හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍ර 15 ක වෘත්තිකයින් වර්ජනයක

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍ර 15 ක වෘත්තිකයින් වර්ජනයක

*********************************************

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍ර 15 ක වෘත්තිකයින් වර්ජනයක

(09.11.2021 – 09:12 +0530 – hirunews.lk/sinhala)

හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍ර 15 ක වෘත්තිකයින් අද (09) වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, හෙද, ඖෂධවේදීන්, අක්ෂි තාක්ෂණවේදීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 15 ක් මෙම සංකේත වර්ජනයට එක්ව සිටිනවා.

මෙම වර්ජනය අද (09) පෙරවරු 8 සිට හෙට (10) පෙරවරු 8 දක්වා ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

වැටුප් විෂමතා ඉවත් නොකිරීම, වෘත්තීයවේදී උපාධියට හිමි තනතුරුවල පිහිටුවීමට කටයුතු නොකිරීම, සෞඛ්‍ය පරිපාලන සේවයක් පිහිටුවීමට කටයුතු නොකිරීම මොවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් වනවා.

මේ අතර, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අද (09) දහවල් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක් ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, වැටුප් දීමනා, නිළ ඇඳුම් දීමනා, සෞඛ්‍ය සේවක හිඟය සහ විධිමත් ස්ථාන මාරු ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි.

ඒ අනුව කොළඹ ජාතික රෝහල, අයි.ඩී.එච්. රෝහල, කෑගල්ල සහ අම්පාර මහ රෝහල් ඉදිරිපිට මෙන්ම අක්කරෙයිපත්තුව මූලික රෝහල ඉදිරිපිට මෙලෙස විරෝධතා සිදුකරන බවයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් සඳහන් කළේ.

******************************************

සීනි අර්බුදය ගැන පැහැදිලි කර ගැනීමට ව්‍යවහාරික වාර්තාවක් අවශ්‍ය බව හර්ෂ ද සිල්වා කියයි

(09.11.2021 – 09:15 +0530 – hirunews.lk/sinhala)

වෙළදපොළේ සීනි පිළිබඳව ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය පැහැදිලි කර ගැනීම සඳහා ඒ පිළිබදව වෝහාරික වාර්තාවක අවශ්‍යතාව පවතින බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ පිළිබදව තමන් මුදල් පිළිබද කාරක සභාව හමුවේදී ද අවස්ථා කිහිපයකදී අවධාරණය කළ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පසුගිය දා එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී සදහන් කර ඇත්තේ, නුදුරේදීම රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් එය ඉදිරිපත් කළ පසු ඒ පිළිබදව දීර්ඝ ලෙස සංවාදයක නිරතවීමට මුදල් පිළිබද කාරක සභාවට හැකියාවක් පවතින බවයි.

මේ අතර, ආනයන අපනයන පනත යටතේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 29 වන දා සිට ක්‍රියාත්මක වූ සුදු සීනි සඳහා වූ බලපත්‍ර ක්‍රමය ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ගැසට් පත්‍රයට ද රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා ෴

******************************************

චීන පොහොර නැව රාජතාන්ත්‍රික ගැටලුවක් නොවේ – රාජ්‍ය ඇමති දිලුම්

(09.11.2021 – 09:23 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොර තොගයක් මෙරටට රැගෙන ආ චීන පොහොර සමාගම මෙරට ජාතික ශාක නිරෝධායනයෙන් ඩොලර් මිලියන අටක (8) වන්දි ඉල්ලීම රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

ඒ, මහනුවර දළදා මාළිගාවට ඊයේ (08) පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ, මෙය චීන රජය සහ ශ්‍රී ලංකා රජය අතර පවතින ගැටලුවක් නොවන අතර එය සමාගම් අතර පවතින ගැටලුවක් පමණක් බවයි.

කෙසේ වෙතත්, චීන ‘චින්ඩාවු සීවින්’ සමාගම මෙම අර්බුදය සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රචාරය කිරීම සඳහා කොළඹ චීන තානාපති කාර්යාලයේ ට්විටර් සමාජ මාධ්‍ය ගිණුම දිගින් දිගටම යොදා ගනු ලබනවා ෴

******************************************

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ, ගොවින් සමඟ පිළිසඳරක

(09.11.2021 – 11:20 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ, ගොවියන් පිරිසක් හමු වී සුහද ව කටයුතු කරන අවස්ථාවක් පිළිබඳ වාර්තා වෙනවා.

එහි දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගොවියන් සමඟ එක් වී කුඹුරට බැස සිටින ආකාරය ද දක්නට ලැබුණා.

රසායනික පොහොර හා වල් නාශක නැති නමුත් ඒ ගැන තැවෙමින් වගා නො කර සිටීම හරහා විශාල හාල් හිඟයක් ඇති විය හැකි බවයි දයා ගමගේ සඳහන් කළේ.

හාල් පිටරටින් ආනයනය කිරීමට සිදු වීමෙන් ජනතාව තවත් අපහසුතාවට පත් විය හැකි බව යි ඔහු ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

වියදම වැඩි වුවත් කරදර වැඩි වුවත් තවාන් ක්‍රමය හරහා හැකිතරම් දුරට වල් මර්දනය කරගත හැකි බව ඔහුගේ අදහසයි.

මේ අතර, මෙවර මහ කන්නය සඳහා වගාකළ යුතු හෙක්ටයාර ලක්ෂ 8 න්, හෙක්ටයාර 5,21,000 ක වගා කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (09)පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ආන්දෝලනාත්මක චීන පොහොර සමාගමෙන් කාබනික පොහොර ලබා ගන්නේ මෙරට බලාපොරොත්තු වන නියමිත ප්‍රමිතියෙන් ලබා දුනහොත් පමණක් බවට එම සමාගමට දැනුම් දුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

******************************************

චීන පොහොර සමාගමට එල්ල වූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

(09.11.2021 – 12:06 +0530 – hirunews.lk/sinhala)

ණයවර ලිපියට අදාළ කටයුතු වළක්වාලමින්, හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර ගෙන ආ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ රාජ්‍ය බැංකුවකට අදාළව කොමර්ෂල් පොහොර සමාගම ලබාගත් වාරණ නියෝගය දීර්ඝ කර තිබෙනවා.

ඒ අධිකරණ නියෝගයක් මත මෙම මස 19 වැනි දින තෙක් බවයි අරංචි මාර්ග සඳහන් කරන්නේ.

******************************************

භූමි තෙල් ඉල්ලුම දෙගුණ වෙයි

(09.11.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල මෙරට භූමිතෙල් ඉල්ලුම දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙරට දෛනික භූමිතෙල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 550 ක් බවයි.

එමෙන්ම මඩකලපුව – කාත්තන්කුඩි ප්‍රදේශයේ සිමෙන්ති තොගයක් සඟවා තිබූ ස්ථානයකට ඊයේ (08) පාරිභෝගික අධිකාරිය මුද්‍රා තබා තිබෙනවා.

වැටලීම සිදු කරන අවස්ථාවේ එහි සිමෙන්ති කොට්ට 800 කට වැඩි ප්‍රමාණයක් තිබූ බවයි වාර්තා වන්නේ.

මේ අතර, මෙවර මහ කන්නය සඳහා වගා කළ යුතු හෙක්ටයාර ලක්ෂ 8 න් හෙක්ටයාර 5,21,000 ක වගා කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එමෙන්ම බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවින් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය ලබන 19 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ, කොමර්ෂල් පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සම කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි හමුවේ අද (09) කැඳ වූ අවස්ථාවේදීයි.

එහිදී වගඋත්තරකාර චීන සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ, නීත්‍යානුකූල ප්‍රමිති වාර්තා ඉදිරිපත් කර තමන් විසින් මහජන බැංකුවේ ණයවර ලිපි විවෘත කළ බවයි.

එසේ තිබියදී එය අත්හිටුවීම නීතියට පටහැනි බව ඔවුන් පෙන්වා දුන්නා.

නඩුවට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි චීන සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඉදිරි දින කිහිපයේදී ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි වග උත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන්ට විනිසුරුවරයා දැනුම් දෙනු ලැබුවේ.

******************************************

තේ කිලෝග්‍රෑම් මිලියන 280 ක ඉලක්කයක්

(09.11.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

දේශීය සහ බාහිර බලපෑම්වලින් පවතින අභියෝග හමුවේ වුවද මේ වසර තුළ දී තේ කිලෝග්‍රෑම් මිලියන 280 ක ඉලක්කයක් සපුරා ගැනීමට හැකි වනු ඇතැයි තේ අපනයනකරුවන්ගේ සම්මේලනය ප්‍රකාශ කළා.

එමගින් ඩොලර් බිලියන 1.3 ක ආදායමක් අපේක්ෂා කෙරෙනවා.

තේ අපනයනයෙන් ඩොලර් බිලියන 2 ක ඉලක්කය සපුරා ගැනීම සඳහා රජයේ සහය අවශ්‍ය වන බවයි තේ අපනයනකරුවන්ගේ සම්මේලනයේ සභාපති සංජය හේරත් මහතා සදහන් කළේ.

වසර ආරම්භයේ තේ අපනයන ඉලක්කය කිලෝග්‍රෑම් මිලියන 320 ක් වුවත් එය කිලෝග්‍රෑම් මිලියන 280 දක්වා පහත දැමීමට හේතු වී ඇත්තේ පොහොර ගැටළුව හේතුවෙන්.

කෙසේ නමුත් මේ වසරේ මුල් මාස 9 තුළ ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 212 ක් අපනයනය කරමින් ඩොලර් මිලියන 986 ක් උපයා ඇත්තේ සියයට 7 ක වාර්ෂික වර්ධනයක් සලකුණු කරමින් ෴

******************************************

සපුගස්කන්ද කාන්තා මළ සිරුරේ සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

(09.11.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද – මාබිම – තෙල් පිරිපහදු සංකීර්ණය අසල මාර්ගයේ කසළ ගොඩක දමා ගොස් තිබිය දී ගමන් බෑගයකින් සිරුර හමුවූ කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය මඟ හැර සිටි සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ සහෝදරයායි.

මෙම සිද්ධියට අදාලව සැකපිට අඹුසැමි යුවළක් පසු ගිය දා අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් පසුගිය 07 වනදා මහර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා.

එහිදී නියෝග කෙරුණේ රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි.

සපුගස්කන්ද – මා බිම ප්‍රදේශයේ කසල එක්රැස් වී ඇති ස්ථානයක තිබියදී අත් පා ගැට ගසා ගමන් බෑගයකට දමා තිබූ මළසිරුරක් හමුවූයේ පසුගිය 04 වැනිදායි.

මෙලෙස ඝතනයට ලක්ව ඇත්තේ මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 44 හැවිරිදි ‘මොහොමඩ් සාෆී ෆාතිමා මුම්ටාස්’ නැමැති කාන්තාවක්.

ඝාතනයට ලක් වූ ‘ෆාතිමා මුම්ටාස්’ මුදලට සූදූ ක්‍රීඩා කළ සහ මුදල් පොලියට ලබා දෙන කාන්තාවක් බව ද විමර්ශනවලදී හෙළි වූ අතර වැඩිදුර විමර්ශන සිදුකළ සපුගස්කන්ද, බ්ලුමැන්ඩල්, මාළිගාවත්ත සහ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ මගින් මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේ පදිංචි ‘රොසානා’ නම් කාන්තාවක් සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගනු ලැබුවා ෴

සපුගස්කන්ද – මාබිම – තෙල් පිරිපහදු සංකීර්ණය අසල මාර්ගයේ කසළ ගොඩක දමා ගොස් තිබියදී ගමන් බෑගයකින් සිරුර හමුවූ කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු අඹුසැමි යුවළ ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මේ අතර මෙම අපරාධය සම්බන්ධයෙන් පොලීසිය මග හැර සිටි සැකකරුවෙකු අද (09) වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණා.

මෙලෙස අත්අඩංගුවට ගැනුනේ අද (09) දින රක්ෂිත බන්ධනාගාර ගත කළ අඹුසැමි යුවළගේ, කාන්තාවගේ සහෝදරයායි.

මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 44 හැවිරිදි ‘මොහොමඩ් සාෆී ෆාතිමා මුම්ටාස්’ගේ දේහය, අත් පා ගැට ගසා ගමන් බෑගයක දමා තිබියදී හමුවූයේ පසුගිය 04 වනදායි.

******************************************

ආක්‍රමණික ශාක බිලිගත් මෙරට වැව් පද්ධතිය

(09.11.2021 – 14:19 +0530 – hirunews.lk/sinhala)

ඉතිහාසය විසින් මෙරට ජනතාවට උරුමකර දුන් වටිනා සම්පතක් වන වැව් පද්ධතිය ආක්‍රමණික ශාක හේතුවෙන් විනාශයට පත්වෙමින් පවතිනවා.

ගල්ගමුව ප්‍රදේශයේ වැව් ගණනාවක් එලෙස විනාශ වන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

******************************************

නීතිවිරෝධීව රටින් පිටවීමට සූදානම් වූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

(09.11.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට යාමට සූදානම්ව සිටි, පුද්ගලයින් 19 දෙනෙකු අද (09) දින නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ, හලාවත ප්‍රදේශයේදී ඔවුන් සතු වෑන් රථයක් ද සමගයි ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා පොකුරු ඇති වන ආකාරය ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීමක්

(09.11.2021 – 09:24 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් 679 දෙනෙකු ඊයේ (08) දිනයේ වාර්තා වූ අතර කොරෝනා ආසාදිත මරණ 19 ක් ද සිදුව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර, ඕනෑම කොරෝනා ආසාදිතයෙකු වාර්තා වන ස්ථානයක තවත් පොකුරු ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ඊයේ (08) දිනයේ හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් 679 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,45,935 ක් දක්වා ඉහළ ගියා.

එසේම බෙන්තොට ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක සිසුන් 17 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ, එම පාසලේ සිසු සිසුවියන් 51 දෙනෙකු වෙනුවෙන් සිදු කළ කොරෝනා පරීක්ෂණයකින් අනතුරුවයි.

ඔවුන් අලුත්ගම, බෙන්තොට, ඌරගස්මංහන්දිය සහ කොස්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකට එක්වූ එහි අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කියා සිටියේ ඕනෑම කොරෝනා ආසාදිතයෙකු වාර්තා වන ස්ථානයක තවත් පොකුරු ඇති විය හැකි බවයි.

එමෙන්ම, විනෝදාස්වාද ඇතුළු සංචාර කටයුතු සිදුකිරීමේදී ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන ස්ථානවලට නොයා සිටීම සුදුසු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *