පොහොර නැවේ එන්තරවාසියට එරෙහිව කෘෂිකර්ම සේවකයින් චීන තානාපති කාර්යාලයට

පොහොර නැවේ එන්තරවාසියට එරෙහිව කෘෂිකර්ම සේවකයින් චීන තානාපති කාර්යාලයට

*********************************************

පොහොර නැවේ එන්තරවාසියට එරෙහිව කෘෂිකර්ම සේවකයින් චීන තානාපති කාර්යාලයට

(12.11.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ ක්‍ෂේත්‍ර කිහිපයක නිලධාරින් අද (12) දීපව්‍යාප්ත සංකේත වර්ජනයක නිරතවනවා.

ඒ, චීනයෙන් මෙරටට ගෙන්වූ කාබනික පොහොර වල ක්ෂද්‍ර ජිවින් සිටින බවට ජාතික ශාඛ නිරෝධායන සේවාවේ රසායනික පරික්ෂණවලින් තහවුරුවීම නිසා එහි අතිරේක අධ්‍යක්ෂවරයාට චීන පොහොර සමාගම එන්තරවාසියක් එවීමට එරෙහිවයි.

මෙම සංකේත වැඩ වර්ජනයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික, පර්යේෂණ, මෙහෙයුම් නිලධාරීන් ඇතුලු ක්‍ෂේත්‍ර කිහිපයක වෘත්තිකයින් එක්ව සිටිනවා.

එසේම, අදාළ ක්‍රියාවට විරෝධය පල කරමින් අද (12) පෙරවරුවේ කෘෂිකර්ම කේෂ්ත්‍රයේ වෘත්තිය සමිති නියෝජිතයින් කොළඹ පිහිටි චීන තනාපති කාර්යාලය වෙත සංදේශයක් ද භාර දෙනු ලැබුවා.

මේ අතර, ලියාපදිංචි කෘෂිබෝග ආරක්ෂණ ද්‍රව්‍ය ආනයනය කිරීම අත්හිටුවීම හරහා නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ මෙරට තුල භාවිතය තහනම් කර ඇති පලිබෝධනාශක ඇතුළු රසායනික බෝග ආරක්ෂණ ද්‍රව්‍ය බහුලව ව්‍යාප්ත වෙමින් පවතින බව ‘ක්‍රොප් ලයිෆ්’ සංවිධානය පෙන්වා දෙනවා.

මේ අතර අද (12) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී ‘නැනෝ නයිට්‍රජන්’ දියර පොහොර වැඩි වශයෙන් ආනයනය කිරීමටත්, කොම්පෝස්ට් පොහොර ගොවීන්ට නොමිලේ ලබාදීමටත් තීරණය කෙරුණු බවයි ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා කියා සිටියේ ෴

******************************************

අනුමැතියකින් තොරව ආයෝජන මණ්ඩලයේ වැටුප් ගෙවූ 7 ක් ගැන තොරතුරු

(12.11.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

විධිමත් ව්‍යාපෘති සැලැස්මක් හෝ විධිමත් ගෙවීම් සැලැස්මකින් තොරව ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රුපියල් මිලියන 3352 ක මුදලක් විවිධ ආයතනවලට ගෙවා ඇති බව කෝප් කාරක සභාවේදී ඊයේ (11) අනාවරණ වුණා.

ඒ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

එමෙන්ම, ආයතනයේ බඳවා ගැනීමේ පටිපාටියට පරිබාහිරව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගනිමින් විශාල මාසික වේතනයක් ගෙවා පුද්ගලයින් 7 දෙනෙකු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ සභාපතිවරයා ඇතුළු කෝප් කමිටුවේ සාමාජිකයින් එහිදී ආයෝජන මණ්ඩලයෙන් විමසීමක් කළා.

******************************************

පොහොර නො මැතිව ගොවීන් අපහසුතාවට

(12.11.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොර භාවිතයෙන් ප්‍රදේශ රැසක ගොවීන් මෙවර මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් පොහොර නොමැතිව ඇතැම් ප්‍රදේශවල ගොවීන් තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

******************************************

කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුම් මාර්ගය ඉරිදා (14) පැය 18 ක් වැසේ

(12.11.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව හා පවතින කැළණි පාලම අතර කොටස මේ මස 14 වනදා ඉරිදා උදෑසන හයේ (06:00) සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ, නව කැළණි පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහායි.

ඒ අනුව විකල්ප මාර්ග ලෙස කොළඹ – නුවර මාර්ගයත්, කොළඹ – මීගමුව මාර්ගයත් භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා ෴

******************************************

මුතුරාජවෙල අභය භූමිය සම්බන්ධයෙන් අවසත් තීරණය සති දෙකකින් (2)

(12.11.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල අභය භූමිය සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරි සති දෙක (2) තුළ ප්‍රකාශයට පත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ මුතුරාජවෙල අභය භූමිය සම්බන්ධයෙන් අදාළ පාර්ශව රැසක් සමඟ මේ වනවිට පාර්ලිමේන්තුවේදී සාකච්ඡා වට දෙකක් (2) පවත්වා ඇති බවයි.

අදාළ ගැසට් නිවේදනය මගින් නාගරික සංවර්ධන අධිකාරියට හෙක්ටයාර හයදහසක් (6000) පමණ පවරා ගන්නා ගන්නා බවට ඇතමුන් සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා ජනතාවගේ ඉඩම් පවරා ගැනීමක් සිදු නොකරන බවද කියා සිටියා ෴

******************************************

කොළඹ – නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශය තවදුරටත් වැසේ

(12.11.2021 – 16:06 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය තවදුරටත් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

පැවති අයහපත් කාලගුණික තත්වය හමුවේ නායයාමක් හේතුවෙනුයි පෙරේදා (10) රාත්‍රියේ සිට මාර්ගය වසා තැබුණේ.

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ දිනපතා උදෑසන 10 ට ක්ෂේත්‍ර පරීක්ෂාවෙන් අනතුරුව විශේෂඥයන් එක්ව ලබාදෙන නිර්දේශ මත මාර්ගය විවෘත කෙරෙන දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි.

කොළඹ – නුවර මාර්ගයේ 98 වන කිලෝමීටර කණුව ආසන්න පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට පස් කඩා වැටීමේ තත්ත්වයක් උද්ගතව පවතින අතර දැනට මේ සම්බන්ධයෙන් තික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO), මාර්ග සංවර්ධන අධිකාරිය හා අනෙකුත් විශේෂඥයන් එක්ව ‍ක්ෂේත්‍ර පරීක්ෂාවන්වල යෙදෙමින් මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතිනවා.

එම පරීක්ෂාවන් දිනපතා උදෑසන 10 ට සිදු කරනු ලබන අතර එම ආයතන ලබා දෙන තීරණය මත නැවත මාර්ග විවෘත කරනු ලබන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ඇති.

එතෙක් මෙම මාර්ග කොටස සම්පූර්ණයෙන්ම වසා තබන බව දන්වන අතර මෙමගින් මහජනතාවට සිදුවන අපහසුතාවන් වළක්වා ගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටයි මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙන්නේ.

ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම් ශ්‍රී ලංකා පොලීසිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකරනු ලබනවා.

  1. අබේපුස්ස – කුරුණෑගල – කටුගස්තොට – නුවර මාර්ගය
  2. කෑගල්ල – පොල්ගහවෙල – කුරුණෑගල – කටුගස්තොට – නුවර මාර්ගය
  3. මාවනැල්ල – රඹුක්කන – හතරළියැද්ද – ගලගෙදර – නුවර මාර්ගය
  4. මාවනැල්ල – හෙම්මාතගම – ගම්පොළ – පේරාදෙණිය – නුවර මාර්ගය

එමෙන්ම පවතින කාලගුණික තත්ත්වය අනුව මාර්ගය භාවිතා කිරීම සම්බන්ධව මාර්ගෝපදේශ ලබාදීමට කටයුතු සිදුකරනු ලබන අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙහි උපදෙස් මත මෙම මාර්ගයෙහි ආරක්ෂාව තවදුරටත් තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය ස්ථිර විසඳුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ඉදිරියේදී ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා ෴

******************************************

ප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර ශූරීන් අභාවප්‍රාප්ත වෙයි

(12.11.2021 – 17:32 +0530 – hirunews.lk/sinhala)

කලක් පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි ප්‍රවීණ සංගීතවේදී ගායන ශිල්පි හා රංගධර ලක්ෂ්මන් විජේසේකර ශූරීන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහුගේ අවසන් කටයුතු ඉදිරියේ දැනුම්දෙන බව ඔහුගේ පවුලේ සමීපතමයින් සඳහන් කළා ෴

+++++++++

meemessasinhalasongs.com : Lakshman Wijesekara (mp3)

******************************************

සී.අයි.ඩී. භාරයේ සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකුට නිදහස

(12.11.2021 – 18:53 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා එල්ල වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට ගිනිඅවි සහිතව ආරක්ෂාව සැපයූ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු එම නඩුවෙන් නිදහස් කිරීමට අධිකරණය අද (12) නියෝග කළා.

ඒ ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල හමුවේ කැඳවු අවස්ථාවේදීයි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, ඔහු රැදවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු සිදුකළ විමර්ශනයේදී කිසිදු සාක්ෂියක් අනාවරණය නොවුණු බවයි.

පසුගිය වසරේ අගෝස්තු මස 18 වනදා ඔහු අත්අඩංගුවට ගෙන තිබූ අතර, විශේෂ කාර්ය බලකායට අනුයුක්ත මෙම උප පොලිස් පරීක්ෂකවරයා වසර එකහාමාරකට (1½) ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන සිටියා ෴

******************************************

කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන සේවකයන්ට සහන මිලට එළවළු

(12.11.2021 – 19:13 +0530 – hirunews.lk/sinhala)

කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල සේවකයින්ට සහ මහල් නිවාස වල වෙසෙන ජනතාවට සහන මිල ගණන් යටතේ එළවළු ලබාදීමේ වැඩසටහනක් අද (12) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව, නුවරඑළියේ වගා කෙරෙන එළවළු රාජ්‍ය ආයතන වෙත මිලදී ගෙන ඒවා සහන මිල ගණන් යටතේ සතියට දෙවරක් (2) ලබාදීමට නියමිතයි ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොවැක්සීන් කොරෝනා එන්නතෙන් 77.8% ක ක්‍රියාකාරීත්වයක්

(12.11.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ ‘භාරත් බයෝටෙක්’ ආයතනය ඉන්දීය රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනය සමඟ එක්ව නිපද වූ ‘කොවැක්සීන්’ එන්නතෙන් රෝග ලක්ෂණ පෙන්වන කොරෝනා ආසාදනයට එරෙහිව 77.8% ක ශක්‍යතාවක් පෙන්නුම් කෙරෙන බව ‘ලැන්සෙට්’ වෛද්‍ය සඟරාව මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එමෙන්ම එමඟින් වඩාත් අනතුරුදායක ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ද 5.2% කින් වළක්වන බවයි අනාවරණ වී ඇත්තේ.

කොවැක්සින් එන්නතේ ශක්‍යතාව පිළිබඳ දත්ත මෙලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ එන්නතේ භාවිතය අරඹා බොහෝ කළකට පසුවයි.

අදාළ අධ්‍යයනය සඳහා පසුගිය වසරේ නොවැම්බරයේ සිට මේ වසරේ මැයි මාසය දක්වා වයස අවුරුදු 18 ත් 97 ත් අතර ඉන්දියානුවන් 25,000 ක් පමණ යොදාගෙන තිබෙනවා ෴

+++++++++++++++++++++

කොවිඩ් අවදානම ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය අංශවලින් නිවේදනයක්

(12.11.2021 – 13:53 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ ඉහළයාමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

ගෙවුණු දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 715 ක්.

මේ අතර, නෙදර්ලන්තයෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව 16,000 ඉක්මවා ඊයේ (11) වාර්තා වුණා.

සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවන්නේ ශීත ඍතුවේ ආරම්භයත් සමඟ යුරෝපා කලාපය වෛරසයේ නව කේන්ද්‍රස්ථානය බවට පත්විය හැකි බවයි.

කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 333 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,23,122 ක් ලෙසටයි ෴

කොරෝනා වයිරසය ආසාදිත මරණ 23 ක් අද (12) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මුළු මරණ සංඛ්‍යාව 13,950 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

කොරෝනා වයිරසය ආසාදිතයින් තවත් 532 දෙදෙනකු අද (12) දිනයේදීත් හඳුනාගෙන තිබෙනවා. ඒ සමග මෙරටින් වාර්තා වන මුළු කොරෝනා වයිරසය ආසාදිතයින් සංඛ්‍යාව 5,48,593 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ෴

කොරෝනා වෛරසය ආසාදනය වූ, තවත් පුද්ගලයින් 191 දෙනෙකු අද (12) දිනයේදී හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ සමග අද (12) දිනයට පමණක් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 723 ක්. මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5,48,975 ක් දක්වා ඉහළ යනවා.

වයිරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව සහ නිවෙස්වලට වී ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව ද 11,712 ක් වන අතර, ජීවිතක්ෂයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 13,950 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *