*********************************************
සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන්න එපා – සෞඛ්‍ය අංශ
(11.11.2021 – 14:30 +0530 – hirunews.lk/sinhala)
ජනතාව, සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් කටයුතු කළහොත් ඉදිරියේදී කොරෝනා ආසාදිතයින් තවදුරටත් ඉහළ යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.
මේ අතර, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්ට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
කොරෝනා වැළඳුණු චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර, ඔහු පසුගිය සඳුදා පාර්ලිමේන්තු සභාවාරයට ද සහභාගි වී තිබෙනවා.
මේ අතර, හල්දුම්මුල්ල – කොස්ලන්ද ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයාට කොරෝනා ආසාදනය වීමත් සමග එම පාසල ලබන සඳුදා (15) දක්වා වසා දැමුණා.
එමෙන්ම හල්දුම්මුල්ල – කොස්ගම ප්‍රදේශයේ පාසල් දරුවකුට කොරෝනා ආසාදනය වීම නිසා එම පාසලේ සිසුන්ද අද (11) පාසලට පැමිණ නොමැති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹදී අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පොදු ස්ථානවල ජනතාව එක්රැස්වීම අවම කළ යුතු බවයි.
එමෙන්ම, ජර්මනිය යලි කොරෝනා ආසාදිතයින් ඉහළ යාමේ අවදානමකට මුහුණදී ඇති අතර, ඉදිරියේදී පුද්ගලයින් ලක්ෂයක් පමණ මියයා හැකි බවට එරට සෞඛ්‍ය අංශ අනතුරු අගවා තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ එන්නත්කරණය හමුවේ ගෝලීය කොවිඩ් ආසාදිතයින් පහළ යාමක් පෙන්නුම් කළ ද යුරෝපා කලාපය තුල කොවිඩ් මරණ සහ ආසාදිතයින් ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි ෴
මෙරටින් ඊයේ (10) හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 693 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,47,346 ක් දක්වා ඉහළ ගියා.
නව ආසාදිතයින් සියළු දෙනා අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව 10,921 ක්.
පෙරේදා (09) සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද මරණ 16 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,908 ක් දක්වා ඉහළ ගියා.
මේ අතර, කොරෝනා ආසාදිත පාසල් සිසුන් වාර්තා වීමේ ඉහළ යාමක් නිරීක්ෂණය වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි උප සභාපති එස්.ඒ.යූ.ටී. කුලතිලක මහතා සඳහන් කලේ ලබන දෙසැම්බර් මාසයේදී යළි මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.
එමෙන්ම, ළමා රෝග විශේෂඥයන්ගේ සංගමය සඳහන් කළේ වයස අවුරුදු 12 ත් 15 ත් අතර පාසල් සිසුන් එන්නත්කරණය පිළිබඳ විශේෂඥ වාර්තාව අවසන් අදියරේ පවතින බවයි ෴
@@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@@
ත්‍රීරෝද රථයක් කොල්ලකා පලා ගිය සැකකරුවන් පොලිසියට කොටුවේ
(11.11.2021 – 11:48 +0530 – hirunews.lk/sinhala)
කිරුළපන බළපොකුණ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ, ත්‍රීරෝද රථයක් පුද්ගලයින් තිදෙනකු (3) විසින් කොල්ලකා පලා ගොස් තිබෙනවා.
නිවසක් ඉදිරිපිට නවතා තිබූ ත්‍රීරෝද රථයක් මෙලෙස කොල්ලකා පලා යන අයුරු අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන් කර තිබුණේ මෙසේයි.
පසුව සිදුකළ විමර්ශනයේදී හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ නිවසක තිබී සොරාගත් ත්‍රීරෝද රථය සහ සොරකමට සම්බන්ධ සැකකරුවන් තිදෙනා (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව සොරකමට සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගැණුනා.
සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
******************************************
කාලගුණය යහපත් වුවහොත්, හෙට (12) කඩුගන්නාව මාර්ගය විවෘත වන ලකුණු
(11.11.2021 – 11:52 +0530 – hirunews.lk/sinhala)
නායයෑමේ අවදානමක් හේතුවෙන් පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමුණු මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය හෙට (12) පෙරවරු 09 තෙක් වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.
අදාළ තීරණය ගෙන ඇත්තේ, අද (11) උදෑසන මෙම ප්‍රදේශයේ සිදු කළ නිරීක්ෂණයකින් අනතුරුවයි.
ඒ සඳහා මාර්ග සංවර්දන අධිකාරියේ ඉංජිනේරුවන් සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහ භූ විද්‍යා සමීක්ෂණ නිලධාරීන් ද එක්ව සිටියා.
පසුගිය දින කිහිපය පුරා මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන්, කඳුකර ආශ්රිත ප්‍රදේශවල සුළු නා යෑම් සහ පස් කඳු කඩා වැටීම් බොහොමයක් වාර්තා වුණා.
කොළඹ – මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පලතුරු වෙළෙඳසැල් පිහිටා ඇති ප්‍රදේශයේ එවැනි පස් කඳු කඩා වැටීමක් ඊයේ (10) වාර්තා වුණා.
කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය ගමනාගමන කටයුතු සඳහා පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමුණේ, මෙම අනතුරුදායක තත්ත්වයත් සමගයි.
කෙසේ වෙතත්, මේ වනවිට ප්‍රදේශය බලපවත්වන යහපත් කාලගුණික තත්ත්වය එලෙසම පැවතුණහොත්, හෙට (12) උදෑසන 9 පමණ වනවිට මාර්ගය විවෘත කළ හැකි බවටයි මාර්ග සංවර්ධන අධිකාරිය විශ්වාසය පළ කරන්නේ.
අද (11) රාත්‍රියේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මෙම තත්ත්වය හෙට (12) සහ අනිද්දා (13) දින වලද අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා ශිරෝමනි ජයවර්ධන මහත්මිය කියා සිටියේ.
එමෙන්ම නාවලපිටිය – පූඩළුඔය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු තවදුරටත් ඇණහිට තිබෙනවා. එම මාර්ගයට ඊයේ (10) කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින නමුත් තවදුරටත් පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
රත්නපුර – වේවැල්වත්ත පොලිස් වසමට අයත් හපුගස්තැන්න – උඩ නුගේපොළ ප්‍රදේශයේ ඊයේ (10) රාත්‍රියේ නාය යාමක් සිදුව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ප්‍රදේශයේ මීටර් 100 ක පමණ කොටසක් මෙලෙස නාය යාමට ලක්ව ඇති බවයි. කෙසේ වෙතත්, නිවාස හෝ දේපළ මෙන්ම ජීවිත හානි ද වාර්තා නොවන බව පොලීසිය සඳහන් කළා. එම නාය ගොස් ඇති කොටසට පහලින් පිහිටා ඇති නිවාසවල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි පොලීසිය කියා සිටියේ.
පවතින වර්ෂාපතනයත් සමග දිවයිනේ ජලාශ 14 ක් තවදුරටත් වාන් දමන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
******************************************
අන්තරේ කැඳවුම්කරු ඇතුළු සෙසු පිරිසට ඇප
(11.11.2021 – 12:09 +0530 – hirunews.lk/sinhala)
අත්අඩංගුවට ගෙන දින 98 ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 5 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති අමිල සංදීප, කෝසලා හංසමාලි සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පරිපාලන ලේකම් චමීර කොස්වත්ත, හේෂාන් හර්ෂණ ද සිටි බවයි ෂා වාර්තාකරු සඳහන් කළේ.
රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් සහ රුපියල් 10,000 ක මුදල් ඇපයක් මත ඔවුන් මුදා හරින ලෙසයි හෝමාගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර අද (11) නියෝග කළේ.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව පොල්දූව පාලම අසලදී විරෝධතාවක නිරත වෙමින් පොදු දේපලවලට හානි කිරීමේ චෝදනාව මත මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා ෴
******************************************
විදේශ රැකියා ක්ෂේත්රයේ දියුණුවට වසර 3 ක ජාතික සැලැස්මක්
(11.11.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)
විදේශ රැකියා ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් වසර 3 ක ජාතික සැලැස්මක් සකස් කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එය ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ සඳහා විදේශ රැකියා අමාත්‍යාංශයට අමතරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා විදේශ රැකියා ඒජන්සි සමාගම් දායකත්වය ලබා දෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
අදාළ ජාතික සැලැස්මක තුලින් ජාතික ආර්ථිකයට විදේශිය ප්‍රේෂණ වැඩියෙන් ලබා ගැනීම මෙන්ම, ගෘහ ආර්ථිකය දියුණු කිරීම තුලින් විගමනික පවුල් සෞභාග්‍යමත් කිරීමට හැකිවනු ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා.
එමෙන්ම, අවිධිමත් විදේශ රැකියා සඳහා ගොස් අතරමංවීම වැළැක්වීම සඳහා සෑම ග්‍රාම නිලධාරි වසමක් තුලම විදේශ ශ්‍රමික බලකාය නමින් වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බව සඳහන් ෴
******************************************
අමාත්‍ය බැසිල්ට එරෙහි ලිත් නඩුව කල් යයි
(11.11.2021 – 14:15 +0530 – hirunews.lk/sinhala)
රුපියල් දෙකෝටි 94 ලක්ෂයක (2,94,00,000) මුදලක් වැයකර 2015 ජනාධිපතිවරණ සමයේදී එවකට ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදාහැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහි නඩුව වැඩිදුර විභාගය දෙසැම්බර් මස 01 සහ 02 සිදු කිරිමට කොළඹ මහාධිකරණය අද (11) නියම කළා.
මෙම නඩුව කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හමුවේයි.
මෙම විත්තිකරුවන්ට අදාල අධි චෝදනා පත්‍ර ඉවත් කරගන්නේද නැද්ද යන තීරණය අද (11) දින අධිකරණයට දැනුම් දෙන බව නීතිපතිරවයා මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
එහෙත් එම නඩුව අද (11) කැඳවූ අවස්ථාව්දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශනද සිල්වා අධිකරණයට දන්වා සිටියේ තමන් විසින් තවත් සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුගේ සාක්ෂි මෙහෙයවීටමද අපේක්ෂා කරන බවයි.
මෙම නඩුව 2015 වසරේ ගොනුකරන ලද පැරණි නඩුවක් යැයි පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා වරින්වර සාක්ෂිකරුවන් කැඳවා සාක්ෂි මෙහෙයවීමට නීතිය තුල ප්‍රතිපාදන නොමැති බව පෙන්වා දුන්නා.
එබැවින් මෙම නඩුවේ විභාගය කඩිනමින් නිම කිරීමට අවශ්‍ය බවයි විනිසුරුවරයා කියා සිටියේ.
ඒ අනුව නඩුව තවදුරටත් විභාග කිරීමට තීරණය කරන බව සඳහන් කළ මහාධිකරණ විනිසුරු දමිත් තෙටවත්ත කියා සිටියේ ඕනෑම අවස්ථාවක සාක්ෂි මෙහෙයවීමට නීතිය තුළ ප්‍රතිපාදන නොමැති බවයි.
මෙම නඩුව යලි කැඳවන දෙසැම්බර් 01 සහ 02 වන දිනවල සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කළා.
මේ අතර ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකස් කර ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 20 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය උදය ගම්මන්පිලට සහ ව්‍යාපාරික සිඩ්නි ජයරත්නට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් ලබන වසරේ මාර්තු මස 21 වනදා වැඩිදුර විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (11) නියෝග කළා.
******************************************
ඉදිරි කන්නවල වගා කටයුතු ගැන ජනපති, කෘෂිකර්ම ලේකම්ගෙන් වාර්තාවක්
(11.11.2021 – 14:24 +0530 – hirunews.lk/sinhala)
පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ වගා කටයුතුවලට සිදුව ඇති බලපෑම සහ ශාඛ පෝෂක ලබාදිය යුතු ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මහතා ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ ඊට අදාළ වාර්තාව සකස් කිරීම සඳහා මේ වන විටත් ක්ෂේත්රයේ විද්වතුන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. එම වාර්තාව සකස් කිරීම සඳහා අයහපත් කාලගුණයෙන් භෝග වගාවලට යෙදූ පෝෂක සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයනයක් සිදුකරන බව ද අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළා.
ඒ අනුව මෙවර මහ කන්නයේ සහ ඉදිරි කන්නවල වගා කටයුතු සඳහා අවශ්‍ය ශාඛ පෝෂක සම්බන්ධයෙන් මෙන්ම ඊට අදාළව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව වන වාර්තාව ලබන සඳුදා (15) වන විට ජනාධිපතිවරයා වෙත ලබාදීමට අපේක්ෂා කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මහතා කියා සිටියේ.
මේ අතර, මෙරට නිෂ්පාදනය කෙරෙන කාබනික පොහොරවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බව කාබනික පොහොර නිෂ්පාදකයින් පවසනවා.
එසේම කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී සහ අලෙවි කිරීමේදී ගැටළු රැසක් මතු වී ඇති බවයි ගාල්ල, හිනිදුම, මොරවක ආදී ප්‍රදේශවල මහා පරිමාණ කාබනික පොහොර නිෂ්පාදකයින් පවසන්නේ ෴
******************************************
අයවැයෙන් පසු වර්ජනය අවසන් කරන බව ගුරු සංගම් කියයි
(11.11.2021 – 14:32 +0530 – hirunews.lk/sinhala)
හෙට (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 2022 අයවැය යෝජනාවලියෙන් ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා එක්වර ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සිය වර්ජනය අවසන් කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
එම සන්ධානය නියෝජනය කරන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, පසුගිය වසරේ උසස් පෙළ කඩ ඉම් ලකුණු නිකුත් කිරීමත් සමග විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසනවා. එහි කැදවුම්කරු ඉමේෂ් සංගීත් කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
******************************************
හම්බන්තොට නගරාධිපතිට යළි චෝදනා
(11.11.2021 – 14:41 +0530 – hirunews.lk/sinhala)
හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ කණ්ඩායමක් සිය ඉඩමට අනවසරයෙන් ඇතුළු වී තමන්ට සහ දරුවන්ට පහරදුන් බවට කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පොලිස් මූලස්ථානයේ සහන මැදිරියට සහ කොල්ලුපිටිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
අද (11) අලුයම මෙලෙස පහරදී තමන් සහ දරුවන් පදිංචිව සිටි කන්ටේනර් බහාලුම ද මෙම කණ්ඩායම ඉවත් කළ බවයි 51 හැවිරිදි ටී.එච්.සලීම් නමැති මෙම පුද්ගලයා සඳහන් කළේ.
මීට පෙර අවස්ථා කිහිපයකදී හම්බන්තොට නගරාධිපතිවරයාට පුද්ගලයින්ට පහරදීමේ චෝදනා එල්ල වූ අතර, පසුගිය සැප්තැම්බර් මාසයේදී බම්බලපිටිය කොතලාවල ඇවනිව් ප්‍රදේශයේ ඉඩමකට කඩා වැදි එහි ආරක්ෂාවට සිටි පුද්ගලයින් දෙදෙනෙකුට (2) පහරදීම සම්බන්ධයෙන් ඔහු ඇප මත මුදා හැරුණා.
එසේම, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හම්බන්තොට වරාය සංකීර්ණයේ නිරික්ෂණ චාරිකාවක නිරතව සිටියදී ගල්මුල්වලින් පහරදීම සහ සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම සම්බන්ධයෙන් මීට පෙර ඔහුට බරපතල වැඩ සහිත සිරදඩුවමක් ද නියම වුණා.
කෙසේ වෙතත්, කොල්ලුපිටිය ප්‍රදේශයේ ඉඩමකට ඇතුළුවීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාව පිලිබඳව අප හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගෙන් ද විමසූ අතර, ඔහු කියා සිටියේ මෙම ඉඩමේ ආරක්ෂාව සඳහා තමන්ට අයත් පෞද්ගලික ආරක්ෂක සමාගමේ සේවකයින් කිහිපදෙනෙකු යෙදවූ බවයි.
එහෙත්, පහරදුන් බවට එල්ල වන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළා.
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴