හෙට (13) රාත්‍රී 08 සිට පැය 28 ක් කොළඹ, කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

හෙට (13) රාත්‍රී 08 සිට පැය 28 ක් කොළඹ, කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

*********************************************

හෙට (13) රාත්‍රී 08 සිට පැය 28 ක් කොළඹ, කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

(12.11.2021 – 08:49 +0530 – sinhala.adaderana.lk)

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) රාත්‍රී 08.00 සිට පැය 28 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසීය.

ඒ අනුව හෙට (13) රාත්‍රී 08:00 සිට අනිද්දා (14) මධ්‍යම රාත්‍රී 12:00 දක්වා :

• කොළඹ 04, 05, 06, 07 සහ 08 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සදහන් කරයි.

• ඊට අමතරව කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා සහ මහරගම, බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශ සඳහා ද අදාල කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සපයනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි ජල කාන්දුවක් පිලිසකර කිරිම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවිමට සිදුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කර සිටියි ෴

******************************************

කඩුගන්නාව යළි විවෘත කිරීම කාලගුණයේ වෙනස් වීම මත

(12.11.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala)

කාලගුණ තත්ත්වය සහ මාර්ගය තවදුරටත් නිරීක්ෂණය කර කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස විවෘත කරන්නේද යන්න පිළිබඳව තීරණය කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා ප්‍රකාශ කළා.

අධික වර්ෂාව හේතුවෙන් පස් කඳු කඩා වැටීමේ අවදානමක් නිසා පෙරේදා (10) රාත්‍රී 10 සිට කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමුණු අතර, එය අද (12) පෙරවරු 9 දක්වා මාර්ගය වසා තැබීමටයි බලධාරීන් තීරණය කළේ.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව එහි ක්ෂේත්‍ර පරීක්ෂාවක් ද සිදු කළා.

දැනට පහල කඩුගන්නාව කොටසෙහි මාර්ගයේ වම් පසෙහි පිහිටා ඇති සියලු ම වෙළඳසැල්ද තාවකාලිකව ඉවත් කිරීමටද උපදෙස් ලබාදුන් බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු, ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (12) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, සහ වයඹ පළාත් මෙන්ම, ගාල්ල සහ මාතර, දිස්ත්‍රික්ක වලට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බවයි.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (12) පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ සඳහන් ෴

******************************************

යූරියා ගෙන්වන යෝජනාවක් අද (12) කැබිනට් මණ්ඩලයට

(12.11.2021 – 07:31 +0530 – hirunews.lk/sinhala)

ලබන වසර සඳහා අවශ්‍ය යූරියා පොහොර ගෙන්වීමට තමා අද (12) දිනයේදී අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කරන බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළා. ඒ, ඊයේ (11) පාර්ලිමේන්තුවේදී පොහොර පිළිබඳව අදහස් දක්වමින් ෴

******************************************

කොරෝනාවෙන් මෙරට ආර්ථිකයට ට්‍රිලියන 2.5 ක පාඩුවක්

(12.11.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතය මර්ධනය කිරීම උදෙසා ගත් ක්‍රියාමාර්ග නිසා මෙම වසරට (2021) අදාළ ව රටේ නිෂ්පාදිතයේ වාර්ෂික පාඩුව, රුපියල් ට්‍රිලියන 2.5 ක් ලෙස ගණන් බලා තිබෙනවා.

කෙසේ වෙතත් එම අගය නාමික වශයෙන් ගණනය කළ එකක් ලෙසට යි වාර්තා වෙන්නේ.

මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තා, මේ බව පෙන්වා දෙනවා.

වසංගතය මර්ධනය සඳහා ආර්ථිකමය වශයෙන් පනවා තිබූ සීමා, සංචරණ සීමා ආදිය හේතුවෙන්, සාර්ව ආර්ථික කාර්‍ය සාධනය වෙත ඇති වූ බලපෑම ඉමහත් බවයි මෙම වාර්තාවේ දැක්වෙන්නේ.

******************************************

අන්දමන් දූපත් ආශ්‍රිත ව නව අඩු පීඩන කලාපයක්

(12.11.2021 – 09:08 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය සාගරයේ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව නව අඩුපීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය, හෙට (13) දිනයේදී ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්‍රිත ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවයි එමඟින් දැනුම් දෙන්නේ.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යා හැකි අතර, පුත්තලමේ සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 – 60 දක්වා ඉහළ යා හැකියි.

එමෙන්ම එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 3 ක් දක්වා ඉහළ යාමේ හැකියාවක්ද පවතින අතර, මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

******************************************

ඉදිරි මාස දෙක (2) තුළ විදෙස් සංචාරකයින් දෙලක්ෂයක් (2,00,000) ශ්‍රී ලංකාවට

(12.11.2021 – 09:59 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මාස දෙක (2) තුළ දිවයිනට විදෙස් සංචාරකයන් දෙලක්ෂයක් (2,00,000) පමණක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

එමෙන්ම, පසුගිය ජනවාරි 21 වැනි දා මෙරට විදෙස් සංචාරකයන් සඳහා විවෘත කිරීමෙන් අනතුරුව වසරේ මුල් මාස 10 තුළ ඩොලර් මිලියන 130 ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවයි ඔහු සඳහන් කළේ.

කොරෝනා වසංගතය නිසා වසර දෙකක (2) විරාමයකින් අනතුරුව යළි ආරම්භ වන සංචාරක සමය ප්‍රකෘතිමත් වන්නේ එළඹෙන ශීත ඍතුවෙන්.

එම කාලසීමාව ඉලක්ක කර ගනිමින් විදෙස් සංචාරකයන් දිවයිනට ආකර්ශනය කර ගැනීමට වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා.

එමෙන්ම, මේ වසර අවසානය වනවිට සංචාරක ආගමනය සාමාන්‍ය අතට පත්වනු ඇති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

පහළ කඩුගන්නාව පාර තවදුරටත් වැසෙයි

(12.11.2021 – 10:27 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස නැවත දැනුම් දෙනතුරු තවදුරටත් වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පවසනවා.

අද (12) උදෑසන ද ප්‍රදේශයට පවතින කාලගුණ තත්ත්වය සහ මාර්ගය තවදුරටත් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අධික වර්ෂාව හේතුවෙන් පස් කඳු කඩා වැටීමේ අවදානම නිසා පෙරේදා (10) රාත්‍රී 10 සිට කොළඹ නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමුණු අතර එය අද (12) පෙරවරු 9 දක්වා මාර්ගය වසා තැබීමටයි බලධාරීන් තීරණය කළේ.

මේ අතර ඉන්දීය සාගරයේ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව හෙට දිනය වනවිට නව අඩුපීඩන කලාපයක් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඒ හේතුවෙන් දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්‍රිත ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

******************************************

යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම් විභාගයට නීතිපති, පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

(12.11.2021 – 10:55 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළා.

අදාළ පෙත්සම අද (12) සලකා බැලීම සඳහා බුවනෙක අලු‍විහාරේ, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා.

කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය සහ ගෑස් සැපයීමේ ඒකාධිකාරය අදාල ඇමරිකානු සමාගම වෙත පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පසුගියදා මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළා.

අද (12) නඩුව කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිස්ටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ මෙය ජාතික වැදගත්කමක් සහිත නඩු කටයුත්තක් බවයි.

එම නිසා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) වගන්තිය යටතේ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙසයි ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එහිදී ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු බුවනෙක අලු‍විහාරේ සඳහන් කළේ මෙම ඉල්ලීම අග විනිසුරුවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි.

මෙම පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් මෙම නඩුවට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සෙසු නීතිඥවරුන්ද මෙම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව අද (12) දින සිට සති තුනක් (3) ඇතුළත අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය වගඋත්තරකරුවන්ට කල් ලබා දුන්නා.

නඩුව නැවතත් නොවැම්බර් මස 26 වනදා කැඳවීමටයි අධිකරණය නියෝග කළේ.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ යන පාර්ශව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ කෙරවලපිටිය යුගදනවි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස් වලින් 40%ක් වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවයි ෴

******************************************

අංගොඩ – මීගහවත්ත ඝාතනයට සැකකාරියන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(12.11.2021 – 11:08 +0530 – hirunews.lk/sinhala)

අංගොඩ – මීගහවත්ත ප්‍රදේශයේ පසුගිය 26 වනදා වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව තවත් සැකකාරියන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, හම්බන්තොට – බඳගිරිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී මොවුන් දෙදෙනා (2) ඊයේ (11) අත්අඩංගුවට ගත් බවයි.

ඝාතනයට අදාළව මීට පෙර සැකකරුවන් පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඊයේ (11) අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා (2) මුල්ලේරියාව සහ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියන්.

පසුගිය 26 වනදා උදෑසන සිදු වූ මෙම වෙඩි තැබීමෙන් 42 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගතකරනු ලැබුවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් අදාළ වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබූ අතර, එය සී සී ටී වී දර්ශනවලද සටහන් වී තිබුණා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘අංගොඩ ලොක්කා’ගේ ගෝලයෙකු බවට පසුව අනාවරණ වුණා ෴

******************************************

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය ගැන තොරතුරු හෙළිවේ

(12.11.2021 – 12:49 +0530 – hirunews.lk/sinhala)

ප්‍රසිද්ධ කොණ්ඩා කැපුම්හල් කිහිපයක හිමිකරු වන කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට සියළු තොරතුරු අනාවරණ වී තිබෙනවා.

21 හැවිරිදි තරුණියක් බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ කළ අවස්ථාවේදී ඇයගේ සහෝදරයා විසින් සිදුකළ පහරදීමකිනුයි බරපතල තුවාල ලැබූ මෙම ව්‍යාපාරිකයා පෙරේදා (10) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ඒ, අනුරාධපුර ගල්කඩවල – ඇලයාපත්තුව ප්‍රදේශයේදියි.

මෙම කෝටිපති ව්‍යාපාරිකයා පසුගිය කාලයේදී සමාජ මාධ්‍යයෙහි ප්‍රසිද්ධියට පත්වූයේ සිය පෙම්වතියගේ උපන්දිනය දා රුපියල් කෝටි ගණනක් වටිනා අධි සුඛෝපභෝගී මෝටර් රථයක් ත්‍යාගයක් ලෙස ලබාදීමේ සිද්ධියත් සමඟයි.

කෙසේ වෙතත් ඝාතනයට ලක්වූ මෙම කෝටිපති ව්‍යාපාරිකයා පෙරේදා (10) රාත්‍රියේ කොළඹ සිට අනුරාධපුරයට පැමිණ ගල්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණියගේ නිවසට පැමිණ තිබෙනවා.

ඔහු මෙලෙස නිවසට පැමිණ ඇත්තේ අදාළ තරුණිය යළිත් තම සේවා ස්ථානය වන ප්‍රසිද්ධ කොණ්ඩා කැපුම්හල වෙත රැගෙන යාම සඳහායි.

අදාළ තරුණිය මාස කිහිපයක් මෙම කෝටිපති ව්‍යාපාරිකයාට අයත් කොණ්ඩා කැපුම්හලක සේවය කර ඇති අතර, පසුව ඇය යළිත් නිවස වෙත පැමිණ ඇත්තේ එහි සේවය කිරීමට අකමැති බව දන්වමින්.

ඒ අනුවයි එම තරුණිය යළිත් කොණ්ඩා කැපුම්හලේ සේවය කිරීම සඳහා එක් කරගෙන යාමට මෙම කෝටිපති ව්‍යාපාරිකයා පෙරේදා (10) රාත්‍රියේ අදාළ තරුණියගේ නිවස වෙත පැමිණ ඇත්තේ.

එම අවස්ථාවේදී ඝාතනයට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයා, තරුණියව බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සාහ දරා ඇති අතර, එහිදී ඇගේ සොහොයුරා විසින් තියුණු ආයුධයකින් ඔහුට පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බරපතල තුවාල ලැබූ මෙම ව්‍යාපාරිකයා ඇලයාපත්තුව රෝහල වෙත රැගෙන යමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තරුණියගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන ඇති බවද ඇලයාපත්තුව පොලිීසිය ප්‍රකාශ කළා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

අවසරයකින් තොරව එක්රැස් වීම් තහනම්

(12.11.2021 – 07:12 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් අවසර ලබා දී ඇති රැස්වීම් හැර අනෙකුත් මහජන ඒකරාශී වීම් සහ ක්‍රියාකාරකම්වලට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඊයේ (11) දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් 715 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 5,48,061 දක්වා ඉහළ ගියා.

මේ වනවිට මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 75 කට වැඩි පිරිසක් එන්නත්කරණයට ලක් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

පොදු ස්ථානවලදී කොරෝනා එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, මහනුවර ජාතික රෝහලේ නව පිළිකා රෝග ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙතෙක් අවසර ලබා දී ඇති රැස්වීම් හැර අනෙකුත් මහජන ඒකාරාශී වීම් සහ ක්‍රියාකාරකම් සඳහා පූර්ව අවසර ලබා ගත යුතු බව අවධාරණය කරමින් නිරෝධායන ආඥා පනත සංශෝධනය කර ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *