දරුවන්ගේ මනෝ භාවය රැකගන්න පාසල්යාම වැදගත්

දරුවන්ගේ මනෝ භාවය රැකගන්න පාසල්යාම වැදගත්

*********************************************

දරුවන්ගේ මනෝ භාවය රැකගන්න පාසල්යාම වැදගත්

(07.11.2021 – 07:42 +0530 – hirunews.lk/sinhala)

දරුවන්ගේ මනෝභාවය ආරක්ෂා කර ගැනීමට සහ මානසික ව්‍යාකූලතාවයන්ට ලක්වීම අවම කර ගැනීම සඳහා පාසල් ආරම්භ කිරිම වැදගත් වන බව මනෝ විශේෂඥයින් පෙන්වා දෙනවා.

කොරෝනා වසංගතය සමඟ පාසල් දිගු කාලයක් වසා තැබීම හේතුවෙන් මාර්ගගත අධ්‍යාපනය ලැබුවද, පාසලෙන් ලැබෙන සාමාජීය පරිසරය අහිමි වීම නිසා දරුවන් අතර මානසික ගැටළු 20% කින් වැඩි වී ඇති බව ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විශාදය, කාන්සාව, විද්‍යුත් තිර වලට ඇබ්බැහි වීම වැනි ගැටළු සඳහා ප්‍රතිකාර වලට යොමු වන දරුවන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

දරුවන්ගේ පෞරුෂත්ව වර්ධනයට අවශ්‍ය මනෝ සාමාජීය පරිසරය අහිමිවීම නිසා දිගුකාලීන පෞරුෂත්ව ඌණතා මෙන්ම ආත්ම ශක්තිය අඩුවීම දැකිය හැකි අතර, සහකම්පනය සහ හැඟීම් තේරුම් ගැනීම වැනි ලක්ෂණ ඔවුන්ගෙන් අහිමි වී යා හැකියි ෴

පාසල්වල 10 සිට 13 දක්වා පන්ති හෙට (08) ඇරඹේ – ගුරුවරුන් යළි විරෝධතාවකට සූදානමින්

(07.11.2021 – 09:37 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සියලු පාසල්වල 10 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි හෙට (08) ආරම්භ කිරීමට නියමිතයි.

ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ඉලක්ක කර ගනිමින් 10, 11, 12 සහ 13 ශ්‍රේණි අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කිරීමට කොවිඩ් මර්දන කමිටුවෙන් ලැබුනු නිර්දේශ වලට අනුව මෙලෙස පාසල් විවෘත කරන බවයි.

ඒ අනුව පාසල තුලදීත් මුහුණු ආවරණ පැළදීම, දෑත් විෂබීජහරණය සහ සිසුන් අතර දුරස්ථභාවය පවත්වා ගැනීම යන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අනිවාර්ය වනවා.

කොරෝනා වසංගතය හමුවේ වසර දෙකක (2) පමණ කාලයක් දිවයිනේ පාසල් වරින් වර වසා දමා තිබූ අතර වසංගත තත්ත්වය යම් මට්ටමකට පාලනය වීමත් සමග දිවයින පුරා සියලු‍ පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය මස 25 වැනිදා ආරම්භ කෙරුණා.

6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ මෙන්ම අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීම සහ විභාග පැවැත්වීමට අදාළ කටයුතු පිළිබඳවද මේ වනවිටත් අවධානය යොමුව තිබෙනවා.

මේ අතර, දැනට ආරම්භ කෙරෙන මේ වසරේ අවසන් පාසල් වාරය ලබන වසරේ මාර්තු 31 දක්වා දීර්ඝ කරන ලෙස ජාතික අධ්‍යාපන ආයතනය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සියයට 50 ක උපරිම ධාරිතාවකින් යුතුව ලබන මස 16 වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

දිවයින පුරා සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි හෙට ආරම්භ වීමට සමගාමීව පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහනක් අදත් ක්‍රියාත්මකයි.

ඒ දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ සහ සිසුන්ගේද සහභාගීත්වයෙන්.

ඊයේ (06) ආරම්භ කෙරුණු මෙම වැඩසටහන යටතේ පාසල් විෂබීජහරණයද සිදු කෙරෙනු ඇති.

++++++++++++++++

නගරාන්තර දුම්රිය හෙට (08) සිට ධාවනයේ

(07.11.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගමන්වාර හෙට (08) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ රාත්‍රී තැපැල් දුම්රිය සහ සාමාන්‍ය කාලසටහන් වල රාත්‍රී 7 න් පසුව දුම්රිය ධාවනය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි සතියේදී තීරණයකට එළඹෙන බවයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනය යටතේ තිබූ අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඉකුත් පළමු වනදා (01) සිට අන්තර් පළාත් කාර්යාල දුම්රිය පමණක් ආරම්භ කෙරුණා.

කෙසේ වෙතත් මේ වන තෙක් රාත්‍රී 7 න් පසුව දුරගමන් සේවා දුම්රිය මෙන්ම කෙටි දුර ධාවන දුම්රිය ගමන් වාරද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දැනට ක්‍රියාත්මක ක්‍රමවේදයට අනුව රාත්‍රී 7 න් පසුව මගී අවශ්‍යතාවය මත පමණක් දුම්රිය යෙදවීමට කටයුතු කෙරෙන බවයි ෴

++++++++++++++++

යළි දෛනික කොරෝනා ආසාදිතයින් 600 ඉක්මවයි

(07.11.2021 – 08:04 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් යළිත් කොරෝනා ආසාදිතයින් 600 යේ සීමාව ඉක්මවා ඊයේ (06) වාර්තා වුණා.

ආසාදිතයින් 617 දෙනෙකු ඊයේ (06) මෙරටින් හඳුනාගත් අතර, ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,44,630 ක්.

පෙරේදා (05) දිනයේදී ද ආසාදිතයින් 628 දෙනෙකු මෙරටින් හඳුනා ගත්තා.

එසේම, පෙරේදා (05) දිනයේ සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 20 ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (06) තහවුරු කළා.

කොවිඩි ආසාදිත වී රෝහල්ගත වන ගැබිණි මව්වරුන් සංඛ්‍යාවද සුලු මට්ටමකින් ඉහල ගොස් තිබෙනවා.

මේ අතර ‍ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපයේ බහුලව භාවිත කෙරෙන කොවිඩ් මර්දන එන්නත් වර්ග තුනක (3) ප්‍රතිශක්තිකරණ හැකියාව කාලයත් සමඟ කැපී පෙනෙන ලෙස පහත වැටෙන බව නව අධ්‍යයනයකින් හෙළිවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඒ ඇමරිකානුවන් අටලක්ෂයක් යොදාගෙන සිදුකළ අධ්‍යයනයකදීයි.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

අනිද්දා (09) විරෝධතා දිනයක් – ගුරු සංගම්

(07.11.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව හා රටේ පවතින අනෙකුත් ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා අනිද්දා (09) දිනය ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

සෑම අධ්‍යාපන කලාප කාර්යාලයක් ඉදිරිපිට එක්වෙමින් මෙම විරෝධතාව සිදු කිරීමට නියමිත බවයි ඊයේ (06) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ.

මේ අතර, දේශපාලඥයන් විසින් සිදු කරන තර්ජනවලට විරෝධය දක්වමින් අද (07) මාවනැල්ල මෙඩේරිගම විදුහල ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

මුතුරාජවෙල සත්‍යග්‍රහය තුන්වන (3) දිනටත්

(07.11.2021 – 07:47 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල තෙත්බිම් කලාපයේ ඉඩම් හෙක්ටයාර 3,863 ක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට විරෝධය පළ කරමින් කඳාන නගරයේ ආරම්භ කළ සත්‍යග්‍රහය අද 03 වන දිනටත් ක්‍රියාත්මකයි.

අදාළ ගැසට් නිවේදනය හරහා සිය නිවාස අහිමිවීමේ අවදානමකට ලක්ව ඇති බව සත්‍යග්‍රහයට එක්වූවන් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ප්‍රකාශ කළේ ගැසට් නිවේදනයට අදාළ භූමි ප්‍රදේශය තුළ ඇති කිසිදු නිවසක් ඉවත් කිරීමට කටයුතු නොකරන බවයි.

මේ අතර මුතුරාජවෙල තෙත්බිම් කලාපයේ ඉඩම් හෙක්ටයාර 3,863 ක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළා.

උන්වහන්සේ එමගින් ඉල්ලා තිබුණේ අදාළ ගැසට් නිවේදනය බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙසයි ෴

******************************************

එළවළු මිල නගී

(07.11.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

පොහොර සහ කෘෂි රසායනික හිඟය හමුවේ ආර්ථික මධ්‍යස්ථාන වල එළවලු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවලු තොග සැලකිය යුතු ලෙස අඩු වීම හේතුවෙන්.

දඹුල්ල සහ කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථාන වල වෙළදුන් සඳහන් කළේ පොහොර සහ කෘෂි රසායනික හිඟය සමග ගොවීන් වගා කටයුතුවලින් ඈත් වීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණෙන එලවලු තොග සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බවයි.

එමෙන්ම ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණෙන එලවලු වලින් විශාල කොටසක් ගොවීන්ට කෘෂි රසායනික නොමැතිවීම හමුවේ නරක් වීමට ලක්වී ඇති බවයි.

මේ අතර කාබනික ද්‍රව්‍ය භාවිතයෙන් කෘමිනාශක වර්ගයක් නිෂ්පාදනය කල ගොවි මහතෙකු පිළිබඳ පුවත්ක් රඹුක්කන – වලගොඩ ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්තී අංශයට වාර්තා වුණා.

එමෙන්ම රජය මගින් ලබා දෙන කාබනික පොහොර භාවිතයෙන් ඇතැම් ගොවීන් මේ වන විට වගා කටයුතු ආරම්භ කර තිබෙනවා ෴

******************************************

ගිනිගත් නෞකාවේ සුන්බුන් ඉවත් කරන ඇමරිකානු යාත්‍රාව දිවයිනට

(07.11.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

ගිණි ගෙන මුහුදුබත්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මෙරට සාගර කලාපයට එක්වූ අපද්‍රව්‍ය සහ බහාලුම් ඉවත් කිරීම සඳහා නෞකාවේ භාරකාරත්වය දරණ ඇමරිකානු සමාගමට අයත් විශේෂ යාත්‍රාවක් පැමිණ තිබෙනවා.

සමූද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ මේ වන විට එම යාත්‍රාව කොළඹ වරායට නුදුරින් නැංගුරම්ලා ඇති බවයි.

ආදාල අපද්‍රව්‍ය ඉවත් කරගන්නා ලෙස ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව අයත් හිමිකාරත්ව සමාගමෙන් එහි භාරකරත්වය දරණ සමාගමට දැනුම් දී ඇති අතර ඔවුන් නෞකාව ආශ්‍රිත මුහුදු පත්ලේ පර්යේෂණයකද නිරත වුණා.

ඒ අනුව අනාවරණය වුණේ නෞකාවෙන් බහාලුම් 400 ක් පමණ මුහුදට වැටී ඇති බවයි. එම අපද්‍රව්‍ය ඉවත් කිරීම පිළිබඳ නෞකාවේ භාරකාරත්වය දරණ සමාගමේ නියෝජිතයන් සහ සමූද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය අතර සාකච්ඡාවක් පසුගිය 6 වනදා පැවැත්වුණා.

සමූද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියේ සභාපතිනී දර්ශනී ළහඳපුර මහත්මිය හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ සමස්ථ නෞකාවම සහ එහි අපද්‍රව්‍ය සියල්ල අදාල සමාගම මගින් ඉවත් කර ගන්නා තෙක් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ පරිසර හානිය පිළිබඳ සම්පූර්ණ වාර්තාව නිකුත් කළ නොහැකි බවයි ෴

******************************************

බස්නාහිර මෙහෙයුමකින් සැකකරුවන් 1,019 ක් අත්අඩංගුවට

(07.11.2021 – 08:35 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය විසි හතර (24) තුළ බස්නාහිර පළාතේ සිදුකළ මෙහෙයුමකදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 1,019 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වරෙන්තුකරුවන් 468 දෙනෙකු, දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් 393 දෙනෙකු, විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 70 දෙනෙකු අත්අඩංගුවට ගත් පිරිස අතර වන බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ ෴

******************************************

කුරුණෑගල – මීගමුව මාර්ගයේ ගමනාගමනය යථා තත්වයට

(07.11.2021 – 09:04 +0530 – hirunews.lk/sinhala)

ගසක් කඩාවැටීම හේතුවෙන් අවහිර වී තිබූ කුරුණෑගල – මීගමුව මාර්ගයේ ගමනාගමනය යථා තත්වයට පත්කර තිබෙනවා.

අද (07) පෙරවරු 05:30 ට පමණ මෙම ගස කඩාවැටීම හේතුවෙන් අදාළ මාර්ගයේ ගිරිඋල්ල රෝහල ආසන්නයෙන් ගමනාගමනයට බාධා එල්ලවුණා.

පැය තුනකට (3) ආසන්න කාලයකට පසුවයි කඩාවැටුණු ගස සම්පූර්ණයෙන් ඉවත් කෙරුණේ.

මේ හේතුවෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොතිබූ අතර, ආසන්නයේ තිබූ මත්ස්‍ය අලෙවිසැලකට සුළු හානි සිදුව තිබෙනවා ෴

******************************************

හෙට්ටිපොල ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්

(07.11.2021 – 10:58 +0530 – hirunews.lk/sinhala)

හෙට්ටිපොළ කෝන්වැව ප්‍රදේශයේ නිවසක් තුල තිබී හිසේ කැපුම් තුවාල සහිත පුද්ගල මල සිරුරක් හමුවී තිබෙනවා.

මියගොස් ඇත්තේ කෝන්වැව, මඩංපොල පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

මෘත ශරීරය මේ වනවිට මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව, කුලියාපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

අදාළ පුද්ගලයා නිවසේ තනිව සිට ඇති අතර, බිරිඳ ඔහු සමග අමනාප වී ඇයගේ නිවසට ගොස් සිටි අවස්ථාවේදී යි මෙම ඝාතනය සිදුව ඇත්තේ.

ඝාතනයට අදාළ සැකකරුවන් තවමත් හඳුනා ගෙන නොමැති අතර, හෙට්ටිපොල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා ෴

******************************************

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2023 වසරේ සිට

(07.11.2021 – 11:00 +0530 – hirunews.lk/sinhala)

මානව සංවර්ධනය ඉලක්ක කරගත් මෙරටට ගැළපෙන ශ්‍රම බලකායක් බිහිකරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2023 වසරේ සිට හඳුන්වාදීමට කටයුතු කෙරෙනවා. එම ප්‍රතිසංස්කරණ සාමාන්‍ය පෙළ පන්ති සඳහා හඳුන්වාදෙනු ලබන්නේ 2024 වසරේ සිටයි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ප්‍රවණතාවන් අවධානයට ලක් කරමින් ශ්‍රී ලාංකික අනන්‍යතාව නොවෙනස්වන අයුරින් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අවධාරණය කළේ.

මෙරට පාසල් දස දහසකට (10,000) වැඩි සංඛ්‍යාවක් පැවතුණද ඉන් සියයට 90 ක්ම ළමයින් දහසකට (1000) අඩු සංඛ්‍යාවක් සිටින පාසල්.

එමෙන්ම ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු ජාතික පාසලකට ඇතුලුවීමේ අවස්ථාව හිමිවන්නේ සියයට 22 කට පමණයි.

මෙම විෂමතාව තුරන් කිරීම සඳහා රටපුරා ජාතික පාසල් 1,170 ක් පිහිටුවීමට කටයුතු කෙරෙන අතර, 6 වන ශ්‍රේණියෙන් ඉහළ ළමයින්ගෙන් සියයට 70 කට වැඩි සංඛ්‍යාවක් ඒවාට ඇතුළු කළ හැකියි.

එමෙන්ම ප්‍රාථමික පාසල්වලින් සියයට 90 කට වැඩි සංඛ්‍යාවක් ජාතික පාසල් සමඟ ඒකාබද්ධ කෙරෙනවා. එහිදී ජාතික පාසල්වලට විද්‍යාගාර, ක්‍රීඩාංගණ ආදී සියලු පහසුකම් ලබාදීමට නියමිතයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකාවට ලොව අධ්‍යාපනය අතින් අංක එකේ තත්වය ලබා සිටින ෆින්ලන්තයේ තාක්ෂණික ආධාර හිමිවනවා.

ඒ සඳහා මූල්‍ය සම්පත් සපයන්නේ ආසියානුසංවර්ධන බැංකුව සහ දුප්පත්කම තුරන්කිරීම සඳහා වන ජපාන අරමුදලයි. අදාළ ආයතනවල සහයෙන් ද්වීතික අධ්‍යාපන ක්‍ෂේත්‍රය වර්ධනය කිරීමේ වැඩසටහනක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් විෂයමාලා යළි සකස් කෙරෙන අතර, එම කටයුතුවලින් සැළකිය යුතු ප්‍රමාණයක් මේ වනවිට සිදුකර අවසන්.

මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට තාක්ෂණික සහය ලබාදීම සඳහා ෆින්ලන්තයේ හෙල්සින්කි විශ්වවිද්‍යාලයේ ගුරු අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ලීනා ක්‍රොක්ෆොර්ස් ඇතුලු විද්වතුන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවුණා.

විභාගවලට නොව පාසල් ක්‍රියාකාරකම්වලට මුල්තැන දීම ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේ මූලිකාංගයයි.

අධ්‍යයන චාරිකා සහ වැඩමුළුවකින් පසු අදහස් දක්වමින් මහාචාර්ය ලීනා ක්‍රොක්ෆොර්ස් කියා සිටියේ මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරලීම සඳහා ගුරු – විදුහල්පතිවරුන්ගේ සහය අතිශය වැදගත් වන බවයි.

ෆින්ලන්ත – ශ්‍රී ලංකා අධ්‍යාපන වැඩමුළුව අවසානයේ පැවති මාධ්‍ය හමුවේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි එම්. සේදර මහතා සඳහන් කළේ නව ප්‍රතිසංස්කරණ තුළින් දැනුම මෙන්ම කුසලතා සහ ආකල්පවලින් පිරිපුන් සෞඛ්‍ය සම්පන්න සිසු පිරිසක් බිහිකිරීමට අපේක්ෂා කෙරෙන බවයි.

විභාගවලට යොමුවූ අධ්‍යාපන ක්‍රමවේදය හමුවේ ක්‍රියාකාරකම් අවමවීම හේතුවෙන් මෙරට වයස අවුරුදු 10 ත් 14 ත් අතර පාසල් ළමයින්ගෙන් සියයට 25 ක් පූර්ව දියවැඩියා රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව මෙහිදී අවධාරණය වී ඇති කරුණක්.

බෝ නොවන රෝගවලට ගොදුරුවන ළමයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, ඇතැම් ළමයින් තවදුරටත් මන්දපෝෂණයට ගොදුරුවීමේ තත්වයක් දැකිය හැකියි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් පාසල්වල ක්‍රීඩා සහ ශාරිරික ක්‍රියාකාරකම් අනිවාර්ය කිරීමට පියවර ගැනෙනු ඇති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *