මඟහැරුණු පාසල් විෂය නිර්දේශ, සති 20 කින් ආවරණයට යෝජනාවක්

මඟහැරුණු පාසල් විෂය නිර්දේශ, සති 20 කින් ආවරණයට යෝජනාවක්

*********************************************

මඟහැරුණු පාසල් විෂය නිර්දේශ, සති 20 කින් ආවරණයට යෝජනාවක්

(07.11.2021 – 19:17 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් මඟ හැරුණු පාසල් විෂය නිර්දේශ සති 20 කින් ආවරණය කිරීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රේණි දෙකකට (2) අදාළව මඟ හැරුණු විෂය නිර්දේශ සති 20 ක් තුළ ආවරණය කර ඉහළ ශ්‍රේණියට දරුවන් සමත් කර ඉගෙනුම් සිදුකිරීමට යෝජනා කළ බවයි ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සඳහන් කළේ.

මේ අතර, දිවයින පුරා සියළු පාසල්වල 10 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සියළු පන්ති හෙට (08) ආරම්භ කිරීම සඳහා මේ වන විට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.

කොවිඩ් මර්දන කමිටුවෙන් ලැබුණු නිර්දේශවලට යටත්ව අදාළ ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ පසුගිය වසරේ මාර්තු මාසයේදී වසා දැමුණු පාසල් පියවරෙන් පියවර යළි ආරම්භ කිරීමේ වැඩසටහනේ දෙවන අදියර ලෙසයි 10, 11, 12 සහ 13 යන ශ්‍රේණිවල අධ්‍යයනය කටයුතු හෙට (08) ආරම්භ වන්නේ.

ඒ අනුව ඊට අදාළව පාසල්වල පිරිසිදු කිරීමේ කටයුතු අද (07) දින සිදුකෙරුණා.

දිවයිනේ සියළු පාසල්වල ප්‍රාථමික අධ්‍යයන කටයුතු පසුගිය 25 වන දා ආරම්භ වූ අතර 6 ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා පන්තිවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු මේ වන තෙක් ආරම්භ වී නැහැ.

මේ අතර, ලංකා ගුරු සංගමය සහ ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු සංගම් නියෝජිතයින් අද (07) දිනයේදී මාවනැල්ල නගරයේ විරෝධතාවක නිරත වුණා. ඒ, ගුරුවරුන්ට සහ දෙමාපියන්ට තර්ජනය කළ බව කියන මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින්.

ගුරු සංගම් නියෝජිතයින් මාවනැල්ල – මෙඩේරිගම විදුහලේ සිට මාවනැල්ල නගරයට පාගමනින් පැමිණ විරෝධතාවක නිරත වුණා.

පසුව ඔවුන් මාවනැල්ල පොලීසිය ඉදිරිපිටට ගොස් විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

අනතුරුව ගුරු සංගම් එම ස්ථානයෙන් විසිර ගියේ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැමිණ උප සභාපතිවරයා හෙට (08) දිනයේදී අත්අඩංගුවට ගන්නා ලෙස ලබාදුන් පොරොන්දුවක් මතයි.

++++++++++++++++++

කොරෝනා මරණ 15 ක් මෙරටින් වාර්තා වේ

(07.11.2021 – 17:51 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (07) දිනයේදී කොරෝනා ආසාදිත මරණ 15 ක් තහවුරු කර තිබෙනවා.

එම මරණ අතර, අවුරුදු 30 ට අඩු කිසිදු මරණයක් වාර්තා නොවන අතර, අවුරුදු 30-59 ත් අතර සිදු වූ එක් පිරිමි මරණයක් (1) සහ කාන්තා මරණ දෙකක් (2) වාර්තා වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩවල සිදු වූ මරණ අතර පිරිමි මරණ 07 ක් සහ කාන්තා මරණ 05 ක් ඊට ඇතුළත්.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 13,856 ක් දක්වා ඉහළ යනු ඇති ෴

+++++++++++++++++++

කොරෝනා 4 වන රැල්ලක අවදානමක් ගැන රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන ගෙන් අනතුරු ඇගවීමක්

(07.11.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

මේ අතර, ශ්‍රී ලංකාව මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 2,02,000 ක තොගයක් කටුනායක ගුවන් තොටුපළට රැගෙන විත් තිබෙනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මිලදී ගත් මෙම ෆයිසර් එන්නත් මාත්‍රා 2,02,000 ක තොගය බෙල්ජියමේ සිටයි රැගෙන විත් ඇත්තේ.

මේ අතර, මෙරට තුළ 4 වන රැල්ලක අවදානමක් දෙසැම්බර් මාසයේදී ඇතිවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දෙනවා.

අනුරාධපුර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තත්වය පාලනය කිරීමට නොහැකි වුවහොත් නැවතත් රට තුළ සංචරණ සීමා පැනවීමට සිදුවිය හැකි බවයි.

මේ අතර කොරෝනා ආසාදිතයින් 271 දෙනෙකු අද (07) සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 5,15,183 ක් ලෙසයි.

අද (07) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 458 දෙනෙකු අලුතින් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, තවත් මරණ 15 ක් අද (07) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟ මෙරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වුණේ 13,856 ක් ලෙසයි ෴

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් 168 දෙනෙකු අද දිනයේදී (07) හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (07) දිනට පමණක් වයිරසය ආසාදිතයින් 626 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මෙම ආසාදිතයින් සමග මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,45,256 ක් දක්වා ඉහළ යනු ඇති ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

පහත්බිම්වල වෙසෙන ජනතාවට විශේෂ දැනුම්දීමක්

(07.11.2021 – 18:28 +0530 – hirunews.lk/sinhala)

තවදුරටත් වැසි ඇති වුවහොත්, දැදුරු ඔය, අත්තනගලු සහ මහඔය මෙන්ම කළු, කැලණි,බෙන්තර, ගිං හා නිල්වලා යන ගංගා ගංවතුර තත්ත්වයකට ළඟා විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් පහත් බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

******************************************

පොහොර ගැන තත්ත්ව පරීක්ෂාව කලින්, සිදුකළ හැකිව තිබූ බවට, චීන තානාපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

(07.11.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala)

‘හිපෝ ස්පිරිට්’ නෞකාවෙන් රැගෙන ආ ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කළ කාබනික පොහොර තොගය සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලය නැවතත් පැහැදිලි කිරීමේ ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එමගින් කරුණු දෙකක් (2) අවධාරණය කර ඇති අතර, එහි සඳහන් කර ඇත්තේ එය ශ්‍රී ලංකාවෙන් පොහොර ඇණවුම හිමි කර ගත් චීන ‘ක්වින්ඩාඕ සීවින්’ සමාගමේ පැහැදිලි කිරීමක් ලෙසයි.

එම ට්විටර් නිවේදනයේ දක්වා ඇති පරිදි ලංකා පොහොර සංස්ථාවට චීන සමාගමේ පොහොර සාම්පල ලබාදී ඇත්තේ පසුගිය ජුලි 28 වන දායි.

ඒ අනුව ඇණවුම ලබාදීමට, ගිවිසුම් අත්සන් කිරීමට සහ ආනයන බලපත්‍රය නිකුත් කිරීමට පෙර අදාළ තත්ත්ව පරීක්ෂාවන් සිදුකළ හැකිව තිබූ බවයි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

‘හිපෝ ස්පිරිට්’ නෞකාවට ‘සෙයියෝ එක්ස්ප්ලෝරර්’ ලෙස තවත් නාමයක් තිබීම සම්බන්ධයෙන් ද චීන තානාපති කාර්යාලයේ ට්විටර් පණිවුඩය මගින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

නෞකාවේ නාමය ‘හිපෝ ස්පිරිට්’ ලෙස අවසන් වරට වෙනස් කර ඇත්තේ පසුගිය වසරේ (2020) නොවැම්බර් මාසයේදී බවයි එහි දැක්වෙන්නේ.

ඊට පෙර නෞකාව ‘සෙයියෝ එක්ස්ප්ලෝරර්’ ලෙසත් ‘ග්ලෝබල් එක්ස්ප්ලෝරර්’ ලෙසත් හදුන්වා තිබෙනවා.

විදේශ මාධ්‍ය මගින් මෙම නම් වෙනස පිළිබද වැරදි අර්ථ කථන සිදුකරන බවටයි චීන තානාපති කාර්යාලය සදහන් කළේ.

කෙසේ නමුත් අධිකරණ නියෝග නොතකා චීන කාබනික පොහොර තොගය රැගත් නෞකාව බේරුවල සහ කළුතර අතර, මුහුදු ප්‍රදේශයේ තවදුරටත් ස්ථානගතව පවතින බව නෞකා ගමනාගමනය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන ‘මැරින් ට්‍රැෆික්’ වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.

ඒ අදාළ, පොහොර තොගය මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට, හා එහි දේශීය නියෝජිතයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය තවදුරටත් දිර්ඝ කර ඇති පසුබිමකයි.

මේ අතර, ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා සදහන් කලේ සම්පලවල හානිකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීම නිසා අදාළ සමාගමට කාබනික පොහොර තොග අනායනය සදහා බලපත්‍ර නිකුත් නොකල බවයි.

එම නෞකාවට සැපයුම් ලබාගැනිම සඳහා කොළඹ වරාය වෙත පැමිණිය හැකි වුවත් එහි අඩංගු නීති විරෝධි හා හානිකර පොහොර තොගය මෙරටට ගොඩබෑමට අවසර හිමි නොවන බවයි වරාය පාලකවරයා හෙවත් හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මහතා සදහන් කළේ ෴

******************************************

අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 5 ක් – අද (07), හෙට (08) සහ අනිද්දා (09) වැසි තවත් ඉහළට

(07.11.2021 – 19:31 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 36 තුළ මිලිමීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම වයඹ සහ උතුර පළාත්වලත් මාතලේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකියි.

ඊට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර, දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට මෙලෙස නාය යාමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කරනු ලැබුවා.

එම දිස්ත්‍රික්කවල කඳුකර, බෑවුම් හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව ඒ පිළිබද සැලකිලිමත් විය යුතු බවයි එමගින් සඳහන් කළේ.

එසේම තාවකාලිකව වසා දැමුණු නමුණුකුල හරහා ඇල්ල සිට පස්සර දක්වා මාර්ගය යළි විවාත කර තිබෙනවා.

කෙසේ වෙතත් එම මාර්ගය භාවිතා කිරීමේදී තවදුරටත් දැඩි අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර, පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග පවුල් 1143 කට අයත් පුද්ගලයින් 4391 ක් මේ වන විට පීඩාවට පත්ව තිබෙනවා.

පුද්ගල මරණ 5 ක් මේ වන විට වාර්තා වී ඇති අතර, දෙදෙනෙකු (2) තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම, තවත් පුද්ගලයෙකු (1) අතුරුදන් වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම ආරක්ෂිත ස්ථාන 9 ක පවුල් 63 කට අයත් පුද්ගලයින් 251 ක් මේ වන විට රදවා තිබෙනවා.

මේ අතර, තවදුරටත් වැසි ඇති වුවහොත් ගංඟා ද්‍රෝණි රැසක ගං වතුර තත්ත්වයක් ඇති විය හැකි බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව පහත්බිම්වල ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව දැදුරුඔය, අත්තනගලුඔය සහ මහඔය මෙන්ම කළු, කැළණි, බෙන්තර, ගිං හා නිල්වලා යන ගංඟා අවට පහත්බිම්වල ජනතාව මෙලෙස අවධානයෙන් පසුවිය යුතුයි.

අධික වැසි සහ තද සුළං අවදානම හේතුවෙන්, හෙට (08) පස්වරුවේ සිට යළි දැනුම්දෙනතුරු ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවල නිරත නොවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනු ලබනවා ෴

******************************************

මිල වැඩි කළත් සිමෙන්ති නැහැ – ප්‍රාතිහාර්ය පෑ නොහැකි බව වෙළඳ ඇමති කියයි

(07.11.2021 – 19:36 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොල තුළ පවතින සිමෙන්ති හිඟය හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තකරුවන් දැඩි අර්බුදයකට ලක්ව සිටින බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.

එසේම මිල පාලනයට කටයුතු නොකරන්නේ නම් ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීමේ අවදානමක් පවතින බවයි එම සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි මහතා පෙන්වා දෙන්නේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත පුද්ගලයින් මෙන්ම කම්කරුවන් ද සිමෙන්ති හිඟවීමත් සමඟ වෘත්තියේ යෙදීමට නොහැකි වීමෙන් පත්ව ඇත්තේ දැඩි අසරණ තත්වයකටයි.

ප්‍රදේශ කිහිපයක කම්කරු ජනතාව තම දෛනික රැකියා සිදුකිරීමට නොහැකි වීමත් සමග රැකියා සිදුකරන ස්ථානවල සිට ගෘහස්ථ ක්‍රීඩාවල නිරත වනු දක්නට ලැබුණා.

මේ අතර, අත්තනගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ භාණ්ඩ මිල ඉහළයාම පාලනය කිරීමට ප්‍රාතිහාර්යක් පෑ නොහැකි බවයි.

******************************************

බන්ධනාගාර බස් රථයෙන් පළා ගිය රැදවියන් දෙදෙනෙකු (2) කොස්කැළෙන් හමුවේ

(07.11.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාරයේ සිට කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය දක්වා බස් රථයකින් රැගෙන යමින් සිටියදී පළාගිය රැදවියන් දෙදෙනා (2) අද (07) අත්අඩංගුවට ගනු ලැබුවා.

පොල්ගහවෙල – මැද්දලන්ද ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයේ ගමන් කරමින් සිටියදී රැදවියන් බස් රථය තුළ කලහකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී නිලධාරීන් එම තත්වය පිළිබඳව සොයා බැලීම සඳහා බස් රථයේ දොරගුලු විවෘත කිරීමේ දී රැදවියන් දෙදෙනෙකු පළා ගොස් ඇති අතර පසුව ඔවුන් කොස්කැළේ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

හබරණ හුරුළු පාරිසරික උද්‍යානයේදී සෆාරි ජීප් රථයක් පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(07.11.2021 – 19:50 +0530 – hirunews.lk/sinhala)

හබරණ හුරුළු පාරිසරික උද්‍යානයේදී සෆාරි ජීප් රථයක් පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ළමයින් 04 දෙනෙකු ඇතුළු 08 දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

******************************************

වෙළෙඳපොළේ එළවළු මිල ශීඝ්‍ර ලෙස ඉහළට

(07.11.2021 – 20:51 +0530 – hirunews.lk/sinhala)

වෙළෙඳපොළේ එළවළු මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු ප්‍රමාණය වෙනත් දිනවලට සාපේක්ෂව අඩුවීම හේතුවෙන් මිල ඉහළ ගොස් ඇති බවයි වෙළෙඳුන් පවසන්නේ.

සීනි, සහල්, කිරිපිටි, ගෑස්, ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ යාමත් සමඟ මේ දිනවල පාරිභෝගික ජනතාව පත්ව සිටින්නේ දැඩි පීඩාවකයි.

එවන් පසුබිමක වෙළෙඳපොළේ එළවළු මිල ගණන්ද ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවට හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වුණා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත වෙනත් දිනවල එළවළු කිලෝග්‍රෑම් ලක්ෂ 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් ලැබුණත් මේ දිනවල ලැබෙන්නේ කිලෝග්‍රෑම් ලක්ෂ 7 ත් 8 ත් අතර තරම් අඩු ප්‍රමාණයක් .

දඹුල්ල මෙන්ම මීගොඩ සහ තඹුත්තේගම යන ආර්ථික මධ්‍යස්ථාන වල එළවළු වර්ග කිහිපයක මිල ගණන් සම්බන්ධයෙන් අප විමසීමක් කළා.

බෝංචි , කැරට් , මාළු පිරිස් , තක්කාලි , වැනි එළවළු වර්ග කිහිපයක තොග මිල පැවතුණේ රුපියල් 200 ත් 350 ත් අතර සීමාවේයි.

ලීක්ස් , ලොකු ලූනු , වම්බටු , අමුමිරිස් වැනි එළවළු වර්ගද ඉහළ මිල ගණන් යටතේ පැවතියා.

******************************************

බඩල්කුඹුර පස්සර ප්‍රධාන මාර්ගයේ තිබී මිනිස් හිස් කබලක් සොයා ගැනේ

(07.11.2021 – 23:04 +0530 – hirunews.lk/sinhala)

බඩල්කුඹුර පස්සර ප්‍රධාන මාර්ගයේ අළුපොත ප්‍රදේශයේ කිලෝමීටර 11 කණුව ආසන්නයේ පාලු ඉඩමක තිබී මිනිස් හිස් කබලක් බඩල්කුඹුර පොලිසිය සොයා ගෙන තිබෙනවා.

ඉකුත් මාර්තු මාසයේදී කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේදී ගමන් බෑගයක බහා තිබියදී හමුවූ හිස සුන් කාන්තා මළසිරුරට අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරු පදිංචිව සිටියේ බඩල්කුඹුර ප්‍රදේශයේ වන අතර මෙම හිස් කබල එම කාන්තාවගේද යන්න සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *