොමු වු අතර එම ක්‍රමවේදය ලබන වසරේ ජනවාරි මාසය වන විට සකස් කිරීම පිළිබදව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

රථ වාහන වැරදි සම්බන්ධ දඩ මුදල් වරද සිදු කළ ස්ථානයේදීම ගෙවීම සිදු කළ හැකි පරිදි නීති සම්පාදනය කිරීම හා ඊට අවශ්‍ය ඩිජිටල් තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබදව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වු අතර ඒ සදහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ගරු මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය විශ්‍රාමික රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරගේ අධීක්ෂණයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා මහ බැංකුව, මහජන බැංකුව, ලංකා CLEAR ආයතනය හා ICTA ආයතනය ආයතන නියෝජිතයන්ගෙන් සමන්විතව කමිටුවක් පත් කෙරුණා.

මෙම කමිටුව විසින් සිය නිර්දේශ ලබන වසරේ ජනවාරි මාසය වන විට ලබා දිය යුතු අතර ඉන් පසුව එම නිර්දේශයන් ද සැළකිල්ලට ගෙන නව නීති සම්පාදනය හා තාක්ෂණය භාවිතා කරනු ලබන ආකාරය පිළිබදව කටයුතු කරනු ලබනවා.

මෙම නව ක්‍රමවේදය පළමුව අධිවේගී මාර්ගයන් තුළ සිදු කිරීම පිළිබදව සාකච්ඡා වු අතර පසුව අනෙකුත් මාර්ග සදහා මෙම ක්‍රමය හදුන්වා දීය යුතු බව මෙහිදී තීරණය කර ඇති බව සඳහන් ෴

******************************************

සිරිල් ගාමිණී පියතුමන් අදත් (16) පැය 9 ක් රහස් පොලීසියේ

(16.11.2021 – 19:12 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු පිරිසකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන වසරේ මාර්තු 14 වනදා සිට විභාගයට ගැනීමට සත් (7) පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) දින නියම කළා.

මේ අතර, පෞද්ගලික හේතුවක් මත නඩු විභාගයෙන් ඉවත් වන බව ප්‍රියන්ත ජයවර්ධන, ගාමිණී අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දැනුම් දුන්නා.

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීමෙන් ජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කළේයැයි චෝදනා කරමින් මෙම පෙත්සම් ගොනුකර ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, කතෝලික පියතුමන් සහ පීඩාවට පත් පවුල්වල සාමාජිකයින් ඇතුළු 12 දෙනෙක්.

මේ අතර, පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කළ පැමිණිල්ලට අදාළව කරුණු දැක්වීම සඳහා ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් අද (16) දෙවන (2) දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

අද (16) උදෑසන 09:45 ට පමණ එහි පැමිණි උන්වහන්සේ අද (16) පස්වරු 06:45 ට පමණ ඉන් පිටව ගියා.

මේ අතර, මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ 6 සහ 16 වන විත්තිකරුවන් දෙදෙනා (2) තවදුරටත් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා තබා ගැනීමට කළ ඉල්ලීම කෑගල්ල ත්‍රිපුද්ගල මහාධිකරණය අද (16) ප්‍රතික්ෂේප කළා.

ඒ එම නඩුව මහාධිකරණ විනිසුරු ජගත් කේ.කහඳගමගේ, ජානකී ද අල්විස් ගුණතිලක සහ එස්. ඉන්ද්‍රිකා කාලිංගවංශ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (16) කැඳවූ අවස්ථාවේදීයි.

අංක 6 සහ 16 විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් නම් කරන ලෙසට ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත අධිකරණය යළි දැනුම්දිමක් සිදුකරනු ලැබුවා.

එලෙස නීතිඥවරුන් නම් නොකිරීම සම්බන්ධයෙන් සභාපති විනිසුරුවරයා දැඩි අප්‍රසාදය එහිදී පල කළ අතර නඩුව ලබන මස 16 වනදා යළි කැඳවීමට නියමිතයි.

+++++++++

******************************************

රට තුල ඇත්තේ තාවකාලික ඉන්ධන හිඟයක් – ඇමති ගම්මන්පිල කියයි – අධිකරණ ඇමති මිල සූත්‍රය ඉල්ලයි

(16.11.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala)

අදත් (16) දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා.

හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ ඇතැම් ප්‍රදේශවල රථ වාහන ඉන්ධන නොමැතිවීම නිසා මහමඟ නතර වී තිබූ බවයි. ඇතැම් පිරවුම්හල් වසා දමා ඇති බව ද අප වාර්තාකරුවන් නිරීක්ෂණය කර තිබුණා.

පවතින ඉන්ධන අර්බුදය පිළිබඳව ඊයේ (15) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර ඒ පිළිබඳව අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද සංවාදයට ලක් වුණා.

එහිදී කරුණු පැහැදිලි කරමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ තවත් දින 2 ක් පමණක් රට තුල තාවකාලික ඉන්ධන අර්බුදයක් පැවතිය හැකි බවයි.

මේ අතර, අධිකරණ අමාත්‍ය අලී සබ්රි අද (16) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ ඉන්ධන සඳහා මිල සූත්‍රයක් ගෙන ආ යුතු බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *