අදත් (10) දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අදත් (10) දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

*********************************************

අදත් (10) දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

(10.11.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala)

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් එම පද්ධතිය ඉදිරි පැය 36 තුළදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් උතුරු තමිල්නාඩු වෙරළට ළඟාවන බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙහි බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

ඒ අනුව, උතුරු, උතුරු-මැද, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි අතර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

දිවයින හරහා විටින් විට පැ.කි.මි. (40-50) පමණ තද සුළංඇතිවිය හමන අතර, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ හේතුවෙන් දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සිටින ලෙස දැනුම් දෙනු ලබන අතර, ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් කටයුතු කරන ලෙස ද සඳහන් කරනවා.

එමෙන්ම දිවයින වටා ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට වයඹ දක්වා වන දිශාවලින් දෙසින් හමා එනවා.

එම සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ අගයක් ගනු ඇති.

කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) පමණ දක්වා වැඩිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එවිට එම මුහුදු ප්‍රදේශ ද තාවකාලිකව ඉතා රළු විය හැකියි ෴

කුරුණෑගල – උඩුබැද්දාව ප්‍රදේශයේදී සැඩ පහරකට හසු වූ පුද්ගලයින් දෙදෙනකු (2) අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා ෴

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වූ විවිධ ආපදා හේතුවෙන් තවත් මරණ 4 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව පසුගිය මස 27 වන දා සිට මේ දක්වා කාලය තුළ දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති මුළු මරණ සංඛ්‍යාව 20 ක්.

කුරුණෑගල – උඩුබද්දාව ප්‍රදේශයේ සැඬ පහරකට හසුවී පුද්ගලයින් දෙදෙනෙකු (2) ද අතුරුදන් වී සිටි අතර ඔවුන්ගේ සිරුරු අද (10) උදෑසන සොයාගෙන තිබෙනවා.

මීට අමතරව කුරුණෑගල – රිදීගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් ඊයේ (09) රාත්‍රියේ එහි සිටි අඹු – සැමි යුවළක් ජීවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම, කෑගල්ල – ගලිගමුව – හත්නාගොඩ ප්‍රදේශයෙන් ද අද (10) අලුයම තවත් ආපදාවක් වාර්තා වුණා. නිවසක් නාය යාම හේතුවෙන් එහි සිටි එකම පවුලේ මව, පියා සහ පුතා ඊට යටවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ. කෙසේ වෙතත්, මව බේරාගෙන ඇති අතර පියා සහ පුතු සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ ෴

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයාම් රතු නිවේදන නිකුත් කර ඇති ස්ථානවලින් ඉවත් නොවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ, පොලීසිය සහ අධිකරණය එක්ව එම පුද්ගලයින් නාය යාමේ අනතුරු ඇගවීමේ ස්ථානවලින් ඉවත් කිරීමට කටයුතු කරන බවයි ෴

(10.11.2021 – 14:35 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණයෙන් සහ නාය යාම් හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දිස්ත්‍රික්ක 17 කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 62,247 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

කුරුණෑගල – රිදීගම – කොරොස්ස ප්‍රදේශයේ ඊයේ (09) රාත්‍රියේ සිදුවූ නාය යාමකින් අඹු සැමි යුවළක් ජීවිතක්ෂයට පත්වුණා.

ඔවුන් නිවසේ රැදී සිටි අවස්ථාවේදී මෙම නාය යාම සිදුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දක්වා සිටියා.

එමෙන්ම ගලිගමුව – හත්නාගොඩ ප්‍රදේශයේ නිවසක් ද නාය යාමකට ලක්වූ අතර එහිදී නිවසේ සිටි මව, පියා සහ පුතු අනතුරට ලක්වුණා.

ඉන් මව බේරා ගැනීමට යුද හමුදාව සමත් වූ අතර, පියා සහ පුතු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන මහතා අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ආපදාවලට ලක්වන ප්‍රදේශවල නාය යාමේ ස්ථාන 115 ක් පමණ හඳුනාගෙන ඇති බවයි.

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට නාය යාමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

මීට අමතරව බදුල්ල, කොළඹ, ගාල්ල, සහ කළුතර යන දිස්ත්‍රික්කවලට ද නිකුත් කර ඇති නාය යාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ. එමෙන්ම, මාතලේ, රත්නපුර, ගම්පහ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට ද නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නාය යාම් රතු නිවේදන නිකුත් කර ඇති ස්ථානවලින් ඉවත් නොවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ පොලීසිය සහ අධිකරණය එක්ව එම පුද්ගලයින් නාය යාමේ අනතුරු ඇගවීමේ ස්ථානවලින් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ ආපදා තත්ත්වයක් පවතින අවස්ථාවල කඳු නැගීම් සහ වනාන්තරවල සංචාරය සිදුකිරීමට ගොස් අතරමං වන පුද්ගලයින් බේරා ගැනීමෙන් පසු ඔවුන්ට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බවයි.

මේ අතර, ජල පහරට හසුවීමෙන් පුද්ගලයින් තුන් දෙනෙකු (3) මිය ගොස් තිබෙනවා.

කුරුණෑගල – උඩුබද්දාව ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි වී නැවත නිවස වෙත පැමිණෙමින් සිටි පියෙකු සහ පුත්‍රයෙකු පරණගම ඔයේ සැඬ පහරට හසුව ජීවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම, කුලියාපිටිය – කනදුල්ල, ප්‍රදේශයේ දී ද සැඬ පහරට හසුවී පුද්ගලයෙකු මිය ගියේ සැඬ පහරට හසුව ආ පොල් එක්රැස් කිරීම සඳහා ගිය අවස්ථාවේදීයි.

මේ අතර, කලාවැවේ ජල මට්ටම උපරිම ධාරිතාවට පැමිණීම හේතුවෙන් අද (10) පෙරවරුවේ එහි හදිසි වාන් දොරටු දෙක (2) අඩිය (1) බැගින් විවෘත කර තිබෙනවා.

එමෙන්ම, දැදුරුඔය ජලාශයේ තවත් වාන් දොරටු කිහිපයක් අද (10) විවෘත කෙරුණා.

මේ අතර, හලාවත – කොළඹ මාර්ගය මාදම්පේ සහ මහවැව යන ප්‍රදේශවලින් ජලයෙන් යට වී තිබෙනවා.

තිනිපිටියවැව සහ කඩුපිටිඔයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම, මීගමුව – පුත්තලම ප්‍රධාන මාර්ගයට මාරවිල – ගොඩවල මං සන්ධියෙන් ගසක් කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී තිබුණා.

ඊට අමතරව මහඔය පිටාර ගැලීමෙන් මන්නාරම – මඩු ප්‍රදේශයේ සුළු ගං වතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එමෙන්ම ගිරිඋල්ල ප්‍රදේශයේ ද පහත් බිම් කිහිපයක් තවමත් ජලයෙන් යට වී ඇති බවටයි වාර්තා වන්නේ.

ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 189 වාර්තා වී ඇත්තේ පේදුරුතුඩුව ප්‍රදේශයෙන්.

එමෙන්ම, කුරුණෑගල – දොඩම්ගස්ලන්ද ප්‍රදේශයට මිලිමීටර් 147 ක්, දුම්මලසූරිය ප්‍රදේශයට මිලිමීටර් 133 ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර යාපනය – තෙලිප්පලේ ප්‍රදේශයට 126.4 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

******************************************

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් (10) තද වැසි – තවත් මරණ 04 ක්

(10.11.2021 – 08:34 +0530 – hirunews.lk/sinhala)

අද (10) දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුර, උතුරුමැද, වයඹ සහ බස්නාහිර පළාත්වලට මිලිමීටර් 150 ක පමණ තද වැසි ඇති විය හැකියි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයටත් මිලිමීටර් 100 ක වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි අයෙකු සැඬ පහරකට හසුවී ජීවිතක්ෂයට පත්වී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

එමෙන්ම කෑගල්ල – ගලිගමුව – හත්නාගොඩ ප්‍රදේශයේ නිවසක් නාය යාමට ලක්ව තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ එහි පුද්ගලයින් 3 දෙනෙකු පදිංචිව සිට ඇති බවට වාර්තා වී ඇති බවයි.

ඉන් එක් අයෙකු මුදාගෙන රෝහල්ගත කර ඇති බවයි කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

මුදා ගැනීමේ කටයුතු සදහා යුද හමුදාව එක්ව සිටින බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ.

කෑගල්ල – ගලිගමුව – හත්නාගොඩ ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් අතුරුදන්ව සිටි පියා සහ පුත්‍රයාගේ සිරුරු අද (10) දහවල් සොයාගෙන තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුම්වලින් පසු ඔවුන්ගේ සිරුරු සොයා ගත් බවයි.

අද (10) අලුයම මව, පියා සහ පුත්‍රයා පදිංචිව සිටි නිවස නාය යාමකට ලක්වූ අතර, පසුව 68 හැවිරිදි මව බරපතල තත්ත්වයේ පසුවීම හේතුවෙන් කෑගල්ල රෝහලට ඇතුළත් කෙරුණා.

මේ අතර අධික වර්ෂාවත් සමඟ බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, නුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රිකක්වලට පැනවූ නායයෑමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ ෴

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට නාය යාමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

මීට අමතරව බදුල්ල, කොළඹ, ගාල්ල, සහ කළුතර යන දිස්ත්‍රික්කවලට ද නිකුත් කර ඇති නාය යාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.

එමෙන්ම, මාතලේ, රත්නපුර, ගම්පහ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට ද නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ අතර, හලාවත – කොළඹ මාර්ගය මාදම්පේ සහ මහවැව යන ප්‍රදේශවලින් ජලයෙන් යට වී තිබෙනවා.

තිනිපිටියවැව සහ කඩුපිටිඔයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම, මීගමුව – පුත්තලම ප්‍රධාන මාර්ගයට මාරවිල – ගොඩවල මංසන්ධියෙන් ගසක් කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා ෴

දැදුරුඔය ජලාශයේ ඉහළ ප්‍රදේශවලට ඊයේ (09) රාත්‍රියේ ලැබී ඇති වර්ෂාපතනය හේතුවෙන් ජලාශයේ වාන් දොරටු කිහිපයක් විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් දැදුරුඔයේ පහළ කොටසේ ජනතාව ඒ පිළිබදව අවධානයෙන් පසුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර, කලාවැවේ ජල මට්ටම උපරිම ධාරිතාවට පැමිණීම හේතුවෙන් අද (10) පෙරවරුවේ එහි හදිසි වාන් දොරටු දෙක (2) අඩිය (1) බැගින් විවෘත කර තිබෙනවා.

මේ නිසා තත්ත්පරයට ඝන අඩි 1389 ක් බැගින් ජලය කලා ඔයට මුදා හැරෙන බවයි එම ජලාශය භාර ඉංජිනේරු කාර්යාලය සදහන් කළේ.

******************************************

කෙසෙල්වත්තේ අතුරුදන් දැරියන් තුන්දෙනා (3) පොලිස් භාරයට

(10.11.2021 – 08:30 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් අතුරුදන් වූ බවට වාර්තා වූ දැරියන් තුන්දෙනා (3) යළිත් සිය නිවස වෙත පැමිණ තිබෙනවා.

මේ වන විට ඔවුන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කෙසෙල්වත්ත පොලිස් භාරයේ පසුවන බවයි වාර්තා වන්නේ.

කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 13 ත් 15 ත් අතර වයස්වල පසුවන මෙම දැරියන් තුන්දෙනා (3) පෙරේදා (08) නිවසේ සිටියදී අතුරුදන් වී ඇති බවට ඔවුන්ගේ ඥාතීන් කෙසෙල්වත්ත පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණා.

පසුව පොලීසිය ඒ පිළිබදව අධිකරණයට ද කරුණු වාර්තා කිරීමටයි කටයුතු කර තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියන්ගේ දෙමාපියන්ගෙන් සහ ඔවුන්ගේ සමවයස්වල පාසල්වල මිතුරියන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගන්නා අතරතුර ඊයේ (09) ඔවුන් යළිත් සිය නිවෙස වෙත පැමිණ තිබෙනවා.

දැනට සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ මොවුන් විනෝද චාරිකාවක් ගොස් ඇති බවටයි.

සී.සී.ටී.වී. දර්ශනවලට අනුව මෙම දැරියන් තිදෙනා (3) මාර්ගයේ ගමන් ගන්නා අයුරක් දක්නට ලැබුණා.

කෙසේ වෙතත් සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ මෙම දැරියන් කොළඹ සිට අනුරාධපුරයට ගොස් මහනුවරට පැමිණ යළිත් කොළඹට පැමිණ ඇති බවයි.

මීට අමතරව එම දැරියන් තුන්දෙනා (3) අලුතින් ඇදුම් පැළඳුම් ද මිලදී ගෙන ඇති බවයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

******************************************

18 ට වැඩි සියලු දෙනාට තුන්වන (3) මාත්‍රාවට ෆයිසර් දෙන්න අනුමැතියක් ඉල්ලයි

(10.11.2021 – 08:39 +0530 – hirunews.lk/sinhala)

ෆයිසර් එන්නත අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට තුන්වන (3) මාත්‍රාව ලෙස හදිසි භාවිතය සදහා අවසර දෙන්නැයි නිෂ්පාදිත සමාගම විසින් ඇමරිකානු ඖෂධ පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

දැනට එම එන්නත පළමු (1) සහ දෙවන (2) මාත්‍රාවක් ලෙස වයස අවුරුදු 5 ට වැඩි සියලු දෙනා සඳහා ඇමරිකාව ඇතුළු රටවල් ගණනාවක භාවිතා කරන අතර මෙතෙක් කල් තුන්වන (3) මාත්‍රාව ලෙස එය භාවිතා කරනු ලැබුවේ 60 ට වැඩි පුද්ගලයින් සදහා පමණයි.

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ යමින් පවතින අතර ගත වූ පැය 24 රේ ලොව පුරා කොරෝනා මරණ 7479 ක් සහ ආසාදිතයින් හාරලක්ෂ පනස් එක්දහස් අටසිය අනූවක් (4,51,890) වාර්තා වුණා ෴

******************************************

මාවනැල්ල උප සභාපති ඇතුළු තුන් දෙනෙකු (3) අත්අඩංගුවට

(10.11.2021 – 09:04 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල – මෙඩේරිගම විද්‍යාලයට ඇතුළු වී එහි විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.ජී. පියතිස්ස ඇතුළු තුන් දෙනෙකු (3) අද (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් පිරිසට එම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු (2) ද අයත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියේ.

පසුගිය දා මොවුන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බල කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් මාවනැල්ල නගරයේ විරෝධතාවක ද නිරත වුණා.

මාවනැල්ල මෙඬේරිගම විදුහලේ පසුගියදා සිදුකළ විරෝධතාව අතරතුර එහි විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට බැන තර්ජනය කළ සිද්ධියට අත්අඩංගුවට ගත් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තුන්දෙනා (3) ඇප මත මුදා හැරුණා.

ඔවුන් මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නියෝග කෙරුණේ එක් අයෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපමත මුදා හරින ලෙසයි.

එසේම ඔවුන්ට මාවනැල්ල කලාපයේ පාසල්වලට ඇතුළු වීම ද අධිකරණය තහනම් කළා.

මේ අතර, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පත් කිරීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපි යොමු කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *