කොවිඩ් අවදානම පිළිබඳ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ගෙන් විශේෂ ප්‍රකාශයක්

කොවිඩ් අවදානම පිළිබඳ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ගෙන් විශේෂ ප්‍රකාශයක්

*********************************************

කොවිඩ් අවදානම පිළිබඳ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ගෙන් විශේෂ ප්‍රකාශයක්

(08.11.2021 – 11:54 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් අවදානම නැවතත් හිස ඔසවන තත්ත්වයකට පැමිණෙමින් ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ජනතාව සෞඛ්‍ය නීති රීති අනුගමනය නො කරමින් ප්‍රවේශමකින් තොර ව කටයුතු කළ හොත් නැවතත් රටා වසා දැමීමේ තත්ත්වයකට යා හැකි බවටයි ඔහු අවධාරණය කරන්නේ.

ආගමික උත්සවවලට සහභාගි වෙමින් මුව ආවරණ ද නැති ව ඉතා අපරීක්ෂාකාරී ලෙස ජනතාව හැසිරෙන බව පැවසූ වෛද්‍යවරයා, ඡායාරූපයක් ගැනීමට හෝ මුව ආවරණය ගැලවීමෙන් රෝගය වැළඳීමේ අවදානමක් ඇති බව සඳහන් කරනවා.

නැවතත් රෝගය පැතිරීමට ඉඩ දීම පාසල් දරුවන්ට කරන විශාල අසාධාරණයක් බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

ආගමික ස්ථානවලට යද්දී ඇඳුම් පැළඳුම් ආදිය පිළිබඳ සැළකිලි වන තරමට ම, එම ස්ථානවල දී සෞඛ්‍ය රීති ද අනුගමනය කරන්නැ යි වෛද්‍ය හේමන්ත හේරත් මහතා තවදුරටත් ඉල්ලා සිටිනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

සඳහිරු සෑයේ චූඩා මාණික්‍යය පැලඳවීම අද (08)

(08.11.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – සඳහිරු සෑයේ චූඩාමාණික්‍ය පැලඳවීම අද (08) සිදු කෙරෙනවා.

2010 වසරේදී ඇරඹි සඳහිරුසෑය බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාමාන කිරීම සඳහා ලබන 18 වැනි දා මහා සංඝරත්නය වෙත භාරකෙරෙන බවයි ඊයේ (07) එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ.

සඳහිරුසෑය 30 වසරක් පැවති යුද්ධය නිමා කිරීම සනිටුහන් කිරීමත්, ඒ සඳහා දායකත්වය දැක්වූ මියගිය සහ තුවාල ලැබූ රණවිරුවන් රට වෙනුවෙන් සිදු කළ කැපකිරීමත් සිහිපත් කරමින් අඩි 283 ක් උසකින් යුත් සඳහිරුසෑය ඉදිකරනු ලැබුවා.

ඒ, එවකට ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ෴

******************************************

වාහනවල දුම් පරීක්ෂාව ඉදිරියේදී නව ක්‍රමවේදයකට

(08.11.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

වාහනවල දුම් පරීක්ෂාව සඳහා නව ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මඩකලපුව – එරාවුර් ප්‍රදේශයේ ඊයේ (07) පැවති උත්සවයකට සහභාගී වෙමින් ෴

******************************************

ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩල වර්ජනයකට සැරසේ

(08.11.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ද රුපියල් 7,500 දීමනාව ලබාදීම ඇතුළු වෘත්තීය ගැටළු කිහිපයක් මුල් කරගනිමින් ඉදිරියේදී වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා ෴

******************************************

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (08) සිට

(08.11.2021 – 09:08 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල තෝරාගත් අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59 ක් ඉලක්ක කරගෙන අද (08) සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළා.

එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, ඩෙංගු වාහක මදුරුවන් සහ මදුරු කීටයන් පිළිබඳව රට පුරා කරන ලද සමීක්ෂණ අනුව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානවල වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.

ඒ හේතුවෙන් ඉදිරි දිනවල ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කරන බැවින් මෙම ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඔහු කියා සිටියා.

පසුගිය නොවැම්බර් හතරවනදා (04) වනවිට මෙරටින් ඩෙංගු රෝගීන් 22,902 ක් වාර්තා වී තිබුණා ෴

******************************************

අද (08) සිට දුම්රිය ගමන්වාර 302 ක්

(08.11.2021 – 09:08 +0530 – hirunews.lk/sinhala)

අද (08) සිට නැවතත් සියලු කාර්යාල දුම්රිය සමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළා. ඒ අනුව මීට පෙර 152 ක් ව පැවති දෛනික දුම්රිය ගමන්වාර සංඛ්‍යාව අද (08) සිට 302 දක්වා වැඩි කර තිබෙනවා ෴

******************************************

විෂ කාබනික පොහොර තොගය රැගත් චීන නෞකාව කළුතරට නුදුරු මුහුදේ ?

(08.11.2021 – 10:00 +0530 – hirunews.lk/sinhala)

‘මැරීන් ට්‍රැෆික් ග්ලෝබල් ෂිප්’ නමැති ජාත්‍යන්තර සමුද්‍ර ගමනා ගමන වෙබ් අඩවියට අනුව විෂ කාබනික පොහොර තොගය රැගත් ‘හිපො ස්පි‍රට්’ නමැති චීන නෞකාව අද (08) පස්වරුව වන විට කළුතරට නුදුරින් මුහුදේ යාත්‍රා කරන බව හඳුනාගෙන තිබෙනවා.

වරින් වර චන්ද්‍රිකා සබඳතා විසන්ධි කරමින් ශ්‍රී ලංකාව වටා යාත්‍රා කරමින් තිබෙන මෙම ‘චීන විෂ පොහොර නැව’ ඊයේ (07) ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු ප්‍රදේශය දෙසට යාත්‍රා කරමින් පැවති බවයි ඉන් වාර්තා වෙන්නේ.

මෙම නෞකාවේ ඇති පොහොර ලබා ගැනීම ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කළ දිනයේ සිට ම, එය මේ අන්දමට වරෙක ශ්‍රී ලංකාවෙන් ඈතට යමින්ද තවත් වරෙක ආසන්නයට පැමිණෙමින්ද මෙරට මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබෙන බව සඳහන් ෴

******************************************

කැනියොන් සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු විවෘතයි

(08.11.2021 – 10:12 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික වර්ෂාවත් සමඟ කැනියොන් සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ඒ අනුව කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් (2) සහ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් මෙලෙස විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ජල විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන බලාගාරවල විදුලි උත්පාදනය ද මේ වනවිට උපරිම ධාරිතාවයෙන් සිදු කරන බවයි වාර්තා වන්නේ ෴

******************************************

විද්‍යාපීඨ ආචාර්ය සංගම් සහ දෙමව්පියන් විරෝධතාවක

(08.11.2021 – 10:39 +0530 – hirunews.lk/sinhala)

විද්‍යාපීඨ 19 ක ආචාර්ය සංගම් සහ දෙමව්පියන් මේ වනවිට බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියේ විරෝධතාවක නිරත වනවා.

ඒ, අධ්‍යාපන විද්‍යාපීඨ, විශ්වවිද්‍යාල බවට පත් කරන ලෙස ඉල්ලමින්.

වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අධ්‍යාපන විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල බවට පත් කරන බවට ප්‍රකාශ කර ඇතත්, ඊට අදාළ කැබිනට් අනුමැතිය පවා ලැබී තිබියදී ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් ඊට බාධා පමුණුවන බවයි විරෝධතාවට එක්වෙමින් මහජන යුතුකම් කේන්ද්‍රයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් ප්‍රකාශ කළේ ෴

******************************************

සිරිල් ගාමිණී පියතුමන් අත්අඩංගුවට නොගන්නා බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි

(08.11.2021 – 11:23 +0530 – hirunews.lk/sinhala)

සිරිල් ගාමිණි පියතුමන් අත්අඩංගුවට නොගන්නා බව නීතිපති, ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

මෙම අවස්ථාවේ ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිරිල් ගාමිණී පියතුමන් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදීයි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මේ බව කියා සිටියේ.

විමර්ශණ අවසන් වීමෙන් පසු නීතිපති උපදෙස් මත මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවද ඔහු දැනුම් දුන්නා.

මෙහිදී සිරිල් ගාමිණී පියතුමන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අධිකරණයට දන්වා සිටියේ දැනුම් දෙන සුදුසු වේලාවක විමර්ශණ කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට තම සේවාදායකයා සූදානම් බවයි.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට දන්වා සිටියේ ප්‍රමාණවත් කාලයක් ලබාදී පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගන්නා ලෙසයි.

අනතුරුව පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ලබන වසරේ අප්‍රේල් මස 4 වැනි දා කැඳවීමට ද නියම කළා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක, එහි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩබ්ලිව්. තිලකරත්න, පොලිස්පතිවරයා, රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි විසින් කරන ලද පැමිණිල්ලකට අනුව තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇතැයි පෙත්සම්කාර සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කළා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ ඉකුත් 25 වන දා පැවති සංවාදයකදී තමන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ වරදවල් සිදුකර ඇති බවට චෝදනා කරමින් විමර්ශන සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පෙත්සමින් සඳහන් කර තිබෙනවා.

එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන සිරිල් ගාමිණී පියතුමන් කියා සිටියේ අදාළ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව තමන්ව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවයි.

සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස සිරිල් ගාමිණී පියතුමන් මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර පෙත්සම අද සළකා බැලුණු අවස්ථාවේදී සිරිල් ගාමිණී පියතුමන්ට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ආසන්නයේ නිහඬ විරෝධතාවක්ද පැවති බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

******************************************

සිරකරුවන්ට අමුත්තන් බැලීමට සතියට දින 02 ක්

(08.11.2021 – 12:10 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාරගත සිරකරුවන්ට සතියට දින 02 ක් අමුත්තන් බැලීමට අවසර ලබා දී ඇති බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් (පාලන / පුනරුත්ථාපන හා නිපුණතා සංවර්ධන) සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා.

දිවයින තුළ කොවිඩ්-19 වසංගත තත්ත්ව ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව නවතා තිබු බන්ධනාගාරගත රැඳවියන් හට අමුත්තන් පෙන්වීමේ කටයුතු, රට තුළ පනවා තිබු සංචරණ සීමා සමග සෞඛ්‍ය සේවා විසින් ලබා දුන් නිර්දේශයන්ට අනුකූලව එම ක්‍රියාවලිය ඔක්තෝබර් 04 දින සිට නැවත ආරම්භ වුණා.

ඒ අනුව මේ දක්වා සැකකරුවන් හට සතියකට එක් (1) වතාවක් පමණක් අමුත්තන් බැලීමේ අවස්ථාව ලබා දී තිබු අතර, එය මෙම මස 04 වැනි දින සිට සතියකට දෙවතාවක් (දින 02 ක්) ඥාතීන් බැලීම සඳහා අවස්ථාව උදා කර දී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළා.

ඥාතීන් විසින් සැකකරු හට ලබාදීම සඳහා රැගෙන එන බත් පාර්සලය එක් සැකකරුවෙකුට එක් වතාව බැගින් ද , බත් පාර්සලය රැගෙන ඒමේදී ව්‍යංජන වර්ග වෙනත් භාජනවල හා කවර වැනි දේ තුළ නොදමා බත් පාර්සලය තුළම පමණක් දමා රැගෙන එන ලෙසත්, බත් පාර්සලය එක් රැඳවියෙකු හට පමණක් පරිභෝජනයට සුසුසු ප්‍රමාණයක් රැගෙන එන ලෙස ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ඥාතින්ට දන්වා සිටිනවා.

සැකකරුවන් හට බන්ධනාගාර ආපනශාලාවෙන් සතියකට සරිලන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා ගැනීමට ලබා දී තිබු අවස්ථාව එලෙසම ක්‍රියාත්මක වන බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

******************************************

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් රැකියාවල නියුතු විදෙස් ශ්‍රමිකයින්ට දැනුම්දීමක්

(08.11.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී, විදේශ රැකියාවල නිරත පුද්ගලයින්ට යළි ඒ සඳහා ලියාපදිංචි වීමට සහන කාලයක් ලබා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම සහන කාලය නොවැම්බර් මස (මෙම මස) 15 සිට දෙසැම්බර් මස 14 දක්වා දීර්ඝ කෙරෙනු ඇති ෴

******************************************

පහත් බිම් රැසක ජනතාවට අවධානයෙන් පසුවන්නැ යි නිවේදනයක්

(08.11.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

අන්දමන් දූපත් අසල පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර ශ්‍රී ලංකාවට ඉහළින් වර්ධනය වී ඇති සුළං අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් අද (08) සහ හෙට (09) දිවයිනේ බස්නාහිර, වයඹ, සබරගමුව පළාත්වලට සහ මහනුවර හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මිලිමීටර 150 ට වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අද (08) උදෑසන 08:30 න් අවසන් වූ පැය විසි හතර (24) තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 162 ක් ලැබී ඇත්තේ කුකුළේගඟ ප්‍රදේශයටයි.

එමෙන්ම කළුතර ප්‍රදේශයට මිලිමීටර 142 ක වර්ෂාපතනයක්ද ලැබී තිබෙනවා.

පවතින අධික වර්ෂාවත් සමඟ කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් (2) සහ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් (1) විවෘත කෙරුණා.

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන බලාගාරවල විදුලි උත්පාදනය ද මේ වනවිට උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි වාර්තා වන්නේ.

මේ අතර පවතින තත්වය හමුවේ ගංඟා ද්‍රෝණි ගණනාවක ජල මට්ටම සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ නිසා එම ගංඟා ද්‍රෝණි ආශ්‍රිත පහත්බිම්වල ජනතාව මේ සම්බන්ධයෙන් තවදුරටත් සැළකිලිමත්ව සිටිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා කියා සිටියේ.

මේ අනුව කළුගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් සහ අත්තනගලු ඔය, දූනමලේ ප්‍රදේශයෙන් අද (08) පෙරවරුව වනවිට සුළු ගං වතුර තත්වයක් වාර්තා වී තිබෙනවා.

මේ අතර දෙමෝදර සහ ගම්පොළ ප්‍රදේශවල සිදු වූ නායයෑම් හේතුවෙන් අවහිර වී තිබූ දුම්රිය ගමනාගමනය මේ වනවිට යථා තත්වයට පත් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

මේ අතර බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල තෝරාගත් අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59 ක් ඉලක්ක කරගෙන අද (08) සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මකයි.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 22,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඉදිරි දිනවල ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය කියා සිටියේ.

******************************************

මාවනැල්ලේ ගුරුවරුන් හෙට (09) වර්ජනයක

(08.11.2021 – 13:20 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල්වල ගුරුවරුන් හෙට (09) දිනයේ අධ්‍යයන කටයුතුවලින් ඉවත් වී වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂෆ් ස්ටාලින් කියා සිටියේ, මෙඩේරිගම විදුහලේ විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට තර්ජනය කළ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපති කේ.ජී. පියතිස්ස මෙතෙක් පොලිසිය අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය සිදු කරන බවයි.

මේ අතර බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියේ උද්ඝෝෂණයේ නිරත වූ විද්‍යාපීඨ ආචාර්ය සංගම් සහ දෙමව්පියන් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරතවනවා.

ඒ, අධ්‍යාපන විද්‍යාපීඨ, විශ්වවිද්‍යාල බවට පත් කරන ලෙස ඉල්ලමින්.

පෙරවරු 10:30 ට පමණ පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ අදාළ පිරිස විරෝධතාව ආරම්භ කළේ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්.

පසුව ඔවුන් පා ගමනින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණි අතර, එහි දී මහජන යුතුකම් කේන්ද්‍රයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් ප්‍රකාශ කළේ, සිය ගැටලු සඳහා විසඳුම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් සමඟ සාකච්ඡාවක් අපේක්ෂා කරන බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *